සඟ සසුනෙන් අබ සරණ පතා යන අපේ නායකයෝ

මහින්ද හත්තක

දියේ ගිලෙන්නට යන මිනිසා පිදුරු ගහෙත් එල්ලෙනවා යනු ජනවහරේ එන කියමනකි. පිදුරු ගහක් අල්ලා ගැනීමෙන් කිසිම හවුහරණක් නොලැබෙන බව පැහැදිලි වුවද එහි එල්ලෙන්නේ පණ ගලවා ගැනීමට වෙනත් කිසිම සහනයක් නොමැති විටක කුමක් හෝ කළ යුතු හෙයිනි. පවතින දේශපාලන ආර්ථික ගැටලුවලට කිසිම විසඳුමක් නැති එහෙත් තම නොහැකියාව පිළිගැනීමට අකමැති දේශපාලකයන් ද තම දේශපාලන පැවැත්ම සඳහා පිදුරු ගහේ පමණක් නොව ඊටත් වඩා දුර්වල නිරර්ථක පිළිසරණ පැතීම අද සුලබ දෙයකි.

පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දණින් වැටී සංඝයා වහන්සේලාගේ අවවාද අනුශාසනා අනුව රට පාලනය කිරීමට පොරොන්දු වීමද පිදුරු ගහක පිළිසරණ පැතීමකි. බුදු දහමේ දැක්වෙන අල්පේච්ඡත්වය, ගුණගරුකබව සහ පරාර්ථකාමය පදනම් කරගෙන රටක් පාලනය කරන්නේ නම් එය බෙහෙවින් අගය කළ යුතු පරමාදර්ශයකි. ඒ සඳහා සංඝයා වහන්සේගෙන් හා වෙනත් ප්‍රබුද්ධයන්ගෙන් අවවාද අනුශාසනා ලබා ගැනීමේ කිසිම වරදක් නැත. එහෙත් මෙම දේශපාලකයන් සංඝ රත්නයේ අවවාද අනුශාසනා අනුව රට පාලනය කරන බව පවසන්නේ අවංක අධ්‍යාශයෙන්දැයි බරපතළ සැකයක් මතු වේ. ඊට ප්‍රධාන හේතුව ඔවුන් මෙතෙක් කළ කී දේ අනුව එවැනි අවංක බවක් හෝ අල්පේච්ඡත්වයක් පෙන්නුම් කර නොමැති නිසාය.

මහජනයාගෙන් ඡන්දය ලබා ගැනීමේ දී ලබා දුන් පොරොන්දු බලය ලබා ගත් විගස අමතක කර ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම රටේ ජනතාව පසුගිය දශක හතකට අධික කාලයක් තිස්සේ ලත් අත්දැකීමකි. අමතක කිරීම කෝපයටත් කලකිරීමටත් පත් කෙරෙන හේතුව වන්නේ ඡන්දය ලබා ගැනීමට දුන් පොරොන්දු විකෘති කොට ජනතා අපේක්ෂාවන්ට සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමයි. මෙම අශ්ලීල උභතෝකෝටිකය සාධාරණ කිරීමට ආගමේ පිළිසරණ පැතීමත් ආගමික නායකයන් එය තමන්ට ලබාදෙන වරප්‍රසාදයක් ලෙස සැලකිමත් එකසේ පිළිකුල් සහගත ය.
බලයේ සිටින සහ බලය නැවත ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින දේශපාලකයන් සහ සමහර ආගමික නායකයන් බුද්ධාගම ගැන මවන සාවද්‍ය චිත්‍රය ද දේශපාලනයට එකසේ අහිතකරය. ඈත අතීතයේ සිටම මෙරට පාලනය කළ රජවරුන් සංඝයා වහන්සේලාගේ අවවාද අනුශාසනා අනුව කටයුතු කළ බවත් ඒ අනුව දැන් සිටින පාලකයන් ද සංඝයා වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළිගත යුතුයැයි දැඩි මතයක් සමහර සංඝයා වහන්සේලා අතර පවතී. මෙම අදියරෙන් ඉදිරියට ගිය සමහර සංඝයා වහන්සේලා රට පාලනය තමන්ට බාර දිය යුතුයැයි ඉල්ලීමට තරම් සාහසික වී ඇත. මේ රටේත් වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවලත් පවතින නීතිරීති සහ සම්ප්‍රදායන් අනුව ඕනෑම පූජකයෙකුට රටේ පුරවැසියෙකු වශයෙන් ඡන්ද විමසීමකට ඉදිරිපත්ව ජනතා කැමැත්ත දිනා ගන්නේ නම් ප්‍රතිපත්ති සම්පාදනයට සහභාගිවීමේ වරදක් නැත. එහෙත් එය ඔහුගේ හෝ ඇයගේ පැවිදි බව නිසා ලත් වරප්‍රසාදයක්යැයි සිතීම හෝ එවැන්නක් පවතින්නේයැයි සිතින් මවාගෙන කටයුතු කිරීම අතිශයින් භයානක ප්‍රවණතාවකි. එවැනි පුද්ගලයන් ඔවුනුත් ජාතියත් පමණක් නොව ලෝකයත් මහත් විනාශයකට යොමු කළ බවට ඉතිහාසයේ අපමණ නිදසුන් පවතී.

පළමුවෙන්ම ලංකාවේ බුදු දහම සහ ආගම අතර ඇති සම්බන්ධතාව ගැන පවතින මිථ්‍යා මතයක් දුරු කරලීම වැදගත් ය. දේවානම්පියතිස්ස රජු සමයේ ලංකාවට හඳුන්වා දුන් බුදු දහම සහ රටේ පාලකයන් අතර සමීප සම්බන්ධයක් තිබු බවට විවාදයක් නැත. බුද්ධාගම ස්ථාපිතවීමටත් ව්‍යාප්තියටත් ප්‍රධාන වශයෙන්ම දායකත්වය වූයේ රාජ්‍යයේ අනුග්‍රහය සහ මගපෙන්වීමය. වෙහෙර විහාර ඉදි කිරීම සහ ඒවායේ නඩත්තුව සඳහා ගම්බිම් ප්‍රදානය සෑම රජ කෙනෙකුම පාහේ කළ දෙයකි. සමහර රජවරුන් ඊට වෙනස්ව කටයුතු කළ අවස්ථා ද තිබිණ. මෙම අන්තර් සම්බන්ධතාව නිසා රාජ්‍ය පාලනය ශක්තිමත්ව පැවති කාලසීමාවන්හි සංඝ සාසනය ද ශක්තිමත් විය. චීන ජාතික ෆාහියන් භික්ෂුව සඳහන් කර ඇති ආකාරයට අනුරාධපුර යුගයේ උච්චතම අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේලා පන් දහසකට වැඩි ප්‍රමාණයක් මහා විහාරයේ වැඩ විසුහ. මෙවන් විශාල පිරිසක් එකම ස්ථානයක විසීමේ දී දෛනිකව පවත්වා ගත යුතු කටයුතු සම්පාදනය සුළු පටු කරුණක් නොවේ. ඒ සියල්ල සම්පාදනය වූයේ නොයෙකුත් ශිලා ලිපි ලේඛනවලින් තහවුරු වන ආකාරයට රාජ්‍ය අනුග්‍රහයෙනි. රජය දුර්වල වන විට එම අනුග්‍රහය නොලැබීම නිසා සාසනය ද දුර්වල විය.

ඒ අනුව රාජ්‍ය අනුග්‍රහය මත සාසනය පැවති අතර සාසනය මත රාජ්‍යය පැවතුණේ නැත. පරසතුරු ආක්‍රමණ නිසා හෝ රට තුළම විවිධ බල කණ්ඩායම් රාජ්‍ය බලය අත්පත් කර ගැනීම සඳහා කරන ලද අරගල නිසා මධ්‍යගත රාජ්‍යය දුර්වලවීමත් සමග සාසනය ද පිරිහිණ. අනුරාධපුර යුගයේ අවසාන කාල සීමාවේ දී රාජ්‍යයේ බිඳ වැටීමත් සමග සාසනය ද පිරිහීමට පත් විය. පළමු පරාක්‍රමබාහු රජතුමා මහත් ආයාසයෙන් රට එකසේසත් කළ විට මුහුණ දුන් බරපතළම අභියෝගය වූයේ බුදු සසුන නැවත පෙර පැවති තත්ත්වයට ගෙන ඒමය. ඒ වන විට රට මෙන්ම සසුන ද කොටස්වලට බෙදී තිබිණ. ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදී තිබූ සාසනය එක් කිරීමට පරාක්‍රමබාහු රජතුමාට සංඝයා වහන්සේලා එක් කොට සංඝායනාවක් පැවැත්වීමට සිදුවිය. පොළොන්නරු කතිකාවත යනුවෙන් හැඳින්වෙන්නේ එම උත්සාහයයි.

පොළොන්නරු යුගයෙන් පසුව නැවතත් රාජ්‍යය දුර්වලවීමත් සමග සාසනය ද නැවතත් පිරිහීමට පත් විය. මෙම පිරිහීම කෙතරම් ද යත් මහනුවර යුගය වන විට උපසම්පදාව ලත් සංඝයා වහන්සේලා නොමැති තත්ත්වයක් උදාවිය. දහඅට වැනි ශතවර්ෂයේ මැද භාගයේ දී සාමණේර භික්ෂුවක් වූ වැලිවිට සරණංකර හිමි (1698- 1778) ගේ නායකත්වයෙන් සිල්වත් සමාගම නමින් ව්‍යාපාරයක් ආරම්භ වූයේ සංඝ සාසනයේ සිල්වත් බව සහ බහුශ්‍රත ඥානය නගා සිටුවීමේ පරමාර්ථයෙනි. ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ නායක්කාර් වංශිකයෙකු වූ ශ්‍රී විජය රාජසිංහ මහනුවර රාජ්‍යත්වයට පැමිණීමෙනි. 1753 දී එවකට සියම නමින් හැඳින් වූ තායිලන්තයෙන් භික්ෂූන් වහන්සේලා පිරිසක් කැඳවා ගැනීමෙන් පසු උපසම්පදාව ලත් භික්ෂු පරපුරක් ආරම්භ කොට සාසනයේ කිසියම් අභිවෘද්ධියත් ඇති කිරීමට ඔහු සමත් වූයේය. 1765 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු නිකුත් කළ නියෝගයක් අනුව උපසම්පදා කර්මය මල්වත්තට සහ අස්ගිරියට සීමා විය. එමෙන්ම එම උපසම්පදාව ගොවි කුලයට පමණක් සීමා කෙරිණ. මෙසේ කුලයකට පමණක් උපසම්පදාව සීමා කිරීම බුදු දහමේ ඉගැන්වීමට පටහැනි වුවත් රාජාඥාවක් නිසා වැලිවිට සරණංකර හිමිට පවා ඒ ගැන කිසිත් කළ නොහැකි විය.

අප මෙම ඉතිහාසය කෙටියෙන් දැක්වූයේ එක අතකින් බෞද්ධ සාසනයේ අභිවෘද්ධිය පැහැදිලිවම රාජ්‍යයේ සමෘද්ධිය සහ ස්ථාවරත්වය මත රැඳී පැවතීම සහ රජවරුන් (පාලකයන්) සාසනය නගා සිටුවීමට ගත් උත්සාහයත් මැදිහත්වීමත් පෙන්වා දීමටය. කීර්ති ශ්‍රී රාජසිංහ රජුතුමා උපසම්පදාව පැවැත්වීම පමණක් නොව එය ලබා දිය යුතු අය පවා නියෝගයකින් දැක් වූයේය. ඊට විරෝධය පෑමට සංඝරාජ තනතුරු නාමයෙන් පිදුම් ලත් වැලිවිට සරණංකර හිමිට හෝ හැකියාවක් තිබුණේ නැත. මින් පැහැදිලි වන වැදගත්ම කරුණ වන්නේ බුදු සසුන ස්වාධීනව පැවති ආයතනයක් නොව රජතුමාගේ අණසකට යටත්ව පැවති තවත් ආයතනයකි යන්නයි. ඇත්තෙන්ම මෙය අගය කළ යුතු හෝ පිළිපැදිය යුතු ලක්ෂණයක් නොවන නමුත් මෙම කරුණු සැලකිල්ලට ගත යුතු වන්නේ වර්තමානයේ සමහර භික්ෂූන් වහන්සේලා පාලකයන්ට එරෙහිව සංඝාඥා නිකුත් කිරීමට තරම් සාහසිකව ඇති වාතාවරණයක් තුළය. ඉතිහාසයේ සිදුව ඇත්තේ රාජ්‍යයේ පාලකයන් සාසනය පාලනය කිරීමට ආඥා නිකුත් කිරීමකි. ඊට විරෝධය පෑමක් වශයෙන් සමහර භික්ෂූන් වහන්සේලා රට හැර ගිය බවද ඉතිහාසයේ සඳහන් ය.

ආයතන ගතවී ඇති සංඝ සමාජය බෞද්ධ සමාජයට බලපෑම් කළ හැකි ව්‍යුහයක් බව පිළිගත යුතුය. එම පිළිගැනීම ලබා ගැනීමට හේතු වී ඇති කරුණු සමාජ විද්‍යාත්මකව වෙන්ව සලකා බැලිය යුතුය. මූලික වශයෙන් අපට වැදගත්වන්නේ සමාජයේ ස්ථාවරව ඇති ආගමික සංස්ථාවලට හෝ වෙනත් බලපෑම් කණ්ඩායම්වලට බලයේ සිටින සහ බලය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන දේශපාලකයන් පහසුවෙන්ම නැමෙන්නේ ඇයි ද විමසා බැලීම සහ සමාජයේ සාමය සහ සමෘද්ධිය තහවුරු වන ආකාරයට ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සකසා ගැනීමේදී අනුගමනය කළ යුතු අවම එකඟතා ඇති කරගත යුත්තේ කෙසේද යන්න පැහැදිලි කර ගැනීමට ය.
එවැනි පිවිසුමක් සඳහා වඩාත්ම උචිත වන්නේ විවිධ මතවාදයන්ට ගැටීමට ඉඩ සැලසෙන, බහුතරයේ මතයට ගරු කරමින් සියල්ලන්ට අවම වශයෙන් හෝ එකග විය හැකි ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙනි. එවැනි ප්‍රතිපත්ති ස්ථාවරයක මූලික ලක්ෂණය විය යුතු වන්නේ විවෘතභාවයයි. විවෘතභාවය යන්නෙන් අදහස් වන්නේ නායකයන් ගන්නා තීරණ ජනමාධ්‍ය ඔස්සේ දැනුම් දීම නොව තීරණ ගන්නා ක්‍රියාමාර්ග ද ජනතාවට දැනගත හැකි වීමය. අවශ්‍ය නම් ජනතාවට ඒවාට තම අදහස් ඉදිරිපත් කිරීමට හා යුක්ති සහගත මැදිහත්වීම් සඳහා අවස්ථාව ලබාදිය යුතුය.

දණින් වැටී සංඝයා වහන්සේලාගේ අවවාද අනුශාසනා අනුව රාජ්‍ය පාලනය කිරීමට සපථ කරන පාලකයෝ තීරණ ගැනීමේ දී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ගයක් වන අන් මතයට ගරු කිරීම, තම වැරදි අවංකව පිළිගැනීම, යුක්ති ගරුකවීම වැනි ප්‍රතිපත්ති පැහැදිලිවම ප්‍රතික්ෂේප කරති. නායකත්වයට පත්වන බොහෝ පුද්ගලයන් ක්‍රියා කරන්නේ තම නායකත්වය ජනතාවගේ හෝ පාක්ෂිකයන්ගේ පිළිගැනීමකට වඩා දේව වරමක් ලැබූ සේය. කනගාටුවට කරුණ වන්නේ පාක්ෂිකයන් ද නායකයා දේවත්වයෙන් වන්දනා මාන කිරීම තම ලාබ ප්‍රයෝජන සුරක්ෂිත කර ගැනීමේ ඒකායන මාර්ගය සේ දැකීමය.
මෙය හොඳින් තහවුරු වන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරියේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා තම අපේක්ෂකයා තෝරා ගැනීමට ගන්නා උත්සාහයෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ගය පැහැදිලි ය. ප්‍රයිමරීස් ( ඡරසප්රසැි ) නමින් හැඳින්වෙන පක්ෂයේ ප්‍රාථමික සංවිධානවල බහුතරයේ කැමැත්ත දිනා ගන්නා පුද්ගලයා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තෝරා ගැනීම මතු පිටින් ප්‍රජාතන්ත්‍රවාදී විවෘත ක්‍රියාවලියක් සේ පෙනෙනු ඇත. එහෙත් ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයා අවසානයේ දී තෝරා ගැනෙන්නේ එක්සත් ජනපදයේ රාජ්‍ය බලය සැබැවින්ම පවතින මූල්‍ය ආයතනවල කැමැත්ත මත ය. ඔවුන් වැඩිම මූල්‍ය දායකත්වයත් ලබා දෙන පුද්ගලයා එක්සත් ජනපදයේ ජනාධිපති වනු ඇත. එය වෙනස් වන්නේ ඉතාමත් විරල අවස්ථාවක පමණි. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය තුළ කිසියම් සංදර්ශනාත්මක වටිනාකමක් ද පවතී. ඒ සම්පුර්ණ ක්‍රියාවලියම ප්‍රජාතන්ත්‍රවාදී කඩතුරාවකින් වැසීමට හැකි වීම ය.

එහෙත් ශත වර්ෂයකට ආසන්න කාලයක් තිස්සේ සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වන අප රටේ ජනාධිපතිවරණයට හෝ වෙනත් මැතිවරණයකට අපේක්ෂකයන් තෝරා ගැනීමේ දී එවැනි කඩතුරාවක් දක්නට නැත. බොහෝවිට සිදු වන්නේ පක්ෂවල ඉහළම තීරණ ගැනීමේ ව්‍යුහය වන කෘත්‍යාධිකාරි මණ්ඩලය තෝරා ගැනීමේ ඒකාධිකාරී බලය නායකයාට කොන්දේසි විරහිතව පැවරීමය. මෙහි උත්ප්‍රාසය වන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්වන්නේ ද නායකයාගේ තේරීම අනුව වීමය. නායකයාගේ කැමැත්තට අනුමැතිය පළ කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පත් කර ගැනීමට සෑම නායකකෙුටම එම පක්ෂයේ ව්‍යවස්ථාව අනුවම ඉඩ සැලසේ.
ඒ අනුව පසුගිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ දී ලත් ජයග්‍රහණය අනුව ප්‍රධාන විපක්ෂයට බවට පත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත්වන ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෝ එහි නාමික සභාපති නොවේ. රාජපක්ෂ පවුලේ නායකයා බවට පත්ව සිටින මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ තේරීම පක්ෂයේ තේරීම වනු ඇත. සංදර්ශනාත්මක ප්‍රජාතන්ත්‍රවාදය යටතේ හෝ සිදුවිය යුත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලයකින් තෝරා ගන්නා අපේක්ෂයාට නායකත්වයේ අනුමැතිය ලබා දීමය. එහෙත් එවැන්නක් ලංකාවේ දේශපාලනයේ තවමත් සිහිනයක් පමණි. මේ තත්වය සියලු පක්ෂවල පවතින්නකි.

මෙවැනි නායකයන් අර්බුද හමුවේ අන්දමන්ද වීමත් ව්‍යවස්ථාවට හෝ සම්ප්‍රදායන්ට පටහැනි ආකාරයට තීන්දු ගැනීමත් පසුගිය කාලයේ දක්නට ලැබිණ. නායක ගුණයක් නැති නිසා දඩබ්බර හිතුවක්කාර තීරණ ගැනීම ඔවුන්ගේ සාමානය ක්‍රියා පටිපාටියයි. අද අප රට මුහුණ දී ඇති දේශපාලන, ආර්ථික සහ සමාජයීය ගැටලුවලට මුහුණදීමට අවශ්‍ය වන්නේ අර්බුදකාරී අවස්ථාවක සාමුහික තීරණ ගැනීමේ ක්‍රියාවලිය බැහැර කරන මූනිච්ඡාවට ආගමික සංස්ථාවල පිහිට පතන, අන් සියල්ලට වඩා මමත්වය අගය කරන අවස්ථාවාදී නායකයන් නොවේ.
අද පවතින අභියෝග ජය ගැනීමට නම් ජනතා හද ගැස්මට සංවේදී, සමාජ සාධාරණත්වය, සමානත්මතාව සහ යුක්තිය පරමාදර්ශය කර ගත් නායකයෙක් හෝ නායකත්වයක් අවශ්‍ය ය. එහෙත් වැඩවසම් මානසිකත්වයෙන් පිරි පාක්ෂිකයන්ගෙන් සැදුම්ලත් දේශපාලන පක්ෂවලින් එය බලාපොරොත්තු විය නොහැකිය. ඒ සඳහා සැබෑවටම ජනතාවාදී නව වැඩ පිළිවෙළක් සහ නායකත්වයක් අවශ්‍ය ය.