කැමැත්ත ජවිපෙට දෙමු – ජයතිලක කම්මැල්ලවීර

මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එන්නේ කිසියම් හිඩැසක් පිරවීම සදහායි. ඔහු අපි තෝරාගත් අපේක්ෂකයා නොවෙයි, අපි බොහෝ කැමැත්තෙන් හිටියේ සෝභිත හාමුදුරුවන්ටයි. උන්වහන්සේගේත් ආශිර්වාදය ඇතිව එක්සත් ජාතික පක්ෂයේත් සහයෝගය ලබාගෙන අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පැමිණි අවස්ථාවේ අපි කල්පනා කළා අපේ අපේක්ෂාව ඉෂ්ටකර ගැනීමට ඔහු සුදුසුයි කියලා. එසේ නැතිව ඔහු දක්ෂ පාලකයෙක් හෝ අවංක කෙනෙක් ආදී ලෙස ලොකු ප්‍රතිරූපයක් අපේ ඔළුවල තිබුණේ නැහැ. පුද්ගලිකව මගේ ඔළුවේ නම් තිබුණේ ඔහු රාජපක්ෂ පාලනය දීර්ඝ කාලයක් ආරක්ෂා කරමින් රාජපක්ෂ පවුල් පාලනයට ගැතිවෙමින් නිහඬව සිටි අයෙක් ලෙසයි. එහෙත් බලයට පත්වූ පසු මට අතිගරු කියන්න එපා, මම සාමාන්‍ය කෙනෙක්, මම ජනයාට උඩින් ඉන්න කෙනෙක් නෙමෙයි, ව්‍යවස්ථාව වෙනස් කරලා සම්පූර්ණයෙන් ජනාධිපති ක්‍රමය ඉවත් කරලා යන්න අවුරුදු හතරක් මට තිබුණාම ඇති ආදී වශයෙන් ඔහු කළ ප්‍රකාශ නිසා ඔහු කෙරෙහි මා තුළ යම්කිසි බලාපොරොත්තුවක් දැල්වුණා, ගෞරවයක් ඇති වුණා. ඔහු පත්වූ අවස්ථාවේ මම අලුත් ජනපතිට කියලා විවෘත ලිපියක් ලීවා. ඒ ලිපියේ සඳහන් කළ ප්‍රධාන කාරණයක් ලෙස රාජපක්ෂ පාලනය විසින් ඒ වන විට ආනන්ද කුමාරස්වාමි මාවතට වෙන නමක් දී තිබීමත් එය නැවත වහාම වෙනස් කළ යුතු බවත් අලුත් ජනපතිට සඳහන් කළා. ඔහු එය වහාම ක්‍රියාත්මක කළා. ඒ වගේම 19වන සංශෝධනය ගෙන ඒමට ඔහු විශාල මැදිහත්වීමක් කළා, එය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. ඒ තත්ත්වයන් තුළ අපට ඔහු කෙරෙහි යම් බලාපොරොත්තුවක් ඇති වුණා.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාරගැනීමත් සමග යන්නේ වැරදි ගමනක බව පැහැදිලිව පෙනුණා. මම හිතන්නේ පළවෙනි වතාවට මම තමයි මෛත්‍රී පාලනය බිඳ දමන පක්ෂ උගුල කියලා ලිපියක් ලීවේ. ඇත්තටම ඔහු එය භාර ගත්තාට වඩා මහින්ද රාජපක්ෂ උපායක් ලෙස ඒක ඔහුට භාර දුන්නා. ඔහු ඒ උගුලේ පැටලුණා. පක්ෂයක් නැතිව බලය පවත්වාගෙන යන්න බැහැ ආදී වශයෙන් ඔහු වටා සිටි උපදේශකයෝ දී තිබූ උපදෙස් අනුව ඔහු එය භාර ගත්තා. අවසාන වශයෙන් ඔහුට කරන්න පුළුවන් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අභාවයට යැවීමයි. මොකද ඒ වන විට තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායකලාගේ නායකත්වයෙන් තිබූ පක්ෂය නෙමෙයි, රාජපක්ෂලා විසින් එය මහින්ද ගැති ජාතිවාදී, වර්ගවාදී, ගෝත්‍රවාදී පක්ෂයක් බවට පත්කරලායි තිබුණේ. සභාපතිකම භාර ගත්තා කියා පක්ෂ ස්වරූපය ඔහුට වෙනස් කරන්න බැරි බව අප දුටු නමුත් ඔහු උගුලේ පැටලුණා. මම හිතන්නේ ඔහුටත් අවශ්‍ය වුණේ නිදහසේ බලය පවත්වාගෙන යාමයි. ඊට ගැළපෙන දෙයක් ලෙස ඔහු ඒ පියවර ගත් බවයි පෙන්නේ. එතැන් සිටම ඔහු ගත් ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම ඔහුව බලයට පත් කළ සියලුදෙනාට විරුද්ධ පියවර වුණා. ඔහු බලයට පත්වූයේ බහුතරයක් එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාර ගැනීම සමග ඔහු කළේ එක්සත් ජාතික පක්ෂයට විශාල කනේ පහරක් ගැසීමයි. එතැන් සිට ඔහු එක්සත් ජාතික පක්ෂයට පහර ගහන්න පටන් ගත්තා. අවුරුදු තුනහමාරක් පමණ ගතවන විට ඔහුව බලයට පත් කළ සියලුදෙනාට පහර ගහන විවේචනය කරන ඉතාම නරක විධියේ බොරු චෝදනා නගන තත්ත්වය දක්වා ඔහු ගමන් කළා. ඒවායින් පෙනී ගියේ ඔහු ආවේම අවස්ථාවාදී ගමනක් බවයි. ඔක්තෝබර් 26 ඔහු කළ ක්‍රියාව ඔහු දුන් සියලු පොරොන්දුවලට පටහැනි, ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඔහු කතා කළ සියලු දූෂණ වංචා අවසානයේ ආරක්ෂා කරන පියවරක් වුණා. ඒ පියවර ගත්තේ ඉතාම පුද්ගලවාදී මනසකින්. ඊළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා බවට පත්වී ජයග්‍රහණය කිරීමට හැකිවේ යැයි ඔහු එයින් බලාපොරොත්තුවූ නමුත් රාජපක්ෂ පවුල කිසිවිටක ඔහුට ඉඩ දෙන්නේ නැහැ. අද ඔහුට ඒ යථාව වැටහෙමින් පැවතුණත් දැන් ඔහු වියරු වැටුණු පාලකයෙක් බවට පත්ව තියනවා. අවසාන වශයෙන් මුළු ලෝකයම පිළිකුල් කරන්නාවූ මරණ දඬුවම පවා ඡන්ද ටිකක් එකතු කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යන තැනට ඔහු ගමන් කළා.

නිදහස ලැබුණු දා සිට අද දක්වා මේ රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක කර තිබෙන්නේ දවසින් දවස මේ රට ඉතාම දරුණු අගාධයකට ගෙන යාමයි. බලයට පත්වූ පක්ෂවල මැති ඇමතිවරු කර තිබෙන්නේ තම තමන්ගේ පවුල්, සම්පත් වර්ධනය කර ගැනීමයි. එවැනි තත්ත්වයක් තුළ අද දවසේ ජනතාව දූෂිතයන් නොවන අවංකව පෙනී සිටින නායකත්වයකට කැමැත්ත ප්‍රකාශ කළ යුතුයි. සෘජු ලෙසම කියනවා නම් තිබෙන විවේචන නොතකා ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ ජනතාව තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළ යුතුයි කියලා මම හිතනවා. විවේචන තියනවා, නමුත් අද අනෙක් ප්‍රධාන පක්ෂ එක්ක සංසන්දනය කරද්දී දූෂිතයන් නොවන රට ගැන කැක්කුමක් තිබෙන බව ප්‍රදර්ශනය කරන එකම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ කියලයි මම හිතන්නේ. ඒ නිසා සියලු විවේචන පසෙකලා ඉදිරි මැතිවරණයක දී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් වැඩ කරන්න මම සූදානම්.