ජීවිතය මරණය අතර කරදියානේ කසළ ටොන් තිස් දෙලක්ෂයක ප්‍රශ්නය

ශාන්ත විජේසූරිය

 

කොළඹ නගරය රම්සා සම්මුතියෙන් පිළිගත් ලෝකයේ තෙත් බිම් ආශ්‍රිත (wetland) පළමු අග නගරයයි. කරදියාන කොළඹ දිස්ත්‍රික්කයේ ඇති ලොකුම තෙත් බිම වේ. කරදියාන කුණු අංගණය පිහිටා ඇත්තේ එම තෙත් බිමේය. අවුරුදු 20කට පමණ පෙර කරදියාන ජෛව විවිධත්වයන්ගෙන් ගහණ, කඩොලාන ශාක වලින් වසා ගත් තෙත් බිමකි. එම තෙත් බිම ආශ්‍රිතව විවිධ පක්ෂි වර්ග සැරිසැරුවද කුණු කන්දත් සමග කරදියාන කොක්කුන්ගේ සහ කාක්කන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබේ. කුණු කන්දත් සමග අද වනවිට තෙත් පහත් බිම තෙත් උස් බිමක් වී ඇත.

කුණු වලින් වෑහෙන සාරයට ගහකොළ මිය ගොස්ය. සමහර ගහකොළ මියයෑමට නියමිතය. පෙනෙන නොපෙනෙන සැම තැනකම ඇත්තේ අරගලයකි. අතීතයේ කරදියාන රටට ආවේනික කුරුලු වර්ග වලින් සහ ගහකොළ වලින් පිරීගිය මනරම් පරිසර පද්ධතියකි. එහෙත් අද ඇත්තේ මැසි මදුරුවන්ගෙන් ගහණ අහස අල්ලන්නට යන කුණු කඳු දෙකකි.
සමේ රෝග හදෙනවා. ඇඟවල් කසනවා. ළමුන්ට නිතරම බඬේ අමාරුව. තව ටික කාලයකින් අපිව මැස්සෝ උස්සාගෙන යනවා. කැස්බෑවේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වුණේ කරදියානෙන්. කුණු කන්ද ආශ්‍රිතව ජීවත් වන සෑම ගෙදරකම ඩෙංගු රෝගීන් දෙතුන් දෙනෙක් ඉන්නවා. කාක්කෝ කුණු ගොඬේ තිබෙන මස් කෑලි මිදුල්වලට ගෙනත් දානවා. රෙද්දක්වත් වැලකට දාන්න බැ. බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ඉසුර දේවප්‍රිය කරදියානට ආපු වෙලාවේ අපිවත් බලන්න ආවා. මැස්සෝ වහලා ඇඳුම් කිළිටු වෙන නිසා ගෙදර යනකම් ඉවසුමක් නැතිව සිටින බව ඇමතිවරයා තමන් සමග පැවසූ බව ඩබ්ලිව්. කේ. දයානි රාවයට පැවසුවාය.

කරදියාන කුණු කන්ද පුපුරා ගිලා බැසීමේ අධි අවදානමක් පවතින බව ජාතික ගොඩනැගීමේ පර්යේෂණ සංවිධානය (National building Research organization /NBRO) අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියට දන්වා ඇත.

මීතේන්, කාබන්ඩයොක්සයිඞ් ඇතුළු වෙනත් අහිතකර වායු එක්රැස් වීමෙන් කරදියාන කුණු කන්ද පුපුරා යෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානය මගින් 2017 නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

කරදියාන කුණු කන්ද පිහිටා ඇත්තේ වගුරු බිමක බවත් එම වගුරු බිම යට කිරි මැටි තට්ටුවක් ඇති බවත් කිරි මැටි තට්ටුවට දරා ගත නොහැකි බරක් පතිත වූ විට එම කිරි මැටි තට්ටුව තල්ලු වී ගොස් පොළොවේ සියුම් ස්ථානයකින් මතුවිය හැකි බව ජාතික ගොඩනැගීමේ පර්යේෂණ සංවිධානය 2019 අප්‍රේල් මාසයේ සිදු කරන ලද පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත.

මෙම පර්යේෂණය සඳහා ලක්ෂ අසූවක මුදලක් වැය වී ඇති බවත් දැනගන්නට ඇත.
අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය කැස්බෑව ප්‍රාදේශීය ලේකම් මාර්ගයෙන් ඉකුත් අප්‍රේල් 27 වනදා කරදියාන කුණු කන්ද අවට ජීවත් වන පවුල් 15 ට වහාම ඉවත්ව යන මෙන් ලිඛිතව අනතුරු අඟවා ඇත.

ඝන අපද්‍රව්‍ය අධිකාරියේ අනතුරු ඇඟවීමත් සමග කරදියාන අධි අවදානම් ප්‍රදේශයේ ජීවත් වූ පවුල් 15ක් එම ප්‍රදේශය අතහැර දමා ගොස් තිබේ. අධි අවදානම් කලාපයෙන් ඉවත් වූ පවුලක් සඳහා මසකට රුපියල් 25,000 බැගින් මාස 06ක් සදහා 1,50,000කුත් බඩු ප්‍රවාහනය සදහා රුපියල් 5000කුත් වශයෙන් ලබා දී ඇත.

අධි අවදානම් කලාපයෙන් ඉවත් වූ ජනයාගේ දේපළ මාස 06 ක කාලයක් ඇතුළත තක්සේරු කර වන්දි මුදලක් ලබාදෙන බව ඝන අපද්‍රව්‍ය අධිකාරිය එම ජනයාට ලිඛිතව පොරොන්දු වී ඇත.

කරදියාන අධි අවදානම් කලාපයේ ජීවත් වූ පවුල් 15 ඉවත් කර ගැනීමට බලධාරීන් සමත් වුව ද ප්‍රශ්නය අවසන් නැත. කුණු කන්දට මැදිවී පීඩා විඳින තවත් පවුල් දහස් ගණනක් සිටිති. ඔවුන්ට මැසි මදුරුවන්ගෙන් ලෙඩ රෝග වලින් ආරක්ෂා වී සහ පිරිසිදු වාතය ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට පරිසරයක් සකස් කර දීම බලධාරීන්ගේ වගකීමකි.
වර්ෂ 2017 මීතොටමුල්ල කුණු කන්ද පුපුරා නායයෑම නිසා පුද්ගලයින් 50කට අසන්න සංඛ්‍යාවක් මියගිය අතර 11ක් අතුරුදන් වූහ. නිවාස 146කට හානි සිදු වූ අතර පවුල් 353ක් අවතැන් වූහ.

කරදියාන කුණු කන්දේ බරපතළ අවදානමක් දැනෙන්නට පටන් ගෙන ඇත්තේ, මීතොටමුල්ල ඛේදවාචකයත් සමගය. මීතොටමුල්ල ඛේදවාචකයට අවුරුදු දෙකක් ගතවී ඇතත් එදා මෙදා තුර ආරක්ෂිත පියවරක් නොගත් පාලකයෝ හදිසියේ කරදියාන කුණු කන්ද අසල පදිංචිය අතහැර පන්සලකට යන්නැයි කීම නිසා කෝපාවිෂ්ට වූ ජනයා ආණ්ඩුවටත් අපද්‍රව්‍ය අධිකාරියටත් එරෙහිව සිය විරෝධය පළ කරන්නට වූහ.

2012 තමයි අපි කරදියානට ආවේ. අපි එනකොට මෙතැන කුණු කන්දක් තිබුණේ නැහැ. අපි කුණු කන්ද ළඟට ගියේ නැහැ. කුණු කන්ද අපි ළඟට ආවා. ඡන්ද කාලයට නම් දේශපාලනඥයෝ අපි ගැන හරි උනන්දුයි. දැන් අපි ගැන සොයා බලන්නේ ජනමාධ්‍යයෙන් පමණයි. ඡන්දය ඉල්ලන්න එනකම් තමයි අපිත් බලාගෙන ඉන්නේ. කරදියාන මහ පොළොවට, ඔරොත්තු නොදෙන කුණු කන්දක් ගෙනත් දමලා අපිට උන්හිටි තැන් අහිමි කළා. පැවති සහ පවතින ආණ්ඩුව අපේ ජීවිතවලට වගකියන්න ඕනෑ. අපි කුණු කන්ද ළඟ ජීවත් වුණේ කැමැත්තකින් නොවේ. වෙන කරන්න දෙයක් නැති නිසා. අපේ දේපළ තක්සේරු කරලා රජයෙන් අපට සාධාරණයක් නොකළොත් නැවත අපට කුණු කන්දට යෑම හැර වෙනත් විකල්පයක් නැහැ. කුණු කන්ද අසල පදිංචිව සිටි ආර්.එස්. කුමාරි (48) අප සමග එසේ පැවසුවාය.

කුණු කන්ද පුපුරා ගිලා බැස පොළොවේ සියුම් තැනකින් නැවත මතුවීමේ බරපතළ අවදානමක් ඇති ඌරු කොටුව ප්‍රදේශය ජාතික ගොඩනැගීමේ පර්යේෂණ සංවිධානය මගින් හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශ අධි අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත.

ඌරු කොටුව ප්‍රදේශය ජනවාස ප්‍රදේශයක්ව පැවැති අතර එහි පවුල් 15ක් පමණ ජීවත් වූහ.
කරදියාන කුණු ගොඩ  (Dump) A සහ B වශයෙන් නම් කර ඇත. A කුණු කන්ද අක්කර 25ක් වන අතර එම අක්කර 25 න් අක්කර 10 ක් විදුලි ජනන ව්‍යාපෘතියක් සඳහා වෙන් කර ඇත. Bකුණු කන්ද අක්කර 12½ කි. කරදියාන කුණු කන්දේ වපසරිය අක්කර 40 ක් පමණ වේ. නාය යෑමේ අධි අවදානමක් ඇත්තේ B කන්දයි. නිවාස වල සිට B කන්දට ඇති දුර මීටර් 40ක් පමණ වේ. A සහ B කුණු කඳු දෙක අතරින් මීටර් 30ක් පමණ පළල ඇළක් වේරැස් ගඟට ගලා බසියි. කුණු කන්දේ සිට නිවාස වලට ඇති දුර මීටර් 500 ක් පමණ වේ.

Aසහ B කසළ කඳු දෙකෙන් ක්ෂිරණය  (leached) වන සාරය ඇළ මාර්ගය හරහා වේරැස් ගඟට එකතු වී එතැනින් බොල්ගොඩ ගඟේ ජලයට ද මිශ්‍රවීම නිසා ගංගා දෙකම අපවිත්‍ර වී ඇත. A සහ B කසළ කඳු දෙක අතරින් වේරැස් ගඟට ගලා බසින ඇළේ වතුර කළුපාට වී ඇති අතර වතුර මතුපිට තද තෙල් තට්ටුවක්ද පාවෙයි.

කරදියාන ඇළේ සහ වේරැස් ගඟේ මත්ස්‍ය වර්ග 21ක් පමණ ජීවත් වූ අතර කොරලියා හෙවත් ජපන් බට්ටා හැර අනිකුත් මත්ස්‍යයන් වඳ වී ඇති බවත් සමහර කොරලින්ගේ ඔළුවේ ගෙඩි හටගෙන ඇති බවත් කරදියාන ඇළේ මාළු අල්ලමින් සිටි ධීවරයෙක් සමග කළ කතාබහේ දී ඔහු කීවේය.

ක්ෂිරණය (leached) පාලනය කරන ක්‍රමවේද තියෙනවා. දවසකට ටොන් 550ත් 600ත් අතර ප්‍රමාණයක් කුණු කරදියානට බැහැර කරනවා. අපේ ගෙවල්වලින් එකතු කරන කාබනික ද්‍රව්‍ය වල වතුර වැඩියි. බෑග් තෙරපෙන කොට වතුර එළියට කාන්දු වෙනවා. වතුර එළියට කාන්දුවීම තමා ක්ෂිරණය කියන්නේ. ක්ෂිරණය ඇති වන්නේ ප්ලාස්ටික්, ඉටිකොළ, යකඩ, පරණ පත්තර වලින් නොවේ කාබනික (Organic) ද්‍රව්‍ය වලින්. වතුර ටික කරදියානට ගියාට පස්සේ යකඩ, බැටරි, බිඳුණු ටියුබ් ලයිට් වල ගෑවිලා තමයි පරිසරයත් දූෂණය කරගෙන ගලාගෙන යන්නේය.

කුණු පරිසරයට මුදා හැරියොත් ජල පෝෂක දූෂණය වන එක වළක්වන්න බැහැ. කරදියාන කියන්නේ තෙත් බිමක්. තෙත් බිම් ක්‍රමවේදය පාවිච්චි කරනවා ක්ෂිරණය (leached) ශුද්ධ කරන්න. ලෝකයේ එවැනි ක්‍රමවේද තියෙනවා. කොළඹ නගරය කියන්නේ රම්සා සම්මුතියෙන් පිළිගත් එකම තෙත් බිම් අගනගරය. තෙත් බිම් වලින් ක්ෂිරණය පාලනය කිරීම නිසා වන සේවයකුත් තියෙනවා. ලෝකයේ හොඳම උදාහරණය තමා ඉන්දියාවේ ඊසානදිග කල්කටාවල මුළු නගරයේම අපද්‍රව්‍ය බැහැර කරන්නේ පොකුණකට. එහි මාළුත් ආහාරයට ගන්නවා. තෙත් බිම් ක්‍රමවේදය හරහා ක්ෂිරණය පිරිසිදු වෙන්න ඉඩ හැරලා තියෙනවා. ඊසාන දිග කල්කටාව කියන්නේ කැස්බෑව, මොරටුව, කරදියාන වගේ නොව මිලියන ගාණක ජනතාවක් ජීවත් වන විශාල නගරයක්. වේරැස් ගඟ වුණත් ඒ විධියට හදා ගන්න පුළුවන්, කරදියාන කුණු කන්දෙන් ක්ෂිරණය වන සාරය ශාඛ මුල්වලින් උරා ගන්නා ක්‍රමවේදයක් හදන්න පුළුවන්. කඩොලාන ශාක යම් සේවයක් කරනවා. එහෙත් අපි කුණු ටොන් ගාණක් දැම්මොතින් කඩොලාන ශාක වලට ඒ ප්‍රමාණය ඔරොත්තු දෙන්නෙ නැහැ.” මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික සහ ක්‍රියාවලිය ඉංජිනේරු (Chemical And procesing Engineering) පීඨයේ මහාචාර්ය අජිත් අල්විස් එසේ කීවේය.

කරදියාන කුණු දැමීම සඳහා තෝරා ගැනීමේ අවුලක් තියෙනවා. දැන් කරන්න දෙයක් නැහැ. අපි තේරුම් ගතයුතුයි කුණු ඇති කරන්නේ අපි කියලා. අපි නගරයක ජීවත් වෙනවා නම් කුණු හසුරුවන්නන් වෙනවා. කුණු හසුරුවනවාට අපි කැමති නැහැ. ගෙවල් ළඟට කුණු පැක්ටරියක් එනවා නම් අපි ඊට විරුද්ධ වෙනවා. අපි කැමති අපේ ගෙවල්වලට ඇතින් කුණු දානවාට. එවැනි අවස්ථාවල තමා නගර සභා සහ ප්‍රදේශීය සභා කවුරුත් පාවිච්චි කරන්නේ නැති මුඩු බිම් සහ වගුරු බිම් වලට කුණු දමන්න පෙළඹෙන්නේ. මේක තමාලංකාවේ තිබෙන නරකම ප්‍රතිපත්තිය. මහාචාර්ය අල්විස් වැඩිදුරටත් පැවසීය.

ලුනාව මෝය කට කැපීමත් සමග මුහුදු ජලය බොල්ගොඩ ගඟ හරහා මෙම ප්‍රදේශයට ගලාවිත් රැඳී ඇති අතර එතැන් පටන් එම ප්‍රදේශය කරදියාන යනුවෙන් හඳුන්වා ඇත. කරදිය නිසා අස්වද්දමින් තිබූ කුඹුරු අක්කර 15 ක් පමණ අතහැර දැමීමට සිදුවූ බව එම ප්‍රදේශයේ ගොවීහු අප සමග කීහ.
බොල්ගොඩ සහ වේරැස් ගඟේ ජාකොටු සහ බෝට්ටු වලින් මාළු අල්ලා, ජීවත් වූ ධීවර පවුල් 150කට පමණ කරදියාන කසළ කන්ද නිසා ජීවන මාර්ගය අහිමි වී තිබේ.
කරදියාන කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මගින් පාලනය වන ප්‍රදේශයකි. පිළියන්දල, මොරටුව, කැස්බෑව, රත්මලාන සහ බොරලැස්ගමුව නගර වලට යාබදවත් වේරැස් ගඟට මායිම්වත් කරදියාන පිහිටා ඇත.
2012 යේ  A කුණු කන්ද පුපුරා ගිලා බැස්සේය. කුණු කන්ද පුපුරා යෑම නිසා අඩි 50ක පමණ ගැඹුරු වළක් හෑරී ඇත. පසුව එම වළ අපද්‍රව්‍ය අධිකාරියේ උපදෙස් මත වසා දමා ලදි. A කුණු කන්ද පුපුරා යෑමේ සිද්ධිය  B කන්ද යට ජීවත් වන ජනයාගෙන් වසන් කොට තබා ගැනීමට අපද්‍රව්‍ය අධිකාරිය ක්‍රියා කළේය. A කසළ අංගණයට බැහැර කිරීම තවදුරටත් අවදානම් නිසා B කසළ අංගණයට බැහැර කර ඇත.  A  කන්ද විදුලි ජනන ව්‍යාපෘතියක් සඳහා වෙන් කර ඇති බැවින්, කෙටි කාලයක් සඳහා පමණක් B කන්දට කුණු දමන බව පවසා අපද්‍රව්‍ය අධිකාරිය එම කන්ද යට ජීවත් වන ජනතාව මුලා කොට ඇත. B කසළ අංගණයේ උස අඩි 100 ට වැඩිය.
දෛනිකව මොරටුව මහ නගර සභාව මෙටි්‍රක් ටොන් 102කුත්, බොරලැස්ගමුව නගර සභාව මෙටි්‍රක් ටොන් 31කුත්, කැස්බෑව නගර සභාව මෙටි්‍රක් ටොන් 62කුත්, දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාව මෙටි්‍රක් ටොන් 180කුත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාව මෙටි්‍රක් ටොන් 57කුත් මහරගම නගර සභාව මෙටි්‍රක් ටොන් 105කුත් හෝමාගම ප්‍රාදේශීය සභාව මෙටි්‍රක් ටොන් 32කුත් වශයෙන් පළාත් පාලන ආයතන 07 කින් කුණු මෙටි්‍රක් ටොන් 550ත් 600ත් අතර ප්‍රමාණයක් කරදියාන කසළ අංගණයට බැහැර කරයි.
දිනකට බැහැර කරන මෙටි්‍රක් ටොන් 550ත් 600ත් අතර ප්‍රමාණයෙන් මෙටි්‍රක් ටොන් 200ත් 250ත් අතර ප්‍රමාණයක් වෙන් කර එවන ලද දිරන කුණු වන අතර ඉතිරි මෙටි්‍රක් ටොන් 350 වෙන් නොකර එවන ලද මිශ්‍ර අපද්‍රව්‍ය වේ. දිනපතා මෙටි්‍රක් ටොන් 350 ප්‍රතිචක්‍රීයකරණයට භාජනය නොකර විවෘත කසළ අංගණයට බැහැර කෙරේ.
2003 සිට 2019 ජුනි දක්වා කරදියාන විවෘත කසළ අංගණයට කසළ මෙටි්‍රක් ටොන් 3,2 67,000 බැහැර කර ඇත.

කරදියාන කුණු කන්ද පටන් ගැනීම සම්බන්ධයෙන් අපට වගකියන්න බැහැ. අපි කරන්නේ පටන් ගෙන තියෙන කුණු කන්දෙන් වන පරිසර හානිය අවම කිරීම. කුණු කන්ද පටන් ගත්තේ පුද්ගලික අංශයෙන්. පළමු කුණු ට්‍රැක්ටරය ගෙනාවේ කවුද කියලා කවුරුත් දන්නේ නැහැ. අපද්‍රව්‍ය අධිකාරිය 2010දී කරදියාන බාර ගන්න කොට කසල මෙටි්‍රක් ටොන් මිලියන දෙකක් දාලා තිබුණා. 2011 අපි පුද්ගලික අංශය සමග කසළ වලින් (Waste Energy) විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් සඳහා අත්සන් කළා. තාක්ෂණික හේතුවක් මත පුද්ගලික අංශයට ඒක කරන්න බැරි වෙනවා. කරදියාන විවෘත කසළ අංගණයක් වශයෙන් දිගටම පවත්වාගෙන යන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. තම ව්‍යාපෘතිය විවෘත (open dump) කසළ අංගණය අවසන් කිරීම බව අපද්‍රව්‍ය අධිකාරියේ අධ්‍යක්ෂ ආචාර්ය නලීන් මානප්පෙරුම කිය.

කරදියාන කසළ අංගණයට දිනපතා කාබනික ද්‍රව්‍ය  (Organic Material) මෙටි්‍රක් ටොන් 200ත් 250ත් අතර ප්‍රමාණයක් ලැබෙන අතර එම ප්‍රමාණයෙන් දිනකට කොම්පෝස්ට් පොහොර මෙටි්‍රක් ටොන් 50 ක් නිෂ්පාදනය කරන බව මිහිසර වියමන ආයතනයේ කළමනාකරු ධනුෂ්ක විජේරත්න පැවසීය.

නමුත් තෙත් බිම් කළමනාකරණ කමිටුවේ සභාපති සහ අධිකරණය මගින් කරදියාන කසළ අංගණය පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා කැස්බෑව ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද පසු විපරම් කමිටුවේ සමාජික රෝණි ෆොන්සේකා දක්වන්නේ මෙවැනි අදහසකි.

දිනපතා කුණු ටොන් 550ත් 600ත් අතර ප්‍රමාණයක් කරදියාන කසළ අංගණයට බැහැර කළත් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කළ හැක්කේ මෙටි්‍රක් ටොන් 50යි. පසුවිපරම් කමිටුවෙන් මිහිසර වියමන කොම්පෝස්ට් අංගණය පරීක්ෂා කරන්න යන බොහෝ අවස්ථාවල යන්ත්‍ර සූත්‍ර කැඩිලා. කසළ ප්‍රශ්නයට විසඳුමක් කියලා කොම්පෝස්ට් පොහොර හදනවා. කොම්පෝස්ට් පොහොර හදලා කසළ ප්‍රශ්නය විසඳන්න බැහැ.

මේක හෙමින් (Slow process) සිදුවන ක්‍රියාවලියක්. කරදියානේ තියෙන්නේ දවසකට ටොන් 50කින් කොම්පෝස්ට් හදන අංගණයක්. ටොන් 50ක කොම්පෝස්ට් හැදෙන්නේ නැහැ. ටොන් 550ත් 600ත් අතර කසළ ප්‍රමාණයක් දමන තැනක, ටොන් 50ක් කොම්පෝස්ට් නිෂ්පාදනය කරලා තුලනය (Balance) කරගන්න බැහැ. දිනෙන් දින විවෘත කුණු කන්දට එකතු වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඇය පවසන්නේ කරදියාන කොම්පෝස්ට් ක්‍රමවේදය සාර්ථක නැති බවය.

2017 අගෝස්තු මාසයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විශාල උත්සවයක් පවත්වා කරදියාන කසළ අංගණය මිහිසර වියමන කසළ කළමනාකරණ මධ්‍යස්ථානය ලෙස නම් කළේය. කසළ යොදාගෙන විදුලිය උත්පාදනය කරන කළමනාකරණ මධ්‍යස්ථානයක් ඇති කිරීම ප්‍රධාන අරමුණ වන අතර රජය මගින් එම ව්‍යාපෘතිය ෆෙයාවේ වේස්ට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගමට පවරන ලදි. කොම්පෝස්ට් පොහොර සෑදීමේ අංගණයක් ද ඊට අයත්ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදුලි ජනන ව්‍යාපෘතිය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තබා අවුරුදු දෙකකි. අද සිරිසේන ගේ මුල්ගලත් සොයා ගැනීමට බැරි තරමට එම ස්ථානය වල්බිහිවී ඇත.

ෆෙයාවේ වේස් මැනේජ්මන්ට් පුද්ගලික සමාගමේ විදුලි ජනන ව්‍යාපෘතියේ ඉදිකිරීම් උප කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරන්නේ නවලෝක සමූහ ව්‍යාපාරයයි. නවලෝක ව්‍යාපාරය ඉදිකිරීම් කටයුතු සඳහා ගෙනත් දමා ඇති ලක්ෂ ගණනක කම්බි දිරා ගොස් ඇත.

ව්‍යාපෘතිය මගින් නිෂ්පාදනය කරන විදුලිය කිලෝ වොට් ටවර් එකක් රුපියල් 36කට මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු අතර විදුලිබල අමාත්‍යාංශය හා විදුලි බල මණ්ඩලය කඹ ඇදීම නිසා එම ව්‍යාපෘතිය අතරමග නතර වූ බව අපද්‍රව්‍ය අධිකාරියේ අධ්‍යක්ෂ ආචාර්ය නලීන් මාන්නප්පෙරුම කීවේය. පසුගියදා විදුලි බලමණ්ඩලය සහ ෆෙයාවේ වේස් සමාගම සමග ගිවිසුමක් අත්සන් කළ බවත් අවුරුද්දකින් හෝ අවුරුදු එකහමාරකින් විදුලි ජනන ව්‍යාපෘතිය නැවත පටන් ගත හැකි බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.
පරිසරය පවත්වාගෙන යෑමේ සහ සංරක්ෂණය කිරීමේ මූලික වගකීම පැවරී ඇත්තේ රාජ්‍ය ආයතනයක් වන මධ්‍යම පරිසර අධිකාරියටයි. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය වගේ වගක් නැතිව මගහැර සිටියදී කරදියාන කසළ අංගණයට එරෙහිව නඩු දමා ඇත්තේ ප්‍රදේශවාසීන් කීපදෙනෙක් විසිනි.

මෙම (නඩු අංක 6304 /2005 ) නඩුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය වගඋත්තරකරුවකු කර ඇත.
අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය කසළ ප්‍රතිචක්‍රියකරණ ව්‍යාපෘතිය සඳහා මෙතෙක් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන නැතැයි පරිසර අධිකාරිය සෑම නඩු වාරයකදීම අධිකරණයට මතක් කර තිබේ.

පරිසර අධිකාරිය එම මතක් කරදීමෙන් පසු අපද්‍රව්‍ය අධිකාරිය දිගින් දිගටම පරිසර නීති උල්ලංඝනය කරන්නේ නම් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නැයි අධිකරණය පරිසර අධිකාරණයට නියෝග කර ඇත. පරිසර අධිකාරිය අධිකරණ නියෝගය නොතකා කටයුතු කර ඇත.

අධිකරණය පරිසර අධිකාරියට නීතිමය පියවර ගන්නැයි නියෝග කරයි. නමුත් ගම්වාසීන් කරදියාන කුණු කන්දට එරෙහිව කැස්බෑව අධිකරණයේ ගොනු කළ නඩුවක් අවුරුදු 15 ක් තිස්සේ එකතැන පල්වෙමින් ඇත. අධිකරණය පරිසර අධිකාරියටත් පරිසර අධිකාරිය අධිකරණයටත් බෝලය පාස් කරමින් සිටී.

කුණු කන්ද නිසා පීඩා විඳින දහස් ගණනක මිනිසුන්ගේ ප්‍රශ්නය පැවති සහ පවතින ආණ්ඩු අධිකරණය සහ මධ්‍යම පරිසර අධිකාරිය හිතාමතා නොතකා හැර ඇත.
පසු විපරම් කමිටුව සහ විදුලි ජනන ව්‍යාපෘතිය සම්ප්‍රාප්ත වන්නේ ජනතා අරගලයට සමාන්තරවය. මෙම ව්‍යාපෘති සහ පසු විපරම් කමිටු ජනතා අරගලය සමහන් කර දැමීමේ ප්‍රෝඩාවන් දැයි? කුණු කන්දට එරෙහි අරගලයේ ක්‍රියාකාරීහු සැක පළ කරති.

මම මේ නඩුවට සම්බන්ධ වුණේ අනාගත පරපුර ගැන හිතලා. මධ්‍යම පරිසර අධිකාරිය කියනවා කුණු කන්ද නීති විරෝධියි කියලා. නමුත් සාමාන්‍ය පුද්ගලයෙක් කුණු දැම්මොත් පරිසර අධිකාරියෙන් නඩු දානවා. පරිසර අධිකාරියෙන් කුණු කන්දට එරෙහිව නඩු දාලා නැහැ. අපි තමයි නඩුවක් දාලා තියෙන්නේ. අධිකරණයෙන් අපට යුක්තිය ඉෂ්ට වුණේ නැතැයි තෙත් බිම් කමිටුවේ සභාපති රෝණි ෆොන්සේකා වැඩිදුරටත් පැවසීය.