කුලේ සහ මාලී

රජිඳු කාශ්‍යප

ක්‍රිකට් පිටියේ පෙරළිකාර චරිත දෙකක සමුගැනීම මේ වන විට ප්‍රකාශ වී අවසන්. ලසිත් මාලිංග එළැඹෙන 26 වැනිදා බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන අතර නුවන් කුලසේකර හුදකලාවේ ම ජාත්‍යන්තර තරග පිටියට සමුදෙනවා යැයි නොබෝදා ප්‍රකාශ කළේය

.
ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර යනු මෙරට ක්‍රිකට් ක්‍රීඩා වංශකතාවේ සුවිශේෂී චරිත දෙකකි. ඔවුන් දෙදෙනාගේ සමානකම් බොහෝය. ක්‍රීඩාවේ නිවුන් සොයුරන් බඳු මාලි-කුලේ දෙදෙනා ම චම්පක රාමනායක විසින් ක්‍රිකට් පිටියට හඳුන්වාදෙන්නේ 2003 තරග වසරේ දී ය. එවකට ඔවුන් දෙදෙනා ම ක්‍රීඩා කළේ ගාල්ල ක්‍රිකට් සමාජයට.

උපත ගත්ත ද දෙදෙනා අතර වෙනස වසරකි. ඔවුන් දෙදෙනාගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වරම් දිනා ගැනීමේ වෙනස මාස 8කි. ටෙස්ට් පිටියේ 99 වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා මාලිංග වෙද්දී 100 වැනි ක්‍රීඩකයා වූයේ කුලසේකර ය. අංක 99 මාලිගේ ටී ෂර්ට් අංකය වන අතර කුලේ තම අංකය ලෙසින් තෝරා ගන්නේ 92ය. ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් වරම් දිනා ගන්නේ රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වීම ද සුවිශේෂීය.

2004 වසරේ සිට 2017 දක්වා වසර 13ක් කුලේ – මාලි සුසංයෝගය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ මෙහෙය අපමණය බැව් දන්නෝ දනිති. මාලිංග හා කුලසේකර මේ දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 105ක් හා විස්සයි විස්ස ක්‍රිකට් තරග 43ක දී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. ඉන් තරග 89ක දී ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබිම විශේෂ වේ.
දශකයට පමණ පෙර මාලි-කුලේ යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරිතම ඩබල වූවේය. සමාකාලීනයන් සේ පිටියට පිවිසි මේ ඩබල 2011 ලෝක කුසලානයේ අනුශූරතාව හා 2014 විස්සයි – විස්ස ලෝක කුසලාන ක්‍රිකට් කිරුළ ජය ගැනීම වෙනුවෙන් දැක්වූ දායකත්වය සුළුපටු නැත.

මේ අතුරින් ඔවුන් දෙදෙනාගේ සුසංයෝගය වඩාත් කැපී පෙණුනේ 2014 විස්සයි-විස්ස ලෝක කුසලාන තරගාවලියයි. එම තරගාවලිය ජයග්‍රහණයෙන් අවසන් වෙන්නේ මාලිංග ගේ නායකත්වයෙන් වන අතර එම තරගාවලියේ දී ලෝක ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා වූයේ කුලේ ය. ඔහු තරග 6ක දී කඩුලු 8ක් ලබා ගත්තේය.
නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මේ දක්වා කඩුලු 313ක් දවාගෙන තිබෙන අතර ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මේ දක්වා කඩුලු 529ක් දවාගෙන තිබේ.
කුලේ හා මාලි අවසන් වරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එක්වූයේ 2017 ජූලි මාසයේ දී වන අතර එදා සිට මේ දක්වා වසර 2කට ආසන්න කාලයක් ඔවුන් දෙදෙනා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ එකට ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැත.

2004 වසරේ ජූලි මස එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟ දඹුල්ලේ පැවති එක්දින ක්‍රිකට් තරගයක දී පළමු වතාවට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මාලිංග එදා සිට මේ දක්වා ගෙවී ගිය කාලය තුළ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 225කට සහභාගිවෙමින් එහි දී කඩුලු 335ක් බිඳ හෙළා ඇත්තේ කඩුලු 4කට වඩා දවා ගත් අවස්ථාවන් 19ක් ද සනිටුහන් කරමිනි.

මාලිංග ලොව එතෙක් මෙතෙක් බිහි වූ දක්ෂතම වේගපන්දු යවන්නන්ගෙන් අයෙකි. සාමාන්‍ය පන්දු යවන්නෙක්ට වඩා වෙනස් ඉරියව්වකින් සමන්විත පන්දු යැවීම නිසා ද මාලිංග තමන් වෙත අවධානය දිනා ගත්තේය. 2007 වසරේ සිට මේ දක්වා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 4ක් සඳහා ක්‍රීඩා කර තිබෙන මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසය තුළ තරග 29කට සහභාගි වී කඩුලු 56ක් දවාගෙන ඇත. එහි කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය වන්නේ 22.87කි. කඩුලු 4ට වඩා වැඩි අවස්ථාවන් 2ක් ඇතුළත්ය.
එසේම සිය පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේ දී පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගනිමින් සුපිරි දස්කම් දැක්වීමට මාලිංග සමත් විය. එසේම දැනට ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින කඩුලු ත්‍රිත්වයන් තුනක් සඳහා හිමිකම් කියන ලොව පළමු සහ එකම පන්දු යවන්නා වන්නේ ද මාලිංගයි.
මාලිංග මුළු ලෝකයාගේම වැඩි අවධානය දිනාගත්තේ සාමාන්‍ය පන්දු යවන්නෙකුට වඩා වෙනස් ඉරියව්වක් සහිතව පන්දු යැවීම නිසාය.

කුලසේකර පළමු වරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් සමග එක්වෙන්නේ 2003 වසරේ නොවැම්බරයේ දී ය. ඒ දඹුල්ලේ දී එංගලන්ත කණ්ඩායම සමඟ පැවති එක්දින තරගයේ දී ය. ඔහු ටෙස්ට් ක්‍රීඩකයෙක් ලෙසින් බෞතීස්ම ලබන්නේ 2005 වසරේ දී ය.

එදා සිට මේ දක්වා ගෙවී ගිය කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරග 263කට සහභාගී වෙමින් කඩුලු 313ක් ඔහු විසින් බිඳ හෙළා ඇත්තේ කඩුලු 4කට වඩා දවා ගත් අවස්ථාවන් 10ක් ද සනිටුහන් කරමිනි.

ඔහු2009 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් එක්දින පන්දු යවන්නන් වර්ගීකරණයේ අංක 1 පන්දු යවන්නා බවට පත්වීමට ද කුලසේකර සමත් වීම කැපී පෙණුනි. ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙක් එවැනි දස්කමක් පෑ පළමු හා එකම අවස්ථාව තවමත් එයයි. එක්දින තරග 184කට මුහුණ දී ඇති කුලසේකර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 199කි. එමෙන් ම 2007 වසරේ සිට මේ දක්වා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 3ක දී තරග 11කට සහභාගී වී තිබෙන කුලේ ලබා ඇති කඩුලු සංඛ්‍යාව 9කි.

කුලේ සේ ම මාලි ද නිතර සිනහවෙන් සිටින්නෝය. ප්‍රතිවාදියා හතරේ පහරක් හෝ හයේ පහරක් ගැසූව ද ඔවුන්ගේ මුවගේ නිතැතින්ම ඇදෙන්නේ සිනහවක්ය. ඇතැම් අවස්ථාවන්හිදි මාලි දඩබ්බරයෙක් සේ මාධ්‍ය ඉදිරියේ හැසිරුණ ද කුලේ එලෙස නැත.

ලසිත් මාලිංගට ගෞරවනීය සමුගැනීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලබා දුන්න ද නුවන් කුලසේකර වෙනුවෙන් එවැන්නක් සංවිධානය වූයේ නැත. මාලිංග පසුගිය දා BBC

සිංහල සේවයට පවසා තිබුණේ වසර 13කට ආසන්න කාලයක් ඔහුගේ ක්‍රිකට් පිටියේ සඟයා වූ කුලසේකරට ද සමුගැනීමේ තරගයක් ලබාදෙන ලෙස තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඉල්ලා සිටින බවයි.

ඒ අනුව යමින් කුලසේකර ද බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරෙන තුරු බලාපොරොත්තු තබා සිටියේය. එහෙත් කණ්ඩායමේ අවසන් 22 අතරට තමන්ගේ නම නොවීමත් සමගින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට තමන් සමුදෙන තීරණය ප්‍රකාශ කළේය.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද මේ වන විට නුවන් කුලසේකර වෙනුවෙන් ගෞරවනීය සමුගැනීමක් ලබාදීමට අවැසි බැව් පවසා තිබුණි. “අපි පළවෙනි තරගයේ දී මාලිංගට සමුගැනීම දෙනවා. තුන්වැනි තරගයේ දී අපි කුලසේකර වෙනුවෙන් හොඳ සමුගැනීමක් දෙන්න තීරණය කරලා තියෙනවා වගේම ඒ තරගය ඔහු වෙනුවෙන් නම් කරලා තියෙනවා. ඔහු සෙල්ලම් කරනවා ද නැද්ද කියලා මට හරියටම කියන්න බැහැ. මොකද මට අයිතියක් නැහැ පරිපාලනයට ඇඟිලි ගහන්න. හැබැයි අපි අමාත්‍යාංශය මට්ටමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා ඔහුට සමුගැනීමක් දෙන්න කියලා. ඔවුන් ඒ සඳහා කැමැත්ත ලබා දීලා තිබෙනවා.” මෙම සමුගැනීම කුලේ – මාලි සුසංයෝගයට තවත් අපූරුවක් එක් කළේය. ඒ ඔවුන් දෙදෙනා එක ම කාලයක ක්‍රිකට් පිටියට පිවිස, එක ම කාලයක සමුගැනීම ප්‍රකාශ කිරීම නිසාය.