උමතු මිනිස්සු

ටිරන් කුමාර බංගගමආරච්චි

සෑම පක්ෂයක්ම පාහේ තම අපේක්ෂක නාටක රඟදක්වමින් කාලය ගෙවා දමති. පොදු ජන පෙරමුණ තම පවුලේ කවුරු අපේක්ෂකයා කරන්නේද යන දෙකට දෙගිඩියාවෙන් පසුවෙති. රාජපක්ෂලා හැම බලයට කෑදරය. බලයට ඒමට බැරි මහින්ද රාජපක්ෂ අත අපේක්ෂකයා තෝරන යතුර සතුය. ඔහු එය වනමින් තමාට උපරිම කීකරු කෙනා සොයන්නේය. ගෝඨාභය එතනදී කැපී විසිවී යන්නේ මහින්ද අකමැති නිසාය. එහෙත් ඔවුන්ගේ පක්ෂයේ බහුතර කැමැත්ත ගෝඨාය. මහින්ද අකමැතිද ගෝඨාටය. දැන් මහින්දගේ අකමැත්ත අබිබවා සෙස්සෝ ගෝඨා කර තබාගෙන අවසන්ය. ඒ නිසා මේ මොහොතේ මහින්ද සිටිනුයේ සැමට වඩා පීඩනයේය. ඒ හේතුවෙන් ඔහු නම් පහක් අපේක්ෂක ලෙස දමාගෙන ඇත. එයට උපරිම සහය දෙන්නේ වාසුදේවය. වාසුදේව අමුතු චරිතයක් රඟදක්වමින් සිටී. ඔහු කියනුයේ තම පක්ෂය ලබාදී ඇති නමක් පොදු අපේක්ෂක විය යුතු බවය. වාසුලා සමාජයට බොරු හයිකම් පෙන්නුවද ඕනෑවටත් වඩා රාජපක්ෂ ළඟ නිවට බව සැබෑය. නිකමට මේ බොරු නම් පහ හිතමු. කෙනෙක් ගෝඨාය. අනෙකා බැසිල්ය. ඊළඟට චමල්ය. ශිරන්ති රාජපක්ෂත් ඒ අතර ඇත. ඉතිරි නමට දිනේෂ් ඇතැයි දිනේෂ් සිතුවද බොහෝ දුරට ඇත්තේ චමල්ගේ පුතා විය හැකිය. රාජපක්ෂ පවුලෙන් පිට බලය දෙන්නට සූදානම් නැත. පවුලේ වුවත් ගෝඨාට දෙන්නටද සූදානම් නැත. එම පක්ෂයේ බහුතරය කැමති ගෝඨාට වුණත් මහින්ද කැමති නැත. සෙසු අය ගෝඨා ඉල්ලා සිටියද මහින්දට බයය. රාජපක්ෂ පවුලටම බයය. එමෙන්ම ගෝඨාටද ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීම ලේසි නැති බව දැන් පැහැදිලිය. කෙසේ හෝ එය අයින් කරගන්නට ගෝඨාද කැමති නැති බව පෙනේ. ඒ අයින් කරගෙන වුව ජනාධිපති අපේක්ෂකම නොලැබුණහොත් ඔහුට දෙකම අහිමි වන බැවිනි. ඇමරිකානු පුරවැසිකම අත අරින තරම්ම මෙරට ජනාධිපති අපේක්ෂකකම ගන්නා එකත් ඔහුට අමාරු වී ඇත. මේ නිසා ගෝඨා ඒමක් නැති තරම්ය. එහෙත් කපටි මහින්ද නාමයෝජනා දෙන තෙක් ගෝඨාද කරළියෙන් බස්සනු බොරුය. අක්කා පෙන්නා නංගී දෙන තැනට මහින්ද පත්වී ඇත. ඔහු කවුරු අපේක්ෂකයා කළත් ගෝඨා පෙන්නා මුලින් රඟන බව පැහැදිලිය. ඉන්පසු එතැනට බැසිල් වුව දැමිය හැකිය. චමල් වැනි පතෝල චරිතයකට වඩා බැසිල් වැනි අයෙක් ගැන පක්ෂය වැඩි සැලකිල්ලක් දක්වන්නට ඉඩ ඇත. එවිට බැසිල්ටද ඇමරිකානු පුරවැසිභාවය ප්‍රශ්නයක් වනු ඇත. එහෙත් ඒවා ලොකු ප්‍රශ්න නොවනු ඇත.

රනිලුත් එතන

මහින්දගේ වැඬේම රනිල්ට සිදුවී ඇත. එනම් එජාප අපේක්ෂකයා තේරීමේ යෂ්ටිය රනිල් සතුවීමය. රනිල් සතුව බලය ඇතත්, ඔහු සජිත්ට කැමති නැත. එහෙත් එජාපයේ වැඩි මනාප සජිත්ටය. එසේ කියා සජිත්ට දෙන්නට රනිල් කැමති නැත. එබැවින් ඔහුද අපේක්ෂක තරගය විවෘත කොට තරගකාරීත්වයක් ඇති කොට ඇත. එපමණක් නොව සජිත් කුඩු පට්ටම් කිරීමේ මෙහෙයුම රවිට භාර දී ඇත. රවි වැනි තක්කඩියකු ඊට මනාව ගැළපේ. සජිත් නොවේ නම් රනිල්ට ගැළපෙන මැස්ස කරුය. කරු කර තබාගත් සිවිල් පොරවල් කරුව තෝර ගත්තේ රනිල් තම බහට වැඩ නොකරන හිතුවක්කාරයෙක් නිසාය. රනිල්ව බිත්තියට හේත්තු කළේ කරුගේ ආධාර ඇතිවය. දැන් නැවත ඒ සැමට රනිල් සරණ යන්න වී තිබේ. මේ නම් සරදමකි. රනිල් කරු තෝරා ගත්තද අපමණ සිතනු ඇත. කරුගේ ශාස්තෘවරයා පිටුපස සිටිනුයේ ව්‍යාජයක් බව රනිල් කල්තබාම දන්නා බැවිනි. ඒ නිසා ඔහු චම්පික දිනවන්නද? එකම උගත් බුද්ධිමත් නායකයා තමන් බව කියමින් චම්පික අමුතු නැටුමක් නටමින් සිටී. මේ බලතණ්හාව සුළු පටුද? ලොකු පදනමක් නැතිව වුව චම්පික කෙරුමකු වී ඇත්තේ උගත්, බුද්ධිමත් ඡන්ද තමාට බව සිතමිනි. මෙරට ඡන්දවලින් ලක්ෂ පනහක් උගත් පිරිස නම් ඉතිරි අය නූගත්ද? නූගතුන්ගේ කැමැත්ත නොවැදගත්ද? චම්පික වැනි කපටි චරිතයක් සජිත් වැනි පතෝල චරිතයකට වඩා හොඳ යැයි රනිල් තෝරා ගනු ඇත්ද? එයද විහිළුවකි. කොහොම වුවත් අවසානයේ රනිල්ට සහ මහින්දට අමාරුම තීරණයක් ගන්නට වනු ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව ඒ අයට වුවමනා දිනන අපේක්ෂකයකුට වඩා තමන්ට ඕනෑ මට්ටමේ පඹයකු පත්කර ගැනීමය. එහෙත් එය මෙවර ලේසි නැත. බලයක් නැති ජනපතිකමේ ඕනෑවටත් වඩා බලයක් සිරිසේන පෙන්වමින් සිටී. ඒ අනුව බලන කල දහනවය ගැටයක් බව පැහැදිලිය. 19 වන සංශෝධනය හරහා විධායක ජනපති බලරහිත වූවා යැයි කීවද අනෙක් අතට එය එසේමද යන පැනයත් ඉතිරිය. පසුගිය දිනවල එක් මතයක් වූයේ 19ට අනුව ඊළඟට එන ජනපතිට බලයක් නැති බවය. ඒ අනුව ජනාධිපතිවරණයකට මුදල් වෙන් කිරීමද අපරාධයක් බව කතාබහ විය. එහෙත් ඒ අපරාධය එලෙසම කරන්නේ බලයක් නැති නිසාද? වටින් ගොඩින් විචාර කළද ඇත්තටම බලයක් ඇත්ද? නැත්ද? යන්න තවමත් වැට උඩ නිසාද? සමහරු කියනුයේ ජනාධිපතිට 19ට අනුව ඇමතිකම් දැරිය නොහැකි බවය. ප්‍රශ්න වන්නේ අනාගත ජනපතිට ආරක්ෂක ඇමතිකම ඇරුණු කොට වෙනත් ඇමතිකම් ගත නොහැකි යැයි සඳහන් වන්නේ කොතැනද යන්නය. ජනපතිට ඔහු ධුරයේ සිටින තෙක් මහවැලි සංවර්ධන විෂය සහ පරිසර විෂය දැරිය හැකියි සඳහන් මුත් ඊළඟ ජනපතිට කිසිම විෂයක් දැරිය නොහැකි යැයි සඳහන් වන්නේ කොහිද? ව්‍යවස්ථාව පිළිබඳ හසල දැනුම් ඇත්තෝ මේ ගැටලු ලිහා දැමිය යුතු නැද්ද? එහෙත් එලෙස දැනුමැත්තෝද දේශපාලන කෝව තුළ හිරවී මත දක්වනවා නොවේද? මේ නිසාම නියම තත්ත්වය සමාජගත නොවන බව අමුතුවෙන් කිවයුතුද? 19 වන සංශෝධනයට අනුව ජනපතිට තිබූ බලතල තුනක් ඉතා පැහැදිලිව අයින් කොට ඇත. ඒවා නම් ඇමතිවරුන් නම් කිරීමේදී අගමැතිවරයාගේ නිර්දේශ මත කටයුතු කළ යුතුය යන්න සහ වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වසර හතර හමාරක් දක්වා කල් දැමීම මෙන්ම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන පනත් කෙටුම්පතක් ඍජුවම ජනමත විමසුමකට යොමු කිරීමට ජනාධිපතිවරයාට තිබුණු බලය ඉවත් කිරීමය.

එසේ නම් විධායකය මේ තරම් භයානක වූයේ මේ තුන මතද? මේවා විවාදාපන්න ගැටලුය. ජනපතිගේ බලය නැති කොට ජනපති පඹයකු බවට පත්කළේ කෙසේද යන්න ව්‍යවස්ථා විචාරකයන් පෙන්වා දිය යුතුය. සැවොම කියනු හැර විස්තරාත්මකව එය ලියා නොපෙන්වති. එයද මේ වනවිට ගැටලුවකි. ජනතාවට කෙසේ වෙතත් එය පක්ෂ නායකයන්ට පෙන්වා දී, එසේ නම් ජනාධිපතිවරණය නොපැවැත්විය යුතු නැද්ද? අනෙක් අතට මේ සියලු ඇත්ත දන්නේ මහින්ද, රනිල් විතරද? ඔවුන් හදනුයේ ඒ නිසා කාව හෝ ජනපති කර අගමැති වන්නද? එසේ නම් රටේ ජනතා පරමාධිපත්‍යය භාවිත කොට ජනපති තෝරන්නේ ඇයි? එසේ නම් තේරිය යුත්තේ අගමැති නොවේද? 19 වන ව්‍යවස්ථාවේ මේ තත්ත්වය දන්නේ රනිල්, මහින්ද විතරද? එසේ නම් ඔවුන් දෙපළ අගමැතිකම ගන්ට පඹයකු සූදානම් කරන්නේද? එය එසේම නම් දිනන අපෙක්ෂකයන් දමන්නට මේ අය බය ඇයි? ගෝඨා දමන්නට මහින්ද බය ඇයි? සජිත් දමන්නට රනිල් බය ඇයි? 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනපති පඹයෙක් නම් පුද්ගල දරදඬුභාවය අනුව පඹයන්ට පණ එන්නේද? මේ දෙපළ දිනන අය තරගයට දමා අගමැතිකම රස නොබලන්නේ ඇයි? මේ සැම අතරමං වී ඇත. 19 වන සංශෝධනයම නූල් බෝලයක් වී ඇත. එහි කරුණු අනුව ජනපතිට බලය නැතැයි කිව හැකිය. එසේම එසේ නොව බලය ඇතැයිද කිව හැකිය.

අප අමතක නොකළ යුත්තේ සිරිසේනට තම ප්‍රතිවාදියාවම මාසයකට හෝ අගමැති කළ හැකි වූ බවය. මේ තමා සමගම තරග කොට පරාජිතයා වූ පුද්ගලයාය. මේ තත්ත්වය අධිකරණයෙන් බේරා ගත්තද නිතරම ප්‍රශ්න උද්ගතවන්නේ නොගැළපෙන චරිත ඇති තැන වීමය. ජනපති – අගමැති පක්ෂ දෙකක මත දෙකක නිසා මෙතරම් ප්‍රශ්න ඇතිවිය. එහෙත් ඊළඟ වාරයේ ජනපති අගමැති ගජයෝ වුවහොත් 19 වැනි සංශෝධනයේ බලපෑම ඇතිවේද? හැමවිටම සිරිසේන රනිල් වැනි නොගැළපීම් එන්නේ නැත. එය 2015දී ආ අතර නැවත කිසිදිනක නොඑනවා විය හැකිය. අගමැති වන්නේ මහින්ද නම් ඔහු කැමතිද සිරිසේන කෙනකු ජනපති කරගන්නට එමෙන්ම අගමැති වන්නේ රනිල් නම් ඔහු කැමතිද සිරිසේන කෙනකුට. එමෙන්ම කවුරු ජනපති වුවද එතරම් ජන බලයක් ගෙන ජන නායකයා වන කවුරු හෝ තමා පඹයා වී මහින්දට හෝ රනිල්ට සියල්ල දී අත පිහදා ගනීද? මහින්ද රනිල් රජ කරන්නට ඊළඟ වාරයේ ගෝඨා, සජිත්, කරු හෝ චම්පික ඒද? මේ හැම දඟලනුයේ පඹයකු වන්නටද? උගත්කමට කතා කරන චම්පික පඹ ජනාධිපතිකමක් ගැන හීන මවන්නේ ඇයි? 19 විකාරයක් වී එය සැවොම අනාගෙන ඇති බව පැහැදිලිය. ඒ නිසා නියතවම අනාගත ජනපති පඹයකු නොව බලවතකු වී 19 වෙනස් කිරීමට ඉඩ ඇත. එය පුද්ගල සාධකය සහ ඔහු ලබන ජය අනුව නියතව සිදුවනු ඇත. මේ බලසම්පන්න ව්‍යවස්ථාව හැදූ ජේ.ආර්. පවා අගමැතිව සිටි ප්‍රේමදාසට සැලුණු බව අමතක නොකළ යුතුය. ඔහු කැමතිව සිටියේ ලලිත්ට ගාමිණීට වුවත් ප්‍රේමදාස අහක දැමිය හැකි චරිතයක් නොවීය. ඒ නිසා මේ මොහොතේ දේශපාලන වටපිටාවම නන්නත්තාර වී ඇත්තේ මහින්දට සහ රනිල්ට තම බලය රැක ගැනීමට ඇති කෑදරකම නිසාය. මේ මොහොතේ ජනපති අනුව මේ දෙපළම නන්නත්තාර වන බව මොවුන් හොඳාකාරවම දන්නේය. ඒ අනුව 19 අනුව ජනපති පඹයකු කොට මොවුන්ට අනුව පඹයකු සෙවීම අමාරු කාර්යය වී ඇත. බලය ලැබූ පසු හැම සිරිසේන අනුගමනය නොකරනු ඇතැයි සහතික වන්නේ කවුද?

ජනතාව

ප්‍රශ්නය එලෙස එකතැන පල්වෙද්දී ජනතාව ජනපති තේරීමේ අවංක වුවමනාවක් ඇතැයි සිතන්නේ නම් මුලාවකි. ජනතාවට මේ හැම දේශපාලන අපේක්ෂකයාම අප්පිරියා වී ඇත. ඇත්ත එයය. ජනතාව පොදුවේ ගෝඨාටවත්, සජිත්ටවත් චම්පිකට හෝ කරුටවත් කැමති නැත. දැන් කාව හෝ හෝදා පිරිසිදු කර ජනතාව අතරට ගෙන ඒම පහසු නැත. ඒ මේ හැම ජනතාවට පිළිකුල් වී ඇති බැවිනි. මාධ්‍ය පුම්බන මේ චරිත ඇරුණු කොට ජනතා අදහස අවකංවම විමසුවහොත් මේ නම් ජනතාවට ඔක්කාර හැදෙන තරම්ය. දැන් රනිල් මෙන්ම මහින්දද ජරාවක් බව ජනතාව දනිති. ගෝඨා මෙන්ම සජිත් ද වැඩකට ඇති අය නොවන බව ජනතාව දනිති. ඒ නිසා හැම පක්ෂයකටම මේ නාමධාරී තක්කඩින්ට වඩා වෙනස් චරිත සොයන්නට සිදුවනවා නියතය. ඒ නිසාම ජනපති අපේක්ෂකයෝ මේ නොකියවෙන නම් විය හැකිය. සැවොම හොර තක්කඩියන් වී ඇති බැවින් මෙවර ජනතාව දිනාගැනීම ලේසි නැත. මන්ද පොදුවේ ඇත්තේ මේ සැමට ජන විරෝධයකි. එසේ කියා කාව හෝ තෝරා නොගෙන සිටිය හැකිද? ජනතාව ඒ මොහොතේ එයට විසඳුම් ගනු ඇත. එය 2015දී මෙන් සිවිල් පොරවල් කියන නිසා නම් නොවනු ඇත. 2015න් පසු දේශපාලන චරිත මෙන්ම සිවිල් ක්‍රියාධාරීන් යැයි පුරවැසි නියෝජනයන් යැයි කියා සිතා සිටි සැමද පච විය. ඒ අයට හෙටක් නැත. කරු වෙනුවට දෙබල වල් හෝ ඉතිරි වේදැයි සැකසහිතය. මේ මොහොත මහා භයංකාර යැයි සිතුවට එසේ නැත. දැන් අවුල වී ඇත්තේ හොඳට හෝ නරකට එකක් නැතිකමය. අගමැති ජනපති දෙකක් වී ඇතිකමය. මුලින්ම එය විසඳා ගත යුතුය. ජනාධිපතිවරණයත් සමග එය විසඳෙනු ඇත. එසේ සිතිය හැකිය.