ජාතිවාදී සහ වර්ගවාදී දේශපාලන නිවුන්නු : බොරිස් ජොන්සන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප්

ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි

ලෝක දේශපාලනය ජාතිවාදී සහ වර්ගවාදී දේශපාලනයට පිවිසීමේ නව රැල්ල තවදුරටත් තහවුරු කරමින් බි්‍රතාන්‍යයේ අන්ත දක්ෂිණාංශිකයින් විසින් බි්‍රතාන්‍යයේ හිටපු අගමැතිනිය වූ තෙරේසා මේගේ (ඔයැරුි් ඵ්හ) ‘ලිහිල්’නැතිනම් නම්‍යශිලී Brexist පරාජය වීමෙන් පසු ඈ ඉල්ලා අස්වූවාය. ඉන්පසු දියත්වූ කොන්සර්වේටිව පක්‍ෂයේ නායකත්ව තරගයෙන් පසු බි්‍රතාන්‍යයේ අගමැති ලෙස පසුගිය 23 වෙනි දින පත්වූයේ බොරිස් ජොන්සන්ය. බොර්ස් ජොන්සන් වර්ගවාදී සහ ජාතිවාදී දේශපාලන කක්ෂයට අලුතින්ම ඇතුල්වූ ග්‍රහයාය. ඔහුගේ ස්ථානයට සමීපව සිටින අනෙක් තරමක් විශාල ග්‍රහයා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය. ඔහු ජාතිවාදී දේශපාලන ග්‍රහපථයට ඇතුළු වූයේ ජොන්සන්ට පෙර 2016දීය. එහෙත් ජොන්සන් ට්‍රම්ප්ට වසර දහයකට පමණ පෙර වර්ගවාදී සහ ජාතිවාදී ග්‍රහ ලක්ෂණ පෙන්නුම් කර තිබිණ.

ට්‍රම්ප් මෙන්ම බි්‍රතාන්‍යයේ නව අගමැති බොරිස් ජොන්සන් ද එරට තුළ භේදකාරී චරිතයකි. එයට ප්‍රධාන හේතුවක් වනුයේ අන්‍ය ජාතීන් පිළිබඳව ඔහු දරන වර්ගවාදී දෘෂ්ටිවාදී ස්ථාවරයයි. ජොන්සන් හිටපු විදේශීය ඇමති වූ අතර එම තනතුර දරමින් බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වී ස්වාධීන විය යුතුයි යන ස්ථාවරය  (Brexist) ශක්තිමත් කරමින් කරන ලද ප්‍රකාශන වලින් සහ හැසිරුණු ආකාරයෙන් ඇමරිකානු ප්‍රභවයකින් යුක්තවූවද ඔහු බොරිස් ජොන්සන් නමැති මිනිසාට වඩා ඔහු තුළ වර්ගවාදියෙකු සිටින බව ඔහු විසින්ම පෙන්වාදුන් බවට සාධක එමට ඇත. ඔහු පුවත්පත් සංස්කාරකවරයෙකු වශයෙන් කටයුතු කළ සමයේ ඔහුගේ ‘සුදු හම’ සහ වර්ගවාදී ලේඛන කලාව බෙහෙවින් ඉස්මතුව තිබිණ. ඔහු විසින් 2002දී අප්‍රිකාවේදී කරන ලද ප්‍රකාශනයන්ගෙන් මෙය පෙනේ. පසුව 2008 ලන්ඩන් නගරාධිපති මැතිවරණයේදී ඔහු අප්‍රිකා සංචාරයකදී කරන ලද වර්ගවාදී ප්‍රකාශයන්ට කළු ජාතිකයින්ගෙන් සමාව යදින්නටද සිදුවිය. ඔහුගේ ප්‍රතිගාමී සහ ජාතිවාදී ප්‍රකාශ අතර කැපී පෙනෙන කිහිපයක් මෙසේය.

“අප්‍රිකානු මහාද්වීපය ඇත්තෙන්ම අපේ හෘදය සාක්‍ෂියට අපකීර්තියක් ගෙනා බව සහ එය ලපයක් වූ බව සත්‍යයකි. ගැටලුව වනුයේ කලක් අප එය පාලනය කිරීම නොව අද එහි පාලනය අපට නැතිවීමයි –ජොන්සන්“

“අප්‍රිකාව අවුලක් මුත් ඒ සඳහා අපට යටත්විජිතවාදයට දොස් පැවරිය නොහැකිය.”
නෙල්සන් මැන්ඩෙලාගේ ලිපි සහ දේශපාලන දෙසුම් සහ අප්‍රිකාවේ දකුණු නිදහස් ව්‍යාපාරයේ කළ කී දෑවලින් ජොන්සන්ගේ ඉහත ප්‍රකාශය සහ යටත් විජිතවාදයට සුදුහුණු ගෑමේ ව්‍යපාරය කීවාරයක් නම් ප්‍රතික්ෂේප වේද? ප්‍රතික්ෂේප කළ හැකිද?

“ආධාර වලින් යැපීමට ඉල්ලන මෙවැන්නන්ගෙන් පපුව උණු නොවීමට නම් ගල් පපුවක් තිබිය යුතුය.”
ඒඞ්ස් වැලඳුණු ළමයි සමූහයක් අප්‍රිකාවේදී ඔහුව පිළිගනු ලැබූ අවස්ථාවේ ඔහු ඔවුන් පිළිබඳව කළ විග්‍රහය ව්‍යංග වර්ගවාදී එකක් විය.

ඔහුගේ වර්ගවාදී ප්‍රකාශ සහ චර්යාව නිසා අප්‍රිකානු මහාද්වීපය තුළ ඔහු පිළිබඳව ප්‍රශාංසමක හැඟීමක් නොතිබිණි. ඔහු කීනියාවේ කළ නිල සංචාරයකදී සිදුවූ දෙයින් ජොන්සන් පිළිබඳව ඔවුන්ට ඇති අප්‍රසාදය කුමක්දැයි පෙනේ. කීනියා ජනාධිපති ඌරුයි කිනියාටා සහ ඔහු අතර පැවති ද්වීපාක්ෂික හමුවේදී කිනියාටා ට ජොන්සන්ගේ නම අමතක විය. ඔහු ජොන්සන්ව හැඳින්වූයේ ‘අර බයිසිකල් හාදයා’ (The bicycle Guy) ලෙසය. කීනියාටාගේ මෙම අමතකවීම තෙර්ැම් ගත හැක්කේ සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් හරහාය. ෆ්‍රොයිඞ් අවධාරණය කොට තිබුණේ කෙනෙකු යමක් හෝ යමෙක් අප්‍රිය කරන්නේ නම්, එනම් කැමැති නැතිනම් එම දෙයෙහි නම හෝ එම කෙනාගේ නම මතකයේ නොරඳන බවයි. කීනියාටා සිදුවුයේ මෙයයි.

තෙරේසා මේගේ ලිහිල් ( Brexist ) ප්‍රතිපත්තිය දැැඩිව විචේචනය කරමින් ඇය විසින් ගෙන ආ සියලු විකල්ප යෝජනාවන් පරාජය කිරීම පිටුපස සිටියේද අන්තවාදී කොන්සර්වේටියානුවෙකුවූ නූතන අගමැති බොරිස් ජොන්සන්ය. ප්‍රජාතන්ත්‍රවාදයේ නිජභූමිය වන බි්‍රතාන්‍යයේ/එංගලන්තයේ අද නායකත්වයට පත්ව ඇත්තේ ප්‍රතිගාමී දේශපාලනඥයෙක් සහ වර්ගවාදියෙකි. ජොන්සන්ගේ මේ හැසිරීම නිසා ඔහු සහ ට්‍රම්ප් අතර කැපී පෙනෙන සමානකම් දැකිය හැකිය. ඒවා අතරින් තෝරාගත් කිහිපයක් නම්:
1. දෙදෙනාම ජාතිවාදී/වර්ගවාදී ස්ථාවරයේ දෘඪ ලෙස සිටීම.

2. දෙදෙනාටම ඇමරිකානු ප්‍රභවයක් තිබීම

3. දෙදෙනාම සුදු-සුපිරිත්වය (white supremacy) නැතිනම් ‘සුදු ශ්‍රේෂ්ඨත්වය’ පිළිගැනීම

ජොන්සන් බි්‍රතාන්‍යයේ අගමැතිවීමට පෙර සිටම පාහේ ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ සමානකම් පෙන්නුම් කළ බව ජොන්සන් අප්‍රිකාව පිළිබඳව ඉහත දැක්වු අදහස් දෙස බලන කල පෙනේ. ට්‍රම්ප් ජනාධිපතිවීමට පෙර සිය මැතිවරණ ව්‍යපාරයේදී ඔබාමාගේ කළු ප්‍රභවය භාවය ඉස්මතු කොට දැැක්වීමක් ඔබාමාට පරිභව කිරීමත්, මේ ලියන මොහොත වනවිට අප්‍රිකානු ඇමරිකානුවන් එල්ල කරගෙන කරනු ලබන ජාති සහ වර්ගවාදී ප්‍රකාශ පිළිබඳව ඔහුට එරෙහිව ජන මාත්‍රයක් දියත්ව ඇත. එම නිසාම බොරිස් ‘බි්‍රතාන්‍යයේ ට්‍රම්ප්’ ලෙස හඳුන්වා දිය හැකි අතර ජොන්සන් ට්‍රම්ප්ගේ අඩිපාරේ යාමට තීරණය කළේ බ්‍රසල්ස් සම්මුතියෙන් ඉවත්ව Brexist  යෝජනාව මල්ඵල ගැන්වීමට දැඩි ආයාසයකින් කටයුතු කළ සමයේ සිටය.

ට්‍රම්ප් බලයට ආවේත්, බලයේ සිටිමිනුත් ප්‍රදර්ශනය කළේ තමන් ඇමරිකානු ආර්ථික ජාතිවාදියෙකු බවය. (American Economic Nationalist) . ඔහු එය පුන පුනා අවධාරණය කළා පමණක් නොව 2020 මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨයද කරගෙන ඇත්තේද මෙයයි. අනික් අතට ජොන්සන් ‘යුරෝපා සංගමයෙන් බි්‍රතාන්‍යය ඉවත්කරගෙන’ (Brexist) තම රටට ගැළපෙන ආර්ථික ව්‍යුහයක් ගොඩනැඟීමට ගත් වෙහෙස සහ දැන් ඔහු අගමැති හෙයින් සිය ආර්ථික ප්‍රතිපත්තිය ලෙස දියත් කිරීමට ඉටාගෙන ඇත්තේ බි්‍රතාන්‍යය කිරීටයට අයිතිව තිබී දැන් නිදහස්ව ඇති පොදු රාජ්‍ය මණ්ඩල රටවල් සමඟ ආර්ථික සම්බන්ධය පවත්වා ගැනීමට නිසා ඔහුගේ ස්ථාවරය ට්‍රම්ප්ගෙන් වෙනස් නොවේ. පොදුරාජ්‍ය මණ්ඩලය ඉදිකළේම බි්‍රතාන්‍යයේ නැතිවී ගිය ප්‍රෞඩත්වය වාර්ෂික රැස්වීම්වලින් හෝ වෙනත් මාර්ගවලින් නොනැසී පවත්වාගෙන යමින් සංකේත තෘප්තියක් ගැනීමටය. ඉංග්‍රීසි ජාතිය තුළ යටත්විජීතවාදී පහන දොළොස් මහේම නොනිවා දැල්වෙන බව ඒත්තු ගැන්වීමටය. මේනිසා මෙයට සමපාත වෙමින් බොරිස් ජොන්සන්ගේ වෑයම එක අතකින් ඔහුම ජාතිවාදී සහ වර්ගවාදී වෙන අතර සමස්ථ බි්‍රතාන්‍යය ජනතාවද එම කුලකයට ඇතුළත් කර ගන්නා ගමන් අභාවයට ගිය යටත්විජිතවාදී මානසිකත්වයට ආර්ථික ප්‍රතිපත්තිය හරහා නැවත පණදීමටය. ට්‍රම්ප් සහ ජොන්සන් යන දෙදෙනාම ජාතිවාදයේ නව රූපය වන ආර්ථික ජාතිවාදයේ නියෝජිතයින්ය.

පසුගිය 14 වෙනිදින The Guardian  පුවත්පත අනාවරණය කළ පරිදි දෙදෙනාගේ තවත් සමානකම් කිහිපයක් ඇත. ඒවා පෞද්ගලික ලෙස බැහැර කළ නොහැක්කේ මොවුන් දෙදෙනාම ජනනායකයින් වන හෙයිනි. රටවල් දෙකක් නියෝජනයකරන දේශපාලන ප්‍රතිරූපවන හෙයිනි. දෙදෙනාම එකසේ ‘කටහැකරය’. දෙදෙනාම කුඩා දරුවන් ලෙස හැසිරෙන ලොකු මිනිසුන්ය අනාචාරයේ යෙදීම පිළිබඳවද ‘හො`ඳ ඉතිහාසයක් දෙදෙනාටම ඇත: දෙදෙනාටම ‘පිම්බුණු‘ අහංභවයක්’ (ego) ඇති බව දෙදෙනාම වාර ගණනාවකදීම පෙන්වාදී ඇත: (ට්‍රම්ප් ගේ අහංභවය ජෝන්සන්ට වඩා විශාල බව ඔහු කළ ප්‍රකාශවලින් තහවුරුව ඇත). දෙදෙනාම සමලිංගිකභීතිකාවේත් (homophobiatic), වර්ගවාදයේත්  (racism), ස්ත්‍රීනිග්‍රහයේත් (sexism) විශේෂයෙන් ට්‍රම්ප් සම්බන්ධයෙන් ගත් කල ස්ත්‍රීවිරෝධයේත් (misogyny) සම්මිශ්‍රණයක් ලෙසද දැකිය හැකිය.
ට්‍රම්ප්ගේ වර්ගවාදය

බොරිස් ජොන්සන් වර්ගවාදී ප්‍රකාශ සහ ලියවිලි මුදාහැරි වර්ගවාදියෙකු වූ බව ඉහත කරුණු වලින් පැහැදිලිය. ට්‍රම්ප් (එනම් ජොන්සන්ගේ සමානයා හෙවත් නිවුන් සහෝදරයා) ඇමරිකානු සුදු ජාතිවාදියෙකි. දැඩි වර්ගවාදියෙකි. ඒ බව විවෘතවම පෙන්වීම නිර්භීතකමක් ලෙස හුවාදැක්වීමට වුවද නොපැකිළෙන්නෙකි. මෑත ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ ට්‍රම්ප් තරම් මෙම මානසිකත්වයේ සිටි ජනාධිපතිවරයෙකු නොවිය. සාක්ෂි රාශියක් ඇතිමුත් කැපීපෙනෙන කිහිපයක් මෙසේය.

1. හිටපු ජනාධිපති බැරක් ඔබාමාට ඇමරිකානු ජන්මයක් නැති බවත් ඔහු කළු ජාතික කීනියානුවෙකු බවත් ද්වේශ සහගතව සහ අපහාසාත්මකව පළකිරීම

2. ඔබාමාගේ ඇමරිකානු උත්පත්තිය සාක්ෂි සහිතව ඔප්පු වුවද ට්‍රම්ප් අද වන තෙක් ඒ සම්බන්ධයෙන් සමාව ගැනීමක් හෝ කනගාටුව පළකිරීමක් හෝ කර නැත. (බොරිස් ජොන්සන් නම් කළු ජාතියට කරන ලද ‘කටහැකර’ අපහාසාත්මක ප්‍රකාශයන්ට සමාව ඉල්ලූ අවස්ථා ඇත. 2008දී). ට්‍රම්ප් එසේ නොකළා පමණක් නොව එවන් වර්ගවාදී ප්‍රකාශ පුනා පුනා මුදාහැරියේ ඔහුගේ දඩබ්බරකමත්, නොමේරූකමත් සහ විශේෂයෙන් වර්ගවාදී සුදු ඇමරිකානුවන් සතුටු කිරීමටය. 2016 ඔහු බලයට පත්වූයේද ජාතිවාදී සහ වර්ගවාදී තුරුම්පුවල පිහිටෙනි.

3. නොබෝදා ජනතා ජන්දයෙන් පත්ව ආ කොංග්‍රස් මණ්ඩලයේ ක`ළු ජාතික මන්ත්‍රීවරියන් 4 දෙනෙකුට තමන්ගේ ‘දූෂිත’ (corrupt) නිජහූමියට යන්නැයි වරක් නොව දෙවරක් අවධාරණය කිරීම සහ ඔහු තවමත් එම ආස්ථානයේම සිටීම. ඔහුගේ දෘඪ කළු ජාතික විරෝධය දෙගුණ කරමින් ඔහු ඇ.එ. ජනපදයේ කොංග්‍රස් මණ්ඩලයේ කතානායිකාව වන Nancy Pelocy  ගෙන් ඉල්ලා සිටියේ ‘ ගමන් වියදම් ඇමරිකාව දරා හෝ ඔවුන්ට තම ගම රටවල් බලා යාමට සැලැස්විය’ යුතු බවය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිද මේ හා සමාන ජාතිවාදී ප්‍රකාශයක් කරමින් ‘සියලුම මුස්ලිම්වරු ඉන්දියාවෙන් යා යුතු බවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ට්‍රම්ප්ට ‘ඇමරිකා පළමුව’ මෙන් මෝදිට ද ‘හින්දුන් පළමුව.’ එසේම ජොන්සන්ට Brexist පළමුව. මේ සියල්ලම අද දේශපාලනය යන දිශාව පෙන්වන මාළිමා යන්ත්‍රයන්ය. ජාතිවාදය නමැති රෝගයට දේශයක්, ජන්මයක් හෝ ආගමක් නැත. ඇත්තේ අමනුෂ්‍ය හදවතක් සහ හිස් ඔළුවක් සහ මාන්නාධික මානසිකත්වයක් පමණි. භාරතීය මෝදි, බි්‍රතාන්‍යයානු බොරිස් ජොන්සන් සහ ඇමරිකානු ට්‍රම්ප් ආදීන්ට එකට එකතුවිය හැකි එකම ලක්ෂය මෙයයි). එහෙත් මානවවාදී දේශපාලනය ඇත්තේ මෙම ලක්ෂයේ නොවේ. මින් පිටතය.

4. Central Park 5  වශයෙන් හඳුන්වනුයේ කළු ජාතික තරුණයන් 4 දෙනෙකු සහ ලතීනියානු තරුණයෙකි. ස්ත්‍රී දූෂණ නඩුවකට මොවුන් පැටලුණු මුත් උසාවිය ඔවුන්ව නිදහස් කළමුත් නඩුව ඇසෙන අතරවාරයේ ඩොලර් 85000ක පුවත්පත් දැන්වීම්වලට වැය කරමින් ජනමතයක් ගොඩනැගුවේත් තීන්දුවෙන් පසුවත් ට්‍රම්ප් ඉල්ලා සිටියේත් මෙම තරුණයින්ට මරණ දණ්ඩනය දිය යුතු බවටය. මෙයින් ට්‍රම්ප්ගේ ජාතිවාදයේ ත්‍රිමානය දැකිය හැකිය.

5. එක ස්ථාවරයක ගුරුත්වාකර්ෂණය විය නොහැකි බව චර්යාවෙන් සහ කතාවෙන් පෙන්වූ ට්‍රම්ප් (අහම්බෙන්දෝ) වරෙක මෙසේ කීය. ‘මගේ ශරීරයේ වර්ගවාදී අස්ථීන් නැත.” එහෙත් ඉහත කරුණු ස්වල්පය ඔහුගේ මේ ප්‍රකාශය අසත්‍ය කර ඇත. ඇරත් ඔහුගේ පහත පාපෝච්චාරණය ඔහුගේම ඉහත ප්‍රකාශය ස්වයං-විසංවාදී කර ඇත. “මට (කල්ලන්) කළු ජාතිකයින් පේන්න බැහැ. මට ආසියාතිකයින් මෙන්ම ස්පාඤ්ඤයින්ද පේන්න බැහැ.” ට්‍රම්ප්ට මුස්ලිම් ජාතිකයින් පේන්න බැරි බවද ප්‍රසිද්ධ රහසකි. (වෙළෙඳ වාසි සහ ගනුදෙනු නිසා සව්දි අරාබිය හැර). මෙක්ෂිකෝව ද ඔහුගේ ‘ජරා’ ‘දුගඳ’ (smelly, shitty) රටවල් ලැයිස්තුවේ රටක් හෙයින් ට්‍රම්ප්ට මෙක්සිකානුවන්ද ‘අරහංය.’ ඇත්තටම ට්‍රම්ප් ප්‍රිය කරන එකම ජාතිය ඇමරිකානුවන්ය. එහෙත් සියල්ලමත් නොව සුදු ඇමරිකානුවන්ය.

මෙම කෙටි ලිපිය ගෝලීය දේශපාලනයේ දිශානතිය පෙන්වන අතර ප්‍රජාතන්ත්‍රවාදයට ඇති අභියෝගයද නිර්වචනය කරයි. එසේම ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතිවාදයන් සහ ගෝත්‍රික වර්ගවාදයන්ගේ නැවත මතුවීමේ ලක්ෂණයද මෙම දේශපාලන ප්‍රපංචයන් අපට පෙන්වා දෙයි. ශ්‍රී ලාංකික දේශපාලනයද ඍජුව සහ වක්‍රව ජාතිවාදී වී ඇත. නරේන්ද්‍ර මෝදිගේ දෙවෙන පදවි ප්‍රාප්තියට මෛත්‍රීපාල සුභපැතුවේත්, අගමැති රනිල් සුභ පැතුම් පණිවිඩ යැවුවේත්, ඊශ්‍රායලයේ ජාතිවාදී නෙතන්යාහුගේ ජයග්‍රහණයට අපේ රාජ්‍ය නායකයින් සුභපැතුම් පණිවිඩ හැරියේත්, 24 වෙනිදා ජනාධිපති මෛත්‍රී සහ අගමැති රනිල් බොරිස් ජොන්සන්ට සුභ පැතුම් හැරියේත්, රාජ්‍ය පාලන සාරධර්මයක් ඉටු කිරීමක් ලෙසය යන්න බාරගැනීමට තරම් ඔළුවේ ආබාධයක් මටවත් ශ්‍රී ලාංකික ජනතාවටත් නැත. අප සොයා තේරුම් ගනුයේ නොකියැවුණු දෙය මිස කියන හෝ කියැවෙන දෙය නොවේ. ‘එකම පිහාටු සහිත කුරුල්ලෝ එකම ගසක වසනුයේ සහජයෙනි (instinctually). එහෙත් එකම පිහාටු සහිත දේශපාලන කුරුල්ලෝ ජාතිවාදී සහ වර්ගවාදී ගස්වල වහනුයේ පූර්ණ වශයෙන් සවිඥාණිකව සහ අවස්ථාවාදීවය.’ බොරිස් ජොන්සන්ගෙන් සහ ට්‍රම්ප්ගෙන් අප ඉගෙන ගතයුතු පාඩම මෙයයි. හේතුව ඒ දෙදෙනාම ජාතිවාදී සහ වර්ගවාදී කුරුල්ලෝ බැවිනි.