UN නියෝජිත විනිසුරුවන් හමුවීම වළක්වන්න කතානායකට බලයක් නැහැ – නිහාල් ජයවික්‍රම

ප්‍රාප්ති පැටිකිරි කෝරාළ

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් ලෙස සිටියදී එහි විශේෂ නියෝජිතයකුට අගවිනිසුරු හෝ මහාධිකරණ විනිසුරුවරුන් හමුවීම, වැළැක්වීමට කතානායකවරයාට හෝ පාර්ලිමේන්තුවට කිසිදු නීතිමය බලයක් නොමැති බව, අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, ‘නිදහසේ එකිනෙකා ඇසුරු කිරීමේ සහ සාමකාමීව එක්රැස්වීමේ අයිතිවාසිකම්’ පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු (Special Rapporteur on the freedom of assembly and of association) ක්ලෙමන්ට් නියලෙට්සෝයි වොල්, (Clement Nyaletsossi Voule) මෙරට අධිකරණ විනිසුරුවරුන් හමුවීම වළක්වාලමින් කතානායකවරයා කටයුතු කිරීම පිළිබඳ අදහස් පළකරමිනි. විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර, පසුව එම අමාත්‍යාංශය කරන ආරාධනයකින් තොරව ජගත් සංවිධානයේ මෙවැනි නියෝජිතයකු මෙරටට නොපැමිණෙන බවත්, මෙසේ විනිසුරුවරුන් හමුවීම වැළැක්වීම, එම නියෝජිතයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට දන්වනු ඇති බවත් ඔහු පැවසීය.
කතානායකවරයාගේ දැනුම්දීමෙන් පසු අගවිනිසුරු විසින්, එම නියෝජිතයා, මහාධිකරණ විනිසුරුවරුන් හමුවීම වැළැක්වූ අතර අගවිනිසුරු පමණක් ඔහුව හමුවී තිබේ. අගවිනිසුරුවරයා, මෙසේ මහාධිකරණ විනිසුරුවරුන් වැළැක්වීමද නොකළ යුත්තක් බව ආචාර්ය ජයවික්‍රම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙවැනි සාකච්ඡාවකදී එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් විමසන්නේ, එම සංවිධානය වෙත පැමිණිලි ලෙස ලැබී ඇති සිද්ධීන් ගැන මිස, අධිකරණයේ විභාග වන නඩු ගැන හෝ තීන්දු ගැන නොවන බවද ඔහු පැවසීය. මෙවැනි හමුවකට බියවන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බවත්, තමන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස සිටින විටත් මෙවැනි නියෝජිතයන් පැමිණි බවත් ඔහු කීය.

මෙම හමුවීම පිළිබඳ අධිකරණ සේවා කොමිසම, විනිසුරුවන් වෙත නිකුත් කළ ලිපිය විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතට පත්වූයේ කෙසේද යන්න අධිකරණය ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ. මෙම හමුවේදී රතුපස්වල සිද්ධිය, වැලිකඩ සිරකරු ඝාතන, රොෂේන් චානක ඝාතනය පිළිබඳ අවධානය යොමු කළ හැකි බව, විදේශ අමාත්‍යාංශය, අගවිනිසුරුට දන්වා තිබූ අතර මේ පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක්, විදේශ අමාත්‍යවරයා බ්‍රහස්පතින්දා (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ■