අහස් ගව්වට ළංවී අහසින් පොළොවට පැමිණි ඩොනල්ඞ්

සුලෝචන වික්‍රමසිංහ

සිනමා කැමරාකරුවකුට ඇත්තේ අවාචික සන්නිවේදනයකි. එය තනිකම රූපය මත පදනම් වේ. එහෙයින් තිර රචනයෙහි ඇති ගැඹුර සූක්ෂ්ම ලෙස වටහා ගැනීමට ඔහුට ශක්තිය තිබිය යුතුය. තිර රචනයෙහි දෙබස් හරහා මතුවන වාචික සන්නිවේදනයෙහි ඇති අනුභූතික තත්ත්වයන් තුළ මතුවන අනුභූතික නොවන හැඟීම් සමුදායක් ඔහුගේ කැමරාවට නිසි ලෙස හසුවිය යුතුය. නොඑසේ නම් ප්‍රේක්ෂකයා අභිමුව මැවී යනුයේ හුදු රූප පෙළක් විනා ජීවමය ගුණය පිරිපුන් සිනමාත්මක රූප පෙළහරක් නොවේ. එහෙත් මෙම නිර්මාණාත්මක පරිකල්පනය සෑම කැමරාකරුවකු හටම එක ලෙස පිහිටන්නේ නැත. යම් චිත්‍රපට කැමරාකරුවකුට එම ගති ලක්ෂණය පිහිටයි නම් ඔහු නිර්මාණශීලී කැමරා අධ්‍යක්ෂවරයකු බවට පත්වීම නොවැළැක්විය හැකිය. ඩොනල්ඞ් කරුණාරත්න යනු එවැනි නිර්මාණශීලී පරිකල්පනයෙන් සන්නද්ධ කැමරාකරුවෙකි. එය ලාංකික සිනමා ඉතිහාසය විසින් පැහැදිලි ලෙසට ප්‍රත්‍යක්ෂ කොට ඇති කාරණයකි. කළු සුදු චිත්‍රපටය ගත්තද වර්ණ චිත්‍රපටය ගත්තද ඩොනල්ඞ් ඒ සෑම තැනකම සාර්ථක වී ඇත. ඔහු අනිකුත් කැමරාකරුවන් අතරෙහි සුවිශේෂ වන්නේ එහෙයිනි. එහෙත් මෙවැනි නිර්මාණාත්මක මිනිසුන්ගේ අගය අපට දැනෙන්නේ නැත. ඔවුන්ගේ සේවය නිසි ඇගැයුමට ලක්වන්නේ නැත. ඔවුන් සදාකල්හිම රැඳී පවතිනුයේ සාමාන්‍ය ප්‍රේක්ෂක හදවත් තුළ පමණි. එයද අපගේ පරම්පරාව සමග මිය ඇදීමට නියමිතය. එවැනි මොහොතක අනාගතය වෙනුවෙන් සිදුකරන ලද වැදගත් ආයෝජනයක් ලෙස ජීවන්ත දයානන්ද හා ප්‍රසන්න පරණවිදාන විසින් පළකොට ඇති, ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රකාශනයක් ලෙසින් බිහිව ඇති ‘ඩොනල්ඞ්’ අසිරිමත් සිනමා රූපාවලිය කෘතිය හඳුනාගත හැක. මෙය ඩොනල්ඞ් කරුණාරත්නගේ නිර්මාණ භාවිතය පිළිබඳ කෙසේවත් ප්‍රමාණාත්මක ග්‍රන්ථයක් නොවේ. එහෙත් කිසිදු කතාබහක් නොකෙරෙන වටපිටාව තුළ මොවුන් දෙදෙනා විසින් ගෙන ඇති උත්සාහය අගය කළ යුතුය.

ඩොනල්ඞ්ගේ මුල්කාලීන තොරතුරු මෙන්ම නර්තන ශිල්පියෙකු වීමේ වුවමනාවෙන් කොළඹ හේවුඞ් ආයතනයට බැඳීම හා ඉන් අනතුරුව සෙරන්ඩිබ් චිත්‍රපට ආයතනයට සම්බන්ධවීම යන මූලික කාරණා ජීවන්ත දයානන්ද විසින් රචනා කොට ඇති ඔහු එදා තාප්පයෙන් පැන නොගියේ නම් ලිපියෙහි අන්තර්ගත වේ. එහි සමහර කරුණු කාරණා අප මෙතෙක් නොදත් දේය. අප ප්‍රිය කරන මිනිසකුගේ අතීත තොරතුරු දැනගැනීමට අප කැමතිය. මන්ද ඕනෑම නිර්මාණකරුවකුගේ වර්තමානය තම අතීත හැඩරුවේ ප්‍රකාශනයක් වන බැවිනි. එමෙන්ම එවක ප්‍රචලිත වූ යුරෝපීය සිනමාවෙහි සම්භාව්‍ය කෘති නැරඹීමට ඔහුගේ තිබූ නොනිත් ආශාව මෙන්ම ඔහු කැමරාව මෙහෙය වූ විවිධ චිත්‍රපට සම්බන්ධයෙන් ඔහු පළ කරන අදහස් ද උක්ත ලිපියට අන්තර්ගත වේ. ඩොනල්ඞ් කරුණාරත්න නම් නිර්මාණශීලී මිනිසා සුමිත්ත අමරසිංහ යන අතිශය සියුම් නිර්මාණවේදියා ඇසුරෙහි බිහිවෙන්නෙකි. සුමිත්ත අමරසිංහ යනු ද ලාංකික සිනමාවේ සිනමාත්මක රූපය කිසිදු අනවශ්‍ය වෙහෙසකින් තොරව ප්‍රේක්ෂකයාට රසවිඳීමට මංපෙත් පෑදූ නිර්මාණශීලී කැමරාකරුවෙකි. රූපයෙහි ඇති ගැඹුර මෙන්ම එහි ඇති විචිත්‍රත්වයද, සරලත්වයද සුමිත්තගේ කැමරා කෝණ හරහා බිහිවූයේ ප්‍රේක්ෂක මනස සුවපත් කරවමිනි. එවැනි පිරිපුන් කැමරාකරුවකු ඇසුරෙහි බිහිවීම ඩොනල්ඞ්ගේ පරිකල්පන ලෝකය පුළුල්වීමට හේතු වූවා පමණක් නොව, සිනමා ලෝකය තුළ ඔහුට ස්ථාවර වීමට ලද අවස්ථාවක් ද විය.
ධර්මසේන පතිරාජ හා ඩොනල්ඞ් කරුණාරත්න අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. පතිරාජ ඩොනල්ඞ්ගේ ගමන් ගමට ආලෝකයක් වූයේ යම් සේ ද පතිරාජගේ සිනමාත්මක රූපයට ඩොනල්ඞ්ගෙන් ලැබුණු ආලෝකය ද විශාලය. ‘අහස් ගව්ව’, ‘සතුරෝ’ යන පතීගේ මුල්කාලීන වෘතාන්ත හා කෙටි චිත්‍රපටය ඇතුළු සිනමා නිර්මාණ බහුතරයකගේ කැමරාව මෙහෙයවන ඩොනල්ඞ් පතිරාජගේ ‘ස්වරූප’ වෙනුවෙන් බිහිකරන රූප මාලාව නිර්මාණාත්මක වශයෙන් මෙන්ම තාක්ෂණික වශයෙන් ද ඉතා ප්‍රබලය. පතීගේ ‘අහස් ගව්ව’, ‘බඹරු ඇවිත්’ වැනි සිනමාපට කිසිදිනක ප්‍රේක්ෂක මනසින් ගිලිහී නොයාමට තුඩු දුන් ප්‍රධාන කරුණක් වශයෙන් ඩොනල්ඞ්ගේ රූප නිර්මාණය හැඳින්විය හැක. “ඩොනල්ඞ් මගේ සිනමාවේ වැදගත් භූමිකාවක් රඟපෑ බව දැන් දැනෙනවා” යනුවෙන් ධර්මසේන පතිරාජගේ අදහස් දැක්වීම එහි දෙවන ලිපියෙන් ඉස්මතු වේ. එහෙත් ඩොනල්ඞ් හා පතිරාජ සබැඳියාවේ ගැඹුරු ආස්ථානයන් ප්‍රමාණවත් පරිදි එම ලිපිය තුළින් පාඨකයාට නොලැබේ.

‘දඩයම’ වූ කලි වසන්ත ඔබේසේකරගේ ද, ඩොනල්ඞ් කරුණාරත්නගේ ද වැදගත් සන්ධිස්ථානයකි. චිත්‍රපටකරුවකු වශයෙන් වසන්ත ඔබේසේකර සතු හැකියාවද, කැමරා ශිල්පියකු වශයෙන් ඩොනල්ඞ් සතු තාක්ෂණික හා කලාත්මක ඥානය ද පිරිපුන් සිනමාරූපී දර්ශකයක් මැවීමෙහිලා ඔහු සතු හැකියාවද ‘දඩයම’ මනා ලෙස ස්ඵුට කරවයි. ඒ සම්බන්ධව ඩොනල්ඞ් දක්වන අදහස් වැදගත්ය. එමෙන්ම ‘දඩයම කියන්නෙ මාරාන්තික කතාවක්’ යන ලිපියෙහි ඩොනල්ඞ් විසින් වසන්ත ඔබේසේකරයන් සම්බන්ධව පවසන අදහස් ද වැදගත්ය. සැබැවින් ‘දඩයම’ බිහිවීමත් සමගම ඩොනල්ඞ් කරුණාරත්න නම් නිර්මාණශීලී කැමරාකරුවාගේ දක්ෂතාව මුළු රටම හඳුනාගත් අතර එම චිත්‍රපටය සමගම වසන්තගේ නාමය මෙන්ම ඩොනල්ඞ්ගේ නාමයද මෙරට සිනමාවෙහි නොමැකෙන ලෙස සටහන් විය.

“ඩොනල්ඞ් ගැන මගේ මතකය” යන ලිපිය ප්‍රසන්න පරණවිදානගේ මතක සටහන් ඇසුරෙහි බිහිවන්නකි. උක්ත ලිපිය තුළ ඔහු ‘මලට නොඑන බඹරු’ චිත්‍රපටය හා ‘ගොළු මුහුදේ කුණාටුවක්’ යන චිත්‍රපටවලට වැඩි අවධානයක් යොමු කරනු ලබයි. සැබැවින්ම ‘මලට නොඑන බඹරු’ චිත්‍රපටය ඩොනල්ඞ්ගේ කළු සුදු චිත්‍රපට අතර ඉදිරියෙන්ම තිබෙන චිත්‍රපටයකි.

‘ගඟ අද්දර’ චිත්‍රපටය වර්ණ සිනාමාත්මක කාව්‍යයක් බවට පත්වූයේ ඩොනල්ඞ්ගේ කැමරාකරණය සතු ශක්‍යතාවයෙහි ප්‍රතිඵලයක් ලෙස බව එය නැරඹූ ඕනෑම ප්‍රේක්ෂකයකුට දැනෙන කාරණයකි. සුමිත්‍රා පීරිස්ගේ අධ්‍යක්ෂණය යටතේ ඩොනල්ඞ් එම චිත්‍රපටය වෙනුවෙන් බිහිකරන ලද රූප සමුදාය විචිත්‍ර වර්ණයෙන් සමලංකෘතය. එය එකල ප්‍රේක්ෂකයන්ට විස්මයජනක දෙයක් විය. එතැන් පටන් ‘යහළු යෙහෙළි’, ‘මායා’, ‘සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා’ යන සුමිත්‍රා පීරිස්ගේ අනිකුත් චිත්‍රපටවලද කැමරාකරුවා වීමට ඩොනල්ඞ්ට අවස්ථාව ලැබුණි. තුසිත ජයසුන්දර, සුමිත්‍රා, ඩොනල්ඞ් සමග ගඟ අද්දරින් ඔබ්බට’ යන ලිපිය තුළින් සාකච්ඡා කරනුයේ එම වගතුගය. ඒ හැරුණු විට අනෙකුත් චිත්‍රපටකරුවන්ගේ චිත්‍රපට වෙනුවෙන් ඩොනල්ඞ් ලබා දුන් සහයෝගයද ඔහු සාකච්ඡා කරයි.

“සිතිවිලි කියවීමෙහි යතුරක් බඳු අහසින් පොළොවට හි රූප රිද්මය’ යන මාතෘකාව යටතේ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි කළු සුදු චිත්‍රපටයත් වූ ‘අහසින් පොළොවට’ චිත්‍රපටය වෙනුවෙන් ඩොනල්ඞ් විසින් නිර්මාණය කරන ලද රූප පෙළහර චිත්‍රපටයේ සමුදයාර්ථය හා බැඳී පවතින අයුරු පෙළ ගස්වයි. ‘ගඟ අද්දර’ වර්ණ සිනමාත්මක කාව්‍යයක් වූයේ යම් සේ ද ‘අහසින් පොළොවට’ චිත්‍රපටය ඩොනල්ඞ්ගේ කළු සුදු චිත්‍රපට කාව්‍යයයි. මිනිස් සන්තානයෙහි පවතින සියුම් මානසික කම්පනයන් මෙන්ම අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවන් ද චිත්‍රපටයේ නිරූපණය වන චරිත තුළින් සිය කැමරාවට හසුකර ගන්නා ඩොනල්ඞ් සමස්ත චිත්‍රපටය පුරාම රඳවන රිද්මය ප්‍රශංසනීයය. ආචාර්ය සුනිල් සෙනෙවි පවසන පරිදි ‘අහසින් පොළොවට’ යනු සිනමා පාඨමාලාවක නිර්දිෂ්ට කියවීමක් විය යුතු භාවිතයකි.

අද වැනි සුවිශේෂ පහසුකම් නොතිබුණු යුගයක ඩොනල්ඞ් කරුණාරත්න විසින් නිර්මාණය කරන ලද සිනමා රූපය ඇගැයීමට ලක් කරනු ලබන එම්.ඩී. මහින්දපාල ඩොනල්ඞ්ගේ අත්හදා බැලීම පිළිබඳ සටහනක් තබයි. උක්ත ලිපිය තුළ කැමරා ශිල්පියා, සංස්කරණ ශිල්පියා, අලෝකකකරණ ශිල්පියා, වේශ නිරූපණ ශිල්පියා යන සෑම පුද්ගලයෙක් කෙරෙහිම අවධානය යොමු කරන ඔහු ඒ සම්බන්ධව අප රටේ සිනමා ක්ෂේත්‍රයේ නියුතු බොහෝ දෙනකුට අවබෝධයක් නොමැති බව පෙන්වා දේ. එමෙන්ම ඩොනල්ඞ් කරුණාරත්න සතු අසාමාන්‍ය නිර්මාණාත්මක කුසලතාව දැඩි ලෙස අගය කරයි. ඩොනල්ඞ් කරුණාරත්න යනු අපගේ යුගයේ සිනමා ඡායාරූපකරණය හා අදාළ ශාස්ත්‍රවේදියකු බවත් ඔහු සිනමා මාධ්‍යය වෙනුවෙන් සිය ආත්මය කැප කළ ශ්‍රේෂ්ඨ කලාකරුවකු බවත් අත්හදා බැලීම් හරහා සතත අභ්‍යාසයේ යෙදෙන පර්යේෂකයකු වන බවත් එම්.ඩී. මහින්දපාල සිය ලිපියෙහි සඳහන් කරයි. ඒ වූකලි එක් නිර්මාණශීලී කැමරාකරුවකු තවත් එවැනිම වූ අතිදක්ෂයකුට දෙනු ලබන අවංක වටිනාකමකි.

ඩොනල්ඞ් කරුණාරත්න විසින් කැමරාව මෙහෙයවන ලද චිත්‍රපට අතර ‘කරුමක්කාරයෝ’, ‘එක්ටැම් ගේ’, අපේක්ෂා, දියමන්ති, පොන්මනී, ක්‍රිස්තු චරිතය, වෛශ්ණාවී’ වැනි චිත්‍රපට ද ඇතුළත් වේ. ‘දියමන්ති’ චිත්‍රපටයේ ‘යොවුන් වසන්තයේ දුහුල් වලා කුලේ’ යන ගීතය සඳහා ඩොනල්ඞ් විසින් යොදා ගනු ලබන කැමරා කෝණ අතිශයින් විචිත්‍රය. එමෙන්ම ‘අපේක්ෂා’ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වූ ගීත සඳහා ඔහු විසින් නිර්මාණය කොට ඇති රූප පෙළ එම චිත්‍රපටයට ලබා දුන් ආලෝකය ඉතා විශාලය. ඩොනල්ඞ්ගේ ප්‍රතිභාසම්පන්න රූප පෙළහර තුළ ඉස්මතු වූයේ රංගන ශිල්පියා හෝ ශිල්පිනිය පමණක් නොව, සංගීතඥයාද ගායක ගායිකාවන් ද ඒ තුළ සැබැවින්ම විශිෂ්ට ලෙස ඉස්මතු විය. එහෙත් මෙම කරුණ පිළිබඳ කිසි කෙනකුගේ ප්‍රමාණවත් අවධානයක් යොමුවී නැත. ‘ගඟ අද්දර මා’ (විජය කුමාරණතුංග/නිමල් මෙන්ඩිස්) යොවුන් වසන්තයේ (නන්දා මාලිනී/ඩී.ආර්. පීරිස්) ගිගිරි ගීත රාවේ (වික්ටර් රත්නායක/ඩී.ආර්. පීරිස්), උපුල් නුවන් විදහා (මිල්ටන් මල්ලවආරච්චි/නිමල් මෙන්ඩිස්), සඳ තනිවෙලා, කලක් ඇවෑමෙන් පෙරුම් පුරා (මිල්ටන්/ඇන්ජලින්/ක්ලැරන්ස්), ලා හිරු පායලා (ටී.එම්/ප්‍රේමසිරි කේමදාස). මෙවැනි තවත් උදාහරණ රාශියක් ඇත. ඒ සෑම උදාහරණයකටම ඩොනල්ඞ් විසින් නිර්මාණය කරන ලද රූප පෙළහර ඒ ගීත ජනප්‍රියවීමෙහිලා ද විශාල දායකත්වයක් සැපයීය. මෙම කරුණ පිළිබඳ අනාගත පර්යේෂකයන්ගේ අවධානය යොමු වෙතැයි මම සිතමි. ‘උන්මාද සිතුවම්’ (කපුගේ/දසනායක), ගීතයෙහි රූප පෙළ තවම අපට මතකය. ‘සිරිපාල හා රන්මැණිකා‘, පරිත්‍යාගය, සහරාවේ සිහිනය, යුවතිපති’ වැනි චිත්‍රපට ද ඔහුගේ හැකියාවෙහි ප්‍රතිනිර්මාණයන්ය. ‘කලියුගය’ චිත්‍රපටයද ඔහු අත පිරිපහදු වූ ඉහළ වටිනාකමකින් යුතු චිත්‍රපටයකි.

ඩොනල්ඞ් කරුණාරත්නගේ කැමරා අධ්‍යක්ෂණයෙන් යුතු සමස්ත වෘතාන්ත සිනමා කෘති නාමාවලියක් හා වාර්තා හා කෙටි චිත්‍රපට නාමාවලියක්ද උක්ත කෘතියට ඇතුළත්ව තිබීම ප්‍රයෝජනවත් කාර්යයකි.

මේ අනුව ජීවන්ත දයානන්ද හා ප්‍රසන්න පරණවිදාන විසින් සම්පාදනය කොට ඇති ඩොනල්ඞ් – අසිරිමත් සිනමා රූපාවලිය කෘතිය සංක්ෂිප්ත කෘතියක් වුවත් එය ගවේෂණයෙහි යෙදෙන්නන්ට මූලික කෘතියක් ලෙසද ඩොනල්ඞ් කරුණාරත්නගේ නිර්මාණශීලී දායකත්වය පිළිබඳ ප්‍රවේශ ග්‍රන්ථයක් ලෙසද සැලකිය හැකිය. එහෙත් ඩොනල්ඞ් කරුණාරත්න යනු එයට වඩා විශාල කැන්වසයක සිය සිනමාත්මක රූපය සිතුවම් කරන ලද නිර්මාණශීලී සිත්තරකු බව කිව යුතුමය.