ඔබත් මරදානට එන්න -එම්.සෆීර්, කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල අධ්‍යක්ෂක

දිනී ජයසේකර

8 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල අගෝ 07-09 දක්වා දිනපතා ප.ව. 7.00ට එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. කොළඹ නාට්‍ය කථිකාව අගෝ: 05 සිට 07 වැනිදා දක්වා ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අතර අගෝ 04 – 08 දක්වා නූතන රංග කලා වැඩමුළු ඉන්දියා සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලේ අධ්‍යක්ෂක හැටියට ඔබ එහි සැලසුම් පැහැදිලි කරන්නේ කෙසේද?

සුපුරුදු පරිදි මෙවරත් කලා උළෙල කොටස් හතරකින් පැවැත්වෙනවා. පළමුව සමාරම්භක අවස්ථාව ලෙස අභිනන්දනය කිරීම. එයට යෝජනා වී ඇත්තේ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ව. මෙවර කලා උළෙල ඔහුගේ නමිනුයි පැවැත්වෙන්නේ. විදේශීය ආරාධිත නාට්‍යකරුවා ලෙස සහභාගී වන්නේ තෝමස් ස්තුම්ප්ස්. ජාත්‍යන්තර සංස්කෘතික මධ්‍යස්ථ ජාලයේ නාට්‍ය අංශ ප්‍රධානියා ඔහුයි. දෙවන අදියර ලෙස එල්ෆිස්ටන් රඟහලේ අගෝස්තු 04 වනදා සිට අගෝස්තු 09 වනදා තෙක් නාට්‍ය දර්ශන ප්‍රදර්ශනය කිරිමයි. තෙවන අදියර ලෙස විදේශීය නාට්‍යකරුවන් සහභාගී වෙමින් නාට්‍ය වැඩමුළු මාලාවක් පවත්වනවා. හතරවන අදියර වන්නේ දේශීය සහ විදේශීය නාට්‍යකරුවන් එකතුව කොළඹ නාට්‍ය කථිකාවක් සිදු කරනවා. මූලිකවම කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලේ සැලැස්ම එයයි.

ලංකාවේ නාට්‍ය කලා පසුබිම අවබෝධ කර ගැනීමටත් වර්ධනය කර ගැනීමටත් ජාත්‍යන්තර නාට්‍ය උළෙල උපස්ථම්භක වන්නේ කෙසේද?

මම ප්‍රමුඛව යෝජනා කරන්නේ නාට්‍ය කලාව ඉගෙන ගන්න හා නාට්‍ය හා රංග කලාව හදාරන අයට මෙම කලා උළෙල ඉතාමත් වැදගත් වෙනවා. නාට්‍ය කලාව ඇතුළත ලෝකයේ මොනවද වෙන්නේ, ලෝක නාට්‍ය කරුවෝ කවුද?, එහි තත්ත්වය මොකක්ද?, අපේ නාට්‍යයේ තත්ත්වය කොතනද තියෙන්නෙ?, අපිට සංසන්සදනාත්මකව ගෝලීය නාට්‍ය කලාවත් සමග අප කොතනද ඉන්නේ, විදේශීය නාට්‍යකරුවෝ සමග අපට තිබෙන සන්නිවේදනය මොකක්ද යන සියල්ල සිදු කරන්නයි ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් නිර්මාණය කළේ. උදහරණයක් ලෙස දැනට ලෝකයේ ජාත්‍යන්තර නාට්‍ය උත්සව තුන්දාහක් විතර තියෙනවා. අනෙක් පැත්තෙන් ජර්මනියේ විතරක් ටිකට් පත්‍රයක් මිලදී ගෙන නාට්‍ය බලන ප්‍රේක්ෂකාගාරය මිලියන 16යි. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් සියයට හැත්තෑ පහක් පමණ. ජර්මනියේ නාට්‍යකරුවන් නාට්‍ය හදන්නේ මිලියන 16ක ප්‍රේක්ෂකාගාරයක් ඉන්න නිසා. එහෙත් ලංකාවේ ප්‍රේක්ෂකාගාරය උපරිම පන්දාහයි. මේ ආකාරයෙන් අපි දූපත් මානසිකත්වය තුළම සැරිසරනකන් නාට්‍ය කලාවේ අලුත් දේවල් දකින්න ලැබෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයන්ටත් එසේමයි. හදාරන්නන්ටත් එසේමයි. නාට්‍යකරුවන්ටත් එය එසේමයි. එංගලන්තයේ ශේක්ෂ්පියර් කියන්නේ නාට්‍යක් බලන්න ගියත් රඟ දක්වන්න ගියත් එයාගේ තැන එයා ඉන්න ඕනි කියලා. ඔහු කියන්නේ ඔහුව ඔළුවේ තියාගෙන කිසි දෙයක් සිදු කරන්න අවශ්‍ය නැහැ කියලා.

අපි කාගෙන් හරි ඇහැව්වොත් මෑත කාලයෙදි බලපු නාට්‍ය මොනවද කියලා කාටවත් දෙන්න උත්තර නැහැ. එහිදී ලංකාව තුළ සැබෑ රසිකාගාරයක් සිටිනවානම් එය හරිම සීමිත රසිකාගාරයක්. ඉන්දියාවේ ජාත්‍යන්තර නාට්‍ය උළෙලවල් දාහතරක් තියෙනවා. බංග්ලාදේශෙ නාට්‍ය උළෙලවල් තුනක් තියෙනවා. පාකිස්තානයේ නාට්‍ය උළෙලවල් තුනක් තියෙනවා. නේපාලයෙත් ඒ වගේම තියෙනවා. එහෙත් ලංකාවේ නාට්‍ය උළෙලවල් එකයි තියෙන්නේ. ඉතින් මෙවැනි ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් කිරීම හරහා රුමේනියාවේ නාට්‍යයක් මරදානට එන එක හොඳ නැද්ද? ඇමරිකාවේ නාට්‍යයක් මරදානට එන එක හොඳ නැද්ද? මේ පදනම මත තමයි ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් සංවිධානය වන්නේ. එහිදී අවුරුදු අටක් අපේ උත්සාහය වුණේ රටේ නාට්‍ය සංස්කෘතියට අලුතින් දෙයක් එකතු කරන්නයි. ඒ අවුරුදු අට පුරාවට නාට්‍ය නිර්මාණ හැටකට වඩා වැඩි ප්‍රමාණයක් ඇවිත් තිබෙනවා. නාට්‍යකරුවන් හාරසීයක් පමණ ලංකාවට පැමිණිලා තිබෙනවා. ඔවුන් පවත්වා ඇති වැඩමුළු ප්‍රමාණය සියයකට වඩා වැඩියි. රටවල් හැටක හැත්තෑවක නාට්‍යකරුවෝ මේ උළෙලට ඇවිත් තියෙනවා. ඇප්ලිකේෂන් දහස් ගණනක් ලැබිලා තියෙනවා. එයින් මම තෘප්තිමත් වනවා.

විදේශීය නාට්‍ය සංස්කෘතියත් සමග සංසන්දනයේදී ලාංකීය නාට්‍ය සංස්කෘතිය ඉතාමත් සාම්ප්‍රදායික අවදියකයි පසුවන්නේ? ලංකාවේ නාට්‍යය දියුණු නොවන්නේ ඇයි?

අපි තාම ඉන්නේ ප්‍රොසීනියම් යුගයක. ප්‍රොසීනියම් යුගය ලෝකයට ඇවිල්ල අවුරුදු 250ක් විතර වනවා. ලංකාවේ රංග ශාලා කියලා හදන්නේ ප්‍රොසීනියම් රංග ශාලා. ප්‍රේක්ෂකයෝ නාට්‍ය කියලා බලන්නේ සාම්ප්‍රදායික නාට්‍යය. යමෙක්ට කිව හැකියි ඔයත් එහෙම කියලා නාට්‍ය පෙන්නන්නේ එවැනිම රංග ශාලාවකනේ කියලා. ඒත් ජාත්‍යන්තර රංග උළෙලක් පවත්වද්දි අපිට තියෙන පහසුකම් එක්කනේ වැඩ කරන්න ඕනේ. එතකොට අපිත් නැවත යොමුවන්නේ ප්‍රොසීනියම් ප්‍රේක්ෂකාගාරයකට. හැබැයි කිව යුතුයි අපි තවම ඉන්නේ පසුගාමී තත්ත්වයකයි.

උදාහරණයක්, අපි දශක තුනක් ආපසු හැරී බැලුවොත් ලංකාවේ තියටර් එකේ භෞතික සම්පත් දියුණු වුණේ නැහැ. එල්ෆින්ස්ටන් එක වහල අවුරුදු දොළහක් වෙනවා. ජෝන්ද සිල්වා රගහල වහල අවුරුදු හතක් වෙනවා. එහිදී කලාව වෙනුවෙන් පැවති ස්ථානත් වැහුනා මිසක අලුතින් නිර්මාණය වුණේ නැහැ. එයට හොඳම උදාහරණය මම මේ වසරේ නිර්මාණය කළ ‘ආදර ඔන්චිල්ලා’ කියන නාට්‍ය පෙන්න ගන්න විදියක් තිබුනේ නැහැ. එයට හේතුව තමයි ඔන්චිල්ලා පහක් එල්ල ගන්න තැනක් නොමැති වීම ඒ තරමට අපි පසුගාමීයි. නෙළුම් පොකුණ කියලා ශාලාවක් හැදුනට එය නාට්‍ය ශාලාවක් නොවේ. එහිදී පැහැදිලිවම මිනිස්සු 1200කට ටිකට් විකුණන්න තරම් නාට්‍ය කලාවක් අපේ රට ඇතුළේ තවම නිර්මාණය වෙලා නැහැ.

2012 සිට මේ දක්වා ජාත්‍යන්තර නාට්‍ය උළෙල කොළඹ කේන්ද්‍රිගතව පමණක් පවත්වන්නේ ඇයි?

මෙම නාට්‍ය උළෙල පටන්ගත්ත දිනයේ සිට අවුරුදු අටක් මම දකින සිහිනය තමයි කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල කොළඹ, ගාල්ල, නුවර, අනුරාධපුර, පොළොන්නරුව, යාපනේ සහ මඩකලපුව යන ප්‍රදේශ සියල්ලන්ගේම පැවැත්වීමට උවමනාවක් තියෙනවා. එහෙත් අපිට අනුග්‍රාහකයන් සීමිත ප්‍රමාණයයි ඉන්නේ. ඒ සීමිත ප්‍රමාණය ඇතුළත එම සිහිනය හැබෑ කරගන්න තියෙන ඉඩ කඩ ප්‍රමාණය ඉතා අඩුයි. ඊළඟ වසරේදිවත් මට හැකි වේවි කියලා හිතනවා මේ නාට්‍ය උළෙල ප්‍රදේශ දෙකකටවත් ගෙනියන්න. මොකද මට අවශ්‍ය වන්නේ නාට්‍ය ප්‍රබෝධයක් ඇති කිරීමටයි.

මෙවර ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ ඇති සුවිශේෂීතා මොනවාද?

එකම සුවිශේෂීතාවය තමා ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් නැති රටක නාට්‍ය උළෙලක් පැවැත්වීම. උළෙලේ නාට්‍ය දාහතුනක් පෙන්වනවා. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන පහයි. විදේශීය නිෂ්පාදන අටයි. විදේශීය රටවල් වන්නේ ඉන්දියාව, ජර්මනිය, ඇමරිකාව, රුමේනියාව, ඔස්ට්්‍රයාව, පාකිස්තානය සහ ඉරානයයි. එහිදී බොහෝ දවස් වලට නාට්‍ය දෙක ගානේ පැවැත්වෙනවා.

එල්ෆින්ස්ටන් නාට්‍ය පෙළගැස්ම

  • අගෝ 04- ලෙට් දුට්බී ආර්ට් (ඇමරිකාව)
    බුක් ඔෆ් ලව් (පාකිස්තානය)
  • අගෝ 05- අර්දකානි හොනරබල් ෆැමිලි (ඉරානය)
    ඩෝ රේ මී ෆා සෝ ලා ටී (ශ්‍රී ලංකාව)
    නොකියා හිටපු දෙයක් (ශ්‍රී ලංකාව)
  • අගෝ 06- ද ස්කයි අබව් ද මඞ් බ්ලෝ (ඔස්ටි්‍රයාව)
    තින්ග්ස් ටු වෙයා(ර්) (ජර්මනිය)
  • අගෝ 07- රිහසල් ෆෝ එල්සිනොර් (රුමේනියාව)
    මෙන්න අපේ රජ්ජුරුවෝ (ශ්‍රී ලංකාව)
  • අගෝ 08- ෆයිට් ඔෆ් ෆැන්සි (ශ්‍රී ලංකාව)
    ග්‍රීස් යකා රිට(ර්)න්ස් (ශ්‍රී ලංකාව)
  • අගෝ 09- සෝල් ටු සෝල් (ඉන්දියාව)
    එලාඩිඩි (ඉන්දියාව)