පරිකල්පනය සහ රාජ්‍ය මර්දනය: ශක්තික සිරගත කොට දින සියය ඉක්මවයි

ආචාර්ය කංචුකා ධර්මසිරි – ඉංග්‍රීසි අධ්‍යයන අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ කලා කෘති වාරණයට ලක්ව ඇත; සමහරක් පිළිබඳ ඉතාම ආන්දෝලාත්මක වාද විවාද සිදුව ඇත. එහෙත් මෙරට ඉතිහාසයේ නවකතාවක් හෝ කෙටිකතාවක් ලිවීම හේතුවෙන් කිසිවකු සිරභාරයට ගෙන ඇත්ද? දීර්ඝ ඉතිහාසයක් ඇති රටක, එවැනි දෙයක් සිදුව ඇත්තේ විසි එක් වැනි ශතවර්ෂයේය. එදා මෙදා තුර කාලය තුළ කෙටිකතාවක් ලිවීම හේතුවෙන් දින සියයකට වැඩි කාලයක් බන්ධනාගාරගත කොට ඇති එකම පුද්ගලයා ශත්කික සත්කුමාරයි. එම සංසිද්ධියෙන් කියැවෙන්නේ ශක්තික සත්කුමාරගේ කෙටිකතාව ගැන ද, එසේ නොමැති නම් කලාවට හිතවාදී නොවන, නිදහස් නිර්මාණකරණයට හිතකර නොවන දිශානතියකට යන අපේ සංස්කෘතිය සහ සමාජ දේශපාලන ගතිකයන් ගැනද? ශක්තික නිදහස් කරගැනීමේ අරමුණින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අතරම විවිධ පිරිස් ඒ සම්බන්ධයෙන් උද්ඝෝෂණය කළ ද, ඒ පිළිබඳ ලිපි ලේඛන පළ කළ ද, මේ තාක් ඉන් කිසිදු ඵලක් ලැබී නොමැත. ඔහු දින සියයකට අධික කාලයක් සිරභාරයේ ය. 1966 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත කෙරී 1976 සිට බලාත්මක වූ, ලංකාව තුළ 2007 දී පනතක් ඔස්සේ ක්‍රියාත්මක කරන ලද අයි.සී.සී.පී.ආර්. (ICCPR) නැමති සම්මුතිය යටතේය ශක්තිකව සිරභාරයට ගෙන ඇත්තේ. ජාතික, වාර්ගික හෝ ආගමික කොටස් දෙකක් අතර අසමානතාවකට, සතුරුකම්වලට හෝ ප්‍රචණ්ඩත්වයට තුඩුදිය හැකි වෛරය පතුරුවන ක්‍රියාවන්, යුද්ධයකට මග පාදන ප්‍රකාශ සම්බන්ධයෙන් පැමිණිලි යොමු කළ හැකි මේ පනත යටතේ (සාමාන්‍යයෙන් වෙනත් සියලුම ප්‍රයත්නයන් අසාර්ථක වූ මොහොතකය මේ නීතිය යටතේ පැමිණිලි යොමු කරන්නේ), කලාකරුවන් දෙදෙනකු සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි ගොනු කර ඇත. මාලක දේවප්‍රිය විසින් ලියන ලද ගුවන් විදුලි නාට්‍ය කීපයක් සම්බන්ධයෙන් නඩු මගට බැස ඇත්තේ බෞද්ධ සංස්ථාපිතයේ ස්වාමීන් වහන්සේලා කිහිප නමකි. ශක්තිකට විරුද්ධ පැමිණිල්ල ගොනු කරන්නේ ද ස්වාමීන් වහන්සේලා කිහිප නමකි. ඔහුට එරෙහිව නඩු පවරා ඇති පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය තුළ නැවත නැවතත් සඳහන් වන කරුණක් වන්නේ අයි. සී. සී. පී. ආර්. පනතේ 3 වැනි වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් කෙනකුට ඇප දිය හැක්කේ මහාධිකරණයෙන් පමණක් වීමයි. එහෙත් තවමත් ශක්තික කෑගල්ල බන්ධනාගාරය තුළය. දිගු කලක් තිස්සේ පොලිසියේ මූලික විමර්ශන අවසන් වන තුරු ඔහුව රඳවාගෙන තබාගන්නා ලද අතර දැන් නීතිපතිගේ උපදෙස් ලැබෙන තුරු එම රැඳවුම් භාරය දිගු කෙරෙමින් පවතී. තවද කුරුණෑගල මහාධිකරණයෙහි පවතින ඔහුගේ ඇප අයදුම්පත පිළිබඳ විභාගය, අදාළ කෙටිකතාවේ මුල් පිටපත ගෙන්වාගැනීමට අවශ්‍ය වීම වැනි විවිධාකාර හේතු මත කල් යමින් තිබේ. දිගින් දිගටම මෙසේ සිදු වීමට හේතු මොනවා ද?

රාජ්‍ය මර්දනයේ බහුවිධ පැතිමාන

පශ්චාත් යටත්විජිත සන්දර්භය තුළ සිදුවන ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කිරීම සහ කලාකරුවන් මර්දනයට ලක් කිරීමේ ප්‍රවණතාව ගැන විස්තර ඉදිරිපත් කරන කෙන්යානු ජාතික න්ගූගි ව තියං’ගෝ යටත් විජිත සමයේ කෙන්යානු දේශපාලන සන්දර්භය ගැන විමර්ශනයක යෙදෙමින් විවිධ නීති හරහා දහනව වන ශතවර්ෂයේ සිට කලාකරුවාගේ නිදහස සීමා කිරීමට විජිතවාදී බි්‍රතාන්‍ය රාජ්‍ය කටයුතු කළ ආකාරය පෙන්වා දෙයි. ඔවුන් පළමුවෙන්ම සීමා කරන්නේ රංග කලාකරුවාගේ නිදහස සහ විවෘත අවකාශයන්හි සිදු කරන රංගයන්ය. න්ගූගි විශේෂ අවධානය යොමු කරන්නේ නාට්‍ය කලාවට වුවත්, මොහු ගෙන එන උදාහරණ තුළින් ලංකාවේ කලාකරුවන් මුහුණපාන තත්ත්වයද යම් තරමකට තේරුම් ගත හැක. රාජ්‍ය මර්දනයේ ප්‍රධාන අංගයක් ලෙස රාජ්‍ය බලය ප්‍රදර්ශනය කිරීම යන ගතිකය දෙසට න්ගූගි අපගේ අවධානය යොමු කරයි. කෙන්යානු විවෘත රංග අවකාශයක් වූ කමිරිතු සමාජීය නාට්‍ය අවකාශය න්ගූගි මෙම අවකාශය තුළ නිර්මාණය කළේ මෙතෙක් කල් මර්දනයට ලක් ව සිටි ගොවිජනතාවගේ කතාවන් ය. විනාශ කර පොළොවට සමතලා කිරීමේ ප්‍රචණ්ඩ ක්‍රියාව රූපවාහිනිය මගින් විකාශනය කෙරුණු ආකාරය ඔහු මෙහි දී උදාහරණයක් ලෙස ගෙන හැරපායි. රාජ්‍ය කලාකරුවාගේ අවකාශය විනාශ කිරීමෙන් පමණක් සෑහීමකට පත්වන්නේ නැත; එය පොදු මාධ්‍ය තුළින් විකාශනය කිරීම තුළින් අනෙකුත් කලාකරුවන්ට මෙන්ම ජනතාවට ද මෙවැනි ක්‍රියාවන් සිදුකරන්නන්ට සිද්ධ වන්නේ කුමක්ද යන්න ප්‍රදර්ශනය කළ යුතුය. මරණ දඬුවම ගෙන ඒමෙන් සිදු කරන්නට යන රාජ්‍ය බලය පෙන්වීමේ අවශ්‍යතාව සහ ලේඛකයකු සිරගත කර සිටීම තුළින් රාජ්‍ය ජනතාවට ලබා දෙන පණිවුඩය කුමක් ද යන්න අප ඇසිය යුතුය. මෙහිදී ආගමික සංස්ථාපිතය මේ හා එක්ව සිටීම තුළින් මෙම තත්ත්වය වඩාත් තීව්ර වී ඇත. රාජ්‍ය, ආගම සහ නීතිය යන සංස්ථා තුනම දූෂිත වූ සංදර්භයක් තුළ ශක්තික ගොදුරක් කර ගැනීම, යම් ආකාරයකට රාජ්‍යයට සහ ඒ හා බැඳුණු සංස්ථාවන්ට සතුටු විය නොහැකි දෙයක් සිද්ධ කළහොත් ඔබට සිද්ධ වන්නේ මෙවැන්නක් යැයි පෙන්වීමට දුන් නිදසුනක් වැන්න. පශ්චාත් යටත්විජිත සංදර්භයේ, නව ලිබරල්වාදී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම තුළ කළු හෝ දුඹුරු හමට තිබුණු බිය පන්තිමය අනෙකා දෙස යොමුව ඇත. එමෙන්ම, ලංකාවේ පමණක් නොව ලෝක පරිමාණයෙන් ද අප යමින් සිටින ජනප්‍රියවාදී දක්ෂිණාංශික, ධනවාදී සහ අන්ත ජාතිවාදී දිශානතිය තුළ අප මේ සිද්ධි ස්ථානගත කළ යුතුය. මේ පිළිබඳව සාකච්ඡා කිරීම, මේ පිළිබඳව කළ යුත්තේ කුමක් ද කියා සිතීම සහ ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම නොකඩවා කළ යුතුය. මේ දේවල් මග හැර ඉදිරියට යාමට තැත් කළහොත් සිද්ධවන්නේ වඩා භයානක අන්තයක් කරා ගමන් කිරීමය. ශක්තික සහ ඔහු මේ මොහොතේ සංකේතවත් කරන නිර්මාණකරණයේ නිදහස නමැති දෙය රැක ගැනීම සඳහා කුමක් කළ යුතු ද යන්න අප ගැඹුරින් සිතා බැලිය යුතුය.

ශක්තිකව සිරගත කොට තිබෙන්නේ “අර්ධ” නමැති කෙටි කතාව ලිවීම නිසාය. ශක්තිකව විවේචනයට ලක් කරන්නන් එසේ කරන්නේ ඔහුගේ කෙටි කතාවේ එන අවස්ථා දෙකක් අළලාය. එක් අවස්ථාවක් නම් කෙටි කතාව තුළ ලියැවෙන තවත් කෙටි කතාවක, සිදුහත් කුමරු සහ යශෝධරා දේවිය අතර ඇති සම්බන්ධතාව යම් ආකාරයකට ප්‍රශ්න කිරීමයි. එහිදි ලොයිඞ් නමැති චරිතය විසින් ලියන ලද කෙටි කතාවක මේ අදහස කියවන කසාන් (ප්‍රථම පුරුෂ කතාකරුවා), ඔහු මෙවැන්නක් ලිවීම නිසා ප්‍රශ්නයකට පැටලීමට පුළුවන් බවද පවසයි. ලොයිඞ්ගේ කෙටිකතාව ප්‍රධාන කෙටිකතාව හා සම්බන්ධවන්නේ කෙසේදැයි පැහැදිලි නැත. අර්ධ කෙටිකතාව සම්බන්ධයෙන් එල්ල වුණු අනෙක් විවේචනය වන්නේ එහි එක් චරිතයක් වන ස්වාමීන් වහන්සේ කෙනකු නිරූපණය කරන ආකාරයයි. කතාකරුවා රැයෙහි දකින සිහිනයෙන් පසුව ලොයිඞ් ඔහුගේ ඇඳට එන අවස්ථාවෙන් කෙටිකතාව අවසන් වේ. ආඛ්‍යානයේ යම් ආකාරයක අසම්බන්ධිත බවක් ඇති නිසා එහි ගැළපීම පිළිබඳ පැන නඟින ප්‍රශ්න කීපයක් ඇත. එහෙත් මෙම ලිපිය තුළ ශක්තිකගේ කෙටි කතාව පිළිබඳ දීර්ඝ විචාරයක් කිරීමට අදහස් නොකරමි. ශක්තිකගේ කෙටි කතාවේ දීර්ඝ සාහිත්‍යමය විචාරයක් ඔහු නිදහස් ලේඛකයෙක් ලෙස සමාජයට පැමිණි පසු ලිවීමට අදහස් කරමි. එහෙත් ඔහුගේ මෙම ලියවිල්ල ලංකාවේ සහ ලෝක පරිමාණයේ මෙවැනි තේමා යටතේ ලියැවුණු කෘති හා සමගාමීව තේරුම් ගැනීමට කැමැත්තෙමි.

ආගම, රාජ්‍ය සහ පරිකල්පනයේ බලය

බුදු දහම, සිදුහත් කුමරු, යශෝධරා දේවිය, සංඝයා වහන්සේලා පිළිබඳව ලංකාවේ සහ ලෝකය පුරා නොයෙකුත් නිර්මාණ බිහි වී ඇත. සමහරක් නිර්මාණ තුළින් සිදුහත් කුමරු පිළිබඳ අප මෙතෙක් කල් පාසලේ දී දහම් පාසලේ දී සහ ධර්ම දේශනා ඔස්සේ වෙනත් වචනවලින් කියතොත්, ව්‍යවහාරික බුදු දහමේදී, අසන්නට ලැබුණු සිදුහත් කුමරු නැවත හමුවේ. ඔහු ලෝකයා පිළිබඳ කරුණාවෙන් මෛත්‍රීයෙන් කටයුතු කළ අසහාය මනුෂ්‍යයෙකි. සමහරක් කතෘවරු මෙම අදහස්වලට වඩා වෙනස් වූ සිදුහත් කුමාරවරුන් නිර්මාණය කරති. මෑතකදී මා විමතියට පත් කළ එවැනි කෘතියකි, ජපන් ජාතික ඔසාමු තෙසුකා විසින් නිර්මාණය කරන ලද බුද්ධ නැමති වෙළුම් අටකින් සමන්විත රූප සහිත සිදුහත් බෝසතාණන්ගේ කතා වස්තුව. බෝධිසත්වවරයාගේ ජීවිතය දෙස වෙනත්ම දෘෂ්ටියකින් බලන මේ කෘතිය උන්වහන්සේ සිටි සන්දර්භය සහ උන්වහන්සේගේ ජීවිතය ගැන විචිත්‍ර රූප මතු කරයි. එය මා මවිතයට පත් කළේ එම කතුවරයාගේ පරිකල්පන හැකියාව මඟිනි. බෝසතාණන් ජීවත් වූ සන්දර්භය තුළ තිබුණු ප්‍රචණ්ඩත්වය ගැනත්, ඔහු සත්‍ය සොයා යන ගමනත් තෙසුකා රූපයට සහ වචනයට නගන්නේ ඉතා සිත්ගන්නාසුලු ආකාරයකිනි. ලෝකයා කෙරෙහි දයාවෙන් ගිහි ගෙය හැර යන තරුණයෙක් සහ ඔහු එම ගමනේ දී මුහුණ පාන නොයෙකුත් සිද්ධීන් අළලා, බලය පිළිබඳ ගතිකයම විවේචනයට ලක් කරමින් එම පොත් කීපය ලියා/ඇඳ ඇත. එක්තරා ආකාරයකට බුදුන් වහන්සේ ජීවත් වූ කාලය ගැන මෙන්ම කෘතිය නිර්මාණය වුණු කාලය ගැනද වෙනම ආකාරයකට සිතීමට එම කෘති පෙළ අපට ආරාධනා කරයි.

එසේ සිදු කරන කෘති බොහොමයක් ලාංකීය සන්දර්භය තුළ ද ලියවී ඇත. 1973 දී බවතරණය රචනා කරන මාර්ටින් වික්‍රමසිංහ එහිදී සිදුහත් කුමරු සහ යශෝධරා දේවිය අතර තිබුණු සම්බන්ධය සංකීර්ණ තලයකට ගෙන යයි. සිදුහත් කුමරු සියලු සත්ත්වයින් නිදහස් කරනු වස් විමුක්ති දේශපාලනයේ යෙදුණු ආකාරය, සමාජ පද්ධතියම වෙනස් කිරීමට අවශ්‍ය වූ ඔහු ඒ සඳහා පන්ති, කුල හා වෙනත් සමාජ, දේශපාලනික යාන්ත්‍රණයන්ගෙන් පීඩාවට පත් වූ ජනතාව උදෙසා සත්‍ය පසක් කළ ආකාරය ඉතාම විචිත්‍ර ලෙස, සිත් ගන්නා ආකාරයෙන් ඉදිරිපත් කරයි. මෙහි දෙවැනි මුද්‍රණය සඳහා සටහනක් ලියන පණ්ඩිත ශාස්ත්‍රපති අකුරැටියේ අමරවංශ නායක මාහිමි ඒ සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කරති: “මේ තාක්කල් කිසිම කෙනකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹුවන අයුරු ලියා තිබීම ආශ්චර්යජනක” ය. පළමු වරට පාසල් සමයේ දී එම කෘතිය කියවා මාර්ටින් වික්‍රමසිංහ මැවූ ඒ ලෝකයට පිවිසුණු ආකාරය තවමත් මතකය: එදාත් මා ඔහුගේ පරිකල්පන ශක්තිය පිළිබඳ, ඔහු එම කතාව ගොඩනැඟු ආකාරය පිළිබඳ අමන්දානන්දයට පත්වූවා මතකය. ලේඛකයයෝ, කලාකරුවෝ අපව එක්තරා ආකාරයකට අපේ යථාර්ථයෙන් පිටතට ගෙන යති. ඔවුන්ගේ පරිකල්පනය තුළින් වෙනත් යථාර්ථයන් නිර්මාණය කරති. ලෝකය දෙස, යථාර්ථය ලෙස පිළිගන්නා දෙය දෙස වෙනත් ආකාරයකින් බැලීමට අපට අවස්ථාව සලසා දෙති. කලාකරුවාගේ බලය තිබෙන්නේ එහිය; එම පරිකල්පන ශක්තිය තුළය. ඔහුට හෝ ඇයට ඇති එකම බලය එම නිර්මාණකරණයේ බලයයි; පරිකල්පනයේ බලයයි. ඔහුට හෝ ඇයට ඇති එම බලය රාජ්‍යයේ බලය හා ගැටෙන්නේ මර්දනකාරී රාජ්‍යයන් තිබෙන සංදර්භවලදීය. ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වන බෞද්ධ යයි කියා ගන්නා අන්තවාදී ව්‍යාපාර රාජ්‍යය සමග බද්ධ වී මෙම ලිවීමේ සහ පරිකල්පනයේ නිදහසට තහංචි දමන්නට උත්සාහ කරන්නේ මේ සන්දර්භය තුළය. එම සංස්ථාපිතයන් මර්දනය කරන්නට සැරසෙන්නේ කලාකරුවා පමණක් නොව සෑම මිනිසකුම සතු මේ විශේෂිත වූ බලයයි.
1973 දී ලියැවුණු බවතරණය නවකතාවත්, ඉන්පසුව සයිමන් නවගත්තේගම, අජිත් තිලකසේන, ටෙනිසන් පෙරේරා, ජයතිලක කම්මැල්ලවීර සහ තවත් නොයෙකුත් ලේඛකයෝ සිය කෘති තුළින් බුදුදහම සහ ලිංගිකත්වය යන තේමාව ගවේෂණය කරන්නට පසුබට නොවූහ. එමෙන්ම මතක තබා ගත යුතු කාරණයක් වන්නේ බුදු දහම යනු ලිංගිකත්වය ගැන කතා නොකරන, එය තහංචියක් (taboo)  ලෙස සලකන දහමක් නොවන බවයි. විනය පිටකයේ එන සමහරක් පරිච්ඡේදවල සංඝයා වහන්සේලාට අකැප වන ශරීර ස්පර්ශයන් ගැන සඳහන් කරන්නේ ඒ කිසිවක් අසාමාන්‍ය ලෙස සලකා නොවේ. එහි දී විශම ලිංගික මෙන්ම සමලිංගික ක්‍රියාවන් ද ගෙන හැර පාන්නේ සවිස්තරාත්මකවය; ඒ කිසිවක විනිශ්චයන් ඉදිරිපත් නොකරයි. මනුෂ්‍යයින් ලෙස මුහුණ පෑ හැකි සංසිද්ධීන් කීපයක් සවිස්තරව සහ කරුණුමය සාධක ලෙස මෙහි දී ඉදිරිපත් කෙරේ. එමෙන්ම, ජාතක කතා කීපයකම ඉතාම සවිස්තරාත්මක ලෙස ලිංගික ක්‍රියාවන් ගැන සඳහන් වේ.

එම නිසා බුදු දහම තුළ ලිංගිකත්වය ගැන කතා කිරීම නවමු දෙයක් නොවේ. එය විනය පිටකය ඇතුලු වෙනත් කෘතිවල ද හමු වේ. එහෙත් කුමක් හෝ හේතුවක් නිසා ලංකාවේ සමාජය ලිංගිකත්වය ගැන විවෘතව කතා කිරීමට මැලි වේ; එය ලැජ්ජා සහගත, හරි නැති එහෙමත් නැත්නම් ‘නරක’ දෙයක් ලෙස දකියි. සමහර විට සිදුහත් කුමරු සම්බන්ධයෙන් ලියැවෙන, ඔහුගේ ලෞකික ජීවිතය ගැන විවිධ අදහස් මතු කරන, සමහරක් අවස්ථාවල දී ඔහුගේ ලිංගික ජීවිතය පිළිබඳ අනුමානයන් සිත් මවන නිර්මාණ නුසුදුසු සේ දැකීමට ලිංගිකත්වය යන මාතෘකාව සමගම තිබෙන අපහසුතාවම ද හේතුවක් වන්නට පුළුවන. එය ලිංගිකත්වය ගැන විවෘතව කතා කිරීමට ඇති අකමැත්තේ කොටසක් වන්නට පුළුවන. සමහර විට බුදු දහමේ එන සංකීර්ණ දර්ශනය සහ ලෝක දැක්ම පිළිබඳ නිසි ලෙස සිතා නොබලන නිසා සිද්ධ වන දෙයක් ද විය හැකිය. කුමක් නිසාද යත්, මා පෙර දී දැක්වූ පරිදි මේ ආකාරයේ ලියවිලි අලුත් දේ නොවේ.
ලංකාවේ ඉතිහාසය පුරාවට විවිධ කලාකෘති වාරණයට ලක්ව ඇතත්, ලේඛකයෙක් නිර්මාණයක් කිරීම හේතුවෙන් මාස ගණනාවක් තිස්සේ සිරභාරයේ තබාගෙන ඇති ප්‍රථම අවස්ථාව මෙයයි. මෙය නිර්මාණකරණයට, මිනිසුන්ගේ පරිකල්පනයට, සිතීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බරපතල ලෙස තර්ජනයක් එල්ල කරන්නකි. ලිවීමේ සහ සිත්මැවීමේ අදහස මේ ආකාරයෙන් සීමා කළහොත්, රාජ්‍යයට, ආගමික ආයතනවලට, ආරක්ෂක ආයතනවලට සරිලන සේ, බලයේ සිටින පිරිස් පිනවීම් වස් නිර්මාණකරණයේ යෙදෙන්නට කලාකරුවන්ට සිදුවනු ඇත. ශක්තිකව සිරගත කිරීමෙන් ලාංකීය සමාජය ගමන් කරන්නේ භයානක දිශානතියකටය. එයට විරුද්ධව අප හඬ නැගිය යුතු ය.