SPOTLIGHT සහ ලංකාව

අනුරාධා තිඹිරියාගම

ස්පොට්ලයිට් යනු සිනමා පටයකි. නැත, එය සත්‍ය කතාවකි. මේ චිත්‍රපටය නරඹා ඇති අය සහ පසුබිම් කතාව දන්නා අය, මා ස්පොට්ලයිට් ගැන කියන්නට යන්නේ කුමක් නිසාදැයි දුටු පමණින්ම වටහා ගනු ඇත. එහෙත් එම දෘශ්‍යමාන අදාළකමට වැඩි යමක් මට ඒ ගැන කීමට අවැසිය. මුල සිට කියාගෙන එන්නම්.

ස්පොට්ලයිට් යනු එක්සත් ජනපදයේ පැරණිතම සහ අඛණ්ඩව පවත්වාගෙන යන ගවේෂණාත්මක මාධ්‍ය ඒකකයේ නමයි. මෙය බොස්ටන් ග්ලෝබ් පුවත්පතේ කුඩා මෙහෙයුම් කණ්ඩායමකි. 2001 වසරේ බොස්ටන් ග්ලෝබ් පුවත්පතට අලුත් කර්තෘ කෙනෙක් පැමිණෙයි. පුවත්පතේ මූල්‍ය අර්බුද හේතුවෙන් එය වෙනත් පුවත්පතකින් මිළට ගෙන තිබෙන අවධියකයි මේ ආගමනය සිදු වන්නේ, ඔහු එවන්නේ මහ පුවත්පතෙන්. සාමාන්‍යයෙන් එම කර්තෘවරයා එසේ යවනු ලැබූ අනෙක් පුවත්වල, ඔහු කාර්ය මණ්ඩල කප්පාදු සිදු කර ඇති බවට වන තොරතුරුත්, ඔහු බොස්ටන් නගරයට (සාපේක්ෂව ග්‍රාමීය පෙදෙසක් වූ) මුළුමනින්ම අමුත්තෙකු වීමත් නිසා බොහෝ දෙනා පසු වන්නේ මෙම පත්වීම ගැන බියෙන් සැකෙන්. විශේෂයෙන්ම ස්පොට්ලයිට් කණ්ඩායම. මෙහි සාමාජිකයන් සිටින්නේ සිව් දෙනෙකු පමණයි. නමුත් ඔවුන් පුවත්පතේ අනෙක් ඒකකවලින් වෙන්ව, වෙනම කාර්යයක නිරත වන කණ්ඩායමක්. මොවුන් එදිනෙදා පුවත් වාර්තාකරණයට සම්බන්ධ නොවී, ඇතැම් බැරෑරුම් සිදුවීම් පිළිබඳව දිගු කාලීන විමර්ශනයක් සිදු කර, බරපතල සහ ප්‍රතික්ෂේප කළ නොහැකි වාර්තාවක් සකස් කරනවා. ඔවුන් ඒ වනවිටත් තම කාර්යභාරය පිළිබඳව කීර්තියට පත්ව සිටියත්, මෙම නව කර්තෘ ආගමනය ඔවුන්ගේ කණ්ඩායමට කුමන ආකාරයෙන් බලපායිද, ඔවුන් ගවේෂණ කිරීමට ගත කරන කාලය පුවත්පතෙහි නාස්තියක් ලෙස ඔහු සලකයිද යන්න පිළිබඳව සැකයෙනුයි ඔවුන් පසු වන්නේ.

කෙසේ වෙතත් මෙම කර්තෘවරයා පැමිණෙන්නේ යම් අරමුණක් පෙරදැරිවයි. මෙම සම්පත් වඩාත් වැදගත් කටයුත්තකට යොමු කරවීමට ඔහු අපේක්ෂා කරයි. පුවත්පතේ පෙර සතියක පළ වූ ලිපියක් පෙන්වා ඔහු එහි ෆලෝඅප් එක කුමක්දැයි අසා සිටියි. කිසිවෙක් එය ෆලෝඅප් කළ යුතු දෙයක් ලෙස නොසලකයි. නමුත් ඔහු ස්පොට්ලයිට් කණ්ඩායමට මේ වගකීම බාර දෙයි, ඉතාම රහසිගතව. ඒ රහස්‍යභාවයට හේතුව, මේ විමර්ශනය සිදු වන්නේ කතෝලික පූජකයෙකු කුඩා දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ සිද්ධියක් සම්බන්ධයෙන් වීමයි.

ස්පොට්ලයිට් කණ්ඩායමට මෙම විමර්ශනය අනෙක් මාධ්‍ය ආයතනවලින් මෙන්ම තම පුවත්පත තුළ පවා රහසිගතව තබා ගැනීමට සිදු වන්නේ මෙය ඉතා සංවේදී කාරණයක් වීම නිසාය. අපේ සිංහල බෞද්ධ සමාජය මෙන්ම ඔවුන්ගේ කතෝලික සමාජයද මෙවැනි කතාබහකින් කැළඹී යා හැකියි. කෙසේ වෙතත් ඔවුන්ට මේ සිද්ධියේ පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ වරයා මාර්ගයෙන් ඔවුන් නොසිතූ විරූ තොරතුරු රැසක් හෙළි කර ගත හැකි වෙයි. පූජකයන්ගෙන් ලිංගික අතවරයට ලක්වූවන්ගේ සමාජ සංවිධාන, එවැනි සිද්ධිවලදී පූජකයන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින්, හිටපු පූජක වරුන්, මෙම කණ්ඩායමට ඇදහිය නොහැකි තොරතුරු රාශියක් හෙළි කරයි. කොටින්ම මේ තොරතුරු මෙම කණ්ඩායමේ ඉහළ කර්තෘ වරුන් පවා ”විශ්වසනීයත්වයෙන් තොර” බව පවසා ප්‍රතික්ෂේප කරයි. මෙම වින්දිතයින්ගේ සංවිධාන, ජීවිත කාලයක් පුරා අත් විඳ ඇති ඉරණම මෙයයි. ඔවුන් මාධ්‍ය ආයතනවලින් නොතකා හරියි, ප්‍රසිද්ධ ආගමික නායකයින්ගේ ප්‍රයත්නයන් මගින් යටපත් කර දැමෙයි. කෙසේ වෙතත් අවසන මෙය එක දෙකක්, තැන තැන සිදු වූ අහඹු සිදුවීම් නොවන බවත්, පූජක පක්ෂයෙන් ප්‍රතිශතයක් ලෙස දැක්විය හැකි විශාල ප්‍රමාණයක් මෙම අතවරයන් හි නිරත වන බවත්, මෙය පූජක පක්ෂයේ ඉහළට යන තෙක්ම ප්‍රසිද්ධ රහසක් බවත්, ස්පොට්ලයිට් කණ්ඩායමට හෙළිදරව් වෙයි.

අපේ සමාජයේද මේ කතාබහ, පන්සලට ලැදි වැඩිහිටි සහ වයෝවෘද්ධ පුද්ගලයන් අතර පවා සිදු වන නමුත් ඒ කිසි විටෙක සාක්ෂි ඉදිරිපත් වීමක් හෝ ගැඹුරු විමර්ශනයක් සිදු නොවේ. බොහෝ විට මේ අතවරවල නිරත වන පූජකයන්ද කුඩා කල එලෙස ගොදුරු වූවන්ය. මෙය මනෝ විද්‍යාත්මකව පැහැදිලි කර ගත යුත්තකි. පැවිදි ජීවිතය යනු මිනිසෙකුගේ ස්වාභාවික චර්යාවට පටහැනිව යන්නකි. විශේෂයෙන්ම කුඩා කල පැවිදි වූ කෙනෙක් තම ලිංගික අවශ්‍යතා සම්බන්ධයෙන් පත් වන්නේ විශාල අවුලකටය. දූෂණයකට මෙපිට අතවරයක් ඇතැම්විට ළමයෙකුට නොවැටහීමට පවා ඉඩ තිබේ. එය දූෂණයක් දක්වා දුරදිග යාමට, ළමයෙකුගේ නොවැටහීම හෝ අසරණ බව හේතු විය හැකියි. කෙසේ හෝ මෙම ක්‍රියාවට යොමු වූ පුද්ගලයෙක් දිගටම පූජක තනතුරේ රැඳී සිටියහොත් ඔහුට මෙය සාමාන්‍ය චර්යාවක් බවට පත් වේ. එය කිසිසේත්ම සාමාන්‍ය මානසික තත්වයක් නොවේ. එවැනි පුද්ගලයන් චෝදනාවක් එල්ල වූ විට හැසිරෙන ආකාරයද සාමාන්‍ය විය නොහැකිය. මොවුන් යම් අදියරකදී මෙය වරදක් බව වටහාගත්තත්, එය අපරාධයක් බව වටහා ගැනීමට තරම් නිරෝගී මනසක් ඔවුන් සතුව නැත.

එවැනි පූජකයන්ට ග්‍රහණය වන්නේ, පීඩිත, දුගී, ගැටලු සහිත පවුල්වල අසරණ දරුවන් බව ස්පොට්ලයිට් කණ්ඩායම හඳුනා ගනියි. පූජකයෝ/පල්ලිය, එවැනි දරුවන්ට, පවුල්වලට උපකාර කරන මුවාවෙන් සමීප වී, උපකාර ඇමක් ලෙස පාවිච්චි කර විකෘති අවශ්‍යතා පිරිමසා ගනිති. මෙම දරුවන් මෙය වටහා ගන්නා වයසට පැමිණෙන විට විශාල මානසික ගැටලුවලට මුහුණ දෙන අතර බොහෝවිට ඒවා කෙලවර වන්නේ දිවි නසා ගැනීමකිනි. වින්දිතයින්ගේ සංවිධාන ගොඩනැගී ඇත්තේ ඉන් ඉතිරි වූ අසරණ මිනිසුන්ගෙනි. ඔවුන් බොරුකාරයින් හෝ ආගම් විරෝධී මානසික රෝගීන් ලෙස හංවඩු ගසා, නොතකා හැරීමය සමාජයෙන් සහ මාධ්‍ය ආයතනවලින් සිදු වන්නේ. මීට එරෙහිව ජීවිත කාලයක් සටන් කළ මිනිසුන්ට අත්වී ඇති ඉරණම එයයි. මාධ්‍ය ආයතනවලට ආගමික අධිකාරියට එරෙහිව යෑම උඩුගං බලා පිහිනීමකි, තම ජනප්‍රියතාව මෙන්ම ආර්ථිකයද බිඳ වැටෙන කාරණයකි. එනිසා ක්‍රමයෙන් නිහඬ වූ පුද්ගලයින් ගණනාවක් තමන් වටාම සිටින බව ස්පොට්ලයිට් කණ්ඩායම වටහා ගන්නේ විශාල වෙහෙසක් දැරීමෙන් අනතුරුවය.
වින්දිතයින්, සාක්ෂිකරුවන්, සටන් කර කලකිරී අත්හැරියවුන්, තමන්ගේ හිතවත් සමාජයේම සිටින බව මොවුන්ට පෙනී යයි. පූජකයන් ඈඳුනු කිසිම ලිංගික අපරාධයකට නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත්, පීඩිත පවුලක ළමා වින්දිතයෙකු නීතිය ඉදිරියට පැමිණෙන්නේද ඉතා කලාතුරකින් බවත්, එසේ වූ විටද මෙය පූජක තන්ත්‍රයේ මැදිහත් වීමෙන් වසා දැමෙන බවත්, අතවරයට ලක් වූ දරුවෙකුට එතරම් වේදනාකාරී නීතිමය ක්‍රියාමාර්ගයකින් පසුව වුවද ලබා ගත හැකි යුක්තිය විසුළු සහගත බවත්, මොවුන් දැනගන්නේ පළමු වරටයි.

මෙවැනි සිදුවීම් වාර්තා කර ඇති පුවත්පත් සංරක්ෂණ, සොයා ගත හැකි වින්දිතයන්, එකතු කරමින් යන මොවුන්ට, තම ප්‍රදේශයේ සිටින පූජක සංඛ්‍යාවෙන්, පළපුරුදු සමීක්ෂකයෙකු අපෝහනය කළ ප්‍රතිශතයට ගැළපෙන පූජක සංඛ්‍යාවක් සැබැවින්ම ලිංගික අපචාරකයින් බව තහවුරු කර ගත හැකි වෙයි. එවැනි සිද්ධියක් වාර්තා වූ විට පූජක සංස්ථාව සිදු කර ඇත්තේ එම පූජකයින් වෙනත් ප්‍රදේශයකට මාරු කර යැවීම පමණක් බවත් මොවුහු සොයා ගනිති. ඔවුන්ට ඇතැම් ලිපි ලේඛන, නඩු වාර්තා සොයා ගැනීමට නඩු මගටද බැසීමට සිදු වුවත්, තමන් හොඳින් දන්නා හඳුනන මිනිසුන්ද මෙලෙස අතවරයට ලක්ව ඇති බව හෙළි වුවත්, තමන්ගේ අසල්වැසි පල්ලියේද එවැනි අපචාරකයින් සිටින බව හඳුනා ගත්තත්, ස්පොට්ලයිට් කණ්ඩායමේ නායකයා මෙම එකින් එක සිද්ධි වාර්තා නොකිරීමට පියවර ගන්නේ කණ්ඩායම තුළ ආරවුල්ද ඇති කරමිනි. නමුත් ඔහු ඒ ගත් පියවර බුද්ධිමත් සහ හේතු සහිත බව අවසන පෙනී යයි.

9/11 ප්‍රහාරයත් සමග මුළු ඇමරිකාවේත් ලෝකයේත් අවධානය ඒ වෙත යොමු වෙද්දී, ස්පොට්ලයිට් කණ්ඩායම මෙය වාර්තා කිරීම තවත් කල් තබයි. මෙම මාධ්‍යවේදීන් හමුවේ තම වේදනාකාරී අත්දැකීම් බෙදාගත් පිරිස්, නැවතත් මාධ්‍ය ආයතනයක් තම කතාව යට ගැසී යැයි කලකිරීමටද පත් වෙති. එහෙත් මේ අවස්ථා දෙකෙහිදීම ස්පොට්ලයිට් නායකත්වය මෙය වාර්තා නොකරන්නේ, සුපුරුදු පරිදි, ”හුදෙකලා සිද්ධි අල්ලාගෙන මාධ්‍ය ආගමට මඩ ගසා තම පුවත්පත් විකුණා ගැනීමට උත්සාහ කරයි,” යන කපටි චෝදනාවට යටවී, මෙම සැබෑ ව්‍යසනය ජනතාවගේ අවබෝධයට හසු නොවී යා හැකි බැවින් සහ, 9/11 උණුසුමෙන් මෙයට ලැබිය යුතු අවධානය නොලැබී යා හැකි බැවිනුයි. ස්පොට්ලයිට් කණ්ඩායම එක් එක් පුද්ගලයන් හඳුනා ගත් විට ඔවුන්ගේ කතාව ප්‍රචාරය කළේ නම්, ඉන් ”අනේ අපොයි” යන්නට වැඩි යමක් බලාපොරොත්තු විය හැකි නොවේ. ජනතාවට, අදාළ වින්දිතයා කෙරෙහි අනුකම්පාවක් ඇති වනු ඇති නමුත්, එවැනි සිද්ධියක් දෙකක් වාර්තා කරන විට, පූජක සංස්ථාවෙන් මොවුන් ආගම් විරෝධී ව්‍යාපාරයක් ගෙන යන බවටත්, සමාජය තුළ ආගම අපකීර්තියට පත් කිරීමේ අශ්ශීල ක්‍රියාවක් තම ලාභය උදෙසා කරගෙන යන බවටත් එල්ල වන චෝදනාවෙන් හෝ, එයින් ඇති වන ජනතා දෘෂ්ටිය බොඳ වීමෙන් මිදිය හැකි නොවේ. අවසන සිදු වන්නේ වින්දිතයන් තවත් අපහසුතාවයට පත් වීම පමණි. එබැවින් ඔවුහු මෙය ප්‍රත්‍යක්ෂ තත්වයක් බව රජයට සහ රටට ඔප්පු කිරීමට සියලු සාක්ෂි, අවි ආයුධ රැස් කර ගන්නා තෙක්, කොතරම් අසීරු වුවද, කොතරම් හෘද සාක්ෂිය කකියෑවද කට නොහරිත්, අකුරක් නොලියත්. සියල්ල රැස් කර, සුදුසු වේලාව බලා පළමු වාර්තාව එළියට දැමූ විට මුළු රටම ඉන් සසල වෙයි. පූජක තන්ත්‍රයත්, පාලකයිනුත් නිරුත්තර වෙයි. එවිට ජනතාව සාවධානව අසා සිටියි. ඉන් පසු නන් දෙසින් තවත් වින්දිතයන්, සාක්ෂිකරුවන් ඉදිරිපත් වෙයි. එවිට මේ කුඩා මාධ්‍යවේදීන් කණ්ඩායමේ ආන්දෝලනාත්මක, ප්‍රතික්ෂේප කළ නොහැකි හෙළිදරව්ව, වින්දිතයින්ට යුක්තිය ඉෂ්ට කර දෙයි. පූජක සංස්ථාව සමාව අයදියි, රජය නිසි පියවර ගනියි. ඒ සියල්ල සිදු වූයේ එක් මිනිසෙකුගේ හෘද සාක්ෂියටත්, වගකීම් සහගත මාධ්‍යවේදීන් හතර දෙනෙකුටත් පින් සිදු වන්නටය.

අපි දැන් ලංකාව වෙත හැරෙමු. ශක්තිකගේ කෙටිකතාවට ඉහත සිද්ධියෙන් ගත හැකි කිසිම ආදර්ශයක් නොමැත. ඔහු ලේඛකයෙකි. ඔහුට තම පරිකල්පනය හෝ අත්දැකීම් තමන් රිසි අයුරින් රිසි වේලාවක ලිවීමට නිදහස තිබිය යුතුය. එහෙත් ඔහු සිරගත වන්නේ මෙවැනි අපරාධකරුවන් සහ උන් රකිනවුන්ගේ බලයෙනි. රන්ජන් යනු ලේඛකයෙකු හෝ මාධ්‍යවේදියෙකු නොවේ. ඔහුගේ පපුවට දැනෙන්නේ කුමක්ද, ඔහු එය කියා දමයි. රන්ජන් රාමනායක ගැන මට මුලින්ම කිසියම් හෝ හැඟීමක් ඇති වූයේ මා කුඩා කල එක්තරා සිද්ධියකිනි.

මා එවකට එක හෝ දෙක වසරේ වන්නට ඇත. මා හැදී වැඩුණේ කටු මැටි පැළක මගේ මව සමඟ තනිවමය. පියා දුටුවේ මාස කිහිපයකට වරක්ය. මගේ මව අන්ත පීඩිත ජීවිතයක් ගත කළ බව දනිමි. එහෙත් ඇයට රට යන්නට උවමනා වූ විට මම මහත් භීතියකට, අවපාතයකට ලක් වුණෙමි. ඇයත් ගියහොත් මා බලාගන්නට කිසිවෙක් නොමැති බවත්, කුමනාකාරයේ ජීවිතයක්/මරණයක් අත්වේදැයි කිව නොහැකි බවත් මම දැන සිටියෙමි. මම කුඩා රෝගී දැරියක් වීමි. වසරකට දවස් කිහිපයක් හැරෙන්නට ඉතිරි ටික ගත කළේ රෝහල් ඇඳේය. ඥාතීන් ගැන කීමට නොකැමැත්තෙමි. කෙසේ හෝ මගේ මවට රට නොයෑමට කටයුතු කිරීමට මම අධිෂ්ඨාන කරගෙන සිටියෙමි.

දිනක් විදේශ සේවා නියුක්තිකයන් පිළිබඳව යම් සාකච්ඡාවක් ස්වාධීන රූපවාහිනියේ විකාශය වනු හසු වූයේ ඒ අතරය. සාකච්ඡාවට පැමිණ සිටියේ කවුදැයි මට මතක නැත. එහෙත් මා කට ඇරගෙන බලා සිටියේ අම්මාට ලොකු ටෝක් එකක් දැමීමට ලයින් එකක් අල්ලා ගැනීමටය. ඒ අතර රන්ජන් රාමනායක වැඩසටහනට දුරකථන ඇමතුමක් දුන්නේය. පාර්ලිමන්ට් ජෝක්ස් බලා තිබූ නිසා මම ඔහු දැන සිටියෙමි. එහි ඇතැම් ජවනිකා නිසා මට ඔහු ගැන තිබුණේ කැමැත්තක් නොවේ. එහෙත් ඔහු කතා කළේ රිසානා නැමැති දැරියක් ගැන කියන්නටය. ලංකාව රිසානා කෙනෙක් ගැන දැනගත්තේ ඔහුගෙන් බව, බය නැතිව කියමි. ඊයේ පෙරේදා සාමනේර භික්ෂූන් ගැන ඔහුගේ ප්‍රකාශයද එවැනි අවංක හැඟීමකින් කළ ප්‍රකාශයක් බව විශ්වාස කරමි. ඔය කතාව සමාජයේ ප්‍රසිද්ධ රහසකි. රන්ජන්ගේ කන පලන්නට යන චීවරධාරීන්ට හෝ ඔහුට සමාව ඉල්ලන්නට නියම කර අමනෝඥ ලිපි ලියන අගමැතිවරයාට හෝ මෙය අලුත් පුවතක් බව මම කිසිසේත් නොසිතමි. හතර පෝයට සිල් ගන්නා උපාසක අම්මලාද ඔය කතාව කතා වෙති. එහෙත් ඔවුන් ”වඳින්නේ සිවුරටය!” කිසිවෙක් ඔවැනි ඉල්ලන් කන ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ නොකරන්නේ, සිද්ධ වෙන ටික කල් ඇතිව දන්නා නිසාය. කුමක් හෝ හේතුවකට රන්ජන්ට එම නහර පිහිටා නැත.

නමුත් මේ සිද්ධිය සහ ඒ ආශ්‍රිත තර්ජන ගර්ජන සියල්ලට පසුව කුඩා සාමනේර හිමියන් කිහිප දෙනෙකු රන්ජන් හමුවී තම අත්දැකීම් බෙදාගන තිබේ. ඔවුන්ගේ දෙමව්පියන්ද අඬ අඬා අසන්නේ, ”අපට මේකෙන් තවත් ප්‍රශ්න ඇතිවේද?” යන්නය. රන්ජන් ඔවුන්ට එසේ නොවන බවට සහතික වෙයි. එහෙත් මෙම වීඩියෝ පට අන්තර්ජාලයේ ප්‍රචාරය කරයි. ඔහු මෙය කරන්නේ හොඳ හිතින් බව දනිමි. එහෙත් ඊළඟට එම චූදිත භික්ෂුව තමන් යටතේ සිටින තවත් සාමනේර භික්ෂූන් කිහිප දෙනෙකු සඟවා ඇති බවත් ප්‍රචාරය වෙයි. මේ සිදු වන්නේ කුමක්ද? අපචාරයට ලක් වූ /වන කුඩා දරුවන්, ඔවුන්ගේ දෙමව්පියන්, රන්ජන්ට ආරක්ෂා කළ හැකිද? මේවා මුහුණු පොතේ හතර අතේ ශෙයා කරන චණ්ඩින්ට ඔවුන් ආරක්ෂා කළ හැකිද? මෙය ගලා යන්නේ සම්පූර්ණ වැරදි අතටය. රන්ජන් රාමනායක විමර්ශකයකු නොවේ. ඔහුට තේරෙන මාධ්‍යකරණයක්ද නැත. මෙම වීඩියෝ පට සමාජ මාධ්‍යවලට මුදා හැරීමෙන් ඔහු කාලකණ්ණි පාලකයන්ට විරෝධය පෑමටත්, යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙළඹවීමටත් උත්සාහ දරන බව තේරුම් ගත හැකිය. එහෙත් සිදුවන්නේ අනෙකකි. මෙම වින්දිතයන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට තැනක් තිබිය යුතුය. එහෙත් අපරාධ විමර්ශන ඒකකයක් හෝ පොලීසියක් හෝ ළමා හා කාන්තා කාර්යාංශය මේ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ඇමරිකාවට නම් බොස්ටන් ග්ලෝබ් නම් පුවත්පතක් තිබුණි. එහි ස්පොට්ලයිට් නම් කණ්ඩායමක් තිබුණි. තීක්ෂණ නායකත්වයක් තිබුණි. එක්කෝ රන්ජන් රාමනායක මේ වැඬේට බුද්ධිමත්ව අත තැබිය යුතුය. ඔහුට සහයට සහ මග පෙන්වීමට පළපුරුදු විමර්ශකයන් සහ මාධ්‍යවේදීන් පිරිසක් ඉදිරිපත් විය යුතුය. මේ අපරාධයට විරුද්ධ ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් විය යුතුය. නැතහොත් සැබෑ මාධ්‍ය ආයතනයක් මෙයට ස්පොට්ලයිට් මෙන් කර ගැසිය යුතුය. මෙය තවත් ඔඩු දුවන්නට පෙර ක්‍රියාත්මක වෙමුයි කාගෙන් හෝ ඉල්ලා සිටිමි.