ලාංකීය දේශපාලනයේ ගෝලීය දර්ශක

සුමිත් චාමින්ද

ලංකාවේ සමකාලීන දේශපාලන විශ්ලේෂණවල පවතින මූලික ඌනතාවක් වන්නේ ඒවා බරපතළ ලෙසම ජාතිකමය පර්යාවලෝකනයක් තුළ සිරවී පැවතීමයි. ලංකාව පවතින්නේ ලෝකය තුළ නොව ලෝකය පවතින්නේ ලංකාව තුළය යන මිථ්‍යා දෘෂ්ටිය ජාතිකවාදීන්ට අයත් එකක් ලෙස ප්‍රචලිතය. එහෙත්, සමකාලීන ලංකාවේ ලිබරල්වාදීන් (විශේෂයෙන්ම ඊනියා යහපාලන කඳවුරේ ලිබරල්වාදීන්) ජාතිකවාදීන්ටත් වඩා ජාතික බැව් පෙනේ. ඒ, ඔවුනගේ දේශපාලන පර්යාවලෝකනය ජාතික රාජ්‍යයට සීමාවී තිබේය යන අරුතිනි. ඔවුන් තවමත් උත්කර්ෂයට නංවමින් සිටින්නේ අද වනවිට අර්බුදයට පත්ව තිබෙන නව-ලිබරල් ආර්ථික දැක්මය.

ලිබරල්වාදී ළිඳ

ලාංකීය ප්‍රවර්ගයේ ලිබරල්වාදීහු ප්‍රවණතාත්මක ලෙස එක්සත් ජනපද හිතවාදී වුවද, එක්සත් ජනපදය තුළ ලිබරල්-විරෝධී අන්ත-දක්ෂිණාංශික පෙරමුණක් බලයට පත්ව සිටින්නේ කවර හෙයින්දැයි පැහැදිලි කරන්නට ප්‍රයත්න නොදරති. එම අන්ත-දක්ෂිණාංශික පෙරමුණේ නැගීමට හිතකර තත්ත්වයන් සැකසුණේ තමන් දැන් ලංකාවට යෝජනා කරමින් සිටින “නිදහස් වෙළෙඳපොළ මූලධර්මවාදය” තුළින්මය යන ඓතිහාසික කරුණ නොතකා හරී. වත්මනෙහි එක්සත් ජනපදය තුළ සේම එක්සත් රාජධානිය තුළද අන්ත-දක්ෂිණාංශික ජනප්‍රියවාදයට නොහොත් ජනතාවාදයට එරෙහි ප්‍රධාන කඳවුර බවට පත්ව තිබෙන්නේ මිල්ටන් ෆ්‍රීඞ්මාන් අනුයන ආර්ථික ලිබරල්වාදී නායකත්වයක් නොව බර්නි සැන්ඩර්ස් සහ ජෙරමි කෝබින් වැනි වාමාංශික සමාජ-ප්‍රජාතාන්ත්‍රික නායකත්වයන්ය. වෙනත්, වචනවලින් කිවහොත්, දැන් ලොව බොහෝ තැන්වල දේශපාලන ලිබරල්වාදීන්ට ලිබරල් අයිතීන් රැක ගැනීම පිණිස වමට හැරෙන්නට සිදුව තිබේ. නමුත්, 2020 ට තම පසුපසත් 1990 දශකයට තම මුහුණත් හරවාගෙන සිටින ලාංකීය ප්‍රවර්ගයේ යහපාලන ලිබරල්වාදියා තවමත් ඉතිහාසයේ අවසානය පිළිබඳ නීරස හපය ඇදහිය නොහැකි තරමේ වැරෙන් විකමින් සිටියි. එහෙයින්, ඔවුනගේ “අවරදිග ආවර්ජනාව” සැබවින්ම නම් කළ යුත්තේ අතීතාවර්ජනාවක් ලෙසයි.

මේ නීරස අතීතාවලෝකනයේ යෙදෙන ලිබරල්වාදීන්ගේ පරමාදර්ශී දේශපාලන ප්‍රතිරූපය බවට පත්ව සිටින අමාත්‍ය මංගල සමරවීර තම පාර්ශ්වයේ ඇමතිවරයෙකුට පරිසර විනාශය පිළිබඳ චෝදනා එල්ල වූ විට කළ ප්‍රකාශයක් මෙහිදී යළිත් සිහියට නැගීම වටී. ඔහු පැවසුවේ සිංහරාජය යනු කැලෑව වැවුණු ඉඩමක් බවත් එම කැලය සුද්ධ කොට එතැන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම වඩා ප්‍රගතිශීලී බවත්ය. සරදමට කරුණ නම් සංවර්ධනය පිළිබඳ මේ හණමිටි අදහස ප්‍රකාශයට පත් කරන අතරම ඔහු වාමාංශිකයන් ළිං මැඬියන් ලෙස හැඳින්වීමයි. නමුත්, සැබවින්ම මෙතැන ළිං මැඬි ස්ථාවරය කුමක්ද?

පරිසර විනාශය පිළිබඳ ගැටලුව මිනිස් වර්ගයාත් සමස්ත ජෛව ගෝලයත් මහා ව්‍යසනයක මුව විටට රැගෙන ‘විත් තිබේය යන අදහස ලංකාව නමැති ළිඳෙන් පිටතට එබී බැලූ සැණින්ම අයෙකුට මුණ ගැසෙනු ඇත. 2016 වසරේදී 190 කට අධික රටවල් සංඛ්‍යාවක් එක්ව අත්සන් කළ පැරිස් සම්මුතිය අනුව ගෝලීය උණුසුම සහ පාරිසරික විපර්යාසය පිළිබඳ ප්‍රශ්නය වත්මනෙහි සංවර්ධන මූලෝපායන්හි ප්‍රමුඛත්වයට පැමිණ තිබේ. මිනිසා විසින් සිදු කරන කාබන් විමෝචනය 2030 වර්ෂය වන විට 45% කින් අඩු කිරීම පැරිස් සම්මුතියේ කෙටිකාලීන අරමුණයි. එසේ කිරීමට අප අසමත් වුවහොත් (එය අසමත්වීමට ඇති ඉඩකඩ වැඩිය), 2040 වර්ෂය වන විට ගෝලීය උණුසුම පූර්ව කාර්මික යුගයට සාපේක්ෂව සෙල්සියස් අංශක 1.5 කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුදු ජල මට්ටම ඉහළ යාමෙන් ලොව බොහෝ වෙරළබඩ ප්‍රදේශ මුහුදුබත් වනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති. ලොව ආවේණික සත්ව විශේෂ 30-40% පමණ විනාශ වී යනු ඇතැයිද අපේක්ෂිතය; ආන්තික කාලගුණ තත්ත්ව ලොව පුරා නිර්මාණය වනු ඇත; වත්මනෙහි පවතින දේශපාලන සරණාගත ප්‍රශ්නය අබිබවා යන කාලගුණ සරණාගත ප්‍රශ්නයකට මුහුණදීමට මිනිස් වර්ගයා සූදානම් විය යුතුය; කුඩා දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට මෙහි බලපෑම කෙබඳුදැයි අමුතුවෙන් කිව යුතු නැත.

වෙනත් වචනවලින් කිවහොත්, 1990 දශකයේදී ආර්ථික ලිබරල්වාදීන් උදම් ඇනූ ධනවාදී සංවර්ධනය පිළිබඳ සර්ව-සුභවාදී දැක්ම දැන් සර්ව-අසුබවාදී අනාගත චිත්‍රයක් මවන්නට පටන්ගෙන තිබේ. අප ජීවත් වන්නේ සමාප්ත කාලයක (Endtimes) යැයි ස්ලේවෝයි ශිෂෙක් පවසන්නේ මේ අරුතිනි. ඉදිරි දශකයක දෙකක කාලය තුළදී මේ අධිපති ධනවාදී සංවර්ධන මොඩලය විතැන් කරන්නට මිනිස් වර්ගයා අසමත් වන්නේ නම්, තම සාමූහික විනාශය සියතින්ම නිර්මාණය කොටගත් සත්ව වර්ගයක් බවට සබුද්ධික මිනිසා පත්වනු ඇත. ෆ්‍රැන්සිස් ෆුකුයාමා උදම් ඇනූ (ඔහුද දැන් එසේ නොකරයි!) “ඉතිහාසයේ අවසානය” මිනිස් වර්ගයාගේත් සමස්ත ජෛව ගෝලයේත් අවසානය ලෙස කූට ප්‍රාප්තියට පත්වනු ඇත. සමකාලීන ගෝලීය බුද්ධිමය සංවාදය සිදුවන්නේ ඒ ගැනය. කැලෑ විනාශ කොට කර්මාන්ත ශාලා දමන්නට දැන් කතා කරන්නේ ඩොනල්ඞ් ට්‍රම්ප් වර්ගයේ අන්ත-දක්ෂිණාංශික ගතානුගතිකවාදීන් මිස ලිබරල්වාදීන් නොවේ. ළිඳෙන් පිටත ලෝකය එබඳුය.

ජාතිකවාදී ළිඳ

අනෙක් පසින් සිංහල බෞද්ධ වාර්ගික ජාතිකවාදීන් යෝජනා කරන්නේ කුමක්ද? ඔවුන් දැන් ධනවාදයේ නැගෙනහිර ආසියාතික ආකෘතිය ලංකාව තුළට ආනයනය කළ හැකිය යන මිථ්‍යාව ප්‍රචලිත කිරීමේ නියමුවන් බවට පත්ව තිබේ. ඒ, 1960 දශකයේ මැද භාගයෙන් පසුව ඊනියා නැගෙනහිර ආසියාතික කොටි ආර්ථිකයන්හි වර්ධනයට හේතු භූත වූ සුවිශේෂී ඓතිහාසික සාධක පිළිබඳ කිසිදු විශ්ලේෂණයකින් තොරවය. ගෝඨාභය රාජපක්ෂගේ බල ව්‍යාපෘතියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන් ලෙස තමන් විසින් තමන්ටම පත්වීම් ලිපි ප්‍රදානය කරගෙන සිටින “වියත් මග” විද්වතුන් දැන් තුන් තිස් පැය පුරාම ඒකාකාරී රිද්මයෙන් සංගායනා කරමින් සිටින්නේ ලංකාව සිංගප්පූරුවක් බවට පත් කිරීමේ ජේ.ආර් ජයවර්ධන සූත්‍රයයි.

පළමුව, දකුණු කොරියාව, සිංගප්පූරුව, හොංකොං සහ තායිවානය යන රටවල් ධනවාදී සංවර්ධනයක් අත්පත් කරගත්තේ නව-ලිබරල් මූලෝපාය අනුයමින් නොව රාජ්‍ය-කේන්ද්‍රීය සැලසුම්ගත ධනවාදී සංවර්ධනයක් පිළිබඳ ප්‍රවේශය අනුයමින් බව ඔවුහු නොතකා හරිති; දෙවනුව, එය ස්වදේශික කාර්මීකරණ ප්‍රතිපත්තියක් මත පදනම් වූ බව අමතක කරති; තෙවනුව, සහ වඩා වැදගත් ලෙස තෘෂ්නි යුද සමයේ නැගෙනහිර ආසියාතික කලාපයේ බල දේශපාලනය ඇසුරින් පැන නැගුණු සුවිශේෂී ඓතිහාසික තත්ත්වයන් යටතේ මේ ඊනියා ආසියාතික ආශ්චර්යය විය හැක්කක් වූ බව නොදකිති. 1953 කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසුව දකුණු කොරියාව එක්සත් ජනපදයේ කලාපීය කඳවුරක් බවට පරිවර්තනය විය; තායිවානය යනු චීන විප්ලවයේදී චියැං කායි ෂෙක් ඇතුළු ක්වෝමින්ටෑන් පක්ෂය පලා ගොස් කඳවුරු බැඳ ගත් දූපතයි. චීන විප්ලවය සහ වියට්නාම් යුද්ධය හමුවේ නැගෙනහිර ආසියාතික කලාපයේ කොමියුනිස්ට් බලය ව්‍යාප්ත වීමේ තර්ජනය ජයගනු වස් තමන්ට හිතවත් කලාපීය ධනවාදී රාජ්‍ය පද්ධතියක් ගොඩ නැගීමට එක්සත් ජනපදයට වුවමනා විය. මේ රටවල ධනවාදී සංවර්ධනය මෙකී සුවිශේෂී අභ්‍යන්තර සහ බාහිර සාධක නොතකා හැර තේරුම් කළ නොහැකිය. එසේම එම සංවර්ධන මොඩලය කිසිසේත් නව-ලිබරල් ක්‍රමයට පරායත්ත ආකෘතියකින් අනුගත වී සිටින පරිවාරයේ රටක් වන ශ්‍රී ලංකාව වෙතට ආනයනය කළ නොහැකිය.

නමුත්, මේ ජනවාර්ගික ජාතිකවාදී කඳවුරට එක් දෙයක් කළ හැකිය. එනම්, නැගෙනහිර ආසියාතික ධනවාදය තුළ ප්‍රචලිත සූත්‍රය වූ “ආසියාතික වටිනාකම් සහිත ධනවාදය” ලංකාව තුළ ස්ථාපිත කිරීමයි. ලී කුවාන් යූ සහ මහතීර් මොහමඞ් විසින් දේශනා කරන්නට යෙදුණු මේ සූත්‍රයේ සරල අදහස මෙයයි; නිදහස් වෙළෙඳපොළ ක්‍රමය සහ දේශපාලන ඒකාධිපතිවාදය අතිනත ගෙන යා යුතුය. බටහිර ලෝකය තුළ ඓතිහාසිකව අත්දකින ලද ආකාරයෙන් ධනවාදී සංවර්ධනය සමග ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඒකාග්‍ර විය යුතු නැත. ආර්ථික වෘද්ධිය වෙනුවෙන් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය කැප කළ යුතුය. මේ ඒකාධිකාරී ධනවාදී මොඩලය නැගෙනහිර ආසියාවෙන් උපුටා ගත් එකක් ලෙස පෙන්නුම් කළද, සැබවින්ම දැන් (විශේෂයෙන්ම 2008 න් පසුව) ගෝලීය ධනවාදයම දිශානත වෙමින් තිබෙන්නේ ඒ දෙසටය. චීනය එහි පරමාදර්ශී ආකෘතියයි. එක්සත් ජනපදයේ ට්‍රම්ප් ද, බි්‍රතාන්‍යයේ බ්‍රෙක්සිට්වාදීන්ද (බොරිස් ජොන්සන්ද ඇතුළුව), ප්‍රංශයේ මරීන් ලපෙන්ද, ජර්මනියේ “ඩොයිෂ්ලන්තයට විකල්පයක්” ව්‍යාපාරයද, රුසියාවේ පුටින් ද, චීනයේ ෂී ජින්පින් ද, ඉන්දියාවේ මෝඩි ද, තවත් බොහෝ අයද අපට හඟවමින් සිටින්නේ ධනවාදී සංවර්ධනය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අතර යම් ඓතිහාසික දීගයක් පැවතියේ නම්, දැන් එය අවසන් වෙමින් පවතින බවය. මේ සර්ව-අසුබවාදී අරුතින් නම් ලංකාවේ ගෝඨා-ව්‍යාපෘතියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන් සමකාලීන ගෝලීය යථාර්ථය හා සම්බන්ධය!

චීන සාධකය

අවසන් වශයෙන්, සමකාලීන ලාංකීය දේශපාලනයේ හැඩ ගැසීම් ගෝලීය බල අරගලයේ ගතිකයන් සැලකිල්ලට නොගෙන කිසිසේත්ම තේරුම් කළ නොහැකිය. ෂී ජින්පින් ගේ “තීරු සහ මාර්ග සමාරම්භය”  (Belt and Road Initiative) මගින් මහද්වීප කිහිපයක් යාකරන ගොඩබිම් සහ මුහුදු මාර්ග පද්ධතියක් ගොඩ නගමින් තිබේ. චීනයට අයත් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායද එම ව්‍යාපෘතියට අයත් “සමුද්‍රීය සේද මාර්ගයේ” වැදගත් මධ්‍යස්ථානයකි. ඒ අතරම ආසියාතික අධෝ ව්‍යුහමය ආයෝජන බැංකුව මගින් ඩොලරයේ තැන යුවාන් මගින් විතැන් කිරීම අරඹා ඇත; චීනය සහ රුසියාව රුසියානු බිමේ ඒකාබද්ධ යුද අභ්‍යාස සිදු කරමින් තිබේ; දකුණු චීන මුහුදේ මහ බලවතුන් දෙදෙනා එකිනෙකාගේ දෑස් දෙස බලයි; සිරියාවේ, ඉරානයේ සහ වෙනිසුවෙලාවේ අභ්‍යන්තර ගැටුම් තුළ ඔවුන් එකිනෙකා අභිමුඛවෙමින් සිටී.

මේ පසුබිම තුළ විශේෂයෙන්ම එක්සත් ජනපදය ලංකාවේ ඉදිරි දේශපාලන බල මාරුව කෙරෙහි උනන්දුවක් නොදක්වනු ඇතැයි සිතිය හැක්කේ ගෝලීය දේශපාලනයේ හැඩගැසීම් නොපෙනෙන්නට තදින් දෑස් පියාගත් අයෙකුට පමණි. මගේ විශ්වාසය නම්, එක්සත් ජනපදය ඉදිරි ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී තම අභිලාෂයන්ට අනුගත පාලනයක් යළිත් මෙරට බිහිකර ගැනීමට තමන්ට කළ හැකි සියල්ල කරනු ඇත යන්නයි. යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂගේ එක්සත් ජනපද පුරවැසිභාවය අහිමි කරනු ලැබේ නම්, එහි සරල තේරුම ඒ දෙපාර්ශ්වය අතර ප්‍රබල අවබෝධයක් ගොඩ නැගී තිබේය යන්නයි. (‘සෝෆා’ සමාරම්භය වටහාගත යුත්තේද මේ තතු යටතේය). කෙසේ වුවද, එක්සත් ජනපද අනුගාමිකයෙකු වීමේ තරගයකින් රනිල් වික්‍රමසිංහව පැරදවිය හැකි ජගතෙකු මේ ශ්‍රී ලංකාව තුළ වෙසේ යැයි සිතීම උගහටය!