ජනාධිපතිවරණ සහ මැදිහත්වීමේ ජයග්‍රහණයකට ඇති අවකාශ

ජයදේව උයන්ගොඩ

ජනාධිපතිවරණ උණුසුම මතුවෙද්දී, එය විසින් විවෘත කරනු ලැබ ඇති දේශපාලන අවකාශය අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග විසින් කවර අයුරින් පාවිච්චි කරනු ලැබිය හැකිද යන කාරණය විභාග කිරීම මේ ලිපියේ අරමුණයි. මගේ මූලික යෝජනාව නම් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සිතීම සහ සාකච්ඡාව ගැඹුරු කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ඉදිරියට ගෙනයෑම අතහැර දැමිය නොයුතු විකල්ප ක්‍රියාමාර්ගයක්ය යන්නයි.

ජනාධිපති හෝ පාර්ලිමේන්තු හෝ ජාතික මට්ටමේ අන් මැතිවරණවලදී සාමාන්‍යයෙන් සිදුවන දෙයක් දේශපාලනය පිළිබඳ පුරවැසි උනන්දුව තියුණු වීමත්, තියුණු වන දේශපාලන සාකච්ඡාවලට පුරවැසියන්ද සහභාගිවීමත්ය. මෙවර ඉදිරියට එන ජනාධිපති මැතිවරණයේදී දේශපාලන උණුසුම නම් ඉතා ඉහළ යාහැකි වුවත්, රටේ දේශපාලන සාකච්ඡාව ගුණාත්මක වශයෙන් ඉහළ යනු ඇති බවට ලකුණු තවමත් පහළ වී නැත. පහළ වී තිබෙන බව පෙනෙන්නේ හරසුන් දේශපාලන සාකච්ඡා පිළිබඳවය.

පුද්ගල අපේක්ෂකත්වය

එයට හේතු කිහිපයක් තිබේ. එක් හේතුවක් වන්නේ මෙවර ජනාධිපතිවරණය පුද්ගල අපේක්ෂකයන් වටා කැරකෙන එකක් බවට පත්වීමයි. පක්ෂවල නියෝජිතයන් වශයෙන් එන ජනාධිපති අපේක්ෂකයන් වඩා ඉදිරියට එන්නේ දේශපාලන පක්ෂවල මතවාදය මත ගොඩනැගුණු වැඩපිළිවෙලක් ඉදිරියට දමමින් නොව, තමන්ගේ පුද්ගලිකත්වය මත ගොඩ නැගුණු පොරොන්දු සහ ජනිත කරන අපේක්ෂා වටාය. මෙම අපේක්ෂක ‘පුද්ගලයන්’ ඉදිරියට පැමිණෙන්නේ තමන් අර්බුදවලින් පිරි ලංකාවේ සමාජයේ සියලු ප්‍රශ්නවලට මැජික් විසඳුම් තිබෙන ගැලවුම්කාර පුරුෂයන් ලෙසය. ඔවුන් අතර කිසිදු ස්ත්‍රියක නොවීමද අප නිරීක්ෂණය කළ යුතුය.

ගැලවුම්කාර ‘පුද්ගල’ අපේක්ෂකයන්ගේ මතුවීම අප රටේ දේශපාලන ආයතනවල ඇතිවී තිබෙන විශාල වෙනස්වීමක ප්‍රකාශයක්ද වෙයි. එම වෙනස්වීම නම් දේශපාලන ‘පක්ෂවල කාර්යභාරය අබිබවා පුද්ගල දේශපාලනඥයන් මතුවීමයි. මෙය ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ආගමනය වෙතින් ඇමරිකානු දේශපාලනයේද ප්‍රදර්ශනය වූ ප්‍රවණතාවකි. ඔහු ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේ ව්‍යාපාරය දියත් කළේ රිපබ්ලිකන් පක්ෂය කේන්ද්‍ර කොටගෙන නොව, තම පුද්ගලත්වය, පවුල, ව්‍යාපාර සහ පුද්ගලික මිතුරන් කේන්ද්‍ර කොටගෙනය. පසුව ඔහුට ‘බෑ’ කීමට රිපබ්ලිකන් පක්ෂයට නොහැකි විය. දේශපාලන පක්ෂ යනු තවදුරටත් අප රටේ මීට අවුරුදු විස්සකට පමණ පෙර තිබුණු ආයතනම නොවේ. අභ්‍යන්තර වශයෙන් කැඩී බිඳී ගොස් ඇති, මතවාදීමය වශයෙන් ස්ථිර කේන්ද්‍රයක් නැති, අස්ථාවර ඡන්දදායකයන් මත මිස ස්ථාවර පක්ෂ සාමාජිකයන් මත යැපෙන්නේ නැති, සංවිධානමය විනය රාමවුක්ද නැති, තම ආයතනික ලැදියාව පහසුවෙන් මාරු කිරීමට වෘත්තීය දේශපාලන සාමාජිකයන්ට ඉඩ ලබාදෙන ‘නම්‍යශීලී’ සංවිධාන ක්‍රමයකි. පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරියට පැමිණ සිටින ගෝඨාභය රාජපක්ෂ එම පක්ෂයේ නොව, රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකි. ඔහුට ඇත්තේ පක්ෂ පදනමක් නොව, හිතමිතුරු සම්බන්ධතා ජාලයක් සහ ඔහුට වීරාභිවාදනය කරන පුද්ගලයන් සහ ව්‍යාපාරිකයන් පිරිසකි.

නිර්-පාක්ෂික ජනාධිපති අපේක්ෂකයන් වීමට අපේක්ෂා කරන කිහිපදෙනකුද ඒ අතර සිටිති. ඔවුන්ගේ පොදු ලක්ෂණය නම්, ඒ හැමදෙනාම සාකල්‍යයෙන්ම දේශපාලන පක්ෂ ව්‍යුහයෙන් පරිබාහිරව පැමිණ සිටින, තනි පුද්ගල අපේක්ෂකයන් වීමය. ඔවුන් ඉදිරියට දමන වැඩපිළිවෙළවල් දේශපාලන සංවිධානයක් හෝ ව්‍යාපාරයක් වෙතින් පැන නගින ඒවා නොවේ. ඔවුන් නියෝජනය කරන සමාජ ස්ථරද අවිනිශ්චිතය. ඔවුන් සිතන්නේ තමන්, රටේ ප්‍රශ්න විසඳීමට රටේ දෛවය විසින් බිහිකර තිබෙන විස්කම්කරුවන් ලෙසය.

පියසමර දේශපාලනය

මේ අතර ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එජාපය තුළින් ප්‍රකාශ වන දේශපාලන ඇඟවීම්ද, ඉහත කී ප්‍රවණතාවෙහිම තරමක් වෙනස්, එජාප – විශේෂිත ප්‍රකාශනයන්ය. එහි වඩාත්ම හාස්‍යජනක ප්‍රකාශය වන්නේ අපේක්ෂක අපේක්ෂකයන් දෙදෙනකුම තමන්ගේ නොව තම පියවරුන්ගේ සිහින ඉටුකිරීම සඳහා ජනාධිපතිවීමට බලා සිටින බවයි. ඔවුන් නම් සජිත් ප්‍රේමදාස සහ නවීන් දිසානායක යන දෙදෙනාය. තමන්ගේ කියා දැකීමක් සහ වැඩපිළිවෙළක් තමන්ට නැති බව එම දෙදෙනා මේ මගින් විවෘතවම කියයි. ඔවුන්ට ඇත්තේ තමන් අයිති පක්ෂයේ වැඩපිළිවෙළක්ද නොවේ. සජිත්ට ඇත්තේ මීට අවුරුදු 26කට පෙර මියගිය තම පියාගේ සිහින ඉටුකිරීමේ සිහිනයයි. නවීන්ට ඇත්තේ මීට අවුරුදු 25කට පෙර මියගිය තම පියාගේ සිහින ඉටුකිරීමේ සිහිනයයි. තම පියවරුන් මියගියාට පසු ලෝකයත්, ලංකාවත් වෙනස් වී ඇති බවත්, ලංකාවේ වර්තමාන ඡන්දදායකයන්ගෙන් 16%ක් පමණ අවුරුදු 25ට අඩු ඡන්දදායකයන්ට සජිත්ගේ නවීන්ගේ පියවරුන් ගැන ශක්තිමත් දේශපාලන මතකයක් ඇතැයි සිතීම උගහටය. තම පියවරුන්ගේ ස්මරණය මාධ්‍ය කොටගෙන මෙරට වර්තමාන ඡන්දදායකයන්ට අමතන්නට මේ දෙදෙනා සතු කැපවීම, යහපත් පියවරක් විය හැකි වුවත්, එයින් අප රටේ තරුණ ඡන්දදායකයන්ට ඔවුන් දෙන පණිවුඩයක් නම් නැත. කෙනකු ඡන්දය දෙන්නේ අතීතය පිළිබඳ ස්මරණයට නොව, වර්තමානය පිළිබඳ අත්දැකීමෙන් ලබන මතකය මත බව එම දෙදෙනාම අමතක කර ඇති බව පෙනේ.

මේ අතර අගෝස්තු 05දා එජාපයේ අලුත් සන්ධානයක් ගොඩ නගා, ඒ මත ජනාධිපතිවරණය තරග කරන බවද මාධ්‍ය වාර්තාවල තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ ගන්නේ තම ජනාධිපති අපේක්ෂකත්වය අලුතෙන් නිර්මාණය කරගැනීමට, එනම් re-invent  කර ගැනීමටය යනු මේ ගැන දිය හැකි එක් අර්ථකථනයකි; තවත් අර්ථකථනයක් වන්නේ, පෙරමුණක් සහ සන්ධානයක් වන තරමට එජාපය අභ්‍යන්තර කැබලිවලට කැඩී ඇත යන්නයි. ඇත්ත තත්ත්වය ඉන් කවරක් වුවත්, එජාපය නායකත්වය දෙන අලුත් සන්ධානයක් සඳහා මහජන උනන්දුවක් තිබෙන බවක් නම් නොපෙනේ. එජාපයේ අභ්‍යන්තර බෙදීම් සිදුවන්නේද පුද්ගල විජිගීෂාවන් වටාය. ප්‍රතිපත්ති පිළිබඳ මතභේද මත නොවේ. එවැනි මතභේද ඇතිවන්නටද හැකියාවක් නැත. එජාපය ඇතුළේ සිටින ජනාධිපති අපේක්ෂකයන් අතර ප්‍රතිපත්ති මූලික මතභේද ඇතිවීමට තරම් ප්‍රතිපත්ති රාමු තිබෙන බවක්ද නොවේ. ඔවුන් අතර ඇත්තේ පුද්ගලික විජිගීෂාමය තරගයකි.

විකල්ප දැක්මවල්

ජවිපෙ දේශපාලන අවස්ථාවන් පිළිබඳ කරුණ මතුවන්නේ මේ පසුබිම තුළය. ජවිපෙ ඉදිරියට දමන බව පෙනෙන්නේ අපේක්ෂක/පුද්ගල කේන්ද්‍රීය තරගයක් නොව, ප්‍රතිපත්ති කේන්ද්‍රීය විකල්පයකි. දේශෝදය ව්‍යාපාරයද මෙවැනි විකල්පයක් ඉදිරිපත් කරති. එහෙත් මෙම සංවිධාන දෙකම, ඉදිරි ජනාධිපතිවරණයේදී එක්තරා දේශපාලන අවදානමකටද මුහුණ දෙති. එය මෙසේ විස්තර කළ හැකිය. ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක වන රාජපක්ෂ කඳවුර සහ එජාප කඳවුර ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනකු ඉදිරිපත් කරන විට, කොතරම් තවත් අපේක්ෂකයන් සිටියත් තරගය මෙම කඳවුරු දෙකේ අපේක්ෂකයන් දෙදෙනා යන ප්‍රතිවිරුද්ධ අක්ෂ දෙක කේන්ද්‍ර කොටගෙන ද්වි-ධ්‍රැවීගත වීමට බොහෝවිට ඉඩ තිබේ. මෙම අපේක්ෂකයන් දෙදෙනා අතර ඇති තරගයද, 2015 ජනවාරි මාසය වන විට ඇතිවී තිබුණු ආකාරයේ අතිශයින් තියුණු, වෛරකාරී, භේදජනක තරගයක් වීමටද බොහෝ ඉඩ තිබේ. එවැනි තියුණු ද්වි-ධ්‍රැවීකරණයක් තුළ විකල්ප පාක්ෂික හෝ නිර්-පාක්ෂික අපේක්ෂකයන්ට හිමිවිය හැකි ඉඩකඩ, නැතහොත් අවකාශය, කොතරම් විශාල හෝ කුඩා හෝ එකක් විය හැකිද? බොහෝවිට ඉඩ තිබෙන්නේ, ජනාධිපතිවරණයේදී එම අවකාශය ඉතා කුඩාවීමටය. ජනාධිපතිවරණය වෙනුවට පාර්ලිමේන්තු මැතිවරණය මුලින් පවත්වන්නේ නම් එම අවකාශය සෑහෙන පුළුල් වන්නට ඉඩ තිබේ.

පූර්ව – කොන්දේසි

එහෙත් එම අවකාශය පුළුල් කරගැනීමට නම්, පූර්ව කොන්දේසි දෙකක් ඉටු කළ යුතුව තිබේ. පළමුවැන්න ප්‍රගතිශීලී සහ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග අතර ඇතිවන සන්ධානයක් තුළින්, දෙමළ, මුස්ලිම් ආදී සුළුතර පක්ෂවලද සහභාගිත්වය ඇති අලුත් සභාගයක් ගොඩනැගීමයි. එය ඉදිරියට දැමිය යුත්තේ, ජනාධිපතිවරණයෙන් පසුව ලංකාවේ ඇතිවිය හැකි දේශපාලන ආපස්සට යෑම නැවැත්වීම අධිෂ්ඨාන කරගත්, පුද්ගල කේන්ද්‍රීය නොව වැඩපිළිවෙළ-කේන්ද්‍රීය විකල්පයක් ලෙසය. මෙවැනි විකල්ප ප්‍රතිරූපයක් එම සභාගයට නිර්මාණය කරගැනීම දෙවැනි පූර්ව කොන්දේසියයි. පුද්ගලයාම නොව ප්‍රතිපත්ති, අපේක්ෂකයාම නොව වැඩපිළිවෙළ සහ පියවරුන්ගේ සිහින නොව ලක්ෂ 25කට ආසන්න තරුණ ඡන්දදායකයන්ට කරන ආමන්ත්‍රණය යන මේවාට ප්‍රමුඛත්වය දෙන පරිවර්තනීය ඉදිරි දැක්මක් නිර්මාණය කර පුරවැසි දේශපාලන විඥානයට ආමන්ත්‍රණය කළ හැකි නම්, ඡන්දයෙන් නොදිනුවත්, දේශපාලන වශයෙන් කල්පවත්නා මැදිහත්වීමක් කිරීමට ඒ මගින් හැකිවනු ඇත.

විකල්ප දේශපාලන බලවේග ජනාධිපතිවරණය දෙස බැලිය යුත්තේ වැඩපිළිවෙළක් සහ ඉදිරි දැක්මක් සඳහා කරන දේශපාලන මැදිහත්වීමක ජයග්‍රහණ ඉලක්ක කොට ගෙන යන්න මෙම පසුබිම තුළ පෙනෙන දෙයකි.