වැටත් නියරත් ගොයම කන සමාජයකට දේශපාලන පැවැත්මක් තිබේද?

මහින්ද හත්තක

පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදායින් ඇරඹී දින 52ක් පුරා ඇතැම්විට ප්‍රහසනයක් මෙන් ද තවත් වරක ඛේදවාචකයක ආකාරයෙන් ද පැවති පාර්ලිමේන්තු නාඩගම් සමයේ කතානායක කරු ජයසූරිය මහතාගේ කාර්ය භාරය පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වය අගය කළ බොහෝ දෙනාගේ පැසසුමටත් ගෞරවයටත් ලක්විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොසලකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හිතුවක්කාර ආකාරයෙන් අගමැති තනතුරට පත් කළ මහින්ද රාජපක්ෂ මහතාගේ අනුගාමික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම අසාධාරණ අයුක්තිසහගත පත්වීම ආරක්ෂා කිරීමට කතානායක අසුන පොළොවේ ගසා මහජන දේපොළවලට හානි කරමින් මිරිස් වතුර ගසමින් උත්සාහ කළද එය ව්‍යර්ථ කිරීමට කතානායකවරයා ගත් එඩිතර ක්‍රියාමාර්ගය සැබැවින්ම අගය කළ යුතුය. පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුවෙන් ඔහුගේ ක්‍රියාමාර්ගය නිවැරදි බව තහවුරු විය.

රූපවාහිනී කැමරා ඔස්සේ මුළු රටටත් ලෝකයටත් ප්‍රදර්ශනය වන ආකාරයට ගරු මන්ත්‍රීවරුන් උත්තරීතර පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ගමේ බූරු පොළක මෙන් හැසිරීම නිසා මහජන දේපොළවලට සිදුවූ හානිය අය කර ගැනීමක් මෙතෙක් සිදුව නැත. ගත් අධිකරණ ක්‍රියාවලියක් ද නැත. ඒ පිළිබඳ යුක්තිය ඉටු කිරීමටත් වැරදිකරුවන්ට දඬුවම් කිරීමටත් තවත් බොහෝ කලක් ගතවනු ඇත. එය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියයි. එය නාඩගමේ එක පැත්තකි.

අපගේ අවධානය යොමු වන්නේ මෙම අශෝභන අශිෂ්ට ක්‍රියාවේදී පාර්ලිමේන්තුවේ ගරුත්වයත් ස්වාධීනත්වයත් ආරක්ෂා කිරීමෙන් රටේ ඉහළම තනතුරට පවා තේරී පත්වීමට සුදුසුකම ගෙනහැර දැක්වූ කරු ජයසූරිය මහතා පසුගියදා එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුගේ ශ්‍රී ලංකා සංචාරයේදී කිසිම ආකාරයකින් හේතු යුක්ති කළ නොහැකි අමනෝඥ ආකාරයෙන් කටයුතු කිරීම කෙරේ ය. එක්සත් ජාතීන්ගේ කුමන හෝ නියෝජිතයෙකු ලංකාවට පැමිණ ජාත්‍යන්තර සම්මුතීන් අනුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ද අනුමැතිය ඇතිව කෙරෙන කරුණු සොයා බැලීමක දී පරල වන විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් මෙම විශේෂ වාර්තාකරුගේ පැමිණීමත් සමග ආවේස වූහ. ආවේසවීම එතරම් දැඩි නොවූ සමහරුන් එම සංචාරය අපේ අධිකරණයට කරන ඇඟිලි ගැසීමක්යැයි හැඳින්වූ අතර වඩාත් පරල වූ සමහරුන් එය හැඳින්වූයේ සුද්දා රට අල්ලා ගැනීමට ගන්නා තවත් උත්සාහයක් සේය. මෙම විරෝධතාවන් නිසා එම විශේෂ වාර්තාකරු සමග සාකච්ඡා නොකරන ලෙස අගවිනිසුරුවරයාට දැනුම් දෙන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසුවේය. ඔහු එම දැනුම්දීම කළ ආකාරය අපි නොදනිමු. එහෙත් එම වාර්තාකරු අගවිනිසුරුවරයා හමු වූ බව වාර්තා විය.

එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පද්ධතියේ සහ අනෙකුත් ආයතනවල විශේෂ නියෝජිතයන් හෝ වෙනත් නිලධාරීන් ශ්‍රී ලංකාවට හෝ වෙනත් සාමාජික රටකට යන්නේ එම රටේ නිල ආරාධනයක් අනුවය. එසේ අවසරයක් නොදුන් නිසා රාජපක්ෂ සමයේදී එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කවුන්සලයෙන් පත් කළ දරුස්මාන් කොමිටියට ලංකාවට පැමිණිමට නොහැකි විය. එසේ අවසර නොදීමෙන් එම කොමිටියට එල්ටීටීඊ වාර්ගික ගැටුමේ අවසාන සති කීපය තුළ සිදුවූයේයැයි කී සිද්ධීන් පිළිබඳව වාර්තාවක් සකස් කොට ජිනීවා මානව අයිතිවාසිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීමට බාධාවක් වූයේ නැත. කෙසේ වුවත් විශේෂ වාර්තාකරුවෙකුට හෝ වෙනත් විමර්ශන නිලධාරියෙකුට තහංචි පැනවීමෙන් ජිනීවා මානව අයිතිවාසිකම් කවුන්සලයට වාර්තා ඉදිරිපත් කිරීම වළකින්නේ නැත. එම වාර්තාව පදනම් කරගෙන සම්බාධක පැනවීම හෝ වෙනත් ක්‍රියාමාර්ග ගැනීමේ අවස්ථා ද ඉන් මග හැරෙන්නේ නැත.

අනිත් වැදගත් කරුණ වන්නේ එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කවුන්සලයේ විශේෂ වාර්තාකරුවන් එම පද්ධතියේ වැටුප් ලබන සේවකයන් නොවීමය. ඔවුන්ගේ සේවය ලබා ගන්නේ ස්වේච්ඡා පදනමකිනි. ඔවුන්ගේ සේවය වාර්තාකරුවෙකුගෙන් (රිපෝර්ටර්) වෙනස්වන නිසා විශේෂ වාර්තාකරු (රැපොටියර්) යනුවෙන් හැඳින්වේ. එවැනි අයෙකු කිසියම් රටකට ගොස් තොරතුරු රැස්කර ගන්නේ හුදෙක් නිරීක්ෂණය සඳහා විනා දඬුවම් කිරීමේ හෝ සම්බාධක පැනවීමේ ක්‍රියාමාර්ගයක මුල පිරුමක් වශයෙන් නොවේ. එවැනි තීන්දු ගන්නේ සෑම වසරකම මාර්තු මාසයේදී ජිනීවා හිදී රැස්වන මානව අයිතිවාසිකම් කවුන්සලයේ වාර්ෂික රැස්වීමේ දීය.

කරුණු මෙසේ හෙයින් විශේෂ වාර්තාකරුවෙකුගේ නිරීක්ෂණ වාර්තාවකින් රටේ අධිකරණයට ඇඟිලි ගැසීමක් හෝ රටේ ස්වෛරීත්වයට හානියක් වන්නේයැයි ඝෝෂා කිරීම ජනතාව මුලා කිරීමට ගන්නා තවත් උත්සාහයකි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කණ්ඩායමකගේ බලකිරීම නිසා විශේෂ නියෝජිතයා අගවිනිසුරු හමුවීම වැළැක්වීමට ගත් උත්සාහය කිසිසේත් පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකීමට හෝ රටේ ස්වෛරීත්වය තහවුරු කිරීමට හේතුවන්නේ ද නැත. පුදුමයට කරුණ වන්නේ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන් මේ රටේම මහජන මුදලින් නඩත්තු වන සමහර නිලධාරීන් ක්‍රියා කරන අවස්ථාවල කතානායකවරයා හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ය. සමහරවිට රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක වන්නේ ද නීතියක් රීතියක් නැතිව හිතුවක්කාර ආකාරයට ය.

මීට හොඳම උදාහරණය මහත් ආන්දෝලනයකට තුඩු දුන් කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඞ් සාෆි සම්බන්ධ සිද්ධියයි. මෙම මුස්ලිම් ආගමික වෛද්‍ය නිලධාරියා නීති විරෝධී ආකාරයෙන් සිංහල බෞද්ධ මවුවරුන් දහස් ගණනක් වඳ සැත්කමට භාජනය කර ඇතැයි සමහර වෛද්‍ය වෘත්තිකයන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමියන් ද චෝදනා නගා තිබිණ. තමාගේ ආරක්ෂාව සඳහා පොලීසියේ පැමිණිල්ලක් කිරීමට ගිය මෙම වෛද්‍යවරයා අතරමගදී පොලීසියෙන් අත්අඩංගුවට ගත්තේ හෙළි නොකළ වත්කම් පිළිබඳ සිද්ධියකටයැයි ප්‍රථමයෙන් පැවසිණ. ඉන් පසුව අත්අඩංගුවට ගැනීමට පෙර දින යොදා විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන වඳ සැත්කම් පිළිබඳ පැමිණිලි උසාවියට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. රෝහලේ අධ්‍යක්ෂවරයා ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා වෛද්‍ය මොහොමඞ් සාෆිට විරුද්ධව පැමිණිලි ඇත්නම් ඉදිරිපත් කරන්නැයි වින්දිත මවුවරුන්ගෙන් ඉල්ලීමක් කෙළේය. ඒ අනුව පැමිණිලි හාර දහස් ගණනක් ලැබී ඇති බවට වාර්තා විය.

මෙම සිද්ධිය ගැන පුළුල් විමර්ශනයක් කළ රහස් පොලිසිය උසාවියට වාර්තා කෙළේ අදාළ වෛද්‍යවරයාට එරෙහිව නගා ඇති චෝදනා පදනම් විරහිත නිසා ඔහුට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවක් නැති බවය. එහෙත් මහේස්ත්‍රාත්වරයා චෝදනාවක් නැති වෛද්‍ය සාෆි රක්ෂිත බන්ධනාගාරයෙන් නිදහස් කරනු වෙනුවට ඔහු තවදුරටත් රඳවා ගැනීමට නියෝග කෙළේය.

කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා ක්‍රියාකර ඇති ඇත්තේ යුක්තිය පසිඳලීමට වඩා පෞද්ගලික කෝන්තර විසඳා ගැනීමටදැයි සිතෙන තරම් ය. වඳ සැත්කමට භාජනය වී ඇතැයි සැක කරන මවුවරුන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කළ ද මහේස්ත්‍රාත්වරයාගේ නියමය වූයේ එම පරීක්ෂණය කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමකට එය භාර දිය යුතුය යන්නයි. දන්ත වෛද්‍යවරයකු වන එම රෝහලේ අධ්‍යක්ෂවරයාට එවැනි පරීක්ෂණයක් කළ නොහැකි බව පෙන්වා දීමට සිදුවූයේ ද රහස් පොලීසියේ විමර්ශන කණ්ඩායමටය. මෙම මවුවරුන් HSG  පරීක්ෂණයට භාජනය කිරීමෙන් ජීවිතය පවා හානිවිය හැකියැයි එම දන්ත වෛද්‍යවරයා කරුණු දැක් වුවද රහස් පොලිස් කණ්ඩායම ඉදිරිපත් කළ දත්ත අනුව එය සම්පූර්ණ බොරුවක් බව සනාථ විය. එම විමර්ශන කණ්ඩායම කොළඹ සහ අවට ප්‍රධාන රෝහල්වලින් සහ කරාපිටිය, පේරාදෙණිය, රාගම වැනි රජයේ රෝහල්වලින් ද සහ ලංකා හොස්පිටල් සහ ආසිරි රෝහල වැනි පෞද්ගලික රෝහල්වලින් ද ලබා ගත් සංඛ්‍යා ලේඛන අනුව මවුවරුන් 10,000කට වැඩි සංඛ්‍යාවක් මෙම HSG පරීක්ෂණයට ලක් කර තිබුණ ද කිසිම ජීවිත හානියක් සිදුව නැති අතර සුළු සංකූලතා වාර්තා වී ඇත්තේ සිවුදෙනකු සම්බන්ධයෙන් පමණි.

එහෙත් මෙම චෝදනා බැහැර කොට අදාළ වෛද්‍යවරයා නිදහස් කිරීමට අධිකරණය සූදානම් නැත. ඒ වෙනුවට මුස්ලිම් විරෝධී දේශපාලනය ප්‍රමුඛ කරගත් පිරිසකගේ වුවමනාව පෙරමුණට පැමිණ ඇත. රතන හිමි එම විමර්ශනය කරන රහස් පොලිසියේ කණ්ඩායමට පවා තර්ජනය කළ බවට වාර්තා විය. මින් පැහැදිලි වන්නේ එක්තරා කොටසකගේ දේශපාලන වුවමනාව අන් සියල්ලට වඩා වැදගත් වන්නේය යන්නයි. චෝදනාවක් නැති වුවද කිසියම් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට නියම වන්නේ එම නිසා ය. වෛද්‍ය ෂාපි සම්බන්ධ සිද්ධියෙන් සහ එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු සම්බන්ධ සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ එකම දේශපාලන වුවමනාවකි.
මෙම දේශපාලන වුවමනාව ප්‍රමුඛ වන ආකාරයේ තවත් සිද්ධියක් ගෙනහැර දැක්වීම සුදුසුයැයි සිතේ. මේ රටේ මෙතෙක් සිදුවූ බරපතළම ඛේදවාචකය වශයෙන් හැඳින්විය හැකි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන කටයුතුවලදී ද ප්‍රමුඛතාව වී ඇත්තේ මෙවැනි ඛේදවාචකයක් සිදුවීම වැළැක්වීමට අපමණ අවස්ථා තිබියදී එය පැහැර හැරීම සම්බන්ධයෙන් වගකිවයුත්තේ කවුරුන්ද සහ ඉදිරියට එවැනි දේ සිදුවීම වැළැක්වීමට ගත යුතු පියවර පැහැදිලි කරගැනීමට නොවේ. නිසි පරීක්ෂණයක දී අපේ රටේ දේශපාලන නායකත්වයේත් නිලධාරි තන්ත්‍රයේත් නොසැලකිල්ල, අකාර්යක්ෂමතාව සහ ඇඟ බේරා ගැනීමේ න්‍යාය හෙළිදරව් වන නිසා කැකිල්ලේ රජුට මෙන් කවරෙකු හෝ වැරදිකරු කොට දඬුවම් කිරීමේ අවශ්‍යතාව ඉහළින්ම පවතී. ඒ සඳහා විවිධ ආකාරයේ පරීක්ෂණ, විමර්ශන කමිටු පත් කෙරේ. වඩාත් පිළිකුල්සහගත වන්නේ ඒ සඳහා ආණ්ඩුවේ පිළිගත් ක්‍රියා පද්ධති මෙන්ම ක්‍රියා පටිපාටි ද තම අවශ්‍යතාව අනුව වෙනස් කිරීමේ උත්සාහයයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ දී ඇති වූ අර්බුදය එවැනි අවස්ථාවකි. මෙම නිලධාරීන් දෙදෙනාටම ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු කල් ඇතිව ලැබී තිබියදීත් එය වැළැක්වීමට පියවර නොගැනීම ගැන චෝදනා එල්ල විය යුතු බවට සැකයක් නැත. ඒ සඳහා සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ පළමුව දෙපාර්තමේන්තු මට්ටමෙන් කෙරෙන පරීක්ෂණවලින් අනාවරණය වන කරුණු අනුව අධිකරණයට යෑමය. ඒ සඳහා ඇති ක්‍රියා පටිපාටිය පරිපාලන නීති අනුවත් රටේ සාමාන්‍ය නීතිය අනුවත් පැහැදිලිය. එහෙත් මෙහිදී සිදුව ඇත්තේ කුරුණෑගල වෛද්‍ය සාෆි සිද්ධිය සම්බන්ධයෙන් මෙන් පළමුව අත්අඩංගුවට ගෙන දෙවැනිව චෝදනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය සාධක සකස් කිරීම ය.

මෙම නඩුව ගොනු කිරීමේදී දේශපාලන සාධකවල ප්‍රමුඛතාව ප්‍රකට වූයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විත්තිකරුවන් වූ හිටපු ආරක්ෂක ලේකම් සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පතිවරයාට ඇප නියම කිරීමේදීය. පහළ උසාවියකින් ලබාදෙන තීන්දුවකට විරුද්ධව අභියාචනයක් හෝ ප්‍රතිශෝධනයක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය සාමාන්‍ය භාවිතයක් වුවද මෙම සිද්ධියේදී එය විශේෂ කරුණක් විය. ඒ මෙතෙක් පැවති සම්ප්‍රදායන් බිඳ දමමින් නීතිපතිවරයා විසින් නඩු තීන්දුව ගැන සිය මතය පුවත් නිවේදනයක් මගින් සියලුදෙනාගේ දැන ගැනීමට ඉඩ සැලසීමෙනි. එම නිසා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගේ තීන්දුව ගැන අදහස් දැක්වීම නීතිමය කරුණකට වඩා මහජනයාගේ අවධානයට ලක්විය යුතු අවස්ථාවක් ද විය.

නීතිපතිවරයාගේ පූර්ණ අනුමැතිය ඇතිව නිකුත් කරන ලද මෙම පුවත් නිවේදනය අනුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් දෙදෙනා ‘ඇප මත නිදහස් කිරීම නීති විරෝධී, අයුක්තිසහගත, අසාධාරණ, අත්තනෝමතික’ තීන්දුවකි. යොදාගෙන ඇති වචන නීතිමය කරුණක් ගැන අභියෝග කිරීමෙන් ඔබ්බට ගොස් ඇතැයි නීති විශාරදයන් නොවන අයෙකුට පවා පැහැදිලිය. නීතිය පසිඳලන විනිසුරුවරියක් හෝ විනිසුරුවරයෙක් නීති විරෝධී, අයුක්තිසහගත දෙයක් සිදුකරන්නේයැයි කිව හැකිද? නීති විරෝධී අයුක්තිසහගත පියවරක් ගන්නේනම් ඔහු හෝ ඇය පිළිබඳව තවදුරටත් විශ්වාසයක් රැඳවිය හැකිද?

මෙම ලිපියේ සඳහන් කළ එකිනෙකට වෙනස් අවස්ථා තුනෙන්ම පැහැදිලිවන්නේ රටේ පරිපාලනයත් නීතියත් පවත්වා ගන්නා සියලු ආයතනවල පවතින බිඳවැටීම හෝ කුණුවීමයි. නීති සම්පාදනයේ ඉහළම ආයතනයේ සිට රාජ්‍යයේ සියලු අංශවල පවතින බිඳ වැටීම දේශපාලනයේත් ආර්ථිකයේත් පැහැදිලිවම දැකිය හැකිය. ආර්ථිකය කිසියම් මට්ටමකින් හෝ ශක්තිමත්ව පවතින්නේනම් මෙවැනි බිඳවැටීම් යම්තාක් දුරට හෝ ඔරොත්තු දෙනු ඇත. එහෙත් අද පවතින්නේ සමස්ත ක්‍රමයේම මහත් බිඳ වැටීමකි. වරදකට නීති ප්‍රතිපාදන අනුව දඬුවම් කිරීම නීතියේ ස්වාධිපත්‍යය ක්‍රියාත්මකවීමට වඩා දේශපාලන වුවමනාව අනුව සිදුවන්නකි. මෙම ගැටලුව පාලකයන් අලුතින් පත්කර ගැනීම සඳහා පවත්වන ඡන්ද විමසීමකින් විසඳා ගතහැකි මට්ටමෙන් ඔබ්බට ගොස් ඇත. ඊට විසඳුම්වන්නේ යුක්තිය සහ සාධාරණත්වය තහවුරු කෙරෙන සාමකාමී විවෘත ප්‍රබල සමාජ ව්‍යාපාරයක් ගොඩ නැගීමය. නිදහස් සාධාරණ මැතිවරණ පැවැත්විය හැකිවන්නේ එවැනි සමාජයක් තුළ පමණි.
මහින්ද හත්තක