ණය වළෙන් ගොඩඒම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ගණන් බලා තිබෙන ආකාරයටද 2019 දී ශ්‍රී ලංකාව ගෙවිය යුතු සමස්ත ණය සේවාකරණ ගෙවීම් ඇමරිකානු ඩොලර් මිලියන 4500ක් පමණ වන්නේය. ඉන් 3000ක් පමණ ණය වාරික වන අතර ඉතිරි 1500 පොලිය ලෙස සැලකිය හැකිය. රජයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා අනුව 2022 වනවිට 2019ට සමාන මුදලක් (ඩොලර් මිලියන 4500ක්) ශ්‍රී ලංකාව ණය සහ වාරික ලෙස ගෙවිය යුතුය. 2025 වනවිට තත්ත්වය තවත් බරපතළ වන්නේ මෙසේ ණය සහ පොලිය ගෙවීම උදෙසා අවශ්‍ය මුදල තවත් ඉහළ යාම හේතුවෙනි. එම අගය ඇ.ඩො. මිලියන 4600කට ආසන්න වන්නා සේම එයින් ණය වාරිකවල අගය 3900 ඉක්මවන්නේය. වැදගත් වන්නේ රටේ සමස්ත ආදායම, ණය හා වාරික ගෙවීමට ප්‍රමාණවත් නොවන ඉරණමකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටීමය.

ආර්ථික විද්‍යාඥයෝ

මේ පිළිබඳව ආර්ථික විද්‍යාඥයන් සේම අනෙකුත් බුද්ධිමතුන්ද දැන් දැන් වඩාත් බරපතළව කතා කිරීමට පටන්ගෙන ඇතැයි සිතිය හැක. පසුගිය සතියේ නාවල විවෘත විශ්වවිද්‍යාලයේ මාර්ග ආයතනයේ ද සහයෝගයෙන් මෙම ප්‍රශ්නය පිළිබඳ වැදගත් සාකච්ඡාවක් පැවැත්වුfණ්ය. ඊට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන, මහාචාර්ය එස්. එස්. කොළඹගේ මෙන්ම ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන ආචාර්ය අනුර ඒකනායකද සහභාගී වූහ. එහිදී පොදුවේ මතුවී ඇති වැදගත් කාරණයක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දකින ආකාරය තරම්, ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සරල එකක් නොවන බවය.
2018දී 2017ට සාපේක්ෂව රජයේ දේශීය ණය ගෙවීම් 28%කින් ඉහළ ගොස් ඇතුවාක් මෙන්ම විදේශ ණය සේවාකරණ ගෙවීම් 37.4%කින් ඉහළ ගොස් ඇත්තේය. 2017ට සාපේක්ෂව 2018 දී සමස්තයක් ලෙස දළ ණය ගැනීම් 16%කින් ඉහළ ගොස් තිබේ. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා අනුව රටේ සමස්ත ණය හා පොලිය අඛණ්ඩව ඉහළ යමින් පවතින්නේ බරපතළ ලෙසිනි. 2014 වසරේදී ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය රුපියල් බිලියන 107.0ක් වනවිට පොළිය බිලියන 69.9ක් වන්නේය. 2015දී එම අගයන් 187.1ක් හා 77.2ක් වන්නේය. 2016 වසර වනවිට ගෙවිය යුතු ණය රු. බිලියන 145.1ක් වෙද්දී පොලිය 101.1ක් විය. 2017 තත්ත්වය තවත් බරපතළ වී රු. බිලියන 219.3ක් ණය වාරික වශයෙන් ගෙවා, ගෙවූ පොලිය බිලියන 138.5 වූයේය. 2018 දී ණය වාරිකය බිලියන 307.0ක් වෙද්දී පොලිය 184.5ක් ලෙස සටහන් වී තිබේ.
අනෙක් පැත්තෙන් 2018 දී ශ්‍රී ලංකාවේ නොපියවූ විදේශ ණය රුපියල් බිලියන 5744.7ක් තරම් ඉහළ අගයක් ගන්නේය. 2017 දී එම අගය පැවතියේ 4356.3ක මට්ටමේය. 2014 වර්ෂයේදී නොපියවූ විදේශ ණය පැවතියේ රු. බිලියන 2615.0 මට්ටමේය.

ඩොලර් අච්චු ගැසීම

මෙම ණය අර්බුදය පිළිබඳ මා සමග කතාබහ කිරීමේදී ආචාර්ය අනුර ඒකනායක වැදගත් කාරණා ගණනාවක් හෙළි කළේය. එම කාරණා ඔස්සේ ශ්‍රී ලංකාවේ අනාගතයට විදේශ ණය විෂය කෙතරම් බලපෑමක් කරන්නේද යන්න පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය.

“මෑත කාලයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. එය රටේ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 83%-87% අතර ප්‍රමාණයක් වෙනවා. අනෙකුන් රටවල් සමග බලන විට එය එතරම් ලොකු අගයක් නොවන බව කෙනෙකුට කියන්න පුළුවන්. ඒත් එයින් 60%ක් විතර විදේශවලින් ගත්ත ණය. ඒක ලංකාවට මුහුණ දෙන්න වෙන බරපතළ ප්‍රශ්නක්. දේශීයව ගන්න ණය, සල්ලි අච්චු ගහලා හරි පියවගන්න පුළුවන්. (ඒක හොඳ දෙයක් නෙමේ, එතකොට උද්ධමනය ඉහළ යනවා.) ඒත් ඒ විදියට හරි දේශීය ණය කළමනාකරණය කරගන්න පුළුවන්. ඒ වුණාට විදේශ ණය ගෙවන්න ඩොලර් අච්චු ගහන්න බෑ අපිට. ශුද්ධ විදේශ ආදායම තුළින් හා තවත් ණය ගැනීමෙන් තමයි මෙම විදේශ ණය පියවගන්න පුළුවන්. ශුද්ධ විදේශ ආදායම බලන්න වෙන්නෙ ගෙවුම් ශේෂය (අපනයන, ආනයන වෙනස) සහ විදේශගත වී ඉන්න අපේ ශ්‍රමිකයන්ගෙ ප්‍රේෂණ හා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් වගේ විදේශ අරමුදල් මතයි. ඒ ඔක්කොම එකතු කරලත් ගෙවුම් ශේෂය ඍණ අගයක්. 2024 වගේ දක්වා අපිට අවුරුද්දකට ඩොලර් මිලියන 5000ක් පමණ පිටරටට යවන්න වෙනවා. ඒක ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස 7%ක්, 8%ක් වගේ. මුදල්වලට ආවස්ථික පිරිවැයක් තියෙනවා. ඒ කියන්නෙ අපි පිටරටට යවන්නේ රටේ සංවර්ධනය සඳහා ආයොජනය කරන්න තියෙන මුදල්. ණය පියවීම සඳහා විශාල ලෙස මුදල් පිටරටට ගිය 2017, 2018 වගේ කාලවලදී තමා අපේ ආර්ථික වර්ධන වේගයත් පහළ ගියේ. ආර්ථිකයේ සීමිත සම්පත් පිටරටවලට ඇදී යනවිට ආර්ථික වර්ධනය අඩුවෙනවා.”

විකල්ප

මෙම ණය අර්බුදයෙන් ගොඩ ඒම උදෙසා ආචාර්ය අනුර ඒකනායක යෝජනා දෙකක් ඉදිරිපත් කළේය. ඔහු පළමුවැන්න ලෙස සඳහන් කළේ පාරිභෝජන, ආයෝජන වියදම් අඩු කිරීමය. එහෙත් ඔහුද එකඟ වන පරිදි එය හොඳ මාවතක් ලෙස සැලකිය නොහැක. මක්නිසාද එමගින් ආර්ථික වර්ධනය අඩුවීමට බලපෑමක් වීම හේතුවෙනි. කෙසේ වෙතත් 2017 වසරට සාපේක්ෂව 2018 වසරේදී මහා භාණ්ඩාගාරයෙන් පුනරාවර්තන වියදම් සඳහා මුදල් නිදහස් කිරීම 3.8%කින් ඉහළ ගොස්, ප්‍රාග්ධන වියදම් සඳහා මුදල් නිදහස් කිරීම 1.7%කින් පහළ ගොස් තිබීමද නොසලකා හැරිය නොහැක.

ආචාර්ය ඒකනායකගේ දෙවැනි යෝජනාව වන්නේ අපනයන ආදායම ඉහළ නංවා ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීමය. ඔහුගේ පමණක් නොව මේ සඳහා අවංකව උනන්දු වන ආර්ථික විද්‍යාඥයනගේ මතය අනුව සත්‍ය වශයෙන් ම විවර කරගත යුතු මාවත එය වන්නේය. ඒ උදෙසා ඔහු යෝජනා කරන්නේ ශ්‍රම බලකාය ඉහළ නංවා ගැනීම හා සිටින ශ්‍රම හමුදාවේ සහභාගිත්ව අනුපාතය ඉහළ නංවා ගැනීමය. ඊට අදාළව ඉදිරිපත් කරන අනෙක් අතුරු යෝජනාව වන්නේ ඩිජිටල්කරණය ආශ්‍රිතව පැන නැගෙන නිෂ්පාදන මත ඉදිරියට යන නව ආර්ථිකය උදෙසා අධ්‍යාපන අවස්ථා ශීඝ්‍රයෙන් වැඩි කිරීමය.

කාන්තාව හා වියපත්බව

ශ්‍රම හමුදාවවට කාන්තාවන්ගේ සහභාගිත්වය පිළිබඳ සාකච්ඡාවද ඉවත දැමිය හැක්කක් නොවේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ මේ දිනවල ප්‍රසිද්ධ කර තිබෙන වැදගත් කාරණයක් වන්නේ යුනිසෙෆ් ශ්‍රී ලංකා කාර්මික සහායෙන් සකස් කර ඇති, ‘දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික ප්‍රතිපත්තියේ අවසාන කෙටුම්පතය.’ එහිදී ළමා සුරැකුම් මධ්‍යස්ථානවල වැදගත්කම සාකච්ඡා කර ඇත්තේ ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීම උදෙසාය. පසුගිය දශකය තුළ ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගිත්වය පහළ බැස තිබීමට ප්‍රධාන හේතුවක් වී ඇතැයි ඔවුන් හඳුනාගෙන ඇත්තේ කාන්තාවන්ට නිවසේ සිට දරුවන් බලා කියා ගැනීමට සිදුවීමය. නැතහොත් දරුවන් බලාකියා ගැනීමට විශ්වාසවන්ත කිසිවෙකුත් නොමැතිවීමය. 2017 ලෝක බැංකු වාර්තාවන්ට අනුවද අවුරුදු 5ට අඩු දරුවන් සිටින පවුල්වල කාන්තාවන් ශ්‍රම බලකායට එක්වීම, කුඩා දරුවන් නොමැති පවුල්වල කාන්තාවන් ශ්‍රම බලකායට එක්වීමට වඩා 7.4%කින් අඩුය. අඛණ්ඩව එම අගය ඉහළ යමින් පවතින්නේය.

අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාවේ සිටින්නේ වේගයෙන් වියපත් වන ජනගහනයකි. මේ නිසා අත්‍යවශ්‍ය අංශවල අත්දැකීම් බහුල වෘත්තිකයන්ට හෝ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමිය යුතු බව වෛද්‍ය සරත් මණ්ඩලවත්ත පසුගිය අය -වැයට පෙර ආණ්ඩුවට යෝජනා කර තිබුණේය. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාද වන ඔහු අත්දැකීම්වලින් බහුල, නිපුණත්වයෙන් පිරි සේවකයින් අවු 60 ට සම්පූර්ණ විමෙන් විශ්‍රාම යාමෙන් පසු, ඒ බොහෝ අය පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමුවන බවත් පොලිස්, සෞඛ්‍ය වැනි ඇතැම් වෘත්තීන් තුළ 2018/2019/2020 වර්ෂවලදී විශ්‍රාම යන සංඛ්‍යාව ඉහළ අගයක පවතින බවත්, මුදල් අමාත්‍යවරයාට හා අග්‍රාමාත්‍යවරයාට ලියා තිබුණේය.
ඔහු මතු කර තිබූ තවත් වැදගත් කාරණයක් වූයේ විශ්‍රාම සුවෙන් සිටින බොහෝ දෙනා බෝනොවන රෝගවලින් පීඩා විඳිමින් ප්‍රතිකාර ලබාගැනීම නිසාත්, යැපීමේ මානසිකත්වයට පත්වීම තුළ, ඔවුන් වෙනුවෙන් වන රාජ්‍ය වියදම් ඉහළ යා හැකි බවය. අනෙක් කාරණය වන්නේ විශ්‍රාමිකයන් ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග, විශ්‍රාම වැටුප් උදෙසා රාජ්‍ය වියදම් දැනටමත් දරාගත නොහැකි මට්ටමට පත්ව තිබීමය. ඒ සඳහා මහා බැංකුව යෝජනා කර ඇත්තේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් වුවද විශ්‍රාම යන වයස ඉහළ නංවා ශ්‍රම හමුදාවේ සහභාගිත්ව අනුපාතය ඉහළ මට්ටමකට ගෙන ඒම පිළිබඳවද අවධානය යොමු කිරීම වැදගත් විකල්පයක් වන්නේය.

මේ නිසා රැකියා සඳහා නිපුණත්වයෙන් යුතු කාන්තා ශ්‍රමිකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමෙන් අනාගතයේදී ඇතිවිය හැකි ශ්‍රමිකයන්ගේ හිඟයටද පිළියමක් ලෙස සැලකිය හැකිය. ආචාර්ය අනුර ඒකනායක මීට එක් කරන තවත් කාරණයක් වන්නේ නම්‍යශීලී රැකියාවල නිරතවීමට කාන්තාවන්ට ඉඩ සැලසීමය. නිවසේ සිට හෝ රැකියාවේ වගකීම් ඉටු කළ හැකි රැකියාවන් ඔවුන් සඳහා විවර කිරීමය.

අධ්‍යාපනය

ආචාර්ය ඒකනායක මා සමග කියා සිටි අනෙක් වැදගත් කාරණය වන්නේ අධ්‍යාපනයේ ඇතිවිය යුතු වෙනසය.
“අවුරුදු 30ට අඩු ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය ම ක්‍රියාකාරී ආර්ථික කටයුතුවල නිරතව සිටින්නේ අඩු ප්‍රමාණයක්. ඔවුන් බලා සිටින්නේ සුදු කරපටි රැකියා ලැබෙනතුරුයි. දැන් ලෝකයේ කතාබහට ලක්වන්නේ ෂඍ 4ග0 ගැනයි. ඒ කියන්නෙ 4වන කාර්මික විප්ලවය (Industrial Revolution) ගැනයි. එතනදී ඩිජිටල්කරණය ආශ්‍රිතව උත්පාදනය වෙන නිෂ්පාදන මත තමයි, ආර්ථිකය ඉදිරියට ගමන් කරන්නේ. එතනදි STEM වැදගත්. ඒ කියන්නේ විද්‍යාව  (Science), තාක්ෂණය (Technology), ඉංග්‍රීසි (English) හා ගණිතය (Mathematics). මෙන්න මේ විෂයන්වල අධ්‍යාපනය ශීඝ්‍ර ලෙස ඉහළ නංවාගන්න පුළුවන් නම් එවිට IR 4.0 වෙත ළඟා විය හැකියි. මොකද මූල්‍ය ප්‍රාග්ධනය මතින් ම අපිට සංවර්ධනය කරා යන්න බෑ. ලංකාවට කොහොමත් මූල්‍ය ප්‍රග්ධනය සොයාගැනීම ප්‍රශ්නයක්නේ.”

IMF වැරදි තක්සේරුව

විවෘත විශ්වවිද්‍යාලයේ පැවති සකච්ඡාවේදී මහාචාර්ය එස්. එස්. කොළඹගේ මතු කර තිබූ ප්‍රධාන කාරණයක් වූයේ, ශ්‍රී ලංකාවේ ණය ගැටලුව එතරම් බරපතළ නොවන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කර ඇති නිගමනය පිළිගත නොහැකි බවය. ඉදිරි වර්ෂවල මෙරට ආර්ථික වර්ධන වේගය 4%-5% මට්ටමේ පැවතීම මෙන්ම ආනයන, අපනයන 5%ක මට්ටමකින් නැතහොත් ඒකාකාර අනුපාතයකින් වර්ධනය වෙතැයි යනාදී උපකල්පන මත ඔවුන් එම නිගමනයට පැමිණ ඇතැයි අපැහැදිලි නැත. අනෙක් පැත්තෙන් විදේශගත මෙරට ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ පහත වැටී තිබීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගණනය කර ඇතැයි සිතිය නොහැක.

“2025 දක්වා 5%ක ආර්ථික වර්ධන වේගයක් පැවතීවි යැයි සහ 5%කින් අපනයන වැඩිවෙතැයි සිතීම තර්කානුකූල නැහැ. මහාචාර්ය කොළඹගේ, ආචාර්ය විජේවර්ධන අපි ඔක්කොම ඒක පිළිගන්නවා. දැනට පවතින තත්ත්වය අනුව 3% වගේ මට්ටම දක්වා ආර්ථික වර්ධන වේගය අඩුවෙනවා. අනෙක් කාරණය, 2019-2020 කියන්නෙ ශ්‍රී ලංකාවේ ඡන්ද පැවැත්වෙන වර්ෂයන්. ඒක ආර්ථික වර්ධනයට හිතකර තත්ත්වයක් නොවේ. අනික ශ්‍රී ලංකාව දැනට ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක්. මගේ අදහස නම් මෙතන අපි හිරවෙනවා. විදේශ ණය කළමනාකරණය කරගන්නේ නැතිව මෙතනින් එහාට යන්න බෑ. තවත් ණය ගෙන ආයෝජනය කර, පවතින ණය ආපසු ගෙවීමට තරම් විදේශ විනිමය උපයාගැනීමට අපොහොසත් වුවහොත් යන කාරණය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කතා කරන්නේ නැහැ. ණය ගෙවන්න ණය ගැනීමත් හොඳ දෙයක් ලෙස සලකන්න බැහැ.”
ආචාර්ය ඒකනායක ඇතුළු ආර්ථික විද්‍යාඥයන් අවධාරණය කරන, මෙම කරුණු සැලකිල්ලට ගැනීමේදී මෙරට ණය පිළිබඳ මූල්‍ය අරමුදලේ මෙම තක්සේරුව එක් පැත්තකින් රට උදාසීන කරවන්නක් ලෙස සැලකිය හැකිය. මේ නිසා දේශපාලන පක්ෂ, පාලකයන් පමණක් නොව ජනතාවද මේ පිළිබඳ බරපතළ අවධානයක් යොමු නොකරන්නේ නම්, නැතහොත් දේශපාලන අර්බුදයට එහා ගිය ආර්ථික අර්බුදයක රට ගිලී ඇතැයි අවබෝධ කර නොගන්නේ නම්, උදාවිය හැක්කේ කිසිසේත්ම අපේක්ෂා නොකළ වාතාවරණයක් විය හැකිය.