සැඟවුණු පඹයා සෙවීම

ටිරන් කුමාර බංගගමආරච්චි

2015දී රටේ හැට දෙලක්ෂයක් ජනතාවගේ එකම පැතුම වූයේ රාජපක්ෂ පාලනය පෙරළා දැමීමය. එය අකුරටම සිදුවිය. එහෙත් ඒ පැතුම වුවමනාව නැවත සිදුවේද? 2015දී රාජපක්ෂ පාලනය නතර කළවුන් කීදෙනෙක් අද නැවත රාජපක්ෂ පාලනයම ඉල්ලා සිටින්නෙහිද? ලංකාවේ දේශපාලනය පුද්ගල සාධක මත දිවීම තදින්ම ඇරඹුණේ මහින්ද රාජපක්ෂ නිසාය. දේශපාලකයකුට ජනතා ආකර්ෂණයක් උපරිමයෙන් ලැබී නම් ඒ නායකයාද මහින්ද රාජපක්ෂ බව අවිවාදිතය. පුද්ගල චරිතයක් එලෙස උපරිම බලයකට ආඪ්‍ය වන විට එහි නරක ප්‍රතිඵල ඇතිවීම ස්වාභාවිකය. එමෙන්ම අමතක නොකළ යුත්ත නම් පුද්ගලයකු පරාජය කිරීමත් ලේසි බවය. 2015දී පරාජය කළේ මහින්ද රාජපක්ෂවය. මහා කඳවුරක් එකතු වූයේ ඒ තනි පුද්ගලයා පරාජය කරන්නටය. එමෙන්ම අමතක නොකළ යුත්තේ පුද්ගලයා මතම කේන්ද්‍ර වන බලය නැවත ක්ෂණිකව මතුවිය හැකි බවය. එසේ නොවන්නට නම් ඒ පුද්ගලයා ප්‍රතික්ෂේප කළ සියලු කාරණා කල් නොයාම ඔප්පු කළ යුතු බැවිනි. යහපාලන ආණ්ඩුව ඇන ගත්තේ එතැනය. මහින්ද නරක බව සමාජ ගත කළ ඔවුන් මහින්දගේ නරක මේ වන තෙක් නොපෙන්වීය. 2015 යහපාලනය බලයට එනවිට මහින්දලාගේ හත්මුතු පරම්පරාවම ඉවරයැයි ජනතාව සිතුවේ මේ රට විනාශ කර තිබුණේ ඔවුන් බවට යහපාලනය මනාව ඒත්තු ගන්වා තිබූ බැවිනි. එහෙත් අද සිදුව ඇත්තේ කුමක්ද? නැවත මහින්ද කරළියට ඒමය. ඒ වෙනම පක්ෂයක් හදාගෙන තමා නම් කරන කෙනා ප්‍රබල තැනක සිටින චරිතයක් බවට සමාජගත කරමිනි. අද සැවොම බලා සිටිනුයේ මහින්ද කඳවුරේ ජනපති අපේක්ෂකයා කවුද යන්නය. සියල්ල තීරණය වන්නේ ඒ අනුවය. මහින්දගේ ළඟම අය කුමක් කීවද මහින්ද තවමත් කෙනකු නම් නොකළේය. අවසාන තීන්දුව ඔහු අතේය. ඔහු තවමත් ලංකාවේ ජනප්‍රියතම දේශපාලන නායකයාය. 2015දී කුජීත වූ පුද්ගලයා ඉදිරි සිව් වසර තුළ නැවත පෙර ලෙසම මතුවීම හරහා ඒත්තු වන්නේ එක්කෝ යහපාලනය ජනතාව රැවටූ බවය. නැතහොත් මහින්ද නම් යකා කියන තරම් කළු නොවූ බවය. දැන් යහපාලනය ගෙනෙන්නට එදා දරදිය ඇද්ද සිවිල් සංවිධාන පුරවැසියන් නැවතත් 2015 මන්තරයට පණ දී ඇත. එනම් නැවත ඉලක්කය රාජපක්ෂ පාලනයක් නැවත කෙසේවත් ඇතිවීමට ඉඩ නොදෙන බවය. එය රටේ විනාශය බවය. දැන් මේ අයගේ බිය සැබැවින්ම ජනතාව තුළ ඇද්ද? ඒ අය මහින්දට මේ අය කියන තරම් බයද? අපගේ හැඟීම නැත යන්නය. මහින්ද ගැන 2015 දී කී කතා දැන් විහිළු වී ඇත. ඒ අයම අවුරුදු පහක් ගෙවෙන තැන අම්මෝ මහින්දලා එනවා පරාජය කළ යුතු යැයි කෙනෙක් කෑගැහැව්වද ඒ සටන් පාඨය වලංගු නොවන බව කිව යුතුය. ඒ සඳහා ඔවුන් දැන් අලුත් සටන් පාඨ සොයා ගත යුතුය. රාජපක්ෂ පාලනයක් නැවත ආවා යැයි සිතමු. එය අන්ත දරුණු වී යැයි සිතමු. එහෙත් දැන් ඒවා ජනතාව විශ්වාස කරන්නේ නැත. ඒ විශ්වාසය 2015දීම මරා දැමුණි. මහින්ද නැවතත් සුපර් ස්ටාර්ස්ම විය. ජනතා කැමැත්ත නැවත ඔහු තමා වෙතට ඇද ගත්තේය. දැන් එය කොතෙක්ද යත් ඔහු නම් කරන පුද්ගලයා ඔහු ලෙස අදහන්නට මිනිස්සු සූදානම් වී ඇත. මේ ජනතාව වෙන කවුරුවත් නොව එදා හැට දෙලක්ෂයේම බහුතරයක්ම විය හැකිය. කොටින්ම එදා ඔහු පැරදවූ මිනිසුන් අද ඔහු දිනවිය හැකිය. පුද්ගල සාධකය මතම හිස එසවූ දේශපාලනය පුද්ගල සාධකය විනාශ නොකොට මරා දැමිය නොහැකි බව ඔප්පු විය. (මරා දැමීම යනු දේශපාලනිකව මරා දැමීම) මහින්ද හොරා යැයි කියූ රනිල්ගේ ආණ්ඩුව බැඳුම්කර හොරකමත් සමග උන් මොන හොරුද අපිනේ හොරු යයි සමාජගත කළේය. බැඳුම්කර සෙප්පුව කැඩූ රනිල්ගේ හොර නඩයේ ප්‍රබලයකු වූ රවි අද එජාපයේ රනිල් වෙනුවෙන් කෑගසන වීරයා වී සිටියි. තම බිරිඳ නිවාස සංකීර්ණ මිලදී ගන්නා බවවත් නොදන්නා රවි රට හදන්නට පෙරට විත් ඇත. අද කිසිවකුටත් රාජපක්ෂ පාලනය අන්ත දූෂිතයැයි සටන් පාඨ කිව නොහැකිය. ඒ තරමටම යහපාලනයත් දූෂිතය. දැන් තරගය සම වේ. ඒ නිසා සටන් කළ යුත්තේ අලුත්ම ආරකටය. පරණ කතා වලංගු නැත. අලුත් සටන් පාඨ මහින්දලාට වඩා යහපාලනයට වුවමනාය. මහින්දට අමුතුවෙන් සුදනා වන්නට දෙයක් නැත. යහපාලන පස් වසර තුළ ඔහු සුදනකු කර හමාරය. එසේ නම් මහින්ද තම කණ්ඩායමෙන් ඉදිරිපත් කරන්නේ කවුද? ඔහු මෙරට දේශපාලන මහ පුටුවට තරග කරන ප්‍රධානතම චරිතයක් වනු ඇත. මේ ගෝඨා වුවද? දිනේෂ් වුවද? අවසානයේ සිරිසේන වුවද? එය ප්‍රබල චරිතයක් වනු නියතය. ඒ අනුව එජාපයට තම අපේක්ෂකයා තෝරන්නට සිදුවනු ඇත. එජාපයේ අපේක්ෂකයා යනු මහින්දලාගේ අපේක්ෂකයා අනුව තේරිය යුතු චරිතයක් වී ඇත. මහින්ද කාව දැම්මද ඔහු ප්‍රබල අභියෝගයක් බව කිව යුතුය. 2015 දී තරම් මෙවර තරගය ලේසි නැති බව කිව යුතුය. ජනතාවට වැදගත් වනුයේ මේ මොහොතේ මහින්දගේ අපේක්ෂකයාට වඩා යහපාලනයේ අපේක්ෂකයාය. ඔහු කවුරු වුව රාජපක්ෂලාගේ බල කඳවුර පෙරළා දැමිය හැකි අයකු විය යුතුය. වැඬේ මෙවර ලේසි නැත. යහපාලනය කවුරු දැම්මද දැන් ඊට 2015දී දේට වැඩි යමක් වෙතැයි ජනතා ප්‍රසාදයක් නැත. මේ තරම් ඉක්මනට තමන්ම තමන්ට වළ කපා ගත් ආණ්ඩුවක් ඉතිහාසයේවත් නැති බව ස්ථිරය. අතට ගත් දේ කටට දමා ගන්නට බැරි වූ ආණ්ඩුවක් ලෝකයේවත් නැතිවිය යුතුය. මේ අයට වූයේ හාවටයි, ඉබ්බටයි වූ කතාවමය. 2015දී වේගයෙන් දිවූ යහපාලන හාවෝ මහින්ද නම් ඉබ්බා කවදා එන්නදැයි නින්දට වැටුණේ ජය පෙනි පෙනීය. එහෙත් නින්ද මර නින්දක් විය. දැන් ඇහැරී දුවන්නට යනවිට තරගය හමාරය.

මහින්දගේ තේරීම

මහින්දගේ තේරීම කුමක් වුව ඊට ඔහු වටා සිටින අය පෙළ ගැසෙනු ඇත. ගෝඨාම ඉල්ලූ අය ගෝඨා නොදැම්මද වෙනතක් නොබලනු ඇත. ඒ අයට රාජපක්ෂලා නැතිව බැරිය. ඒ නිසා මහින්ද කියන්නේ කවුද? ඔහුව කර තබා ගත යුතුය. නැතිනම් දේශපාලනයෙන් විශ්‍රාම යා යුතුය. මන්ද ඒ කිසිවකු නැවත රනිල්ලා වටා එතැයි සිතිය නොහැකිය. ඒ අනුව මහින්දගේ අවසාන තීරණය දිනේෂ් හෝ සිරිසේනම විය හැකිය. එසේ නොවිය හැකිය. එහෙත් මේ මොහොතේ මහින්දට අකමැත්තෙන් වුව එකතු විය හැකි තේරිය හැකි වාසි සහගතම චරිතය සිරිසේන යැයි එක් තර්කයකි. ඉතා සුළුවට හෝ සිරිසේනටත් දැන් බලයක් ඇති බැවිනි. මහින්දගේ පිලෙන්ම කෙනෙක් දැමුවහොත් සිරිසේන වෙනම ආ හැකිය. එයට කැඩෙන්නේ තමාට එකතු වන බලයම බව මහින්ද දනී. අනෙක් අතට ගෝඨාට වඩා සිරිසේන වටිනුයේ ගෝඨා බැබලෙන්නේ තමාගේම රැස්වළල්ලෙන් වුවද සිරිසේනට ඔහුට කියා පොඩි දෙයක් හෝ දැන් ඇති නිසාය. අඩුම තරමේ එල්ලෙන්නට වැලක් හෝ ඇත. ලංකාව තුළ හැම කෙනාටම පොඩි හෝ ඉඩක් ඇත. ඒ නිසාම මේ හැම චරිතයක්ම බලයට උමතු වී ඇත.

නායකයෝ

2015දී රාජපක්ෂලාගේ යෝධ පාලනය පෙරළන්නට සිරිසේන වැනි පුද්ගලයකු දමා හැකිවී නම් අද සැවොම සිතනුයේ මේ ක්‍රමය වෙනස් කරන්නට පක්ෂ වුවමනා නැති බවය. පුද්ගලයා කවුද අදාළ නැති බවය. එනම් එක පිලකට විත් කවුරු හෝ දමා ඔසවා තැබිය හැකිය යන්නය. සිරිසේන ජනපති වීමත් සමග මෙය සමාජ ගතවිය. ඒ අනුව දැන් රනිල් ඇරෙන්න එජාපයේ සැවොම නායකයෝය. නවීන් දිසානායකට කලක සිටම ඒ ආශාව ඇතත් ඔහු මෑතකදී එය එළිපිටම කීවේය. උඩරට ජනපති වීම ඔහු ඉතා පහසු බව සිතනුයේ 2015දී ඇති කළ මේ සිහින නිසාය. සජිත් අන් කවරදාටත් වඩා බලසම්පන්න වී ඇත්තේ එජාපයෙන් බැරි වුවහොත් සිරිසේනත් අනාථ වුවහොත් දෙදෙනා එකතු වී එන්නටය. යම් හෙයකින් මහින්දගේ තේරීම සිරිසේන වුවහොත් සජිත් මේ තරගයෙන් ඉවත් වනවා නියතය. සැවොම නායකයෝ නිසා එජාපය මේ මොහොතේ නන්නත්තාර වී ඇත. සජිත් නොදැම්මොත් එජාපයේ බොහෝ අය විරසක වනු නියතය. ඒ අතර චම්පිකත් තමා තරම් කෙනෙක් නැතැයි ජනතා මුදල්ම කාබාසිනියා කරමින් ඔප්පු කරමින් සිටී. ඔහු බලහත්කාරයෙන් කා ළඟවත් නැති අමුතු දෙයක් තමා ළඟ ඇතැයි දැන්වීම් හරහාම පෙන්වමින් සිටී. සැබැවින්ම ඔහු යකඩ මිනිසෙකි. යකඩ මිනිස්සු දැන් යොදා ගන්නේ ලස්සනටය. අවසානයේ රනිල්ට එජාප ඡන්ද ටික දෙන්න යැයි කියන්නට වන්නේ කරුට විය හැකිය. මේ මොහොතේ කරු ගැන කතාව යට ගොස්ය. ඒ හිතාමතාමය. එජාපයෙන් දමන සුපිරිසිදුම චරිතය කරු විය හැකිය. කරු ජනපති යනු උඩරට ජනපතිට හරි ලේසිය. ඔහු ඒ ගැන පාරම්බානවා පවා ඇත්තේ ඒ විශ්වාසයේ සිටය. කරු ජනපති වුවහොත් නිල නොලත් රජු නවීන්ය. උඩරට ජනපතිය. මේ හැම චරිතයකටම සෙල්ලම් කරන්න වෙන්නේ රනිල් සමගය. රනිල් සමග සෙල්ලම මහින්දට වඩා භයානකය. එසේ කියා රනිල් ඉවත් කොට තරග කළ නොහැකිය. එක් අන්තයකින් මහින්ද මෙන්ම මේ අන්තයෙන් ප්‍රබලයා රනිල්ය. මේ චරිත දෙක සිටින තාක් ලංකාවේ දේශපාලනය ගමන් කරනුයේ මොවුන් දෙපළට වුවමනා ලෙසය. මහින්ද කවුරු ජනපති අපේක්ෂකයා කළද අගමැතිකම ඔහු බලාපොරොත්තු වනු ඇත. ඒ අගමැතිකම ජනපතිකම සේ ම පාවිච්චි කරන්නට පඹයකු ඔහු සොයනවා ඇත. එහිදී ගෝඨා මෙන්ම සිරිසේනත් විශ්වාස කළ හැකි බඩු නොවේ. ඒ නිසා අවසානයේ දිනේෂ් වැනි කීකරු අයකු මහින්ද තෝරා ගන්නට වුව ඉඩ ඇත. එසේ වුවහොත් එයම වෙනම මානයකින් කරළියට ගෙනෙන්නට ඉඩ ඇත. රාජපක්ෂලාට තැන නොදී මහින්ද වෙනකෙකුට තැන දුන්නා යැයි අමුතු කතිකාවක් ගොඩ නැගිය හැකිය. දිනේෂ් ජනපති වුවද සිරිසේන පන්නයේ අයෙකු නොවනු ඇත. මේ අනුව මහින්දගේ අවසාන තේරීම දිනේෂ් විය හැකිය. බොරළුගොඩ සිංහයාගේ පුතා මහින්දගේ පුතුම විය හැකිය. ඊට වාසු, විමල්, ගම්මන්පිල අත උඩින් කැමති වනු සහතිකය. අද කෑගසන වෙල්ගම පවා එහිදී නැවත මහින්ද සමග එකතු වනු ඇත. යම් හෙයකින් එය එසේ වුවහොත් මහින්දලාට දිනන්නට බැරිකමක්ද නැත.

සැබෑ අවුල

මේ මොහොතේ සැබෑ අවුල ඇත්තේ ආණ්ඩුවටය. එනම් මහින්දට නැති වෙන්නට දෙයක් නැත. ඔහුව නැත්තටම නැති කරන්නට උත්සාහ කළත් ඔහු නැවත ෆීනික්ස් කුරුල්ලා සේ මතුවිය. ඔහුව ෆීනික්ස් කුරුල්ලකු කළේද මේ යහපාලනමය. දැන් වැඬේ ලේසි නැත. සිරිසේනටත් රනිල්ටත් ලොකු වෙහෙසක් ගන්නට වුවමනාය. නැති වෙන්නට ඇත්තේ ඔවුන් සතු දේය. එහිදී රනිල්ට පැරදුණද ගාණක් නැත. නැවත විපක්ෂ නායක විය හැකිය. ලොකුම අවුල සිරිසේනය. ඔහු දැන් තහනම් ගහේ ගෙඩි කෑවා පමණය. ඔහු මේ තනතුර අතහරින්නට කොහෙත්ම කැමති නැත. අනුරාධපුරයේදී එල්ලුම් ගහ ඕනෑ යැයි 94%ක ප්‍රතිශතයක් මනාප වී තිබුණි. මේ ප්‍රතිශතය මත සිරිසේන උදම් වූයේ ජනතාව ඔහුගේ මතය පරාජය කර නැති බවය. ඒ අනුව ඔහුට ජනතාව ඔහු සමගයි සිතන්නට ඒ ලොසින්ජරයම ඇතිය.

මහින්ද කීවේ ප්‍රේමදාස යුගයක් එන බව ඇසීමෙන් තමා බය වූ බවය. ඒ සුදු වෑන් ටයර් සෑයවල් නැවත ඇතිවේ යැයි බියෙනි. මේ බබාලා දැන් තොත්ත බබාලාම වී ඇත. ජනතාව මෙවර නැවත මහින්දලාව තෝරා ගතහොත් අප පුදුම වියයුතු නැත. මන්ද ජනතාවත් එකට එක කරන්නට රුසියෝය. ඒ බව යහපාලන ආණ්ඩුව මතක තබා ගත යුතුය. මෙවර පක්ෂ පමණක් නොව, ජනතාව අතරත් ලොකු තරගයක් ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව දැනට ඇති බහුබූත රටාව වෙනස් කොට නැවත පුරුදු රටාවට එන්නටය. යහපාලනය වැනි වචන පවා අද හිරිකිතය. සංහිඳියාව වැනි වචන පවා අද පිළිකුල්ය. ඒවා මේ ආණ්ඩුව විනාශ කළේය. මොන විදිහකින් හරි රාජපක්ෂලා ඒම වැළැක්වීම එකම අරමුණ යැයි කියා කෑ ගසන්නට බලා සිටින අය වෙන සටන් පාඨයක් සොයාගත යුත්තේය. එය නම් මෙවර වලංගු නැති බැවිනි. රනිල් ආවොත් රට බටලන්දවල්වලින් පිරේ යැයි කොතෙක් කීවද රනිල් ඉන්පසු දෙවරක්ම අගමැති විය. එසේ නම් මහින්දව වට්ටන්න දැන් සුදු වෑන්, තාජුඩීන්, එක්නැළිගොඩලා මදිය. රනිල් කී පසු සැවොම එකට ‘හොරා’ ‘හොරා’ යැයි කීවද සැවොම හොරු බවත් කෑගසන කෙනා ලෝක හොරෙක් බවත් දැන් ජනතාව දනිති. මේ වෙලාවේ එක්තරා විදිහකට ජනතාව සැමට වඩා අසරණ වී ඇත. ඒ අලුත් ජනපති තේරීමේදීය. ජනතා කැමැත්ත ඇත්තේ වැට උඩය. එන විදිහ අනුව එන අය අනුව වෙන දේ බලා සිටීමට සිදුව ඇත. තරගයට ඉදිරිපත් වන අය නොදැන දිනන අය ගැන ඔට්ටු අල්ලනුයේ කෙසේද? අපි තවම දන්නේ පුහුණුකරුවන් ගැනය. තරගකරුවන් තවම ඉදිරිපත් වී නැත. එසේ නම් කල් තබා අමුඩ ගසනුයේ ඇයි? මේ මොහොතේ දේශපාලනය ගැන කතා කිරීම යනු ඕපාදූප කතා කිරීමය. මේ එවැනි ඕපාදූපයට මහින්දට සහ රනිල්ට තමාට අවනතම කෙනා සොයා ගැනීමේ තරගය තවමත් අමාරු වී ඇත.