විකිරණ අනාරක්ෂාව සැඟවීමේ උත්සාහයක්

නිමල් අබේසිංහ

මෙරටේ විකිරණ ප්‍රභව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන දෙක වන පරමාණුක බලශක්ති නියාමන සභාව සහ පරමාණුක බලශක්ති මණ්ඩලය සිය වගකීම් නිසි ලෙස ඉටුකර නැති බව රාවය පුවත්පත කළ හෙළිදරව්ව සත්‍ය බව මේ වනවිට සනාථ වී හමාරය. රාවය පුවත්පතේ ප්‍රවෘත්ති සහ විශේෂාංග ලිපි පළවීමෙන් පසුව විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධ සුවිශේෂී පරීක්ෂණයක් සිදුවෙමින් පවතින අතර එයින් කලබල වූ මේ ආයතන දෙකෙහි ප්‍රධානියෝ කලබල වී සිටිති. ප්‍රධානම කරුණ වන්නේ විගණනයට අවශ්‍ය තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමය. මේ සම්බන්ධයෙන් විමසීමට පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා විගණකාධිපතිවරයා විසින් විගණකාධිපති දෙපාර්තමේන්තුවට කැඳවා තිබූමුත් ඔහු එය මගහරිමින් සිය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් තෙන්නකෝන් විගණකාධිපති හමුවට යවා ඇත. එහිදී විගණකාධිපතිවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාට තදින් දෝෂාරෝපණය කර ඇති අතර, එසේ නොපැමිණීමට හැකි නම් ලිඛිතව දැනුම් නොදුන්නේ ඇයිදැයි ප්‍රශ්න කර ඇත. මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවට දන්වන බවද පවසා තිබේ. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව මේ වනවිටත් විගණකාධිපතිවරයා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව කරුණු දක්වා කෝප් කමිටුවට ලිපියක් යවා ඇත.

හෙළිදරව් වී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ විකිරණ ප්‍රභවයන් ආරක්ෂා කිරීමේ උපකරණ සවිකිරීම සඳහා සම්බන්ධ වූ ආයතනය සහ පරමාණුක බලශක්ති මණ්ඩලය හෝ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව සමග කිසිදු ගිවිසුමක් අත්සන් කර නැත. එබැවින් සවි කළ උපකරණ මොනවාද ඒවා පාලනය වන්නේ කා යටතේද යන්න පිළිබඳ මෙම ආයතන අතර කිසිදු එකඟතාවක් නොපැවතීම නිසා විකිරණ ප්‍රභවයන් ආරක්ෂාව සැබැවින්ම අයාලේ ගොස් ඇත. මේ අනුව රාවය පුවත්පත ඉස්මතු කළ ප්‍රශ්න වන මේ වනවිට බියගම ගැමා මධ්‍යස්ථානයේ විකිරණශීලී ප්‍රභවයන් ආරක්ෂාව සඳහා ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ දුරස්ථ සංඥා පද්ධතියක් සවිකර නැත. එසේ සවිකර තිබුණේ නම් ඒ කවර දිනකද? මෙයටද පිළිතුරු නැත. රාවයේ අනෙක් විශේෂ ප්‍රශ්නය වූයේ දුරස්ථ සංඥා පද්ධති පරමාණුක බලශක්ති මණ්ඩලයේ ඉන්වෙන්ටි්‍ර ගතවී තිබේද යන ප්‍රශ්නයය. එහිදී කිවයුත්තේද කිසිදු උපකරණයක් පිළිබඳ ඉන්වෙන්ටි්‍ර ගතවීමක් සිදුව නැති බවය. මතු කළ තවත් වැදගත් ප්‍රශ්නයක් වූයේ ගැමා මධ්‍යස්ථානය හා පරමාණුක බලශක්ති මණ්ඩලයේ විකිරණ ගබඩා මධ්‍යස්ථානවලට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදීම සඳහා ගිවිසුමක් තිබේද යන්නය. එහිදීද එවැනි ගිවිසුමක් නැති බව අනාවරණය වී ඇත. මෙහිදී මතු කළ යුතු ප්‍රධානම ප්‍රශ්නයක් වනුයේ මේ සම්බන්ධයෙන් රාවය ප්‍රශ්න කළ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලබා දුන් පිළිතුරය. එහිදීද එවැනි ගිවිසුමක් ඇති බවට සහතික කරන පිළිතුරක් නොලැබුණි. මින් හැඟී යන්නේ කුමක්ද? කොබෙල්ට්-60 වැනි දැඩි අනතුරු ඇතිවිය හැකි මෙන්ම අනතුරු ඇති කරමින් විශාල ව්‍යසනයක් ඇති කළ හැකි විකිරණ ප්‍රභවයක් සම්බන්ධයෙන් ඒවාට වගකිවයුතු නිලධාරීන් කටයුතු කරන සීතල ප්‍රතිපත්තිය. ඔවුන්ගේ වගකීම් විරහිත පිළිතුරුවලින් රැවටෙන ආරක්ෂාව සම්බන්ධ ප්‍රධානීන් මෙන්ම පාලකයන්ය. මේ රටේ දේවල් සිදුවී ඇති ආකාරයට මේ උදවියට විකිරණ අනාරක්ෂාව යනු ඉතා සුළු දෙයකි. එහෙත් අමතක නොකළ යුතු දෙයක් වනුයේ මේ අනාරක්ෂාව නිසා සිදුවිය හැකි විනාශය මහමෙරක් විය හැකි බවය. විකිරණ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකන විටදි කරාපිටිය රෝහලේ තත්ත්වය එතරම් සතුටුදායක නැත. මේවාට සම්බන්ධ උපකරණ මේ වනවිට සවිකර ඇත්තේ නව ගොඩනැගිල්ලකය. එහෙත් අවශ්‍ය ආරක්ෂාව සපයා නැති බවට තොරතුරු හෙළිවී ඇත. අවම වශයෙන් මෙම රෝහලේ විකිරණ යන්ත්‍ර ක්‍රියාකරවන්නන් ටී.එල්.ඩී. උපකරණය ගැන පවා එය නොදන්නා බවට තොරතුරු තිබේ. ටී.එල්.ඩී. (තර්මෝ ලුමිනෂන් ඩොසීමීටර්) යනු විකිරණ යන්ත්‍ර ආශ්‍රිතව ක්‍රියාකාරී පුද්ගලයන්ගේ සිරුරු තුළ විකිරණ අත්දැයි සොයා බලන උපකරණයය. එවැන්නක් ගැන නොදැනීම යනු එවැනි උපකරණ මෙම රෝහලට ලබාදී නැති බවය. එහි වගකීම නියාමන සභාවට මෙන්ම මණ්ඩලයටද පැවරේ. එය කිසිසේත් ප්‍රතික්ෂේප කළ නොහැක්කකි. හෙළිදරව් වී ඇති අනෙක් තොරතුර වන්නේ නියාමන සභාව සිය කටයුතු නිසි ලෙස ඉටුකර නැතිවීමය. එනම් නියාමනයට අවශ්‍ය ප්‍රතිපත්ති නීතිරීති සම්පාදනය කර පාර්ලිමේන්තුවේ සම්මත කර නොගැනීමය. එසේ නොකිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ තමන්ට රිසි පරිදි විකිරණ ප්‍රභවයන් නියාමනය කිරීමය. එවිට කන්ටේනර් අංගණවල පවා විකිරණ ප්‍රභවයන් ගබඩා කර තැබීමට අවස්ථාව උදාවේ. කැලණියේ කන්ටේනර් අංගණයක කරාපිටියට සහ මහනුවරට ගෙනයාමට තිබූ කොබෙල්ට් 60 ප්‍රභවයන් ගබඩා කර තැබීමට නියාමන සභාවට රැකවරණය ලැබෙන්නේ මේ ප්‍රතිපත්ති සම්පාදනය නොකර තිබීමේ ආනුභාවයෙනි.

විකිරණ ප්‍රභවයන් අනාරක්ෂිතව ඇති බවට රාවය පුවත්පත හෙළිදරව් කළ පසුව කලබල වූ පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා සිය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහෙය වූයේ මෙම තොරතුරු හෙළිදරව්වීම පිළිබඳ සොයා බලන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වන ලෙසටය. ඒ අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව පැමිණිලි කර ඇත. සැබැවින්ම සෙවිය යුත්තේ තොරතුරු හෙළිදරව්වීම පිළිබඳව නොව තවමත් විකිරණ ප්‍රභවයන් අනාරක්ෂිතව තිබීමට වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවීමට කටයුතු කිරීමය. විකිරණශීලී ප්‍රභවයන් අනාරක්ෂිත බව හෙළිදරව්වීමත් සමගම වඩාත් කලබල වූ සහ ඒවා විගණකාධිපතිවරයාගේ විමර්ශනවලින් පවා සැඟවීමට ගත් ප්‍රධාන පුද්ගලයා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයාය. එයට ද හේතුවක් තිබේ. ඒ ඔහු විසින් මණ්ඩලය තුළ සිදුකර ඇති දූෂණයන්. පළමු කාරණය වන්නේ වයස අවුරුදු හැත්තෑව ඉක්ම වූ පුද්ගලයකු වන ඔහුට මෙහි සභාපති ධුරය දැරීමට ඉඩක් නැත. ඒ PS/PCMD/19/2018  දෙසැම්බර් 03 ජනාධිපතිවරයාගේ චක්‍රලේඛය ප්‍රකාරවය. එයට අනුව වයස අවුරුදු 70 ඉක්මවූ අයකුට එවැනි තනතුරක් දැරිය හැක්කේ ඔහු තත් විෂයේ ප්‍රාමාණියෙකු නම් පමණි. වාහන බැටරි ගැන පමණක් දන්නා ඔහුට පරමාණුක ශක්ති විෂයයේ හෝ විකිරණ ප්‍රභවයන් ගැන අබමල් රේණුවක දැනුමක් නැත.

පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා ඔහුගේ ඉතා කුඩා සේවා කාලය තුළ සිදුකර ඇති දූෂණ වංචා නම් කුඩා නැත. ඔහුගේ පරිහරණය සඳහා නිකුත් කර ඇති නිල රථය වාහන සංචිතයට භාර කොට ඔහුගේ දුර ගමන් යනුයේ ආයතනයේ වාහන දෙකක් යොදා ගනිමිනි. සංචිතයට භාර කළ ඔහුගේ නිල රථය ආයතනයේ වෙනත් නිලධාරියකුට පාවිච්චි කිරීමට ද ඉඩක් නොදේ.

සභාපතිවරයා එසේ භාවිත කරනුයේ ආයතනයේ NB 2660 දරන වාහනය සහ PH 0604 දරන වෑන් රථයය. මෙ වෑන් රථ කුලී පදනම මත ආයතනයට ලබාගත්තකි. මෙම වාහන යොදා ගනිමින් 2019 පෙබරවාරි 18, 19 දිනවලදී කිලෝමීටර් 600කට වැඩි දුරකුත්, මාර්තු 21 සිට 24 දක්වා කිලෝමීටර් 800කට වැඩි දුර ප්‍රමාණයකුත් අප්‍රේල් 16 සිට 21 දක්වා කිලෝ මීටර් 1600කට ආසන්න ප්‍රමාණයකුත් දුර ගමන් ගොස් තිබේ. මේ කුමක් සඳහාද? යන්න හෙළිදරව් කරගත යුතුය. ඒ සමහරක් විටෙක ඔහුගේ පොල් ඉඩම් බැලීමට හෝ බැටරි ව්‍යාපාරික කටයුතු සඳහා ද විය හැකිය.

මණ්ඩලයට වාහන පිටතින් කුලී පදනමට ගන්නට සිදුව ඇත්තේ සභාපතිවරයාගේ අවනීතික ක්‍රියාවන්ම හේතුවෙනි. ඒ ඔහු විසින් විදුලිබල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායකගේ පෞද්ගලික සහකාර නන්දපාල සිල්වාට මණ්ඩලයේ ටොයොටා කැබ් රථයක් නිදහස් කර තිබීමෙනි. එවන් අයකුට වාහනයක් නිකුත් කළ නොහැකිවා සේ ම එසේ අත්‍යවශ්‍ය නම් එය ඉල්ලා සිටිය යුත්තේ අමාත්‍යාංශ ලේකම්වරයාය. කෙසේ හෝ මෙම කැබ් රථය ආයතනයේ නයිට්‍රජන් ප්‍රවාහනය සඳහා තිබූ වඩාත් සුදුසුම වාහනය ලෙස ආයතනයේ පාලන අධ්‍යක්ෂවරයා නිර්දේශ කර තිබියදීත් කිසිදු නීත්‍යනුකූල බලයක් රහිතව එය නිදහස් කිරීම වරදකි. අනෙක් අතින් මේ හේතුව නිසා වාහනයේ රියදුරුගේ අතිකාල දීමනාව එකට තුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ. වඩාත් පුදුමය නම් මෙම වාහනය භාවිත කර ඇත්තේ එය ලබා දුන් නන්දපාල ද සිල්වා නොව නන්දසිරි, දිමුතු, දසුනි යන අය බව ධාවන වාර්තා අනුව හෙළිදරව් වීමය.