අගමැති රනිල්ගේ නියමයෙන් ශ්‍රීලනිපයේ 4කට ඇමති නිල නිවාස

දිනී ජයසේකර

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නියමය පරිදි ශ්‍රීලනිපය නියෝජනය කරන හිටපු ඇමතිවරුන් සතර දෙනකුට 2019.12.31 දක්වා ඇමති නිල නිවාස තුළ රැඳී සිටීමට අවසර ලබා දී තිබේ.

එම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන්නේ ලසන්ත අලගියවන්න, ෆයිසර් මුස්තාපා, දුමින්ද දිසානායක, විජිත් විජයමුනි සොයියාය. ඔවුන් අමාත්‍ය ධුර වලින් ඉවත් වී මේ වන විටත් මාස 7කට අධික කාලයක් ගත වී තිබේ. මීට අමතරව අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව, හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයාටත් දින නියමයක් නොමැතිව විපක්ෂ නායක නිල නිවසේ රැඳී සිටීමට අනුමැතිය ලැබී ඇත.

ආයතන සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ 6:10 වගන්තිය යටතේ රාජ්‍ය නිලධරයකුගේ සේවය අවසන් කළ විට හෝ ඔහු සේවයේ යෙදී සිටියදී මියගිය විට පවුලේ සමාජිකයන්ට හෝ එම සිද්ධිය සිදු වූ ලිත් මාසයට පසුව එළඹෙන ලිත් මාසය අවසානය දක්වා නිල නිවාසයේ රැඳී සිටීමට හැකියාවක් ඇත.

තවද විශේෂ අවස්ථාවක නිල නිවාස තුළ රැඳී සිටීමට හැකියාවක් ඇති අතර 6 වන වගන්තිය යටතේ ඇති කරුණු වලට අදාළ නොවන ලෙස නිල නිවාස තුළ රැඳී සිටින්නේ නම් ආයතන සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ 7.1 වගන්තිය යටතේ ඔවුන්ට විරුද්ධව නෛතික කටයුතු ආරම්භ කිරීමේ හැකියාවක් තිබේ.

කෙසේ වෙතත් හිටපු ඇමතිවරුන් භාවිතා කළ ඇමති නිල නිවාස ඔවුන් අමාත්‍ය ධුර අත් හැරීමෙන් පසුවත් භාර නොදීම නීති විරෝධී සහ සදාචාර සම්පන්න නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයකු රාවයට ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධ අදහස් දැක් වූ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ජිනසිරි දඩල්ලගේ පැවසුවේ ඇමතිවරුන් භාවිතා කළ ඇමති නිල නිවාස අමාත්‍ය ධුර අවසන් කළ පසු නැවත ආපසු භාර දිය යුතු බවත්, විශේෂ හේතුන් මත නිල නිවාස භාරදීමේ කාල වකවානුව මාස තුනකට පමණ ආසන්න කාලයක් දීර්ඝ කළ හැකි බවත් ය.
රජය සතු නිල නිවාස පිළිබඳ පාර්ලිමේන්තු පනතකින් විධිවිධාන සලසා නොමැති අවස්ථාවකදී අමාත්‍ය මණ්ඩලයට ඇමති නිල නිවාස පිළිබඳ තීරණ ගැනීමට බලයක් නොමැති බවත් ආයතන සංග්‍රහය අනුව ඇමති නිල නිවාස පිළිබඳව තීරණ ගැනීමේ හැකියාවක් තිබෙන්නේ රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යවරයාට බව හිටපු විගණකාධිපතිවරයකු වන එස්. සී. මායාදුන්න වැඩි දුරටත් සඳහන් කළේය.

රාවය, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් විස්තර අනුව අග්‍රාමාත්‍යවරයාගේ සහ අමාත්‍ය මණ්ඩල නියමය පරිදි රැඳී සිටින මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස පිහිටි කොළඹ නගරයේ ලිපිනයන් වන්නේ ලසන්ත අලගියවන්න, 110-3/ විජේරාම මාවත, ආර්. සම්බන්ධන්, B-12/ ස්ටැන්මෝර් ක්‍රසන්ට් මාවත, ෆයිසර් මුස්තාපා, C-51/ කැප්පෙටිපොල මාවත, දුමින්ද දිසානායක,E- 01/ ස්කෙල්ටන් පාර, විජිත් විජයමුණි සොයිසා, 6-1/ ලොරිස් පටුමග ය.
තවද අග්‍රාමාත්‍යවරයාගේ හෝ අමාත්‍ය මණ්ඩල නියමයන් පවා නොමැතිව ඇමති නිල නිවාස තුළ තවමත් රැඳී සිටින හිටපු ඇමතිවරුන් වන්නේ චන්දිම වීරක්කොඩි, රංජිත් සියඹලාපිටිය, ටී. බී. ඒකනායක, සරත් ෆොන්සේකා, එල්. ඒ. එම්. හිස්බුල්ලා, ඒ. එච්. එම්. ෆවුසි, දයාසිරි ජයසේකර, ඩුලිප් විජේසේකර, දුනේෂ් ගන්කන්ද ෆයිසල් කාසිම්, එච්. එම්, එම් හාරිස් ය.

ඔවුන්ට එරෙහිව 1969 අංක 7 දරන රජයේ නිවාස (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනත යටතේ නෛතික කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවද රාජ්‍ය පරිපාලන අමා්‍යංශයෙන්, රාවයට එවූ පිළිතුරේ දැක්වේ.

එහෙත් අගමැතිවරයාගේ නියමය පරිදි රැඳී සිටින මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නෙගන්නා බවද දැනගන්නට ඇත. කෙසේ වෙතත් අමාත්‍ය ධුරවලින් ඉවත් වූ පසු නිල නිවාස ආපසු භාර දී ඇත්තේ මන්ත්‍රීවරුන් සතර දෙනෙකි.

එස්. බී. නාවින්න, සුමේධා ජී. ජයසේන, ඩිලාන් පෙරේරා, බී. එම්. ඩී.ටී. බස්නායක යන මන්ත්‍රීවරුන් සතර දෙනාය. ■