ගයාන් – වරුණි කවි සිතුවමක අරුත

එන්. ලංකා මාගම්මන

කවියක්, සිතුවමක් එක් නිමේෂයකට කැටි කොට ගනිමින් ගයාන් ඉන්දුල කොඩිතුවක්කු සහ වරුණි ගයානි කොඩිතුවක්කු විසින් කාව්‍ය ග්‍රන්ථයක් සහ සිතුවම් දැක්මක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී අගෝස්තු 01, 02 දිනවල පැවැත්වූහ.

ගයාන් තුළ කවියක් ඉපදුණේ කොහොමද?

කවි ලියන්න වුවමනාවක් ඇතිවුණේ මගෙ හිතේ කැකෑරෙන දේවල් කියන්න ඕනේ හින්දා. මගේ හිතේ තිබුණු පීඩනය කවිය හරහා ප්‍රකාශ කරලා මා සැහැල්ලු වෙන්න බැලුවා. ඇත්තටම කියනවා නම් මං හිතන විදිහට හැඟීම්වලට වචන තියෙන්නේ හරි සීමාසහිතවයි. සමහර හැඟීම් ප්‍රකාශ කරන්න අපට වචන තියෙනවාද කියලත් මට සැකයි. හදවතට දැනුණු ලොකු කඩා වැටීමක් වචනවලින් විග්‍රහ කරන්න ගියවිට මොනතරම් අඩුපාඩු සිදුවෙනවාද? ඒ වගේම හදවතට දරා ගන්න බැරිතරම් සතුටක් ඇතිවුණාම එය වචනයට පෙරළන්න හරියටම පුළුවන්ද? හැබැයි කවියකින් උපරිමයෙන්ම ඒ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් නම් හිත පුදුම විදිහට සැහැල්ලු වෙනවා. මං කවියකින් මගේ හිතේ සැඟවුණු, තෙරපුණු, අදහස් පිටමං කරලා සැහැල්ලුවක් ලබා ගත්තා. මගේ හිතේ තිබුණු සමහර අදහස් කවුරුත් ඇහුම්කන් දුන්නේ නැති වුණාට මගේ කවි සිතුවිලි හුඟ දෙනෙක් කියෙව්වා. ගොඩක් දෙනෙකුට සමීප වුණා. කවි ලිවීම හරහා පුදුමාකාර ලෙස මානසික සුවයක් අත්විඳින පුද්ගලයෙක් මම. මම නිදහස් නම් තව කෙනකුව නිදහස් කරගන්න අසීරු වෙන්නේ නැති බව මා දන්නවා. මං වහලෙක් කියලා හරියට අවබෝධ වුණොත් විතරයි තව වහලෙක් වෙනුවෙන් මට පෙනී සිටීමට හරි පුළුවන් වෙන්නේ. කවිය මගේ මනස, හදවත නිදහස් කළා. නිරවුල් කළා. ඒ මාර්ගයෙම යෑම තමයි දැන් මගේ අරමුණ. මගේ පළමු කවි පොත 2015දී ‘විරාමයකට පසුව හමුවෙමු’ නමින් ප්‍රකාශ වුණා. ඉන් අනතුරුව වසර 4ක තුළදී ‘රාවය’ ඇතුළු විවිධ පුවත්පත්වලට ලියන ලද කවිවල එකතුවකින් තමයි ‘මට සිළිටි සිහිනයිනි’ නමින් මගේ දෙවන කාව්‍ය ග්‍රන්ථය එළිදක්වන්නේ.

වරුණිගෙ හිතේ සිත්තරෙක් පැන නැඟුණේ කොහොමද?

පුංචිම කාලේ ඉඳන් ජීවිතයට ගලාගෙන ආපු ප්‍රශ්න ගංගාවේ මං ගහගෙන ගියා. සමාජයෙන් තනිවෙලා, ඇතිවුණු හුදකලා බවත් සමග මං මොනයම් දෙයක් හරි කරන්න ඕනේ කියන අදහස හිතට ආපු වාර අනන්තයි. පාසලේදී කරන සෞන්දර්ය විෂයන්වලින් මට කරන්න ඉතුරු වුණේ චිත්‍ර විෂය පමණයි. කොත්මලේ ගාමිණී දිසානායක මහ විදුහලේදී විෂයක් හැටියට චිත්‍ර විෂය තෝරා ගැනීමෙන් අනතුරුව මගේ හුදකලා වූ ජීවිතයට, මානසිකත්වයට හොඳ සුවයක් ලැබුණා. පාසල් කාලයේදී සාමාන්‍ය පෙළ දක්වා චිත්‍ර විෂය කරන්න ලැබුණා. අප ජීවත් වූ පරිසරය තුළ ඉන් එහාට චිත්‍ර විෂය ගැන වැඩිදුර ඉගෙන ගන්න පහසුකමක් මට තිබුණේ නැහැ. නමුත් චිත්‍ර විෂය පිළිබඳව මගේ හිත ඇතුළෙ තිබුණු දරුණු කැමැත්ත හේතුවෙන් ඒ පිළිබඳ ස්වයං අධ්‍යයනයන් කරන්න මා පෙළඹුණා. හිතේ තියෙන දේවල් කාටහරි කිව්වහම හිත නිදහස් වෙනවා. ඒත් මගේ හිතේ තිබුණු දේවල් අහන්න කවුරුත් හිටියෙත් නැහැ. මගේ හිතේ හැංගිලා, තෙරපිලා, ගුලිවෙලා තිබුණු අදහස් එළියට දාන්න චිත්‍රය මට පුදුමාකාර විදියට ආශිර්වාදයක් වුණා. මගේ හිතට පුදුමාකාර විදිහේ සැහැල්ලුවක් ඇතිවුණා. මං අඳින චිත්‍ර එක්ක කතා කරන්න හිනාවෙන්න, අඬන්න, සතුටුවෙන්න මං ඉගෙන ගත්තා. මගේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූවේ 2012 වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවල නිරත වී සිටින විටයි. එය ‘කළුවර හීනයක්’ නමින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදීම පැවැත්වුණා.

සාහිත්‍ය හා ජීවිතය ගයාන්ට සමීප වන විදිය මොකක්ද?

සාහිත්‍යය මගේ ජීවිතයට පදනම දැම්මා කිව්වොත් හරි. සාහිත්‍යයෙන් පෝෂණය නොවුණා නම් මගේ ජීවිතය අඳුරු ගුහාවක් බවට පත්වෙනවා. අද මා සාමාන්‍ය ජීවිතයක් ගතකරන්නේ සාහිත්‍ය තුළින් ඇති කරගත් පදනමක් ඇතිවයි. ලංකාවේ හා ලෝක සාහිත්‍ය කෘති ඇසුරෙන් මගේ ජීවිතයට ආලෝකයක් ලැබුණා. සයිමන් නවගත්තේගම මහතාගේ සාහිත්‍ය කෘති කියවන්න මා හරිම ආසයි. ඒ වගේම ලෝක සාහිත්‍යවේදියෙක් වන පාවුලෝ කොයියෝගේ සාහිත්‍ය කෘති කියවන්නත් වැඩි කැමැත්තක් මගේ තියෙනවා. ජීවිතය හරියාකාරව කියවාගන්න නම් සාහිත්‍ය ඇසුර අනිවාර්යයෙන්ම වුවමනා වෙනවා.

වර්ණ හා ජීවිතය ගැන වරුණිට ඇතිවෙන හැඟීම මොකක්ද?

මං ගොඩක් වර්ණවලට ආසයි. විශේෂයෙන් ම තද වර්ණවලට. තද වර්ණවලින් මට නොබියවම මගේ හිතේ තියෙන අදහස සමාජ ගතකරන්න පුළුවන් කියලා මට විශ්වාසයි. සෞම්‍ය වර්ණවලට මගේ වැඩි කැමැත්තක් නැහැ. ජීවිතය හරි රළුයි. ඒ වගේම තියුණුයි. ඒ නිසාම තද වර්ණ සුදුසු පරිදි මගේ චිත්‍රවලට ආලෝකය සපයනවා. ගොඩක් මිනිස්සු හිතන්නේ ලස්සන දේවල් සෞම්‍යයි කියලා. හැබැයි පීඩනයෙන්, තෙරපීමෙන්, මතුවන ලස්සන දකින මිනිස්සු මේ සමාජයේ හරි අඩුයි. තමන්ගේ ඇතුළාන්තයෙන් දකින පීඩනය චිත්‍රයට නගලා එයට තද වර්ණ සංයෝජනයක් එකතු කළ විට වරු ගණන් දවස් ගණන් ඒ චිත්‍රය දිහා බලාගෙන විඳින්න පුළුවන්. මං විශේෂයෙන් රතු, කළු වගේ තද වර්ණවලට කැමතියි. ඒ වගේ චිත්‍ර ඇඳීමෙන් මට සැනසීමක් ලැබෙනවා.

ලංකාව වගේ රටක මිනිස් අයිතිවාසිකම් ගැන ගයාන්ට මොකද හිතෙන්නේ?

අපේ රටේ ජීවත් වන බහුතර ජනතාව ප්‍රසන්න හැඟීමකින් ජීවත් වෙනවාද කියලා සැකයක් තමයි ඇතිවෙන්නේ. බලන බලන හැම මනුස්සයාම ඉන්නේ මොනයම් හරි පීඩනයක. මිනිසුන්ට අයිතිවාසිකම් තියෙනවා කියලා නීතියක් තිබුණට වැඩක් නැහැ. එය ප්‍රායෝගිකව මහ පොළොව මත ක්‍රියාත්මක නොවෙනවා නම්. ඒවා ක්‍රියාත්මක කරන ආයතනවල ඉන්නේ මිනිස්සුන්ද කියලා සමහර වෙලාවට හිතෙනවා. අපි වගේ දහස් සංඛ්‍යාත මිනිසුන්ට මේ සමාජය තුළ සාධාරණය, යුතුකම ඉටුවෙන්නේ අල්ප වශයෙන්. එය අපගේ ජීවිත ලබන අත්දැකීම්වලින් මනාව පෙන්නුම් කරනවා. අපට වෙන අසාධාරණය, අකටයුත්ත මා කවියෙන් හරි සමාජගත කරනවා. එහෙම නැතිව ඇස් පියාගෙන ඉන්නේ නම් නැහැ. අපත් මේ සමාජයේ පුරවැසියන් ලෙස දකින්න කටයුතු කරන්න අපටත් ඉඩක් තිබිය යුතුයි. ඒ වෙනුවෙන් අප හැමවිටම පෙරමුණ ගන්නවා. මනුස්සයන්ට ගෞරව කරන සමාජයක් හදන්න පොඩි තැනකින් හරි නිවැරදි ආරම්භයක් ගන්න ඕනේ. අපට මෙය වෙනස් කරන්න පුළුවන් කියලා විශ්වාසයක් සෑම දෙනාගේම සිත්වල තියෙන්න ඕනේ. පවතින සමාජය නිර්වින්දනය වෙලා තියෙන්නේ.

වරුණිට ඒ ගැන තිබෙන අදහස මොකක්ද?

අපට මේ සමාජයෙන් අනුකම්පාවක් අවශ්‍ය නැහැ. අපට මේ රටේ පුරවැසියකුට හිමිවිය යුතු අයිතිවාසිකම්, වගවීම් දෙන්න ඕනේ. ලංකාවේ ආබාධිත ජනතාව ලක්ෂ 15කට වැඩි මිස අඩු නැහැ. එය මූලික ජනගහනයෙන් 6%ක් වැනි ප්‍රතිශතයක්. ඒ මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ මේ සමාජයට නිසි තක්සේරුවක් තියෙනවද? මෙවැනි මිනිසුන්ට මේ සමාජය විසින් තම යුතුකම් හා වගකීම් ඉටුකරලා තියෙනවද කියලා හිතලා බලන්න ඕනේ. ලෝකයේ රටවල් සමග මේවා සංසන්දනය කරන්න යන්නේ නැහැ. හැබැයි මානව හිමිකම් ප්‍රඥප්තියට ගරු කරන්න පුරවැසියන් හැටියට අප සැම බැඳී සිටිනවා. ඒ බැඳීම ඇස් බැන්දුමට පමණක් සිදු කරන එක වැරදියි. අසාධාරණයට විරුද්ධව අප වගේ මිනිස්සු ඇස් කන් පියාගෙන තවදුරටත් ඉන්න ඕනේ කියලා කවුරුහරි හිතනවා නම් ඒ ගැන අපට තියෙන්නේ දුකක්.

ගයාන් ලියන ලද කවියක් පිළිබඳ ප්‍රශ්නයක් වුණා කියලා දැනගන්න ලැබුණා. මොකක්ද වුණේ?

මට තියෙනවා මතයක්. ඒ මතවාදය ඔස්සේ මං කවි ලියනවා. ඒ සඳහා මට නිදහස තිබිය යුතුයි. එහෙත් මා ලියන ලද කවියක් නිසා මට සමහර තැන්වලදි තර්ජනයක් බලපෑමක් ආවා. මීට පස්සේ මේ වගේ කවි ලියන්න එපා කියන අනතුරු හැඟවීම කළා. මගේ ස්වාධීනත්වය වෙනුවෙන් ඒ අනතුරු හැඟවීම ගණන් නොගෙන ඒ කවිය මගේ පොතට ඇතුළත් කළා. අද සමාජයේ වාරණය ගොඩනැගෙන්නේ හරිම පුදුම විදියට. ඒ වගේ නොනිල වාරණයක් සහිත සමාජයක හිඳිමින් තමයි අප වැනි මිනිසුන් නිදහස ගැන කතා කරන්නේ.

චිත්‍රය හා දේශපාලනය ගැන වරුණි හිතන්නේ කොහොමද?

චිත්‍රවලත්, දේශපාලනික කියවීමක් තියෙනවා. ඒ දේශපාලනික කියවීම අපේ සමාජයේ බහුතරය නිසියාකාරව තේරුම් ගෙන නැහැ. ඒ නිසා තමයි මේ ආකාරයට දවසින් දවස, මොහොතින් මොහොත සමාජය නායයන්නේ. මගේ චිත්‍රවල තද වර්ණ සංයෝජනය එකතු කරමින් යම් දේශපාලන අරුත් සමාජගත කරන්න මට පුළුවන් ආකාරයෙන් මා උත්සාහ ගත්තා. මගේ චිත්‍ර නරඹන අයගේ කියවීම හා විඳීම ඇතුළේ ලැබෙන ප්‍රතිචාර මත තමයි මගේ උත්සාහයේ සාර්ථක, අසාර්ථක බව රැඳී තියෙන්නේ.