ක්ෂුද්‍ර චිත්‍ර සම්ප්‍රදායට මම වඩා කැමතියි – කුසල සමරවික්‍රම

සංවාදය – දිනී ජයසේකර

පළමුවෙන් ඔබේ චිත්‍ර කලාව සම්බන්ධව හැඳින්විමක් කරමුද?

සිතුවම් ශිල්පියෙකු වන්නට හේතු දෙකක් මට දැනෙනවා. ශිල්පීය හැකියාව සහ නිර්මාණාත්මක හැකියාව ලෙස එය මම විශ්වාස කරනවා. එහිදි මම ශිල්පීය හැකියාව උපරිමව කළ බවට මට විශ්වාසයි. ක්ෂුද්‍ර චිත්‍ර සම්ප්‍රදායේ මෙරට කුඩාම සිතුවම මි. මී.6×6 මහත්මා ගාන්ධි තුමාගේ සිතුවම ඊට එක් සාධකයක්.

මම ජීවිතයේ වැඩියෙන්ම ඇඳ ඇත්තේ ආලේඛ්‍ය රූපයි. එහි අනෙක් සිතුවම් වලට වඩා ඇති සුවිශේෂි වැදගත් ලක්ෂණය නම් චිත්‍ර ශිල්පියාගේ ශිල්පීය හැකියාව හොඳින් නියෝජනය වීමයි. එනම් නිර්මාණකරනයේදි අවකාශ බුද්ධිය නම් සුවිශේෂී හැකියාව අනෙක් චිත්‍ර ශිල්පීන්ට වඩා ආලේඛ්‍ය චිත්‍ර ශිල්පියකුට මූර්ති ශිල්පියකුට අත්‍යවශ්‍යම වන ක්‍රමවේදයක්. එය පහසුවක් කර ගනිමින් ජාතික පුවත්පත් සහ සඟරා වෙනුවෙන් මම සියලු ව්‍යවහාරික චිත්‍ර කලාවන් සිදු කිරීමට හැකියාවක් ලැබුණා.

ඒ අතර මම චිත්‍ර ප්‍රදර්ශන දෙකක් පවත්වා තිබෙනවා. පළමු “ආලේඛ්‍ය ක්ෂුද්‍ර ප්‍රදර්ශනය” මහනුවර ජාතික පුස්තකාලයේ 2012 වසරේ දි පැවැත්වුවා. දෙවැන්න 2015 වසරේ කොළඹ කලාභවනේ “සිත්තරු ඇඳි රූ ප්‍රදර්ශන” භුමියේ දි පැවැත්වුවා. මගේ තෙවන ප්‍රදර්ශනය “ප්‍රතිජීවී දිදුලන ආලේඛ්‍ය සිතුවම් දැක්ම” ලෙස 2019 ජූලි 27 වන සෙනසුරාදා උදෑසන 10.00 සිට සවස 07.00 දක්වා ප්‍රවීණ රංගවේදී අමරසිරි කලංසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් මහනුවර රුජිණ හෝටලයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

චිත්‍ර කලාව යනු වර්ණ සහ රේඛා හැසිරවීමක්. එහිදී චිත්‍ර ශිල්පියෙකුට සංයමය කියන කාරණාව කෙතරම් දුරකට වැදගත්ද?

සංයමය කියන කාරණය චිත්‍ර ශිල්පියෙකුට ඉතාමත් වැදගත්. ජනප්‍රිය කියමනක් තියෙනවා චිත්‍ර ඇඳිම භාවනාවක් බඳුය කියා. එය සැබෑවක්. උදාහරණයක් හැටියට ක්ෂුද්‍ර චිත්‍ර නිර්මාණයේදි මෙය ඉතා බලවත්. සංයමය නොමැතිව ඉතා කුඩා වපසරියක පින්සල හැසිරවිය නොහැකියි. ක්ෂුද්‍ර චිත්‍ර අඳිනා හැටි කියාදෙන්න යැයි කරනා ඉල්ලිමකදි මම නිතර පවසන උපදෙසක් තමයි ක්ෂුද්‍ර චිත්‍ර අඳිනා විට කිසිම විටෙක ගෙවල් දොරවල් යාන වාහන සිහින නොදකින ලෙස. ඒ කියමනෙහි යම් ගැඹුරක් තියෙනවා. එහි ව්‍යංගාර්ථය සැබෑ අව්‍යාජ ආත්ම ප්‍රකාශනය බිහි වන්නේ මුදල් මූලික කර නොගෙන බව සේම සංයමය තුළ බව.

චිත්‍ර ශිල්පියෙක් තම නිර්මාණ සම්බන්ධව ස්වයං විචාරයකට යොමු වනවාද?

ඔව්. නිමැවුම්කරුවකුගේ පළමු විවේචකයා සහ විචාරකයා චිත්‍ර නිමාවුම්කරුවාමයි. ඔහුට ඒ සඳහා යම් ජිවන දැක්මක් තිබිය යුතුයි. ඒ මත පිහිටා විචාර බුද්ධියෙන් සිතුවම් නිර්මාණය කිරීම ගැඹුරුයි. සාර්ථකයි.

දෙවන විචාරකයා තමයි පොදු රසිකයා. එම අදහස් උදහස් සද්භාවයෙන් පිළිගෙන විචාර බුද්ධියෙන් හොඳම දේ නිස්සාරණය කර ගැනීමට දැක්මක් සහිත විචාර බුද්ධියක් රසිකයන්ටත් තිබිය යුතුය.

චිත්‍ර කලාව තුළින් සමාජයේ මානව හිතවාදීන් බිහි කිරීමේ හැකියාවක් තිබේද?

ඔව් ඉතා පැහැදිලිවම. රූපය හරිම බලවත්. කලාවේ විශිෂ්ටතම ප්‍රබලතම සංවේදි ප්‍රකාශන මාධ්‍ය වන සිනමාව ගොඩනැගුනේද චිත්‍ර ශිල්පයේ මූලික න්‍යායන් පදනම් කරගෙනයි.
මම පිළිගන්නා ආකාරයට සිතුවම් ශිල්පියාගේ සැබෑ පදනම දුක, කඳුල අත්විඳිම. අනෙකාගේ දෘෂ්ටිකෝණයෙන් ඒ අත්දැකීම් විඳීම. ඒ හැඟීම් දැකීම. ඉතින් සැබෑ සිතුවම් ශිල්පියා මානව හිතවාදියකු විය යුතුයි. ඔහුගේ අව්‍යාජ ආත්ම ප්‍රකාශනය මානව හිතවාදි ගුණයෙන් පිරිපුන් බැවින් රසිකයා එය වැළඳ ගන්නේ ඒ වටිනාකම් ද සහිතවයි.

ඔබගේ සිතුවම් තුළින් කොතෙක් දුරට එම සිදුවීම් හෝ පුද්ගලයන් ජීවමාන කළ හැකිද?

ඔබේ පැනයට සෘජු පිළිතුරක් දිය හැකියි. මවිසින් නිර්මාණය කළ මි.මී 6ං6 ප්‍රමාණයේ මෙරට ක්ෂුද්‍රතම සිතුවම මහත්මා ගාන්ධිගේ සිතුවමයි. එතුමා ඉතා හොඳ මානව හිතවාදියෙක්. මගේ හදවතේ මානවහිතවාදින් එලෙස සිටින තාක් ස්නායු මියෙනතාක් එම පුද්ගලයින් මට ජීවමාන කළ හැකියි.

චිත්‍ර ශිල්පියෙක්ට චිත්‍ර කලාව හැදෑරීම කෙතරම් දුරකට වැදගත්ද?

චිත්‍ර ශිල්පියෙකුට පමණක් නොවේ, රටේ සෑම පුද්ගලයෙක්ම තමන් අධ්‍යයනය කරන ඕනෑම විෂයක් හෝ කුමක් හෝ සම්බන්ධව හැදෑරිම ඉතා වැදගත්. හොඳම උදාහරණය මා උගත් පාසලේ මම ඇතුළුව චිත්‍ර ඇඳීමට දක්ෂ සිසුන් පස් දෙනෙකු සිටියා. ඔවුන් අද අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ ඉහළටම ගිය එදා අප පාසලේ කීර්තිමත්ම ශිෂ්‍යයින් වුණා. එක් අයෙක් විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරයෙක්, වෛද්‍යවරයෙක්. අනෙක් කෙනා විශේෂඥ වෛද්‍යවරයෙක්. තවත් අයෙක් ඉංජිනේරුවරයෙක්. අනෙක් මිතුරා මෙරට පිළිගත් සමාගමක විධායක නිලධාරියෙක්. ඔවුන්ගේ පාසල් අධ්‍යාපනයට චිත්‍ර ශිල්පය ඉවහල් වූ බව ඉන් සනාථ වෙනවා. ඉගෙනුම පහසු කරවන විවිධ රූප සංකේත මගින් මතක තබා ගැනීමේ පහසුව රූප චිත්‍ර ඇඳිම මගින් මම අත්විද තිබෙනවා. රූප මගින් ඉගෙන ගත් දෙය අවබෝධ කරන්න ඉතා පහසුයි.

අද පවතින ගැටලුවලට ද විසදුම් ලබා ගැනීමට හැකියාව තිබු විවේක බුද්ධිය ගොඩනැගීම එසේම සමාජයේ දැවෙන ගැටලුවක් වන පුද්ගල ආතතිය සමනය කරගැනීමටත් චිත්‍ර ශිල්පය සෘජු ලෙසම යොදා ගත හැකියි. එදා මෙදා පාලකයින් කලාව තුළ චිත්‍ර ශිල්පය අන්තයටම කොන් කර දැමුවද සමාජයක් යහමග ගැනීමට චිත්‍ර ශිල්පය තරම් දෙයක් තවත් ඇතැයි යන්න මම සිතන්නේ නැහැ.