සංසාරේ දඩයක්කාරයා සහ බීර වීදුරුවේ මැස්සා.

ඊ.එම්.ඩී. උපාලි

ඒ කැලේ මල් නෑ. ඒ නිසා මී මැස්සො, බඹරු, අඩු ගාණේ සමනළයෙක්වත් නෑ. හාවො, මුවෝ… හැම තිස්සෙ ම කැලයක් වුණාම අඳින, දකින පෙන්නන සත්තු; උනුත් නෑ. දාර පිඹුරු, වග වලස්සුත් නෑ. අලි ටික දෙනෙක් ඈතින් පෙනුණේ ගම්මුන්ගෙ හේන් උන් ඇවිත් ආලාපාළු කරන එක හඟවන තරමට පමණයි. ඒ විතරක්යැ ඒ කැලේ හුස්ම ගන්නවා. ඒක අපට හොඳට ඇහෙනවා. දැනෙනවා.

ඒ දඩයක්කාරයා කොච්චරවත් තුවක්කුවක් දරාගෙන හිටියට වෙඩි තියන්නෙ නෑ. ඉතාම හදිස්සියෙන් ඕනම උනොත්, ඒකත් අපිට ඕනවට වගේ එකක් පත්තු කරනවා. හමුදාවෙ ඉඳලා ආපු පෙනුමක් තියෙන්නෙ. කොට කොණ්ඩෙ, කෙටි රැවුල, අත්කොට කමිසෙ පිළිවෙළකට ඇඳලා ඔහේ බලාගෙන ඉන්නවා. කල්පනාබරව ඇවිදිනවා. එහෙම දඩයක්කාරයෙකුත් ඉන්න බැරිද කියලා ටික වෙලාවක් යනකොට මටම හිතෙනවා.

ඒ හාමුදුරුවො ධර්ම දේශනා කරන්නේ නෑ. බණ fදාඩවනවා. කෝටියක් සංවර ශීලෙ හෙල්ලෙයි කියලා පොළවටත් හොරා ඇවිදින සාදුලා වගෙ නෙවෙයි, පිස්සුවෙන් වගේ දඟල දඟල දුවනවා. ඇස් කරකව කව ගෝමරී දිහා බලනවා. ඒ වුණාට උත්තර මනුස්සයෙක් වෙන්න හැංඟිච්ච වුවමනාවත් ඒ දාංගලේ අස්සෙම පේනවා.
ඒ ගමේ ඉන්න එක්දරු මව; ගෝමරී ගිනි හට්ටියක් ඔළුව උඩ තියාගෙන ඉන්නෙ. ඒ ගින්න නම් නිවා ගන්න බැරුවම වාගේ. පුදුම ගායකින් කැලේ පුරා ඉහ හැරුණු අතේ දුවනවා. ගස් බඩ ගානවා. වැල්වල එතෙනවා. මිනිස්සු කකුල් දෙකෙන් අල්ලලා බිම දිගේ ඇදන් යනවා. වැඬේ කියන්නේ ටිකක් ඕනකමින් බැලුවම කිසිම අස්වාභාවිකත්වයක් නැති බොහෝම සාධාරණ ගින්නක් ඒක.

හද්ද වන්නිකරේ, හේනක් කොටාගෙන දරුවෙකුත් හදා වඩාගෙන අග හිඟකම් මැද ජීවත්වන ගෑනියෙකුට මෙහෙම ගින්නක් තියෙන්න පුළුවන් ද කියන යථාර්ථවා දී කතිකාව මේ සන්දර්භයේ දී අදාළ ම නැහැ. මට තේරෙන සයිමන්ටවත්, ප්‍රසන්න ජයකොඩිටවත් ඒ වගේ සම්මත තවත් එක් ගෑනියෙක් අපට පෙන්නන්න ඕනකමක් තිබුණේ නෑ. එහෙම වුණාම එතන කියන්න කිසිම කතාවක් නෑ. ප්‍රේක්ෂක මටත් ඕන කළේ ඒ ජාතියෙ ශරීරයක්, ආත්මයක් තියෙන ගෑනියෙක් දකින්න ම තමයි. ඒකි ඇඳපු හැට්ටෙට අමුණපු අලුත් ම ආය කටු, කන් පෙතිවල දිළිසුණු මොඩර්න් කරාබු, කැලෑ බූටෑවට හීරිලා, අව්වට කරවෙලා කේඳෑරි වෙච්ච ඇඟපත මූණ වෙනුවට, තෙල් පිරුණු මූණ අත පය; ඒ අංග ලක්‍ෂණ මේ කතාවට හොඳට ම පෑහෙනවා මට නම්.

හැමෝම දකින්නෙ තමන්ට දකින්න ඕන දේ විතරයි. ආනමඩුව පැත්තෙ වන්නියෙ ම උපන් සයිමන් අපට පෙන්නන්නෙ එයා දකින්න කැමති කැලේ මිසක් ඇත්තටම එතන තියෙන කැලේ නෙමෙයි. සයිමන්ව කපලා කොටලා ප්‍රසන්න දකින්නෙත්, අපට පෙන්නන්නෙත් එයාට ඕන දේ විතරයි. ඒ වගේ නිදහසක් මොනතරම් අපූරු ද? ඒ නියායෙන් ම සංසාරේ දඩයක්කාරයා සිනමා සිත්තමෙන් මං දකින්නෙත් මට ඕන දේ.

බවුන් වඩන්නට වනගත වුණු ස්වරූපයක් හැඟවෙන ගල්ලෙන්වාසී අල්පේච්ඡ යති දිවියක් ගෙවනවා යැයි පෙනී යන, මැදිවිය ද ඉක්මවූ ඒ භික්ෂුව සංකේතවත්ව මට දනවන්නේ පසුගිය වසර විස්සකට එහා වකවානුවෙ තමන් වහන්සේලා විසින් පවත්වාගෙන ගිය ඇවතුම් පැවතුම්, කොටි බියක් නිසාවෙන් වෙනස් කර ගත්ත වත්මන් භික්ෂු පරපුර. ගම්මැදි තරුණයන්ට පිරිත් නූල් බැඳලා යුද්දෙට යවපු, උන් ඇත්තටම මිනී මරන්නට අකමැති වුණත් දුටුගැමුණු පෙන්නලා උන්ව ඒ වැඬේට බලෙන් කැමති කරවා ගත්ත භික්ෂු පරපුර. ඇත්තටම කැලේ ඉන්නවාද නැද්ද කියලා හරියටම ෂුවර් නැති අවිඥානික කොටියෙක් වෙනුවෙන් තමුන්ගෙත් අනුන්ගෙත් ජීවිත අවුල් කරපු, ඒ නිසා හැබෑවටම කැලෑවට කොටියාව කැඳවාගෙන ආපු භික්ෂු පරපුර.

ඊට හරස්ව හිට ගත්ත මේ දඩයක්කාරයව මට පේන්නෙ මෙහෙමයි. ඒ චරිතය රඟපාන සංජීව උපේන්ද්‍රගෙ රූපකාය ගත්තහමත්, එයාට පිටින් කරපු සත්කාර ටික; ඒ කියන්නෙ කොට කොණ්ඩෙ, කෙටි රැවුල, අත්කොට හැඩ කමිසෙ හෙම බැලුවහමත්, හමුදාවෙන් අඩු වයසෙන් විශ්‍රාම ගිහින් ගමට ආපු, තමුන් අතින් මැරිච්ච ජීවිත ගැන වගේම ඒ හරහා තමා විසින් ම මරා ගත්තු තමාගෙ ජීවිතය ගැන එක්තරා පසුතැවිල්ලක් මුසු භාවනාවට වැටිච්ච තරුණයෙක්. චිත්‍රපටිය මැද හරියේ දි හාමුදුරුවො අහන ප්‍රශ්නයකට දෙන උත්තරය අනුව දඩයක්කාරයා විභාගෙ පාස්වුණේ නැතත්, දොළොස් වෙනි පන්තිය දක්වා ඉගෙන ගත්ත කෙනෙක්. ප්‍රසන්න අපට පෙන්නන රූප ශබ්ද එක්ක බැලුවහම, මේ වැඬේට නිශ්චිත කාල පසුබිමක් නැති වාසියම අරගෙන, මාත් මේ විදියට මට ඕන ඕන තැන්වල කට්ටිය සහ සිද්ධි ස්ථානගත කර ගන්නවා.

කොටියා මරනකම්ම අපේ හාමුදුරුවන්ට නින්ද ගියේ ම නෑ.
“එතකොට උඹ කියන්නෙ, මේ කොටියා නිසා ගමේ ඇත්තන් වෙසක් පෝයට සිල් සමාදන් වෙන එක නවත්තන්න ඕන?”
හාමුදුරුවො එහෙම අහනවා.
“එතකොට හාමුදුරුවො මට කියන්නෙ, කොටියා මරන්න කියලා?”
දඩයක්කාරයා එහෙම අහනවා.

මොනරතම් නාටකීය ද? මට මුළු සිනමා කෘතියම මේ දෙබස තුළට හකුළන්න පුළුවන්.
මේ මං දකින, මං දකින්නට කැමති වෙච්චි සිනමා කෘතියෙ දි ගසක් මත දිගා වූ ගෝමරී හා අවසාන රමණය විඳින්නේ බණ්ඩා නෙවෙයි භික්ෂුව. මට බණ්ඩා අදාළ ම නෑ. ඉතා ම දුක සේ බලහත්කාරයෙන් මැඬගෙන සිටින කාම පරිදාහය, වෙසක් සඳ මෝරා එන ජාමයේ, ඒ කසාවතින් වැසුණු ශරීර කූඩුවෙන් මුදා හැරෙන්නේ දරුණු තිරිසන් රමණයක ආවේගශීලී ප්‍රවේගයකින්. ඒකම තමයි ගෝමරී ජීවිත කාලයක් පුරා හඹාගිය පරමෝත්කෘෂ්ඨ සුරතාන්තය! ගෝමරීට ඒ ඕගසම, කොටියා සමග කළා වූ රමණයකින් ලැබිය හැකි මරණීය ආශ්වාදයකට සමානව දැනෙනවා. අසරණ මහලු තිරිසන් කොටියා කරන්නේ ඒ වන විටත් මියගිය ගෝමරී මතට නැග ඇය බරු ගසා කා දැමීම පමණයි.

දඩයක්කාරයට මේ කිසිම දෙයක් තම ජීවන ප්‍රණිධානය සසල කරන අරුමැසි දේ නෙවෙයි. නිල මැසි නාදය ආකූල වූ සතුන් බාගෙට කා දැමූ ගෝමරීගේ කුණු වී ගිය මළකඳ වනය තුළ ඔහු දකින තවත් විදසුන් ආරම්මණයක් පමණයි. පසෙන් උපන් දේ පසටම පෙරළෙන ජීවන චක්‍රය ඔහු හැම මොහොතකම අත්දකින දෙයක්. ජීවිතය, සංසාරය ආත්මය කියවා ගැනීමට ඔහුට වනයේ සෑම ආරම්මණයක් ම උදව්වක්. උපන් සිරුරෙන් දියට බැස මාළුන්ගේ කිති කැවීම සමග වනයේ ඕංකාරය මුසු වූ ගෝමරීගේ යාදිනි අසා සිටීම කෙළෙස් තලුමරා අනුභව කොට ප්‍රහීන කිරීමේ තවත් එක් පිළිවෙතක්. පෝය සඳ හාමුදුරුවන්ට කාමෝද්දීපන වාජීකරණයක් වෙද්දී, දඩයක්කාරයාට ඒ සඳ එළිය තමා ගොදුරු කර ගැනීමට කල් බලන කොටියාට පාර පෙන්වන තවත් එළියක් විතරයි.

සැබෑ ක්ලේශ ව්‍යූපසමනය කෙලෙස් පිරි වනය බදාගෙන විඳීමෙන් ම මිසක්, ඒ වනයට පිටුපා ගල් ගෙයක සැඟ වී ලැබිය හැක්කක් නොවේ. තන්ත්‍රයාන බෞද්ධ සම්ප්‍රදායට නතු වූ සයිමන්ගේ ජීවිතය හා වනය කියවීම, ප්‍රසන්න පොහොසත් ලෙස අපට සමීප කරවන්නේ හැංගි හොරා නැතුව නිර්භීතව.

පළමු දර්ශනයේ දී ම ගෝමරී තම උඩුකය වැසූ හැට්ටය ගලවා දමා, වනය හා ඇගේ හද ගයන ඕංකාරය හා දැවටීගෙන මෙලොව අප දන්නා ගැහැනියකට විඳිය නොහැකි තරමේ උත්තුංග අව්‍යාජ සොබා දහම විඳීමක් අපට පෙන්නන මොහොත, ප්‍රසන්නගේ ඒ නිර්භය සහ අව්‍යාජ කලා ගනුදෙනුවට හොඳ සාක්කියක්.

චිත්‍රපටිය අවසාන භාගයේ දඩයක්කාරයා මාර්ග ඵලයකට පත්වුණා වගේ වාඩි වී ඉන්න මොහොතට පොඞ්ඩක් කලින් ගෝමරී වැතිරී සිටි ගහ බදාගෙන ඉඹිනවා. ඉන් අනතුරුව දඩයක්කාරයාගේ මනසේ කියවීමක් විදියට පොළොව යටට දැවැන්ත මුල් විහිදගෙන අපාය තෙක් මුල් ඇදුණු ඒ මහා වනස්පතිය ඉතා සෙමෙන් ගලායන රූප දහරාවක් මගින් අපට පෙන්නමින් ප්‍රසන්න යමක් කියන්නට උත්සාහ ගන්නවා. ඒක අක්මුල් නැති අන්තෝ ජටා බහි ජටා වූ සංසාරාරණ්‍යය ම වෙන්නත් පුළුවන්. ඒ වගේ ම ප්‍රාග් මානවයාගේ පටන් නාසා ආයතනය දක්වා මිනිසා ආ ගමන් මගේ තවමත් බැහැර කළ නොහැකි අනවරත සොබා දහම සමග කරන නරුම අරගලය වෙන්නත් පුළුවන්. මෙතන දී නීට්ශේගේ කියමනක් නිකමට වගේ මතක් වෙනවා. “ඔබට දිව්‍යලෝකය දක්වා අත දිගු කරන්න ඕන නම් ඔබේ දෙපා අපාය තෙක් විහිදන්නට ඔබට සිදුවේවි.”

බීර වීදුරුවට වැටුණු මැස්සා ඇඟිල්ලෙන් ඉවත් කොට බීර වීදුරුව විඳීමට මම සූදානම්. ඒ නිසාම සිනමා කෘතියේ පෙනෙන මස් හොද්ද ඒදන නැවුම් හට්ටිය, ඒ අසලම වූ ගෑස් අඩි වළඳ, කන් පෙතිවල රැඳුණු නවතම කරාබු, අලුත්ම ආය කටු, රැංග්ලර් පන්නයේ ලා කහ කමිසය, බි්‍රටෝගේ දෙපයේ ලා නිල් නිය ආලේපන ශේෂ, සැතපෙන පිළිම ගෙයි පොළොවට අල්ලපු නාවල ටයිල්, ආනමඩුවේ කැලයේ යට කොටසත්, අඩි පන්දාහකට උස හෝර්ටන් තැන්නේ උඩ කොටසත් සම්මිශ්‍රත කැලෑව, චින්තන ධර්මදාස කිව්ව වගේ ප්ලාස්ටික් මල් වට්ටි, ලවුඞ්ස්පීකර් ආදී මෙකී නොකී බීර වීදුරුවේ මැස්සා ඉවත් කර මුළු බීර වීදුරුව ම බොහොම උනන්දුවෙන් මං පානය කළේ ඒ බීර වීදුරුව මට වෙනස් ම ආශ්වාදයක් සැපයූ නිසාමයි. ඒ වැඬේ හරියට ම ඉටු කරන්න රංගනය වගේ ම ආලෝකය, කැමරාව, සංගීතය සහ සංස්කරණය හොඳ සම්මාදමක් කරලා තිබුණා. ඒ කියන්නෙ තමන්ගෙ සම්මාදම කිසිම විදියකින් වැඬේට උඩින් මතු නොවෙන විදියට.