ආයතන කුණු වීමේ ප්‍රතිමූර්තිය පාර්ලිමේන්තුවයි – උදය ගම්මන්පිල ,පිවිතුරු හෙළ උරුමය

සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න

ඔබ විධායක ජනාධිපති ධුරයට පක්ෂ කෙනෙක් හැටියට එය ස්ථාපිත කළ අවස්ථාවේ සිට මේ වෙන තෙක් ඒ පිළිබඳව ප්‍රකාශයට පත්ව තිබෙන සියලු විවේචන ඔබ ප්‍රතික්ශේප කරනවාද?

විධායක ජනාධිපති ධුරය ලෝකයේ බහුතරයක් රටවල තිබුණත් එය අහෝසි කරනු කියන සටන් පාඨය ඒ රටවල නෑ. ලෝකය පුරාම එහෙම තියෙද්දි ලංකාවේ විතරක් මෙහෙම වීමෙන් පෙනෙන්නේ ප්‍රශ්නය තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ නෙවෙයි. එය ලංකාවේ ක්‍රියාත්මක ආකාරය තුලයි. ලෝකයේ ඕනෑම රටක විධායක ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයට වගකියනවා. අධිකරණයට යටත්. ශ්‍රී ලංකාවේ විධායක ජනාධිතිවරයා අධිකරණයට යටත් නෑ. පාර්ලිමේන්තුවට වගකියන්නෙත් නෑ. ඇමරිකාවේ හිටපු ප්‍රබල ජනාධිපතිවරුන් සෙනෙට් සභාව ඉදිරියට ගෙනවිත් ප්‍රශ්න කරලා තියනවා. එතකොට ජනාධිපතිවරයා තීන්දුවක් ගන්න කලින් දන්නවා තමන්ගේ තීන්දුවල දේශපාලන නිවැරදිභාවය ප්‍රශ්න කරන්නට ඉඩ තිබෙන බව. ඇමරිකාවේ ජනාධිපතිවරුන්ට ලිංගික අතවර චෝදනා යටතේ පවා අධිකරණයට යන්න සිදුවෙලා තියනවා. නමුත් ලංකාවේ ජනාධිපතිවරයා සිය ගණනකට වෙඩි තියලා මැරුවත් ඔහුට එරෙහිව අධිකරණයට යන්ඩ බෑ. බලන්න, ඒකාධිපති ක්‍රමය ගත්තොත් එය ක්‍රියාත්මක වන හැම තැනකම එයට එරෙහිව විරෝධතා තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි විරෝධතා තියෙන්නේ ලංකාවේ විතරයි. හේතුව ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දී තිබෙන්නේ අවශ්‍ය සමතුලිත ව්‍යුහයන් හඳුන්වා දෙන්නේ නැතිව. ඒ ප්‍රශ්නය නිවැරදි කරගන්නේ නැතිව ප්‍රශ්නය වැරදි තැනින් අල්ලගෙනයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු කියලා ලංකාවේ මේ අමුතු සටන් පාඨයක් ඇති කරගෙන තියෙන්නේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබලාගේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කොට මේ වන විට මැතිවරණ ප්‍රචාරක කටයුතු පවා සිදුකරමින් පවතිනවා. රටේ ජනාධිපති ධුරයට පත්කරුගනීමට ඔහු සතුව පවතින සුවිශේෂීතා මොනවාද?

අන් අයගෙන් බැහැර වන, එතුමාගේ සුවිශේෂීම ලක්ෂණය වන්නේ මේ රටේ කළ නොහැකි යැයි වර්ග කොට තිබුණු අභියෝග දෙකක් ජයග්‍රහණය කරන්නට සමත් වීමයි. පළවෙනි එක තමයි කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දීම. දෙවෙනි කාරණය කොළඹ කසළ ප්‍රශ්නය විසඳීම. මම දේශපාලනඥයෙක් විදහට කොටි ත්‍රස්තවාදය පරාජය කළ හැකි බව විශ්වාස කළත්, කසළ ප්‍රශ්නය විසඳිය හැකි වේයැයි විශ්වාස කළේ නෑ. මොකද ඒක සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක් නිසා. සංස්කෘතික වෙනසක් කරන්න පරම්පරා ගානක් යනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පුළුවන් වුණා වසර කිහිපයක් තුළ කොළඹ කසළ ප්‍රශ්නය විසඳලා මිනිස්සුන්ව නව සංස්කෘතික පුරුදුවලට අනුගත කරවන්න. එනිසා අපි විශ්වාස කරනවා අද අපේ රට වැටිලා තියෙන වලෙන් ගොඩගන්න පුළුවන් නායකයා එතුමා කියලා. 2010 ජනාධිපතිවරණයේ ගත්තොත් ජාතික තේමාව වුණේ සංවර්ධනය. 2015 දි යහපාලනය. 2019 වන විට ප්‍රධාන තේමාව ජාතික ආරක්ෂාව බවට පත්වෙලා තියනවා. ප්‍රශ්නය ජාතික ආරක්ෂාව නම් අවිවාදිත පිළිතුර ගෝඨාභය රාජපක්ෂ. .එතුමා තරම් ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෙක් මේ රටේ නෑ.

මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය ඉදිරියේ විභාග වන නඩු ගණනාවක වගඋත්තරකරුවෙක්. ඔහුට පමණක් නොවෙයි රාජපක්ෂ පවුලේ ප්‍රමුඛ සියලු දෙනාටම පාහේ බරපතල අපරාධ චෝදනා, දූෂණ චෝදනා ආදිය එල්ලවී තිබෙනවා. නඩු පැවරීම් ගණනාවක්ද සිදුව තිබෙනවා. මේ විදිහට අභිරහස් ඝාතන සහ මහා පරිමාන දූෂණ වංචා, මුදල් අවභාවිතයන් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පවුලක සාමාජිකයෙක් මෙන්ම වගඋත්තරකරුවෙකු රටේ ප්‍රථම පුරවැසියා වශයෙන් පත් කිරීමට යෝජනා කිරීම කොතෙක් දුරට සුදුසු ක්‍රියාවක් ද?

නඩුවක චූදිතයෙකු වුණාම ඡන්දය ඉල්ලීමේ අවස්ථාව අහිමි කරනවා නම් ආණ්ඩුව විසින් දේශපාලන වශයෙන් තමන්ට තර්ජණයක් වන හැමෝටම නඩුව බැගින් පැවරීමෙන් පසුව ආණ්ඩුවට නිතරඟ ජයක් සඳහා ඉතාම පැහැදිලි පිට්ටනියක් හැදෙනවා. අපේ රටේ මැතිවරණවලට තරඟ කිරීමට තිබිය යුතු සුදුසුකම් පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. එහි කියන්නේ යම් වරදකට වැරදිකරු වී වසර දෙකකට නොඅඩු සිර දඬුවමක් නියම වී ඉන් මාස හයක් ගත කර තිබේ නම් වසර හතක් ඡන්දය ඉල්ලන්න බෑ කියලයි. රටේ ව්‍යවස්ථාව කියන්නේ ජනතාව සහ ආණ්ඩුව අතර තියන ගිවිසුමක්. එතකොට අපි ආණ්ඩුවයි ජනතාවයි අතර එකඟතාවක් හදාගෙන තියනවා කවුද මැතිවරණ තරඟ කරන්නට සුදුස්සා නොසුදුස්සා කියලා. ව්‍යවස්ථාතවෙන් සුදුස්සෙකු වන අයෙකුව කීප දෙනෙකුට එකතුවෙලා නුසුදුස්සෙක් කරන්න හැකියාවකුත් නෑ. අයිතියකුත් නෑ.

ව්‍යවස්ථාවට අනුව ගැටලුවක් නැති වුවත්, පවතින තත්ත්වය යටතේ ගෝඨාභය මහතා ජනාධිපති ධුරයට පත්වුව හොත් ඔහුට සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව පවරා ඇති නඩුවලට අත්වෙන ඉරණම පිළිබඳ ගැටලුවක් තියනවා නේද?

මේ ආණ්ඩුව දාන තරමක් දාන්නේ බොරු නඩු බව එහෙම දාපු නඩුවලට අත්වූ ඉරණම්වලදී අපි දැක්කා. ගෝඨාභය මහත්තයාට එරෙහිව මහේස්ත්‍රාත් සහ මහාධිකරණය හමුවේ පැවරූ නඩු සම්බන්ධයෙන් අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග ගණනාවක් ඉදිරිපත් කරලා තියනවා, ඒ නඩු අහන එක අත්හිටුවමින්. බැලුබැල්මට වරදක් කළ බවට කරුණු තියනවා නම්, නඩුවක් නිසි ලෙස පවරා තිබෙනවා නම් මහේස්ත්‍රාත් අධිකරණයට සහ මහාධිකරණයට ඉහළින් තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය කීයටවත් ඒ නඩු නතර කරන්නේ නෑ. එයින් පැහැදිලිව පේනවා ඒවා තමුන්නාන්සේ ඉදිරිපත් කළ මතය සනාථ කිරීමට පවරපු නඩු කියලා. ජනාධිපතිවරණයට චූදිතයෙකු ඉදිරිපත් වන්නේ කෙසේද කියන ප්‍රශ්නය ඇසීම සඳහා ඔහු චූදිතයෙක් කරලා තියනවා. ඔහු හොරෙක් නෙවෙයි. ඉතාම පිරිසිදුව වැඩ කළ කෙනෙක්.

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සම්බන්ධ බවට බරපතල ආකාරයෙන් සැක මතු වන වසීම් තාජුඩීන් ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය ආදි අභිරහස් ඝාතන සම්බන්ධයෙනුත් ඔය කියන කාරණා අදාළ කරගත හැකිද?

තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් වෙච්ච දෙයක් කියන එකයි ස්ථාපිතව තිබුණු කාරණය. ඒක රිය අනතුරක් කියන්න සාධක ගණනාවක් තිබුණා. ඒ වාහනයේ හිටියේ ඔහු විතරයි. රාත්‍රී 12.01ට ඒ වාහනය හැප්පුන ගමන් අවට නිවෙසක ඉන්ජිනේරුවරයෙක් ජනෙල් තිරය අයින් කරලා බලලා වාහනේ ගිනි ගන්නවා දැකලා පොලිසියේ 119ට කතා කරනවා. ඒ වගේම ගුවන් තොටුපොලට යමින් සිටි පුද්ගලයෙක් මේ අනතුර දැකලා 12.03ට පොලිසියට කතා කරනවා. තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් වෙච්ච දෙයක් විදිහට සනාථ වෙලා තිබියදී එය ඝාතනයක් බවට පත්කරන්න උත්සාහ කරන්නේ මරණයෙන් අවුරුද්දකට පසුව. මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්න කාලෙත් කිව්වා තාජුඩීන් සිද්ධිය ඝාතනයක් කියලා. ඒවා හොයලා බලනවා කියලා තමයි ආණ්ඩු බලය ඉල්ලුවේ. ඒකට තමයි ජනතාව මේ ආණ්ඩුවට බලය දුන්නේ. අවුරුදු පහක් ගිහිල්ලත් මේ ආණ්ඩුවට අද වෙනකම් තාජුඩීන් ඝාතනයක් ද, නැත්ද කියන එක සනාථ කරගන්න බැරිවෙලා තියෙනවා. එහෙමනම් මෙය තවදුරටත් පවතින්නේ හදිසි අනතුරක් විදිහට පමණයි. නමුත් ඔබේ හිතේ තිබෙනවා ඒක ඝාතනයක් කියලා. හිතේ තිබිලා බෑ ඒක ඔප්පු කරන්න ඕනේ. බැලු බැල්මටත් අනතුරක් කියලා පෙනෙන එකට වැරදිකරුවා වෙන්නේ රියදුරු තාජුඩීන්මයි. ඒක ඝාතනයක් වෙන්න නම් තව පුද්ගලයෙක් ඉන්න ඕනේ ඒකට වගකියන්න.තාජුඩීන් ඝාතනය කළා කියලා මුලින් කිව්වේ කාටද? යෝෂිත රාජපක්ෂට. හේතුවකුත් කිව්වා, තමන්ගේ පෙම්වතියට තාජුඩීන් කැමැත්ත දැක්වීම කියලා. හැබැයි ටික දවසකින් දැන ගන්නවා යෝෂිත ඒ කාලේ ලංකාවේ හිටියෙත් නෑ කියලා. ඊට පස්සේ ඝාතනය කළේ නාමල් රාජපක්ෂ වෙනවා. හේතුව වෙනවා තාජුඩීන් තමන්ගේ රගර් නායකත්වයට තර්ජනයක් විදිහට දැකීම. ඒ නිසා අදටත් තාජුඩීන් ඝාතනයක් කියලා ඔප්පුවෙලා නැතිව තිබියදී තමයි ඔබ ඒක ඝාතනයක් කියලා හඳුන්වන්නේ. ඒක මාධ්‍ය ලෝකේ කරන බරපතල වරදක්.

ලසන්ත වික්‍රමතුංග ?

පැහැදිලියි. ඒක ඝාතනයක්. ඝාතකයා කවුද? ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙලා පැය හතලිස් අටක් යන්න කලින් රනිල් වික්‍රමසිංහ කියනවා මේක කළේ යුද හමුදාපතිවරයා යටතේ සිටින කණ්ඩායමක් කියලා. මරණයට වගකිව යුත්තේ සරත් ෆොන්සේකා කියලා. 2009 ජනවාරි මෙහෙම කියලා 2009 නොවැම්බර් මාසේ වෙන කොට ඒ සරත් ෆොන්සේකාම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජනාධිපති අපේක්ෂකයා වෙනවා. එතනදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මාරු කරනවා. නමුත් අද වෙනකම් ඒක තහවුරු කරන සාක්ෂියක් හොයාගන්න ආණ්ඩුවට බැරි වෙලා තියනවා.

අවුරුදු පහක් ඇතුලත නඩුවක් අහලා අවසන් කරන්න බැරි බව පිළිගත හැකියි. නමුත් ආණ්ඩුව ප්‍රමුඛතාවය දෙන නඩුවක අපරාධකාරයා කවුද කියලා හොයාගන්න අවුරුදු පහක් වැඩියි කියලා මම නීතිඥයෙක් හැටියට කියනවා. අවුරුදු පහක් ඒක කරන්න බැරිවෙනවා කියන්නේ ඒක කරන්නේ නෑ කියන එක. රාජපක්ෂ පාලනයේ වැරදි හොයන්න තමයි මේ ආණ්ඩුවට ජනතාව ඡන්දය දුන්නේ. මේ වෙනකම් මොකක්ද කරලා තියෙන්නේ? සිල් රෙදි බෙදුවා කියලා දෙන්නෙකුට සිර දඬුවම් නියම කරලා තියනවා. එච්චරයි. මට කියන්න ඒ ඇරුණ කොට මොකක්ද කරලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ ආණ්ඩුව 2015 ජනාධිපතිවරණයේදී කිව්ව කිසිම සටන් පාඨයක් අද වෙන කොට වලංගු නෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නට තීරණය කළොත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට එහි බලපෑම ගැන යම් තක්සේරුවක් ඔබලාට තිබෙනවාද?

අපි මොහොතකට හිතමු මේ ආණ්ඩුව කිසිම පිරිහීමකට ලක්වෙලා නෑ කියලා. ශ්‍රීලංකා නිදහස් පක්ෂය-එක්සත් ජාතික පක්ෂය 2018 පෙබරවාරි 10 වෙනකොට තිබුණු ජනප්‍රියත්වය ඒ විදිහටම අදටත් තියනවා කියලා. එදා තත්ත්වය මොකක්ද? පොදු පෙරමුණට 42% යි. එජාපයට 29% යි. ශ්‍රිලනිපයට 12% යි. ජනාධිපතිවරණයෙත් එහෙමම ප්‍රතිපල ලැබුණා කියමු. ඊළඟට 50% කාටවත් නැති නිසා දෙවන තුන්වන මනාප බලනවා. ලංකාවේ සීයට එකක් දෙකක්වත් දෙවන තුන්වන මනාප ලකුණු කරන්නේ නෑ, ජනාධිපතිවරණයකදි. කැමැති අපේක්ෂකයාට කතිරය ගහන එකයි වෙන්නේ. අපි හිතමු දෙවෙනි මනාපය 1%ක් තිබිලා, ඒ 1% දීලා තිබුණෙත් එක්සත් ජාතික පක්ෂයට කියලා. එතකොට එක්සත් ජාතික පක්ෂය 30% යි. ඕනේ නම් මුස්ලිම් කොංග්‍රසය සහ බදුර්දීන්ගේ පක්ෂය වෙනම තරඟ කරන තැන්වල ඡන්ද ටිකත් එකතු කරලා තව 2%ක් එකතු කරමු. දැන් 32% යි, අපි 42% යි. කවුද දිනන්නේ? ජනාධිපතිවරණය දිනන්න 50%කට වැඩියෙන් ගැනීමේ අවශ්‍යතාවක් නෑ. දෙවෙනි සහ තුන්වෙනි මනාප ගණන් කිරීම පමණයි වෙන්නේ. ඒ එදා තත්ත්වය ඒ විදිහටම තියෙනවා කියන පදනමින් ගත්තොත්. නමුත් එදා සිට මේ දක්වා කාලය තුළ රටේ ආර්ථිකය කඩා වැටිලා, පාතාලය නැඟිටලා, ත්‍රස්තවාදීන් බෝම්බ පුපුරවලා ආණ්ඩුව විනාශ වෙලා තියෙන්නේ. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක හිටිය අති විශාල පිරිසක් අද වෙනකොට පොහොට්ටුවට එකතුවෙලා හමාරයි. තව පිරිසක් එක්සත් ජාතික පක්ෂයට ගිහින් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා අද ඉතිරි වෙලා ඉන්නේ අතලොස්සයි. ඒ නිසා මොන පක්ෂයෙන් මොන අපේක්ෂකයා දැම්මත් අපිට 50% ට වැඩිය ගන්න එක අතිශය සරළ දෙයක්. හැබැයි ශ්‍රිලනිපය සහෝදරත්වයෙන් අත දික්කරනවා නම් ඔවුන්වත් එක්කරගන්න අපි සූදානම්. හැබැයි ඔවුන්ගේ සහාය අපේ ජයග්‍රහණයට තීරණාත්මක සාධකයක් නෙවෙයි.

රටේ දේශපාලනයේ සිදුවිය යුතු කේන්ද්‍රීය වෙනස්කම් අතර විධායකයේ පමනක් නොවෙයි ව්‍යවස්ථාදායකයේත් සිදුවිය යුතු වෙනස්කම් බොහොමයක් තියනවා. විශේෂයෙන්ම මැති ඇමැතිවරු බොහෝ වරප්‍රසාද භුක්ති විඳීම සහ මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතයේ යෙදවීම ඒ අතරින් කැපී පෙනෙනවා. බොහෝ මැති ඇමැතිවරු රජය සමඟ ව්‍යාපාරවල යෙදෙනවා. තමන්ට ලැබෙන කාර්යාල දීමනා ආදිය අවභාවිතා කරනවා. වසර පහක ධුර කාලයකින් පසු ජීවිත කාලයටම විශ්‍රාම වැටුපකට හිමිකම් කියනවා. ඔබලාගේ පාලනයක් යටතේ මේවා නවත්වනවාද?

ඔය තත්ත්වයන් ඇතිවෙලා තියෙන්නේ දේශපාලකයන්ගේ වරදට වඩා ඡන්දදායකයන්ගේ වරදින්. අපේ රටේ දේශපාලකයන්ට ජනතාව බනිනවා. පාර්ලිමේන්තුවට හෙන ඉල්ලනවා. මේ අයට අමතක වෙලා තියන කාරණය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න අය තෝරලා යැව්වේ තමන්ය කියන එක. හැමෝම කියන්නේ දේශපාලකයෝ මේ රට කෑවා කියලා. හැබැයි ලංකා ඉතිහාසයේ කවරදාකවත් හමුදා ආණ්ඩුවක් තිබිලා නෑ. කවදාවත් ඒකාධිපතියෙක් ඉඳලත් නෑ. කවුරු හරි මේ රට කෑවා නම් ඒ අයට රට කන්ඩ බලය දුන්නේ මේ රටේ ජනතාව. වරප්‍රසාද අවභාවිතා කරනවා නම් ඒක දිගටම කරගෙන යන්ඩ බලය දුන්නෙත් ජනතාව. මෙතන ප්‍රශ්නය තියෙන්නේ දේශපාලකයාගේ නෙවෙයි ජනතාවගේ. හොරුන්ට ඡන්දය දීලා හොරකම් කරනවා කියලා කෑ ගහනවා. හොරා හොරකම් කරනවා ඇර වෙන මොනවා කරන්නද? මැරයන්ට ඡන්දය දීලා මැර වැඩ කරනවා කියලා කෑ ගහනවා. මැරයගේ ඇඟේ තියෙන්නේ මැරකම තමයි. ඔහු ඒක ප්‍රදර්ශනය කරලා තියෙද්දි ‘උඹව තමයි අපිට ඕනේ’ කියලා ඡන්දය දීපු අයගේ නෙවෙයිද ප්‍රශ්නේ. ඇයි ඡන්දය දෙන්න වෙන සුදුසු කෙනෙක් හිටියෙම නැද්ද? රටේ ඉන්නේ හොරු, මැරයෝ, සල්ලාලයේ විතරක්මද? නෑනේ. ජනතාව දැනගන්න ඕනේ හොඳ මිනිස්සුන්ට ඡන්දය දෙන්න. හොඳ මිනිස්සු කොච්චරක් මේ දේශපාලනයට ඇවිල්ලා පවතින්න බැරුව ගෙදර යන්න වෙලා තියනවාද?
මේ රටේ හැම ආයතනයක්ම, ව්‍යුහයක්ම කුණුවෙලා ඉවරයි. ඒකේ ප්‍රතිමූර්තියක් තමයි පාර්ලිමේන්තුව. ඒ නිසා ඕවා වෙනස් කරන්න නම් රට වෙනස් කරන්න ඕනේ. ඡන්දදායකයා වෙනස් කරන්න ඕනේ. එහෙම වෙනකොට පාර්ලිමේන්තුව ඉබේම වෙනස් වෙනවා.