කාෂ්ටක පොළවට යටවෙන සටන්කාමී ජීවිත!

සුනන්ද දේශප්‍රිය.

හිටපු එල්ටීටීඊ සටන්කාමීන් වූ ප්‍රේමකුමාර් සහ සුගන්ධි ජීවත්වන්නේ මන්නාරම, මුල්ලික්කන්ඩල් නම් දුගී ගම්මානයෙහි ය. දෙදෙනාම යුද්ධයෙන් තුවාල ලැබූහ. සුගන්ධිගේ යටි තල්ල නැතිවී ගොසිනි. ප්‍රේමකුමාර් ගේ වම් අත වැලමිටෙන් පහළ නැත. වම් කකුළ කෘත්‍රීම පාදයකින් සම්පූර්ණ වී තිබේ.

මේ දෙදෙනාට වයස හයක පිරිමි දරුවෙක් සිටී. ඔවුන් ජීවත්වන්නේ බිත්ති වෙනුවට නොවියන ලද පොල් අතු කිහිපයක් එල්ලූ ටකරන් වහළක් ඇති මඩුවක ය. ඥාති කාන්තාවක් ද ඇගේ අතදරුවා ද ජීවත් වන්නේ මේ මඩුවෙහි ය.

විදුලිය නැති මේ ගමෙහි රැය ගෙවෙන්නේ අඳුරෙහි ය. කුඩා භූමිතෙල් ලාම්පු නිවැසියන් නිදන තුරු පමණක් මලානික එළියක් විහිදුවයි. සතියකට පෙර පොළඟකු මේ මඩුව තුළටම පැමිණි බව කීවේ සුගන්ධිය.

“අපි දෙන්නට ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භක මැච් එක බලන්න එන්නත් ආරාධනාවක් ලැබුණා. අප සතුටෙන් ගියා. ඒ 2012 වර්ෂයේ පිස්තෝලවලින් වෙඩි තැබීමේ ජාතික තරගාවලියෙදි මං පළවෙනිය වුණ නිසා. නාමල් රාජපක්ෂ ඇවිත් මං බදා ගත්ත. එතකොට මං හිටියේ පුනරුත්ථාපන කඳවුරේ. ආමි එකේ මේජර්වරයෙක් තමයි මට ඒ තරගයට යන්න අවස්ථාව හදල දුන්නේ. මං ලකුණු සියයෙන් අනූ හයක් ගත්ත. ඒත් බලන්න අපි අද ඉන්න හැටි” යැයි කියන්නේ ප්‍රේමකුමාර් ය.
“ඒත් ඒ එක්කම තිබුණු ‘පැරා ඔලිම්පික්’ තරගයට යැවුවේ දෙවැනියා සහ තුන්වැනියා වූ අය. ඒ මං දෙමළ නිසා වෙන්න ඕන. ලකුණු 96ක් කියන්නේ තරගයක් දිනන ලකුණු. කවුරුවත් සියයට 90 ගන්නේවත් නැහැ. එදා මං යැවුව නම් අපේ ජීවිත වෙනස් වෙන්න තිබුණ. මට දිනන්නත් හොඳ ඉඩක් තිබුණ.”
“මං මුහුණ තුවාලවෙලා තිබුණ සුගන්ධි එක්ක විවාහ වුණේ එයත් අරගලය වෙනුවෙන් ජීවිතය දීපු නිසා. අප අපටම උදව් කර ගන්න ඕන.”
සුගන්දිනීට වසය 39යයි. ඒල්ටීටීඊයට බැදුණේ වයස 19 දි.

මේ ඇගේම වචන:
“අපේ මිනිස්සු වෙනුවෙන් සටන් කරන්න යන්න ආසාවක් තිබුණා. ජාතියක් ලෙස සටන් කරන කොට මට නිකං බලන් ඉන්න බැරුව ගියා. මගේ යාළුවොත් හුඟ දෙනෙක් බැදුණ ඒ කාලේ. අපි එතකොටත් අවතැන් වෙලා හිටියේ. මගේ අම්මත් බෝම්බෙකින් මැරුණා.

අපි පුදුකුඩිඉරිප්පු පුහුණු කඳවුරක ඉන්න කොට ෂෙල් වෙඩිල්ලක් වැටුණා. 18 දෙනෙක් එතනම මැරුණ, සාමාන්‍ය මිනිස්සුත් ගාණක් මැරුණ. මගේ යටි තල්ල කපාගෙන බෝම්බ කෑල්ලක් ගියා. හුඟාක් දවස් මං සංවිධානෙ රෝහලක හිටිය. පස්සේ මම එල්ටීටීඊ වෛද්‍ය බලකායට අනුයුක්ත කරා.

අපි කසාද බැන්දේ 2012 දි. වැවක තිබුණු බෝම්බයක් පුපුරල එයාගෙ කකුලකුයි අතකුයි කැඩිල තිබුණ. එයත් සංවිධානෙ තමයි හිටියෙ.
2009 අපි දෙන්නම බාර වුණා. මං අවුරුදු එකහමාරකින් පුනරුත්ථාපන කඳවුරෙන් එළියට දැම්ම. එයාට තව ටික කලක් ඉන්න වුණා. අපට මහන මැෂිමකුයි, බයිසිකලේකුයි දුන්නා ආණ්ඩුවෙන්.

යාළුවෙක් අපට එළුවෙක් දුන්න. ඒත් කිරි ගන්න නම් විශේෂ කෑමක් දෙන්න ඕන. එහෙම නැත්නම් කිරි වතුර වගේ. ඒ කෑම ගන්න අපට සල්ලි නෑ. ඉතිං එළුවට කිරි නෑ.
අපි, දන්න කෙනෙක්ගේ අක්කරයක් විතර පොල් වත්තක් බලා ගන්නවා. පැළ 150කට වතුර දාන්නත් ඕන. ඒකට අපට සතියකට රුපියල් 1000ක් ලැබෙනවා. අපේ මාසික ආදායම රුපියල් 4000 යි.

අපටත් අක්කරයක ඉඩමක් තියෙනවා. ඒත් වැටක් ගහගන්න විදියක් නැති නිසා වවන්න බැහැ. කොළඹ ආණ්ඩුවෙන් දැන් නොමිලයේ වතුර දෙනවා පයිප්ප දාල. පළාත් සභාව ගැන නම් අහන්න එපා. කරපු කිසිම දෙයක් නෑ.

ආයෙ යුද්ධයක් වෙනවට නම් මං කැමැති නැහැ. ඒත් ප්‍රභාකරන්ට නම් මගේ ගෞරවයක් තියෙනවා. ඔහු සටන්කාමී අවංක නායකයෙක්. දේශපාලනය ගැන ප්‍රේමකුමාර්ගෙන් අහන්න. මට නම් එපා වෙලා තියෙන්නේ.”

“මං ජන්දෙ දුන්නේ දෙමළ සන්ධානෙට. ආයෙ නම් දෙන්නේ නැහැ” යැයි ප්‍රේමකුමාර් කියයි. “මං ජන්දේ දෙන්නේ ගෝඨාභයට. මොකද අපි පහර දුන්න අයටවත් අපි ගැන කල්පනාවක් තියේවිනෙ” ඔහු වැඩි දුරටත් කියයි. අසල සිටින සුගන්ධි කියන්නේ “ඔය තරහට කියන කතා” කියා ය.

ප්‍රේමකුමාර් එක් අතින් උදැල්ල ගෙන පොළොව කොටයි. ඉන්දියානු ආධාරයෙන් ඉදිකරගත යුතු නිවසට සිමෙන්ති ගල් කපන්නේ දෙදෙනා එකට ය. ඒ නිවසට දැන් අත්තිවාරම දමා තිබේ. පොළොව කාෂ්ටක ය. වාතය ගිනියම් ය. වැස්සක් දැකපු කාලයක් නැත. නමුත් සුගන්ධිගේත් ප්‍රේමකුමාර්ගේත් මුහුණු බලාපොරොත්තු සහගතය.
“අත හරින්න බැහැනේ. අපිත් කොහොම හරි ජීවිතේ ගොඩ දා ගන්න ඕනේ” සුගන්ධී කියන්නේ කාෂ්ටක පොළොව දෙස බලාගෙන ය.
ප්‍රේමකුමාර් කවි පොත් පහක් ලියා තිබේ. ඉන් එක් පොතක් දැනටමත් පළ කර ඇත.

“අපටත් රට යන්නයි තිබුණේ” කියා ප්‍රේමකුමාර් වරක් කීවේ කනස්සලු සිතිනි. “ඇයි ගිය අයගෙන් හිටපු එල්ටීටීඊ අයට උදව්වක් නැත්ද?” මම ඇසීමි.
“ඔය ජිනීවාවල පෙළපාළි යන දෙමළ ඩයස්පෝරාවෙයි මෙහේ ඡන්දේ ගන්න එන දේශපාලනඥයින්ගෙයි වෙනසක් නැහැ. දෙගොල්ලොම කරන්නේ බොරු” යැයි ප්‍රේමකුමාර් කියයි.

දෙමළ ජනයාගේ අයිතීන් උදෙසා සිය යෞවනය පුද කළ සුගන්ධි සහ ප්‍රේමකුමාර් අද ජීවත්වන්නේ දුප්පත්කමේ යටම ස්ථරයක ය. ස්වං රැකියා ආරම්භ කරන්නැයි සමාජ සේවා ආයතනයක් දුන් රුපියල් 5000න් කුකුළන් ඇති කිරීමට දෙදෙනා කල්පනා කරයි. ඊළඟ රුපියල් 5000 ලැබෙන්නේ කුකුළන් ඇති කිරීම සාර්ථක වුවහොත් පමණි.
ඔවුන්ගේ පමණක් නොව ගමෙහි තවත් දෙමළ සහ මුස්ලිම් පවුල් ගණනාවක නිවෙස් ද ජීවිතය ද එවැනි ය. එක් නිවසක මවක කීවේ දවසකට බිත්තර හය හතක් විකුණා ලැබෙන ආදායම හැර වෙන ආදායමක් නැති බවයි.

මෙගමට අල්ලපු ගමෙහි ජනයාගේ ඉඩම් ‘කරුවා’ (අරාබි බසින් එළුවා යන අරුතැති) නමින් ගම්වාසීන් හඳුන්වන කටු පඳුරු කැලෑවකින් වැසී ගොස් තිබුණි. මේ ගස ශ්‍රී ලංකාවට ආගන්තුක එකකි. එහි නියම නම දන්නා කෙනෙක් එහි නැත. 1987 ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු මෙහි පැමිණි ඉන්දීය හමුදාව සිය ආහාරය පිණිස එළුවන් සිය ගණනින් ගෙන ආහ. එම සිය එළුවන්ගේ ආහාරය පිණිස මෙම කටු පඳුරු වවන ලද්දේ ද ඉන්දීය හමුදාව විසිනි. ඒවායේ හටගන්නා කුඩා ගෙඩි එළුවන්ගේ ආහාරය විය. අද පවා මන්නාරමෙහි බොහෝ ප්‍රදේශයන්හි මෙම ශාකය දැකිය හැකි ය. මෙම ජනයා යුද සමයෙහි පලා ගොස් යළි ගම්බිම් වලට පැමිණෙන විට ඔවුන්ගේ ඉඩම් වසාගෙන කරුවා කැලෑ වැවී තිබුණි.
ලංකාණ්ඩුව හෝ ඉන්දීය ආණ්ඩුව මෙම ‘කරුවා’ කැලෑ සුද්ද කර මේ ජනයාගේ ඉඩම් සුද්ධ කර දුන්නේ නැත. අවසානයේ දී සාමය සහ සහජීවනය අරමුණු කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් මැදිහත් වී අක්කර 62ක් සුද්ද කර දෙන ලදි. ඒ සඳහා මුල්වලින්ම ‘කරුවා’ කැළය උගුල්ලා දැමිය හැකි බර යාන්ත්‍රික වාහන අවශ්‍ය විය. දැන් එගම ජනයා සිය වගා කටයුතු ආරම්භ කර තිබේ.

ලෙහෙසියෙන් ඉටුකළ හැකි කාරියක් හෝ නොකරන ඊනියා යහපාලනයෙන් හෝ හුදෙක් දේශපාලන සටන්පාඨ මතුරන පළාත් සභාවකින් හෝ මේ ජනයාට වැඩක් නැත.
ඉන්දියාවට පලා ගොස් යළි පැමිණි පවුල් ගණනාවක් ද මෙගම්හි සිටිති. එවැනි පවුලක තොරතුරු තාක්ෂණය හදාරණ ලද නව යොවුන් තරුණියක් අපට හමුවූයේ මඩුවක් හා සමාන තවත් ගෙදරකදී ය. ඇයට රැකියාවක් නැත. ඇයගේ පවුලද කිකිළියන් කෙරෙහි විශ්වාසය තබා සිටිති. තමන්ගේ ඉදිරිය කුමක්වනු ඇත්දැයි කියා ඇයට කිසිදු අදහසක් නැත. ඇයගේ අහිංසක සිනහව යට රැඳී තිබූ මහත් අසරණ හැඟීම මතකයෙන් ඉවත් නොවන තරම් ය.

සුගන්ධිත් ප්‍රේමකුමාරත් කියන පරිදි ඔවුන්ට ඇත්තේ තම හිසට තම අත පමණි. මේ තාක් දුරට නම් එය සහතික ඇත්ත ය. “කොහොම උනත් අපට වූ දේ දරුවන්ට වෙන්න දෙන්න බැහැ. වෙනසක් වෙන්න ඕන.”