ත්‍රිපිටකය ජාතික උරුමයක් කර බුදු දහම කෙළසීම

සමිත විජේවර්ධන

පසුගිය දිනවල අකනිටා බඹ ලොවට ඇසෙන තරමට උස්ව පැන නැගුණු සාධුකාර නාදය මැද්දේ ‘ත්‍රිපිටකය ජාතික උරුමයක්’ කිරීමේ මංගල්‍යය පවත්වන ලදී. එහි පුරෝගාමියා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. ඉන් නොනැවතුණු එතුමා ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ‘ශාසනික මෙහෙවරට’ ද කැප වී පිළින දී ඇත.
ත්‍රිපිටකය ජාතික උරුමයක් නම් ඒ අනුව ම තම පිළිවෙත් ද හැඩගසා ගත යුතු නොව! ඒ නිසා දෝ එතුමාගේ ඊළඟ දැවැන්ත ‘පුණ්‍ය කර්මය’ වූයේ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමය. ත්‍රිපිටකය ජාතික උරුමයක් කළේ එක එකාගේ විකෘති කිරීම් වලින් පිරිසිදු බුදු දහම ආරක්ෂා කර ගැනීමටලු. ප්‍රාණ ඝාතය නීතිගත කිරීමෙන් එකී අරමුණ කිරි ගහට ඇන්නාක් මෙන් ඉටු වන බව අපේ ජනාධිපතිතුමාගේ අවබෝධය යි.

රටක අපරාධ නැති කිරීම පිණිසත් වෙනත් ගැටලුවලට විසඳුම් සඳහාන් මනුෂ්‍ය ඝාතන කළ යුතු බව මේ රටේ බොහෝ දේශපාලකයෝ පිළිගනිති. මේ රටේ බොහෝ බෞද්ධයින්ගේත් බහුතරයක් භික්ෂූන්ගෙන් නොමද ආශීර්වාදය, අනුග්‍රහය ලැබෙන්නේද හොඳම ජන ඝාතක ‘බෞද්ධයාට’ ය. මේ සියලු දෙනාම එකතු වී තමයි ත්‍රිපිටකය ජාතික උරුමයක් කළේ.

කිසිදු ප්‍රාණ ඝාතයකට බුදු දහමෙන් ඉඩක් නැතත් ඉස්ලාම් දහම තුළ නම් සුවිශේෂ තතු යටතේ මනුෂ්‍ය ඝාතන වලට පවා ඉඩ ඇත. එනම් තමන්ට එරෙහි පහර දෙන සතුරන් ආත්මාරක්ෂාව සඳහා ඝාතනය කිරීම අල්ලාහ් අනුමත කරන බව කුරාණයේ සඳහන් වෙයි. (4 සූරාව, 89,91,94) ඒ ප්‍රතිපත්තියට මම ද එකඟ වෙමි.
බුදු දහම එසේ නොවේ. එය පරම අවිහිංසාවාදී ය. බුදුන් වහන්සේ ඉපදුණේ ජන ඝාතක යුද්ධ වලින් භාරත දේශය ඇලලී ගිය සමයක ය. ඒ සංග්‍රාම වලදී ද සංග්‍රාමවලට හා රජවරුන්ට ආශීර්වාදය ලබා ගනු පිණිස කෙරුණු යාග හෝමවල දී ද ඝාතනය කෙරුණු ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ හා සතුන්ගේ රුධිරයෙන් භාරත දේශය තෙත් වෙමින් පැවති සමයක ය.

මේ ඝාතන වලින් බලවත් කම්පාවට පත් බුදුන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍යයේ පළමු දුක්ඛ සත්‍ය තුළ මරණය ද දුකක් ලෙස දක්වා ඇත්තේ එනිසාය. සකලවිධ ඝාතන වලට උන් වහන්සේ එරෙහි වූයේ ඒ නිසාය. ප්‍රාණඝාතයේ ආදීනව ද එයින් වැළකීමේ ආනිශංස ද කියා දීම ත්‍රිපිටකයේ මූලික ලක්ෂණයකි.
‘සියලු සත්ත්වයෝ දඬුවමට බියය. සියලු සත්වයෝ තම ජීවිතයට ආදරේ ය. එබැවින් තමන් උපමාවට ගෙන අනුන්ට හිංසා නොකරන්න. අනුන් නොමරන්න. (ධම්ම පදය දණ්ඩ වග්ගය)’විශේෂයෙන් බුදුන් වහන්සේ යුද්ධයට එරෙහි වූ සේක.

‘යමෙක් සංග්‍රාම භූමියක දී දස ලක්ෂයක් මිනිසුන් මරණවාට වඩා තමා ජයග්‍රහණය කරන එක සංග්‍රාමය දිනුවාටත් වඩා ශේ්්‍රෂ්ඨය.’ (ධම්ම පදය- සහස්‍ර වර්ගය)
බුදුන් වහන්සේ මේ අපරිමිත අවිහිංසාව, අප්‍රමාණ දයා කරුණාව, අනන්ත වූ මෛත්‍රීය, අසමසම මානව දයාව නිසාම උන්වහන්සේගේ ගුණ වැයූ මහණ බමුණෝ මෙසේ උදන් ඇනූහ.

‘ඒ ශ්‍රමණ භගවත් ගෞතමයෝ ප්‍රාණ ඝාතය හැර දමා එයින් වැළකුණෝ වෙති. දඬු මුගුරු අවි ආයුධ නො දරන්නෝය. පව් කිරීමට ලජ්ජා ඇත්තෝ ය, (එය පිළිකුල් කරන්නෝ ය.) මෛත්‍රී ගුණයෙන් පිරුණෝ ය. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී ව වෙසෙති. (බොහෝ සූත්‍රවල)

බුදුන් වහන්සේ මනුෂ්‍ය ඝාතන කෙතරම් බරපතළ අපරාධයක්, අකුසලයක් කොට සැලකූ සේක් ද යත් මනුෂ්‍ය ඝාතනයක් කරන හෝ කරවන හෝ ඒවා වර්ණනා කරමින් (යුද හමුදා ඇතුළු) මිනිසුන් මනුෂ්‍ය ඝාතන සඳහා පොළාඹවන උපසම්පදා ලත් භික්ෂූව උපසම්පදාවෙන් නෙරපා හැරිය යුතු බවත් යළි ඔහුට කිසි කවරදාක උපසම්පදාව නොලැබිය හැකි බවත් ඔහු ඇසුරු නොකළ යුතු දුස්සීලයකු බවත් පරාජිකා පාලියෙහි දේශනා කර ඇත.

අපරාධ සම්බන්ධයෙන් බුදුන් වහන්සේගේ විසඳුම මරණ දඬුවම තබා කායික දණ්ඩනයවත් නොවේ. ඒ සම්බන්ධයෙන් ඉගැන්වීම ධම්ම පදයේ මුල් ගාථා දෙකෙන් විස්තර වෙයි. ඒ අනුව ‘සෑම කායික, වාචසික ක්‍රියාවකටම සිත මූලික වෙයි. නරක සිතින් කෙරෙන ක්‍රියාවලට නරක ප්‍රතිඵලත් හොඳ සිතින් කෙරෙන ක්‍රියාවලට හොඳ ප්‍රතිඵලත් ලැබෙයි. එනිසා නරක වැඩ වලට නොපෙළඹෙන ආකාරයට හිත දමනය කර ගත යුතුය.’

අනික් අතට බුදුන් වහන්සේ මානව ජීවිත පරිශෝධනය වීමේ එකම මඟ හිත පිරිසිදු කිරීමේ පිළිවෙතට ම පැවරූ බවක් නොපෙනේ. මිනිසා කරන අපරාධ වලට වෛෂධික හේත ද බලපාන බවත් දුරලීමෙන් මිනිසුන් අපරාධ වලින් වලකාගත හැකි බවත් දේශනා කර ඇත. ඊට නිදසුන් ලෙස කූට දන්ත සූත්‍රයේ මහා විජිත දෘෂ්ටාන්තය ගෙන හැර දැක්විය හැකිය.
මහා විජිත රජ, ධන ධාන්‍යයෙන් ආඪ්‍ය ය. ඔහුට තමාගේත් රටේත් ආරක්ෂාව සඳහා යාගයක් කිරීමට අවශ්‍ය වෙයි. ඔහු පුරෝහිතගෙන් ඊට උපදෙස් පතයි. එවිට පුරෝහිත රජුට පෙන්වා දෙන්නේ ඒ වන විට ගම්, නියම් ගම්, ජනපද මංකොල්ල කෑම්, මං පැහැරීම් යනාදි උවදුරු වලින් රට ව්‍යාකූලව පවතින බවත් එබඳු අවස්ථාවක මහ ජනයාගෙන් බදු ගැනීම (බදු ගෙන යාග කිරීම) යුක්ති සහගත නොවන බවත්ය. එසේම මිනිසුන් වධ බන්ධනවලට පැමිණවීම්, දඩ ගැසීම රටින් නෙරපා හැරීම යනාදියෙන් ම සොරකම නතර කළ නොහැකි බවත් මිනිසුන් කරන රැකියා අනුව ඔවුන්ට සම්පත් ලබා දී ඔවුන්ගේ රැකියාවල් කරගෙන යාමට ඔවුන්ට උපකාර කළ යුතු බවත් එමගින් රටේ සාමය ඇති වී මිනිසුන් නිරුපද්‍රිත වී සුඛිත මුදිතව වාසය කරනු ඇති බවත් පුරෝහිත තව දුරටත් පෙන්වා දුන්නේය.

රජතුමා ඒ උපදෙස් ඒ අයුරින් ම ක්‍රියාත්මක කළේය. රට ද සුඛිත මුදිත විය. එකල මහා විජිත රජුගේ පුරෝහිත යනු කිසිවකු නොව ගෞතම නමින් බුදු වූ බෝධිසත්වයන් වහන්සේය.

බුදු දහම එයයි. බුදු මග ද එයයි. බොදු පිලිවෙත විය යුත්තේ එයයි.
එකල මෙන් නොව මෙකල සමාජය දහස් ගුණයකින් සංකීර්ණය. අපරාධ ද සංකීර්ණය. මේවාට විසඳුම් සෙවීම මහා විජිත රජුගේ පුරෝහිතගේ විසඳුම් තරම් සරල නැත. සුමට නැත. එහෙත් කවර කලක කවර තරමේ අපරාධයකට වුව පිළියම් සෙවීමේ පූර්වාදර්ශය එය නොවේ ද? දඬුවම් කළ යුත්තේ අපරාධකරුවා නොව අපරාධයේ මූල හේතුවට ය.
බුදුන් වහන්සේ අපරාධ වලට මූල හේතුව ලෙස දුටුවේ මිනිසා තුළ පවතින අසීමිත තෘෂ්ණාවය. එනම් හැකිතාක් දේපල තමා සන්තක කර ගැනීමේ කෑදරකමය. මානව සමාජයේ එය ආර්ම්භ වූ හැටි අග්ගඤ්ඤ සූත්‍රයෙන් වටහා ගත හැකිය. කොටින් ම බුදුන් වහන්සේ පෞද්ගලික දේපළ ක්‍රමයට විරුද්ධ වූ සේක. තම ධර්මය මිනිසුන් අතරට ගෙන යෑම සඳහා නිර්මාණය කළ සංඝ සමාජයේ පදනම වන්නේ පොදු දේපළ ක්‍රමය හෙවත් සාංඝික දේපළ ක්‍රමය යි. සතර සංග්‍රහ වස්තුවල දැක්වෙන සමානාත්මතාවෙන් අර්ථවත් වන්නේද එයයි.
එහෙත් මේ සකල විධ උදාර පරමාර්ථවල දමා පෞද්ගලික උදර පෝෂණය සඳහා ම කැපවුණු බහුතරයක් භික්ෂූන් සමාජයට පිළිලයකි. සසුනට කැලලකි. අඩු තරමින් නිදහසින් පසු මේ රටේ සිදු වූ දැවැන්ත මනුෂ්‍ය ඝාතන නතර කර ගැනීම හෝ යළි එවැනි ඝාතන ඇති වීම වළක්වා ගැනීම සඳහා මේ භික්ෂූන් ඉදිරිපත් කරන බෞද්ධ විසඳුම කුමක්ද? බුලත් මල්ලට හෙණ ගැහුවම හුණු කිල්ලෝටය ඉතිරි නොවන්නාක් මෙන් ගිහි බෞද්ධයන් ගැන කවර කථාද? ගිහි පැවිදි බහුතර වංචනිකයන් කරන්නේ පරම අවිහිංසාවාදී බුදු දහම සජ්ඣායනා කරමින් මානව හිංසනයට, මනුෂ්‍ය ඝාතනවලට, මිනිසුන් අතුරුදන් කිරීම් වලට ආශිර්වාද කිරීමය.

නමට පමණක් මෛත්‍රීපාල වූ සිරිසේන ජනාධිපතිවරයා මරණ දඬුවමට විරුද්ධ වන්නට එරෙහිව ගිය ගිය තැන් හතර අතට වනයි. මරණ දඬුවම අහෝසි කරන දිනය ජාතික ශෝක දිනයක් කරන බවට වහසි බස් දොඩයි. ජනාධිපති සිරිසේනට අනුව නම් මරණ දඬුවමට එරෙහි ව උසාවි ගිය ගල්කන්දේ ධම්මානන්ද මාහිමිපාණෝ ද කුඩුකාරයෙකි. ධම්මානන්ද හිමියන් පමණක් නොව මරණ දඬුවමට එරෙහි අපි සියලු දෙනාම සකලවිධ මනුෂ්‍ය ඝාතන වලටම එරෙහි වෙමු.

එහෙත් තම පාලන කාලය තුළ ලංකාව දැවැන්ත යුද බිමක් කිරීමට පසුබිම සැකසූ, තම විරුද්ධවාදීන් විවේචකයින්, දූෂණ හෙළදරව් කළ මාධ්‍යවේදීන් ඝාතනය කළ අවස්ථාවාදී බක තපස් දේශපාලකයින්ගේ විරෝධය වංවාවක් බව කිව යුතුය.

බහුතරයක් භික්ෂූන් පෙනී සිටින්නේ කරුණාව, ප්‍රඥාව, වෙනුවෙන් නොව, ‘ගල් ගසා පෙති ගසා’මරණ ෂරියා නීතිය වෙනුවෙන්ය. ගෑස් කාමරවල දමා හුස්ම හිර කර මරණ හිට්ලර් නීතිය රජ කරවීම වෙනුවෙන් ය.

ජාඩියට මූඩිය මෙන් ටක්කෙට ම ගැළපෙන මේ භික්ෂු-දේශපාලක දෙකල්ලිය එකතු වී ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම යනු බරපතළ දේශපාලනික වංචාවකි.