සටන කෙළවර විය හැක්කේ කෙසේද?

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

දැන් රනිල් වික්‍රමසිංහ එජාප නායකයා මුහුණ දී සිටින්නේ මීට පෙර මුහුණ දුන් තත්ත්වයකට යැයි සිතිය නොහැක. මීට පෙර එජාප නායකත්වය පිළිබඳ තර්ජනයට කිහිප අවස්ථාවක ම ඔහු මුහුණ දුන් අතර ඒ සෑම අවස්ථාවක ම එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය ඔහු සමග සිටියෝය. එහෙත් මෙවර එය සුළුතරයක් වී ඇතුවාක් මෙන්ම පක්ෂයේ ඔහුගේ අතිජාත මිතුරන් ලෙස සැලකිය හැක්කන් රැසක්ද එජාප සභාපතිවරයාද සිටින්නේ ඔහුට එරෙහිවය. ඔහුට බරපතළ සහනයක් ගෙන දෙන්නේ නම්, ඒ අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා එජාප ලේකම් වී සිටීම හේතුවෙන් විය හැකිය.

රනිල්ගේ ඉරණම

පසුගිය බ්‍රහස්පතින්දා එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය ගිනියම් වීමෙන් අනතුරුව 5 වැනිදා අත්සන් කිරීමට තිබූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගිවිසුමද කල් ගියේය. එය තනිකර ම එජාප සජිත් පාර්ශ්වයේ බලපෑමේ තරම විදහා දක්වන්නක් නොවුණත් වික්‍රමසිංහ මහතා මුහුණ දී ඇති අර්බුදයේ තරම විදහා දක්වන්නක් යැයි අනුමාන කළ හැකිය. මක්නිසාද එජාප නායකයා මුහුණ දී ඇති අර්බුදයේ තරම තේරුම් ගත් මුස්ලිම් කොංග්‍රසය ඇතුළු එජාපෙ පක්ෂ, සිය කඳවුරේ අපේක්ෂකයා කවුරුන්ද යන්න දැනගන්නා තුරු ගිවිසුම අත්සන් නොකිරීමට තරම් ඉවසිලිවන්ත වී තිබුණේය. එහෙත් සත්‍ය තත්ත්වය, ප්‍රධාන කඳවුරු දෙකේම අපේක්ෂකයන් කවුරුන්ද යන්න දැනගන්නා තුරු එම පක්ෂ ඊට අත්සන් නොකිරීමේ තීරණයකට එළඹ සිටීම විය හැකිය. එය මුස්ලිම් කොංග්‍රසයට පමණක් නොව මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් වැනි දෙමළ ජනතා නායකයන්ටද බලපා නැතැයි සිතිය නොහැක. මේ නිසා මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂවල සහය ස්ථිරව ම එජාපයට යැයි ඔවුන් සිතන්නේ නම් එය දේශපාලන මෝඩකමක් වන්නේය. එම සහය මෙවර තීන්දු වනු ඇතැයි සිතිය හැක්කේ එජාප අපේක්ෂකයා මතය. ඔවුන් ජනාධිපතිවරණය තෙක් අමාත්‍ය ධුර පවා භාර නොගැනීමට පළමුව තීරණය කර තිබුණද පසුව කීප දෙනෙකු හෝ ඒවා භාර ගැනීමෙන් එම තීන්දුව වෙනස් වන්නට ඇත්තේ එජාප නායකයාගේ පෙරැත්තය මත විය හැකිය. එහෙත් එවැනි තත්ත්වයක් පවා අවසානයේ වික්‍රමසිංහ මහතාට වාසිදායක වූයේ නැත.

මුස්ලිම් කොංග්‍රසය හා ප්‍රතිපත්ති

එජාපය හා එජාප නායකයා මෙවැනි අර්බුදයක ගිලී සිටියදී පසුගිය සඳුදා මුස්ලිම් කොංග්‍රස් නායකයා ප්‍රකාශ කර තිබුණේ, ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ජනාධිපති අපේක්ෂකයන් නම් කිරීමෙන් පසු ඔවුන්ගේ ප්‍රතිපත්ති හා ජයග්‍රහණය කිරීමේ ශක්තිය සලකා බලා කිනම් අපේක්ෂකයෙකුට සහය දෙන්නේද යන්න තීරණය කරන බවය. එහිදී වැදගත් වන්නේ “ජයග්‍රහණය කිරීමේ ශක්තිය” යනුවෙන් ඔහු ඉස්මතු කරන කාරණයයි. එය එජාපයේ සජිත් පාර්ශ්වය මතු කරන, ජයග්‍රහණය කිරීමේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුය යන්නට සමානය. එජාපයේ එම අපේක්ෂකයා වික්‍රමසිංහ මහතා විය නොහැකිය.

මේ නිසා මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂවලට ප්‍රතිපත්ති හෝ වැඩපිළිවෙළට වඩා ජයග්‍රහණය වැදගත් වන්නේය.
සත්‍ය වශයෙන් ම එජාපයට හෝ එජාපෙට හෝ අලුතින් ගොඩ නගනවා කියන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හෝ තවමත් ජනාධිපතිවරණය උදෙසා රට ගොඩනගන නිශ්චිත වැඩපිළිවෙළක් ඇතැයි සිතිය නොහැක. පසුගිය ඉරිදා වික්‍රමසිංහ මහතා කළ විශේෂ ප්‍රකාශයෙන් ම එය පැහැදිලි වන්නේය. ඔහු ප්‍රකාශ කර තිබුණේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කරන බව මෙන්ම අනාගත සැලසුම් ඒ ප්‍රතිපත්ති මාලාව මත සකස් කරන බවය. යම් හෙයකින් 5 වැනිදා පෙරමුණේ ගිවිසුම අත්සන් කළේ නම් එසේ පිහිටුවනු ලබන්නේ ප්‍රතිපත්ති හෝ වැඩපිළිවෙළක් නැති පෙරමුණක් බව අපැහැදිලි නැත.

රනිල්ගේ විකල්ප හතර

මීට පෙරද මම පෙන්වා දුන්නේ ජනාධිපති අපේක්ෂකයා තේරීම එජාපයෙන් එජාපෙට මාරුකර ගැනීමට වික්‍රමසිංහ මහතා සමත් වුවහොත් එය ඔහු අපේක්ෂා කරන ජයග්‍රහණයේ මාවත වියහැකි බවය. එහෙත් පළමු වටයේදී එය සාර්ථක වූයේ නැත. එසේ වුවද අවසානය එය නොවන්නේය. එජාප නායකයාට ඇතැයි සිතිය හැක්කේ විකල්ප 4කි. එක්කෝ ඔහු සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය දී අගමැති අපේක්ෂකයා විය යුතුය, නැතහොත් ඔහු ජනාධිපති අපේක්ෂකයා වී සජිත්ව අගමැති අපේක්ෂකත්වයට කැමති කරවාගත යුතුය. නැත්නම් කරු ජයසූරිය කතානායකවරයා ජනාධිපති අපේක්ෂකයා කර සජිත් අගමැති අපේක්ෂකයා කර ඔහු පිටියෙන් ඉවත් විය යුතුය. එසේත් නැත්නම් කරු ජනාධිපති අපේක්ෂකයා කර ඔහු අගමැති අපේක්ෂකයා වී සජිත්ව පිටියෙන් ඉවත් කළ යුතුය.

එහෙත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වය ඉල්ලා සිටීම මෙම තත්ත්වයකටත් වඩා වික්‍රමසිංහ මහතා මුහුණ දී සිටින බරපතළ ම ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය. මේ නිසා අවසානයේ ඔහු හැරෙනු ඇතැයි අනුමාන කළ හැක්කේ පක්ෂ නායකත්වය රැක ගැනීමේ මාවතක් දෙසටය.

එවැනි විකල්පයකදී ඡන්දයෙන් එජාපය ජයග්‍රහණය කිරීමට වඩා පරාජය වීමේ සම්භාවිතාව වැඩිය. එම තත්ත්වය සජිත් ප්‍රේමදාස පාර්ශ්වය අවබෝධ කරගෙන නැතැයි සිතිය නොහැක. මේ නිසා මෙවර වික්‍රමසිංහ මහතාට සම්පූර්ණ ජයග්‍රහණය අත්කර දී තරගය අවසන් වේ යැයි කිසිසේත් ම අනුමාන කළ නොහැක.

කරු නමැති ගැලවුම්කරුවා

එජාප නායකයාගේ ගැලවුම්කරුවා ලෙස අන්ඳවා තබා ඇත්තේ ජයසූරිය කතානායකවරයා බව සිතිය හැකිය. 2015 සිට එජාපය වටා සිටින රාජ්‍ය නොවන සිවිල් සංවිධානවල තේරීමද ඔහුය. එහෙත් මෑතකදී කතානායකවරයා කළ ක්‍රියාවකින් ඔහුගේ රාජ්‍යතාන්ත්‍රිභාවය මෙන්ම එම රාජ්‍ය නොවන සිවිල් සංවිධානවල භූමිකාව මනාවට පිළිඹිබු වූයේය.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජික රටක්ව සිටියදී විදේශ අමාත්‍යාංශයේ ආරාධනයෙන් මෙහි පැමිණි එහි විශේෂ වාර්තාකරුවකුට (ීචැජස්ක ඍ්චචදරඑැමර) මෙරට මහාධිකරණ විනිසුරුවරුන් හමුවීම ජයසූරිය කතානායකවරයා විසින් වළක්වා තිබිණි. එවැන්නක් කිරීමේ කිසිදු බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කතානායකට පවරා නැත. රටේ රාජ්‍ය නායකයා සේ හැසිරෙමින් නැති බලයක් ආරෝපණය කරගෙන ඔහු කළ එම ක්‍රියාව සම්පූර්ණයෙන් නීති විරෝධී බව පැහැදිලිව පෙනෙමින් තිබියදීත් අගමැතිවරයා හෝ ඔය කියන සිවිල් සංවිධාන එම වරද, වරදක් ලෙස දැක්කේ නැත. එයින් අනුමාන කළ හැක්කේද, 2015 ආණ්ඩු පෙරළියට එජාපය හා එක්වූ මෙම සිවිල් සංවිධාන, ප්‍රතිපත්තිමය කාරණා මත ක්‍රියාකරනවාට වඩා කුමන තත්ත්වයක් යටතේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ක්‍රියාකරන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවය.

එම තත්ත්වය වික්‍රමසිංහ මහතාද හොඳින් අවබෝධ කරගෙන සිටිනු ඇතැයි සිතිය හැක. මේ නිසා ඔහු පක්ෂයේ සටන ජයග්‍රහණයෙන් අවසන් කර ගැනීම උදෙසා කරු සහ සිවිල් සංවිධාන අතරමං වන තැනට වැඩ කළහොත් එයද පුදුමයට කාරණයක් ලෙස සැලකිය නොහැක.

සිවිල් සංවිධානවල අවංකකම

හිටපු ඇමතිවරුන් රැසක් සිය ඇමති තනතුරු අහිමි වී මාස 7කට වැඩි කාලයක් ගතව තිබියදී තවමත් ඇමති නිල නිවාසවල රැඳී සිටීමද සැලකිය හැක්කේ නීති විරෝධී, සදාචාර විරෝධී කාරණයක් ලෙසය. වැදගත් වන්නේ ඔවුන්ගෙන් 4දෙනෙකු එලෙස රැඳී සිටින්නේ අගමැතිවරයාගේ නියමය මත වීමය. ඒ 4 දෙනා ම ශ්‍රීලනිප මන්ත්‍රීවරු වෙති. ඔවුන්ට හෝ එලෙස සිටින සියලු මන්ත්‍රීවරුන්ට එසේ රජයේ ඇමති නිවාසවල පදිංචි වී සිටීමට නීත්‍යනුකූල බලයක් නැතුවාක් මෙන්ම අගමැතිවරයාට එලෙස රජයේ නිවාස ලබාදීමට ද ඇත්තේ කුමන නීතිමය බලයක්ද? මෙම කාරණය පිළිබඳවද ඔය කියන සිවිල් සංවිධාන කතා නොකරන්නේ එම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තමන් අපේක්ෂා කරන කඳවුර ශක්තිමත් කරන පිරිසක් වීම නිසාදැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. රාජ්‍ය දේපොළ නීති විරෝධී ලෙස පරිහරණය කිරීමට යහපාලනය වෙනුවෙන් පෙනී සිටින්නන් විරුද්ධ විය යුතු වුවත් එසේ නොවන්නේ පෞද්ගලික පැවැත්ම පිළිබඳ කාරණා ප්‍රතිපත්තිමය කාරණා ඉක්මවා ගොස් තිබීම හේතුවෙන් විය හැකිය.

සටනේ විදියට මුහුණ දීම

මෙයින් පෙනෙන්නේ මෙවර ජනාධිපතිවරණය ප්‍රතිපත්තිමය කාරණා මත වන සටනක් බවට පත් නොවන බවය. එය එජාපය හෝ එජාපෙ කඳවුරට පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ කඳවුරටද පොදු කාරණයක් ලෙස සැලකිය හැකිය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය මත එහි අපේක්ෂකයාට රැඳී සිටීමට සිදුවනු මිස වෙනත් වැදගත් යමක් අවශ්‍ය වේ යැයි සිතිය නොහැක. මෙම දේශපාලන ක්‍රීඩාව තම තමන්ගේ පෞද්ගලික පැවැත්මට වාසිදායක වුවත් රටකට වාසිදායක විය හැකිද?
විය හැක්කේ එවැන්නක් නම් කළ හැක්කේ කුමක්ද? වඩාත් වැදගත් වන්නේ මහජනයාට යහපත් ජීවන තත්ත්වයක් යටතේ, නිදහසේ ජීවත් වීමේ වාතාවරණයක් ගොඩනැගීමය. අවංක නොවීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වී තිබීම ඊට ඇති ප්‍රධාන බාධාව ලෙස සැලකිය හැකිය. එම දුරාචාරයට පත්ව ඇත්තේ දේශපාලකයන් පමණක් නොවන්නා සේම ඊට පිළිතුරු අපේක්ෂා කළ යුත්තේද ඔවුන්ගෙන් පමණක් නොවන්නේය. පක්ෂ, අපේක්ෂකයන් බලයට ගෙන ඒමට උත්සාහ දරන බලපෑම් කණ්ඩායම් මෙන්ම තනි තනි පුරවැසියන්ද ශ්‍රී ලංකාව රටක් ලෙස ඉහළට එසවීමේ අරමුණේ අවංකව නොසිටින්නේ නම් විවර විය හැක්කේ පැරණි මාවතක් මිස නව මාවතක් විය නොහැකිය. පෞද්ගලික සුබ සිද්ධිය උදෙසා, ඇතැම් පක්ෂ සහ නායකයන් අදහමින්, ඇතැම් දේට සහ ඇතැමුන්ට ආගමක් සේ එරෙහිවෙමින්, ගෙනයන අවංක නොවන ක්‍රියාමාර්ග දෙස අවංකව ආපසු හැරී බලා නිවැරදි වීමට සූදානම් නොවන්නේ නම් උදාවිය හැක්කේ ඛේදවාචකයක් වීම නොවැළැක්විය හැකිය.