ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පරාජය හා සුබසාධනවාදී ඛේදවාචකය

චින්තක රණසිංහ

රටේ දැන් උද්ගත වී ඇති ජනාධිපති අපේක්ෂක කලබගෑනිය ගැන කෙටියෙන් සාකච්ඡා කිරිම මෙම ලිපියේ අරමුණයි. එහිදි මවිසින් අවධාරණය කිරිමට උත්සාහ ගැනුණේ ලිබරල්වාදයේ ලාංකීය අර්බුදය පිළිබඳවයි.

දැන් පවතින ජනාධිපති අපේක්ෂක කලබගෑනියේ එක් පැහැදිලි ප්‍රකාශනයක් වන්නේ එජාපය පැත්තෙන් සජිත් ප්‍රේමදාසත්, පොහොට්ටුව හා ශ්‍රීලනිපය එකතුව පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂත් කරලියට ඒමේ වැඩි හැකියාවකින් ක්‍රියාත්මක වීමයි. එය බොහෝ ලිබරල් මධ්‍යම පාන්තිකයන්ගේ වේදනාවට හේතු වී ඇතිමුත් ඒ පැහැදිලි සත්‍යයක් ලෙස ඉස්මතු වෙමින් පවතින යථාර්ථයකි. එසේම රටේ පොදු ජනයා විසින් යම් ආකාරයකින් අපේක්ෂිත යථාර්ථයක් ලෙස ද එය හඳුනාගත හැකිය. එසේ වූයේ කෙසේද?

2015 ජයග්‍රහණය පාවා දීම

2015 ජයග්‍රහණය විශාල වශයෙන් මෙරට මධ්‍යම පාන්තික බලඇණි විසින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිදුකරන ලද මානවීය පිබිදීමක ප්‍රතිඵලයකි. සුළු ජාතීන්ගේ ඡන්ද තීරණාත්මක ලෙස ගෙන රාජපක්ෂ කඳවුරට එරෙහිව පෙළගැස්වීමට මධ්‍යම පන්තියේ සක්‍රිය කොටස් පෙළඹෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා බැඳුණු සංකල්ප කෙරෙහි ඔවුන් තුළ තිබෙන ඇල්ම මුල්කොට ගනිමිනි. එහෙත් සුබසාධනවාදයෙන් හා දූපත් මානසිකත්වයෙන් බිහිවන බහුතර ගැමියා එම අරුමෝසම් ප්‍රජාතන්ත්‍රවාදය පසෙකලා රාජපක්ෂලාගේ සුබසාධන ඒකාධිපතිවාදය සමග එක පයින් සිට ගත්තේය. එයට හේතුව ඒ සඳහා භෞතික කොන්දේසී සැපිරී තිබීමයි.

2015 ජයග්‍රහණය පාවා දෙනු ලැබුවේ මෛත්‍රී විසින් පමණක් නොව රනිල් හා යූඇන්පීය ද ඔහු වටා වරින් වර පෙළ ගැසෙන දේශපාලන දර්ශනයකින් තොර එදිනෙදා ජීවත් වීමට දේශපාලනය කරන සියලු දෙනාම විසිනි. මෛත්‍රී ඉතා පැහැදිලිව තම ප්‍රතිගාමී කඳවුරට ගාල් වූ පසු එජාපය කළේ තම සුපුරුදු ආණ්ඩුව ගෙනයාම මිස ප්‍රජාතන්ත්‍රවාදී බවට ගැමි මනස වෙනස් කිරීම නොවේ. පොරොන්දු වූවාට යම් යම් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කර පැරණි බිස්නස් ගමන යෑම පමණි. එහෙත් ආරම්භයේ සිටම එජාපයට ගර්භාෂය වූ ලංකා ජාතික සංගමය හා මුල් කාලීන ධනේශ්වරයත් එය නියෝජනය කළ පන්තියත් සිදු නොකළ ධනේශ්වර විප්ලවය 2015 න් පසු හෝ මුල පිරීමට ඔවුන්ට සිදු වූවත් ඔවුහු එය මුළුමනින්ම නොතකා දෛනිකව ආණ්ඩුවේ වැඩ කරමින් සිටියෝය.

මෙය ලංකාවේ ලිබරල්වාදීන්ගේ ජීවිතය මෙනි. ඔවුන්ට වැදගත් සමාජයේ සාමාන්‍ය මිනිසාගේ ආර්ථික හා සමාජ ගැටලු මොනවත් නොව, කොළඹ සිට ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදයේ අඬහැරය පමණි. එය නිශ්චිතවම අක්‍රීය හා යම් යම් මුදල් මත යැපෙන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතියක් මිස මහජනයාගේ ජීවිත සවිබල ගන්වන ඔවුන්ගේ දෛනික ජීවන තතු සමග එක් වී චින්තනයක් ගොඩ නඟන ප්‍රජාතන්ත්‍රවාදයක් නොවීය.

සිවිල් සමාජය හා යූ ඇන් පී ය තම වගකීම මෙසේ අතහැර යද්දී සුබසාධනවාදීහු බිම් මට්ටමින් ක්‍රියාත්මක වූහ. ඔවුහු තම දෘෂ්ටිවාදය ලෙස පරමත්වයට නැංවූ සුබසාධනය සමග අති සරල ජාතිවාදය හා ආගම්වාදය මුසු කරමින් තම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ අතර ඊට සමාන්තරව රූපවාහිනි නාලිකා, පුවත්පත්, වෙබ් සයිඞ්, ෆේස් බුක්, පත්‍රිකා ආදී විශාල ප්‍රචාරක යන්ත්‍රයක් ද ක්‍රියාත්මක කළෝය. වසර පහකට ආසන්න විශාල කාලය තුළ ලාංකීය ලිබරල්වාදීන් සිදුකළේ කුමක්ද, පුවත්පත් නිවේදන නිකුත් කිරීම, ඉංග්‍රීසියෙන් ඇති ඇතැම් ලේඛන පෙරළා ඊ-මේල් යවමින් තම පටුකම තුළ ප්‍රීති වීම පමණි. ඔවුහු රටේ සැබෑ දේශපාලන අභියෝගය භාර නොගත් අතර එසේ භාර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට දේශපාලන ධෛර්යක් හෝ දර්ශනයක් වගා කර ගැනීමට මුළුමනින්ම අසමත් වූහ.

මේ අතර දේශපාලන උනන්දුවක් හා දර්ශනයක් ගොඩනගා ගැනීමේ හැකියාව තිබූ ඇමතිවරු පවා කළේ එබඳු දුෂ්කර කාර්යයකට අත ගැසීම නොවේ. හැකිතාක් ජනප්‍රිය සංවර්ධන කටයුතුවල නියැලීම සඳහාම තම මුළු ශ්‍රමය හා අවධානය යෙදවීම පමණි. ඇත්තෙන්ම ඔවුන්ට අවශ්‍යව තිබුණේ මන්ත්‍රීවරයකු වශයෙන් විශාල ඡන්ද ප්‍රමාණයක් ගැනීම මිස ඉන් එහාට යෑම නොවේ. එබඳු ඉලක්ක ඔවුන්ගේ යටි සිත්වල තිබෙන්නට ඇතත් ඔවුහු ඒ වෙනුවෙන් අබමල් රේණුවකවත් අවධානය යොමු නොකළෝය.

ලිබරල් අලසභාවයේ වන්දිය සුබසාධනවාදී ඒකාධිපතිවාදයයි

කොළඹ කේන්ද්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී බුද්ධිමතුන් සිතන්නේ පරිවාරයේ සිටින්නේ මෝඩ, නූගත් ජනයා බවයි. ඔවුන් තම මුවින් එසේ නොකීවත් එසේ සිතා සිටින බව ක්‍රියාවෙන් වැටහේ. එහෙත් ඊට ප්‍රතිපක්ෂව පරිවාරය හා අග නාගරික යම් ස්ථරයක් සිතන්නේ මේ බුද්ධිමතුන් වංචාකාරයින් රනිල්ගේ මිනිසුන් බවයි. ඒ බුද්ධිමතුන්ට තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව කොහෙන් හෝ ලැබෙන නිසා තමන්ට බණ කීමට පැමිණ සිටින බවයි. බැලූ බැල්මට මෙය සරල කාරණයක් වුව මෙය අපේ දේශපාලනය සම්බන්ධයෙන් ගැඹුරු ප්‍රායෝගිකකරණයකි. එසේම ඉදිරියේදී විශිෂ්ට දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කළ හැක්කේ එම යථාර්ථය පිළිගෙන මහ පොළවට බැස ක්‍රියා කිරීමෙන් පමණි.
සුබ සාධනවාදීන් මෙහිදී ඉතාමත් අවබෝධයෙන් ගමට යන අතර ඔවුන්ට කොළඹ කේන්ද්‍රීය සංවාදය එතරම් වැදගත් එකක් නොවේ. ඔවුන් ගම තුළ බෙදන්නේ තහඩු, රසකැවිලි හෝ ඉඩම්, ගෙවල් පමණක් නොවේ. ඉතාමත් මැනවින් සකසන ලද දෘෂ්ටිවාදයකි. එම දෘෂ්ටිවාදයේ සරල ප්‍රකාශනය වන්නේ ‘රනිල්ලා එන්. ජී. ඕ. කාරයොත් එක්ක රට විකුණන්න යනවා. ඊට විරුද්ධ වෙයල්ලා’ යන්නයි. ඒත් ඒ ප්‍රකාශයේ නොකියන පැත්ත වන්නේ ‘අපි උඹලට ඔය මොනවා මොනවා හරි දෙන්නම්. කට වහගෙන ඒවා අරගෙන අපට අපේ වැඩ කරගන්න ඉඩ දීපල්ලා.’ යන්නයි. ඒත් ඒ ප්‍රකාශයට අනුගත විදිහට මිනිස් මනස සකස් කිරීම සඳහා එසේ නොකියා වෙන වෙන වැඩ පිළිවෙළවල් දියත් කිරීම සිදු වේ. ඒ කෙසේ නමුත් මේ සියල්ල සැලකිය හැක්කේ ලංකාව එහි තිබෙන සැබෑ තත්ත්වයෙන් වටහා ගනිමින් දේශපාලනයේ නිරත වීමක් ලෙසය.

ජාතිවාදී කඳවුර

මෙබඳු බල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙද්දී ගෙවිඳු කුමාරතුංග වැනි අවංකව ජාතිහිතෛෂී යැයි තමා සිතන අය, ඕමල්පේ හාමුදුරුවන් වැනි ක්‍රියාකාරීහු තමන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නෝය. මේ අයගේ ක්‍රියාකාරීත්වය ජන සමාජයට බලපෑම් ඇති කරද්දී කොළඹ නිදහසේ ඉබාගාතේ ඇවිඳින ලිබරල්වාදීහු කලා විචාරයේ හෝ සංස්කෘතික විචාරයේ නියැලෙමින් තම දෛනික දේශපාලන ක්‍රියාකාරීත්වය තෘප්තිමත් කරති. ඔවුන්ට රට කියන්නේ කොළඹයි. කොළඹින් පිට රටක් ඇතැයි ඔවුන් සිතන්නේ ඡන්ද කාලෙට පමණි. රනිල් වික්‍රමසිංහ යනු ඉතා හොඳ බුද්ධිමත් ශිෂ්ට සම්පන්න මානවයකු වුව ද ඊට සමාන්තරව සැලකිය යුතු දේශපාලන අලසභාවයකින් යුක්ත අයෙකි. පක්ෂ තුළ පැරණි දූෂිතයන් ඉවත් කොට සක්‍රීය ලෙස ප්‍රතිසංවිධානය කිරීමට කිසිසේත් උත්සාහ නොකළ හෙතෙම පසුගිය වසර ගණනාවක් ම නාස්ති කළේය. 2015 දී තමන්ට ලැබුණු විරල දුෂ්කර තත්ත්වය පිළිබඳ ඔහු නොසිතීය.

ආසියාතික සමාජයක නායකත්වය සැපයීමේදී විශේෂයෙන් ලංකාව වැනි දූපතක ඉතා වැදගත් වන්නේ ආසියාතික ප්‍රතිගාමීත්ව එරෙහිව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පිහිටු වීම නොව එම ප්‍රතිගාමීත්වයත් වෙනස් කළ හැකි සබුද්ධික තාර්කික මහජන පරිමණ්ඩල ගණනාවක් වෙත ගලා යා හැකි පුළුල් ව්‍යාපෘති ගොඩ නැගීමයි. එය බුද්ධිමය මෙන්ම ප්‍රායෝගික බවින්ද එක සේ සමන්විත දෛනික වෙහෙසකාරී දේශපාලන කටයුත්තකි. එහෙත් මේ යූඇන්පී ප්‍රජාතන්ත්‍රවාදී මහත්වරු එම වෙහෙසකාරී කටයුත්ත මුළුමනින්ම අත්හැර දමා මේ වසර කීපය ඔහේ නාස්ති කළෝය.

ඩී.ඇස්. සේනානායක වැනි නායකයන්ගේ වැදගත්කම ඇත්තේ එබඳු ප්‍රායෝගික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමය. එහෙත් ඔවුන් ඒ සඳහා ලබාදුන් බුද්ධිමය දායකත්වය ගැඹුරු රාජ්‍ය තාන්ත්‍රිකභාවයකින් යුක්ත වූයේ නොවේ. ජේ. ආර්. එබඳු ව්‍යාපෘතියක් කළේ මුළු රටම අවුල් කරමින් තිබූ වැදගත් පර්යායන් සියල්ල වනසා දමමිනි. (ඇත්තෙන්ම අද අපි මේ ගෙවන්නේ එම ව්‍යාකූලත්වයේ එක්තරා අදියරකි.)

රනිල්ට එබඳු ක්‍රියාවලියක් නිර්මාණය කර ගැනීමට නොහැකි වූව, පමණක් නොව ඔහු වටා රොද බැඳණු ලිබරල්වාදීන් ද ඔහුටම සරිලන නිශ්ක්‍රීය හා නිර්- බුද්ධිමය අලස පිරිසක් වූහ. දැන් ඉතින් 2015 අවසානය අලුත් අදියරකට රට පැමිණ තිබේ. ඇතැම් විට අලුත් මේ අලුත් අධියර අර කාන්තාරේ ගිය ගැල් සාත්තුවේ නායකයාට නින්ද ගිය කතාවේ සිදු වූ දෙයම විය හැකිය. උදේ ඇහැරී බලන විට ගැල් සාත්තුව නවතියි. නායකයා ඇතුළු කට්ටිය සිතන්නේ කාන්තාරයෙන් එළියට පැමිණ ඇති බවයි. ඒත්! ගොනුන් කර ඇත්තේ කාන්තාරය වටා ගොස් හිටිය තැනවම පැමිණීමයි. දැන් ඒ ගැල් සාත්තුවට වුණ දේ රටට සිදු වී තිබේ. දැන් රට නැවතී ඇත්තේ 2015 මය.

දේශපාලන නායකත්වයක් -ප්‍රජාතන්ත්‍රවාදය හා ගැමියාගේ අවශ්‍යතා වෙනුවෙන් එකවිට වගකියන විධිමත් ව්‍යාපෘතියක් සහිත දේශපාලන ව්‍යාපෘතියක් සහිත නායකත්වයක් ගොඩ නැගීමට කිසිවකුට අවශය නැත. බොහෝ අයගේ සිහිනය බලය වුව ද ඒ වෙනුවෙන් මාවතක් තැනීමෙන් තොරව ගන්නා බලයක් පිළිබඳවය ඒ සිහින ගොනු වී තිබෙන්නේ.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පරාජය බාර ගනිමුද

ලාංකීය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පරාජය බාරගත යුතුද? එයට ඉඩ හළ යුතුද? නැත. දැන් කළ යුත්තේ එය වඩාත් ජාතිකවාදී පදනම් වලින් යුක්තව වර්ධනය කළ හැකි සක්‍රීය පිරිසක් අතට පත් කිරීම පමණි. පැරණි කොළඹ කේන්ද්‍රීය පරපුර මුළුමනින්ම පරාජයට පත් වී ඇති අතර අභිනව අවංක පරපුරකට ඇබෑර්තුවක් ඇත. ලංකාවේ අනාගතය පවතින්නේ එබඳු පරපුරක් මතු වී නව ලිබරල් ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරයක් මතුකර ගැනීමෙනි. එහි ජාතිකවාදී කොටසක් මෙන්ම ජාත්‍යන්තරවාදී කොටසක් ද තිබිය යුතුය. කොළඹ කේන්ද්‍රීය කොටසක් මෙන්ම පරිවාරය වෙත කේන්ද්‍ර වූ කොටසක් ද තිබිය යුතුය.

මේ මැතිවරණය කෙසේ කුමක් වුවත් එම ව්‍යාපෘතිය ඇරඹීමට දැන් කාලය පැමිණ තිබේ. ලංකාවේ මහජන හිතකාමී දේශපාලනයක් නිර්මාණය වන්නේ එබඳු ව්‍යාපෘතියක් නිර්මාණය කිරීමෙන් පමණි. යූ ඇන් පීය කොතරම් බලවත් බිස්නස්කාරී පැළැන්තියක් මත දිව්වද මහජන අවකාශ්‍යක් නොමැතිව එයට ඉදිරි පැවැත්මක් නැත. එම මහජන අවකාශය බුද්ධිමත් කළ හැකි ව්‍යාපෘතියක් වෙනුවෙන් යූ ඇන් පී යට යම් සැලකිය යුතු වගකීමක් හා කැපවීමක් ඇති අතර එවැනි මගපෙන්වීමක පසු ගමනක නිරත වීමෙන් පමණක් යූ ඇන් පි යට ප්‍රජාතන්ත්‍රවාදය තුළ අනාගතයක් තිබේ. නැතහොත් රට ද විපතකට ගෙන ගොස් තමන් ද විනාශයට පත් වෙමින් 80-90 දශකවල පැවති භයානකත්වය නිර්මාණය කෙරෙනු ඇත.

සමාලෝචනය

රටේ සෑම ක්ෂේත්‍රයකම ප්‍රබල ලෙස බලපාන අර්බුදය වන්නේ පරම්පරා ගැටුමයි. විශාල තරුණ පිරිසක් නව දැනුම හා චින්තනයෙන් සන්නද්ධව ඉදිරියට ඒමට තැත් කළත් ඊට වඩා විශාල වැඩිහිටි පිරිසක් ඔවුන්ගේ මග අහුරාගෙන ලැඟ සිටිති. ඒ අයට තමව ලෝකය පෙනෙන්නේ අනවශ්‍ය තරම් පැරණි මාදිලිවලිනි.

මේ ප්‍රශ්නය ජය ගැනීමට න්‍යායික මෙන්ම ප්‍රායෝගික විසඳුමක් ද අවශ්‍ය වන අතර එසේ නොවුණහොත් ලංකාවේ සෑම ක්ෂේත්‍රයක්ම පසුගාමි මහල්ලන්ගෙන් පිරී යා හැකිය. ජව සම්පන්න තරුණයන් රට හැර යාම වැළැක්විය නොහැකි වනු ඇත. මෙය අපේ දේශපාලනයේ බුද්ධිමය ව්‍යාපෘතියකදී ඉදිරියට පැමිණෙන තවත් අර්බුදයක් ලෙස පෙන්වා දිය හැකිය.