ව්‍යාජ වීරත්වය හා ව්‍යාජ පරිත්‍යාගය

විමලනාත් වීරරත්න

ධනේශ්වර සමාජය තුළ වීරත්වය යනුවෙන් දෙයක් නැත. එහෙත් ධනේශ්වර සමාජය බිහිකිරීම උදෙසා වීරත්වය පෑමටත්, පරිත්‍යාග කිරීමටත් අවශ්‍ය විටෙක ත්‍රස්ත කිරීම් භාවිත කිරීමටත් ජනතා සංග්‍රාමවල යෙදීමටත් සිදුවන බව කාල් මාක්ස් පෙන්වා දෙයි.

ලංකාවේ මේ මොහොතේ ක්‍රියාත්මක අවර ගණයේ අදේශපාලන නාටකයට උක්ත හැඳින්වීම හරියටම සමාන්තර වෙයි. හැමෝම සිටින්නේ ජනතාවගෙන් අගෞරවයට ලක්වෙමිනි. එහෙත් ගෞරවය රැක ගැනීමට කාටත් වුවමනාය. කවුරුත් නියෝජනය කරන්නේ සහනශීලී මහජන නියෝජිත භූමිකාවක් නොවේ. එහෙත් කාටත් වීරත්වයේ භූමිකාවක් අවශ්‍යය. කවුරුත් සිටිනුයේ මහජන මුදල් උපරිම වශයෙන් පුද්ගලික සුඛ විහරණය සඳහා භාවිත කරමිනි. එහෙත් තම තමා උපරිම වශයෙන් පරිත්‍යාගශීලීන් බව පෙන්වීමට කාටත් වුවමනාය. කිසිවෙක් මේ ගන්ධබ්භ අවදියේ ත්‍රස්තය භාවිත නොකළත් බලය අත්පත් කරගත් ඇසිල්ලෙන් ඔවුහු ඒ සඳහා නොපසුබට වෙති.

සජිත් සහ ගෝඨාභය

19 වැනි සංශෝධනය ප්‍රකාරව මීළඟ ජනාධිපති තටු සිඳලූ ගුරුකුල බව ප්‍රත්‍යක්ෂව තිබුණත් දෙපාර්ශ්වයේ ජනප්‍රිය නායකයන් ලෙස සැලකෙන ගෝඨාභයට සහ සජිත්ට වීරත්වය පෑමට වුවමනාය. එක් අතකින් තමන් ඉදිරිපත් වන තනතුර බලරහිත තනතුරක් බව ප්‍රකාශ කළහොත් කිසිවෙක් ඒ ගැන උනන්දු නොවනු ඇත. එහෙත් ජනතාව තවදුරටත් මෙම ව්‍යාජ වීරත්වයේ සෙවණැල්ල යට සිටිය යුතුද? ජනතාව අතිබහුතරයක් බලන විද්‍යුත් මාධ්‍ය හා පුවත්පත් මහජනයා සෙක්කු ගමනෙහි තවදුරටත් නිරත කරන ජනමාධ්‍ය ක්‍රියාවලියක මිස ඔවුන්ට යථාවබෝධය ලබාදෙන ජනමාධ්‍ය මෙහෙවරක නිරත නොවෙයි. ඊට විකල්පව නායකයන් හා අපේක්ෂකයන් වීරයන් කෙරෙන මායාව බිඳින ක්‍රමයක් නැති නිසා වීරත්වය, පරිත්‍යාගය ප්‍රමුඛ සියලු සංග්‍රහයන් සැබෑවක් බව පෙන්වීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ.

සජිත් මේ කෙටි කාලයට උදාගම් දෙසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් ඉදි කළ බව කියැවේ. ඔහු මෙවර ආපසු නොහැරෙන බවද තරව කියයි. එහෙත් ඔහු හැමදාම එකම වාග් මාලාවක් මුදාහරිමින් හිතවත් මාධ්‍ය කිහිපයක් මගින් ප්‍රබන්ධ කැරෙන වීරයකුගේ භූමිකාවෙන් එහාට ගොස් නැත. කිසිදු තැනක සජිත් ප්‍රේමදාස ලංකාවේ අනාගත දියුණුව, සංවර්ධනය පිළිබඳ ගැඹුරු අදහසක් පළකර නැත. සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ මෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාකච්ඡාවක නැත. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාකච්ඡාව අත හැරියත් ඔහු ජනයාගේ ආර්ථිකය පිළිබඳ සාකච්ඡාවට හෝ බරසාරව පිළිපන්ව නැත. සුබ සාධනවාදී රාජ්‍යයක් පිළිබඳ අදහසක් ඔහුට ඇත. ගම් මට්ටමින්, බිම් මට්ටමින් ජනතාව සුඛිත මුදිත කරනවා වැනි වදන් ඔහුගේ වාග් කෝෂය තුළ තිබෙන්නේ එනිසාය. එහෙත් එවැනි දර්ශනයකින් රටට හිඟන්නන් බෝ කරනවා විනා දියුණු දැන උගත් ජනතාවක් හා ලෞකික සමාජයක් බිහි කළ නොහැකිය. සජිත් පසුවන නොගැඹුරු තැන මරණ දඬුවමට පක්ෂවීමෙන් පෙනී යයි. ඊළඟට ඔහුත් මෛත්‍රීපාල සිරිසේන, කරු ජයසූරිය සේ ම සංඝ සමාජය සමග නටන්නට යන නාඩගමෙන් රට ජාති ආගම්වාදී ගුහාවක් වීම නොවැළැක්විය හැකිවනු ඇත. රනිල්ට රට පිළිබඳව තිබෙන්නේ නාස්තිකවාදී බුර්ෂුවා ලෞකිකත්වයකි. එය පරිස්සම්සහගත ලෞකිකත්වයක් බවට පත් කළ හැකිව තිබුණි නම් යථාර්ථවාදීව සිතන අරපරිස්සම් සහගත ආර්ථිකයක් පතන ජනයාගේ කැමැත්ත දිනාගත හැකිව තිබිණි. එහෙත් ඔහු සියලුදෙනා අතරින් විශ්වාස කළ නොහැකිම නායකයා ලෙස ජනතාව තුළ විශ්වාසයක් ගොඩ නැගී ඇත.

සජිත් සමග බලන විට සමාන්තර අපේක්ෂකයා වන ගෝඨාභය වර්තමාන වීරත්වයට වඩා ප්‍රකට කරන්නේ ආරක්ෂක ලේකම් ධුරය දැරූ සමයේ යටගිය වීරත්වයයි. ඔහු කොළඹ ලස්සන කළ නායකයා ලෙසට වර නැගුණත්, කොළඹ කුණු මීතොටමුල්ලේ ගොඩ ගසා කඳු පාමුලේ ජනයාගේ මාරයා බවට පත්වූ පුද්ගලයාද වූයේය. කුණුවලට විසඳුමක් ලබා දුන්නා නම් ඔහුට වීරයෙක් වන්නට තිබුණි. ඔහු පරිත්‍යාග කළේ ජනයාටද තම දෙමාපියන්ගේ ස්මාරක ඉදිකිරිමටද යන ප්‍රශ්නය ඔහුට එරෙහිව බරපතළ චෝදනාවක් ලෙස නැගේ. ලංකාව හදන්නට තද නායකයෙක් හෙවත් හිට්ලර් වැනි නායකයෙක් ඕනෑ වැනි ඇතැම් ස්වාමීන් වහන්සේලාගේ හා අන්තේවාසිකයන්ගේ වාචාල කතාවලින් එහාට ගිය වීරත්වයක් ගෝඨාභය ගොඩ නගාගෙන තිබේද? නැත. ඔහුට සිතූ දේ කළ හැකිව තිබුණු අත්තනෝමතික රාජකාරි ඉතිහාසයක් තිබුණි. සිතු දේ කළ හැකි වූයේ දේශපාලන බලය නිසාය. දේශපාලන බලය නැතිවිට ගෝඨාභය යනු අතිශය සාමාන්‍ය පුද්ගලයෙකි. ඔහු 2015 ජනවාරි 08 වැනිදායින් පසු කළ දෙයක් නැත. තම අන්තේවාසිකයන් සමග සම්මන්ත්‍රණ පැවැත්වීම කළත් ඒවායින් ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වයට එරෙහිව ඇතැයි සැලකෙන බාධක ඉවත් කිරීම හැර අන් යමක් සිදුවූයේ නැත. වත්මන් රජයේ දුර්වල හා අගතිගාමී ක්‍රියාකාරීත්වයට එරෙහිව ඔහුට මහජනයා සංවිධානය කළ නොහැකි විය. ඔහු එවැනි උත්සාහයක නිරත වූයේද නැත. එසේ කළ හැකිව තිබුණි නම් ඔහුට සාමාන්‍ය ජනයා අතර අවම කොන්දේසි යටතේ වුව මහජන අරගල කරන්නකු ලෙස වීරත්වයක් දිනාගන්නට තිබුණි. මහ බැංකු කොල්ලය ප්‍රමුඛ යහපාලන රජයේ මූල්‍ය අවභාවිතයන් කෙරෙහි සම්මන්ත්‍රණයකදී සඳහන් කරනවා හැර ගෝඨාභය මේ කිසිවක් ගැන මහජන විරෝධතා ක්‍රියාවලියකට අවතීර්ණ නොවූයේ ඔහු සකසා දෙන පිටියක ක්‍රීඩා කරන්නකු හැර පිටිය සකස් කරගෙන ක්‍රීඩා කරන්නට තරම් දේශපාලන පරිචයක් නැති පුද්ගලයකු වන නිසාය. ඉන් පෙනී යන්නේ ඔහු දේශපාලනඥයකු නොව උස්සා ගොස් පුටුවෙහි තැබූ විට පරිපාලනය විතරක් කළ හැකි පරිපාලන නිලධාරියකු බවය. මග අරගල කරන දේශපාලකයන් කර තිබෙන්නේ මොනවාද යනුවෙන් කෙනකු ප්‍රශ්නයක් මතු කළ හැකිය. ඊට දිය යුතු පිළිතුර ව්‍යාජ උද්ඝෝෂකයන් නොවී දේශපාලකයන් වෘත්තීය දේශපාලනයක ව්‍යාවෘත විය යුතුය යන්නය.

මහජන බිමක් සෙවීම

ව්‍යාජ වීරත්වය හා ව්‍යාජ පරිත්‍යාගය ජනතාව හඳුනා ගැනීම වැදගත්ය. සැමදාම සුබ සාධනය අපේක්ෂා කිරීම හිඟන සමාජයකට හා හිඟන ව්‍රතයකට පාර කපයි. තද නායකයකු අපේක්ෂා කරන්නන් බලහත්කාරී පාලනයකට හා කේන්ද්‍රගත කල්ලිවාදී ජුන්ටාවකට පාර කපයි. මේ දෙකෙන්ම විතැන්ව ජනතාව අලුත් පාරක් කපාගත යුතුව ඇත. එහි පළමු උදලු පහර 2019 ජනාධිපතිවරණයේදී ගැසිය හැකිය. ඒ සඳහා පසුගාමීත්වය ප්‍රතික්ෂේප කරන අතරම අවබෝධය වැලඳ ගැනීම වැදගත්ය.