ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදීම

වික්ටර් අයිවන්

රටේ නීති හා ප්‍රතිපත්ති සම්පාදනයේ ප්‍රධාන බලධාරියා ලෙස ක්‍රියා කරන්නේ පාර්ලිමේන්තුවය. රටේ පොදු දේපළවල භාරකාරයා ලෙස ක්‍රියා කරන්නේද පාර්ලිමේන්තුවය.
පාර්ලිමේන්තුවේ හා මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් තමන් භාරයේ තිබෙන පොදු දේපළ නීතියට පටහැනිව අයථා ලෙස පරිහරණය කරයි නම්, එය පිළිගත් ප්‍රතිපත්තියක් බවට පත්කර ගනිමින් පොදු දේපළ විෂයෙහි වැරදි කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම පාර්ලිමේන්තුව විසින් වළකාගෙන සිටින්නේ නම්, රජයට ආදායම් උපයා දෙන හොඳම ආර්ථික මාර්ග පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් ඍජු ලෙස හෝ අනියම් ලෙස අත්පත් කරගෙන සිටින තත්ත්වයක් යටතේ රජයට ලැබෙන ආදායම් හීනවී රජය බංකොළොත් තත්ත්වයකට පත්වීම නිසා රට අධික ලෙස විදේශ ණය මත යැපෙන තත්ත්වයකට පත්කිරීමට හේතුවී තිබේ නම් පාර්ලිමේන්තුව විසින් දිගින් දිගට කරගෙන යමින් තිබෙන එම වරද නිවැරදි කළ යුතුව තිබෙන්නේ කෙසේද?

ආණ්ඩු පෙරළියක් මේ ප්‍රශ්නයට විසඳුමක් වන්නේ නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පොදු දේපළ අයථා ලෙස පරිහරණය කිරීම ලංකාවේ රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් ලෙස සැලකිය හැකි අතර එය 1978 ආරම්භ වී දැන් වසර 40කට වැඩි කාලයක් තිස්සේ බලයට පත්වන හැම පාලක පක්ෂයක් විසින්ම අඛණ්ඩව පවත්වාගෙන යන ක්‍රමයක් ලෙස ද සැලකිය හැකිය. ඒ නිසා ආණ්ඩු වෙනස් කිරීම මේ ප්‍රශ්නයට තිබෙන පිළියමක් ලෙස සැලකිය නොහැකිය.
මෙය ඉක්මන් විසඳුමක් ලැබිය යුතු රටේ පැවැත්ම කෙරෙහි බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. මේ සම්බන්ධයෙන් කතානායකවරයාට ගතහැකි ක්‍රියාමාර්ගයක් ඇතැයි විශ්වාස කරමින් ප්‍රශ්නයේ ස්වභාවය හා එහි ඇති බරපතළකම විස්තර කරමින් 2019 මැයි 19 වැනිදා ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළෙමි. ඊට කතානායකවරයා දෙන ලද පිළිතුර වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර යම් යම් දූෂණයන් හෝ වංචාවන් සිදුවන්නේ නම් ඒ පිළිබඳව නෛතික පියවර ගැනීමේ හැකියාව තිබෙන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හා නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට බවය. මෙය පුද්ගලයන්ගේ හෝ පුද්ගලයන් කිහිපදෙනකුට අදාළ ප්‍රශ්නයක් නොව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදාළ පොදු ප්‍රශ්නයකි. පුද්ගලයන්ට අදාළ ප්‍රශ්නයක් මිස ආයතනයකට අදාළ පොදු ප්‍රශ්නයක් ගැන කරුණු සොයා බැලීමේ හැකියාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඇතැයි අපි විශ්වාස නොකරමු. එසේම මන්ත්‍රීවරුන්ට අදාළව එම කොමිසමට ලැබුණු පැමිණිලිවලදී ඵලදායී ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට එම කොමිසම සමත් වී නැත.

එම තත්ත්වය පැහැදිලි කරන ලිපියක් කතානායකවරයා වෙත අප විසින් යොමු කරන ලද අතර (2019.05.10) කතානායකවරයා ඊට දෙන ලද පිළිතුර වූයේ (2019.05.24) ව්‍යාපාර කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාකිරීමේ බලයක් කතානායක වශයෙන් තමන්ට ව්‍යවස්ථාවෙන් ලබාදී නැති බවය.

නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කරන මන්ත්‍රීවරුන් ගැන සොයා බලා ක්‍රියාකිරීමේ හැකියාවක් පාර්ලිමේන්තුවේ කතානායකට නැත්නම් පුරවැසියන් වශයෙන් රටේ සියලු මහජනතාවටද රටේ පැවැත්මටද බලපාන එම ප්‍රශ්නය කිව යුතුව තිබෙන්නේ කාටද?

පුරවැසියන් වශයෙන් අපේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන්නට තිබෙන එකම තැන ලෙස සැලකිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. අවසානයේ අපි අපේ දුක්ගැනවිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන්නට තීරණය කොට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ආයාචනාත්මක පැමිණිල්ලක් ලෙස 62කගේ අත්සනින් යුතුව එම ආයාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළෙමු. එම ආයාචනයට අත්සන් කළ හැටදෙදෙනා විවිධ වෘත්තීන්ට අයත් කිසියම් විශාල ප්‍රමාණයකට ලංකා සමාජය පිළිබිඹු කරන එකතුවක් ලෙස සැලකිය හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ල මෙසේය.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අගවිනිසුරුතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුතුමන්ලා වෙත රටේ පොදු යහපත පිණිස කරන ආයාචනයකි.

1. මෙම ආයාචනයේ අන්තර්ගත ප්‍රශ්නය කෙටියෙන් මෙසේ සම්පිණ්ඩනය කළ හැකිය. මහජන ඡන්දයෙන් විධායකයට, ව්‍යවස්ථාදායකයට, පළාත් සභාවලට සහ ප්‍රාදේශීය සභාවලට තේරී පත් වන මහජන නියෝජිතයින්, තමන් වෙත මහජනතාව තැබූ විශ්වාසය සාපරාධී ලෙස උල්ලංඝනය කරමින්, නීතියට පටහැනි ලෙස රජයේ දේපළ මිල දී ගන්නා, රජය සමග ව්‍යාපාර කරන, ආර්ථික වටිනාකමක් ඇති ව්‍යාපාර අවස්ථා සඳහා අවශ්‍ය බලපත් නීති විරෝධීව අත්පත් කරගන්නා, රජයේ ටෙන්ඩර ප්‍රසම්පාදන ක්‍රම උල්ලංඝනය කරමින් ප්‍රදානය කරවා ගන්නා, තම සංවර්ධන ව්‍යාපෘති නීති විරෝධීව අනුමත කරගන්නා ක්‍රමයක් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වේ. එම නීති විරෝධී ක්‍රමය සමස්ත රාජ්‍යය ම දුෂිත කිරීමටත්, රජය උපයන ආදායම් හීන කිරීමටත්, සමස්ත පරිසර පද්ධතිය විනාශ කිරීමටත්, රට විදේශ ණය මත යැපෙන තත්වයට බංකොළොත් කිරීමටත්, නීති විරෝධී අනුග්‍රහයන් නොලබන වෙනත් ස්වාධීන ව්‍යවසායයන්ට තරගකාරීව ඉදිරියට යාම වැළැක්වීමටත්, රටට වැඩදායී විදේශ ආයෝජන ගලා ඒම අඩපණ කිරීමටත්, මහජනතාව මත අධික බදු බර පැටවීමටත්, ශ්‍රම වෙළෙඳ පොළ දුර්වල කර විරැකියාව වැඩි කිරීමටත්, උගතුන් රට හැර යාමටත්, දුප්පතුන් වඩාත් දුප්පත් කරවීමටත්, නීතියේ ආධිපත්‍යයට යටත් නොවන ව්‍යාපාර බිහි කිරීමටත්, නීතියේ ආධිපත්‍යය දුර්වල කිරීමටත්, ආණ්ඩු ක්‍රමය විකෘති කිරීමටත්, මහජන නියෝජිතයින්ගේ යොමුව සහ ස්වභාවය විකෘති කිරීමටත් යනාදී වශයෙන් සමස්ත ශ්‍රී ලංකාව ම සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික හා පාරිසරික, යන සෑම අංශයකින් ම ගෝලීය ප්‍රජාව තුළ පිළිගත් නිර්ණායක අනුව පසුගාමී සහ ආපස්සට යන රටක් බවට පත් කිරීමටත්, එමගින් සමස්ත ශ්‍රී ලංකා වාසීන්ගේ මූලික අයිතිවාසිකම් උග්‍ර ලෙස නිරන්තර උල්ලංඝනය කිරීමටත් හේතු වී තිබේ.
2. අප මෙම මහජන වැදගත්කමක් ඇති ප්‍රශ්නය මහජන සුභසාධන නඩුකරයක් ලෙස ඉදිරිපත් නොකර ශ්‍රේෂ්ඨාධිකරණයට මහජන පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කරන්නේ ප්‍රශ්නයට තිබෙන වැදගත්කම හා බැරෑරුම්කම අනුව බලන විට එසේ කිරීම වඩා සුදුසු නිසාය. තවද අතිවිශාල ජාතික වැදගත්කමක් ඇති මෙම ප්‍රශ්නය සියතට ගෙන එය විසඳා දීමට අවශ්‍ය කරන බලය හා හැකියාව ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා එසේ කරන ලෙස අපේ නීති උපදේශකයින් අපට උපදෙස් දෙන ලද නිසාත්, එම මග පෙන්වීම අප සියලු දෙනාගේ ද පිළිගැනීමට හා විශ්වාසයට හේතු වී තිබෙන නිසාත්ය.

3. මහජන ඡන්දයෙන් විධායකයට හා ව්‍යවස්ථාදායකයට තේරී පත් වී පාලන බලයේ සුක්කානම හසුරුවන්නන් රජය සමග ව්‍යාපාරික ගනු-දෙනුවල නොයෙදිය යුතුය යන්න මුලුමහත් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය ම පිළිගත් මූලික ධර්මතාවක් ලෙස සැලකිය හැකිය. ඒ සඳහා සෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක ම පාහේ දැඩි නීති තිබෙන අතර, ලංකාවේ ද 1977 දක්වා ඒ සඳහා වන දැඩි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය. එහෙත් 1977න් පසුව ඒ සඳහා තිබෙන නීති ක්‍රියාත්මක වීම අඩපණ කරන ක්‍රමයක් අද දක්වා ම ක්‍රියාත්මක වන අතර, එ නිසා නීතිය ගැන ඇති කර ගන්නා බියකින් තොර ව මහජන නියෝජිතයින් මෙම විෂයයට අදාළව කරනු ලබන නීති උල්ලංඝන මහා පරිමාණයෙන් සිදු වන දෙයක් බවට පත් ව තිබෙන්නේය.
4. විශාල නිල බලයක් තිබෙන මහජන නියෝජිතයින් තමන්ගේ බාරයේ තිබෙන වටිනා පොදු සම්පත් සිය පවුලේ අයට, සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා ගජ මිතුරන්ට නාමික මිලකට ලබා දෙන දූෂිත ක්‍රමයක් ස්ථාපිත වී තිබේ. ඒ ක්‍රමය තුළ මහජන මන්ත්‍රීවරුන්ගෙන් විශාල පිරිසක් ද නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කරන ව්‍යාපාරිකයෝ බවට පත්ව සිටිති. මෙම නීති විරෝධී ක්‍රියාදාමය බහුල වශයෙන් ම සිදු වෙමින් තිබෙන්නේ රජයේ ඉඩම්, රජයේ ටෙන්ඩර, රජයේ ව්‍යාපාරික බලපත්‍ර යන අංශවලය.
5. මහජන නියෝජිතයින් රජය සමග ව්‍යාපාර කිරීම බරපතළ නීති උල්ලංඝනයක් ලෙස සැලකිය හැකි වුව ද 1977න් පසුව අද දක්වා ම එය සිදු වෙමින් පවතින්නේ රාජ්‍ය නායකයින් ද පලප්‍රයෝජන ලබන ඔවුන්ගේ ද අනුදැනුම හා ආශීර්වාදය ඇති ව සිදු වන ක්‍රියාදාමයක් ලෙසය.

6. ඒ සඳහා දැක්විය හැකි නිදර්ශන මෙසේය.
(අ) ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන, තමන්ට මාදම්පේ තිබුණු නිසරු පොල් ඉඩමක්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට දී, එම කොමිසම සතුව තිබුණු සරුසාර පොල් ඉඩමක් තමන් වෙත හිමි කරගත්තේය. ඒ සමග ම එම කොමිසම සතුව තිබුණු ඉඩම් හා වටිනා ගොඩනැගිලි නාමික මිලකට අත්පත් කර ගැනීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට හා ගජ මිතුරන්ට ඉඩ ලබා දුන්නේය. ඒ ආදර්ශය අනුව යමින් අනුප්‍රාප්තික ජනාධිපතිවරු ද එම කොමිසමේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් තමන්ගේ පවුලේ අයට හා පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද, ගජ මිතුරන්ට ද, නාමික මිලකට අත්පත් කර ගන්නට ඉඩ දුන්නෝය. එ නිසා පමණක් රජයට සිදු වූ අලාභය රුපියල් ටි්‍රලියන ගණනක් විය හැකිය.
(ආ) රූපවාහිනී හා ගුවන්විදුලි විකාශනය සඳහා යොදා ගනු ලබන ගුවන් තරංග සැලකෙනුයේ මහජන හිමිකමක් ඇති, අති විශාල ආර්ථික වටිනාකමක් සහිත, ඉතාමත් සීමිත සම්පතක් ලෙසය. ප්‍රජාතන්ත්‍රවාදි රටවල ඒවා විකුණනු ලබන්නේ මහජන යහපත සඳහා පාවිච්චි කරන බවට සහතික කෙරෙන දැඩි කොන්දේසිවලට යටත් ව, වෙන්දේසි කරන ක්‍රමයකටය. ඒවා විකිණෙන්නේ අති විශාල මිලකටය. ගුවන් තරංග විකිණීම ආරම්භ වන්නේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වරයාගේ පාලන කාලයේ සිටය. එ තැන් සිට අද දක්වා ම සියලු ජනාධිපතිවරුන් ඒවායේ හිමිකම ලබා දී තිබෙන්නේ නාමික මිලකට සිය ගජ මිතුරන්ටය. ඒවා හිමි කර ගත් ගජ මිතුරන් එම විකාශන බලපත්‍ර තුන්වැනි පාර්ශ්වයකට විකිණීමෙන් උපයා ගෙන තිබෙන ආදායම අති විශාලය. එ මගින් පමණක් රජයට අහිමි වී තිබෙන ආදායම රුපියල් බිලියන සිය ගණනක් විය හැකිය.
(ඇ) මත් පැන් වෙළඳ සැල් ක්‍රමය ඕනෑ ම රටක රජයට ආදායම් උපයා දෙන වැදගත් මාර්ගයකි. එහෙත් ලංකාවේ මත් පැන් බල පත්‍ර ලබා දෙන්නේ ද රජයට උපයා ගත හැකි ආදායම් විශාල ප්‍රමාණයකට අහිමි කෙරෙන ආකාරයට, නාමික මිලකටය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග පාලන කාලයේ දී මත්පැන් බලපත්‍ර දහසකට වැඩි සංඛ්‍යාවක් නිකුත් කරන ලද්දේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මාර්ගයෙනි. එ නිසා එම ආණ්ඩු පක්ෂයේ කිසියම් විශාල පිරිසක් සෘජු හෝ අනියම් ලෙස තැබෑරුම් පවත්වා ගෙන යන තැබෑරුම්කරුවෝ බවට පත් වූහ. මහා පරිමාණයේ ඉස්කාගාර හිමියන් ද මන්ත්‍රීවරු අතර සිටිති. ප්‍රති අපනයන, වැලි, ගල්, පස්, දැව හා මගී ප්‍රවාහන බලපත්‍ර ලාභීහු මන්ත්‍රීවරුන් අතර සිටිති.
7. 1977න් පසු කාලයේ දී ද රජය සමග ව්‍යාපාර කිරීමේ හේතුව මත අවස්ථා දෙකක දී මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ (ඇල්බට් සිල්වා සහ රාජිත සේනාරත්න) මන්ත්‍රී ධූර අධිකරණය විසින් අහිමි කරන ලදී. ඒ අවස්ථා දෙකේ දීම එම අධිකරණ තීන්දු දෙකේ තීන්ත වේලෙන්නටත් පෙර පක්ෂ නායකයින් විසින් වෙනත් ක්‍රමවලට ඔවුන් පාර්ලිමේන්තුවට පත් කරන ලදී. ජනාධිපති ජේ.ආර් ජයවර්ධන විසින් මන්ත්‍රී ධූරය අහිමි වී සිටි ඇල්බට් සිල්වා තුණ්ඩු ක්‍රමයට කඹුරුපිටිය ආසනයට පත් කරන ලදී. රනිල් වික්‍රමසිංහ විසින් මන්ත්‍රී ධූරය අහිමි වී සිටි රාජිත සේනාරත්න ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලදී. රටේ දේශපාලන නායකයින් මෙම විෂයට අදාළව අධිකරණය දෙනු ලබන තීන්දුවලට ගරු කිරීමට සූදානම් නැති බවත්, නීතියට පටහැනිව අයථා ලෙස ධනය උපයා ගැනීම සඳහා පවත්වා ගෙන යන ක්‍රමය ආරක්ෂා කර ගැනීම ඔවුන්ගේ පරම අභිලාෂය වන බවත්, එම නිදර්ශන දෙක හොඳින් පෙන්නුම් කරයි.

8. රටේ පොදු දේපළවල තාවකාලික බාර කරුවන් ලෙස ක්‍රියා කරන මහජන මන්ත්‍රීවරුන් ද ඇතුළත් රාජ්‍ය පාලකයින්, තමන් බාරයේ තිබෙන පොදු දේපළ අයථා ලෙස පරිහරණය කිරීම මගින් දීර්ඝ කාලයක් තිස්සේ රජයට අතිවිශාල අලාභයක් ඇති කර තිබෙන බවත්, එම තත්ත්වය රජයට ලැබෙන ආදායම් හීන කර රට විදේශ ණය මත යැපෙන තත්ත්වයකට පත් කිරීමෙන් නොනැවතී සමස්ත රාජ්‍යය දූෂිත කිරීමට හේතු වී තිබෙන බවත්, එ මගින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙන, මෙම පෙත්සම ඉදිරිපත් කරන අප සියලු දෙනාගේ පමණක් නොව, රටේ සමස්ත ජනතාවගේ ම මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස හා අඛණ්ඩව උල්ලංඝනය කර තිබෙන බවත් ප්‍රකාශ කර සිටිමු.

9. මෙම ප්‍රශ්නයේ ඇති බැරෑරුම්කම හා ඊට ලැබෙන ජාතික වැදගත්කම සලකා,
(අ) ඒ ගැන අධිකරණ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්,
(ආ) මහජන නියෝජිතයින්, ඔවුන් විසින් ම හෝ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් මගින් හෝ වෙනත් පුද්ගලයින් මගින් හෝ රජය සමග ව්‍යාපාර කිරීම ගැනත්, ඔවුන්ට නීතියට පටහැනිව හා රජයට අලාභයක් ඇති කෙරෙන ආකාරට දේපළ පවරාදීම ගැනත්, නියම කරන ලද කාල රාමුවක් ඇතුළත ඉක්මන් විගණනයක් සිදු කර අදාළ තොරතුරු අධිකරණයට වාර්තා කරන ලෙස විගණනකාධිපතිට නියෝග කරන ලෙසත්,
(ඇ) මන්ත්‍රීවරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබී තිබෙන පැමිණිලි අතරින්, විමර්ශනයට ගෙන තිබෙන පැමිණිලි, විමර්ශන අවසන් කර ඇති එහෙත් නඩු පවරා නැති පැමිණිලි සහ විමර්ශන අවසන් නොකළ පැමිණිලි පිළිබඳ වාර්තාවක් අධිකරණයට ලබා දෙන ලෙස එම කොමිසමට නියෝග කරන ලෙසත්,
(ඈ) මැතිවරණවලට නාම යෝජනා බාර ගන්නා විට අපේක්ෂකයින්, ඔවුන් විසින් ම හෝ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් මගින් හෝ වෙනත් පුද්ගලයින් මගින් හෝ රජය සමග ව්‍යාපාර නොකරන බවට දිවුරුම් ප්‍රකාශ ලබාගැනීම අනිවාර්ය කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙසත්,
(ඉ) නීතියට පටහැනිව රජය සමග ව්‍යපාර කර තිබෙන හෝ රජයේ දේපළ හිමි කර ගෙන තිබෙන හෝ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි කර, නැවත මැතිවරණ සඳහා තරග කිරීමේ අයිතිය ද සුදුසු කාල සීමාවක් සඳහා තහනම් කරන ලෙසත්, වැරදිකරුවන් වන එම පුද්ගලයින් විසින් නීතියට පටහැනිව කර තිබෙන ගනු-දෙනුවලින් රජයට අලාභයක් සිදු වී තිබේ නම් ඒවා අය කර ගැනීම සඳහා ඔවුන්ට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිට නියෝග කරන ලෙසත්,
(ඊ) අධිකරණයට පෙනීයන වෙනත් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්,
පහත අත්සන් කරන අපි සියලු දෙනා ගරු අගවිනිසුරුතුමාගෙන් ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු ගරු විනිසුරුවරුන්ගෙන් ද ගෞරව පූර්වකව ඉල්ලා සිටිමු.

2019 අගෝස්තු 02 දින දීය.

මෙම පැමිණිල්ලට අත්සන් තබන ලද 62 මෙසේය.
01. ජනමාධ්‍යවේදී එම්.කේ. වික්ටර් අයිවන්
02. හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ටී.එම්. ප්‍රේමවර්ධන
03. පූජ්‍ය දියකඩුවේ සෝමානන්ද ස්ථවිර
04. ඉංජිනේරු තිලක් ද සිල්වා
05. ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක
06. සිනමා අධ්‍යක්ෂ අශෝක හඳගම
07. ජනමාධ්‍යවේදිනී සීතා රංජනී
08. ප්‍රවීණ ඡායාරූප ශිල්පී ලාල් හෑගොඩ
09. මහාචාර්ය හේමන්ත සේනානායක
10. ජ්‍යෙෂ්ඨ නීතීඥ නීල් රාජකරුණා
11. ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ
12. ප්‍රධාන ලේකම් (සීඑම්යූ) සිල්වෙස්ටර් ජයකොඩි
13. හිටපු විගණකාධිපති එස්.සී. මායාදුන්නේ
14. සිනමා අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර
15. සම්මානිත මහාචාර්ය පියදාස අතුකෝරළ
16. සම්මානිත මහාචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ
17. ජ්‍යෙෂ්ඨ නීතීඥ ජයන්ත දොලවත්ත
18. හිටපු විදුහල්පති ජී.ඩී. දහනායක
19. වෛද්‍ය සයිෆුල් ඉස්ලාම්
20. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්.එච්.එම්. ෆලීල්
21. නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල
22. හිටපු විදුහල්පති සිරිල් එfඬ්රමුල්ල
23. බී.ටී. සරත් ඉද්දමල්ගොඩ පියතුමා
24. මහචාර්ය ඇන්ටන් මීමන
25. අලෙවි විධායක නොයෙල් ප්‍රනාන්දු
26. ධීවර සමූපාකාර සමිතියේ සභාපති ඒ. සුනිල් ප්‍රනාන්දු
27. මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා
28. මහාචාර්ය එස්.බී.එස්. අබයකෝන්
29. කායික විශේෂඥ වෛද්‍ය යූ.ටී. විදානගම
30. මහාචාර්ය ලියනගේ අමරකීර්ති
31. මහාචාර්ය මොහොමඞ් ඉස්මයිල් මොහොමඞ් මව්ජූඞ්
32. සම්මානිත මහාචාර්ය වෛද්‍ය එම්.ඒ.එම්. සිද්දීක්
33. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.අයි.එම්. තව්ෆීක්
34. ඉංජිනේරු ගුෆ්රාන් ඉස්මයිල්
35. ආචාර්ය ඒ.ඩී. නිමල් චන්ද්‍රසිරි
36. ගීත රචක ධම්මික බණ්ඩාර
37. ප්‍රගතිශීලී ගොවිජන සම්මේලනයේ සභාපති එම්.කේ. ජයතිස්ස
38. ආචාර්ය රාජන් හූල්
39. සම්මානිත මහාචාර්ය රාජරත්නම් සිවචන්ද්‍රන්
40. භාෂා පරිවර්තක එස්. සිවගුරුනාදන්
41. නාට්‍ය සහ සිනමා අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක
42. ලේඛක මහින්ද හත්තක
43. ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ
44. ජනමාධ්‍යවේදී පී.කේ. කසුන් පුස්සෙවෙල
45. රාවය ප්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න
46. ජනමාධ්‍යවේදිනී ඉඳුනිල් උස්ගොඩ ආරච්චි
47. ජනමාධ්‍යවේදිනී වින්ද්‍යා ගමගේ
48. කාබනික පොහොර නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු ආර්.ඒ. ජයසූරිය
49. ජනමාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධන
50. ජනමාධ්‍යවේදී රසික ගුණවර්ධන
51. රාවය ප්‍රවෘත්ති කර්තෘ ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ
52. ජනමාධ්‍යවේදී එන්.ඒ. නිමල් අබේසිංහ
53. රාවය නියෝජ්‍ය කර්තෘ ටිරන් කුමාර බංගගමආරච්චි
54. ජනමාධ්‍යවේදිනී දිනේෂිකා උදයංගි
55. ජනමාධ්‍යවේදී ටී. නඩරාසා
56. ආරක්ෂක නිලධාරී එන්.ඩී. වල්පොල
57. පොත් ප්‍රකාශක රංජිත් දිසානායක
58. දූෂණ විරෝධී ක්‍රියාකාරික විජය උඳුපිටිය
59. නිදහස සඳහා භාෂා සංගමයේ සභාපති පී.ආර්. උදය කුමාර
60. ව්‍යාපාරික එස්.ඒ. සුමිත් නේත්රංජන
61. රාජ්‍ය කළමනාකරණ සහායක එම්.එච්. රාසා මොහොමඞ්
62. ගීත රචක සහ මාධ්‍යවේදී උදය මානවසිංහ