පන්සලට යන පාර අමතක බෞද්ධ භික්ෂුව

චන්ද්‍රරත්න බණ්ඩාර

“නොමඟ ගිය කුමන්ත්‍රණකාරි දුෂ්ටයන් අතලොස්සක් බෞද්ධයන්ගේ නායකයන් ලෙස පෙනී සිටීමට උත්සාහයක් දරා ඇත. මොවුන්ගේ මේ අනුබලය නොවී නම් කිසිසේත්ම මේ කලබල ඇති වීමේ ඉඩක් නොතිබිණ. නිකම්ම සොක්කන් වන නමුත් මෙවැනි නින්දිත උපක්‍රමවලින් ලොක්කන් වෙන්නට බලාපොරොත්තුවක් වන අතලොස්සක් දෙනා පුද්ගලික වාසිය තකා ඉඩම් හිමි ගැමි ගොවීන් මේ උගුලට හසු කරනු ලැබීය.“

එස්. සී. ඔබේසේකර

මුස්ලිම් විරෝධී කැරලි උසි ගැන්වීමේ චෝදනා මත 1915 දී සිරගත කල සේනානායක සහෝදරයින් ඇතුළු සිංහල නායකයින් ගැන.
(උපුටා ගැනීම කුමාරි ජයවර්ධන විසින් රචිත ‘ලොක්කන් වූ සොක්කන්’ කෘතියෙනි.)

ඔබේසේකරගේ මේ වචන සියවසක් පුරා අධිරාජ්‍ය ගැත්තෙකුගේ ප්‍රකාශ ලෙස ජාති හිතෛෂීන්ගේ වෛරයට පාත්‍ර වූ බව නිසැකය. එහෙත් මේ ප්‍රකාශ වනාහි සිය වසක් පුරා සත්‍ය වූද නිර්මාණශීලී ලෙස ජාතික රාජ්‍යයක් බිහිකර ගැනීමේ සමාජ දේශපාලන මතයක් ඇතිකර ගන්නා තෙක් තවදුරටත් බල පවත්නා සත්‍යයකි.

ලෝක යුද්ධ දෙක අතරතුර කාලයේ ජර්මනිය හා යුරෝපයේ දී යුදෙව්වෝද, ලංකාව වැනි රටවල මුස්ලිම්වරුන් ද මහජාතියට වදයක් වන්නේ එකම ආකාරයටය. එනම් අභියෝග දරා ගනිමින් වෙළෙඳාම පදනම කරගෙන මේ දෙජාතියම දියුණු වීම නිසාය. එමෙන්ම මේ දෙපිරිසම අනෙක් උන්ට ඊර්ෂ්‍යා හිතෙන ආකාරයට තම අනන්‍යතාවය කවර අවදානම් සහගත තත්ත්වයකදී වුවද රැක ගැනීමට සමත් වීම නිසාය.

ඉක්ම ගිය සියවස පුරා ම ඊනියා සිංහල ජාතික වීරයන් බිහිවීමට අපේ රටේ සිංහල ජාතිවාදීන්, මුස්ලිම් ජන කොට්ඨාසය සමග අවදානම් සහගත ව සිදු කරන ගෝනි සෙල්ලම බලපා තිබේ. අද රතන හිමියෝ භාවිත කරන යළි යළිත් අසාර්ථක වෙමින් පවත්නා තම උපක්‍රමවල කේන්ද්‍රීය අරුත අතීත අඥාන ගිහියන්ගේ ක්‍රියාකලාපයට කිසිසේත් දෙවැනි නැත. වෙනස ඇත්තේ දේශපාලන කළමනාකාරිත්වයේ ය. එදා ඉංග්‍රීසි පාලකයෝ ජාතිවාදයේ ගැඹුරු ප්‍රතිවිපාක මැනවින් වටහාගෙන එය සිත් පිත් නැති ලෙස මර්දනය කළේය. අද රට පාලනය කරන එදා වේල ටුවර්ස් පාලකයෝ මේ භයංකර ප්‍රශ්නය සමග සෙල්ලම් කරති.

එදා ජාතිවාදී සිංහල නායකයෝ ඒ කූට අරගල මතින් දිනාගත් දෙයක් තිබිණි. ඒ සිංහල මුස්ලිම් විරසකය නිර්මාණය කරමින් ජාතික වීරයන් බවට පත් වූ ඔවුන් කාලයාගේ ඇවෑමෙන් ඒ වීරත්වය පදනම් කරගනිමින් රටේ නායකත්වයට පත්විය. එමෙන්ම ඒ නායකයෝ සිය මුස්ලිම් විරසකය අත් හැර දමා ඔවුන්ද එක්කාසු කරගත් පක්ෂයක් නිර්මාණයය කර ගැනීමට ද සමත් විය. මෙහිදී වැදගත් වන්නේ මුස්ලිම්වරුන් වෙනුවෙන් අද දවසේ පක්ෂ ගණනාවක් තිබියදී පවා බහුතර මුස්ලිම් ප්‍රජාව ඒ පක්ෂය වටා ගොනු වී තිබීමය.
ලංකාවේ අද පවත්නා ජාතිවාදය එක මානයකින් කුල හීන මානයේ ප්‍රකාශනයක් ලෙස ද හඳුනාගත හැකිය. හෙන්රි ප්‍රේද්‍රිස්ගේ සිට රතන හිමි දක්වාම, චරිත නිරීක්ෂණයෙන් එය හඳුනාගත හැකිය. සියම් නිකායික මල්වතු විහාරයෙන් උපසම්පදාව ලබා ගැනීමට පූර්ණ සුදුසුකම් නොතිබූ ධර්මපාලතුමාට වුවද එය අදාළය.
ලංකාවේ අසාර්ථකම පාලන යුගයක් වන වර්තමානයේ මීළඟ ජනාධිපතිවරණය තමන්ට වාසි සහගතව ගොනු කර ගැනීම සඳහා පාලකයෝ මුස්ලිම් ගැටලුව ඔහේ ඔඩු දිවීමට ඉඩ දී බලා සිටිති. පුපුරා ගිය පෙට්ට්‍රල් නලයකින් ඉන්ධන සොරාගෙන තම ගමන යාමට සූදානම් වන සොර මුලක් සේ දේශපාලනයේ යෙදෙන සියල්ලෝම මේ අවදානම් සහගත ආකෘතිය මැඩපැවැත්වීමට කිසිත් නො කරති. තමන්ගේ රහස් පොලිසිය, තමන්ගේ අධිකරණය, තමන්ගේ සෞඛ්‍ය සේවය, ජාතිවාදීන් විසින් බලවත් නිග්‍රහයට පත් කරද්දී ආණ්ඩුව නිකම් බලා සිටිති.

සාෆි වෛද්‍යවරයා ඔහුගේ වෘත්තියට අදාළව කිසිදු වරදක් නොකර ඇති බව ඕනෑවටත් වඩා ඔප්පු වී තිබේ. එහෙත් ඔහුට වරදවල් කඳු ගැහෙන්නේ වෘත්තියට අමතරව දේශපාලනයද කළ නිසාය. වැදගත්ම කරුණ වන්නේ ඔහු දේශපාලනය කොට ඇත්තේ සිංහල ජාතිවාදීන්ට වීරත්වයට පත් වීමට උපයෝගී කරගන්නා සතුරු අනෙකා වන බදුර්දීන්ගේ පක්ෂයෙනි. ඇත්තටම සාෆි කළ වරද එයයි. ගලබොඩඅත්තේ භික්ෂුවගේ සිට රතන භික්ෂුව හරහා වීරවංශ දක්වා වන ‘ජාතිවාදය’ සිය දේශපාලන පැවැත්මේ සුජාත ඉසව්ව කරගත් හැමෝම තනාගත් වර්තමාන ‘සිංහලයාගේ අදිසි සතුරා’ බදුර්දීන්ය. තමන්ට තමන්ව දිනවාගැනීමේ හා සිය හීනමානය ජයගැනීමේ ඉසව්වේ දී ඔවුන් සියලූ දේශපාලන තර්කනයන් ඉවත දමයි. තර්කනයක් අවශ්‍ය නැති එවැනිම හීනමානී පිරිස් ඔවුන් වටා සිටිති. කලක් තිස්සේ මේ නිහීන ජාතිවාදීන් නායකයත්වය දුන් උද්ඝෝෂණවල යෙදෙන්නන්ගේ ශරීර භාෂාව හැදෑරුවහොත් ඔවුන් පෙළෙන නූගත්කම හා හීනමානය ඇතැම් මානසික ව්‍යාධි වටහාගත හැකිය. රතන හිමි, ගම්මන්පිල වැනි අතලොස්සක් හැර අනෙක් සියල්ලෝම පාහේ වැඩි උගත්කමක් හෝ භාෂාන්තර දැනුමක් නැත්තෝය. එහෙත් ඒ සියල්ලම තමන් නිරත ගෝනි සෙල්ලමේ පසුකාලීන ආදීනව නොදන්නවා විය නොහැකිය. දැන දැන ඒ කරන ඒ මහා වැරැද්ද හමුවේ ඔවුන් අපරාධ කාරයන්ද වන්නේය.

මේ ජාතිවාදී ප්‍රවණතා මඟහරවා රට ගොඩනැගීමට රෙදි ඇඳගෙන ජාතිවාදී නූල් සූත්තර අඳින මහින්ද, රනිල්, මෛත්‍රී නායකයන්ට නොහැකිවා නොවේ.
1956 මහපාරට පැමිණි භික්ෂුව තමන්ට හිමි, සම්ප්‍රදායිකව පැවරුණු නියමිත කාර්යය උදෙසා යළි පිළිවෙලකට ආපසු පන්සලට වැඩියේ නැත. විහාරයට නම් කොහෙත්ම වැඩියේ නැත. මහපාරේ සිටින එම භික්ෂුව හැමදාම ඊනියා බලවේගයක් වූයේ දේශපාලකයන්ගේ ඕනෑ එපාකම් අනුවය. මේ කියූ භික්ෂු සමූහය, ජේ. ආර්. ප්‍රේමදාස සමයේ හයියෙන් ‘මුණු මුණු’ ගෑවේවත් නැත. එසේ නොවූ අතළොස්සක් දෙනාට ඒ පාලකයන් විසින් නිසි දඬුවම් ලබා දුන්නේය. මහින්ද රාජපක්ෂ සමයේ ඔහුගේ සකල විධ නොපනත්කම් මේ භික්ෂු සමූහය විසින් එක පයින් අනුමත කළෝය. එක්කෝ ඔහුගේ අණ පරිදි උද්ඝෝෂණ වලට එක්විය. ඔහුගේ පාලන සමයේ එළි බට බොදු බල සේනා, සිංහල රාවය, රාවණා බලය වැනි භික්ෂු සංවිධාන තවමත් මහ පාරේම වැඩසිටී.

බෝම්බ ප්‍රහාරයේ සැබෑ වින්දිතයන් වූ කතෝලික ප්‍රජාවගේ නායකයන් ආදර්ශමත්ව සිය වේදනාව සමනය කරගත්තේ ය. සමනය කර ගන්නා හැටි සිය අනුගාමික ප්‍රජාව වෙත කියා දුන්නේය. එහෙත් අනාරාධිතව පැමිණි රතන හිමියන් වැනි භික්ෂූ සමූහය තවමත් කුරුණෑගල මහපාරේ උද්ඝෝෂණවල නිරතව සිටී. මේ භික්ෂු සමූහයා මහපාරේ සිටිනතාක් රටේ ජාතික සමගිය, අත්‍යවශ්‍ය ජාතික සංවර්ධනය, ඇණහිටින බවත්, බෞද්ධ උරුමය හා සිංහලයාගේ ගරුත්වය විනාශ වන බවත්, රෙදි ඇඳගෙන ජාතිවාදය ඉදිරියේ මුනිවත රකින නායකයෝ නොදන්නවා නොවේ. එහෙත් බලය සිය වර්තමාන හා අනාගත සමෘද්ධියේ තෝන් ලණුව බව දන්නා ඔවුන් මේ විනාශය සමනය කිරීමට කිසිත් නොකොට එය ඇවිස්සීමට නූල් සූත්තර යොදති.

බදුර්දීන්ට මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙකු වීමට අවශ්‍ය සියළු සුදුසුකම් ජාතිවාදී නායකයන් හා මේ නූල් සූත්තර අදින්නන් විසින් සපයා දී තිබේ. අන් සියලු ජාතීන්ට වඩා බලවත් ආගමික අනුරාගයකින් පෙළෙන මුස්ලිම්වරුන් තමන් සතු ශුද්ධ වස්තු කෙළෙසීම ඔවුන් භාර ගන්නේ බැරෑරුම් ලෙසය. සිංහල ජාතිවාදීන්, ප්‍රායෝගිකවත් තම වාගාලාප මගිනුත් කෙරෙන සංස්කෘතික හිංසනයන් හේතුවෙන් පීඩනයට පත්වන මුස්ලිම්වරුන් තමන්ගේ උන් අතරින් වඩාත් බැට කන නායකයා (බදුර්දීන්) වෙත ඇදී යාම අරුමයක් නොවේ.
එහෙත් රටේ වාසනාව වන්නේ බදුර්දීන්ට සැබෑවටම ප්‍රභාකරන් කෙනෙකු වීමට උවමනාවක් නැති කමයි. ඔහුට එතරම් කැපකිරීමක් කිරීමට නොහැකිය. ඔහු ව්‍යාපාරිකයෙකි. ප්‍රභාකරන්ට මෙන් නොව ඔහුට නැතිවීමට බොහෝ දේ තිබේ.

මුස්ලිම්වරුන් කෙරෙහි සිංහලයන් වෙත ඇති ආතතිය වළක්වා ගැනීම උදෙසා ලංකාවේ ආණ්ඩුවලට හා ප්‍රධාන දේශපාලන පක්ෂ වලට බොහෝ දේ කළ හැකිය. මුස්ලිම් සමාජය නවීකරණය කළ යුතු අතර විශේෂ නීති පද්ධති ඔවුන් සඳහා මෙන්ම කවර ආගමිකයන් සඳහාවත් නොවිය යුතුය. එමෙන්ම ප්‍රචණ්ඩත්වයට හා ප්‍රචණ්ඩත්වයට තුඩුදෙන කවර ආගමික උමතුවක් වුව පොදු නීති පද්ධතියට යටත් කළ යුතුය. මෙතෙක් එසේ සිදු වූවා නම් සිංහල මහසෝන් බලකාද, මුස්ලිම් සහරාන්ලාද, සිටින්නේ සිරගෙවල් තුළය. මුස්ලිම් ප්‍රචණ්ඩත්වය සහරාන්ගේ බෝම්බ ප්‍රහාර ප්‍රතිඵලයෙන් නිමා වී ඇති අතර, බහුතර මුස්ලිම් ප්‍රජාව ඒ ක්‍රියාව පිළිබඳව පසුතැවෙමින් සිටී. එහෙත් එයට ප්‍රතික්‍රියාව ලෙස අන්තවාදී සිංහල බෞද්ධයන් ආතතීන් තවතවත් නිර්මාණය කරමින් සිටිති. මේ භයංකර තත්ත්වය හමුවේ ප්‍රමුඛ දේශපාලන ප්‍රජාවගේ කල් බැලීම මහා විනාශයකට පාර පෙන්වයි.