කසිප්පු බී මළාට කමක් නැද්ද?

නිමල් අබේසිංහ/රසික ගුණවර්ධන

ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම, පල්ලේවෙල හා කොටදෙනියාව පොලිස් බලප්‍රදේශයන්හි අගෝස්තු පළවෙනිදා සිට ආරම්භ වූ හදිසි මරණ රැල්ලක් ලෙස මතුවන්නේ මුළු ප්‍රදේශයම භීතියට ලක් කරමිනි. ඇතැම් මරණවලට නිශ්චිතවම හේතුව තවමත් දන්වා නැතත් ඇල්කොහොල් විසවීම නිසා මේ මරණවැල සිදුවී ඇති බව සමහර රෝග නිශ්චය පත්හි සඳහන්ව තිබිණි. මියගියවුන් සියලුදෙනාටම මීරිගම ගස්පේ බාඳුරාගොඩ කිතලවල කංකානම්ලාගේ කාංචන අජිත් නමැත්තාගේ කසිප්පු තිප්පොලවලින් කසිප්පු බිව් අය බවට සාක්ෂි මතුවීමත් සමග කසිප්පු විසවීම නිසා සිදුවූ මරණ බවට මේවා ප්‍රසිද්ධ විය.

පල්ලෙවෙල, මීරිගම හා කොටදෙනියාව පොලිසිවල මේ වනවිට තිබෙන වාර්තා අනුව මියගොස් සිටින සංඛ්‍යාව 14ක් වුවත් ලිපිය පුවත්පතෙහි පළවන විට ඒ ගණන තවත් ඉහළ යා හැකිය. එලෙසම කාංචනගේ කසිප්පු පානය කළවුන් විශාල ප්‍රමාණයක් මීරිගම, වතුපිටිවල, රාගම, කොළඹ යන රෝහල්වල මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා සේ ම ප්‍රතිකාර ලබා පිටවූ අයද සිටිති. එනිසා මේ ව්‍යසනයේ තරම ගණන් මිනුම්වලින් දැක්වීම තරමක් උගහටය.

වෛද්‍ය සාක්ෂි

මීරිගම, බාඳුරාගොඩ, වත්තෙමුල්ල ප්‍රදේශයේ දෙදෙනකු කසිප්පු පානය නිසා මියගොස් ඇති අතර තවත් තිදෙනෙක් පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලබති. තවත් අයෙකු කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා අප යනවිට නිවෙසට පැමිණ සිටියේය.

ඔහු ගොවිතැන් බතින් දිවි ගෙවන අයෙකු වන නිමල් ප්‍රේමසිරිය.
“අගෝස්තු 01 වැනිදා උදේ නමයට විතර කාංචන මුදලාලිගේ ගෙදර ගිහින් කසිප්පු රුපියල් සීයක බීල ගෙදර ආවෙ. රෑ වෙනකොට කවදාවත් නැතිව දරුණු බඬේ දැවිල්ලක් ආව, ඔක්කාරෙට ආවා. ඊට පස්සේ නිදා ගත්තා. උදේ නැගිටින කොට පණ නෑ. ඇස්වලට දැලක් දැම්ම වාගේ කරකැවිල්ල. ඊට පස්සේ මම වතුපිටිවල රෝහලට ගියා. එතැනින් කොළඹට මාරු කළා. පස්වෙනිදා තමයි ගෙදර ආවේ. ඒ එනකොට ගමේ දෙන්නෙක් මැරිලා. තව කීපදෙනෙක් රෝහල් ගතවෙලා.”

නිමල් ප්‍රේමසිරිට කොළඹ ජාතික රෝහලින් නිකුත් කර ඇති කාඞ්පතෙහි පැහැදිලිවම රෝග නීර්ණය ඇල්කොහොල් විෂවීම යනුවෙන් ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා සඳහන් කර තිබේ. කසිප්පු බීම නිසා රෝගීවූ බවට ස්ථිරවම, සනාථ කළ හැකි දැනට තිබෙන එකම ලියවිල්ල ද මෙය විය හැකි වන්නේය. එයට හේතුව විශේෂයෙන්ම අනෙක් මරණ සම්බන්ධයෙන් දී ඇති මරණ පරීක්ෂණ වාර්තා ස්වාභාවික හේතු, හෘදයාබාධ වැනි හේතු දක්වා තිබීමත් අනෙක්වා පිළිබඳ විවෘත තීන්දු දී නොතිබීමත්ය. බාඳුරාගොඩ, වත්තෙමුල්ලේ පදිංචිව සිටි කේ.ඒ.ඒ. මංජුල කුමාර වයස අවුරුදු හතළිස් හතරක් වූ වඩු කාර්මිකයෙකි.

ඔහුගේ බිරිඳ වන ආර්.ඒ. අයේෂා පවසන පරිදි අගෝස්තු දෙවැනි දා උදේ මංජුල නිවෙසින් පිටවී ඇත්තේ වැඩකට යන බව පවසමිනි. ඔහු වැඩට යනවිට පෙරදින රාත්‍රියේ කාංචනගෙන් කසිප්පු බිව් ගම්වැසියෙකු වන ජයන්ත රූපසිංහ අතුරුදන්ව ඇති බැව් සැළවීම නිසා අනෙක් ගම්වැසියන්ද සමග ජයන්ත රූපසිංහ සෙවීමේ කාර්යයට එකතු වී තිබේ. මංජුල මෙයට සම්බන්ධ වන්නේ ද කාංචනගේ තිප්පොළින් කසිප්පු වඩියකින්ද සප්පායම්වීමෙන් අනතුරුවය. මුළු දවස පුරාම ජයන්ත සෙවීමේ යෙදෙන මංජුල වරින් වර කාංචනගේ තිප්පොළට ගොස් සප්පායම් වීමට ද අමතක කර නැත. ජයන්ත සෙවීම සඳහා කාංචනද සම්බන්ධ වූ බව කියවෙන අතර එනිසාම මංජුලට කාංචනගෙන් නොමිලේම කසිප්පු ලැබුණාද විය හැකිය.

එදින සවස පහ හය වෙද්දී ජයන්ත අසල්වැසි වත්තක මැරී වැටී සිටියදී සොයාගෙන තිබේ. අනතුරුව මංජුල නිවෙසට ගොස් තිබේ.
“මංජුල රාත්‍රී හතට විතර ගෙදර ආවා. එයා බීල හිටියේ. මේ වෙනකොට කසිප්පු බීපු කීපදෙනෙක් මැරිල කියන ආරංචිය තිබුණ නිසා අපි මෙයාව මීරිගම රෝහලට අරන් ගියා. දොස්තරල අහල තියෙනව, ඇස් දනවද. බඬේ දැවිල්ල තියෙනවද කියල. මෙයාට රෝහලට ඇතුළු වෙන්න කියල තිබුණත් අමාරුවක් නැති නිසා ගෙදර ආවා. ඒ ඇවිල්ල කාලා නිදා ගත්තා. පස්සේ උදේ ලේ පරීක්ෂා කරන්න ලේ දෙන්න ගියා. රිපෝට් එක දෙන්නේ රෑ හතට නිසා ගෙදර ආවා. ඇවිල්ල ටී.වී. බල බලා හිටියා. එහෙම ඉන්න කොට ඇස් බොඳවෙලා වගෙ යනව කීවා. ඊට පස්සෙ මීරිගම රෝහලට ගියා. රෑ වෙනකොට ආරංචි වුණා එයා මිය ගිහින් කියලා. ඒ වෙනකොටත් රෝහලේ කසිප්පු බීල ලෙඩවුණ අය විස්සකට වැඩිය වාගෙ නැවතිලා හිටිය.”

මියගිය සියලුදෙනා පාහේ පෙන්වා තිබෙන රෝග ලක්ෂණ එක හා සමාන වන අතර ඇස් නොපෙනී යාම, බඩදැවිල්ල, වමනයට ඒම, කැරකැවිල්ල එකී රෝග ලක්ෂණය.
මියගිය පුද්ගලයන් සියලුදෙනාම එදිනෙදා කුලියක් මලියක් කරමින් දිවි ගැට ගස් ගත් දුප්පතුන් වීමද මෙහිදී කැපී පෙනේ. කම්පා දනවන අනෙක් කරුණ නම් මේ මියගිය අය සියලුදෙනාම පාහේ පවුලේ එකම ආදායම් උපයන්නන්වීමය. උදාහරණ ලෙස ගතහොත් මංජුල කුමාරගේ පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකි. ඉන් වැඩිමලාගේ වයස අවුරුදු හතකි. පස්සෙ ප්‍රදේශයේ මියගිය අයෙකු වන මහින්ද අබේරත්නගේ පවුලේ මව සහ ආබාධිත සහෝදරයෙකි. එකම ආදායම් උපදවන්නා අබේරත්නය.

මේ පවුල්වල සැබෑ ව්‍යසනය ඇරඹෙන්නේ ඉන්පසුවය. ඔවුන්ගේ අනාගතය කෙබඳු විය හැකිද යන්න සිතන්නටවත් හැකිද? මේ අපරාධයට වගකිවයුත්තේ කවුරුන්ද? එසේ වගකීම භාර ගැනීමෙන් හෝ භාරදීමෙන් පමණක් සෑහීමකට පත්වීමට හැකියාවක් තිබේද? මේවා අසරණ වූ පවුල් සමූහයක් අබිමුව හරස්වන ප්‍රශ්න සමුදායකට පමණක් සීමාවේද?
විහින් දහජරාව බීම නිසා මෙසේ මියගියාට අපි මක් කරන්නද? ජනපතිට හෝ සෙසු නායක කාරකාදීන්ට එසේ කියා ප්‍රශ්නයෙන් මගහැර යන්නට පුළුවන්ද යන ප්‍රශ්නයද මෙහිදී පැන නැගේ. මේ දිළින්දන් අනවසර ලාබ මත්පැන් බොන්නේ ප්‍රමිතිගත මත්පැනට වියදම් කරන්නට තමන්ට වත්කම් නැති බැවිනි. චතුරිකා සිරිසේනගේ හෝටලයෙන් මෙන්ම ඩඞ්ලි සිරිසේනගේ අරලිය හෝටල් සමූහයෙන් බලපත්‍ර සහිත බාර්වලට ගොස් විස්කි බ්‍රැන්ඩි බීමට හැකියාවක් නැති බැවිනි. කොයි කවුරුත් ඉස්තරම් බීම බොන්නට කැමති නැති නිසා නම් නොවේ.

අවුරුදු 40ක ජාවාරමක්

ගස්පේ කාංචනගේ කසිප්පු ජාවාරමේ මේ වනවිට ආයු කාලය වසර 40ක් පමණ බව ප්‍රදේශයේ පමණක් නොව ගම්පහ දිස්ත්‍රික්කය පුරා ප්‍රසිද්ධ කාරණයකි. මේ දිනවල මීරිගම, පල්ලේවෙල කොටදෙනියාව ආශ්‍රිතව කඩපිල්වලත්, බස් රථවලත්, බස්නැවතුම් පොළවලත් කතාවල ප්‍රධාන මාතෘකාව මේ ගැනය. මේ ජාවාරම නිසා කාංචන ප්‍රකෝටිපතියෙක්ව සිටී. වයස අවුරුදු 17දී පමණ ආරම්භ කළ මේ ව්‍යාපාරයෙන් ඉඩම්, නිවාස, බස්රථ, පෙජරෝ රථ, වෑන්, කාර් ආදී දේපොළ රැසක උරුමකරුවකු වන්නට කාංචන සමත්ව තිබේ.
මේ වසර හතළිහක කාලයෙන් කාංචන ව්‍යාපාරය නවතා තිබී ඇත්තේ වසරක් හමාරක් පමණකි. ඒ මීරිගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස එරික් පෙරේරා නමැත්තෙකු සේවය කළ කාලයේදී පමණි. ඒ සුළු කාලය හැර ඔහු මහා පරිමාණයෙන් කසිප්පු නිෂ්පාදනය බෙදාහැරීම සහ විකිණීමද සිදුකර තිබෙන වග රහසක් නොවේ. මේ වන විට ගස්පේ ප්‍රදේශය එනම් කාංචන පදිංචි ප්‍රදේශය අයත් වන්නේ පල්ලෙවල පොලිස් ස්ථානයටය. පල්ලෙවෙල පොලිස් ස්ථානය ආරම්භ කර මේ වන විට ගෙවී ඇත්තේ වසර එකහමාරක් දෙකක් පමණය. ඒ කාලය තුළ කාංචනට එරෙහිව පවරා තිබෙන නඩු ගණන තුනකි. ඒවා මහා පරිමාණ වැටලීමක් කර පැවරූ නඩුද නොවේ. පල්ලෙවෙල පොලිසියේ තොරතුරු අනුව ගස්පේ අවටින් කසිප්පු සම්බන්ධ සෑහෙන නඩු ප්‍රමාණයක් තිබේ. ඒ කසිප්පු බොන්නට පැමිණි අහිංසකයන් අල්ලාගෙන දැමූ නඩු මිසක මහ ජාවාරමට එරෙහිව පැවරූ නඩු නොවන බව පැහැදිලිය. පොලිසියේ ඉහළම නිලධාරීන් රැවටීමටත්, මහජනයා රැවටීමටත් සිදුකර ඇති හුරතල් වැටලීම්ය.

පල්ලෙවෙල පොලිසිය පිහිටුවීමට පෙර මීරිගම පොලිස් ස්ථානය යටතේ පාලනය වෙද්දී කාංචනට එරෙහිව පවරා ඇති නඩු ගණන හතරකි. ඒ. 2011 වසරේ සිට 2013 වසර දක්වා කාලය තුළදීය. මේ මහා පරිමාණ ජාවාරම්කරුවාගේ තිප්පොළ වටලා අත්අඩංගුවට ගෙන ඇති උපරිම කසිප්පු ස්ප්‍රීතු ප්‍රමාණය බෝතල් දෙකකි. ගෝඩා ප්‍රමාණය මිලි ලීටර් 360000කි. මෙම වැටලීම්වලින්ම කෙරුවාවේ තරම පෙනේ.

පුදුම කාඩි වට්ටෝරුව

බාඳුරාගොඩ වත්තෙමුල්ල මංජුල කුමාරගේ නිවෙසට රැස්වී සිටියවුන් අතරේ අපූරු කතා රැසක් හුවමාරු වූහ. ඉන් එකක් වන්නේ මීරිගම, පල්ලෙවෙල හා කොටදෙනියාව පොලිසි කාංචනගේ හොර සුරා පෙරුම් පොළවල් හෝ විකුණන තිප්පොළ වැටලීම් නොකරන බවය. ඔහුගෙන් කසිප්පු බී යන අයෙකු මග රැකගෙන සිට අල්ලාගෙන ගොස් නඩු දමන බවය. “ඔය පොලිසි තුනටම කීවට වැඩක් නෑ. කසිප්පු බීල මිනිස්සු මැරිල ඉන්න කොටත් කාංචනලගේ නිවසේ පල්ලෙවෙල පොලිසියෙ මහත්තුරුන්ට පාටියක් දුන්නා.” ඒ එක කතාවකි.

කසිප්පු පෙරන්නන් කාඩි දැමීමේදී වැඩි ස්ප්‍රීතු ප්‍රමාණයක් ලබාගැනීමට සහ ඒවායේ සැර ගතිය වැඩිවීමට යූරියා පොහොර, මදුරු දඟර, කටුකම්බි වැනි ද්‍රව්‍ය එකතු කරන බවට ප්‍රසිද්ධ කතාවක් ඇතද එය ඇසින් දුටුවෙකු ගැන අප අසා නැත. වත්තෙමුල්ල ගමේ මංජුලගේ නිවසේදී අපට එවැන්නකු මුණ ගැසිණ. ඔහු කලක් කාංචනගේ කසිප්පු පෙරන්නෙකු වශයෙන් සේවය කළ සුරේෂ් මලින්දය.

“කාංචන ළඟ මාස අටක්, නමයක් විතර මම කසිප්පු පෙරුව. එක වඩියකට මට රුපියල් 1500ක් දෙනවා. එක කාඩියක් දමන්න එයා මට සීනි කිලෝ 30ක් ඩීසියල් (ඊස්ට්) පැකට් දෙකක් සහ යූරියා ග්‍රෑම් 500ක් දෙනවා. එක කාඩියක් දාලා පැය 54කින් පෙරන්න ගන්නවා.” යූරියා දාන්නෙ ඉක්මනට පැහෙන්නයි බඩු සැරවෙන්නයි. සීනියි ඩීසියලුයි විතරක් දැම්මොත් පැහෙන්න දවස් 14ක් යනවා.” අපගේ පැනයට පිළිතුරු දෙමින් සුරේෂ් කීවේ එලෙසිනි.

දවසක් පොලිසියෙන් ඇවිත් වඩි දෙකක් අල්ල ගත්තා. ඇල්ලුවට ඔක්කොම අරන් ගියේ නෑ. නඩු දැම්මේ මගෙ නමට. මුදලින් ඇප තිබ්බේ කාංචන මුදලාලිගෙ ගෝලයො දෙන්නෙක් එවලා. පස්සේ ඒ අය ඇප තියපු සල්ලිත් අරගෙන මගේ ඇපත් අයින් කරගත්තා. මට රුපියල් එක් ලක්ෂ විසි දාහක් දඩ ගැහැව්වා. දුවගේ කරාබුයි, පවුලගෙ කරාබුයි උගස් කරල මේ වෙනකොට වාරික වශයෙන් ලක්ෂයක් ගෙව්වා. තව විසිදාහක් ගෙවන්න තියනවා. දඩ සල්ලි ඉල්ලපුවහම කාංචන බැනල එලව ගත්තා.
කාංචනගේ තිප්පොළෙහි කසිප්පු විකුණන්නේ කාංචනගේ බිරිඳය. කාංචන ඒ සඳහා සහභාගි වන්නේ නැත. එහෙත් කිසිදු දිනක කාංචනගේ බිරිඳට එරෙහිව පල්ලෙවෙල, මීරිගම හෝ කොටදෙනියාව පොලිසිවලින් කිසිදු නඩුවක් පවරා නැතිවීමද පුදුමසහගතය. අනෙක් විශේෂ කරුණ වන්නේ මත්පැන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ප්‍රධාන රජයේ ආයතනය වන සුරාබදු දෙපාර්තමේන්තුව ගම්පහ දිස්ත්‍රික්කය පුරා ප්‍රසිද්ධ මේ හොර ජාවාරම්කරුවා පිළිබඳව හාංකවිසියක්වත් නොදැන සිටීමය.

මීරිගම රෝහල

කාංචනගේ කසිප්පු බී රෝගී වූවන් වැඩි ප්‍රමාණයක් රෝහල්ගතව ඇත්තේ මීරිගම මූලික රෝහලටය. එමෙන්ම කීපදෙනකු මියගොස් ඇත්තේද මීරිගම රෝහලේදීය. එනිසා 2019.08.06 දින පස්වරු 4.00ට පමණ අප මීරිගම රෝහලට ගියේ කසිප්පු බී රෝගාතුරව රෝහල් ගතවූවන් සහ මියගියවුන්ගේ සංඛ්‍යාව දැනගැනීමට සහ මේ පිළිබඳ රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගේ අදහස් ලබාගැනීමේ අරමුණින් යුතුවය. එහෙත් අප යනවිට වෛද්‍ය අධිකාරීවරයා හෝ ඔහුගේ දෙවැනියා රෝහලේ නොවීය. ඔවුන් දෙදෙනාගේ දුරකතන අංක ලබාගැනීමට උත්සාහ කළත් එය පිටස්තරයන්ට ලබාදීම රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රතික්ෂේප කළේ ඒවා ලබාදීම ඔවුන් දෙදෙනා විසින් තහනම් කර ඇති බව පවසමිනි. රජයේ බදු මුදල්වලින් දුරකතන ගාස්තු ගෙවන නිල දුරකතන ඔවුන්ට ලබාදී ඇති බවත්, ඒවා පිටස්තරයන්ට ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ට අයිතියක් නැති බවත් අපගේ හැඟීමය.

2019.08.07 දින පෙරවරු 11.00ට මීරිගම රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා ඇමතීමට උත්සාහ ගත්තද ඒ වනවිටත් ඔහු රෝහලට පැමිණ නැති බව දුරකතන ක්‍රියාකරු පවසන ලද්දේය. මේ නිසා මීරිගම රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට යොමු කළ යුතු ප්‍රශ්න පත්‍රය අපි මෙහි සඳහන් කරමු.

මීරිගම රෝහලට ඇතුළත් කර මියගොස් තිබූ කළුකපුගේ දයාරත්න නමැති අයගේ මරණයට හේතුව හෘදයා බාධයක් බව සඳහන් කර ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසුවද? එම රෝගියා රෝහලට රැගෙන එනවිටත් මියගොස් සිටියේද? එලෙසම ගෝවින්ද මාරියප්පන් නමැත්තා මියගොස් ඇත්තේ ස්වාභාවික මරණයකින් බව සඳහන් කර ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසුවද? මේ සඳහා අධිකරණ වෛද්‍යවරයකු සහභාගි වූයේද? යනු ඒ ප්‍රශ්නාවලියය. මෙහිදී මීරිගම රෝහලේ පාලකයන් වගකීම් රහිතව කටයුතු කර ඇතිද යන සැකය මතු කිරීම සාධාරණය. මේ වනවිට දයාරත්නගේ සිරුර ගොඩගෙන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පවුලේ උදවිය මීරිගම පොලිසියේ පැමිණිල්ලක්ද කර ඇත. මීරිගම රෝහලේදී මියගිය බව සඳහන් කේ.කේ. දයාරත්නගේ පවුලේ උදවිය පවසන ආකාරයට ඔහුද කාංචනගේ කසිප්පු පානය කර සිටි අයෙකි. ඔහුටද වැලඳී ඇති රෝග ලක්ෂණ තද හිසේ රුදාව, දෙනෙත් නොපෙනීම, වමනය සහ බඩෙහි දැවිල්ලය. එලෙසම දයාරත්න මියයෑමට පෙර ඔහුගේ දියණියට පවසා ඇත්තේ කිසිදා නොමැති අමාරුවක් ඇඟට දැනෙන බවය. එසේම ඔහු රෝහල්ගත කිරීමට ගෙන යද්දී විකාරයෙන් දොඩවා ඇති බවද කියැවේ. විශේෂතම කාරණය වන්නේ වයස අවුරුදු 63ක් වූ දයාරත්න කසිප්පු බී රෝගීවීමට පෙරාතුව පෙනඩෝල් පෙත්තක්වත් බොන්නට තරමේ රෝගී ස්වභාවයක් නොතිබුණු අයකු බව පැවසීමය.

දයාරත්න සම්බන්ධ තොරතුරු විමසද්දී ඔහුද කාංචනගේ උගුලේ පැටලුණු අයකු බව පැහැදිලිය. ඒ කාංචන වෙනුවෙන් පොලිසියට ඉදිරිපත් වන අතවැස්සෙකු බව අනාවරණය වීමය. මේ බව දනවන ඉඟියක් දයාරත්නගේ බිරිඳ ද අපට දැන්වූයේය. එය සනාථ කරන තොරතුරක් මීරිගම පොලිස් පොතේ සටහන්වලින් හෙළිවේ. එහි සඳහන් ආකාරයට 2016 වසරේ දෙවතාවක්ද, 2017 වසරේ දෙවතාවක් ද වශයෙන් සිව් වතාවක් අවමය කසිප්පු මිලිලීටර් 750 සිට 1500 දක්වා ප්‍රමාණයක් ළඟ තබා ගත්තේ යැයි දයාරත්නට එරෙහිව නඩු පවරා තිබීමය. 2017 වසර දක්වා කාංචන පදිංචි ප්‍රදේශය මීරිගම පොලිස් බලප්‍රදේශයට අයත් වී තිබුණි. මේ වකවානුව තුළ කාංචනට එරෙහිව මීරිගම පොලිසිය විසින් කසිප්පු නඩු පවරා නොතිබීමද දයාරත්න ඉදිරිපත්ව ඇත්තේ කාංචන වෙනුවෙන් බවට සාධාරණ සැකයක් ඇතිවේ. එලෙසම කාංචනගෙන් කසිප්පු බී මියගිය පළමු දෙදෙනා වන්නේ දයාරත්න සහ ගෝවින්ද මාරියප්පන් දෙදෙනා මුත් ඔවුන් කසිප්පු බීම නිසා රෝගාතුරව සිට මියගිය බවට වාර්තා නොවීමද ගැටලුවකි. එයට හේතුව වන්නේ ඔවුන්ගේ මරණය පිළිබඳ අධිකරණ වෛද්‍යවරයකු පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපැවැත්වීමය. අදාළ මරණ පරීක්ෂණය පැවැත්වූ මරණ පරීක්ෂකවරයාටද, ග්‍රාම නිලධාරීන්ටද මෙහිදී කිසියම් වගකීම් කොටසක් පැවරෙන බව නොකියා බැරිය.

ප්‍රාදේශීය කසිප්පු විකුණුම්කරුවන්

කාංචනගේ කසිප්පු අලෙවි කිරීම සඳහා තොග වශයෙන් රැගෙන ගිය අයකුගෙන් කසිප්පු බී මියගිය දෙදෙනකුද සිටී. ඒ බාඳුරාගොඩ මැදිකැලේවත්ත ගමේය. එගම කසිප්පු අලෙවිකරුගෙන් කසිප්පු බිව් අයි ඒ සුනිල් අබේවික්‍රම මියගොස් සිට ඇත්තේ සිය නිවෙස තුළය. අවිවාහකයකු වන ඔහුගේ මරණය පවා දැනගෙන ඇත්තේ තරමක් ප්‍රමාදවීය. සුනිල්ලාට කසිප්පු අලෙවි කරන මොහොත වනවිටත් කාංචනගෙන් කසිප්පු බිව් අය කීපදෙනකු මියගොස් සිටි බවත්, කාංචනම ඒ ගැන මෙම අලෙවිකරුට දන්වා තිබුණත් ඔහු එය නොසලකා කසිප්පු අලෙවි කිරීම නිසා එම අකල් මරණ දෙක සිදුවී තිබේ.

ආර්.ඒ. ජයන්ත නවරත්න මියගොස් සිට ඇත්තේ පාළුවට ගිය වත්තකය. ඔහු ද මියගොස් ඇත්තේ කසිප්පු බිව් නිසා බව ප්‍රකටය. ඔහුගේ මළ සිරුර සොයාගත් උදවිය පවසන්නේ මැරෙන්නට පෙර ඔහු දැඩි ලෙස දඟලා ඇති බවය. පොළොව බදාගෙන දත්මිටි කාගෙන ඔහු මියගොස් සිටි බවත්, ඇඳ සිටි ඇඳුම් පවා ඇඟෙන් ඉවත් වී තිබූ බවත් ඔවුහු තවදුරටත් පැවසූහ. අනෙක් පුදුමය වන්නේ මියගිය ජයන්ත පිළිබඳව පුවත්පත් වාර්තාව සැපයූ ප්‍රාදේශීය මාධ්‍යවේදියා ජයන්ත මියගොස් තිබුණේ ළිඳකට වැටීමෙන් පසුව බව වාර්තා කිරීමය. ගම්මු පවසන්නේ එයද කසිප්පු කාංචනට වුවමනා ලෙසට පළ කළ වාර්තාවක් ලෙසටය. පොලිසිය පවා අනියමින් කත් ඇද්දේ කාංචනට බව මේ අය පවසන්නේ එක් අතකින් පොලිසිය කෙරෙහි තිබෙන අමනාපයක්ද සහිතවයි.

රට පුරා වරින් වර කසිප්පු විසවීමෙන් සිදුවූ මියයෑම් හා රෝහල් ගතවීම් වාර්තා වී තිබුණද මෙතරම් මරණ හා රෝහල් ගතවීම් සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙයය. මේ සමග ඒවාට ගොදුරුවූවන්ගේ පවුල්වල උදවියට මතුවෙන සමාජ, ආර්ථික ප්‍රශ්න රැසක් තිබිය හැකිය. කිසියම් අයුරකින් ඒවාටද මුළුමනින්ම විසඳුම් ලබාදිය නොහැකි විය හැකිමුත් තරමක් හෝ විසඳුම් ලබාදීමට හැකියාව තිබේ. එහෙත් මෙහිදී මතුවෙන සමස්ත ගැටලුවට විසඳුමක් නම් නොලැබේ. එය නම් අතමිට යහමින් මුදල් නැති උදවියට සැමදා කසිප්පු මතම යැපීමට සිදුවීමය. ඒ රුපියල් දහසක දෛනික කුලියක් ලබන්නෙකුට අරක්කු කාලක් බීම පවා අරුමයක් වන බැවිනි. ජනාධිපතිතුමා පවසන පරිදි මේ එදිනෙදා කුලී කරන උදවිය දහජරාව බොන්නේ කැමැත්තෙන් නොවේ. අරක්කු බොන්නට මුදල් නැති බැවිනි. එනම් අවම මිලට තිබෙන ගල් අරක්කු බීම පවා සිහිනයක් වන බැවිනි. ආණ්ඩුවක් නම් කළ යුත්තේ පෙරවා ගත් බොරු සිල් රෙදි විසිකර දුප්පතුන්ටත් පරිභෝජනය කළ හැකි මිලකට අවම වශයෙන් ගල් අරක්කු බෝතලයකවත් මිල පහත දැමීමය. එනම් සුරාබදු ගාස්තු පහළ හෙළීමය.

එසේ නොවන තාක් හොර කසිප්පු තිප්පොළවල් මෙන්ම ඒවාට යන්නෝද හැම ප්‍රදේශයකින්ම සොයාගත හැකිවනු ඇත. එපමණක් නොව, මෙවැනි මරණ ගැනද නැවත අසන්නට, දකින්නට සිදුවනවා නියතය. රටේ නායකයාට මෙවන් මරණ ගැන පිළිකුළෙන් හෙළා දැකිය හැකි වුවත් මේ නිසා අසරණ වූ පවුල්වලට ඒ තරම් හෑල්ලුවට තම ස්වාමියා හෝ පියා ගැන සිතිය හැකිද? සිරිසේන ජනාධිපති කළ හැට දෙලක්ෂය අතරේ මේ මිනිසුන්ද සිටිය හැකිය. දැන් වැරදි වී ඇත්තේ විකුණූ මිනිසාට වඩා කසිප්පු බිව් මිනිස්සුය.