‘කාත්තන්කුඩි හදවතට’ ළංවී බලමු.

සටහන හා ඡායා ඉදුනිල් උස්ගොඩ ආරච්චි

‘පුංචි අරාබියක්’, එහි වරක් හෝ පා තැබූ හෝ නොතැබූ දකුණේ ජනයාගෙන් බොහෝදෙනා නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයට අයත් කාත්තන්කුඩි ගැන පවසන්නේ එලෙසිනි. කාත්තන්කුඩි නගරය පසු කරමින් ගිය වාර ගණනාවක් තිබුණත් තවමත් අපි ඊට ආගන්තුකයෝ වීමු. ඒ එහි සංස්කෘතික පසුබිම හෝ ජනජීවිතය පිළිබඳ සමීප ඇසුරකට තරම් අප එහි කාලය ගත කර නොතිබුණු බැවිනි. නැගෙනහිර දෙසට විනෝද චාරිකාවක හෝ යෙදෙන දකුණේ සිංහල ජනයා කාත්තන්කුඩි පෙදෙස හරහා ගියද එහි රැඳෙන්නේ නැති තරම්ය. එබැවින් දකුණේ ජනයාට නැගෙනහිර කාත්තන්කුඩිය උතුරේ යාපනයට වඩා දුරය. විවිධ සැකසංකා, මතයන් පැතිරීමත් පාස්කු ඉරුදින ප්‍රහාරයන්ට මුල්වූ සහරාන් නම් ත්‍රස්තවාදියාගේ උපන්ගම එය වීමත් ආදී හේතු මත කාත්තන්කුඩිය තවත් දකුණෙන් දුරස්ථ කිරීමට පසුබිම සැකසෙන්නේය. දුරින් තබා ඇති කාත්තන්කුඩිය සමීපව බැලීමට අපි එහි පිවිසියෙමු.

වැඩිම ජනගහනය

වර්ග කිලෝමීටර 6.5ක බිම් ප්‍රදේශයක් සහිත කාත්තන්කුඩි ප්‍රදේශයෙන් 2018 වසරේ වාර්තා වූ ජනගහනය 48093කි. එක් වර්ග කිලෝමීටරයක 7000කට ආසන්න ජනයා ජීවත්වන බැවින් මෙරට ජනඝනත්වය වැඩිම ප්‍රදේශය වන්නේද කාත්තන්කුඩිය. එබැවින් ඉඩකඩ පිළිබඳ ද සෞඛ්‍ය හා අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් ද ඔවුන් මුහුණ දෙන ගැටලු අපමණය. නැගෙනහිරින් ඉන්දියන් සාගරයත්, බටහිරින් කළපුවත්, උතුරින් මන්චන්තොඩුවායි හා දකුණින් අරයම්පති යන දමිළ ගම්මානවලින් සීමා ඇදෙන කාත්තන්කුඩිහි ජීවත්වන්නේ මුස්ලිම් ජනයාය. ප්‍රධාන ජීවනෝපාය මග වෙළෙඳාමය. කාත්තන්කුඩි නගරයේ වෙනත් ජාතීන්ට අයත් කිසිවෙකුට වෙළෙඳාම් කිරීමට ඉඩ නොලැබෙන බව ද කාලයක සිට අප අසන්නකි. වරක් හෝටලයක ආහාරවලට වඳ පෙති එක් කළා යැයි පවසමින් ගැටුමක් ඇරඹන්නේ ද කාත්තන්කුඩියෙනි. පසුව එය අසත්‍යයක් බවට අනාවරණය වුවත් ඒ වන විට බොහෝ දේ සිදුව හමාරය. ත්‍රස්තයෙකු බවට පත්වූ සහරාන්ලාගේ උපන්ගම ද කාත්තන්කුඩිය. එහෙත් ඔහු කාත්තන්කුඩි අරාබි විදුහලෙන් පලවා හැරි බවත් ප්‍රදේශවාසීන් ඔහුට විරුද්ධව පැමිණිලි කරමින් සහ විරෝධතා පැවැත්වූ බවත් ඔහුව එම සමාජයෙන් ප්‍රතික්ෂේප කිරීමත් පිළිබඳ පුවත්වලට, කටකතාවලට තරම් තටු ලැබුණේ නැත. මුස්ලිම් ජනයාගේ ආගමික පොතපත පවා ත්‍රස්ත භාණ්ඩ සේ දක්වමින් ගිනි ඇවිලවීමේ කාර්යයේ නියැලුණු ජනමාධ්‍යයට ද ඒවා හසුවූයේ නැත.

ප්‍රහාරයට පසු

පාස්කු ඉරුදින මඩකළපුව සියෝන් දේවස්ථානය වෙතද ප්‍රහාර එල්ලවූ පසු දින ගණනාවක් පුරා සියලු කඩසාප්පු වසා කළු කොඩියෙන් සරසා ශෝකී නිහැඬියාවක ගිලී තිබූ කාත්තන්කුඩි නගරය මේ වන විට යළි පිබිදීය. ඉදි ගස් හා බෝගන්විලා ගස් පේළියෙන් සැරසුණු මග දෙපස වෙළෙඳ සැල්වල නැවත දොරපියන් හැරිලාය. කාත්තන්කුඩියේ අප හිතවතුන් වූ ෆර්හාන් සහ ෂර්මිලා ආගන්තුක අපට මග කීවෝය. සිකුරාදා දිනයන් කාත්තන්කුඩි නගර වැසියන්ට සුවිශේෂීය. කාත්තන්කුඩි වෙරළ තීරය එදිනට සැණකෙළි සිරිය. වෙරළ තීරය පුරා නොයෙක් ආහාර, රස කැවිලි, සෙල්ලම් බඩු මෙන්ම සළුපිළි විකුණන වෙළෙන්දන්ය. වෙරළේ තැන තැන රවුමට හිඳ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් රසකැවිලි බුදින ප්‍රදේශවාසීන්ය. වෙරළ ජනාකීර්ණය. ඇතැමෙක් ඈත සිතිජය දෙස නෙත් යොමා වෙරළ මත සැතපීගෙනය. ඒ නෙත් අප දෙස හෙලන්නේ විමසුම් බැලුම්ය.
“හැම සිකුරාදාම කාත්තන්කුඩිවල ජීවත්වෙන අය වෙරළට එනවා. පවුල්වල සාමාජිකයන්, හිතවතුන් එකතුවෙලා වෙරළේ රවුමට හිඳගෙන විවේක ගන්නවා. ළමයි වෙරළේ විනෝද වෙනවා. කාත්තන්කුඩි පුංචි බිම් කොටසේ වුණත් ගොඩක් අය ජීවත් වෙනවා. සිකුරාදාට වෙරළට ඇවිත් නිදහසේ කාලය ගත කරනවා. ඒත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ටික කාලයක් යනකම් කවුරුවත් වෙරළට ආවේ නැහැ. ආරක්ෂක අංශවලින් සෑම තැනම සෝදිසි කිරීම් කළා. මිනිස්සු බයේ ජීවත් වුණා. සහරාන්ට ඉස්සර ඉඳලාම දිගටම මෙහේ මිනිස්සුන්ගේ විරෝධය තිබුණා. මිනිස්සු මේ ප්‍රහාරය නිසා දුකට වගේම ලැජ්ජාවටත් පත් වුණා.” අප මිතුරා වූ ෆර්හාන් පවසන්නේ එලෙසිනි. කාත්තන්කුඩියේ අප මිතුරිය ෂර්මිලා පැවසුවේ ද පසුගිය කාලය තුළ කිසිදු වාර්තාකරණ කටයුත්තක ඔවුන්ට යෙදීමට ද නොහැකි තත්ත්වයක් උදාවී තිබූ බවය. මුස්ලිම් ජාතික තරුණියක් වූ ඇය වෙත මග තොට විමසුම් පරීක්ෂා කිරීම් එල්ලවද්දී ඇය ඉන් හෙම්බත්ව සිටියාය. සහරාන්ගේ සමාජ විරෝධී කටයුතු පිළිබඳ ද ඊට කාත්තන්කුඩියේ මුස්ලිම් ජනයාගෙන් පෙර සිටම එල්ලවූ විරෝධතා හා පැමිණිලි ගැන ද එදා ඔවුහු වාර්තා කළෝය. එහෙත් ඒවා දකුණේ ජනයා වෙත ගලාගියේ අල්ප වශයෙනි.

සහරාන් පල්ලිය අසල සිංහලයෝ

මෙට්‍රො දැව මෝල පිහිටා තිබුණේ සහරාන් සාදා තිබුණු පල්ලියට මදක් ආසන්නයේය. “සහරාන් අවුරුදු දෙකක ඉඳලා මෙහේ දකින්නවත් හිටියේ නෑ. ගමේ අය දන්නේත් නෑ. මෙහේ හිටිය කාලයේ මෙතන එයාගේ අනුගාමිකයන් කීපදෙනෙක් එක්ක එයා හදාගත්ත පල්ලියේ ආගමික කටයුතු කරනවා පාරේ යන එනකොට අපි දැකලා තියනවා. ඒ කිසිම කෙනෙක් දැන් එළියේ නැහැ. මේ සිදුවීමෙන් පස්සේ හැමෝම කාත්තන්කුඩියේ මිනිස්සු දිහා බැලුවේ ඔක්කෝම මරාගෙන මැරෙන අය වගේ. ඒත් සහරාන්ලාගේ සමාජ විරෝධී වැඩ ගැන මෙහේ මිනිස්සු විරුද්ධ වුණේ මීට ගොඩක් කලියෙන්. එයාට විරුද්ධව මිනිස්සු පෙළපාළි ගියා. එයා ගමේ පේන්න ඇවිත් හිටියා නම් මිනිස්සු එකතුවෙලා එයාව පොලීසියට අල්ලලා දෙන තත්ත්වයක් මෙහේ තිබුණේ. පොලීසියට පැමිණිලි කරලා තිබුණා. වරෙන්තු නිකුත් කරලා අවුරුදු දෙකක් යනතුරුත් ඔහුව අත්අඩංගුවට ගත්තේ නැහැ.” එම ව්‍යාපාරයේ හිමිකරු වූ කේ.එම්. නජීබ් පැවසුවේය.

ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීම් වලට පටහැනිව කටයුතු කිරීම නිසා කාත්තන්කුඩි අරාබි විද්‍යාලයෙන් ඔහු ඉවත් කළ අයුරුත් ඔහු මවුලවි කෙනෙකු නොවන බවත් ඔහු විස්තර කළේය. පසුව මිතුරන් කණ්ඩායමක් සමග සහරාන් වෙනම පල්ලියක් ගොඩනැගීමත් තමන්ම සාදාගත් දහමකට අනුව කටයුතු කළ අයුරුත් ඔහු පැහැදිලි කළේය. “මුලින්ම ඒ පල්ලිය හදලා තිබුණේ පොල්අතු වලින්. දේශනා පැවැත්වීමේ දක්ෂතාව එයාට තියනවා. ඒ නිසා එයාට එකතු වුණු කණ්ඩායමක් හිටියා. ගමේ මිනිස්සුන්ගෙන් ආධාර එකතු කරන්න ආවත් ගමේ අය දුන්නේ නැහැ. ලොකු පල්ලිය තිබියදී වෙනත් ධර්මයක් දේශනා කරන ඔවුන්ට කවුරුවත් සහාය දුන්නේ නැහැ. සහරාන්ගේ පවුල ඉස්සර දුප්පත්. ස්ථිර ආදායම් මාර්ග තිබුණේ නැහැ. සහරාන්ගේ පියා පිළිබඳවත් පැරණි අය කියන්නේ හොඳ දේ නෙමෙයි. සහරාන්ගේ පියාගේ පියා ගමේ අය එක්ක හොඳින් ජීවත් වූ බව ගමේ පැරණි අය කියනවා.” දැන් සහරාන්ගේ පල්ලිය ගොඩනැගිල්ලකි. එහි ඉදිකිරීම් අවසන් නොකළ බවට සලකුණු ඇත. මේ වන විට ආරක්ෂක අංශ මුරලා තිබේ. කිසිවෙකුට ඇතුළුවීමට හෝ ඡායාරූ ගැනීමට අවසර ද නැත.

කාත්තන්කුඩියේ නජීබ්ගේ ව්‍යාපාරය රැකෙන්නේ මුස්ලිම් පමණක් නොව සිංහල, දමිළ, බර්ගර් ජාතීන්ට අයත් සේවක කණ්ඩායමක් නිසාය. වසර පහක කාලයක සිට එම ලී මෝලේ මුරකරු වූයේ සිංහලයෙකි. එහෙත් පසුගිය සිදුවීම් වලින් පසු ඔහු සේවයට පැමිණ තිබුණේ නැත. “සහරාන්ගේ පල්ලිය තියෙන්නේ මේ ආසන්නයේ නිසා එයාගේ ගෙදර අය බයවෙලා ආපහු වැඩට යන්න එපා කියනවාලු. ඒත් එයා ආපහු එන්න කැමතියි. අවුරුදු අටක් මෙහේ වඩුවැඩ කළ තවත් සිංහල කෙනෙක් මොරටුවට ගියා. දැන් තව සිංහල එක්කෙනෙක් ඇවිත් ඉන්නවා. මගේ සහෝදරයාගේ වෙළෙඳසැලේත් සිංහල කෙනෙක් වැඩ කරනවා. බර්ගර් දහතුන්දෙනෙක්, දමිළ අය මුස්ලිම් අය මෙතැන එකට වැඩ කරනවා. අපි අතර කිසිම ගැටලුවක් නැහැ.” නජීබ් පවසන්නේය.

පාපැදියකින් අප වෙත පැමිණි සුහදශීලී තරුණයෙකි. ඔහු දෙදරු පියෙකු වන සංජීව බුද්ධික කුමාර (35)ය. නුවර, අකුරණ ප්‍රදේශයේ අයෙකු වූ ඔහු නජීබ්ගේ දැව මෝලෙහි සේවයට මෑතක දී එකතු වූවෙකි. “කලියෙන් වාලච්චේනයේ අක්කරෙයිපත්තුවල වැඩ කළා. මෙහේ වැඩ තියනවා කියලා මෙහේ කලියෙන් වැඩ කළ සිංහල යාලුවෙක්ගෙන් දැනගත්තා. අපි හොඳින් ඉන්නවා නම් අපිට කොහේත් ඉන්න පුළුවන්. මම රස්සාව කරනවා, ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ. මගේ ගම අකුරණ. එහේ පිටින් ඇවිත් කෙනෙකුට කඩ දාන්න බැහැ. ඒ වගේම මෙහෙත් පිටතින් එන අයට ව්‍යාපාර කරන්න බෑ කියන දේ තියනවා. ඒක නම් අපේ ගමේත් එහෙමයි. මම හරක් මස් කන්නේ නැහැ, ඒත් මම කන්නේ මෙහේ කඩවල් වලින්. මම දන්න තවත් සිංහල අය කාත්තන්කුඩිවල වැඩ කරනවා.” සංජීව කියාගෙන ගියේය. දකුණේ ජනයා අතර කාත්තන්කුඩිය පිළිබඳ තිබෙන්නේ භයානක චිත්‍රයක් වුවත් කාත්තන්කුඩිවල ජීවත් වන්නන්ට එවැනි දරුණු තත්ත්වයක් එහි නොමැති බව අවබෝධ කරගත හැකි බව ඔහු පවසන්නේය.

කාත්තන්කුඩියේ සිංහල ධීවරයෝ

එම්.ඒ ලලිත් කුමාර (47) ඇතුළු කණ්ඩායමක් අපට හමුවන්නේ කාත්තන්කුඩියේ වෙරළට මුහුණලා තිබෙන නිවෙසකදීය. ඔවුහු දකුණේ සිංහල ජාතික ධීවරයෝය. ලලිත්ගේ ගම මාතරය. “අවුරුදු පහළොවක ඉඳලා මම මෙහේ එනවා. මාස හයක් මෙහේ, මාස හයක් මාතර. ඒත් සති කීපයකට සැරයක් ගමේ ගිහින් එනවා. අපි කට්ටිය ඇවිත් අවුරුදු ගාණක ඉඳලා මේ රස්සාව කරනවා. දැන් ගමට වඩා මෙහේ අය අපි හඳුනනවා.” ඔවුහු වසර ගණනාවක සිට විසිතුරු මසුන් ඇල්ලීම සඳහා එහි යන්නෝය. ඔවුන්ට දැන් කාත්තන්කුඩි තම ගම මෙන් හැඟෙන බව ඔවුහු පැවසුවෝය. “මෙතෙක් අපිට කාගෙන්වත් කිසිම ගැටලුවක් මතුවෙලා නෑ. පාස්කු බෝම්බවලින් පස්සේ ගෙවල්වල අය නම් අපි මෙහේ එනවාට බයවුණා. මාස දෙකක් විතර ගෙදර ඉඳලා තමයි ඉතින් ආපහු වැඩට ආවේ. කාත්තන්කුඩි කඩවල් වලින් තමයි අපි බඩු ගන්නේ, කන්නේ බොන්නේ. එහේ කියන කතා මෙහේ නෑ. අපිට එහෙම ප්‍රශ්න ඇතිවෙලාත් නෑ. බයක් දැනිලාත් නැහැ.” ලලිත් පැවසුවේ සිනාමුසු මුවෙනි. “අනූ හතරේ ඉඳලා මම කාත්තන්කුඩියට මේ රස්සාවට එනවා. අපේ ගමට වඩා මේ ගම ගැන දන්නවා. මෑත කාලයේ තමයි මෙහේ ටික ටික වෙනස් වෙන්න ගත්තේ. ඉඳිගස් හිටවලා ඒ වගේ දේවල් නිසා කාත්තන්කුඩිය ගැන මිනිස්සු වෙනස් විධියට බලන්න පටන් ගත්තා.” ඒ මාතර පොල්හේනේ සිට පැමිණි ජීවනාත්ය.

ඔවුන්ගේ කණ්ඩායමේ විසිදෙනෙක් පමණ සිටිති. ඔවුහු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සිංහලයෝය. “අවට ඉන්නේ ඔක්කෝම මුස්ලිම් අය. දැන් සෑහෙන කාලයක ඉඳලා දන්න අඳුනන නිසා ඒ අය අපි එක්ක බොහොම හිතවත්. අපි මාළු අල්ලන්න යන්න ඒ අයගේ බෝට්ටුත් කුලියට ගන්නවා. කොළඹ සමාගමකින් ඇවිත් අපි අල්ලන මාළු අරන් යනවා.” ඒ වසර විස්සක පමණ සිට එහි ධීවර කටයුතු වලට කන්තලේ සිට පැමිණෙන එච්.ජී ජයසිංහය. “අපි අවුරුදු නිවාඩුවෙන් පස්සේ වැඩට ආවේ 20 වැනිදා. 21 වැනිදා බෝම්බ කලබලේ වුණා. මොන තත්ත්වයක් රටේ උදාවේ ද දන්නේ නැති නිසා 22 වැනිදා අපි ආපහු ගෙවල් වලට පිටත් වුණා.”

කන්තලේ සිට පැමිණ සිටි කේ.ඩී කරුණාසේන (60) පැවසුවේ 21 වනදා ප්‍රහාරයෙන් පසුවද ඔහු කාත්තන්කුඩි වලම රැඳී සිටි බවය. “අපිට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. ආමි එකෙනුත් ඇවිත් හිටියා, ඒත් අපිට කාගෙන්වත් වචනයකින්වත් ප්‍රශ්නයක් වුණේ නෑ. මෙහේ මිනිස්සු අපිත් එක්ක හොඳයි. අපි අවුරුදු ගාණක් එනවා, යනවා. ඒ නිසා අපේ ගම වගේ තමයි. සිගරට් එකත් හුවමාරු කරගෙන බොනවා. 21 සිදුවීම වුණාට පස්සේ තමයි අපි දැනගත්තේත් සහරාන් කියන කෙනාගේ ගම මෙහේ කියලත්. මේ අවට මුස්ලිම් අය අපි එක්ක ඒ දවස්වල කීවා ව්‍යාපාර පාඩුයි, හරිම අමාරුවෙන් ජීවත්වෙන්නේ කියලා. අපි කුලියට අරන් ඉන්න මේ ගෙදරත් මුස්ලිම් කෙනෙකුගේයි. අපි යන්නේ මේ අවට තියන මුස්ලිම් කඩවල් වලට. මගතොට හමුවෙන අයත් කතාබහ කරනවා, අපි එක්ක හිතවත්. ඒ අයගේ උත්සව වලදි අපිට කෑම බීමත් ගෙනල්ලා දෙනවා. යුද්ධය කාලයේත් අපි මෙහේ ආවා ගියා.”

කාත්තන්කුඩි ප්‍රදේශයේ විවිධ වෙළෙඳ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධවූ දකුණේ සිංහලයන් ද සිටින බව පුංචි අරාබියක් ලෙස කාත්තන්කුඩිය හඳුන්වන දකුණේ බොහෝ ජනයා නොදන්නවා ඇත. සැබැවින්ම එහි නිතර රැඳෙන සිංහලයන්ට එය ආගන්තුක නැත. කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටින්නේ මුස්ලිම් ජනයා පමණක් වුවද විවිධ ජාතීහු ඊට විවිධ ආකාරයෙන් සම්බන්ධවී සිටින්නෝය.

පොදු පොළක්

කාත්තන්කුඩි ප්‍රධාන පාරේ දොස්තර අහමද් ෆරීඞ් මාවතේ දී සෑම සෙනසුරාදාවකම දැන් අපූරු වෙළෙඳ පොළක් නිර්මාණය වන්නේය. පදික වෙළෙඳුන්ගේ දීර්ඝ කලක අවශ්‍යතාවක් හා ඉල්ලීමක් ලෙස සලකමින් කාත්තන්කුඩි නගර සභාව විසින් නගර පොළණී නමින් ජූලි විසිවන දා සිට එය ආරම්භ කර තිබුණි. එහි විශේෂත්වය වූයේ දිවයිනේ ඕනෑම පළාතක ව්‍යාපාරිකයන්ට තොග සහ සිල්ලරට වෙළෙඳාම් කිරීමට හැකිවීම හා සහන මිලට භාණ්ඩ මිලදී ගතහැකි වීමය. වැලිකන්දේ සිට එහි පැමිණි සිටි තිළිණ මධුසංකත් ඔහුගේ සගයාත් අපට මුණගැසුණේ එහිදීය. “මේ පොළ පටන් ගත්ත දවසේ ඉඳලා මම මෙහේ වෙළෙඳාම් කරනවා. මම අන්නාසි ව්‍යාපාරය පටන් ගත්තේත් ළඟදී. කිලෝ අටසීය දාහ ගෙනත් මඩකළපුවේ ඉඳලා දිගටම කඩවල් වලට අන්නාසි දානවා. ඉතිරිවෙන ටික කාත්තන්කුඩි පොළට ගෙනත් විකුණනවා. ලංකාවේ කොහේහරි ගිහින් මගේ ව්‍යාපාරය කරගන්නයි මට ඕනෑ.” ඔහු පවසන්නේය. පසුගිය කාලයේ කාත්තන්කුඩිවලට පිටතින් පැමිණෙන කිසිවෙකුට ව්‍යාපාර කිරීමට ඉඩ නොලැබෙන බව පැවසුණත් ඊට ද යම් විසඳුමක් බවට මෙම පොළ පත්ව ඇති බව පෙනුණි. “මෙහේ මුස්ලිම් අය වැඩිපුර හිටියත් අපිට බිස්නස් තියනවා. ඒ හැමෝම අපෙන් පලතුරු ගන්නවා. අලුතෙන් පොළක් දානවා, සිංහල අයටත් වෙළෙඳාම් කරන්න පුළුවන් කියලා දැනගන්න ලැබුණා. කාත්තන්කුඩි නගර සභාවෙන් සිංහල දෙමළ භාෂා දෙකෙන්ම ඒ ගැන දැන්වීමක් දාලා තිබුණා.” තිළිණ පවසන්නේය.

සිංහල පමණක් නොව කාත්තන්කුඩි අවට ගම්මානවල දමිළ වෙළෙන්දන්ට ද පොළෙහි ඉඩකඩ සපයා තිබුණි. එහි අප දුටු තවත් විශේෂත්වයක් වූයේ වෙළෙඳාමේ නියුතු දමිළ පමණක් නොව මුස්ලිම් කාන්තාවන් ද සිටීමය. මුස්ලිම් සමාජයේ කාන්තා නිදහස පිළිබඳ ගැටලු ගණනාවක් තිබුණ ද දමිළ පමණක් නොව මුස්ලිම් කාන්තාවන් ද වෙළෙඳාමේ යෙදීම ධනාත්මක ලෙස දැකිය හැකි වන්නේය. වෙළෙඳාමේ යෙදුණු අලියාර් මොහොමඞ් නම් තරුණයෙකු අප හා දොඩමලු වූයේය. ඔහුගේ උපන්ගම නුවරය. “බැන්දාට පස්සේ ඔඞ්ඩමාවඩිවල පදිංචියට ආවා. මම ඉගෙන ගත්තේ නුවර ධර්මරාජයේ සිංහල මාධ්‍යයෙන්. මට වැඩිපුර ඉන්නේ සිංහල යාලුවෝ. මගේ ගේ පිටිපස්සේ තිබුණේ පන්සල. පුංචි කාලේ, තම්බියා වරෙන් දානේ ඇවිල්ලා කියලා නායක හාමුදුරුවෝ කතා කරනවා. පාන්දරම පිඟානත් අරගෙන පන්සලට ගිහින් මම කාලා එනවා. අපි හැදුණේ එහෙමයි. මම ධම්ම පදයත් දන්නවා. සිංහල ගම්මාන තියනවා මුස්ලිම් අයට එන්න එපා කියනවා. මුස්ලිම් ගම්මාන වල අයටත් එහෙම කියන්න බැහැ. මගේ අම්මා තාත්තා මුස්ලිම් නිසා මම මුස්ලිම් වුණා. ඒ අය සිංහල වුණා නම් මම සිංහල කෙනෙක් වේවි. මම ශ්‍රී ලාංකිකයෙක්.” අලියාර් අපට බුදු දහමේ ඉගැන්වීම් හා ඉස්ලාම් ආගමේ ඉගැන්වීම්වල යහපත් දේ පිළිබඳ උපුටා දක්වමින් ද කියාගෙන ගියේය.

කාත්තන්කුඩි නගරයේ හෝටලයකට ගිමන් නිවන්නට ගොඩවන උදයක, දවාලක හෝ රැයක වුව ඒවා ඉතා කාර්ය බහුලය, ජනාකීර්ණය. එහෙත් එහි කාර්යමණ්ඩලය ඉතා කඩිසරය, සුහදශීලීය. කාත්තන්කුඩි පෙදෙසට ආවේණික වූ විවිධ රස බොජුන් මෙන්ම කරදමුංගු රස කළ ඉමිහිරි තේ පානය එහි යන්නෙකුගේ සිත තුළ ප්‍රණීත මතකයන් තබන්නේය, යළි පිවිසෙන්නට ඇරයුම් කරන්නේය. යාපනයේ යන්නෙකු එහි සංස්කෘතිය ඉමිහිරි මතකයකට අල්ලා ගන්නා සේම කාත්තන්කුඩියට සමීප වන්නෙකු ඊටම ආවේණික විචිත්‍ර සංස්කෘතික වටපිටාවේ ඇලෙන්නේය. අන්තවාදයේ හෝ ත්‍රස්තවාදයේ සෙවනැළි වලට එවන් වටිනාකම් සඟවා ගැනීමට ඉඩ නොදියයුතු බව එහි සමීප වන්නකුට හැඟෙනු නොඅනුමානය. කාත්තන්කුඩියට ළංව බලන්නට පැමිණෙන ලෙස එහි වැසියෝ දකුණේ ජනයාට ඇරයුම් කරති.