පොහොට්ටු අපේක්ෂකයා නම් කිරීම කල් යයි ?

ප්‍රාප්ති පැටිකිරි කෝරාළ

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම, කල් දැමීම කෙරෙහි ද මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් රාවයට වාර්තා වේ.

බ්‍රහස්පතින්දා (08) රාවයට දැනගන්නට ලැබුණේ දිනෙන් දින වෙනස් වන දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගෙන අපේක්ෂකයා නම් කිරීම කල් දමන්නැයි ඔහුගේ සමීපතම ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් කිහිපදෙනකුද ඔහුගෙන් ඉල්ලා ඇති බවය.

පසුගිය සඳුදා (05) පැවැත්වුණු මහින්ද – මෛත්‍රී හමුව සහ එහිදී එකඟත්වයට පැමිණි කරුණුද ශ්‍රීලනිපය පක්ෂයක් ලෙස මෙම සමුළුවට සහභාගි නොවීමට ගෙන ඇති තීරණයද මෙම නව තත්ත්වයට බලපා තිබේ. මහින්ද-මෛත්‍රී සාකච්ඡාව පැවැත්වුණේද මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත වන අතර එහිදී මූලික අවධානය යොමුව ඇතැයි පැවසෙන්නේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ දේශපාලන අනාගතය සහ දෙපක්ෂය එක්ව ගොඩනැගීමට යන සන්ධානයේ සාකච්ඡා පිළිබඳවය. එම දෙපක්ෂය අතර දැනට පැවති සාකච්ඡාවලදී ජනාධිපති අපේක්ෂකයකු පිළිබඳ කතාබහ නොවුණු අතර, අගෝස්තු 11 වැනිදා නම් කිරීමට යන අපේක්ෂකයා පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ද 8 වැනිදා වනවිටත් නිශ්චිතව දැන සිටියේ නැත.

මේ අතර රාවයට වාර්තා වූයේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි සහ සිය ධුර කාලය අවසන්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම කෙරෙහි, ජනාධිපතිවරයා යොමුකර තිබූ අවධානය ඉවත් කරගෙන නොමැති බවය. එමෙන්ම සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වෙන ශ්‍රීලනිප සමුළුවේදී විශේෂ දේශපාලන තීරණයක් පිළිබඳ දැනුම් දීමට නියමිත බවද දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් 11 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පක්ෂ සමුළුවේදී අපේක්ෂකයා නම් කළ යුතු යැයි පොදුජන පෙරමුණේ ඉහළ නායකයන් දැඩි ස්ථාවරයක සිටින බවද වාර්තා වන අතර මේ නිසා මහින්ද රාජපක්ෂ මහතා සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අවසන් තීරණය ගැනීමට නියමිතව තිබිණි. විදේශ සංචාරයක නිරතව සිටි ජනාධිපතිවරයාද සෙනසුරාදා (10) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබිණි. ■