මානවීය සිනමාව  Paris, je t’aime (Paris, I love you)

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

එක් තනි ආඛ්‍යානයකින් ඔබ්බට ගිය අපූරු සිනමා උපශානරයක් (Subgenre)  ලෝක සිනමාව තුළ ගොඩනැගෙමින් පැවතුණා. ඒ Anthology සිනමාව. Omnibus film, Package film හෝ Portmanteau film යනුවෙන්ද හඳුන්වන්නේ මේ Anthology සිනමාව. ඒ අනුව සිදුවුණේ එක් තනි කතා වස්තුවක් :(Plot) සහිත දීර්ඝ සිනමා කෘතියක් වෙනුවට එකිනෙකට වෙනස් කතා වස්තූන් දෙකක් හෝ වැඩි ගණනක් සහිත කෙටි සිනමා පට එකතුවකින් යුතු එක් කෘතියක් ගොඩනැගීම. එම කෙටි සිනමා පට බොහෝ විට තනි සිනමාකරුවකුට හෝ එකිනෙකට වෙනස් අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙක්ට අයිති වෙන්න පුළුවන්.

ඇන්තොලොජි සිනමාපටයක අඩංගු උප කථාංගයන් විවිධාකාර නමුත් ඒ සියල්ල සාමාන්‍යයෙන් කිසියම් ධර්මතාවකින් බැඳලා තියෙනවා. පොදුවේ ගත්තාම ඇන්තොලොජි සිනමාව තුළ එවන් ධර්මතා කිහිපයක් දකින්න පුළුවන්. ඒ,

01. තේමාවේ ඒකත්වය(single theme)
02. ස්ථානීය ඒකත්වය (premise)
03. එකිනෙක අතර ඇති සියුම් අන්තර් සම්බන්ධතාවක් (brief interlocking event)
යන කාරණා.

සිනමාවේ ආරම්භක අවධිය වන, නිහඬ යුගයේ මුල් අවධියේදී පවා ඇන්තොලොජි සිනමාවට සමානව යන අපූර්ව සිනමා කෘතීන් බිහිවුණා. ඩී.ඩබ්ලිව්. ග්‍රිෆිත්ගේ ඉන්ටෝලරන්ස් (Intolerance) එවැන්නක්. 1916 බිහිවූ මේ සිනමා කෘතිය තුළ එකිනෙකට වෙනස් කථා වස්තූන් හතරක් අඩංගු වුණා. බැබිලෝනියාවේ බිඳවැටීම, ක්‍රිස්තූස්වහන්සේට ඇණ ගැසීම, බතෝලමියුස් දින සංහාරය, මරණීය දණ්ඩනයට කැපවූ කම්කරුවකුගේ ඉරණම යන මිනිස් ඉතිහාසයේ විවිධ කාල පරාසයන්ට අයත් එම කතා හතර එකම තේමාවක් හරහා ඒකාබද්ධ වෙලා තිබුණා. ඒ මිනිසාගේ කෲරත්වය සහ නොඉවසිලිවන්තකම ප්‍රේමයට එරෙහිව නැගී සිටීමේ සදාතනික ධර්මතාව. එසේම සදාතනික මාතෘත්වය නිරූපණය කරන තොටිල්ල පදවන අතක රූපරාමුවකින් මේ සියලු අනුකොටස් ග්‍රිෆිත් විසින් බැඳලා තිබ්බා. (ඉන්ටොලරන්ස් ඇතුළු ග්‍රිෆිත්ගේ සමස්ත සිනමාව ඇන්තොලොජි සිනමාවට පමණක් නෙමෙයි, ලෝක සිනමාවේ සියලු නූතන හැඩතලයන්ට අනුප්‍රාස සපයන ආදර්ශකයක්. නමුත් සිනමා ඉතිහාස ලේඛනයන්හි ඇන්තොලොජි සිනමාවේ ආරම්භය සනිටුහන් කරන්නේ ග්‍රිෆිත්ය වඩා පසුකාලීන යුගයක)

ඒ අනුව ඇන්තොලොජි සිනමාවේ පුරෝගාමීන් වෙන්නේ රොබර්ටෝ රොසෙලිනී (Roberto Rossellini) වැනි ඉතාලි සිනමාකරුවන්. විශේෂයෙන් රොසෙලිනී විසින් 1948 දී නිපදවනු ලැබූ L’Amore ඉතා වැදගත් ඇන්තොලොජි සිනමා කෘතියක් ලෙස සැලකෙනවා. මිනිත්තු හැත්තෑවක් පුරා දිවෙන, L’Amore සිනමා පටය තුළ ප්‍රංශ නාට්‍යකරුවකු වූ Jean Cocteau ගේ La Voix humaine කෘතිය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද Una Voce Umana (A Human Voice) නම් කෙටි චිත්‍රපටය අඩංගු වුණා. දෙවැනි කෘතිය ලෙස අඩංගු වුණේ Roberto Rossellini සහ තවත් ඉතා වැදගත් සිනමාකරුවකු වූ මෙන්ම, මෙම කෘතිය තුළ රංගනයෙන්ද දායක වූ Federico Fellini එක්ව තිර රචනා කරන ලද Il miracolo (The Miracle)  නම් කෙටි සිනමා කෘතීන් දෙකක් අඩංගුයි. (මෙම කොටස මුල් කාලීන වශයෙන් තිරගත කිරීම ඇමරිකාවේදී තහනම් වුණා) ඊට අමතරව රොසෙලිනී අතින්ම 1952 දී Les Sept péchés capitaux නමින් තවත් ඇන්තොලොජි සිනමා කෘතියක් බිහිවූ අතර, 1953 වන විට Roberto Rossellini, Gianni Franciolini, Alfredo Guarini, Luchino Visconti iy Luigi Zampa නම් අධ්‍යක්ෂවරුන් එක්ව Siamo donne (We, the Women) නම් සුවිශේෂී සිනමා කෘතිය නිර්මාණය කළා. එහි අතුරු කතා පහක් අඩංගු වුණා.

ඉතාලි සිනමා ව්‍යාපාරය එසේ පවතිද්දී ඊට සමගාමීම මෙන් ඇමරිකානු සිනමාව තුළ ද ඇන්තොලොජි නිර්මාණ බිහිවුණා. 1948 දී Ken Annakin,  Arthur Crabtree , Harold French, Ralph Smart නම් අධ්‍යක්ෂ වරුන් සිවුදෙනා විසින් නිර්මාණය කෙරෙන Quartet පුරෝගාමී ඇමරිකානු ඇන්තොලොජි නිර්මාණයක්. සම්සෙට් මෝගම්ගේ කතා ආශයෙන් නිර්මාණය කළ Quartet තුළ කතාංගයන් හතරක් අඩංගු වුණා. තවද මෙය අනුප්‍රාස කරගෙන පසුකාලීනව, Trio (1950) , Encore (1951) ,  O. Henry’s Full House (1952) වැනි අපූර්ව සිනමාපට බිහිවුණා.

ඇන්තොලොජි සිනමාව වඩාත් බලපෑම් කළේ එංගලන්ත Horror සිනමාවට. ෘැ්ාDead of Night (1945) , Dr. Terror’s House of Horrors (1965), Tales from the Crypt (1972) , The Vault of Horror (1973) වැනි සිනමා පට රාශියක් බිහිවූ අතර එය, ඇමරිකාව, ජපානය, ඉතාලිය, ඉන්දියාව වැනි වෙනත් රටවල Horror සිනමාව කරා තදින් බලපෑවා.

Fantasia (1940 film), Night on Earth (1991) , Chungking Express (1994), Coffee and Cigarettes (2003), Sin City (2005)” Cloud Atlas (2012), Free Fall (2014) , Wild Tales (2014) වැනි ලෝකයේ නොයෙක් දෙසට අයත් වූ ඈත මෑතකාලීන හා, විවිධ සිනමා ශානරයන් නියෝජනය කරන නිර්මාණ දෙස බලද්දී ඇන්තොලොජි සිනමාව නූතනය දක්වා විවිධාකාර වෙනස්කම්වලින් සහ අනන්‍යතාවලින් දියුණුවෙමින් හා තවදුරටත් ජනප්‍රියවෙමින් පවතින සිනමා විධියක් බව පැහැදිලියි. Paris, je t’aime (Paris, I love you) 1996 දී නිර්මාණය වුණ එවන් අපූරු සිනමාපටයක්.

එයට ප්‍රංශය, ඇමරිකාව, එංගලන්තය, බ්‍රසීලය, ඕස්ටේ්‍රලියාව, ස්පාඤ්ඤය, ජපානය, මෙක්සිකෝව, දකුණු අප්‍රිකාව, ජර්මනිය, වැනි ලොව විවිධ රටවල් රාශියකට අයත් සිනමාකරුවන් හා සිනමාකාරියන් විසි දෙදෙනෙක් දායක වනවා. ඒ වගේම අදාළ කතාවන්හි රංගනයෙන් දායක වන නළු නිළියන් ද එසේම ලොව විවිධ ජාතීන්ට අයත් වනවා. පැය දෙකක් පුරා දිවෙන Paris,je t’aime හි අතුරු කතා (කෙටි සිනමාපට) 18ක් තියෙනවා. ඒවා ඇන්තොලොජි සිනමාපටයක් සේ එකිනෙකට සම්බන්ධ වන්නේ මූලික වශයෙක් ඒ සියල්ල පැරිස් නගරය කේන්ද්‍ර කරගෙන ඇති නිසා. ඒ සෑම කතාවක්ම පැරීසිය බෙදා ඇති පරිපාලන ඒකක (Arrondissements) විස්සෙන් එකක් නියෝජනය කරනවා.

Paris, je t’aime හි මුල්ම කතාව දිගහැරෙන්නේ පැරීසියේ දහ අටවන පරිපාලන ඒකකය වන Montmartre හි වීදියක. තරමක් ග්‍රාමීය ස්වරූපයේ නිස්කලංක ගතියක් පෙණුනත් වීදිය පුරාම වාහන නතර කරලා තියෙනවා. යම් කාර්යයකට Montmartre ට පැමිණෙන එක් මිනිසෙක් (මේ සිනමා පටය අධ්‍යක්ෂණය කළ Bruno Podalydès ම මේ චරිතයද රඟපානවා) තම මෝටර් රථය පැදගෙන එනවා. නමුත් ඒක ගාල් කරන්න තැනක් නෑ. පසුව ඉතාමත් අපහසුවෙන් මෝටර් රථය ගාල් කරනවා. ඒ දෙපැත්තේ තිබෙන වාහන දෙකක වදිමින්.

කලබලව සිටින ඔහු තම රියදුරු අසුනේ ම මඳ වේලාවක් රැඳී සිටිමින් තම හිත එකඟ කරගන්න වෑයම් කරනවා. තමන්ගේ කාරය පසු කරන් ඇවිදගෙන යන මිනිස්සු ඔහු දකිනවා. ඇතැම් අය කාරය පසුකර ගියාම පැති කණ්ණාඩියෙන් ඔහු ඔවුන් දෙස බලනවා. එක කාන්තාවක් ඔහුගේ කාරය පසුකර යනවා. නමුත් පැති කණ්ණාඩියෙන් බලද්දි ඇය පේන්නෙ නෑ. ඔහු කාරයෙන් බැස බලනවා. ඇය ක්ලාන්ත වී කාර් රථය අසල බිම වැටිලා ඉන්නවා. ඇය ඔහු ඔසවනවා. පාරේ මිනිස්සුත් වට වෙනවා. ඔවුන් කතා කරන්නේ ඇය ඔහුගේ බිරිඳ ලෙස. ඇගේ රුධිරයේ සීනි අඩු බව එතනට පැමිණි වෛද්‍යවරයෙක් කියනවා. ඔහු ඇය වත්තම් කරගෙන නවතා තිබූ තම කාරයේ පසුපස අසුනෙහි හොවනවා. ඇය යම් තරමක් ප්‍රකෘති තත්ත්වයකට පත්වන තුරු කාර් රථයෙන් බැස සිටින ඔහු පසුව රියදුරු අසුනට නගිනවා. සිහිය ලැබුණු පසු ඇය ඔහු දෑත් අල්ලා ගන්නවා. ස්තූතිවන්ත වෙනවා. එකිනෙකාගේ ආගිය තොරතුරු විමසනවා. කාරයේ රේඩියෝව නිවා දමන ලෙස ඇය ඉල්ලනවා. ඔහු එසේ කරනවා. තමන් ප්‍රථමාධාර ඉගෙනගෙන ඇති බව ඔහු පවසනවා. ඇගේ පාවහන් යුගල අපූරු බවත් කියනවා. එය වයස අවුරුදු දා හතරේ සිට තමන් ළඟ තිබෙන බවත්, ඉතාම වැදගත් ගමන්වලට පමණක් පළඳමින් එය ආරක්ෂා කරන බවත් ඇය කියනවා. මේ අතර, තමන් යමින් හිටි ගමනට ප්‍රමාද වන බව හිටිවනම ඇයට සිහිවෙනවා. තවමත් ඇගේ තත්ත්වය හොඳ නැති හෙයින්, ඒ ගමන තම කාරයේම ගොස් ඇරලන බව ඔහු කියනවා. එසේ නොකරන ලෙසත් මාර්ග තදබදය වැඩි බවත් ඈ කියනවා. ඔහු එය ගැටලුවක් නැති බව කියනවා. තමන්ගේ ගමනට ප්‍රමාද විය හැකි බව ඈ කියනවා. එය ගැටලුවක් නැති බවත්, ඇය එන තුරු තමන් එතන රැඳී සිටින බවත් කියමින් ඔහු ඈ එකඟ කරගන්නවා. අවසන ඇය සමග කාර් රථය පිටත් වෙනවා. කාරය තිරෙන් එළියට ගමන් කරද්දී රූප රාමුව සියුම්ව අනෙක් කථාංගයට මාරු වෙනවා. පසුබිම් සංගීත නාදය තවදුරටත් වාදනය වෙනවා.

Quais de Seine නම් දෙවැනි කතාංගය දිගහැරෙන්නේ පැරීසියේ පස්වන ඒකකය වන Panthéon වල. ගං ඉවුරක වාඩි වී සිටින ගැටවර තරුණ මිත්‍රයින් තිදෙනෙක්, ඒ අයගෙන් දෙදෙනෙක් තමන් අසලින් යන තරුණියන්ට කවටකමින් කරමින් සතුටු වෙනවා. තරුණියන්ද ඒවාට ඍජු සහ ප්‍රකෝපකාරී ප්‍රතිචාර දක්වා ඉවත්ව යනවා. මේ තරුණියන් බොහෝමයක් ලොව විවිධ වර්ගවලට අයත් අය. ඔවුන්ගේ සමච්චලයන්ද ඊට ආවේනිකයි. උදාහරණයක් හැටියට තායි තරුණියක් යනකොට ඔවුන් කියන්නේ තායි මසාජ් ගැන. ඔවුන්ට එපිටින් තවත් සුරූපී මුස්ලිම් තරුණියක් වාඩිව සිටිනවා. ඇය මොවුන්ට නොපෙනෙන්න ඔවුන්ගේ ක්‍රියාවන් ගැන අවධානයෙන් ඉන්න අතර, මේ අයගේ කවටකම් බලා ඔවුන්ට නොපෙනෙන්න සතුටු වෙනවා.

මේ අතර ඇය නැගිට එතැනින් ඉවත් වන අතර ගලක පය පැකිළී ඇද වැටෙනවා. පාරේ යන බොහෝ දෙනෙක් ඇයට හිනාවෙනවා. අර තරුණයින් අතරින් තරුණියන්ට කවටකම් නොකළ, Francois නම් තරුණයා ඇයව ඔසවනවා. පා පැකිළී බිම වැටෙද්දී Zarka ගේ හිස වටා දමා තිබූ හිජාබය ගැලවෙනවා.

‘You have beautyful hair. why do you have to cover it up’ ඔහු අහනවා.

‘When I wear this, I feel part of a faith an identity. I feel good. that is what beauty is’ ඇය කියනවා.

ඇගේ දෑත තුවාලව ඇති හෙයින් Francois නැවතත් ඒ සළුවෙන් ඇගේ හිස වහන්න යනවා. ඔහුට එය නුහුරු නිසා ඇගේ සම්පූර්ණ හිසම වැහෙනවා. දෙදෙනාම හයියෙන් හිනාවෙනවා. ඇය ඔහුට ස්තූති කර පල්ලියට යන අතර, ඔහුගේ මිතුරන් දෙදෙනා මුස්ලිම් තරුණියකට උදව් කිරීම ගැන ඔහුට දොස් පවරනවා.

Francois පසුව පල්ලිය ඉදිරියට වී බලාගෙන සිටිනවා. ඇය තම සීයා සමග පල්ලියෙන් පිටතට එනවා. ඇය තමාට උදව් කළ තරුණයාව සීයාට හඳුන්වා දෙන අතර, තමා ඉතිහාසය ඉගනගන්නා ශිෂයකු බව ත්‍ර්බජදසි ඔවුන්ට කියනවා. ප්‍රංශයට හොඳ ඉතිහාසයක් ඇති බවත් තම මිනිබිරිය මාධ්‍යව්දිනියක් වීමටත් ප්‍රංශය ගැන ලිවීමටත් කැමති බව සීයා කියනවා. අවසන තිදෙනාම එකම දිසාවකට ගමන් ගන්නවා.

මුද්‍රණ ආයතනයක සේවය කරන Christian නම් තරුණයකුට ඒ ආයතනයට යම් සේවයක් ලබා ගැනීමට පැමිණෙන වෙනත් තරුණයෙක් ආකර්ෂණය වීම තෙවැනි කථාංගයෙන් කියවෙනවා. Christian ප්‍රංශ භාෂාව හොඳින් දන්නෙ නෑ. ඔහු කතා කරන්නේ ඉංග්‍රීසි. නමුත් ඔහු දන්නවායැ‘යි හිතා අදාළ තරුණයා Christiang ට තොර තෝංචියක් නැතිව තම හැඟීම් ප්‍රකාශ කරවා. නමුත් Christian නිහඬව ඉන්නවා. අවසන තම දුරකථන අංකය දී අදාළ තරුණයා පිට වෙනවා. ඔහු ගිය පසු මුද්‍රණාලයේ හිමිකරු Christian අහනවා මොකද වුණේ කියලා. අදාළ තරුණයා මොනවාදෝ කාරණා රාශියක් කියූ නමුත්, තමන්ට නොවැටහුණ බවත්, අදාළ දුරකථන අංකය දී තරුණයා ගිය බවත් ඔහු හිමිකරුට කියනවා. ඔහු කියන්නේ ඒ තරුණයාට කතා කර ඔහුව මුණගැසෙන ලෙස. කතාව නිම වෙන්නේ ඇඳුම් මාරු කරගත් Christian වහාම මුද්‍රණාලයෙන් එළියට විත්, වීදි පුරා දුවමින් යමෙක් හොයන දර්ශනයකින්.

අපූරු හාස්‍යමය කථාංගයක් වන සිව්වන කොටස දිගහැරෙන්නේ, පැරීසියේ පළවෙනි පරිපාලනමය කොටස වන Louvre හි  Tuileries නම් භූගත දුම්රිය පොළ තුළ. ඇමරිකානු සංචාරකයෙක් පැරීසිය පිළිබඳ සංචාරක පොතක් කියවමින් දුම්රිය එනතුරු බංකුවක වාඩිවී සිටිනවා. පැරීසිය ගැන ඔහු පොතේ දකින සියල්ල ඒ වෙලාවේ විශ්මය සහගත ලෙස සිදුවෙනවා. පැරීසිය සංස්කෘතික නගරයක් කියලා ඔහු කියවද්දී ඔහුට එපිටින් ගිටාර් වාදනයක් ඇහෙනවා. පැරීසිය ආදරවන්තයින්ගේ නගරයකි කියන තැන කියවද්දි, තමන්ට හරි කෙළින් රේල් පාරට එපිටින් ඇති බංකුවක සිටින පෙම් යුවළක් ඔහු දකිනවා. පැරීසිය ආහාරවලට ඇලුම් කරන්නන්ගේ නගරය කියන එක කියවද්දි, ආහාර ගනිමින් ඉන්න ළමයෙක් හා මවක් දකිනවා. ඔහුගේ කියවීම දුම්රිය පොළ පිළිබඳ කොටසට යනවා. එහි දක්වා තියෙන්නෙ දුම්රිය පොළේ පිරිසිදු ආරක්ෂාකාරී එකක් වුවද ගැටකපන්නන් වැනි අය සිටිය හැකි හෙයින් අවධානයෙන් ඉන්නා ලෙස. ඔහු ඊළඟ පෝලිම කියවනවා. එහි තියෙන්නේ අවට ඉන්නන්ගේ ක්‍රියාවන්ට අවධානය යොමු නොකරන ලෙස. එසැණින් ඉදිරියෙහි වූ යුවළ එකිනෙකා වැළඳගෙන සිඹගන්නවා. තමන් දෙස සංචාරකයා බලා සිටිනවා පෙම්වතිය දකින අතර පෙම්වතාත් දකිනවා. පෙම්වතා කෝපයට පත්ව මොහුට නොනවත්වා බනිනවා. ඒ ප්‍රංශ බසින් නිසා සංචාරකයාට තේරෙන්නෙ නෑ. බැනීම නවත්වන ලෙස පෙම්වතිය පෙම්වතාට කියනවා. ඒත් ඔහු නවත්තන්නෙ නෑ. අවසන පෙම් යුවළ රණ්ඩු වෙනවා. ඒ අතර කෝච්චිය පැමිණෙනවා. ඒත් පෙම් යුවළ දබර වෙනවා ජනෙල් අතරින් පේනවා. ඒ අතර ඔහු පොත බලනවා. එහි තියෙන්නේ පැරීසියේ පැතිරෙන සමාජ රෝගයක් ගැන. කෝච්චිය පිටත්ව යනවා. වේදිකාවෙන් එපිට බලාපොරොත්තු කඩවූ ස්වරූපයෙන් පෙම්වතා ඉන්නවා. පෙම්වතී නෑ. ඈ සංචාරකයා අසලට ඇවිත්. ඇය තම පෙම්වතාට පේන්න සංචාරකයා වැළඳගෙන ඔහුව ඉඹිනවා. ඈ ඉඹ අවසන් වූ පසු ඇගේ යටි තොලට පහළින් ඇති, පොතේ තිබූ රූපයේ ඇති වර්ගයේ සමාජ රෝග කැළලක් ඔහු දකිනවා. මේ අතර පෙම්වතා පැමිණ ඔහුට පහර දෙනවා. බිම වැටුණු පසු ඔහු පැරීසියෙන් එකතු කරගත් පොත්පත්, පින්තූර සහිත බෑගය ඔහුගේ මූණට හලනවා. පෙම්වතිය ගාණක්වත් නැතිව ඉන්නවා. ‘දැන් ඔබට හරිද?‘ පෙම්වතිය පෙම්වතාගෙන් අහනවා. ‘හරි‘ පෙම්වතා කියනවා. පහර කෑ සංචාරකයා බිම වැටී බලා සිටිනවා. පෙම් යුවළ ආදරයෙන් වැළඳගෙන කෙළිලොලෙන් පිටව යනවා.

පාන්දරම තම දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක තබා, වෙනත් නිවසක එවැනිම දරුවකු බලාගැනීමේ සේවයට යන තරුණ මවක පිළිබඳ කතාවක්, රූපලාවන්‍ය ද්‍රව්‍ය වෙළෙඳ නියෝජිතයෙක් වන මහලු පුද්ගලයකු වටා ගෙතුන හාස්‍ය කථාංගයක්, වෙනත් කථකයකු විසින් (Narrator) කියන ස්වරූපයෙන් ගලා යන, තරුණ කාන්තාවක් වෙනුවෙන් තම බිරිඳ අතහරින්නට ගිය සැමියකු පිළිබඳ වෘත්තාන්තයක්, තම මියගිය පිරිමි දරුවා පිළිබඳ වැළපෙන මවකට මායාමය කව්බෝයි කරුවකු විසින් දරුවා මුණගස්සන කතාවක් ආදී වශයෙන් පැරීසිය පදනම් කරගන් විවිධ තේමාවන්ට අයත් සහ විවිධ සිනමා ශානරයන්ට අයත් කථාංග රාශියක් Paris, je t’aime තුළ සංගෘහිත වෙලා තියෙනවා. මේ සෑම කතාවක්ම එකිනෙක බැඳ තැබීමට සංගීතය, රූප රාමුවල තේමා වර්ණය වැනි සියුම් උපක්‍රම රාශියක් අපූර්ව ලෙස යොදා ගැනෙනවා. කෘතිය තුළ විශාල පරාසයක විසිරී ගිය තේමාවන් තිබුණද එක් කතාවකින් අනිත් දෙවන කතාවෙහි තේමාවට ඇති සියුම් නෑකම ද ඇතැම්විට ඒ කතා එකිනෙකට බැඳ තබනවා. Paris, je t’aime ප්‍රේමය, හැඟීම්, මානව සම්බන්ධතා, මානව භක්තිය, සංස්කෘතික විවිධත්වය, අන්‍යයාට ගරුකිරීම, උපහාසය, මායාව ආදී සියලු හැඟීම් ප්‍රේක්ෂකයාට ස්වාත්මීයකරණය කරන පරිපූර්ණ සිනමා කෘතියක්.

එසේම මෙය, සුවිශේෂී සිනමා නිෂ්පාදකවරයකු වන Emmanuel Benbihy විසින් ලෝකයේ යම් යම් නගරයන් පාදක කරගෙන නිර්මාණය කරන ඇන්තොලොජි සිනමා දාමයක ජනප්‍රියම සහ පුරෝගාමී කෘතිය කියන්න පුළුවන්.New York, I Love You (2008), Tbilisi, I Love You (2014) , Rio, I Love You (2014) , Berlin, I Love You  (2019) වැනි සිනමා පට Emmanuel Benbihy මේ වන විට නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම ෂැන්හයි, ජෙරුසෙලම, වැනීසිය, දිල්ලිය වගේ තැන්වල මේ කතා මාලාවේ ඉදිරි කෘති බිහිවීමට නියමිත බව පැවසෙනවා.