ගිනි පුපුරක මෛත්‍රිය ජීන් අරසනායගම්

කංචුකා ධර්මසිරි

ජීන් අරසනායගම් මට මුලින්ම මුණගැසෙන්නේ ඇගේ කවි හරහා ය. මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ සිසුවියක ව සිටියදී ඇගේ කවි සහ කෙටි කතා කියවූයේ ඉමහත් කැමැත්තෙනි. යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු කෘති කියවා ජීන් අරසනායගම් වැනි ලංකාවේ අත්දැකීම් පිළිබඳව විචිත්‍ර ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලේඛිකාවක හමුවීම ආස්වාදජනක දෙයක් විය. ඇගේ කෙටි කතා සහ කවි තුළින් ලංකාවේ ජීවත් වූ බර්ගර් සමාජය ගැනත්, ඇය අත්දුටු යාපනය සමාජයේ විවිධ සිදුවීම් ගැනත් ඇය සිත් ගන්නා චිත්‍රයක් මවයි. ලංකාවේ සමාජ කැළඹීම්, ප්‍රචණ්ඩත්වයන් ඇගේ කවිවලට විෂය වෙයි. ඒවා තුළින් මනුෂ්‍යයින් ලෙස විවිධ ජන කොටස්වලට මුහුණ පාන්නට සිදුවන සංසිද්ධීන් ඇය වචන වලින් නිරූපණය කරයි. ජීන් චිත්‍රකලාවේ නියුතු වූ කෙනකු බව සිහිතබා ගත් කල ඇගේ සමහරක් කවි තේරුම් ගැනීමට වෙනම මානයක් ලැබෙන බව ඇගේ කවි පිළිබඳව සටහනක් ලියන රෙජී සිරිවර්ධන සඳහන් කරයි.

උපතින් ලන්දේසි-බර්ගර් මිශ්‍ර සම්භවයක් ඇති ජීන්, ත්‍යාගරාජා අරසනායගම් හා විවාහ වීමෙන් අනතුරුව තවත් තලයක දී සංස්කෘතික සන්දර්භය තුළ නවමු අත්දැකීම් ලැබුවාය. එම අත්දැකීම් ආශ්‍රයෙන් ඇය යාපනය සමාජය ගැන ලිවීම ද ආරම්භ කරයි. එසේම 1971, 1983, 1987-89 කාලවකවානුවලදී ඇති වූ භීෂණයන් සහ තිස් අවුරුදු යුද්ධය සමග මිශ්‍ර විවාහක යුවලක්ව ඔවුන් මුහුණ දුන් තත්ත්වයන් ගැන ඇය නිර්මාණ ඉදිරිපත් කරන්නේ උපේක්ෂා සහගත බවින් යුතු දුක්බර ස්වරයකිනි. විවිධ කාල වකවානුවලදී ලංකාව පුරා පැතිර ගිය ප්‍රචණ්ඩත්වයේ බිහිසුණු බව ඈ එදිනෙදා සිදුවීම් බවට පත් වූ, සාමාන්‍යකරණය වූ, ප්‍රචණ්ඩ මොහොතවල් ඔස්සේ ඉදිරිපත් කරයි. ඇගේ ඇතැම් කවිවල ඇති සරල බව තුළ ඇත්තේ භයංකර බවකි.

ජූලි මාසයේ
පලාගියේය මිනිහෙක්
ලුහුබඳින්නන්ගෙන් ඔහුව
නැග්ගේය ඔහු ගසකට
ගැසුවේය පිරිස ඔහු හට
ගල් මුගුරුවලින්
බාගන්නා තෙක් ඔහුව පොළොවට
වැටෙන්නට ඇත අත ලිහිල් වී
ලේ වල ලිස්සමින්,
දැනටමත් තැලී පොඩි වූ සිරුර
ඉනික්බිති ඔවුන් ඔහුව පාගා දැමුවෝය
මැරෙන තෙක්

“Month of July” (“ජූලි මාසයේ”) කවියේ එන මෙම අවසන් පද කීපය 1983 භීෂණය මෙන්ම ඉන්පසුව මේ දූපත වෙලාගත් භයංකර සංසිද්ධීන් සිහියට ගෙන එයි. දුවන මිනිසාත් ඔහුව ලුහුබඳින්නනුත් ලාංකිකයින්ය. එහෙත් සිංහල ජාතිවාදී සන්දර්භයක් තුළ දෙමළ මිනිසා අනෙකා බවටත් එම නිසා හිංසාවට ලක් කළ හැකි කෙනකුන් බවටත් පත්වෙයි. මනුෂ්‍යත්වය අවමානයට ලක්කරන ජාතිවාදී සහ වෙනත් පීඩනකාරී යාන්ත්‍රණයන් මෙවැනි කවිවලින් ප්‍රශ්නයට ලක් කෙරේ.

ජීන් ගේ “1958….‘71…..‘77…..‘81……‘83” කවිය ලාංකේය ඉතිහාසයේ ප්‍රචණ්ඩ අවස්ථා ආවර්ජනය කරයි. එහෙත් ඇයට තව දුරටත් නරඹන්නෙකු වී සිටිය නොහැකිය. ඇයට, සහ එක් අතකින් අප සැමට, ඉතිහාසයේ තීරණාත්මක මොහොතවල් හා සම්මුඛ වීමට සිදුවන ආකාරය ඈ මේ කවි පද හරහා ගෙනහැර පායි.

ඒ සියල්ල ම සිදුවිය
යළිත් සිදුවනු ඇත
නරඹන්නන්ය අප සැම
නමුත් එය තුළය දැන් මම
සිදුවීය එය මා හට,
ගොදුර වූ විට ඔබ
පරාජිතයා වූ විට
පිපිර වූ විට පාලම්
නොහැකිය එතෙර වීමට
ඔබට

ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ශිෂ්‍යයාවක වීමට පෙර ජීන් ගේ ලේඛන මට හමුනොවූයේ මන්දැයි මම ඒ දිනවල සිතුවෙමි. ජීන් ඇතුළු ඉංග්‍රීසි භාෂාවෙන් සාහිත්‍යකරණයේ යෙදෙන ලාංකීය කතුවරුන් මෙන්ම දෙමළ භාෂාවෙන් සාහිත්‍යකරණයේ යෙදෙන කතුවරුන් අපට පාසල් අවධියේදී මුණ නොගැසීමට හේතුව මට වැටහුණේ විශ්වවිද්‍යාලයෙන් නික්ම වසර ගණනාවක් ගත වූ පසුවය. ශ්‍රී ලංකාවේ සාහිත්‍යය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ලෙස භාෂා තුනකින් ලියැවුණත් මේ භාෂා තුනෙන් ලේඛනයේ යෙදෙන කතුවරුන් මෙන්ම මේ භාෂා තුනෙන් සාහිත්‍යය කියවන්නන් එකිනෙකා සමග සංවාදයේ යෙදෙන්නේ කලාතුරකිනි. සිංහල භාෂාවෙන් කියවන පාඨකයින්ට පරිවර්තන හරහා ලංකාවේ ලියැවෙන ඉංග්‍රීසි සහ දෙමළ සාහිත්‍යය පරිශීලනය කරන්නට ලැබෙන්නේ ද කලාතුරකිනි. නැතිනම් එම කෘති කියවන්නට ලැබෙන්නේ එම භාෂා පිළිබද දැනුමක් ඇති අයට පමණකි. දෙමළ බසින් කියවන පාඨකයින්ට සහ ඉංග්‍රීසි බසින් කියවන පාඨකයින්ට ද මේ තත්ත්වයට මුහුණ පාන්නට සිදු වේ. සාහිත්‍ය සහ සංස්කෘතික තලය තුළ මේ ආකාරයේ සම්බන්ධයක් ඇති වූයේ මන්ද යන්න අප තවදුරටත් පිරික්සා බැලිය යුතු සංකීර්ණ ප්‍රශ්නයකි.

මෙවැනි හේතූන් නිසා ලංකාවේ බොහෝ දෙනා ජීන් අරසනායගම් යනු කවුරුන්දැයි නොදනී. එහෙත් ඇය ලෝක පරිමාණයේ ලේඛිකාවකි. ඇගේ කවි, කෙටි කතා වෙනත් රටවල විශ්වවිද්‍යාල තුළ නිර්දේශිත කෘති ලෙස අධ්‍යයනය කරනු ලබයි. ඇගේ කෘති විවිධ භාෂාවලට පරිවර්තනය වී ඇත. 1983 දී දෙමළ ජනයාට එරෙහිව සිදු වූ ප්‍රචණ්ඩත්වය, දශක තුනකට වැඩි කාලයක් තිස්සේ පැවතුන යුද්ධය, යුද්ධයෙන් පීඩා විදින සාමාන්‍ය ජනයා සහ ස්ත්‍රීන්, පශ්චාත් යටත් විජිත සන්දර්භයක් තුළ පැවැත්ම සහ මිනිස් සම්බන්ධතා ඇගේ කෘතිවලට විෂය වේ. 2018 දී ඇයට ග්‍රේෂන් සම්මානය ලැබෙන්නේ ඇය විසින් රචනා කරන ලද The Life of the Poet  (කවියාගේ ජීවිතය) නම් කෘතියටය. ඇය ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍යය සඳහා කර ඇති දායකත්වය ඉමහත්ය.

මට ජීන් ගැන සටහනක් ලිවීමට සිතුනේ ඇය ලොව විවිධ ඉසව්වල පුද්ගලයින් දන්නා ලේඛිකාවක නිසාම නොවේ. මගේ ජීවිතයේ දී මට හමු වූ ඉතාම සුන්දර වූ ද, ගිනි පුපුරක් වැනි වූ ද, ජවයෙන් පිරුණා වූ ද, මෛත්‍රියෙන් පිරුණා වූ ද පුද්ගලයෙකු වූ හෙයිනි. “ආදරය කරන්න. මේ ලෝකයට ආදරය දෙන්න,” මා ඇය හමු වූ අවස්ථාවල ඇය පැවසුවාය. “අපේ රටේ මහා ව්‍යසන රාශියක් සිදු වෙලා තියෙනවා. ඒත් අපේ රටේ මිනිස්සුන්ට පුළුවන් තවමත් එකට ජීවත් වෙන්න, මනුෂ්‍යයන් විදිහට” ඇය එසේ පවසමින් ජීවිතය ගැන බලාපොරොත්තු ඇති කළාය. ඇගේ සිනහව කිසි දිනෙක අමතක නොවන සිනහවකි.

ඇයගේ දියණිය පාර්වතී, ජීන් ගේ අවමංගල්‍ය දිනයේදී මා සමග පැවසූ දෙයක් මසිත රැඳී ඇත. “මමීට කෝටිපතියත් එකයි, හිඟන්නත් එකයි. මමී හැම දෙනාටම සැළකුවේ එකම විදිහකට.” ඇය වෙනත් පුද්ගලයින්ට, විශේෂයෙන්ම ආර්ථික සමාජීය තලයෙන් තමාට වඩා වෙනස් තලයක සිටින අයට සළකන කාරුණික ආකාරය මා දැක ඇත. පාර අතුගාන පුද්ගලයාට, ත්‍රිරෝද රථ රියැදුරාට ඉතා අවඥාවෙන් සළකන මධ්‍යම පාන්තිකයන් බොහෝ දෙනා දැක ඇති මා හට ජීන් අන් අයට සළකන ආකාරය දුටු විට තවමත් මෙලොව මනුෂ්‍යත්වය ඉතිරිව ඇති බව පසක් විය. ජීන්, ඔබ අපට පරම්පරා ගණනකට රස විදිය හැකි අනර්ඝ කවි, කෙටි කතා, සහ වෙනත් කෘති බොහොමයක් ඉතිරි කර ගියෙහිය. එපරිදිම, ඔබ මුළු ලෝකයටම දැක් වූ ඒ ආදරය සහ ඔබ ජීවිතයට දැක් වූ අනුරාගය මා හට කිසි දිනෙක අමතක නොවනු ඇත.