ක්‍රීඩාවට හැතිද?

ඒ .වික්‍රමසූරිය

මේ ආණ්ඩුවේ ආයු කාලය ශීඝ්‍රයෙන් ගෙවී යමින් තිබේ. 2015න් ඇරඹි යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා ඇමැතිවරු සිව් දෙනෙක් වූහ. නවීන් දිසානායක, දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තාපා, හරින් ප්‍රනාන්දු ඒ හතර දෙනාය. දේශපාලන චරිත ලෙස හතර දෙනාම ශූරයෝය. ඒත් ක්‍රීඩාවට කළ කී දේවල් දෙස බලන කළ මේ හතර කට්ටුවම නිකමෝය. අප එලෙස කියන්නේ මේ පිරිසෙහි වැඩ ප්‍රායෝගිකව අත්විඳි නිසාය. නවීන් කළේ ක්‍රීඩා ඇමති වෙනුවට ක්‍රිකට් ඇමති වීමය. දයාසිරි ඉන් සුළුවෙන් මිදුනට තිලංගට හසුවී නන්නත්තාර විය.
හතුරුසිංහ ගෙන ඒමේ සිට ක්‍රිකට් විනාශ කිරීම දක්වා විශාල වැඩ කොටසක් ඔහු තිලංග සමඟ එක්ව ඔහුගේ බහට කළේය. ෆයිසර් ද ක්‍රිකට් ඇමැත්තෙක්ම විය. හරින් ද ඉන් නොමිදුනේය.

ලංකාවේ ක්‍රීඩාව යන විෂය දෙස දේශපාලකයන් බලන්නේ චූල ගණයේලාය. ක්‍රීඩා අමාත්‍යධුරය බාරදුන් කල ඇමැත්තෝ එය භාර ගන්නේ දැවී ගිය ක්‍රීඩකයන් පරිදිය. නොසතුටිනි. එහෙත් අවසානයේ ඒ කිසිදු අමාත්‍යවරයෙක් ක්‍රීඩා අමාත්‍යකම අත හරින්නට ලෝභය. ඒ ඇයි? ක්‍රීඩාවට ඇති ආශාව නිසා ද? ආශාව නොව කෑදර කම නිසාය යන්න අපට නම් රහසක් නොවේ. ක්‍රීඩාව යනු රටකට අත්‍යවශ්‍ය විෂයකි. එහෙත් එයට එන ඇමතිවරු මෙන්ම ආණ්ඩු ද ඒ බව නොසලකා හැර ඇත. එස්.බී ගේ පටන්,මන්ත්‍රීවරු කී දෙනෙක් ක්‍රීඩාව නියෝජනය කළ අය ද? ක්‍රීඩා ඇමතිවරුව සිටි මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තුවේ කොතෙක් සිටිය ද ක්‍රීඩාව ගැන වචනයක් කතා කරන්නේ ද? එස්.බී. ජොන්ස්ටන්, කිරිඇල්ල, ලොකුගේ, සි.බී., මහින්දානන්ද, නවීන්, දයාසිරි, ෆයිසර් යන අය ක්‍රීඩා ඇමති කම දැරූ අයය. මේ අය අද ක්‍රීඩාව ගැන වචනයක් කතා කරනු දැකිය හැකිද? මේ මොවුන් මීට පෙර සිටි අමාත්‍යාංශයකි. අත හැර යන්නට මැලි වූ ඇමතිකමකි. එහෙත් එය දිනෙන් දින විනාශ වෙද්දී වචනයක් නොදොඩති. ඒ වෙන කිසිම හේතුවක් නිසා නොව එම විනාශයේ තමුන්ද කොටස්කරුවන් වන බැවින් ය.

හැම ඇමතිවරයෙක්ම පත් වූ අලුත ක්‍රීඩාවට නිසි ප්‍රතිපත්තියක් හදනවා යැයි නොයෙක් කතා කීවේය ඒත් ඔවුන්ට ද ප්‍රතිපත්තියක් නොමැතිකමින් හැදූ ප්‍රතිපත්තියක් නොවීය. සෑම දෙනාම ක්‍රීඩා පනත වෙනස් කරන්න ඕනෑ යැයි කියමින් දඩිබිඩියේ ක්‍රියා කළ මුත් සිදු වූයේ පනතේ වගන්ති එහා මෙහා කරමින් තම හෙංචයියන්ට බලයේ ඉන්නට ඉඩ හැදීම පමණය අවසානයේ පනත ද විකෘතියක්ම වී ඇත.

මේ හැම කල්හිම මේ කරන හැම වැඩක් හමුවේම අපි බොහෝ විවේචන එල්ල කළෙමු එහෙත් මේ අය අඳ ගොළු බිහිරි තත්ත්වයෙන්ම පසු විය. මේ රට මෙන්ම ක්‍රීඩාව ද විනාශ කළේ දේශපාලකයන්ය. ඒ අයගේ පටු ආකල්ප නිසාය. ආ හැම ඇමතිම ක්‍රීඩාව සූදුවක් කරගෙන විශාල ලෙස ලාභ ලැබුවේය. ඉන් හැමදා පාඩු වුණේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ටය. මුල් කාලයේ ක්‍රීඩා ඇමතිවරු ප්‍රබල සංගම්වල අතකොළු වුණේ ඒ සංගම් ප්‍රධානීන් ඇමතිවරුන්ව මිලට ගත් හේතුවෙනි. එහෙත් කල් යත්ම සංගම්වලට නොවිකිණී තමන්ම උපයා ගන්නා ක්‍රමයක් මහින්දානන්ද අලුත්ගමගේ හඳුන්වා දුන්නේය. ඒ රට පුරා පිට්ටනි හැදීමය. සුගතදාස ධාවන පථය යනු හැම ක්‍රීඩා ඇමති කෙනෙකුගේම දිනුම් ඇදෙන ලොතරැයිය විය. එය තව තවත් ලොකු දිනුම්වලට හරවා ගන්නට රට වටා පිට්ටනි හැදීම ආරම්භ විය. ඒ ප්‍රමුඛතාවය ඇමතිගේ ගම් ප්‍රදේශයට දීමට හැම ඇමති කෙනෙක්ම උත්සුක විය. අලුත්ගමගේ නාවලපිටිය පිට්ටනිය බදාගෙන ඇති පදම් කෑවේය ඉන්පසු දයාසිරි කුරුණෑගල පිට්ටනි හදන්නට විය. දැන් හරින් බදුල්ලේ පිට්ටනි හදමින් සිටී. මේ නිසා එකවර වැඩ දෙකක් සිද්ධ වේ. එනම් තම ගමට පිට්ටනියක් ලබා දීම හරහා ගමේ තරුණ තරුණියන්ගේ ඡන්ද ඉලක්ක කර ගැනීම සහ ගමට වැඩ කළ බව පෙන්විමය. අනෙක ඒ හරහා විශාල ලෙස ඉපැයිමය. අද ඇමතිවරු එදාට වඩා ස්මාර්ට්ය. එදා ඇමතිවරු කළේ හිතවත් අයෙක්ට කොන්ත්‍රාත්තුව දී කොමිස් ලබා ගැනීමය. දැන් ඇමතිවරු අවශ්‍යතාවය අනුව ඊට අවැසි හැම කොන්ත්‍රාත්තුවක්ම තමන්ට අනිවාර්ථයෙන් මිල දී ගනී. කුට්ටියම ඔහුටය. හිටපු ක්‍රීඩා ඇමැත්තෝ මේ පිට්ටනි රස හොඳට දනිති. පැත්තකින් ආදායම් ලබන අතර ක්‍රීඩා ඇමැත්තෝ ඉතිරියට කළේ රට යෑමය. හරින් ක්‍රිකට් ලෝක කුසලානය බලන්නට එංගලන්තයට ගියේය. එබැවින් ඔහු හිතනුයේ ක්‍රීඩා ඇමති ලෙස ඔහු විශාල වැඩ කොටසක් කළ බවය. ක්‍රීඩා හැට හතරක් ලියාපදිංචිව ඇති මෙරට ක්‍රීඩා කිහිපයක් ඇරුණු කොට බොහෝ ඒවායේ නම් පවා බහුතරයක් නොදනිති. හැම ක්‍රීඩාවක්ම එක ලෙස වර්ධනය කළ නොහැකි සේම එලෙස වර්ධනය කළ යුතු ද නැත. වර්ධනය කළ යුත්තේ ජාත්‍යන්තරව ජයගත හැකි ක්‍රීඩාවන්ය එලෙස සංවර්ධනය කරන්නට ක්‍රීඩා දුසිමක් නැතිවාට සැක නැත. රජයේ අය වැයෙන් මිලියන ගණන් පාස් වන්නේ මේ ක්‍රීඩා සංවර්ධනයටය. එහෙත් සිදු නොවන්නේත් ඒ සංවර්ධනයමය

හැම ක්‍රීඩා ඇමැත්තෙක්ම කරන ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් සිතා සිටිනුයේ තමන් පත් කොට ඇත්තේ වාර්ෂිකව ජාතික මහා ක්‍රීඩා උළෙල නම් බොරුව කරන්නට බවය. මෙය ක්‍රීඩා ඇමතිගේ සිට ක්‍රීඩා අමාත්‍යාංශ පියන් දක්වා ගරා කන වැඩකි. බත් පැකට් එකේ සිට සහතිකය දක්වා හොරා කන වැඩකි. හැම වසරකම ජාතික මහා ක්‍රීඩා උළෙලට කෝටි ගණන් වියදම් කරයි. එහෙත් ප්‍රතිඵලය කුමක්ද? ක්‍රීඩා ඇමැත්තෝ එය තමන්ගේ ගමට ගැනීම මෝස්තරයක් වී ඇත. මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල බදුල්ලේ ය. ඒ හරින්ගේ බල ප්‍රදේශය නිසාය. මෙවර බදුල්ල ජාතික මහා ක්‍රීඩා උළෙලට කෝටි විස්සක් පමණ යතැයි ගණන් බලා ඇත. මින් කෝටි කීයක් කී දෙනෙකුගේ සාක්කුවලට යනු ඇත්ද? ගිය වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙලේ දිනූ අය මේ වන විට අතුරුදන්ය. ඔවුන් ක්‍රීඩාව අත ඇරලාය. ඒ ක්‍රීඩාවෙන් වැඩක් නොවන නිසාය. එහෙත් පාලකයෝ ජාතික මහා ක්‍රීඩා උළෙල අත් නොහරිති. ඒ තම ඉල්ලම බැවිනි. වාර්ෂිකව ජාතික මහා ක්‍රීඩා උළෙලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කර ගත්තේ නම් අද කොතෙක් ක්‍රීඩක ප්‍රමාණයක් සිටිය යුතු ද? මේ බොරු නාඩගම්ය.
ක්‍රීඩාව ගැන නිතර නිතර බොහෝ දේ අපි කතා කර ඇත්තෙමු. ඒවා බොහෝ ක්‍රීඩා ඇමැත්තෝ පිළිගත්හ. ඒවා ක්‍රියාත්මක කරන බවට පොරොන්දු ද වූහ. එහෙත් අවසානයේ ඒ සියල්ල අමතක කර දැමූහ.

ක්‍රීඩා නිලධාරීන් ද තමන් වැටුප ලබන්නේ කුමටදවත් නොදනිති. නමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවය. එහෙත් ක්‍රීඩාවේ සංවර්ධයක් වීද? කාලයක පටන් හැම ඇමැත්තාටම උපදෙස් දෙන්නේ මේ නිලධාරීන්මය. එසේ නම් ඒ උපදෙස් දැන් පුස්කා නැද්ද? ලෝකයේ දියුණු රටවල් ක්‍රීඩාවෙන් ගව් ගණනක් දුරයද්දී අප එක තැන පල් වෙන්නේ ඇයි? නිසි දැක්මක් නැති නිසා නොවේ ද? ඒ දැක්ම හදා ගන්නf් කවදාද? ක්‍රීඩා ඇමතිට උපදෙස් දෙන්නැයි ජාතික ක්‍රීඩා සභාවක් ඇත. ඔවුන් දෙන උපදෙස් මොනවාද හැම පිරිසක්ම බොරුකාරයෝ වී ඇත. සැවොම එක්ම කණ්ඩායම් හැඟීමෙන් බොරු කරති. ඒවාට නම් අපේ රටේ පිරිස කප් ගසති.

අද ක්‍රීඩා සංගම් බොහෝමයක් අයාලේය. ඇතැම් ඒවා නිලවරණ පැවැත්විය නොහැකිව ලත වෙති. කවුරු ආව ගිය ද ක්‍රීඩා සංගම්වල එකම පිරිස සංගීත පුටු තරගය මෙන් බෙදා ගනිති අද බොහෝ සංගම් මහළු මඩම්ය. සැදෑ විවේකයට සංගම් පත් වී ඇත. තවත් සංගම් රැකියා නැති වුන්ට රැකියා දෙන තැන් බවට පත් වී ඇත. සැවොම කරනුයේ ක්‍රීඩක, ක්‍රීඩිකාවනට එන තුට්ටු දෙක ගසා කෑමය. ක්‍රීඩා සංගම් නිලධාරීන් යෝධයන් වෙද්දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිලිපුට්ටන් වී ඇත්තේ එබැවිනි. මේ තත්ත්තවයන් කවදා වෙනස් වනු ඇත්ද?
ක්‍රීඩා ඇමැත්තෙක් ක්‍රීඩා අමාත්‍යාංශයක් ඇත්තේ මේ ක්‍රීඩා වේ අථානුවක් රෝග නිවාරණය සඳහාය. එහෙත් ක්‍රීඩා ඇමැත්තා තම රාජකාරිය නොකරයි. නිලධාරීහු ද ඉන් මඟ හරිති. ආණ්ඩුව ඒ ගැන සතේකට මායිම් නොකරති එසේ නම් මේ ක්‍රීඩාව රැකෙනුද? අභාග්‍යය වෙන කිසිවක් නොව මේ නිසා විනාශ වන්නේ ක්‍රීඩාව වෙනුවෙන් අවංකව කැපවන ක්‍රීඩක, ක්‍රීඩිකාවන් වීමය. අද ක්‍රිකට් ඇරුණු කොට සෙසු ක්‍රීඩා කර පලක් නැති බව හැමගේ පොදු මතයයි. මේ නිසාම දෙමාපියන් හැකි තාක් ළමුන්ව ක්‍රීඩාවෙන් ඈත් කොට ඉගෙනුමට යොමු කර ඇත. පිහිනුම් පවා වැඩි පිරිසක් කරනුයේ ක්‍රීඩාවට වඩා පිහිනීම ඉගෙන තිබීම අතශවශ්‍ය බැවිනි. එය ජීවිතයට අවශ්‍ය වරප්‍රසාදයක් බැවිනි. අද වැඩිපුර දුවනුයේ ලෙඞ්ඩුය. ඒ විවිධ රෝග සමනයට හැම දේම දැන් දැන් පටු තැනට ගාල් වෙමින් පවතී. ක්‍රීඩා අමාත්‍යාංශයක් කියා එකක් වුවමනා ද යන පැනය ඉතිරි වෙමින් ඇත. ක්‍රීඩාව දිගු දුරක් යෑමට නම් පාසල් ක්‍රීඩාව හරහා ක්‍රීඩා අමාත්‍යාංශය එකක් විය යුතුය. තවමත් අධ්‍යාපන ඇමතිටයි ක්‍රීඩා ඇමතිටයි එක තැනකට ආ නොහැකි රටක ක්‍රීඩා සංවර්ධනය ගැන කුමන කතාද?
රටක ක්‍රීඩා තෝතැන්න පාසලය. අද පාසල් ක්‍රීඩාව එක අන්තයකය. ක්‍රීඩා අමාත්‍යාංශය තවත් අන්තයකය. මේ දෙක අතර එකතුවක් නැති නිසාම පාසල් හැර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවේ සියලු දොරඟුළු පාසල් ඉවත්ව යාමත් සමඟ වැසී යයි. පාසල් ක්‍රීඩාවත් ක්‍රීඩා අමාත්‍යාංශයත් එක් නොවන තාක් නියම ක්‍රීඩා ප්‍රතිපත්තියක් ඇති කර නොගන්නා තාක් ක්‍රීඩා පනත අනුව ක්‍රීඩා නොකරන තාක් කොටින්ම ක්‍රීඩා ඇමති සහ ක්‍රීඩා බලධාරීන් අවංකව වැඩ නොකරන තාක් ක්‍රීඩාව මෙබඳුමය. ක්‍රීඩා තරග වාර්තා කරනයෙන් ඔබ්බට මේවාට රිසි හෝ බැට නොදෙන තාක් ක්‍රීඩා මාධ්‍ය කරන්නේ ද මේ වළ පල් වෙන්නටම හැරීමය. දේශපාලකයන් තරමටම එම ක්‍රීඩා මාධ්‍ය ද මේ ලෙස ක්‍රීඩා විනාශ වීමට වගකිව යුතුය. ඔවුහු ඇමතිවරුන්ටත් වඩා නරකය. එන එන ඇමති සමග ලගිමින් ඔවුහු විනාශ කළේ මේ පිරිසම වෙති.