ජාතික ජන බලවේගය හා ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය

චින්තක රණසිංහ

දේශපාලනයේ ඇතිවී තිබෙන නව ප්‍රවණතා සමග වඩාත් පළල් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ ඇති කරගන්නේ කෙසේද යන්න පිළිබඳ කෙටියෙන් සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

ජවිපෙ ජාතික විද්වත් සංවිධානය හා ජාතික ජනබල වේගය

වැඩිදෙනාගේ අවධානය සජිත් හා ගෝඨාභය වෙත යොමු වුවත් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇසින් බලන විට ඉතාමත්ම වැදගත් සංවිධානයක් පසුගිය වසර තුළ ලංකාවේ බිහිවෙමින් පැවතුණි. ඒ ජාතික විද්වත් සංවිධානය හා එය වඩාත් පළල් තලයකට ගෙන ගොස් නිර්මාණය කළ ජාතික ජනබල වේගයයි. ජාතික විද්වත් සංවිධානය ඇරඹෙන්නේ ස්වාධීන විද්වතුන් පිරිසකගෙන් නොව ජවිපෙ හිතවාදී වාම නැඹුරු විද්වත් පිරිසකගෙන් වුව පසුව ජවිපෙ නොවන ජවිපෙට වඩා බොහෝ දියුණු වාම හා ලිබරල් කොටස් එයට එක් වූහ. එහි ප්‍රතිඵලයක් වූයේ පැරණි ජවිපෙ තුළ පැවති දෘෂ්ටිවාදාත්මක සීමා ජවිපෙ අනුග්‍රහයෙන්ම බිඳ වැටෙන තත්ත්වයක් ඇතිවීමයි.

ජාතික ජන බලවේගයට සංවිධාන 26ක් අයත් වන අතර වාමාංශික පක්ෂවල විකල්ප කණ්ඩායම්, ධීවර සහයෝගිතා සංවිධානය, ජන අවබෝධ කේන්ද්‍රය, ශ්‍රම අභිමානී, 71 සංසදය වැනි ප්‍රධාන පෙළේ වාම කණ්ඩායම් එයට දායක වෙයි. මෙහි පවතින දේශපාලන උත්ප්‍රාසය වන්නේ මෙම කණ්ඩායම් සහ මේවායේ ප්‍රධාන සාමාජිකයන් දිගු කලක් ජවිපෙට වඩා වෙනස් දේශපාලන භාවිතයක නිරතවීමත්, ඇතැම් අවස්ථාවල ඔවුන් ජවිපෙන් ශාරීරික බැටකෑම්වලට ලක්වූවන් පවා වීමය. මෙහිදී ජවිපෙ හා මෙම බලවේග අතර විසංවාදී සුසංවාදයක් නිර්මාණය කිරීමට විජිත් රොහාන් වැන්නන් විශාල ඉවසිලිවන්ත කැපවීමක නිරත වූ අතර මෙබඳු සංවාදයක් සඳහා පැරණි ස්වාධීන ශිෂ්‍ය සංගමය, මහජන පක්ෂය, පසුව x කණ්ඩායම ආදී විවිධ ජවිපෙ විරෝධී දේශපාලන ධාරාවල සිටින පිරිස් විශාල අවංක සහයෝගිතාවක නිරත වූහ.

මේ අතර බෙහෙවින් කල්ලිවාදී වැඩවසම් භාවිතයක් සහිත පැරණි ජවිපෙ මොඩලයද ඇතුළතින්ම යම් යම් තීරණාත්මක දෙදරීම්වලට ලක්වෙමින් පැවතුණි. සමාජවාදය නමැති සදාතනික මිරිඟුව වෙනුවට වඩාත් යහපත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයක් වෙත ගමන් කරමින් විශිෂ්ට පැවැත්මක් සහිත රාජ්‍යයක් ගොඩනැගීම පිළිබඳ ලාල් කාන්ත වැන්නකු විවෘතවම පෙනී සිටියේය. ජවිපෙ පැරණි වාම-වැඩවසම් කණ්ඩායමට වුවද මේ වෙනස්කම්වල තීරණාත්මක ස්වභාවය දරා ගැනීමට නොහැකි වූ අතර එහි ප්‍රතිඵලයකි ජාතික ජන බලවේගය.

ජාතික ජන බලවේගය

ජාතික ජන බලවේගය වඩාත් පුළුල් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සංවිධානයකි. එය ජවිපෙ රූකඩයක් නොවේ. එය ජවිපෙට වඩා පළල් විවෘත දෘෂ්ටිවාදාත්මක වේදිකාවකි. එහෙත් ගැටලුව වන්නේ තවමත් ජනමාධ්‍ය විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම පළල් වෙනස හඳුනා නොගැනීමයි. ඒ වෙනවුට බොහෝවිට මාධ්‍ය හරහා ප්‍රචලිත වන්නේ ජවිපෙ වෙනත් කුඩා කණ්ඩායම් සහිතව පෙරමුණක් නැතහොත් සන්ධානයක් නිර්මාණය කරගනිමින් මැතිවරණයට එන බවයි. එහෙත් එය මෙම අභිනව සංවිධානය පැත්තෙන් නම් සත්‍යයක් නොවේ.

ජවිපෙ මේ තුළ රඟන භූමිකාව කුමක්ද?

වෙනත් සංවිධාන හා දේශපාලන උද්යෝගයෙන් යුත් පුද්ගලයන්ගෙන් මෙහෙවර ගෙන ඒ අයව බැහැර කිරීම සම්බන්ධයෙන් ජවිපෙ ප්‍රකටය. එහෙත් මෙවර එසේ සිදු කිරීමට ජවිපෙට ඇති ඉඩකඩ අඩුය. එනමුත් තවමත් ජවිපෙ උත්සාහ කරමින් සිටින්නේ යම් පිරිසක් අත මෙම සංවිධානයේ බලය රඳවා ගැනීමට බව පෙනේ. මෙහිදී බෙහෙවින් කැපී පෙනෙන්නේ යම් පරම්පරාවකට අනන්‍ය වූ රළු දෘෂ්ටිවාදයකි. එය වඩාත් උත්ප්‍රාසාත්මක වන්නේ ජවිපෙ පමණක් නොව ජවිපෙ වටා මහා විසංවාදී බවකින් රොක්වන ඇතැම් කණ්ඩායම්වලටද මෙම රළු ගතියෙන් (මෙය ලංකාවේ වමේ කතිකාව තුළ ඇති ඓතිහාසික ඛේදවාචකයක් වන අතර මාක්ස්වාදය ලාංකීය කුල ආගම් ආදී වැඩවසම් බන්ධනයන්ට යටත් වූ විට මෙබඳු රළු පසුගාමී බවක් නිර්මාණය වේ.) මුළුමනින්ම අත් මිදී නව පරපුරේ චින්තන ලෝකය තුළට පැමිණීමට ඇති නොහැකියාවයි. එහෙත් මේ සියලු සීමාකම් සහිතව වුවද ප්‍රජාතන්ත්‍රවාදයේ කෝණයෙන් බැලූ කල මෙතන විශාල වැදගත්කමක් ඇත.

ජාතික ජන බලවේගය හා ජාතික ජනබල පෙරමුණ

ජාතික ජන බලවේගය දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහ ශක්තිමත් කරන අතරතුර ජනාධිපතිවරණයට ජාතික ජන බල පෙරමුණ වශයෙන් පෙනී සිටීම දැන් සාකච්ඡා වෙමින් පවතින කාරණයකි. හුදු ජනපතිවරණයෙන් පමණක් සීමා නොවන පුළුල් ප්‍රජාතන්ත්‍ර බලවේගයක් නිර්මාණය කරගැනීමට ජාතික ජන බලවේගයට අවැසි නිසාත්, මැතිවරණ කේන්ද්‍රීය දේශපාලනයකට සීමාවීමට අකමැති පිරිසක් ඒ තුළ සිටින නිසාත් මෙබඳු තීරණයකට එළඹ සිටී. එය වැදගත්ය. එහෙත් ප්‍රශ්නය පවතින්නේ එතන නොව මේ බලවේගය තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදී විභවය වඩාත් විවෘත තලයකට ගෙන එමින් සමකාලීන දේශපාලනය තුළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙනි.
ජාතික ජන බලවේගය අඛණ්ඩ විවෘත ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් ලෙස නිර්මාණය කරන අතරතුර ජාතික ජන බල පෙරමුණ ජනාධිපතිවරණය සඳහා යොදා ගැනීමේ ප්‍රායෝගික විසඳුමක් දැනට ක්‍රියාත්මක වේ. එහෙත් අර්බුදය පවතින්නේ මෙතන සංවිධිත දේශපාලන පක්ෂයක් ලෙස සිටින්නේ ජවිපෙ වීමත් පාක්ෂික ව්‍යුහයක් පවතින්නේ ජවිපෙට වීමත් මාධ්‍යවල බලය හා පිළිගැනීම ඇත්තේද ජවිපෙට වීමත් නිසාය. එහෙත් දැන් සංවිධානය ගොඩනැගී ඇත්තේ ජවිපෙට වඩා දෘෂ්ටිවාදාත්මක දියුණු තලයකය. ජවිපෙ එතුළ යම් බල රැහැනක් අල්ලාගෙන සිටින මුත් මේ සංවිධානය හුදු ජවිපෙ සංවිධානයක් නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පුළුල් සංවිධානයක අවශ්‍යතාව

ජාතික ජන බලවේගය වාමාංශික ගර්භාෂයකින් ඉපදී වැඩුණුමත් එය ඉදිරියේ ඇත්තේ හැකිතරම් වමෙන් ඉවත් වී ප්‍රජාතන්ත්‍රවාදය වෙත යෑමේ ඓතිහාසික වගකීමකි. ජවිපෙ මෙන්ම පෙරදී ජවිපෙ විරෝධීව සිටි විවිධ වාම කණ්ඩායම් හා වෙනත් සංවිධාන නියෝජනය කළ පරිණත දේශපාලන ක්‍රියාධරයන් දැන් කළයුත්තේ රටේ වර්තමානයේ පවතින මූලික දේශපාලන අභියෝග පිළිබඳ සැබෑ අවබෝධයකින් නව දේශපාලනයක නිරතවීමයි. නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම, අධ්‍යාපනය ඉතාමත්ම වේගයෙන් වෙනස් කිරීමට ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක නිරතවීම යනාදී ප්‍රශ්න මෙහිදී හදිසි අභියෝග ලෙස භාරගත යුතුය. එසේ නොවුණහොත් ඒකාධිපතිවාදී ප්‍රවණතා විසින් ගැමි ජනතාව බිලි ගැනීම ඒකාන්තය.

ප්‍රජාතන්ත්‍රවාදය හා රටේ ආර්ථිකය තුළ ඇති කළ යුතු ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ වෙන වෙනම ගමන් කළ යුතු ඈතින් පවතින දේවල් විය යුතු නොවේ. එය මෙරට ප්‍රගතිශීලී යැයි කියන දේශපාලන ධාරාවල පවතින ඓතිහාසික දුබලතාවකි. එම අර්බුදය ජනිත වන්නේ වාම ගර්භාෂයේ තිබෙන ඛේදවාචකය නිසාය. එම ඛේදවාචකය නම් ආර්ථික ජීවිතය වෙනස් කළ හැක්කේ මුළු මහත් සමාජ ක්‍රමයම පෙරළා දමන වාම විප්ලවයකින් පසුව යන්න තරයේ ඇදහීමයි. එසේ නම් ඔවුන් දේශපාලනය කරන්නේ කුමකටද? මහා විප්ලවය එනතෙක් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ ඇතිකර ගනිමින් වාම පැවැත්ම සුරක්ෂිත කරගැනීමටය. ඒ ඒ පැරණි විග්‍රහය දැන් මුළුමනින් ඉවත් කරගත යුතු වෙයි. එනිසා ඉටු කළ හැකි ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ප්‍රජාතන්ත්‍රවාදය යට සටන් පාඨය ජන බල පෙරමුණ තුළ වර්ධනය කරගැනීමට සිදුවෙයි.

ඒකාධිපතිවාදයක් පැමිණෙන්නේ නම් යූඇන්පියේ හා ජනබල පෙරමුණේ දියුණු කොටස් අතර සන්ධානයක් නිර්මාණය කරගැනීම සඳහා පදනම දැන්මම නිර්මාණය කරගත යුතුව පවතී. එය බැලූ බැල්මට දුෂ්කර දෙයක් ලෙස පෙනෙන නමුත් ‘වාම’ ව්‍යාජයෙන් හා පැරණි මොඩලයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විවෘත ගැඹුරු කතිකාවෙන් බලන්නේ නම් එතරම් අසීරු දෙයක් නොවේ. නිර්මාණය කරගත යුත්තේ දේශපාලනික හා මානුෂික විශ්වාසයයි. ලංකාවේ මානව ජීවිතය තුළ ද නැත්තේ එයයි. ලංකාව වරින් වර ඒකාධිපතිවාදයට හෝ ප්‍රජාතන්ත්‍රවාදයට යන්නේ මේ විශ්වාසය ගොඩනගා ගැනීමට දක්වන අසමත් බව නිසාය. අවසාන දුෂ්කර මොහොත එනතුරු බල තණ්හාව හා වීරයා මමයි යන මෝඩ අදහසෙහි පිහිටා කටයුතු කිරීමෙන් පලක් නැත.

පැරණි දේශපාලන ගර්භාෂ අමතක කිරීම

ලංකාවේ දේශපාලන කරළියේ ඉහළ සිටින බොහෝ දෙනා නවීන චින්තනය, ප්‍රතිසංස්කරණ ගැන කතා කළත් ඔවුන්ට ආත්මීයව ඒවා සිදුකළ නොහැකිය. එයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන් උපත ලැබූ වාම ගර්භාෂවල පවතින දැඩි භේදයයි. එය උප්පත්ති දෝෂයකි. පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක වැඩ කිරීමේ විසංවාදී සංවාදය වෙනුවට කුඩා කල්ලි, කණ්ඩායම් (ඉඟුරු කල්ලි) නිර්මාණය කරගැනිමින් අනුන් කඬේ යවා නායකත්වයට පැමිණීම ඔවුන්ගේ ඓතිහාසික ගමන් මගේ අත්දැකීම් ලෙස සටහන් වී තිබේ. අනික් අතට වාමාංශිකයන් අතර 70 ගණන්වල සිට තිබෙන කුඩා කණ්ඩායම්වලට වර්තමානයේ පැවැත්මක් පවතින්නේ එබඳු පොදු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට අනුගතවීමෙන් පමණි.
දේශපාලනය තුළ වඩාත් දියුණුම භාවිතයක් නිර්මාණය කළහැක්කේ මේ මොහොතේ පවතින ප්‍රශ්නයට පිළිතුරු දීමෙනි. එය පැරණි පරපුරට අනුව ප්‍රතිගාමී මුග්ධ කියමනකි. එහෙත් වර්තමාන සමාජයේ යථාර්ථය එයයි. දිගුකාලීන සැලසුම් පැවතිය යුත්තේ සමාජ ආර්ථික කටයුතුවලට මිස දේශපාලන සංධාන නිර්මාණයට නොවේ.

සමාලෝචනය

2015 බලයට පත්වූ ආණ්ඩුව ප්‍රායෝගික මිනිසාට හිරිහැරදායක එකක් වූ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට සිදුකළ අනතුර අවමය. එයට හේතුව ඒ තුළ ඒකපාක්ෂික හෝ ඒක පුද්ගල බලයක් නතුව නොපැවතීමයි. එය ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර ලිහිල් වටපිටාවක් නිර්මාණය කළ එකකි. රාජපක්ෂ රෙජීමය හෝ ඉදිරියේ එතැයි සිතිය හැකි පාලක පැලැන්තිය වඩා තදබල බලයක් නිර්මාණය කරගතහොත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව වැටෙන්නේ අසරණ තත්ත්වයකටය. එය රට ඉතා නරක අඩියකට ගෙන යනු ඇත. එම නිසා ප්‍රජාතන්ත්‍රවාදය මුල් කොටගත් පුළුල් පෙරමුණක ප්‍රායෝගික අවශ්‍යතාව අප ඉදිරියේ පවතී. පටු බල කණ්ණාඩියෙන් ඔබ්බට ගොස් ඒ ගැන සිතිය යුතු මොහොත එළැඹ තිබේ. අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා වැඩක් නැත.