වමේ ව්‍යාපාරයේ අසාර්ථකත්වය

වික්ටර් අයිවන්

ලංකාවේ වර්ධනය වෙමින් තිබෙන සමාජ-දේශපාලන අර්බුදය සියලු දේශපාලන පක්ෂ කෙරෙහිත් බලපා තිබේ. හැම දේශපාලන පක්ෂයකම නායකයන් තම පක්ෂවල අසාර්ථකභාවය ගැන එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් කන්කෙඳිරි ගාන තත්ත්වයකට තල්ලු වී තිබේ. ලාල් කාන්ත ජනතා විමුක්ති පෙරමුණේ පැත්තෙන් මේ කන්කෙඳිරිය කරළියට ගෙනා පුද්ගලයා ලෙස සැලකිය හැකිය.

මේ ලිපියේ අරමුණ වමේ ව්‍යාපාරයේ අසාර්ථකභාවය සලකා බැලීමය. ලංකාවේ වමේ ව්‍යාපාර දෙකක් තිබුණි. එකක් සැලකෙන්නේ සාම්ප්‍රදායික වමේ පක්ෂ දෙක (සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය) පදනම් කරගත් පරණ වමේ ව්‍යාපාරය වශයෙනි. එය තිහේ දශකයෙන් ආරම්භ වී 70 දශකයෙන් අවසන් වේ. නව වාමාංශය ලෙස සැලකෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ පදනම් කරගත් ව්‍යාපාරය. එය 70 දශකයෙන් ආරම්භ වී අද දක්වා පවතී.

පරණ වමේ ව්‍යාපාරය ගැන කරන කතාව ඔවුන් ගැන මික් මෝර් (Mick Moore) කර තිබෙන හැඳින්වීමකින් ආරම්භ කිරීම සුදුසුය. “එය නුවණැත්තන්ගේ හා බහුශ්‍රැතයන්ගේ ව්‍යාපාරයකි. ඔවුහු සර්ව භෞමික ජාත්‍යන්තරවාදී පිරිසක් වූහ. ප්‍රධාන සියලුදෙනා විදේශ අධ්‍යාපනයක් ලැබූ අය වූහ. සම කුල නොවන, සම ජාතික නොවන, අවාහ විවාහ කරගත් අය වූහ. නැතිනම් මිශ්‍ර විවාහවලින් පැවත එන්නෝ වූහ. වැඩි වශයෙන් ගොවිගම නොවන අවශේෂ කුලවලට අයත් ආගමික විශ්වාසයන්ගෙන් තොර පිරිසක් වූහ. බුද්ධිමය වශයෙන් විශිෂ්ටයන් වූවා සේ ම දක්ෂ නායකයෝද, දක්ෂ කථිකයෝද පාර්ලිමේන්තු දේශපාලන ක්‍රමය පිළිබඳව විශාරදයෝ ද වූහ.”

මාක්ස්වාදී හිස හා ලිබරල්වාදී කඳක්

සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරය මාක්ස්වාදී හිසක් ද, ලිබරල්වාදී කඳක්ද තිබුණු ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකිය. ඔවුහු මාක්ස්ගේ සමාජවාදී ආර්ථික ක්‍රමය පිළිගත්තත් මාක්ස්ගේ ප්‍රචණ්ඩ විප්ලව න්‍යාය කරට ගෙන ක්‍රියා කළ පිරිසක් ලෙස සැලකිය නොහැකිය. ලිබරල්වාදී අර්ථයෙන් ඔවුහු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස සැලකිය හැකි වුවත් ලිබරල් ආර්ථික න්‍යායයන් පිළිගත් පිරිසක් ලෙස සැලකිය නොහැකිය. පරණ වමේ නායකයෝ පීඩිත පන්තියෙන් පැමිණි පීඩාව නිසා විමුක්තිය සෙවූ පිරිසක් නොවූහ. ඔවුන් මැද පන්තියෙන් පැමිණි පිරිසක් වූ අතර ධන තණ්හාවක් තිබුණේ නම් උපරිම දුරක් යාමේ හැකියාවක් තිබූ අය ලෙසද සැලකිය හැකිය. ඔවුන් වඩා හොඳ සාධාරණ ලෝකයක් දිනාගැනීමේ අවංක අරමුණින්ම වමේ දේශපාලනය තෝරා ගත් පිරිසක් ලෙස සැලකිය හැකිය.

ලංකාවට ගැළපෙන දේශීය ආධ්‍යාත්මයක් සහිත වමක් ගොඩනගා ගැනීමට අසමත්වීම ඔවුන්ගේ අසාර්ථකභාවය කෙරෙහි බලපෑ ප්‍රධානම හේතුව වී යැයි කිව හැකිය. ලංකාවේ නිදහස පිළිබඳ තියුණු කියවීමක් ඔවුන්ට නොතිබුණි. සභාග දේශපාලනයකට යන්නට පෙර සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ඔවුන්ට සංවේදී මතයක් තිබුණත් නූතන ජාතිය ගොඩනගා ගැනීමේ ඓතිහාසික අවශ්‍යතාව පිළිබඳව හරි අවබෝධයක් නොතිබුණි. ඔවුන් වැදගත් කොට සැලකුවේ ජාතිය ගොඩනැගීම නොව, පන්තිය ගොඩනැගීමය. ඔවුහු රටේ පැවති වැඩවසම් කුල ක්‍රමයට එරෙහිව හඬ නැගූහ. එහෙත් ඔවුන්ගේ එම සටන උඩුකය වසන්නට අවසර නොතිබුණු ජනතාවට උඩුකය වැසීමේ අයිතිය ලබාදෙන සරල රාමුවකට සීමා වූවා මිස එය තර්කානුකූල අවසානයකට ගෙන යන්නට දැන සිටියේ නැත.

දෙවැනි ලෝක යුද්ධය අවස්ථාවේදී සමසමාජ පක්ෂය එම ලෝක යුද්ධයට අභියෝග කරන තැනකට නොගොස් පක්ෂ තහනමක් පැනවෙන තැනකට යන්නට ඉඩ නොලැබෙන ආකාරයකට ක්‍රියා කළේ නම් ලැබෙන නිදහසේ ස්වභාවය මීට වඩා වෙනස් වී 1948දී ඔවුන්ට ලැබෙන පාර්ලිමේන්තු නියෝජනය ද ලැබුණු නියෝජනයට වඩා විශාල වන්නටද ඉඩ තිබුණි. සමසමාජ පක්ෂයේ දැඩි යුද විරෝධී ප්‍රතිපත්තිය නිසා 1941 ජූනි 11 වැනි දින සමසමාජ පක්ෂයේ ප්‍රධාන නායකයන් අත්අඩංගුවට ගන්නා ලද අතර, පක්ෂය ද තහනම් කැරිණි. අත්අඩංගුවේ සිටි නායකයන් සිරගෙදරින් පැන ගොස් ඉන්දියාවේ දේශපාලන කටයුතුවල නිරතවීම සඳහා ඉන්දියාවට පලා ගියත් ඒ පක්ෂයට පනවන ලද තහනම 1945 ජූනි අවසානයේදී ඉවත් කරන තෙක් ලංකාවේ දේශපාලන කටයුතුවලින් ඈත්ව සිටීමට එම පක්ෂයට සිදුවිය. ඒ නිසා ඔවුන්ට අහිමි වූ ඒ වසර 04 ලංකාවේ අනාගතය කෙරෙහි බලපාන බොහෝ දේවල් සිදුවූ වැදගත්ම වසර 04ක් ලෙස සැලකිය හැකිය. ඒ නිසා ඔවුන්ට තිබුණු රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජනය අහිමි විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන ගනුදෙනු හා සංවාද සිදුවූයේද එම වසර හතර තුළදීය. ව්‍යවස්ථා සම්පාදන විෂයට සිටි හොඳම විශාරදයන් දෙදෙනා (ඇන්.ඇම්. හා කොල්වින්) සිටියේද සමසමාජ පක්ෂයටය. රටින් පිටවී සිටීම නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි ඵලදායී බලපෑමක් කිරීමේ හැකියාව ඔවුන්ට අහිමි වී තිබුණි.

අනෙක් අතට එම පක්ෂය තහනම් කරන අවස්ථාව වනවිට ඔවුන් ජනතාව අතර සැලකිය යුතු තරමේ පිළිගැනීමක් හිමිකරගෙන සිටි අතර, එම අවුරුදු හතරේ විරාමය තුළ ලංකාවේ ජනතාව අතර වැඩ කරන්නට අවස්ථාවක් නොතිබීම නිසා හිමිකරගෙන සිටි ජනප්‍රියත්වය ඉහළ මට්ටමකට ගෙන යෑමට තිබෙන හැකියාව නැතිවිය. ඒ නිසා සමසමාජ පක්ෂයෙන් එල්ල වන බලපෑමකින් තොරව ව්‍යවස්ථාවට හා නිදහසට අදාළ කටයුතු තමන්ට අවශ්‍ය ලෙස හසුරුවා ගැනීමේ හැකියාව ඩී.එස්. සේනානායකට ලැබුණි. සමසමාජ පක්ෂය එම තීරණාත්මක වසර හතර අහිමි කර නොගත්තේ නම් පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන් ලබාගන්නා ආසන සංඛ්‍යාව ලබාගත් ආසන සංඛ්‍යාවට වඩා විශාල වන්නට ඉඩ තිබුණි.

පරණ වමේ පරිහානිය

පරණ වමේ පරිහානිය ආරම්භ වන්නේ සභාග දේශපාලනයට යොමුවීමත් සමගය. සභාග දේශපාලනයට යාම වරදක් යැයි මම නොකියමි. එහෙත් එසේ කළයුත්තේ තමන් එතෙක් අපේක්ෂා කරගත් හොඳ ප්‍රතිපත්ති ආරක්ෂා කරගන්නා ප්‍රතිපත්තියක පිහිටාය. එහෙත් සමසමාජ පක්ෂය ශ්‍රීලනිපය සමග සභාග දේශපාලනයකට ගියේ තමන් එතෙක් ආරක්ෂා කරගෙන පවත්වාගෙන ගිය හොඳ ප්‍රතිපත්ති අත්හරිමින් ශ්‍රීලනිප පවත්වාගෙන ගිය වර්ගවාදී ප්‍රතිපත්තිය වැලඳ ගනිමිනි.

සමසමාජ කොමියුනිස්ට් පක්ෂ සභාග දේශපාලනයට තල්ලු වූයේ දුර්වල තත්ත්වයක සිටිමින් නොව, ශක්තිමත් තත්ත්වයක සිටිමිනි. අගමැතිනිය ඇතුළුව ඇමති මණ්ඩලයේ ලොකු පිරිසක් අතර සමසමාජ නායකයන් කෙරෙහි ඇති කරගත් ලොකු ප්‍රසාදයක් සේ ම විශ්වාසයක් ද තිබුණි. පසුපෙළ මන්ත්‍රීවරුන් අතරද ඔවුන්ට ලොකු පිළිගැනීමක් තිබුණි. ඔවුන්ට ලබාදී තිබුණේද ඉතා වැදගත් හා බලවත් තනතුරුය. ඔවුන් ශ්‍රීලනිපයේ වර්ගවාදයට අනුගත නොවී දෙමළ ප්‍රශ්නය පිළිබඳව ශ්‍රීලනිපයේ නායකයන් සාධාරණ ලෙස කල්පනා කරන තැනකට ගන්නට උත්සාහ කළේ නම් භාෂා ප්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රීලනිප පවත්වාගෙන ගිය අධානග්‍රාහී ප්‍රතිපත්තියේ වෙනසක් ඇති කිරීමට ඔවුන් සමත් වන්නට ඉඩ තිබුණි. එහෙත් වමේ පක්ෂ දෙක ශ්‍රීලනිපයේ වර්ගවාදී ස්ථාවරයට අනුගතවීම තුළ දෙමළ විරෝධී ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට හේතුවූ අතර, 1972 කොල්වින්ගේ ව්‍යවස්ථාව හා විශ්වවිද්‍යාල සඳහා පවත්වාගෙන ගිය ප්‍රමිතිකරණ නීති වෙනම රාජ්‍යයක් හැර වෙනත් විකල්පයක් නැතැයි සිතන තත්ත්වයකට දෙමළ නායකයන් තල්ලු කිරීමට හේතුවිය.
ආණ්ඩු පක්ෂය ලෙස ක්‍රියා කළ ශ්‍රීලනිප හා වමේ පක්ෂ දෙක අතර ඇතිවූ භේදවල අවසාන ප්‍රතිඵලය වූයේ 1977දී එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් ලැබීම හා වමේ පක්ෂවලට තිබුණු පාර්ලිමේන්තු නියෝජනය මුළුමනින් අහිමිවීමය. ඒ සමග පරණ වමේ ව්‍යාපාරයේ පැවැත්මද අවසන් විය. දැන් පරණ වමේ ව්‍යාපාරය වෙනුවට තිබෙන්නේ එහි ඉතුරු බිතුරුය. පක්ෂ දෙකේම එක කොටසක් මහින්ද මතත්, තවත් කොටසක් රනිල් මතත් යැපෙන හාස්‍යජනක තත්ත්වයකට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය.

නව වම හෙවත් ජේවීපීය

නව වම ලෙස සැලකිය හැකි ජේවීපීයේ නායකත්වයේ සමාජ පසුබිම පරණ වමේ නායකයන්ගේ පසුබිමට වඩා මුළුමනින් වෙනස්ය. නායකයෝ සාමාන්‍ය තරමේ අධ්‍යාපනයක් ලැබූ පරණ වමේ නායකයන් තරම් උගතුන් හෝ බහුශ්‍රැතයන් නොවූහ. සර්ව භෞමික ජාත්‍යන්තරවාදී පිරිසක් නොවූ අතර, බොහෝ දුරකට මෙම දිවයිනට සීමාවූ දේශජ පිරිසක් වූහ. ඔවුන් විප්ලවකාරී වී තිබුණේද පරණ වමේ නායකයන් මෙන් දාර්ශනික හේතු මත නොව පීඩිත හේතු මතය. ජවිපෙ නායකයන් සියලුදෙනාම පාහේ නිර්ප්‍රභූ පසුබිමක් ඇති සාමාන්‍ය පාසල්වලින් අධ්‍යාපනය ලැබූ අය වූහ. එම ව්‍යාපාරයේ නායකයන් බොහෝ දෙනකු පරණ වමේ පක්ෂ දෙක වර්ගවාදී ආස්ථානයකට තල්ලුවීමෙන් පසු එම දේශපාලන ගර්භාෂයේ හැදුණු වැඩුණු වර්ගවාදී ආකල්ප සහිත අය ලෙස සැලකිය හැකිය.

මේ ව්‍යාපාරය සන්නද්ධ කැරලි දෙකකට නායකත්වය දුන්නේය. 1971 දී ක්‍රියාවට නගන ලද පළමු කැරැල්ලේ අභිලාෂය වී තිබුණේ හොර රහසේ එකම දිනක එකම වේලාවකදී රට පුරා තිබෙන පොලිස් ස්ථානවලට හා හමුදා කඳවුරුවලට පහර දී රටේ බලය අල්ලා ගැනීමය. එය රාජ්‍ය බලය ගන යථා තක්සේරුවකින් තොරව ක්‍රියාවට නගන ලද මෝඩ කැරැල්ලක් ලෙස සැලකිය හැකි අතර එම තරුණ කැරැල්ල වැඩි අපහසුවකින් තොරව පරාජය කිරීමට ආණ්ඩුවේ ආරක්ෂක හමුදා සමත් විය.
එම කැරැල්ල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිර්ප්‍රභූ ග්‍රාමීය සිංහල තරුණ කැරැල්ලක් ලෙස සැලකිය හැකිය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් 10192ක් අය අතරින් සියයට 92.8ක්ම වයස අවුරුදු 16ත් 32ත් අතර වූ අතර, සිංහල බෞද්ධ ගැමි තරුණ තරුණියෝ වූහ. ඔවුන් අතරින් සියයට 77ක් වයස අවුරුදු 17ත් 26ත් අතර වූහ. කැරලිකරුවන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 20ක් විය.

71 කැරැල්ලෙන් පසු ජවිපෙ

කැරැල්ලේ ප්‍රධාන නායකයන්ද ඇතුළුව කිසියම් පිරිසකට 1977දී එජාප ආණ්ඩුවක් බලයට පත්වන තෙක් අවුරුදු හතක් තරම් කාලයක් සිරගෙවල්වල සිටින්නට සිදුවූ අතර, විජේවීර සමග වැඩ කළ පරණ නායකයන් බොහෝ දෙනෙක් කැරැල්ලෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව සිටියද නිදහස ලැබීමෙන් පසු ප්‍රසිද්ධ දේශපාලනයට අවතීර්ණ වී නැවත ජවි පෙරමුණ තුන්වැනි බලවේගයක් ලෙස ස්ථාපිත කිරීමට විජේවීර සමත් විය. කැරැල්ල මැඬපැවැත්වීම හා තමන්ට උපරිම දඬුවම් දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් විජේවීර ශ්‍රීලනිප නායකයන් සමග බද්ධ වෛරයක් ඇති කරගෙන තිබුණු අතර ඒ නිසා එක්සත් ජාතික පක්ෂය සමග අනියම් ලෙස සහයෝගයෙන් ක්‍රියාකරන තැනකට තල්ලු වී සිටියේය.

1977 මැතිවරණයේදී විජේවීරගේ අනුගාමිකයන් එජාපයට ආධාර කළේය. බලයට පත් එජාප ආණ්ඩුව විජේවීර ඇතුළු සිරකරුවන් නිදහස් කිරීමෙන් පසු ආණ්ඩුව ශ්‍රීලනිපය මර්දනය කිරීම සඳහා ක්‍රියාවට නගන ලද වැඩසටහන්වලට විජේවීර ආධාර කළේය. ශ්‍රීලනිප නායිකා සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියාවට නගන ලද වැඩසටහනේදී විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ජනාධිපති ජයවර්ධන ශ්‍රීලනිප බෙලහීන කිරීමේ අරමුණ සඳහා විජේවීර යොදා ගත් අතර ඒ මගින් ශ්‍රීලනිප නැති භංග කොට තමන්ගේ පක්ෂයට ශ්‍රීලනිප හිමි කරගෙන සිටින තැන අත්පත් කරගැනීමට හැකිවේ යැයි විජේවීරද විශ්වාස කළ බව පෙනේ.
තමන් කල්පනා කරන විදිය යථාර්ථවාදී නොවන බව විජේවීර අවබෝධ කරගත්තේ 1982 ජනාධිපතිවරණයෙන් හිමිකර ගත් ප්‍රතිඵලයත් සමගය. සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කොට ඇයට ජනාධිපතිවරණයට තරග කිරීමට බැරි කර තිබූ තත්ත්වය ඉදිරියේ ජනාධිපතිවරණයට තරග කරන තමාට ශ්‍රීලනිප අපේක්ෂකයාට වැඩියෙන් හෝ නැතහොත් ශ්‍රීලනිප අපේක්ෂකයාට ළඟ ළඟ තරගයක් දීමට තමන්ට හැකිවනු ඇතැයි විජේවීර විශ්වාස කළ බව පෙනේ. එම ජනාධිපතිවරණයේ විශාල වියදමක් දරා ආකර්ෂණීය ඡන්ද ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමට විජේවීර සමත් විය. ඒ සඳහා යන වියදමෙන් වැඩි කොටසක් ලබාගන්නා ලද්දේ ඉරාකයෙනි. ඉරානය හා ඉරාකය අතර ඒ කාලයේදී ලොකු ගැටුමක් තිබුණු අතර ඉරාකය වෙනුවෙන් ඉරාන විරෝධී ප්‍රචාරක වැඩසටහන් ලංකාවේ ක්‍රියාවට නගන ඒජන්සි ආයතනය ලෙස ක්‍රියා කළේ විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණය. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉරාකය සතුටු කිරීම සඳහා කොළඹ වරාය අවට තිබියදී ලංකාවෙන් තේ කොළ රැගෙන යන ඉරාන නැවත් ගිනිබත් කරන ලදි. එහෙත් එම ජනාධිපතිවරණයෙන් විජේවීර අපේක්ෂා කළ ප්‍රතිඵලය ලැබුණේ නැත. කොබ්බෑකඩුව ඡන්ද 2548438ක් ගන්නා විට විජේවීරට හිමි කරගත හැකිවූයේද ඡන්ද 273439ක් පමණය.

ජේවීපී දෙවැනි කැරැල්ල

තමන් තෝරා ගත් පාර්ලිමේන්තු මාවත ඔස්සේ තමන්ට බලය ලබාගැනීමේ ඇත්ත හැකියාවක් නැති බව විජේවීර තේරුම් ගන්නට ඇත්තේ ඒ ප්‍රතිඵලයත් සමගය. විජේවීරගේ සමහර සමකාලීනයන්ට අනුව ඔහු ලැබූ එම ප්‍රතිඵලය ඔහු අන්ද මන්ද කිරීමට හේතුවිය. 83 කළු ජූලිය ඔහුට නැවත කැරලිකාර මාවතට එකතුවීමට අවස්ථාවක් ලබා දුන්නේය. 83 කළු ජූලියට විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණට කිසිම සම්බන්ධයක් නොතිබුණද තමන්ගේම ආණ්ඩුවේ සංවිධානාත්මක පිරිසක් ක්‍රියාවට නගන ලද එම තුච්ඡ වැඩසටහනේ වගකීම පවරන්නට ජනාධිපති ජයවර්ධනට විත්තිකරුවකු අවශ්‍ය වී තිබුණු අතර, ඒ සඳහා ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණද, නව සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය ද තහනම් කළේය. අනෙක් පක්ෂ දෙක තමන්ට එරෙහිව පනවන ලද තහනම ඉවත් කරගත්තද, විජේවීර දෙවැනි කැරැල්ලකට සූදානම්වීම සඳහා වනාන්තර ගතවීමට එය අවස්ථාවක් කරගත්තේය.

විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල මුළු රටම භීතියෙන් සසල කොට සමාජය මත උපරිම මට්ටමේ කෲරත්වයක් මුදාහළ කැරැල්ලක් ලෙස සැලකිය හැකිය. කැරලිකරුවෝ තමන්ගේ දේශපාලන හතුරන් පමණක් නොව, තමන්ට අවනත නොවූ අහිංසක මිනිසුන් ද තොග ගණනින් මරා දැම්මෝය. ඔවුන්ට ගරු කටයුතු අවමංගල්‍ය උත්සවයකටවත් ඉඩ නොදුන්හ. කැරලිකරුවන් විසින් විනාශ කරන ලද පොදු දේපළවල පරිමාව හා ඒවාහි වටිනාකම අතිවිශාලය. ඔවුන්ගේ එම කැරැල්ල රාජ්‍යයට උපරිම ලෙස කුරිරු වීමට මනා අවකාශයක් ලබා දුන්නේය. ඔවුන්ගේ එම කැරැල්ල රටට ලොකු විනාශයක් කළා පමණක් නොව, විපර්යාසයකට උනන්දුවක් දක්වන නිර්භීත තරුණ පරපුරක්ද රටට අහිමි කළේය.

ඒ මහා ඛේදවාචකයෙන් පසුව එම පක්ෂයේ ඊළඟට ගොඩනැගෙන නායකයෝ එම පක්ෂය විනාශකාරී කැරලිකාර මාවතෙන් ඉවත් කොට ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ගෙනාවෝය. එම පරිවර්තනය ඉතා දක්ෂ ලෙස ඔවුන් සිදුකළ අතර ඊට හිමි ගෞරවය ඔවුන්ට ලැබිය යුතුය.

පාර්ලිමේන්තු මාවතට ඒමෙන් පසු

එහෙත් කනගාටුවට හේතුවන දේ ලෙස සැලකිය හැක්කේ පරණ යල් පැනගිය ප්‍රචණ්ඩ මාවත අත්හැරීමට අවශ්‍ය කරන ප්‍රඥාව එම පක්ෂයට තිබුණද අලුතෙන් තෝරා ගත් පාර්ලිමේන්තු මාවත ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය ප්‍රඥාව එම පක්ෂයට නොතිබුණේය.

තමන් ලේ මත පිහිනූ පක්ෂයක් බව ඔවුහු අමතක කළෝය. එම අවලස්සන ඉතිහාසය තමන් පසුපස එන බව තේරුම් ගනිමින් එම තත්ත්වයෙන් අත්මිදීම පිණිස ලාවට නොව බැරෑරුම් ස්වයං විවේචනයකට එම පක්ෂය යායුතුව තිබුණි. ඒ සඳහා අවශ්‍ය කරන නිර්භීතභාවය හා ප්‍රඥාවද එම පක්ෂයට නොතිබුණේය.

සමස්ත ක්‍රමයේ ඇතිවී තිබෙන කුණුවීමට එරෙහිව නැගී සිටීම කෙසේ වෙතත් අඩුම තරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයක් වශයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන කුණුවීම කෙරෙහි බලපා තිබෙන ප්‍රධාන හේතු හඳුනාගෙන ඒවාට එරෙහිව හඬ නගන, ඒවා වෙනස් කරගැනීමට හේතුවන උපාය මාර්ගික වැඩසටහනක් එම පක්ෂය විසින් ක්‍රියාවට නැගිය යුතුව තිබුණද එසේ කිරීමටද එම පක්ෂය අසමත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග ව්‍යාපාර කිරීම පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන කුණුවීම කෙරෙහි බලපා තිබෙන ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකිය. ඒ වරද අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන් කර නැතැයි ජවිපෙට තර්ක කළ හැකිය. තමන්ගේ මන්ත්‍රීවරුන් නීතියට පටහැනි එවැනි කුපාඩිකම් නොකරන තැනක තබා ගැනීම හොඳ දෙයක් වුවත්, තමන්ගේ පතිවත රැක ගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව මහජන ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරුන්ද රජය සමග ගජරාමෙට ව්‍යාපාර කරන බව එම පක්ෂය හොඳාකාරවම දැන සිටියේය. එම නින්දාසහගත හා දූෂිත තත්ත්වයට එරෙහිව එම පක්ෂය බලවත් ලෙස හඬ නගන හා සටන් කරන තැනකට ගියේ නම් එම පක්ෂයට එම විෂයෙහි ලොකු වෙනස්කම් දිනාගැනීමට හැකි වන්නට ඉඩ තිබුණු අතර එසේ වී නම් එම පක්ෂයට ලොකු මහජන ප්‍රසාදයක්ද හිමිකර ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි.

එහෙත් ජවිපෙ එම දූෂිත පාර්ලිමේන්තු ක්‍රමයෙන් පක්ෂයට අනියම් ලෙස ලබාගත හැකි ආර්ථික ඵලප්‍රයෝජන සඳහා එසේ කිරීමෙන් වැළකී සිටියේය. සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මොනම රටකවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු විරහිත වාහන ලබාදී පාවිච්චි කරන වාහනයට ලොකු ඉන්ධන දීමනාවක් දෙන්නේ නැත. ගණන් පියවීමක් නැතිව කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා මසකට රුපියල් ලක්ෂයක් වැනි දීමනාවක් ලබාදෙන්නේ නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් තමන්ට ලබාදෙන ඇතැම් දීමනාවල වරදක් හා දූෂිත බවක් ඇති බව දැන දැනම ජවිපෙට ඒවා තනි පුද්ගලයන් වශයෙන් නොව පක්ෂයක් වශයෙන් භුක්ති වින්දේය. ඒ මගින් දූෂිත හා අවම ක්‍රමයකින් අනියම් ලෙස ඵල ප්‍රයෝජනය ලබන පක්ෂයක් බවට පත්විය.

එවැනි වැරදි තිබුණද ජේවීපීය හෝ එහි මන්ත්‍රීවරුන් අනෙක් පක්ෂ හා එම පක්ෂවල මන්ත්‍රීවරුන්ට සාපේක්ෂව ගත් කල මුළුමනින් කුණු කූඩයට වීසි කළ හැකි පක්ෂයක් හෝ මන්ත්‍රී කණ්ඩායමක් ලෙසද සැලකිය නොහැකිය. එහෙත් සාපේක්ෂ වශයෙන් හොඳවීම පමණක් ප්‍රමාණවත් නැත. එම පක්ෂය මෙම දූෂිත හා අවම ක්‍රමයට එරෙහිව ඵලදායී කාර්යභාරයක් කරන පක්ෂයක් බවට පත්විය යුතුය.

මෙම ජනාධිපතිවරණයේදීද ඔවුන් කළ යුතුව තිබෙන්නේ ජනාධිපතිවරණයට යමින් තිබෙන දූෂිත හා අධම ක්‍රමයේ අවසානයක් ඇති කොට සමාජය හා රාජ්‍යය ප්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන මහජන වැඩසටහනක ප්‍රධාන කොටස්කරුවකු බවට පත්වීමය. ඒ සඳහා ක්‍රම විරෝධී බලවේගයන්ද එක පෙරමුණකට ගැනීම සඳහා ක්‍රිියාකිරීමය.
රටේ අර්බුදය උග්‍රවී තිබෙන තරම අනුව සැබෑ විපර්යාසයක් දිනාගත හැකිවනු ඇත්තේ මේ මොහොතේ සාම්ප්‍රදායිකවීමෙන් නොව අසම්ප්‍රදායිකවීමෙනි. මෙම දූෂිත ක්‍රමය ගැන සිංහල මහජනතාව අතර බලවත් කලකිරීමක් පවතී. ඔවුන්ට පැහැදිලි නැත්තේ ක්‍රමයේ වෙනසක් දිනාගැනීම සඳහා තෝරා ගත යුතු හරි මාර්ගය පිළිබඳවය. දෙමළ හා මුස්ලිම් ජනතාව ඉන්නේද උපරිම මට්ටමේ අසරණ හා අවුල්සහගත තත්ත්වයකය. එම සාධක දක්ෂ ලෙස කළමනාකරණය කරගැනීමට හැකි වෙතොත්, ජනාධිපතිවරණය මෙම දූෂිත ක්‍රමය හිර කොට ක්‍රමයේ පූර්ණ වෙනසක් සඳහා අවශ්‍ය මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනාගන්නා අවස්ථාවක් බවට පත්කරගත හැකිය. එම තත්ත්වය ජනතා විමුක්ති පෙරමුණ සේ ම අනෙකුක් විවිධ විකල්ප ව්‍යාපාරයන්ද බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතුය.