ගෝඨාට සජිත් දාමු

ටිරන් කුමාර බංගගමආරච්චි

ඇතැමුන්ගේ අපේක්ෂාව සනිටුහන් කරමින් ගෝඨාභය කරළියට ආ නිසා තවත් පිරිසකගේ බිය සනිටුහන් වූ බව කිව යුතුය. මේ මගේ කැමැත්ත නොව රටේ කැමැත්ත යැයි ගෝඨා නම් කරන්නට පෙර මහින්ද කියන විට සැඟවිය නොහැකි ඇත්තක්ද එළියට පැන්නේය. එනම් මේ මගේ කැමැත්ත නොවන බවය. සැබැවින්ම මහින්ද ගෝඨා පත් කළේ කැමැත්තෙන් නොවන බව පැහැදිලිය. වෙන කළ හැකි දෙයක් නොවුණු තැනය. මහින්ද ඇත්ත කියන අතරේ බොරුවක්ද කීවේය. ඇත්ත නම් මේ මගේ කැමැත්ත නොව කීමය. බොරුව නම් මේ රටේ කැමැත්ත කීමය. රටේ කැමැත්ත ගෝඨාද යන්න තීරණය කළ යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුවය. මේ මොහොතේ ගෝඨාව ඉල්ලුවේ මහින්ද කර තබාගෙන සිටි බැලයෝය. අද වීරවංශට, ගම්මන්පිලට මහින්ද කර තබාගෙන පළක් නැත. ඒ මහින්දට තරග කළ නොහැකි නිසාය. එසේ නම් ඔවුන් ඊට විකල්පය සෙවූ අතර යන්තම් හෝ ගොඩ යා හැක්කේ ගෝඨාගෙන් බව වැටහුණි. ඒ අනුව ඔවුහු ගෝඨා කරට ගත්හ. ඒ පරිදිම මහින්ද වටා සිටින තව බොහෝ අය ගෝඨා සරණ ගියහ. ඒ අනුව මහින්දගේ තීරණය අවසන් තීරණය වුවද ඊට බලපෑම් කිරීමට බොහෝ අය සමත් වූහ. අවසානයේ මහින්දට ගෝඨාගේ නම කියන තැනට පීඩනය ප්‍රබල විය. මහින්ද කළේ නිවේදකයාගේ භූමිකාව පමණි. ඇත්ත එයය. කොතරම් ප්‍රබල වුවත් මහින්ද මෙහිදී අසරණ විය. ගෝඨා ඊට වඩා ප්‍රබල විය. ඔහු තම සීමාවෙන් එහා ගොස් වැඩ කර තමාටම අපේක්ෂකත්වය ගන්නා තැනට පත්විය. මෙය මහින්ද දුන්න දේකට වඩා ගෝඨා ගත්ත දෙයක් කීම නිවැරදිය. එදා චන්ද්‍රිකා එලවා බලය ඇල්ලීමට මහින්ද යටින් ගේම් ගැසුවේ කෙසේද? මෙදා ගෝඨාභය ඒ ටික එළිපිටම කළේය. මහින්ද ගෝඨාව එසවූවා නොව ගෝඨා මහින්දගේ කරට නැග්ගේය. දැන් විය යුතු දේ එලෙසම වී ඇත. මොනයම් හේතුවකට ඡන්ද කල් නොගියහොත් ගෝඨා තරග කරනු නැවැත්විය නොහැකිය. ඇතැම් අය කියන පරිදි ගෝඨා පෙන්නා අවසාන මොහොතේ වෙන කෙනෙක් දමනවා වැනි කතා මන්ද මානසිකය. එයා පෙන්නා මෙයා දැමිය හැකි අය ඇත. එහෙත් ගෝඨා සමග එවැනි සෙල්ලම් කිරීම විහිළුවකි. කොටින්ම එවැනි උපකල්පනම පිස්සුය.

ගෝඨාට ඇති බය

ගෝඨාභය තරග කළහොත් ලේසියෙන්ම පරාජය කළ හැකියැයි කී එජාපය දැන් ගෝඨා නම් කළ පසු බයය. බොහෝ අය ගෝඨා නම් කිරීමත් සමග මරු කියවන්නට පටන් ගෙනය. මෙය එක්තරා විදිහකට මවන බයක්ද? ඇත්ත බයක්ද? පොහොට්ටුවට දිනන්නට නම් ගෝඨාම නොදා විකල්පයක් නොවීය. එසේ නම් ගෝඨාට බය නොවී එජාපය කළයුත්තේ ඊට හොඳ තරගකරුවෙක් දැමීමය. ගෝඨා ආවොත් රට ලේ විලක් වේ යැයි පෞද්ගලික බියක් අපට නැත. රටේ ජනතාව ඡන්දයෙන් තෝරා ගන්නේ නම් ඒ කවුරු වුව අපට කම් නැත. අනෙක ඕනෑම මිනිසෙක් හැම කල්හිම එකම විදිය යැයි සිතීමත් මුලාවකි. බටලන්ද අල්ලාගෙන රනිල් එන මග කාලයක්ම වසා දැමුවේය. එහෙත් රනිල් ආ පසු බටලන්දවල් ඇති නොවීය. එහෙත් රනිල් වැඩකරුවෙක් නොවීය. සැවොම හිතුවේ රනිල් මහා මොළකරුවෙක් වැඩකරුවෙක් කියාය. එහෙත් ඒ සියල්ල අද පුස්වී ඇත. ගෝඨා තමන්ම වැඩකරුවකු බව කියමින් සිටී. දැන් අප සුදුවෑන් පෙන්වා ඔහු නවත්වන්නට හදනමුත් එය ප්‍රාථමිකය. නැවැත්විය යුත්තේ ගෝඨා එයාම වැඩකරු බව කියන විට ඊට ප්‍රතිවිරුද්ධ හොඳ තරගකරුවෙක් යෙදීමය. එමෙන්ම ගෝඨා කළේ මැජික් බව ජනතාවට ඔප්පු කිරීමය. ඒ කිසිවක් නොකර ගෝඨා ආවොත් රට ඉවරයි කියමින් ව්‍යාජ බියක් මැවීම නොමනාය. ගෝඨා බලයට විත් මුල් වාරය ඉතාම හොඳම විය හැකිය. දෙවැනි වාරය වුව හොඳ විය හැකිය. ලසන්ත ඝාතනය හෝ සුදු වෑන් සිද්ධියක් දෙකක් පෙන්නා ජනතාවට ගෝඨා මාරයකු බව පෙන්වන්නට යනවා නම් එයම මුලාවකි. ඒත්තු ගැන්විය යුත්තේ ජනතාවට නම් ගෝඨා නායකයකු ලෙස රටට වැදගත් වේද? නැද්ද යන්න. නියම ප්‍රතිපත්තියක සිට ඔහු කළ වැඩ අභියෝගයට ලක් කොට පෙන්වාදිය යුතු අතර ඊට තරග කරන ප්‍රතිවිරුද්ධවාදියා ගෝඨා අබිබවා යන ප්‍රතිරූපයක් ජනතාව ඉදිරියේ මැවිය යුතුය. ඒ දේ කළ හැක්කේ කාටද? ඒ කවුරු වුවද එජාපයට නවතින්නට සිදුවන්නේ කොතැනද?

සජිත්

ගෝඨා මහින්දගෙන් බන්දේසියේ තබා අපේක්ෂකත්වය ඉල්ලා ගත්තේ නැත. උදුරා ගත්තේය. එය කවුරු හෝ රනිල්ගෙන්ද කළ යුතුය. අප මුල සිටම කීවේ මේ දේශපාලන ප්‍රවාහ දෙක නටවන්නේ මහින්ද සහ රනිල් කියාය. අනෙක් අය නටවන අය කොයි මොහොතක හෝ තමන්ටද නටන්නට වෙතැයි විශ්වාස කළ යුතුය. මහින්ද කොතරම් ප්‍රබල වුවත් මෙවර මහින්දට බාධාවක් විය. ඒ තරග කළ නොහැකිවීමය. තරග කළ නොහැකි අශ්වයෙක්ට කවුරු හෝ ඔට්ටු අල්ලන්නේ නැත. එවිට ඒ අශ්වයා අතහැර කෙසේ හෝ දිනිය හැකි අශ්වයකු තෝරා ගන්නේය. එය සිදුවී හමාරය. දැන් පොහොට්ටු නායකයා ලෙස මහින්ද පැත්තකය. ගෝඨා ආ මොහොතේ සිට මාධ්‍යවල දක්නට ලැබෙන්නේ ගෝඨාමය. අප ගියවර කී පරිදි දිලිත් ජයවීර දිනුම්ය. එසේ නම් ඉතිරි මෙහෙයුම ඔහු උපරිම කරනවා නියතය. ටිකෙන් ටික මහින්ද කෙනකු නැති තැනට පත් කොට එකම කෙනා ගෝඨා බවට පත්කරනවා සහතිකය. ඒ සඳහා මේ කල් උපරිමය. ජනතාවත් බොහෝ ඉක්මනට මහින්ද අතහැර දමනු ඇත. සැවොම ඉන්නේ ජයග්‍රාහකයා සමගය. දැන් බලය මහින්දගෙන් ගිලිහී හමාරය.

ඒ විප්ලවය එජාපය තුළත් අවශ්‍යය. ඒ වෙන කිසිවක් නිසා නොව එකම පිරිසක් හැමදාම විකාර කරනවා නම් ඒ අය පලවා හැරිය යුතුය. ගෝඨා ගෙන ඒමට ගැසූ ගැටම එජාපය තුළින් සජිත් ගෙන ඒමටත් ගසමින් සිටී. කවුරු මොනවා කිව්වත් පොහොට්ටුවේ තේරීම ගෝඨා නම් එජාපයේ තේරීම පතෝල වුවත් සජිත්ම විය යුතුය. පතෝල යන්න ගුණත් අගුණත් නැති කෑමකි. ඒ නිසා ලෙඞ්ඩුන්ට හොඳය. ඒ ගුණ නැතත්, අගුණ නොවන නිසාය. අමතක නොකළ යුත්ත නම් හැම කල්හිම එජාපයේ පිරිසක් සජිත්ව කරට ගත්තේ සජිත්ට ඇති කැමැත්තට වඩා රනිල්ට ඇති අකමැත්ත නිසාය. රනිල් බලය ලද විට හැමදා කළේ ඔහුගේ පිස්සු කල්ලිය සමග පිස්සු කෙළීමය. එහෙත් එජාපයේ පදනම තිබුණේ ඔවුන්ට වඩා අන් අයට වුවත් රනිල් උඩට ගත්තේ තම සමීපතමයන්ය. සරලව හිතුවහොත් අකිලට, සාගලට, වඩා ඇමතිකම් දරන්නට අජිත්ට, හර්ෂට බැරිද? එහෙත් රනිල්ට වුවමනා ඔහුගේ කැමැත්ත ඉහළට ගැනීමය. මේ රනිල් කැමැත්ත දියකර හැරිය යුතුය. ඊට මහින්ද මෙන්ම රනිල්වද පැත්තකින් තැබිය යුතුය. රනිල් මෙතැනදී මහින්දට වඩා ප්‍රබලය. එනම් මහින්ද තරගය අත අරිනුයේ තරග කළ නොහැකි බැවිනි. එහෙත් රනිල්ට තරග කළ හැකිය. ඒ නිසා ඔහුට වැඩි බලපෑමක් කළ හැකිය. එහෙත් ඇත්ත නම් රනිල් යනු කකුල් කැඩුණු අශ්වයෙකි. ඔහුට දිනන්නට බැරිය. ඔහු දමා ගෝඨාට තරගයක් දෙන්නට එජාපයේ කිසිවකු නොහිතනු ඇත. දැන් රනිල්ටත් අකමැත්තෙන් වුව සජිත් තෝරන්නට සිදුවනවා ඇත. එජාපයේ ගෝඨා සජිත්ය. ඔහුත් මෙවර අඩිය පස්සට නොගන්නා ගාණය. මීට පෙර වාර ගණනාවකදීම රනිල් සජිත් නොව එජාපයම රැවටුවේය. ඔක්තෝබර් 26 මහින්ද අගමැති වූ පසු ඔහුගේ අගමැතිකම රැකගන්නටද එජාපය උපරිම පාවිච්චි කළේ අගමැති වූ සැණින් වෙනස් වන පොරොන්දුව ලබාදෙමින්ය. එහෙත් රනිල් වෙනස් වන මිනිසකු නොවේ. රනිල්වද බලෙන්ම පන්නා දැමිය යුතු කෙනෙකි. මෙවර එය විය යුතුය. රනිල් හිටියා ඕනෑවටත් වැඩිය. රනිල්ගේ දැක්ම ඉදිරියේ සජිත් ළාමක ලෙස දකින අය අමතක නොකළ යුත්තේ බලය ලබාගන්නා තෙක් සැවොම ළාමක බවය. මහින්ද පවා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ සිටි පසු කාලයට සාපේක්ෂව ළාමක අයෙකි. එහෙත් අද කිසිවකු එසේ කියයිද?

සජිත් බලයට ගෙන ඒම එකම අරමුණ කරගෙන ඇත්තේ මහරාජාය. එසේ නම් ළඟදී ආ දිලිත් ජයවීරට ගෝඨා ගෙන ආ හැකි නම් විද්‍යුත් මාධ්‍ය ගෝඞ් ෆාදර්ට සජිත් ගෙන ආ නොහැකිද? දැන් ඒ තරගයත් කරළියට පැමිණ ඇත. අනෙක දේවල් බෝවන්නේ ඉතා වේගයෙනි. ඒ අනුව එජාපයේ තේරීම සජිත් විය හැකිය. කරුව ගේන්න දඟලන අයට වඩා සජිත් ගේන්නට වලිකන අය ප්‍රබලය. හාන්සි පුටුවල ඉඳ දේශපාලනය කතා කරන අයට කරු මහා විරුවෙකි. ඒ ඉහත අය කරු නැටවිය හැකියැයි සිතන නිසාය. රනිල්ගේ කැමැත්තද සජිත්ට වඩා කරු විය හැකිය. එහෙත් මෙවර සජිත්ට නොදී හිටිය නොහැකිය. යම් හෙයකින් සජිත්ට නොදුන්නහොත් සජිත් සමග පිලක් එජාපයෙන් ගැලවෙනවා නියතය. එදා ප්‍රේමදාසට විරුද්ධව ලලිත්ලා එජාපයෙන් කැඩී ගියා සේ මෙවර රනිල්ට විරුද්ධ ඒ විප්ලවය සජිත් කරනවා නියතය. සිරිසේන වුව එකින්ම සජිත් සමග සිටගන්නවා ස්ථිරය. එබැවින් රනිල්ටත් නිවේදකයා වන්නට සිදුවනු ඇත.

මරු බඩු

යම් හෙයකින් එජාපයෙන් සජිත් ආවොත් තරගය උණුසුම්ය. ගෝඨාට ගැළපෙන එජාපයේ ඇති හොඳම තුරුම්පුව සජිත්ය. එසේ වුවහොත් තරගය විවෘතය. එමෙන්ම මෙවර තරගය සිහින ලෝකයෙන් මිදී පොළොවේ තරගයක් වනු ඇත. රනිල්වාදී මෙන්ම එජාපයේ අමුතු බුද්ධිමතුන්ට සාලයේ කකුල් සොලවමින් සිටි කාලය අතහරින්නට වනවා නියතය. අප කැමති වුවත් අකමැති වුවත් මෙවර නායකයා තේරීම පහළ පන්තියේ වැඩක් වී ඇත. 2015දී එය ඉහළ පන්තිය යැයි සිතා සිටින අය අරගෙන නාගත් ප්‍රමාණය දැන් නිරුවත් වී හමාරය. ඒ අයට කරු සමග වරු ගණන් සාකච්ඡා කරමින් සිටිය හැකිය. එහෙත් දැන් සජිත් නැවැත්විය නොහැකිය. රනිල් ප්‍රාණය දුන් මලික්ටත් සජිත් ඕනෑ නම් අමුතු මෝස්තරයක් වන මංගලත් සජිත් තෝරා ගනී නම් හීනි නූල් සූත්තරකාරියක වන චන්ද්‍රිකාත් සජිත් නොතෝරයිද? ගෝඨාට උත්තරයක් හොයන්නේ නම් ඒ සජිත්ය. ගෝඨා කර තබාගන්නේ සිංහල බෞද්ධ දේශප්‍රේමී ජනතාව නම් ඔවුන්ට සජිත්ව කර තබා ගන්නට දෙපාරක් සිතිය යුතු නැත. ජවිපෙ කවුරු දැම්මද මෙවර තරගය ඇත්තේ පිල් දෙකකය. ඒ දෙකම ප්‍රතික්ෂේප කරන අය ඡන්දය නොදා සිටින අය මිස ජවිපෙට දෙන අය නොවන බව සිතිය හැක. ගෝඨා මැරයෙක් නම් සජිත් ද මැරයෙක්මය. ගෝඨා පාරවල් හැදුවේය. සජිත් ගෙවල් හැදුවේය. සජිත් නායකයා වී ගෙවල් හදන්නේ යැයි කියන්නේ නම් ගෝඨා එදා කීවේ පාරවල් හදන එක ගැනය. තමන් කැමති දේ කීම කාගෙත් ස්වභාවයය. මොකක් හෝ එකක් හරි කරනවා කියන අය මුකුත්ම නොකර ඉන්නා අයට වඩා හොඳය. කවුරු හෝ ගෝඨා ආවොත් බිය විය යුතුනම් ඒ බිය සජිත් ආ කලද තබා ගැනීම වටනේය. එහෙත් අමතක නොකළ යුත්තේ මේ වනවිට ලංකාවේ දේශපාලනය කෙටිකාලීන වී ඇති බවය. එජාපය දාහත් වසරක් තිබූ බලය අත්හරින විට ශ්‍රී ලංකා එක එය ගත්තේ අවුරුදු පනහකටවත් නොදෙන පොරොන්දු පිටය. එහෙත් අවුරුදු විස්ස පන්නන විට තත්ත්වය වෙනස් විය. යහපාලනය එනවිට කීවේ අපෙන් නැවත ආණ්ඩු ගැනීම හීනයක් බවය. එහෙත් වසර පහක් ඉන්නට බැරිවිය. ඒ නිසා දැන් ඉන්නේ ඕනෑම ආශාවක් දෙයක් කෙටි කාලයක් විඳින ජනතාවකි. කවුරු වුව පිස්සු කෙළියහොත් ඉදිරියේදී එක් වාරයකින් පලවා හැරීම ජනතාව අතට ගනු නියතය. ඒ නිසා ගෝඨා නොව සජිත් වුව ජනතාවට යටත්ය. මහින්දට ඡන්දය දෙන විට මෝඩ ජනතාව වන අය යහපාලනයට දෙන විට උගත් ජනතාවය. දැන් මේ උගත් – මෝඩ ජනතාවට ඉදිරියේදී කවුරු පත් කළ යුතුද යන්න තීරණය කළ හැකිය. ඊට මේ දෙපැත්තේම පිරිස ඇති පදම් මේ ජනතාව ඇන්දවිය යුතුය. අන්දන තරමට ඔවුන් ඇන්දෙන අතර වඩා ඇන්ද වූ කෙනා තෝරා ගන්නවා ඇත. එමෙන්ම අවුරුදු පහක් යන තැන ඒ අය ඕනෑවටත් වඩා ඒ බව තේරුම් ගන්නා බවද කිව යුතුය. ජනතාව සිතිය යුත්තේ මේ ඇන්දිල්ල හැමදාම කළ යුතුද යන්නය.