කුමට මෙරට අධිකරණය, නීතිය සහ විනිසුරන්

රසික ගුණවර්ධන

පසුගිය අගෝස්තු මස තුන් වැනිදා වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තිළිණ රුවන් තිහාර ජයවර්ධන වෙඩි තබා ඝාතනය වීමත් සමග ඔහු හා සම්බන්ධ විවිධ ප්‍රවෘත්ති මාධ්‍ය හරහා පළවන්නට විය. එහෙත් ඒ බොහෝ තොරතුරු මේ වන තෙක් පරික්ෂණ මගින් තහවුරු කොට ගෙන නැත. ඒ නිසා ඔහු පාතාලයට සම්බන්ධ වී සිටි හෙයින් සිදු වූ ඝාතනයක් ද එසේත් නැතිනම් බන්ධනාගාරය තුළම සැලසුම් වූ පළිගැනීමේ අරමුණින් වූ ඝාතනයක්ද ඒ පිළිබඳව නිශ්චිතව සඳහන් කළ නොහැක. කෙසේ වෙතත් ඔහුගේ ඝාතනය සිදු වූ විගස ඔහු පාතාලයට සම්බන්ධ වී සිටි හෙයින් මෙම ඝාතනය සිදු වූ බවට මාධ්‍ය හරහා තොරතුරු පැතිරයාම හේතුවෙන් ඔහු කරා කිසියම් ආකාරයක ප්‍රතිරූපයක් ගොඩ නැඟුණු බව නොරහසකි. එහෙත් වැදගත්ම කාරණය නම් එය හරහා කිසියම් අපහසුතාවයකට පත් වන්නේ මිය ගිය ඔහු නොව ජීවත්ව සිටින ඔහුගේ ඥාතීන්ය. මියගිය ජේලර්වරයාට දරුවන් තිදෙනෙකි. ඔහුගේ එක් දරුවකු පසුගිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නාය. සිය පියාගේ ඝාතනයෙන් දිනකට පසුවය. පියාගේ මරණය හරහා මෙන්ම මරණයෙන් ඉනික්බිති පැතිර ගියා වූ විවිධ කට කතා හරහා වර්තමානයේ නොවුණද අනාගතයේ හෝ අපහසුතාවයකට මුහුණ දිය හැක්කේ එම කුඩා දරුවන්ය. අම්බලන්ගොඩ ප්‍රදේශයේ සංචාරය කළහොත් එහි දරුණුකම වටහා ගත හැකිය. අතීතයේ ඔහුව බොහෝ විශ්වාස කළ පුද්ගලයන්ට අද ඔහු පිළිබඳව ඇත්තේ සැකයකි. එය සිදු වන්නේ මෙම ඝාතනය හරහා නොව ඝාතනයෙන් අනතුරුව මාධ්‍ය හරහා වූ වගකීම් විරහිත හැසිරීම හේතුවෙනි.

මත්කුඩු සිදුවීම

ජයවර්ධනට එරෙහිව නැගුණු ප්‍රබලතම චෝදනාව නම් ඔහු, පොලිසිය විසින් මත්කුඩු වැටලීමක් සිදු කරන අවස්ථාවේ එම ස්ථානයේ රැඳී සිට පොලිසියේ අත්අඩංගුවට පත්වූ බවයි. එයින් අනතුරුව ඔහු වැඩ තහනමකට ද ලක්වන අතර පරීක්ෂණ වලින් අනතුරුව ඔහු උසස්වීමක් සමග වැලිකඩ බන්ධනාගාරය ප්‍රධාන ජේලර් බවට පත්වෙයි. මත්කඩු වරදකට චෝදනා ලැබ පරීක්ෂණයක් පවත්වා ඉන් අනතුරුව ඔහු උසස් වීමක් ද ලබා නැවත සේවයේ පිහිටුවීම තුළින් ඔහුට එරෙහිව එල්ල වන එම චෝදනාවෙන් ඔහු නිදහස් වී ඇත.
ජේලර් තිළිණ රුවන් තිහාර ජයවර්ධන පාතාලයට සම්බන්ධ වී සිටියාද යන්න පිළිබඳව අප දන්නේ නැත. එසේ සම්බන්ධ වී නො සිටියා ද යන්න පිළිබඳව ද අප දන්නේ නැත. ඒ එම කරුණු සඳහා අප සතුව සාක්ෂි නොමැති බැවිනි. එහෙත් අප ඔහු පිළිබඳව දන්නා කරුණු ඇත. ඒවා ඔබේ දැන ගැනීම සඳහා අපට සඳහන් කළ හැකිය.

ජයවර්ධන

ජයවර්ධන අප හඳුනාගන්නේ දූෂිත නිලධාරියකු වශයෙන් නොවේ. අප ඔහුව හඳුනාගනු ලබන්නේ දූෂණයට සහ වංචාවට එරෙහි නිලධාරීයෙකු වශයෙනි. ඒ ඔහු විසින් ගාල්ල බන්ධනාගාරය තුළ තුළ සිදු වන බොහෝ අක්‍රමිකතාවයන් පිළිබඳව අප වෙත විටින් විට හෙළි කළ බැවිනි.

ඔහු විටෙක අප හා සමග සඳහන් කළේ ගාල්ල බන්ධනාගාරය තුළට මත් කුඩු ප්‍රවාහනය වන ආකාරයයි. එහිදී ඊට සම්බන්ධ පුද්ගලයිද ඒ සඳහා බන්ධනාගාරය තුළදී උදව් උපකාර කරන ගාල්ල බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් ද ඔහු අප වෙත හෙළි කළේය. එසේම ගාල්ල බන්ධනාගාරය තුළ ඉහළ පෙළේ එනම්, මුදල් හදල් යහමින් ඇති සිරකරුවන් ගත කරන සැප ජීවිතද ඒවාට අනුග්‍රහය දක්වන ගාල්ල බන්ධනාගාරයේ ඉහළම නිලධාරීන් ද ඔහු අප වෙත හෙළි කළේය. එසේම ගාල්ල බන්ධනාගාරයේ ඉහළම නිලධාරීන්ගේ අනුග්‍රහය ඇතිව ගාල්ල ප්‍රදේශයේ ප්‍රධාන පිරිමි පාසල් දෙකක විදුහල්පතිවරුන් ද සම්බන්ධ වී සිදු කරන පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ ජාවාරමක් ද ඔහු අප වෙත හෙළි කළේය. එසේම ගාල්ල බන්ධනාගාරයේ ඉහළම නිලධාරියකු විසින් ආරම්භ කරන ලද තරු පහේ විලා (Villa) හෝටලයක් ද ඔහු විසින් ඉදිකරන ලද විශාල නිවාසයක් ද පිළිබඳව තොරතුරු අප වෙත හෙළි කර ඇත.

ඔහු හෙළි කළ කරුණු බොහෝ විවාද සම්පන්න බැවින් ද, ඔහු චෝදනා කළ නිලධාරීන් ගාල්ල බන්ධනාගාරයේ පරිපාලනයට සම්බන්ධ ඉහළම නිලධාරීන් වන බැවින් ද, අනෙක් අතින් ඔහු හෙළි කළ කරුණු හරහා මේ රටේ නීතිය සහ ආරක්ෂාව පිළිබඳව මහජනතාව තුළ දෙගිඩියාවක් ඇති විය හැකි බැවින්ද අපට ඔහු සඳහන් කළ සියලු කාරණා සඳහා සාක්ෂි සෙවීමට අවශ්‍ය විය. සැබැවින්ම එම කාරණා සඳහා සාක්ෂි සෙවීම ඉතා පහසු කර්තව්‍යයක් නොවීය. ඒ සඳහා හේතු වූ එක් කාරණයක් වූයේ ජේලර් ජයවර්ධන බන්ධනාගාරය තුළම සේවය කළ බැවින් අප සොයා ගන්නා සෑම තොරතුරක්ම ඔහුව අනාවරණය නොවන ලෙස සොයා ගත යුතු බැවිනි. එසේම ඇතැම් තොරතුරු රහස්‍ය වන හා එම තොරතුරු ගාල්ල බන්ධනාගාරයේ ඉහළම නිලධාරීන්ගේ යටතේ පවතින බැවින් එම තොරතුරු විකෘති වීමකින් තොරව ලබා ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවිය. සැබැවින්ම ඔහු මිය යන මොහොත වන විට හෝ අපට ඔහු හෙළි කළ කරුණු පිළිබඳව බොහෝ සාක්ෂි සොයා ගත නොහැකි තත්ත්වයක් උදා විය. එහෙත් ඔහු හෙළි කළ ඇතැම් කරුණු සම්බන්ධ සිද්ධීන් හා ඒ සම්බන්ධ ඇතැම් සාක්ෂි අප සතුව ඇති බැවින් නුදුරු අනාගතයේ දී එම සිදුවීම් කිහිපයක් හෙළි කිරීමට හැකි වනු ඇත.

ජයවර්ධන ජීවත් වූ නිවස දුටුවිට ඔහු දූෂිත නිලධාරියකු නොවෙතැයි අනුමාන කළ හැකිය. මක්නිසාද ඔහු ජීවත්වූ නිවස ඉතා පැරණි අලුත්වැඩියා නොකළ නිවසක් බැවිනි. එහෙත් ඒ නිසාම ඔහු දූෂිත නොමැති යැයි අප විවරණ නොදෙන්නේ විශාල මන්දිරයක් නොතිබීම නිසාම යමෙකු දූෂිත නොවේ යැයි පැවසීම උගටහ නිසාය. කෙසේ හෝ මෙම ඝාතනය සිදුවන විට ජයවර්ධන තවත් මාස දෙකකින් පමණ ගාල්ල බන්ධනාගාරයට නැවත ස්ථාන මාරුවක් ලබා පැමිණීමට නියමිතව සිට ඇත.

එසේම ජයවර්ධන අප සමඟ නිරන්තරයෙන් පැවසූ කාරණාවක් නම්, ඔහුට විරුද්ධ ඉහළ නිලධාරීන් පිරිසක් ගාල්ල බන්ධනාගාරයේ සිටින බවත්, එම නිලධාරීන්ට පාතාල නායකයන් සමග ඉතා සමීප සබඳතා තිබෙන බවත්, ඒ හේතුවෙන් ඔහුගේ ජීවිතය සම්බන්ධව අවිනිශ්චිත බවක් ඇතිව තිබෙන බවත්ය. කෙසේ වෙතත් මේ නිසාම ඔහු තමන්ට ඇති ජීවිත තර්ජන පිළිබඳව පොලීසියට සහ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇති බවත් අප වෙත සඳහන් කර ඇත. කෙසේ වෙතත් අප මෙම ලිපිය ලියන මොහොතේ දී අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති අනුර ඉන්දික ගමගේ වෙතින් මියගිය ජයවර්ධන තමන්ට ජීවිත තර්ජන ඇති බවට පොලීසිය වෙත පැමිණිල්ලක් කර ඇත්ද යන වග විමසා සිටි අතර එහිදී ස්ථානාධිපතිවරයා පැවසූයේ පැමිණිලි පොත් විමර්ශනයකින් තොරව එවැන්නක් සඳහන් කළ නොහැකි බවයි. අප මෙම ලිපිය ලියන මොහොත වන විට ඝාතනය සිදු වී දින 11ක් ගෙවී ගොස් ඇත. ඒ තරම් කාලයක් ගෙවී ගොස් තිබියදී පවා තමන්ගේ පොලිස් බල ප්‍රදේශය තුළ සිදු වූ මිනීමැරුමකට අදාළ සරල සිද්ධියක් පිළිබඳව හෝ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා අප විමසන තෙක්ම සොයා නොබැලීම කෙතරම් පුදුම සහගත කරුණක් ද?

ජයවර්ධන සුදු නිළධාරියෙකු හෝ කළු නිළධාරියෙකු කියන්නට අප දන්නේ නැත. දෙපසටම විවිධ කතා තිබුණද මියගිය ඔහුව ලේබල් කිරීමට අපට උවමනාවක් නැත. ඒ නිසා සිදුවිය යුත්තේ ඔහුගේ පවුලේ කුඩා දරුවන් ඇතුලු ඥාතීන්ට ආරක්ෂාකාරී ලෙස ජීවත් වීමට පරිසරයක් නිර්මාණය කරදීමත්, අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමත්ය.
මොහු අප වෙත හෙළි කළ සියලු තොරතුරු ද ගාල්ල බන්ධනාගාරය හා සම්බන්ධ සිදුවීම්ය. මොහු ගාල්ල බන්ධනාගාරයේ උප ප්‍රධාන ජේලර්වරයාව සිටි හෙයින් ඒ පිළිබඳව විස්තර මොහු දන්නවා විය හැකිය. කෙසේ හෝ මාධ්‍ය වාර්තා වල ප්‍රකාශ වන ආකාරයට මෙම ඝාතනය සිදුව ඇත්තේ ගාල්ල බන්ධනාගාරයේ ඉහළ නිළධාරීන්ගේ සහ පාතාල නායකයකු වන පොඩි ලැසීගේ සම්බන්ධනයෙනි. පොඩි ලැසී මෙම ඝාතනයට දින කිහිපයකට පෙර ගාල්ල බන්ධනාගාරයේ සිටි අතර මේ ඝාතනයට ආසන්න දිනකදී කළුතර බන්ධනාගාරයට මාරුකර යවා ඇත. එම කාරණයට අනුව ද නිලධාරියාට දිගින් දිගටම ගාල්ල බන්ධනාගාරයේ සිදුවීම් හෙළිකළ හෙයින්ද මෙම ඝාතනයට ගාල්ල බන්ධනාගාරයේ ඉහළ නිළධාරීන් සම්බන්ධ වූ බවට යමෙකුට සැක කළ හැකිය. එහෙත් පරීක්ෂණයක් හරහා විධිමත්ම එම කරුණු තහවුරු විය යුතුය. එසේම අම්බලන්ගොඩ ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙම ඝාතනය හුදෙක් එක් ඝාතනයක් පමණක් නොවන බවත්, මෙය ඝාතන වැලක එක් ගොදුරක් බවත්ය. කෙසේ හෝ මෙසේ බල්ලන් බළලුන් මරන ගානට මිනිසුන් මරා දැමිය හැකිනම් නන්දා මාලනිය සේ අසන්නට ඇත්තේ, කුමට මෙරට අධිකරණය, නීතිය සහ විනිසුරන් වශයෙනි.