නිමල් අබේසිංහ

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලීසි කාන්තාවන්ට පහරදීම විලාසිතාවක් කරගෙන ද යන සිතිවිල්ල ඇතිවන්නේ නිට්ටඹුව පොලීසියේ නිලධාරීන් මහමගදී කාන්තාවන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සිතින් හැර යන්නට පෙර පමුණුගම පොලීසිය ද කාන්තාවකට පහරදෙමින් වැඩ අල්ලා ඇති බැවිනි.

මෙදා පොලීසිය පහරදී ඇත්තේ ලංකාවේ ඉපැරණිම පුවත්පතක් වන ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ මාධ්‍යවේදිනියකට ය. තිස් තුන් වියැති කාන්තාවක වන ඕ ආයුර්වේද වෛද්‍යවරියක ද වන්නීය. පමුණුගම පදිංචිකාරියක වන ඇය පොලිස් පහරදීම නිසා මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නිය.

රණවීර ආරච්චිගේ ඈන් මධුරංගනී රණවීර නම් වන ඇය පදිංචිව සිටින්නේ මීගමුවේ පමුණුගමය. සමාජ සත්කාරයන්ට ද උනන්දුවක් දක්වන ඈන් අගෝස්තු 12 දින පමුණුගම කතෝලික දේවස්ථානයේ දී ප්‍රදේශයේ අය වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය සායනයක් පවත්වා තිබේ. ඒ සඳහා ඇයට උදව් කරනුයේ තවත් ආයුර්වේද වෛද්‍යවරයකු වන සෙක්ස්ටස් වර්ණකුලසූරිය පියතුමාය.

‘දොළොස් වෙනි දා පැවැත් වූ ආයුර්වේද වෛද්‍ය සායනයට ගොඩක් දෙනා ආව. එදා සවස මම ගෙදර ගියේ බොහොම සතුටින්. දවස් ගණනාවක්ම මේ සායනය තියන්න මහන්සි වුණු නිසා පහුවදා (13 වෙනිදා) මට ඇහැරුණේ ටිකක් ප්‍රමාද වෙලයි. ඒ වෙන කොටත් මම හිටියේ ඇඳට වෙලා. මම හිතන්නේ වෙලාව උදේ නමයට නමයයි තිහට විතර ඇති. පුතා ඇවිත් කීව පොලීසියෙන් ඇවිත් ඉන්නවා කියල’

පහරදීමේ සිද්ධියේ ඇරඹුම ඈන් මා ඉදිරියේ විස්තර කළාය. සිය පුත්‍රයාගේ දැනුම් දීම නිසා ඇය, මූණ සෝදාගෙන ඇඳ සිටි නිදන ඇඳුමට උඩින් තවත් ඇඳුමක් ඇඳගෙන කාමරයෙන් පිටතට අවුත් පැමිණ සිටි පිරිසගෙන් අසා ඇත්තේ ඔබලා කොහේ පොලිසියෙන් ද යනුවෙනි.

‘පේන්නේ නැති ද යකෝ අපි යුනිෆෝම් ඇඳගෙන ඉන්නවා. ආයෙ මොන පොලීසියෙන් ද කියලා අහන්නේ’ පිරිසේ ප්‍රධානියා ඇයට පවසා ඇත්තේ වියරුවෙනි.
‘ඒ කතාවලින් වැඩක් නෑ තමුසෙ එනව පොලීසියට යන්න.’ ඒ සමගම ප්‍රධානියාගේ මුවින් කුණුහරුප වැලක් ද පිට විය.

‘මට මෙහෙම එන්න බැහැ, ගෙදරට අඳින ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. මූණ හෝදලත් නෑ. මම ලෑස්තිවෙලා එන්න ඕනේ. එසේ පැවසූ ඈන් නාන කාමරයට යන්න සූදානම් වෙන්න සිය කාමරයට ගොස් තිබේ.

‘ඒ එක්කම ඒ අයත් කාමරයට කඩාවැදුනා මම එතකොට නිදන ඇඳුම ඇඳගෙනයි සිටියෙ. ඇතුළට ඇවිත් හිටිය එස්.අයි. පෙරේරා කාමරය වීඩියෝ කරා. ඒ වීඩියෝ කරේ එයාගේ ෆෝන් එකෙන්. ඊට පස්සෙ මම බාත්රූම් එකට ගියා. පිරිමි ඔක්කොම ගේ ඇතුළේ.

‘නාන කාමරයට වැදුන ඈන් ශබ්ද නඟා පවසා ඇත්තේ ඔයගොල්ලො කාන්තා නිලධාරිණියක් එක්ක ආවේ නැත්නම් මට එන්න බැහැ යනුවෙනි.
ඇය නාන කාමරයේ සිටිමින් සිය හිතවතුන්ට ද සෙක්ස්ටස් වර්ණකුලසූරිය පියතුමාට ද ජංගම දුරකථනයෙන් මේ ගැන දැනුම් දී තිබේ.’
‘ඔය අතරේ මම පමුණුගම පොලීසියේ ඕ.අයි.සී. මහත්තයටත් කෝල් කරා ඔහු කීවේ මට පොලීසියට එන්න කියලයි.’

මේ සියල්ල ඇය සිදුකරනුයේ නාන කාමරයේ සිටිමිනි. ඒ අතරතුර නාන කාමරයේ දොරට තදින් පහර දෙන හඬ ද ඇයට ඇසුනේය. කාන්තාවක් කතාකරනු ද ඇසුනේය. පොලිස් කාන්කාවක් පැමිණ ඇතැයි සිතූ ඇය නාන කාමරයේ ‘දොර ඇරගෙන’ සිය කාමරයට ගියා. ඒ තුවායක් ඇඳගෙනය.

‘මම තුවාය ඇඳගෙන කාමරයට යන කොට එස්.අයි. පෙරේරා කෙලින්ම කාමරේට ආවා. මම ටවල් එක ඇඳගෙන ඉන්නේ කරුණාකරලා එළියට යන්න මට ඇඳුම් ඇඳගන්න ඕනේ කියලා එයාට කීවා.’
‘උඹ දන්නේ නෑ මගෙ හැටි ’යැයි පවසමින් කුණුහරුප වැලක් පිටකළ එස්.අයි. පෙරේරා පවසා ඇත්තේ දැනගනින් උඹව පොලීසියට අරන් යන්නේ ඇඳුම් නැතිව හෙළුවෙන් යනුවෙනි.

මේ පොලීසියේ උන්මත්තක ස්වභාවයයි. තුවායක් පටලවා ගත් කාන්තාවක් සිටින කාමරයට බලහත්කාරයෙන් කඩාවැදී කාමරයේ බඩුභාණ්ඩවලත් ඇයගේත් වීඩියෝ ඡායාරූප ගන්නට තරම් ඔවුන්ට හයියක් තිබී ඇත්තේ කාකි ඇඳුමේ උණුහුමින් ලැබෙන උද්ධච්චකම නිසා නොවේද?

කෙසේ හෝ ඇය සාරියක් ද ඇඟ දවටාගෙන නිවෙසින් එළියට පැමිණෙද්දී පැමිණ සිටි පොලිස් කාන්තාව ඇයව ජීප් රිය තුළට තල්ලුකර ඇත. එයට ‘විරුද්ධ වූ ඈන්ගේ මවට ද සන්ධ්‍යා නම් වූ ඒ පොලිස් කාන්තාව පහරදුන් බව ඈන් පැවසුවාය.

පොලීසියට රැගෙන ආ ඈන්ව කෙලින්ම රැගෙන යන්නේ පමුණුගම පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයටය. ‘කාමරයේ හිටියේ ඔක්කොම පිරිමි. තව ගැහැණියකට හිටියේ සන්ධ්‍යා කියන මට පහරදුන් පොලිස් කාන්තාව පමණයි. ඈන් පවසන්නිීය.

පස්සේ මම ඕ.අයි.සී. මහත්තයට කීව මේ අය හැසිරෙන්න දන්නේ නෑ කියලා. එතකොට ෆාදර් සෙක්ස්ටස් පොලීසියේ හිටිය. ඊට පස්සේ ඕ.අයි.සී. මහත්තයා කීවා’ මම මෙයාව රාජකාරියට බාධා කරා කියලා කූඩුවට දානවා කියලා.’

ඉන්පසුව ඇයව පොලිස් කූඩුවට දැමීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයාගේ කාමරයෙන් එළියට රැගෙන ගොස් තිබේ. එසේ රැගෙන යද්දී පොලිස් ස්ථානාධිපතිවරයා ඇයව නැවතත් රැගෙන එන ලෙස පැවසූ බැවින් ඇයව නැවත ස්ථානාධිපතිගේ කාමරයට රැගෙන විත් ඇත.

‘මේ වෙලාවේ එස්.අයි. පෙරේරා එකපාරටම පුටුවක් උස්සලා මට ගැහැව්ව මට එකපාරටම ඉන්ද වුණා. ඊට පස්සෙ මට පයිනුත් ගැහැව්වා. ඒ වෙලාවෙ මම ඕ.අයි.සී ගෙන් ඇහැව්ව ඔබගෙ කාමරයෙදිත් මට මෙහෙම වෙනවා නම් මගෙ ගෙදරදී මේ අය කොහොම හැසිරෙන්න ඇති ද කියලා.’

මේ අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයා ඇයට කතා කර පොලිස් නිලධාරීන් පිරිස සමඟ ඇති වූ ආරවුල ගැන විමසා ඇතත් ඇය පොලීසියට රැගෙන ආවේ ඇයි ද යන්න ගැන දැනුම් දීමක් කර නැත. අවසානයේ දී පොලිස් ස්ථානාධිපතිවරයා සෙක්ස්ටස් පියතුමාට පවසා ඇත්තේ හරි එහෙනම් ෆාදර් මෙයාව අරගෙන යන්න යනුවෙනි.
නිවසට ගිය ඈන් එදින රාත්‍රියේ ශරීරයේ වේදනාවන් දැනුන බැවින් පසු දින රාගම රෝහලට ඇතුළත් වී තිබේ.

පුදුමය වන්නේ මහා මංකොල්ලකාරියක සේ පොලීසියට රැගෙන ආ ඈන්ට එරෙහිව පැමිණිල්ලක් තිබූ බවක් පොලිස් නිලධාරීන් ඇයට පවසා නොතිබීමය. එයට හේතුව පමුණුගම පොලිසිය ඇයගෙන් කිසිදු ප්‍රකාශයක් ලබාගෙන නොතිබීමය.

අනෙක් ප්‍රශ්නය වන්නේ සෝදිසි වරෙන්තුවක් නැතිව ඈන්ගේ නිවෙසට පැමිණි පමුණුගම පොලීසිය ඇයගේ නිවෙස පරීක්ෂා කිරීම සහ ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කිරීමය.
කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවකු සිටින නිවසකට කාන්තා පොලිස් නිලධාරිණියක් රහිතව ඇතුළු වී පරීක්ෂා කිරීමය. වඩාත්ම පිළිකුල් සහගත සහ නින්දා සහගත කාරණාව වන්නේ රාත්‍රී නිදන ඇඳුමෙන් සහ තුවායක් ඇඳගෙන සිටින කාන්තාවකගේ කාමරයට පිරිමින් බලහත්කාරයෙන් ඇතුළුවීම සහ ඇයගේ ඡායාරූප ගැනීමය. කාකි නිල ඇඳුම ඇඳගත් පසු තමන්ට ඕනෑම දෙයක් කළ හැකිය සිතන බිං ඌරන්ගෙන් පොලීසියටම මෙන්ම මහජනයාට ද වන හානිය මේ සිදුවීමෙන් අපූරුවට ප්‍රදර්ශනය වීමය.
ඈන් වමත් මේ ගැන පොලීසියට පැමිණිලි කර නැත. එයට හේතුව පසුදාම ඇය රෝහල්ගත වීමය. රෝහල්ගතවීමේදී ඇය තමන්ට පමුණුගම පොලීසියෙන් පහරදුන් බව පවසා තිබේ. ඒ අනුව රෝහල රෝහල් පොලීසියට ද දන්වා ඇතත්. මේ වනතුරුත් රෝහල් පොලීසිය ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන නැත.

අගෝස්තු 16 දි ඇය හමුවට ආ රෝහල් පොලීසියේ නිලධාරියකු ඇගේ නම ගම හා උපන්දිනය අසා ලියාගෙන ‘අද හවස ඔයාගෙ ටිකට් කපයි යනුවෙන් පවසා පිටත්ව ගිය බව ඈන් කියන්නීය. රාගම රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ විශේෂයෙන්ම පොලීසියෙන් පහරදී ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ටිකට් කපන්නේ රාගම රෝහලේ පොලීසියෙන් ද යන පැනය ඇසීමට සිදුව තිබේ.

අපරාධ වරදක් සිදුව තිබෙද්දී රෝහලේ පොලීසිය විසින් ඈන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම ප්‍රමාද කිරීමේ රහස වෙනකක් නොවේ තම සනුහරේ අය බේරා ගැනීමය. මේ ගැන රෝහල් පොලීසියෙන් විමසූ විට එහි නිලධාරියකු ඇඟට කඩා පැන පැවසුවේ තමුසේ කවුද ඒව අහන්න. අපි අදාළ පොලීසියට දන්වල තියෙන්නේ. එහෙන් කටඋත්තර ගනියි යනුවෙනි.

 

මාධ්‍යවේදීනී ඈන් රණවීරට සිදු කළ පොලිස් පහරදීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විමසූ විට පැවසුවේ පහරදීම සම්බන්ධයෙන් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීම මත පමුණුගම පොලීසිය භාර සහකාර පොලිස් අධිකාරිවරයා විසින් පරීක්ෂණයක් සිදු කරන බවය