හකීම්, මනෝ, රිෂාඞ් සජිත් දෙසට හැරෙති රනිල්ගෙන් කමිටුවක්

ප්‍රියත්ත ප්‍රදීප් රණසිංහ

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට එාජාප නායක රනිල් වික්‍රසිංහ දැඩි මතයක සිටියදී එජාපෙ නියෝජනය කරන රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන් සහ මනෝ ගනේෂන්, එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා කළ යුතු බව ප්‍රකාශ කර ඇතැයි එජාපෙ නායකයෙක් පැවසීය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත්කර, අපේක්ෂකයා නම් කිරීමට පෙර සිය කඳවුරේ සන්ධානය වන ජාතික ප්‍රාතන්ත්‍රවාදී පෙරමුණ කඩිනමින් පිහිටුවීම සඳහා ක්‍රියා කරමින් සිටී. එම කමිටුවට එජාප රනිල් පාර්ශ්වයෙන් අඛිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, රවී කරුණානායක පත් කර ඇති අතර සජිත් පාර්ශ්වය වෙනුවෙන් කබීර් හෂීම්, මංගල සමරවීර පත්කර තිබේ. ඊට අමරතව එජාපෙ නායකයන් වන රාජිත සේනාරත්න චම්පික රණවක, රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, මනෝ ගනේෂන් ද එම කමිටුවට ඇතුළත්ය.
කෙසේ වෙතත් රනිල් සහ සජිත් ගේද සහභාගීත්වයෙන් පසුගිය අඟහරුවාදා (13) පැවති සාකච්ඡාවෙන් පසු සෙනසුරාදා (17) තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ අතර එහිදී ප්‍රධාන කරුණු 3ක් පිළිබඳ එකඟතාවකට පැමිණීමටද නියමිතව ඇතැයි රාවයට අදහස් දැක්වූ එජාපෙ නායකයා සඳහන් කළේය. එම කරුණු වන්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ව්‍යවස්ථාව අනුමත කිරීම, පක්ෂ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සහ අපේක්ෂකයා නම් කිරීම පිළිබඳ එකඟතාවකට පැමිණීමය.

එහෙත් ඒ සඳහා තීරණ ගැනීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීමට රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (15) වනවිටත් තීරණය කර නොතිබූ අතර, කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ එජාප මන්ත්‍රී කණ්ඩායම එකට රැස් කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන්ගෙන් ලිපියකට අත්සන් තැබීමේ ව්‍යාපාරයක්ද සජිත් පාර්ශ්වය ආරම්භ කර තිබිණි. ඊට මන්ත්‍රීවරුන් 60කගේ පමණ අත්සන් ලැබී ඇතැයි රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා රාවයට පැවසීය. එවැනි රැස්වීමකදී සජිත් ගේ නම අපේක්ෂකයා ලෙස සම්මත කර ගැනීම එම පාර්ශ්වයේ උපක්‍රමය වී ඇත.

කෙසේ වෙතත් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට වික්‍රමසිංහ මහතා දැඩි මතයක සිටින බව, එම පාර්ශ්වයේ අමාත්‍යවරයෙක් සහ මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයෙක් ප්‍රකාශ කළහ. ■