බලු පොරය

ශාන්ති දිසානායක

වෙලාවක් අවේලාවක් නැතිව අහන දකින බලු පොරය, බොහෝ විට ලේ වැගිරීමක් දක්වා දුරදිග යයි. හැඩකාර, දඟකාර ආදරවන්තිය වෙනුවෙන් මරාගෙන මැරෙන්නට වළි කන ආදරවන්තයන් රංචුවට කෑමක් බීමක් ගැන වගේ වගක් නැත. අඬු බඩු කඩාගෙන, ලේ පෙරාගෙන ආදරවන්තිය තමන් සතුකර ගන්නට නහින මේ ඉපැරණි හිත මිතුරන් දැකීමෙන් පවා අපි අන්දමන්ද වන්නෙමු. එපමණටම උන්ගේ විලාසය දුක්ඛදායකය. බිහිසුණුය. නා නා පැහැයෙන් යුක්ත බලු රංචුවේ තුවාලයක් නැති එකෙකු සෙවීම නිකිණි සොයන්නාක් සේ දුෂ්කරය.

ප්‍රේමයේ නාමයෙන් කා කොටා ගත්තද මේ නම් රාගය විනා අන් කිසිවක් නොවේ. මන්දයත් බැල්ලිය ගැබ් ගැනීමෙන් පසු මේ එකදු වල් බල්ලෙක්වත් ඇහැක් ඇර නොබලන බැවිනි. එකෙකු නොව පැටවුන් දහයක් දොළහක් ප්‍රසුත කළද ඒකි ඒ හැම දුක් පීඩාවක්ම තනිව විඳ දරා ගත යුතුය. දිවි පරදුවට තබා සටන් වැදි එක බල්ලෙකු හෝ සිය රාගය මුදා හළ බැල්ලියද එහි නියත ඵලය වන පැටවුන්ද පිළිබඳව අබැටක් තරමට හෝ කරදර නොවෙයි. මිනිසා තරම් උගත් හෝ ශ්‍රේෂ්ඨ නොවන සුනඛයාගේ ස්වභාවය එය විය යුතුය. එහෙත් දෙකන් රිදවන තරමට බුරන, දෙනෙත් හකුළුවා දන තරමට උනුන් හපාකන බලු රෑන දකින කල අපට එක්තරා මනුස්ස කොට්ඨාසයක් සිහිපත්වීම වළක්වාලිය නොහැක.
රට, ජාතිය හා ආගම වෙනුවෙන් දිවි පරදුවට තබන ඔවුන් කා කොටා ගන්නේ මැතිවරණ වේදිකා මතය. ඒ පොරය හැත්තෑ වසරකට වඩා පැරණිය. ඉදින් එසේ නම් මෙරට කොතෙක් සුඛිත මුදිත වී තිබිය යුතුද? එහෙත් හැත්තෑ එක් අවුරුද්දකට පස්සේත් අප පය ගසා හිඳින්නේ අසාර්ථක හා දූෂිත රටකය. නීතියේ ස්වාධිපත්‍යය වෙනුවට නීතිය විගඩමක්ව, මගඩියක් හා කෙවිටක්ව පොදු ජනතාව පීඩාවට පත්කරවන ආකාරයය. විනය හා නීතිය පිරිහුණු රටකට මේ ශ්‍රී ලංකාව කදිම උදාහරණයකි.

ජනාධිපති අපේක්ෂකයන් නම් කිරීමට පවා දේශපාලන පක්ෂ හැකිළෙන්නේ සමෘද්ධිය දෝරෙ ගලා යන බැවින් විය යුතුය. පොදු ජනතාවට ලබාදුන් අනේක පොරොන්දු ඉටුකිරීමට තුන් හිතකින්වත් නොහිතූ දේශපාලනඥයෝ තව තවත් පොරොන්දු හා සහන මලු ඉදිරිපත් කරන්නට රුසියෝය. එහෙත් ඉටු කළ පොරොන්දුවක් නැත්තෙන් ජනාධිපති අපේක්ෂකයන් ලෙස පවා කලඑළි බැසීම හැකි තාක් ප්‍රමාද කරති. ජනමාධ්‍ය, ජනාධිපතිවරණය බහුරූ කෝලමක් බවට හරවා ගෙන තිබෙන බව සැබෑය. එහෙත් කිසිදු දේශපාලන පක්ෂයකට සිය අපේක්ෂකයා අහවලා යැයි ජනතාව ඉදිරියට ගෙන එන්නට බැරි තරමේ අලකලංචි හා අට අනූවක් ව්‍යාධි තිබේ. රටේ උන්නතියට සිදුකළ යමක් හා ලෝකය තුළ රටක් ලෙස නැගී සිටීමේ ඉඩ ප්‍රස්ථා අහුරා ගත් දේශපාලන පක්ෂ මේසා තටමන්නේ ජනතා විරෝධයද, පිළිකුළද දැන හඳුනන බැවිනි. ජන ප්‍රසාදයක් ඇත්නම් සිය අපේක්ෂකයා නම් කිරීමද බලු පොරයක් වන්නේ නැත.

පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා හා හා පුරා කියා කල එළි බැස සිටියි. එහෙත් ගෝඨාභය රාජපක්ෂගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පැන නැගි ගැටලුවලට විසඳුම් දැකිය නොහැක. එහෙයින් ඒ අපේක්ෂකයා සම්බන්ධයෙන් වන චිත්‍රයද බොඳය. අඳුරුය. අනෙකුත් පක්ෂද ළඟදීම සිය අපේක්ෂකයන් නම් කරනු ඇත. ඉනික්බිති කුවේර රාජ්‍යයක් සඳහා ලබාදෙන දහසකුත් ප්‍රතිඥාවන්ගෙන් අපේ පුරවැසි දෙසවන පිරී ඉතිරී යනවා නිසැකය. ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම හීන දීන, මජර ක්‍රියාවක් කිරීමද හැම පක්ෂයකටම කජු කන්නා වගේ පහසුය. විනයගරුක හා ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නිරත වන ජවිපෙ හැරුණු කොට අනෙකුත් කිසිදු පක්ෂයකින් අපට හරබර දේශපාලන කතාවක් පවා අපේක්ෂා කළ හැකිද? නැවතත් ජාතිවාදයේ කුණපය ඕජස් ගලමින් වුව තලු මරනවා නිසැකය. මන්දයත් සිංහල බෞද්ධ ඡන්ද වැඩි වැඩියෙන් ගරා ගැනීමට ඒ බොහෝ පක්ෂ නොකරන ජඩ වැඩක් නැති බැවිනි. රට ලේ විලක් වුවද ඒ ලේ දහරාවේ පිහිනායමින් ඡන්ද ගොඩ වැඩි කිරීම ඔවුන්ගේ එකම අභිප්‍රායයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පුරසාරම් දොඩවමින් බලයට පත් හැම ජනාධිපතිවරයෙක්ම ඉතා ඉක්මනින් හා ඉතා සැහැසි ලෙස එකී පොරොන්දුව කඩ කළ වග අපට අමතක කළ හැකිද? ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කළ වගට මැසිවිලි නගමින් වුව ජනාධිපතිවරණය වෙනුවෙන් පොර බදන්නේ හුදෙක් නාමික ජනාධිපති ධුරයකින් සංතෘප්ත වනු පිණිසද? ඒ සම්බන්ධයෙන් ගැටලු රාශියක් පැන නැගී තිබෙන අතර නාමික ජනාධිපති ධුරයකට පවා මේ සා දැවැන්ත බලපොරයක් උද්ගතවීමට අපේ දේශපාලනඥයාගේ බල ලෝභය කියාපායි. කෙසේ හෝ වේවා රට ගොඩ නගන්නට බලය යදින දේශපාලන පක්ෂ ඒ සඳහා වන සැලසුම් ඉදිරිපත් කරනවා වෙනුවට නිසරු සම්ප්‍රලාප ඇද බාමින් සුපුරුදු පරිදි ජනතාව රවටන්නට කැස කවනවා නිසැකය. වසර හැත්තෑ එකක් මුළුල්ලේ නොකවඩා රැවටෙන මේ ජනතා බබා මෙවර හෝ යම් පරිණත බවක් පළ කරනු ඇද්ද? අනෙක් අතට වහා රැවටිය හැකි මේ ජනතා බබා කිසිකලෙකත් නොවැඩෙන මන්ද මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නේද?

රටක දේශපාලනඥයා ඒ රට තුළින්ම පැන නැගෙනවා විනා වෙනත් රටකින් හෝ වෙනත් ග්‍රහ ලෝකයකින් කඩාපාත් නොවෙයි. අපේ බුද්ධි හීන, වාචාල හා ධන තෘෂ්ණාවෙන් මඩනා ලද දේශපාලනඥයා අපේ ජනතාවටම ඔබියි. ජනතාව සම්බන්ධයෙන් අප මීට වඩා පැහැදිලි නිර්වචනයක් භාවිත කළ යුතු වෙමු. නිරතුරුව සාටෝප වාගාලංකාරතියෙන් අලංකෘත කරවන හා පුම්බා දමන ජනතාව දෙස තියුණු බැල්මක් හෙළිය යුතු මොහොත එළැඹ ඇත්තේය.

ආගමික භක්තියෙන් උතුරා යමින් පන්සල්, පල්ලි හා කෝවිල් කරා ඇදී යෑම විවේචනය කළ නොහැක. මන්දයත් ආගම ඇදහීම හෝ නොඇදහීම මානව අයිතිවාසිකමක් බැවිනි. එහෙත් පොදු ජනතාව දේවාල හා හාස්කම් ඇතැයි පැවසෙන ඕනෑම ගහක් ගලක් වෙත වැල නොකැඩී ඇදී යන කල අපට අප රටේ සාක්ෂරතාව පිළිබඳව උදම් ඇනිය හැකිද? මිථ්‍යාව කිරුළු පළන් රටක විද්‍යාව හා සාහිත්‍ය කලාව යනාදිය නොවැදගත් ලෙස සලකන රටක ජනතාව සම්බන්ධයෙන් කිසිවකුටත් සතුටුවීමට නුපුළුවන. දරිද්‍රතාවද, මිථ්‍යාවද හේතු කොටගෙන අන්ධකාරයේ වල්මත් වන බහුතර ජනයා නිවැරදි තීන්දු තීරණ ගනු ඇතැයි මහ ඉහළින් අපේක්ෂා කළ හැකිද? මෙතෙක් කල් එබඳු නිවැරදි තීන්දු තීරණ ගත්තේ නම් මෙරට පාර්ලිමේන්තුව උගත් බුද්ධිමත් දේශපාලනඥයන්ගෙන් සමන්විත විය යුතුය. එහෙත් ඒ වෙනුවට අප දකින්නේ අන්ත දූෂිත හා වංචාකාර, අතිශයින් අපරිණත, දේශපාලනඥයන් යැයි කිසිවිටෙකත් කිව නොහැකි තක්කඩියන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවකි. පළාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජනයද කවරාකාරදැයි ඉතා හොඳින් දන්නා බැවින් ඔවුන්ගේ පැටිකිරිය යළි යළිත් හාරා අවුස්සන්නට වුවමනා නැත. යම් ප්‍රදේශයක වෙසෙන අපකීර්තිමත්ම තැනැත්තා තෝරා පත්කර අරින්නට සිය වටිනා ඡන්දය පාවිච්චි කරන අපේ ඡන්දදායකයා හා උගත් බුද්ධිමත් පුරවැසි භූමිකාව අතර ඇත්තේ කොතරම් විශාල පරස්පරයක්ද? දේශපාලනයේ අ යනු ආ යන්නවත් නොදත් ලොකුම අපතයාට බලය ලබාදී ඔහු ඒ බලයෙන් මත්ව පීඩා ගෙන දෙන කල කරබාගෙන ඉන්නා තරමට සබුද්ධික ජනතාවක් මෙරට සිටිති. ඉතිං මෙවර ජනාධිපතිවරණයේදී අපේ ජනතා හැසිරීම කෙබඳු වනු ඇත්දැයි අනාවැකි කීම ඒ හැටි අපහසු වන්නේද නැත. ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් මත් කළ හැකි වහා මත්වනසුලු වඩා දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවට සහනාධාර අපේක්ෂාවෙන් පුල පුලා බලා සිටින ජනතාවද බලලෝභයෙන් මඬනා ලද දේශපාලනඥයා තරමටම ඇතැම්විට ඊටත් වඩා හානිකරය. භයානකය.

මනා සිහිබුද්ධියෙන් දුරදිග කල්පනා කොට තීරණ ගන්නට පිළිවන් ආත්ම ශක්තියෙන් අනූන මිනිසුන් වෙනුවට නොයෙකුත් ගස් ගල් හා දෙවි දේවතාවුන් වන්දනා මාන කරමින් යදින්නට පේවුණු පුරවැසියා හෙළා දැකීමෙන් මේ බරපතළ ගැටලුව විසඳාගත නොහැක. අධ්‍යාපනයද, ආගමද සුප්‍රමනිත මිනිසුන් බිහිකරන්නට අපොහොසත් වන්නේ නම් කලාව සතු කාර්යභාරයක්ද තිබෙන බව හා කලාව මෙන්ම ක්‍රීඩාවද ඉවත දමන්නට අප කටයුතු කරන්නේ මන්දැයි කල්පනා කළ යුතුය.

පැටිවියේ පටන් කොඳු බිඳ දමන ලද පරපුරක්, විභාග සමත්වීම සඳහාද, වැස්ස, නියඟය වැනි ස්වාභාවික ආපදාවන් අරබයාද දෙවි පිහිට යදින්නවුන් රටේ අතිශයින් තීරණාත්මක දේශපාලන සංසිද්ධියකදී නිවැරදි තීරණයක් ගනු ඇතැයි කෙලෙස සිතන්නද?

ජනතා අපේක්ෂා හෝ ජනතා පරමාධිපත්‍යය පිළිබඳව ඕනෑවටත් වඩා කතා කර තිබෙන නිසා මේ ඓතිහාසික මොහොතේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට වඩා වැදගත් වන්නේ පරිණත, සැබෑ පුරවැසියා වගකීම් සහගත හා රටද රටේ අනාගතයද වෙනුවෙන් හුදු ලාභ ප්‍රයෝජන අමතක කර දමා, දුර දක්නා නුවණින් ක්‍රියා කරන පුරවැසියකු නිර්මාණය කිරීම ඒ හැටි දුෂ්කර කාර්යයක් නොවේ. එහෙත් තෙම්පරාදු වූ මිනිසුන්ගේ ආකල්ප වෙනසක් හෝ සංවර්ධනයක් අපේක්ෂා කිරීමට වඩා අපේ බාල පරපුර හෝ මිථ්‍යාවෙන් අවිද්‍යාවෙන් ගලවාගෙන විමර්ශනශීලී ගවේෂණශීලී සිත් සතන් ඇත්තවුන් බවට පත් කිරීමේ දීර්ඝකාලීන හා ඵලදායී සැලසුම්ද, ක්‍රියාමාර්ගද අධ්‍යාපන අමාත්‍යාංශයට පමණක් නොව, පොදුවේ රජයට පැවරේ. එහෙත් දූෂණයට, භීෂණයට, ආවඩන ආසියාතික රටක රජයකින් ඒ සා විපර්යාසයක් හා ගුණාත්මක ව්‍යායාමයක් පැතීම පවා හුදු විහිළුවකි. ජනතාව වෙනස් නොකොට මේ මජර ක්‍රමයේ අවසානයක් දැකිය නොහැකි බව අප කොයි කවුරුත් සිහි තබා ගත යුත්තෙමු.