ඔලිම්පික් කමිටුවේ විරසකය

ඒ. වික්‍රමසූරිය

ක්‍රීඩාව දියුණු වන්නට නම් ඊට අදාළ ප්‍රධාන කොටස් සමාන්තරව ගමන් කළ යුතුය. පාසල් ක්‍රීඩාව වෙනම ගමනක් යන්නේ නම් ක්‍රීඩාවට කවදාවත් පැවැත්මක් නැත. අද වන්නේ එයමය. පාසල් ක්‍රීඩාව ක්‍රීඩා අමාත්‍යාංශය සමග එකක්ව ගමන් නොකරන තාක් මෙහි දියුණුවක් සිතිය නොහැකිය. ඔලිම්පික් කමිටුවත් නිතරම වෙනම ආරකට යන්නේ නම් එහි නරක ප්‍රතිඵල ලැබෙන්නේද ක්‍රීඩාවටමය. කාලයක පටන් ඔලිම්පික් කමිටුව හුදකලා වී ඇත. බලය සඳහා බොරු හුදකලා ගමනක් තෝරා ගත්තද අද වනවිට ඔලිම්පික් කමිටුව වැඩකට නැති තැනකට තල්ලුවෙමින් පවතී. ක්‍රීඩා අමාත්‍යාංශයට පසු ප්‍රබලතම ආයතනය ඔලිම්පික් සංගමයයි. එයට එදා තිබූ තේජස බලය අද නැති ගාණය. එය අද හුදකලා ට්‍රැවල් ඒජන්සියක් ගාණට වැටී ඇත. ජාත්‍යන්තර තරග ඇති කළ කාර්යක්ෂම වන ඔලිම්පික් කමිටුව ඉන්පසු සොහොන් කොතක් මෙන්ය. ඔලිම්පික් කමිටුවට එරෙහිව තවත් කමිටුවක් නිර්මාණය කරන්නට යද්දී අප එය දැඩිව විවේචනය කළේ ඔලිම්පික් කමිටුව සතු ගරුත්වය ඒ හරහා කෙළෙසන නිසාය. අනෙක් අතට කලක් එකට හොරා කෑ අය පසුව දෙපිළ බෙදී සුදනන් වන්නට යාමත් පිළිකුල් වූ බැවිනි.

පසුගිය කාලයේ බොහෝ අය ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් එල්ල කළ ප්‍රධාන චෝදනාව නම් එය ක්‍රීඩා අමාත්‍යාංශයට මෙල්ල නැති බවය. බැලූ බැල්මට ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ද හැසිරෙනුයේ එවැනි ආකාරයටම යැයි කිව හැකිය. ඕනෑම පැනයකට පිළිතුර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කියන තැන ඔවුන් සිටී. ක්‍රීඩා අමාත්‍යාංශය ඔලිම්පික් කමිටුවේ කුමන හෝ ක්‍රියාකාරකමක් විවේචනයට බඳුන් කළ වහාම ඔවුන් ලියනුයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවටය. ඔවුන් ද තම නියෝජිතයකු අරබයා ඇතිවන ප්‍රශ්නයක දෙපැත්ත නොසොයා එක් පැත්තක් ගන්නා තැනක ඇත. මේ නිසා ප්‍රශ්න විසඳනු වෙනුවට ප්‍රශ්න පැටව් ගසන්නට විය. ඔලිම්පික් සංගමයට එන මුදල් ගැන වුව ක්‍රීඩා අමාත්‍යාංශයට ප්‍රශ්න කළ නොහැකි තත්ත්වයක් උදාවී ඇත. මේවා සම්පූර්ණයෙන් වෙනස් විය යුතුය. හැම ආයතනයක්ම විනිවිදභාවයෙන් වැඩ කළ යුතුය. ඇතැම්විට එය එලෙස නොවන්නටත් ඇතැම් පිරිස් පොහොර දමනු පෙනේ.

ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා වරක් මාධ්‍යයට පවසා තිබුණේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා ඇමතිවරයා සමග සිය කමිටුවට කිසිදු ගැටලුවක් නැති බවත්, ඇත්තේ දෙපාර්ශ්වය අතර විරසකයක් බවය. එය කතාබස් කොට විසඳා ගැනීමට ඉඩක් නැත්තේ ඊට ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් ප්‍රතිචාරයක් නැති නිසා බවද ඔහු පැවසීය. මේ මොනතරම් ප්‍රාථමික කතාද? පොඩි ළමුන්ගේ කතා නොවේද? ක්‍රීඩා අමාත්‍යාංශය ඔලිම්පික් කමිටුව ගණන් නොගන්නේ ඔවුන් මුලදී වැඩ කළේ ක්‍රීඩා අමාත්‍යාංශය තුට්ටුවට දමා තිබූ නිසා විය හැක. එය පසුගිය කාලයේ ක්‍රියාවලින් පැහැදිලිය. එහෙත් එකම තත්ත්වය හැමදා පවතින්නේ නැත. වත්මන් ක්‍රීඩා ඇමතිට සහ නිලධාරීන්ට ඔලිම්පික් කමිටු නිලධාරීන් සමග එක මේසයකට ආ හැකිය. පැමිණ ගැටලු විසඳාගත හැකිය.

ඇතැම්විට ක්‍රීඩා අමාත්‍යාංශය මේ ගැටලුවේ මුලය. මහින්දානන්ද මෙන්ම ඔහුගේ ඥාතියා වූ අදටත් ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද මේ ප්‍රශ්න අවුලුවා දැමුවේය. ඒ හිතුවක්කාරී පිළිවෙත නිසා මේ තරම් මේ ප්‍රශ්න දුර ගියා සැබෑය. මුලදී ක්‍රීඩා අමාත්‍යාංශය විශ්වාස කළේ මෙරට ක්‍රීඩාව පවත්වාගෙන යෑම ඔලිම්පික් කමිටුවේද වැඩක් බවය. එය ඔලිම්පික් කමිටුවේ නොව ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩකි. එමෙන්ම කොතරම් අවංක වන්නට උත්සාහ කළත් ඔලිම්පික් කමිටුව හැසිරෙනුයේද තමන් මෙරට නීතියට යටත් නැති ගාණටය. ක්‍රීඩා අමාත්‍යාංශයට බැඳී නැති විදිහටය. ඔලිම්පික් කමිටුවට එලෙස සිටිය නොහැකිය. අනෙක් සංගම් මෙන්ම ඔවුන්ද මෙරට නීතියට යටත්ය. ඔලිම්පික් කමිටුවට ලැබෙන මුදල් මෙරට ක්‍රීඩාවට ලැබෙන මුදල් විනා කමිටුවේ නිලධාරීන්ගේ සුඛ විහරණයට ලැබෙන ඒවා නොවේ. විදෙස් තරගාවලියකදී ඒ අතරමැදි කොටස විතරක් කරන්නට ඔලිම්පික් කමිටුවක් වුවමනා නම් ඔලිම්පික් කමිටු යනු ට්‍රැවල් ඒජන්සියක්ද? කෝකටත් හේතුව ලෙස අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට යටත් කියමින් ඔවුන්ට මෙරට ප්‍රශ්නවලින් පලා යා නොහැකිය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, පුහුණුකරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම ඔවුන්ට කළ හැකි සහ කළ යුතු වැඩ වේ. ඒ ඉඩ ඔවුන්ට නිර්මාණය වී ඇත. ඒවා ඔවුන් කළ ඉහළම වැඩ යැයි ඒ අයම වර්ණනා කිරීම පිස්සුවකි. ඔවුන් ඒ දේවල් ඊට වඩා කළ යුතුය. අද ඔවුන් ළං කරගෙන ඇති සුසන්තිකා එදා කීවේ තමන්ට ඔලිම්පික් කමිටුවෙන් තේ කෝප්පයක්වත් දී නැති බවය. අද ඇය තම කමිටුවේ ව්‍යාජ තනතුරකට බඳවා ගෙන ඇත. ඒ සුසන්තිකාගෙන් ලොකු වැඩක් කර ගැනීමටද? නැතහොත් සුසන්තිකාට මුදලක් දී මෙල්ල කරගැනීමටද යන්න අමුතුවෙන් සිතිය යුතු නොවේ. සුසන්තිකා කාලාන්තරයක් ක්‍රීඩා අමාත්‍යාංශයේද නව ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්මාණය කරන තනතුරක් හෙබ වූවාය. එහෙත් සොයා ගත් එකුදු ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක් නොවීය. එය සුසන්තිකාගෙන් බලාපොරොත්තු වීමද එක අතකට මෝඩකමකි. ඇය ඔලිම්පික් දින්නේ 2000දීය. එතැන් සිට ඇය එය උගස් කරමින් දිවි ගෙව්වා විනා ඇය වගා දිගා කරගත් ක්‍රීඩා ප්‍රගමනයක් නොවීය. ඔලිම්පික් දිනූ පළියට පුහුණුකරුවකු විය නොහැකිය. ඊට සපුරාලිය යුතු බොහෝ දේ තිබේ. සුසන්තිකා උපදේශකයකු ලෙස තබාගෙන වැටුපක් ගෙවීම ඒ ඒ අයගේ වැඩකි. එහෙත් බොරු සංවර්ධන කෑලි එයට අමුණා ඇයට කළ නොහැකි වැඩ ඇගෙන් ගන්නා බවට බොරු ප්‍රචාරය කිරීම ජනතාව රැවටීමකි. ඒවාට රැවටෙන ජනතාවක් දැන් නැති බවද කිව යුතුය. ලංකාවේ හැමදේකම වටිනාකම් ශීඝ්‍රයෙන් නායයමින් තිබේ. රටේ දේශපාලනය මෙන්ම ක්‍රීඩාවේද අද සියල්ල විනාශය. ක්‍රීඩා ඇමති සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඔවුන්ගේ බලය ගැන නොදැනුවත්ය. අලියා තමන්ගේ තරම දන්නේ නම් ඇත්ගොව්වාට හෝ හෙණ්ඩුවට බය නැති බව ප්‍රසිද්ධ කතාවය. ක්‍රීඩා අමාත්‍යාංශයද තමන් සතු බලය ගැන මෙලෝ සංසාරයක් නොදනී. එලෙස දැන ක්‍රියා කළා නම් අද මේ රටේ මෙතරම් ක්‍රීඩා ප්‍රශ්න කඳු ගැසෙන්නේ නැත. ඔලිම්පික් කමිටුව නරක් කළේද ක්‍රීඩා ඇමැත්තෝමය. කලින් කලට තමාගේ වාසියට යහපතට ඔවුහු නීති නැවූහ. ඒවායේ හිඩසින් අදත් ලොකු ප්‍රශ්න නිර්මාණය වේ.

අද ඔලිම්පික් කමිටුව නරකයි කියන්නේ එදා ඔලිම්පික් කමිටුවේ සිටි අයමය. ඒ අයට එලෙස කියන්නට බැරි යැයි අප කොතනකවත් කියන්නේ නැත. එහෙත් ඒ අය යහපත් නැති බව නම් අපි හැම තැනම කියන්නෙමු. ඔලිම්පික් කමිටුවේ වත්මන් බලධාරියා ලෙස ක්‍රීඩා ක්ෂේත්‍රයේ පිළිගැනුම මැක්ස්වෙල්ය. ලේකම් තනතුර දරන ඔහු මේ අවුල්වල ප්‍රධානියා බව බොහෝ අයගේ චෝදනාවය. අනෙක් අතට බැලූ කල පෙනෙන්නේ හොඳට හෝ නරකට එහි වැඩක් කළ හැකි අයකුට ඉන්නේද මැක්සිම බවය. ක්‍රීඩා අමාත්‍යාංශය සමග ක්‍රීඩා ඇමති සමග කතාබහ කිරීම ඔලිම්පික් පදක්කමක් දිනනවාට වඩා ටිකක් අඩු අපහසු වැඩක් බව ප්‍රසිද්ධය. ඒ ක්‍රීඩා ඇමති අල්ලා ගැනීමට ඇති අමාරුව යැයි සංගම් බොහොමයක අඬ වැඩියාවය. ඇමතිට කියන්න වුවමනා දේ ලේකම්ට කීමෙන් පළක් නැති බවය. අද ක්‍රීඩා අමාත්‍යාංශයේ සියල්ල වන්නේ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් සහ වික්‍රමසිංහට වුවමනා පරිදිය. එය වෙනම කතා කළ යුතු දෙයකි. ඔලිම්පික් කමිටුවේ ශිෂ්‍යත්ව මත පුහුණු වැඩසටහන් ලබාගෙන විදෙස් ගතවිය. හැකිනම් අද ක්‍රීඩා අමාත්‍යාංශයේ කෙරුමකු වන වික්‍රමසිංහට ඔලිම්පික් නිලධාරීන් සහ ඇමති අතර හමුව පිළියෙළ කළ නොහැක්කේ මන්ද? විරසකව හිඳීමම ලැජ්ජා නැති කතාය. අද ලෝකයේ දියුණු රටවල් ක්‍රීඩාව අතින් නව මාන විවර කර ගනිද්දී අපිට අසන්නට ලැබෙන්නේ එයා අපිත් එක්ක තරහනේ, යාළුවෙන්න හැදුවට යාළු නැහැනේ පන්නයේ මොන්ටිසෝරි කතාය. ක්‍රීඩාව පවත්වාගෙන යෑම ඔලිම්පික් කමිටුවේ කාර්යයක් නොවූවට එහි පැවැත්මට කළ හැකි විශාල කාර්ය භාරයක් ඔලිම්පික් කමිටුව සතුය. ඒවායෙන් ලේසියෙන් ලිස්සා යෑමට ඔවුන්ට බැරිය. ක්‍රීඩා අමාත්‍යාංශයත්, ඇමතිත්, ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන් අතර විධිමත්, හරවත් කතාබහක් ඇතිවිය යුතුය. එය ක්‍රීඩාවේ යහපතට, ප්‍රගමනයට යොදාගත යුතුය. මේ සැවොම වැරදි කළ වුන්ය. ඒ නිසා සැමට නිවැරදි විය හැකිය. සැවොම මේ ක්‍රීඩාව විනාශ කළ වුන්ය. එබැවින් ඔවුන්ටම පව් සමාකර ගෙන වැඬේට ‘පේවිය’ හැකිය. 2020 ඔලිම්පික් යන්නට යාළු වී පළක් නැත. ඊට එහා කළ යුතු වැඩ අපමණය. ඒත් කොහෙන් කවුරු පටන් ගන්නේද යන්න ගැටලුසහගතය. මන්ද සැවොම තක්කඩි බැවින් එකෙකුවත් තම වරද පිළිගන්නට කැමති නැත.