ළමයින්ගෙ අනුලයියා

විමලනාත් වීරරත්න

රැස්වීම පටන් ගන්නටත් පෙර සිටම අනුර දිසානායක හිටියේ ජන ගඟ අස්සේ කළු රෙද්දක් යට සැඟවිලාය. ඔහුගේ තනි නොතනියට පක්ෂයේ ලොකු කුඩා සහෝදරවරු කිහිපදෙනෙක් වැඩිය එළියට නොපෙනෙන ලෙස රෙද්ද යට සැඟවී සිටියහ. ගාලු මුවදොරින් කොපමණ හුළං හැමුවත් සැඟවී සිටි පිරිස හිටියේ අම්බානට දාඩිය පෙර පෙරාය. මෙහෙම අපි විතරක් හැංගිලා ඉන්න එක නම් කිසිම තේරුමක් නැති වැඩක් කියා බැරිම තැන එක් සහෝදරයකු කීවේය. එතන සිටි වැඩිහිටි සහෝදරයෙක් අනුරගෙන් ඇසුවේ ඇත්තටම නායක සහෝදරයටයි අපි කට්ටියටයි මෙහෙම හැංගිල ඉන්න කිව්වේ ටිල්වින් අයියද කියාය. අපෝ නෑ කී අනුරගෙන් වැඩිහිටි සහෝදරයා ඊළඟට බරපතළ ඉරියව්වක් මවාගෙන කීවේ එහෙනම් මේක පොලිට් බියුරෝ එකේ තීරණයක් වෙන්න ඇති කියාය. ඒත් නැහැ කියා පිළිවදන් දුන්නේ අනුරට ඒ සහෝදරයා කීවේ එහෙනම් ඉතිං ෂුවර් එකටම මේක විජිත හේරත් සහෝදරයගෙ අදහසක් වෙන්න ඕනෙ කියාය. නෑහ් කියා හිනාවී කී අනුරගෙන් වැඩිහිටි සහෝදරයා ටිකක් මලපැන්න ලීලාවෙන් ඇසුවේ එහෙනම් මොන යකාද සහෝදරයා මෙහෙම සහෝදරයව හංගල තියන්න තීන්දුවක් ගත්තෙ කියාය. අනුර දේවහූව පැත්තේ හිනාවක් පා කීවේ අර ස්ටේජ් එකේ ඉන්න ජගත් මනුවර්ණලා, සමනලීලා තමයි අපි හැංගිලා ඉන්න ඕනෙ කියන බරපතළ තීන්දුව ගත්තෙ කියාය. අප්පට සිරි කී වැඩිහිටි සහෝදරයා කීවේ මම මෙච්චර වෙලා හිතුවෙම මේක සෙන්ට්‍රල් කමිටි එකේ ස්ට්‍රැටර්ජික් ප්ලෑන් එකක් වෙන්න ඇති කියාය.

ඒ සහෝදරයා අනතුරුව ඇසුවේ ඒක නෙමෙයි සහෝදරයා අපිට දිගටම හැංගිලා ඉන්න වෙයිද කියාය. අනුර සහෝදරයා කීවේ ඒක නම් තීන්දු කරන්නෙ සබරගමුව කැම්පස් එකේ ඩොක්ටර් සුනිල් සෙනෙවි කියාය. ඒ ගමන වැඩිහිටි සහෝදරයා මඳ කල්පනාවකට වැටී සිට කලබලෙන් මෙන් ඇසුවේ හරි ඉතිං මෙහෙම හැංගිලා ඉඳලා අන්තිමට කාගෙ නමද ප්‍රසිඩන්ට් කැන්ඩිඬේට් හැටියට එනවුන්ස් කරන්නෙ කියාය. අනුර කළු රෙද්දේ හිලකින් ගෝල්ෆේස් පිටිය සිසාරා ඇස යවන ගමන් කීවේ ඒ ඩිසිෂන් එක නම් ගන්නෙ ප්‍රොෆෙසර් අමරකීර්ති. අපිට ඒකට කොහෙත්ම බලපෑම් කරන්න බැහැ කියාය.

ඒ සහෝදරයා ඩබල් එකේම අනුරගේ කනට ළංවී ඇසුවේ එතකොට අපේ අයගෙ සැලසුම් මෙතන මොකුත් නැද්ද කියාය. අනුර දුක්බර ඉරියව්වකින් කීවේ තව සංවිධාන විසි ගාණක් එක්ක වැඩ කරන කොට තනි පක්ෂයකට කළ හැකි දේ අවමයි, ඒක ඓතිහාසික යථාර්ථයක් කියාය.
මේක නම් මාර පිස්සුවක් කියා දෙකන්සයෙන් දාඩිය පෙරමින් සිටි, පක්ෂය වෙනුවෙන් දුර ගමක හෙන කට්ටක් කන තරුණ සහෝදරයකුට මේ වෙලාවේ කියවුණේය. ඒ කතාවට අනුරත් ටිකක් අප්සට් ගිය අතර වැඩිහිටි සහෝදරයා කීවේ ඒ කාලෙ කවුරුහරි සහෝදරයෙක් ඔහොම ප්‍රකාශයක් කළා නම් ආයෙ දෙකක් නැහැ පහුවදාම ස්වයං විවේචනයක් කරන්න වෙනවා කියාය.

අම්මට සිරි කී තරුණ සහෝදරයාට වැඩිහිටි සහෝදරයා කීවේ එකපාරක් අපේ පක්ෂෙ සහෝදරයෙක් රෑ පෝස්ටර් ගහලා එන ගමන් මහන්සියට මිල්ටන්ගෙ මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි සිංදුව කිය කියා ඇවිත්, පහුවදාම විමුක්ති ගීයක් වෙනුවට ආදර ගීයක් කිව්ව එක ගැන ස්වයං විවේචනයක් කරන්න වුණා කියාය. එතන සිටි නිතර විහිළු කරන පක්ෂ සහෝදරයෙක් කීවේ ඉතිං මිල්ටන් මල්ලවආරච්චි වගේ ගායකයන්ගෙ භයානක සිංදු කියන්න එපා කියලා වේලාසනින් ඒ සහෝදරයට කවුරුහරි දන්න කෙනෙක් කියන්න තිබුණනෙ කියාය.

අනුර යළි විය සිදුරෙන් අහස බලනවා සේ කළු රෙද්දේ සිදුරකින් පිටිය දෙස බැලූවිට කලාකාරයෙක් කතා කරමින් සිටිනු දුටුවේය. අනුරට වඩා දෙතුන් ගුණයකින් තෙම්පරාදු වී සිටි වැඩිහිටි සහෝදරයා හිලෙන් බලා කීවේ ඔය සමහර මෑන්ස්ලා තමුන්ගෙ කතා පොත සාහිත්‍ය තරගෙට තියෙද්දි පැනල් එකේ ඉන්න එවුන්ගෙ ගෑනුන්වත් වර්ණනා කරලා පත්තරවලට ලිපි ලියන එවුං, ඔය යක්කු නම් අතේ දුරින් තියා ගන්න වෙයි අනුර සහෝදරයා කියාය.

අම්මට සිරි මේ යක්කු ඒ වගේ වැඩත් කරනවද කියා ඇසූ අනුර තදින් හිතා ගත්තේ ජනාධිපති වූ පසු ඔය වගේ හාදයන්ට ජනපති මෛත්‍රී වියන්ගොඩලාට දුන් බැස්ටියම දෙන්න ඕනෑ කියාය.

ජාතික ජන බලවේගය අනුර ජනාධිපති අපේක්ෂකත්වයට පත් කරන්නට යන ආරංචිය අනුරගෙන් වසන් කළත් අනුරගේ නෝනාගෙන් වසන් කළ නොහැකි විය. ඒ නිසා නෝනා අනුර ගෝල්ෆේස් එන දවසේ ගෙදර පක්ෂ සාමාජිකයකු වගේ සිටින පූසාවද අනුරගේ වැඩි ආරක්ෂාවට ගෝල්ෆේස් එවන්නට කටයුතු සැලසුම් කළාය. රට වෙනස් කළ යුතු බව සමහරු අවංක හැඟීමෙන් කියනවා ඇසුණත්, මෙච්චර කෙටි සැලසුම්වලින් ඒ වැඬේ කළ නොහැකි බව එදින හවස තුනේ සිට කතා සරිත් සාගරයේ වගේ කතා අසා සිටි පූසාට සිතුණි. එහෙත් අනුරගේ හිත රිද්දන්නට කල්පනා නොකළ පූසා අමු කම්මැලිකමේ වුවත් අනුර ළඟම නිදාගෙන උන්නේය. සුළඟ සැර නිසා අහුරලා සිටි කළු රෙද්දේ තැනින් තැන තිබුණු හිල් ටිකෙන් ටික ඉරී ලොකුවී තිබුණු අතර ඉන් පිටත බැලූ සැඟවී සිටි සහෝදරවරුන්ට පෙනුණේ පිට්ටනියේ වැඩිහිටි හා තරුණ පිරිස සමග කුඩා දරුවන්ද අතිවිශාල පිරිසක් දුව පැන නටමින් සිටින බවය. ළමයින්ගේ සද්ද බද්ද ඇසුණු විට අනුරගේ පූසාටද සෙල්ලටම හිත වැටුණේය. ඒත් අනුරගේ නෝනා කී දේ අකුරටම ඉටු කළ යුතු නිසා පිටියට නොගිය ඌ ළමයින් රොත්ත දෙස බලා අනුරට කීවේ මුං ටික ලොකු වුණාම ඡන්දෙ දිනන එක සිම්පල් කියාය. එතකොටම අවුරුදු පහේ හයේ එවුන් කෑගැසුවේ දෙදාස් තිස් පහේදී අපි අනුලයියට කියාය. සෙනඟ දැක උෂාර් වී සිටි ඇටුවම් බැහැපු ජේවීපී සහෝදරයෙක් කීවේ කෑනුගහා හිටපල්ලා මේ විදියට සෙනඟ ආවොත් දෙදාස් තිස්පහ වෙනකොට බිමලයියත් ජනපති කරන්න බැරිවෙන එකක් නැහැ කියාය. එතකොට ලාලයියට හුළංද කියා පොඩිකමට කොල්ලෙක් ඇසූ අතර ඇටුවම් සහෝදරයා කීවේ මිනිහා කියවපු අලුත්ම නවකතාව ස්පාටකස් කියලා දවසක් පත්තරයකට කියලා තිබුණා, ඒ සහෝදරයා ලෝකයේ පළවන අලුත්ම පොත් කියවන කෙනෙක් නිසා පක්ෂෙන් ජනාධිපති සහෝදරයගෙ උපදේශක සහෝදරයා කරයි, බයවෙන්න එපා ළමයිනේ කියාය.

අනුරගේ නම ප්‍රකාශයට පත්වීම හා සැඟවී සිටි පිරිස දුකින් මිදීම යන දෙකම සිදුවූයේ එකවිටය. අනුර සහ සහෝදරයෝ කළු රෙද්ද ගසා බසා දමා ට්‍රෝජන් අසුගේ බඩවතේ සැඟවී සිටි පිරිස සේ වාත වේගයෙන් වේදිකාව දෙසට යන්නට පටන් ගත්හ. එළියට පනින කොට ට්‍රෝජන් අභ්‍යාසය පෙන්නුම් කළත් ඔවුන් ගියේ විජයබා කොල්ලය වගේ වැඩකට බව සිතුණු විජේවීරගේ කාලයේ පැරණි සහෝදරයකු ඇසුවේ සහෝදරයා ජනාධිපතිවෙලා ධනපති ක්‍රමය තුරන් කරනවද කියාය. ඒ වෙලාවේ අනුරගේ පූසා ප්‍රශ්නය අහපු සහෝදරයාව නෝටිස් කර ගත්තේය. ඔය කියන වෙලාවේ අනුර හිතමින් ගියේ 19 වැනි සංශෝධනය ප්‍රකාරව ජනාධිපති ධුරයේ බලතල බිංදුවට වැටීම ගැන ඩොක්ටර් නිහාල් ජයවික්‍රම ගෙනෙන තර්කයෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක ගැනය. මහින්ද රාජපක්ෂ වගේම වුණත් සරම විතරක් නැතුව වේදිකාවේ පඩිපෙළ දිගේ දුවමින් සිටි අනුරගෙන් අර විජේවීරවාදියා කලින් ඇසූ ප්‍රශ්නයම අවසාන වතාවටත් ඇසුවේය. මේ වෙලාවේ ඕවා කතා කරන්න පුළුවන්ද සහෝදරයා කියා විජේවීරගේ කාලයේ සහෝදරයාට පොඩි නොපහන් මුහුණක් පෑ අනුරගේ පූසා කීවේ බයවෙන්න එපා, නායක සහෝදරයා ධනපති ක්‍රමය තුළින් සහෝදරයලා බලාපොරොත්තු වෙච්ච නිර්ධන පන්ති ආඥාදායකත්වය ඇති කරලා දෙයි කියාය.