මුස්ලිම් ළමා විවාහයේ ඇත්ත සහ බොරුව

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

යම් යම් කණ්ඩායම් විසින් සමාජය තුළ වපුරමින් තිබූ මුස්ලිම් විරෝධය උත්සන්න වීමටත් උත්සන්න කිරීමටත් පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයන් හේතු වූයේය. ඒ සමග විවිධ අරමුණු වෙනුවෙන් රට පුරා ඇවිලවීමට උත්සාහ කළ මුස්ලිම් විරෝධය ද විවිධාකාරයෙන් කරළියට පැමිණියේය. ඒ අතර මුස්ලිම් කාන්තා නිදහස, මුස්ලිම් ළමා විවාහ ආදී මාතෘකා වලට ද දැවැන්ත ප්‍රචාරණයක් ලබා දී තිබුණේය. මේවාට විරුද්ධව වැඩි වශයෙන් ආක්‍රමණශීලී ලෙස පෙනී සිටියේ ඇතැම් භික්ෂූන්ය. ඒ කෙසේ වෙතත් ළමා විවාහ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය වෙත ඇගිල්ල දිගු කිරීමනොව ශ්‍රී ලාංකික සමාජයෙන් ළමා විවාහ තුරන් කිරීමට ගත යුතු සියලු පියවර ගත යුතුව තිබෙන්නේය. එමෙන්ම විවිධ කණ්ඩායම් වලට එක් ආගමික කණ්ඩායමක් දෙසට ඇගිල්ල දිගු කරමින් වෛරය පැතිරවීමට ඉඩදීමට වඩා ඒවා පිළිබද සත්‍ය කරුණු සමාජයට අනාවරණය කළ යුතුව තිබේ.

“වෛද්‍ය නීතියට අනුව වයස 18ට අඩු ළමයින්ට තීරණ ගන්න බැහැ. දැනට තියන නීති පදනම මත බැලුවත් වයස 18ට අඩු ළමයින්ට ඡන්ද අයිතිය නැහැ, වාහන පදවන්න බලපත්‍ර දෙන්නේ නැහැ, ඔප්පු ලියන්න බෑ. ඒ අනුව බලද්දී අවුරුදු 18ට අඩු ළමයි විවාහ කරදීම වැරදියි. වෛද්‍ය විද්‍යාව අනුකූලවත් තරුණියක් විවාහ විය යුතු වයස වෙන්නේ 22-38ත් අතරයි. ළමයෙක්ට ළමයෙක් ලැබුණොත් බෝනික්කෙක් සෙල්ලම් කරනවා වගෙයි. ඒ නිසා ළමයෙක්ට ළමයෙක් හම්බවෙන්න බෑ, ළමයෙක් හම්බවෙන්න පුලුවන් ගැහැනියකටයි. ඒකට භෞතික පරිණතභාවය, මානසික පරිණතභාවය, සාමාජයීය පරිණතභාවය තිබිය යුතුයි.” කාත්තන්කුඩි මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා වන එම්.එස්.එම්. ජබීර් අප සමග පැවසුවේය. ඔහු එසේ කීවද ළමා විවාහ වැඩි වශයෙන් කාත්තන්කුඩි ප්‍රදේශය ඇතුලු මුස්ලිම් ප්‍රදේශවල සිදුවන බව සිංහල සමාජයේ බහුතරය අතර මතිමතාන්තර පවතින අතර ඒවා පිළිබද හඩනගනු පෙනෙන්නේ ද සමහර භික්ෂූන්වහන්සේලාය. කෙසේ වෙතත් කාත්තන්කුඩි මූලික රෝහලේ සිදුවූ දරු ප්‍රසූතීන් පිළිබද දත්ත ලබා ගැනීමට අපට හැකිවූ අතර ඉන් අනාවරණය වූයේ 2018 වසර තුළ එහි සිදුකර තිබූ දරු ප්‍රසූතීන්ගෙන් පස්දෙනෙකු පමණක් වයස 18ට අඩු බවය. ඒ අනුව වයස අවුරුදු 17ක තිදෙනෙකු ද වයස අවුරුදු 16ක එක් අයෙක් හා වයස අවුරුදු 15ක අයෙක් වූයේය. ඉන් වයස අවුරුදු 17ක තිදෙනාගේ දරු ප්‍රසූතීන් සාමාන්‍ය ලෙස සිදුවූ බවත් වයස අවුරුදු 15 හා 16 දෙදෙනාගේ දරු ප්‍රසූතීන් සිදුවූයේ සාමාන්‍ය තත්ත්වයේ නොව අපහසුවෙන් බව එම වාර්තාවල සදහන්ව තිබුණි.

ළමා විවාහ මුස්ලිම් සමාජයේ විශාල වශයෙන් සිදුවන බවට ඇතැම් වාර්තාවල දක්වා තිබුණද වෛද්‍ය අධිකාරීවරයා පැවසුවේ එම මූලාශ්‍ර නිවැරදි ඒවා නොවන බවය. “ඇත්තටම විවාහ වෙන ගොඩක් අය උසස්පෙළ හෝ උසස් අධ්‍යාපනය කළ අයයි. කාත්තන්කුඩි 100%ක් මුස්ලිම් අය ජීවත් වෙනවා. නමුත් මෙහේ එහෙම ළමා විවාහ විශාල වශයෙන් සිදුවෙන්නේ නැහැ. සමහර අය විවි වාර්තා ඉදිරිපත් කරනවා, ඒවා නිවැරදි ඒවා නෙමෙයි. සමීක්ෂණ කරන ක්‍රමවේදයක් තියනවා.”ඔහු පවසන්නේය. එමෙන්ම ඔහු සදහන් කළ තවත් වැදගත් කරුණක් වූයේ සමාජයට ලිංගික අධ්‍යාපනය පිළිබද අවබෝධය ලබා දීමට ද නිසි ආකාරයෙන් සිදුනොවීම බොහෝ සමාජ ගැටලු වලට මූලික වන බවය. “ලිංගික අධ්‍යාපනය ගැන උගන්වන්න ආගමික නායකයෝ ඉඩ දෙන්නේ නෑ, සංස්කෘතිය, ආගම නැති කරනවා කියනවා. නමුත් මේ රටේ නීතිවිරෝධී ගබ්සා රාශියක් වෙනවා. ඒවා ගැන කියලා දෙන්න උත්සාහ කරද්දී ඒකට ඉඩදෙන්නේත් නැහැ. විද්‍යාව, ඉතිහාසය, ආගම ඉගෙනගන්නවා වගේ මේවා ගැනත් ඉගැන්වීම කළ යුතුයි. ඒත් ඒවාට ආගමික නායකයෝ එරෙහි වෙනවා.”

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2012 වසරේ දී සිදුකරන ලද ජන හා නිවාස සංගණන වාර්තාවට අනුව ළමා විවාහ පිළිබද තිබෙන දත්ත මෙසේය. වයස අවුරුදු 15ට අඩු ලියාපදිංචි කරන ලද විවාහයන් 3204ක් වන අතර ඉන් 2200ක් සිංහල ජාතීන් ද 511ක් දමිළ ජාතීන්ද 471ක් මුස්ලිම් ද 16ක් වෙනත් ජාතීන් ද වන බවය. (වගුවේ දක්වා ඇත.) ඒ අනුව ඇතැම් පුද්ගලයන් ආගමික විරෝධයක් ඇතිකිරීම අරමුණු කරගෙන මතු කර දැක්වීමට උත්සාහ කරන කරුණු වලට වඩා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2012 වසරේ අවසන් වරට කරන ලද සංගණනයේ දත්ත මෙරට සිදුවන ළමා විවාහ පිළිබද වැටහීමක් ලබා ගැනීමට ඉවහල් වන්නේය. ඒ අනුව ළමා විවාහ සිදුවීමට මූලික හේතුව ආගම හෝ ජාතිය නොව ඊට විවිධ ආකාරයේ සමාජ ගැටලු බලපාන බව පැහැදිලිය. දරිද්‍රතාව ද මීට බලපාන එක් සාධකයක් වන අතර ග්‍රාමීය ප්‍රදේශ, පැල්පත්වාසීන්, මුහුදුබඩ ප්‍රදේශවල ජීවත්වන්නන් අතර මෙවැනි විවාහ දැකිය හැකිය. 1951 දී නීතිගත වූ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට අනුව ද විවාහ වන අවම වයස නොදන්වන අතර අවුරුදු 12ක ගැහැනු ළමයෙකුට වුවද කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකි බව සදහන් වේ. එසේ නම් සිදුවිය යුතු වන්නේ එවැනි නීති අවලංගු කර රටේ පොදු නීතිය යටතර සියලු ශ්‍රී ලාංකිකයන් ඇතුළත් වන ආකාරයේ වැඩපිළිවෙලක් සකස් වීම ද සිදුවන අතරම පොදුවේ මෙය එක් ජාතියකට හෝ ආගමකට අයත් සමාජ ගැටලුවක් ලෙස නොසලකා ගත යුතු පියවර ගැනීමය. ඒ වගකීම ඇත්තේ සහ ඒවා සම්බන්ධයෙන් පියවර ගත යුතුව තිබෙන්නේ ද ආගමික් නායකයන් නොව අදාළ බලධාරීන්ය. ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතන හා ඒවාගේ නිලධාරීන්ය, අමාත්‍යවරුය. එසේ නොමැතිව ජාතිවාදය ඇවිලවීමේ අරමුණින් එක් සමාජ කණ්ඩායමකට පමණක් ඇගිල්ල දිගු කිරීම නොවන්නේය.

“මේවා ගැන කතා කරන්නේ ආගමික නායකයෝ. ගොඩක් වෙලාවට ඉගෙනගත් අය, යහපත් දේ කරන අය ඉදිරියට ඇවිත් කතා කරන්නේ නැහැ, ඒ අයට එන්න ඉඩ දෙන්නේත් නැහැ. නමුත් කාන්තා හිංසනය පිළිබද,ළමා අපචාර පිළිබද නැගෙනහිර පළාතේ පළමුවෙන්ම කතා කළේ මමයි. ඒ මඩකලපුව අධිකරණ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේයි. ඒ නිසා මම විවිධ ප්‍රශ්න වලටත් මුහුණ දීලාත් තියනවා. දැන් මේවා සම්බන්ධයෙන් රජයේ ක්‍රමවේදයක් තියනවා. ඇමතිකෙනෙක් ඉන්නවා, අමාත්‍යාංශයක් තියනවා, නිලධාරීන් ගණනාවක් ඉන්නවා. ඒ අය අයිතිවාසිකම් ගැන බලන බව කියනවා. ඒ නිසා අපි මේවාට අත දාන්න ගියාම ගැටලු මතුවෙන්නත් පුලුවන්.” ඒ කාත්තන්කුඩි මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාය.

කාත්තන්කුඩි මූලික රෝහලේ සේවය කරන වෛද්‍යවරු 26දෙනාගෙන් එක් අයෙක් සිංහල ද, 14ක් දමිළ ද 11ක් මුස්ලිම් ද වේ. එහි සේවය කරන හෙදියන් 43දෙනා අතුරින් 6ක් සිංහල, 7ක් මුස්ලිම් හා 30දෙනෙකු දමිළවේ. පවුල් සෞඛ්‍ය නිලධාරීන් ලෙස සේවය කළ අයගෙන් එක් අයෙකු පමණක් මුස්ලිම් වූ අතර අනෙක් අය දමිළ වූහ. “මගේ රෝහලේ එකසිය පනහක් වැඩ කරනවා. පහුගිය අවුරුද්දේ බාහිර අංශයෙන් මිනිස්සු එක්ලක්ෂ හැටඅටදාහක් බෙහෙත් අරගෙන තියනවා. ඒ අපි ඔක්කෝමලා එකතුවෙලා හොඳ සේවයක් කරන්න එකඟවෙලා කටයුතු කළ නිසායි. අපි දැන් කාත්කවුරුවත් නැති පාරේ ඉන්න දෙන්නෙක් එක්කගෙන ඇවිත් ඒ අයවත් බලා ගන්නවා. කවුරු වුණත් කමක් නෑ, අපි සමාජයට හොද දේ කරන්න ඕනෑ.” ඒ වෛද්‍ය අධිකාරීවරයා ය. අප සමග කතාබහේ යෙදුණු ඒ බොහෝ දෙනා පැවුසුවේ දකුණේ සමාජයේ තිබෙන මතිමතාන්තර සැබවින්ම කාත්තන්කුඩි ප්‍රදේශයේ සැබෑ තත්ත්වය නොවන බවය. ඔවුන් ඒ ඇතැම් කරුණු පිළිබද පැවසුවේ හාස්‍යය රැදුණු මුවිනි. “අපි කටුවාපිටියේ ගිය වෙලාවේ මිනිස්සු අහනවා කාත්තන්කුඩියේ මිනිස්සු ඉන්නවා ද කියලා. මෙහේ රෑ 11ට එළියට බැස්සත් කඩවල් ඇරලා, මිනිස්සු ඉන්නවා. හෝටල් පැය 24ම ඇරලා. මීඩියා තමයි මේ ඔක්කෝම බොරු භීතිකා හදන්නේ. ඒ නිසා පිට ඉන්න මිනිස්සු මෙහේ ගැන ඇත්ත තත්ත්වය දන්නේ නැහැ.” ඒ රෝහල් සේවක මණ්ඩලයේ අයෙක් අප සමග පැවසූවකි.

ළමා විවාහ මෙන්ම මුස්ලිම් නීති සංශෝධනය සම්බන්ධයෙන් අප මුස්ලිම් නීති ප්‍රතිසංස්කරණය සදහා වූ ක්‍රියාකාරී කණ්ඩායම නියෝජනය කරන නීතීඥවරියක වන අර්මිසා ටෙගාල්ගෙන් විමසුවෙමු. “ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවත් පුද්ගලන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ විවාහ හා දික්කසාද නීතිය පිළිබද වාර්තාවේත් පරස්පරයක් තිබෙනවා. ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ වාර්තාවල තිබෙන්නේ රෙජිස්ට්‍රාර් කෙනෙකු ඉදිරියේ විවාහ වූ අයගේ සංඛ්‍යායි. ඒකට අනුව වයස 18ට අඩු අඩු අය සිංහල හෝ දමිළ අය විවාහ වී නැහැ. ඒත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවෙන් පෙන්වන්නේ රටේ සැබෑ ලෙස සිදුවන දේ ලෙස සිතිය හැකියි. ඒ අනුව හැම ජාතියකටම අයත් අය අඩු වයසින් විවාහ වන බව පෙනෙනවා. මුස්ලිම් ජාතිකයන් හැර අනෙක් ජාතීන්වල අය දන්නවා ඒ අයට නීතියට අනුව අඩු වයසෙන් විවාහ වෙන්න බැහැ කියලා. මුස්ලිම් ජාතිකයන්ට පමණයි නීතියෙන් ඉඩ තිබෙන්නේ. අනෙක් ජාතීන්වල අයට පවතින නීතියට අනුව අඩු වයසෙන් විවාහ වෙන්න බැහැ.” ඇය පැවසුවාය. කෙසේ වෙතත් වයස 18ට අඩු විවාහවීම මුස්ලිම් සංස්කෘතියෙන් ද ඉවත් විය යුතු බව ඇය සදහන් කළාය. “ළමයෙකුට තීරණ ගන්න පුලුවන් කමක් නැහැ. ඒ අයට වැඩිහිටියන් කියන විධියට කටයුතු කරන්න වෙනවා. සමහර අවස්ථාවල දුප්පත් කම නිසාත් ළමා විවාහ සිදුවෙනවා. ඒවගේම රැකබලාගැනීමට කෙනෙකු නැතිවූ අවස්ථාවකත් සිදුවිය හැකියි. ඒ ආකාරයෙන් හොඳ අදහස් හෝ නරක අදහස් මත ළමයින් විවාහ කර දෙන අවස්ථා තියනවා. සමහර ළමයි ටික කාලයකින් දික්කසාද වෙනවා, සමහර වෙලාවට තවත් දරුවෙකුත් ලැබිලා. ඒ වගේම සම්බන්ධතාවයක් ළමයෙකුට තිබූ පමණින් විවාහ කරදිය යුතුද කියන ප්‍රශ්නය තියනවා. ළමයින්ට පාසලේදීත් ලිංගික අධ්‍යාපනය ගැන උගන්වන්නේ නැහැ. සම්බන්ධතාවයක් තිබෙන බව දැනගත් පසු පාසලෙන් ළමයා එළියට දානවා. ඒ නිසා මෙවැනි දේට මුල්වන ප්‍රශ්න රාශියක් සමාජයේ තියනවා. ඒවාට ආගමක් අදාල නැහැ. ඒවා පොදුවේ සමාජයේ තිබෙන ප්‍රශ්න. මතුපිටින් ළමා විවාහ ලෙස පෙනුනත් මේවා පිටුපස තිබෙන සමාජ ගැටලු වලට විසදුම් සෙවිය යුතුයි. ළමයින් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයන් සකස් විය යුතුයි. මුස්ලිම් සමාජයේ විවාහ නීතිය වෙනස් විය යුතුයි වගේම පොදුවේ සෑම ළමයෙකුම මෙවැනි සමාජ ප්‍රශ්න වලින් ගලවා ගන්න ඕනෑ.” ඒ නීතීඥ අර්මිසා ටෙගාල් ය.
“ආගම ජාතිය අනුව අනන්‍යතාවක් ඕනෑ නැහැ. ශ්‍රී ලාංකිකයන් ලෙසයි අනන්‍යතාවයක් ඕනෑ. ලංකාවේ ඉතිහාසයේ එක්කෝ අරාබි අය ඇවිත් සිංහල හෝ දමිළ අය සමග විවාහ වෙලා තියනවා. සංස්කෘතික වශයෙන් බලද්දී අපි සියලුදෙනාගේ ඩී.එන්.ඒ ප්‍රවාහය එකයි. අපි කපා ගත්තොත් මරාගත්තොත් ඩී.එන්.ඒ ප්‍රවාහය එකයි. මොකද සිංහල හෝ දමිළ අම්මා කෙනෙකුගේ දරුවන් විය හැකියි. ඉතින් ආගම විතරයි වෙනස් වුණේ. තාත්තාගේ ආගම තිබුණු නිසා ඉස්ලාම් ආගමික වුණා. ඒක තමයි අපිට තිබෙන මූලික අදහස. ඒ වගේම මවගේ පාර්ශ්වයෙන් හින්දු සංස්කෘතික අංග එකතු වුණා විය හැකියි. ඒ විධියට තමයි මේ සංස්කෘතිය ඇවිත් තියෙන්නේ.”ඒ කාත්තන්කුඩි මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාය. රටක තිබිය යුතු වන්නේ එම රටේ සියලු පුරවැසියන්ට පොදුවේ බලපැවැත්වෙන නීතියකි. එය සමාජය සුරක්ෂිත කරනු ඇත. එමෙන්ම සමාජ ගැටලු දෙස සාධාරණ ලෙස සොයා බලා අදාල බලධාරීන් ඒවාට මැදිහත්වී සෘජු තීරණ ගත යුතුව තිබෙන නමුත් විවිධ කණ්ඩායම් වලට ජාතිවාදය පැතිරවීම වැනි පටු අරමුණු වෙනුවෙන් ඒවා භාවිතා කිරීමට ද ඉඩ නොදිය යුතුය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2012 වසරේ ජන හා නිවාස සංගණන වාර්තාවෙන් ලබාගත් දත්ත

 

ලියාපදිංචි විවාහවීම්

වයස් මට්ටම              මුළු ගණන            සිංහල                    දමිළ             මුස්ලිම්             වෙනත්
15ට අඩු                       3204                  2200                    511                  471                  22
15-19                         87633                 62630               12642               11916              445

 

චාරිත්‍රානුකූල විවාහවීම්

වයස් මට්ටම           මුළු ගණන              සිංහල                    දමිළ                   මුස්ලිම්             වෙනත්
15ට අඩු                     326                     216                        84                        23                    3

15-19                      16543                  11446                   4480                    544                     73