වගකිවයුත්තන් බලාසිටියදී දරුණු අපරාධකරුවකු මෙහෙයවන රාජාංගනයේ වැලි ජාවාරම

නිමල් අබේසිංහ

රට පුරා නීති විරෝධී වැලි කැපීම් හා පස් කැනීම් සිදු කිරීම ඉහළ යන්නේ එය ඉක්මනින් මුදල් උපයා ගැනීමේ මාර්ගයක් බවට පත්ව ඇති හෙයිනි. ඒ නිසාම මේ නීති විරෝධී ව්‍යාපාරයන්ට යොමු වන්නේද අපරාධකරුවන් මෙන්ම බල සම්පන්න පුද්ගලයෝය. මේ ලියන්නට සැරසෙන්නේද එවැනි අපරාධකරුවකු වසර පහළොවක පමණ කාලයක සිට නිදැල්ලේ කරගෙන යනු ලබන දැවැන්ත වැලි ජාවාරමක් පිළිබඳව ය.

ප්‍රදේශය වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හංගමුව නම් ගමය. හංගමුව ජලාශයට සම්බන්ධ ලුණු ඔය ගංගා දෑලෙහිම මේ වැලි කැපීම ජයටම සිදු වේ.

ලුණු ඔය දෙපස ඇති ඉඩම් අයත් වනුයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවටය. මේ වන විටත් ගඟ දෙපස අක්කර 100කට වැඩි ප්‍රමාණයක වැලි කපා ඉවත් කර ඇති අතර එනිසා සිදුව ඇති පරිසර විනාශය වචනයෙන් විස්තර කිරීමට පවා අපහසුය.

මහා විනාශයක්

වෙනත් ප්‍රදේශවල මෙන් නොව රාජාංගනයේ හංගමුව ප්‍රදේශයේ වැලි ගොඩ දමනුයේ අමුතුම පිළිවෙතකටය. හුණු ඔය දෑලෙහි විශාල ප්‍රදේශයක් පුරා වැලිනිධි තිබේ. එනිසා ජාවාරම්කරුවන් සිදු කරනුයේ ගඟ දෑලෙහි ගොඩබිමෙහි වැලි හාරා ගොඩදැමීමය. මතුපිට පාංශු ස්ථරයෙන් අඩි දෙක තුනක ප්‍රමණයක් ඉවත් කළ පසුව මෙම පොළොවෙන් මතුවන වැලි නිධිය පොළොවේ සෑහෙන ගැඹුරට පැතිරේ. වැලි කැපූ ස්ථානයන්හි අප කළ සංචාරයේදී එසේ හාරන ලද විශාල වළවල් ප්‍රමාණයක් දැකගත හැකි විය. ඇතැම් තැන්හි දිගින් හා පළලින් ද විශාල ප්‍රදේශයක් පුරා වැලි කපා ඉවත් කරගෙන තිබෙන ආකාරයද දැකගත හැකිවිය. ඇතැම් ස්ථානයන්හි වැලි කැපීමෙන් නිර්මාණය වී ඇති ආවාටයන්හි පතුළ බැලීමටද අපහසුය. එයට හේතුව වන්නේ අවාටය අසලට පය ගැසීම ආවාටයට වැටීමේ අනතුරක් ඇති බැවිනුත් එහි වැටුණහොත් ගොඩ ඒම ද නිෂ්ඵල කාර්යයක් වී මරණය ළඟා විය හැකි බැවිනි. මෙවැනි ආවාට ලුණුඔය දෑලේ දිගටම තිබේ. එයට හේතුව එක් තැනක පමණක් වැලි කැපීම සිදු නොකර එක දිඟටම ගඟ දිගේ ගඟ දෙපසෙහිම වැලි කපා තිබීමය.
ඇතැම් තැන්හි වැලි කැපීම නිසා ඔය මාර්ගයද වෙනස් වී ඇති බව පැහැදිලිව දකින්නට තිබුණු අතර තවත් ස්ථානයන්හි ඔයේ ඉවුර වතුර මට්ටමටම කපා තිබීම සුලබ දසුනකි. එලෙසින්ම තැනින් තැන ඔය හරහා මාර්ග ඉදි කර තිබෙනු ද දැකිය හැකිය. මේ විනාශය නිසා ඔය දෙපස ඇති වාරිමාර්ග රක්ෂිතයේ ගස් ගැලවී විනාශ වී ඇති අතර තවත් තැන්වල ගස්වටා ඇති පස් කපා ඉවත් කර තිබෙනු දැකගත හැකි විය. මෙහිදි ඉතා පැහැදිලිව දකින්නට හැක්කේ අනුකම්පා විරහිතව පරිසරයට සිදුකර ඇති අති දැවැන්ත පරිසර විනාශයකි. මේ විනාශය කොතෙක් කාලයක් සිදුකර ඇති ද යන්න පෙනෙනුයේ වැලි කැපූ ඇතැම් ප්‍රදේශ හරහා මහා ගංවතුරක් ගැලුවහොත් කොතරම් ප්‍රදේශයක පරිසර විනාශයක් ඇති වේදැයි ගිනිය නොහැකිය. එලෙසම මෙය වනජීවි දෙපාර්තමේන්තුවට අයත් ප්‍රේරණ කලාපයක්ද වේ.

කිසිදු බියක් සැකක් නැතුව මෙවැනි විනාශයක් කරන්නට හයි හත්තියක් බලයක් තිබේද යන සැකය ලිපිය කියවන්නෙකුට සැක මතුවීම ස්වභාවයකි. වාරිමාර්ග නිලධාරීන්, ප්‍රාදේශීය පරිසර නිලධාරීන්, පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැනි රාජ්‍ය ආයතන මෙපමණ කලක් සිටියේ නිද්‍රාගතව ද යන ප්‍රශ්නය කෙනකුට ඇති වීමද ස්වාභාවිකය. වැලි ජාවාරම්කරුගේ පැටිකිරිය දන්නවුන්ට නම් ඒවා ප්‍රශ්න නොවේ.

පී. ඒ. ප්‍රමේෂ් නොහොත් චුට්ටා රාජාංගනය ප්‍රදේශයේ ප්‍රචලිත මැරයෙකි. ඔහු පමණක් නොව ඔහුගේ සහෝදරයින්ද එවැන්නෝය. බර්ටි ප්‍රේමලාල් දිසානායක උතුරු මැද පළාතේ රජකම් කළ සමයේ ඔහුගේ ප්‍රධාන මැර ගෝලබාලයින් ලෙස චුට්ටා සහ චුට්ටාගේ වැඩිමල් සහෝදරයා කටයුතු කර ඇත. චුට්ටාගේ වැඩිමහල් සහෝදරයා බී ගත් පසුව ඔහුගේ මුහුණට හමුවන ඕනෑම අයකුට පහරදීම එකළ සිරිතක්ව තිබී ඇත. එහෙත් චුට්ටාගේ පවුලේ උදවියට අතක් උස්සන්නවත් කිසිවෙකු බියය. අද පවතින තත්ත්වයද එසේමය.

දරුණු අපරාධකරුවෙක්

පී. ඒ. ප්‍රමේෂ් හෙවත් චුට්ටාගේ පැටිකිරිය සොයා බලද්දී තිබෙන තොරතුරු බරපතල ගණයේ ඒවා වේ. ටී පනස්හය ඇතුළු ආයුධ විකිණීමක් පිළිබඳ නඩුවක්ද, ගම්පහ ප්‍රදේශයේ මංකොල්ලකෑමක් සම්බන්ධ නඩුවක්ද, පුද්ගලයින්ට වෙඩි තැබීම් නඩු, බෝම්බ තබා ගැනීම සම්බන්ධ නඩු කීපයක් තඹුත්තේගම ඇතුළු පොලිසි කිහිපයක් විසින් පවරා ඇති බව ප්‍රදේශයේ ජනතාව දන්නා ප්‍රසිද්ධ කතාය. වඩාත්ම බරපතළ සිද්ධියක් ලෙස සැලකිය හැක්කේ තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට සම්බන්ධ පරිසර අංශයේ සැරයන්වරයකුට දුරකතනය ඔස්සේ කර ඇති තර්ජනයන්ය. එම තර්ජනය සිදුකර ඇත්තේ එකී සැරයන්වරයාගේ ජංගම දුරකතනයට නොව සැරයන්වරයා සමඟ සේවය කරන වෙනත් නිලධාරියකුගේ ජංගම දුරකතනයකටය. මෙම ජංගම දුරකතන තොරතුරු ද සමග චුට්ටාට විරුද්ධව නඩුවක් පවරා ඇතත් මෙවැනි දරුණු අපරාධකරුවකු පොලිසියේ නිලධාරියකුට මරණීය තර්ජන කර තිබියදී ඔහු අත්අඩංගුවට නොගැනීම තුළ පොලිසියේ ඉහළ නිලධාරීන් චුට්ටා සමඟ සම්බන්ධකම් පවත්වන්නේද යන සැකය උපදී. ඒ සැකය තහවුරු කරන තවත් සාක්ෂියක් සොයා ගැනීමට අපට හැකි විය.

හංගමුව ප්‍රදේශයේම ජීවත් වූ අහිංසක තරුණයකු චුට්ටාගේ වැලි ජාවාරම පිළිබඳව ඔත්තු සැපයී යැයි සැකකර චුට්ටා විසින්ම ඒ තරුණයාගේ ගෙවත්තේ බෝම්බයක් සඟවා පොලිසියට ඔත්තුවක් දී අල්ලා දුන් බවට ප්‍රදේශයේ කතාබහක් ඇත. බීඩියක්, සුරරට්ටුවක් පවා මුව නොතබන මේ අහිංසක තරුණයා නඩුවෙන් වැරදිකරු වී සිරගතව සිට පැමිණ දැන් කුඩා හේනක දුඃඛිත දිවියක් ගෙවන බවටද දැනගන්නට හැකිවිය. නඩුව වෙනුවෙන් වියදම් කරන්නට මුදල් නොතිබූ හෙයින් ඔවුන්ගේ ඉඩකඩම්ද විකිණී ගොස් ඇති අතර ඒ හේතුව නිසාම සිත් වේදනාවෙන් ඔහුගේ පියා ද අකල්හි මියගොස් ඇත. මේ චුට්ටා ගැන දැනගත් කරුණි බිඳකි.

මේවැනි වාතාවරණයක් තුළ අහිංසක ගැමියන් පමණක් නොව සුළු රාජ්‍ය නිලධාරීන්ද සිය සේවය නිසි ලෙස ක්‍රියාවේ යොදවන්නට පැකිලී බිය වීමද සාමාන්‍යයකි. රටේ පවතින වාතාවරණය සේම පරිසර පොලිසියේ සැරයන්වරයාගේ සිද්ධිය ද ඊට හොඳම නිදසුනය.

අනුන්ගේ බලපත්‍ර

චුට්ටාගේ නීති විරෝධි වැලි ජාවාරම නීතියට කොටුකර ගැනීම අපහසුවෙන හේතු කීපයක්ද තිබෙන බව පෙනේ. ඒ බලපත්‍රලාභී වැලිතොටුපළ හිමියකුගේ රැකවරණය ඔහුට ලැබී තිබීමය. ඒ, ජේ. එම්. සිරිමාවතිගෙනි. ඇයට වැලිගොඩ දැමීමේ බලපත්‍රයක් ඇතත් ඇගේ වැලිතොටුපළේ වැලිගොඩදාන්නේ නැත. එයට හේතුව ඇයගේ වැලි පැටවු වාහන වලට ගමේ පාරේ යන්නට ගම්වාසීන් ඉඩ නොදීමය. චුට්ටාට නම් මේ විරෝධතා කිසිවක් නැත. ඉදින් සිදුවන්නේ සිරිමාවතීගේ වැලි බලපත්‍රය වසරින් වසර කිසිදු අවහිරයකින් තොරව දීර්ඝ කර ගැනීමට ලැබීමය. වැලි තොටුපළ නිරීක්ෂණය කරනු ලබන නිලධාරීන් පැමිණියද ඇය මැනවින් වැලි තොටුපල පවත්වාගෙන යන බවට සාධක ඇති හෙයිනි. මෙහිදී සිදුවන්නේ ඇගේ නමින් නිකුත් කෙරෙන වැලි ප්‍රවාහන පලපත්‍ර චුට්ටාගේ වැලි ප්‍රවාහනය කරන වැලි වලට ලබා දීමය. තිබෙන තොරතුරු අනුව චුට්ටා දිනකට වැලි ට්‍රැක්ටර් දහයක්වත් අලෙවි කරයි. වැලි ට්‍රැක්ටරයක සාමාන්‍ය මිල රුපියල් අටදහසකි. ඔහුගේ දිනක ලාභය කොතරම් විය හැකිද?

වැටලීමක් සඳහා පොලිසිය පැමැණියහොත් චුට්ටා ට දැනුම් දීමට අතරමඟ ඔත්තුකරුවන් යොදවා තිබේ. පොලිසිය හෝ සැකකටයුතු රජයේ වාහනයක් පැමිණෙන්නේ නම් ඔවුහු වහා ක්‍රියාකාරී වෙති. මේ පණිවිඩකරුවන් චුට්ටාගේ පමණක් නොව මහාපරිමාණ කසිප්පු ජාවාරමේ හා ගංජා ජාවාරමේ යෙදෙන චුට්ටාගේ සහෝදරයාගේද පණිවිඩකරුවන්ය. පොලිසිය චුට්ටාගේ අනවසර වැලි ජාවාරම වටලා නැතිවාමත් නොවේ. එහෙත් චුට්ටාගේ බැකෝ යන්ත්‍රය අත්අඩංගුවට ගැනෙන්නේ නැත. (මේ වන විට එය වැලි කැපීමට නොයොදවයි) චුට්ටාට එරෙහිව නඩු වැටෙන්නේ ද නැත.

රජයේ ඉඩම්හි නිසි බලධාරියා වන රාජාංගනය ප්‍රාදේශීය ලේකම්වරයාට හෝ විශේෂයෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරීන්ට මේ සිදුවෙන විනාශය ගැන වගේ වගක් නැති බව ද පෙනේ.

මේ හේතුව නිසාම මේ අයත් චුට්ටාගේ අතකොළු බවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීන් සිතුවහොත් එය ද වැරදි නොවේ. අනෙක් වැදගත්ම කාරණය වන්නේ හුණුඔය පෙදෙස ඇතැම් ඉඩම් ගමේ පුද්ගලයන් විසින් අවසර ඇතිව හෝ නැතිව අයත් කරගෙන සිටියද චුට්ටා ඒ අයගේ ඉඩම්වල ද බලහත්කාරයෙන් වැලි හෑරීමය. ඒවාට විරුද්ධ වන්නට මේ ගම්මුන්ට ශක්තියක් ඇත්තේ ද නැත. කිසිවකු හෝ විරුද්ධ වුවහොත් ඔහුට ද සිදුවන්නේ බෝම්බයක් සමග පොලිසියට කොටු වන්නටය. ඒ බැව් දන්නෝ චුට්ටාට එරෙහිව කෙල බිඳක් නොසෙල්වති.

මරංචි ජාවාරම ද චුට්ටාගේ තවත් ජාවාරමකි. (මරංචි පාවාරම යනු නිදන්වලින් ගත් රත්රන් යැයි ව්‍යාජ ලෙස සැකසූ රත්රන් විවිධ පුද්ගලයන් රවටා අලෙවි කිරීමය. මෙය අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත වූවකි.)
මේ යන විදියට චුට්ටාගේ වැලි ජාවාරම සිදුවුවහොත් නුදුරේදීම හුණු ඔය සමඟ හුණු ඔය දෑලේ රක්ෂිතයද විනාශ වී දැවැන්ත පරිසර විනාශයක් සිදුවීම වලකාගත නොහැක්කකි. චණ්ඩිකම ඉහවහාගිය චුට්ටා වැනි ජාවාරම්කාරයින්ට ප්‍රාදේශීය රජවරුන් සේ වැජඹෙන්නට ඉඩහැරීමේ විපාකය එයය. චුට්ටන් බක්කන් වන්නට ඉඩ දී බලධාරීන් බලා සිටීමේ අනිසි විපාකයය.

වැලි කැපීමේ බලපත්‍රයක් නිකුත් කරන විට භූ විiා හා පතල් කාර්යංශයත් මධ්‍යම පරිසර අධිකාරියත් පනවන කොන්දේසි රැසකි. ඒවා අතර වැදගත්ම කොන්දේසි කීපයක් මෙලෙසය. ‘වාහන ගඟට ඇතුළු වීම නොකළ යුතුය. මොනම හේතුවක් නිසාවත් අවට තුරුලතා වලට හානි නොකළ යුතුය. ගඟට පාරවල් කපා වාහන ඇතුළු නොකළ යුතුය. මංකඩ දෙපස මීටර් 50ක දුරකට වඩා වැලි ගොඩ නොදැමිය යුතුය. ගඟේම ප්‍රවේශ මාර්ගය මීටර් එකක් විය යුතුය. මාසික නිෂ්පාදන පරිමාව වැලිකියුබ් තිහකි. මේ බලපත්‍ර ලාභීන්ට පනවන කොන්දේසි වලින් කිහිපයකි. එහෙව් නීති තිබියදී හුණු ඔය ඉවුරේ දැවැන්ත කුඹුක් ගස් කීපයක් අසල විශාල වලක් කණිමින් චුට්ටා විසින් සිදු කරන පරිසර හානිය අතිවිශාලය. මේ ගැන රාජංගනය කොට්ඨාස වාරිමාර්ග කාර්යාලයෙන් විමසූ විට නම සඳහන් නොකළ එහි කොට්ඨාස සහකාර නිලධාරියා පැවසුවේ මාධයට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය. රජාංගනය ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන්ගෙන් මේ ගැන විමසීමට දුරකතනයට සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.
තඹුත්තේගම පොලිසිය පැවසුවේ චුට්ටා නොහොත් ප්‍රමේශ් ගේ නීති විරෝධි වැලි කැපීමට සම්බන්ධ ට්‍රැක්ටරයක් දෙවතාවක්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නඩු පවරා ඇති බවය. මේ දෙවතාවේදීම ට්‍රැක්ටරය සහ බැකෝ යන්ත්‍රය අධිකරණය විසින් බැදුම්කර මත නිදහස් කර ඇති බවය.