සිගන්නිය සහ පුටුව

එරික් ඉලයප්ආරච්චි

පැබ්ලෝ පිකාසෝගේ නිල් යුගයේ (Blue Period) යාචකයින්ගේ හා වෙනත් පීඩිතයින්ගේ අනුවේදනීය කැන්වස් නිරූපණයන්ට පසු එම වස්තු විෂය ජනතාවාදී නොවන අතිපුළුල් කලාත්මක විෂයක් හා සිය ප්‍රකෝපන කලාවේ (Provocative Art) තවත් ශක්තිමත් අදියරක් ලෙස යොදා ගත් ඇමරිකානු සන් ෆ්‍රැන්සිස්කෝ මූර්ති ශිල්පී අල් ෆාරෝගේ මේ නිර්මාණය ඔහුගේ 25 වෙනි ‘ශ්‍රීමත් යාචකයා’ වේ. යාචක මානවභාවය හෙවත් යාචක සමාජ රූපය තුළ මිනිසා ලැගුම් ගැනීම නිරූපණය කිරීමේ කලාත්මක වුවමනාවට අතිරේකව සිංහාසනයේ සිට පුටු කබල දක්වා විවිධ වූ පුටුව නමැති පුරා කෘතිය හා එහි වත්මන් ගෘහභාණ්ඩමය අවතාරය මත ඔහු රැඳවීම මෙහි සිදුවේ. හිටි රූපය, සැතපෙන රූපය, බිම වාඩිගත් රූපය, උක්කුටි රූපය හා ඉගිළෙන මිනිස් රූපය අතර අසුන්ගත මිනිස් රූපය මූර්ති කලාවේ ප්‍රධාන මූර්ති මාතිකයකි (sculpture motif). පුටුවේ ප්‍රායෝගික ප්‍රයෝජනය මෙන්ම ප්‍රපංචමය තත්ත්වය හා සද්භාව තත්ත්වය (phenomenological and ontological status) ද සංකීර්ණ ලෙස විවිධ වන අතර දේවාසනයේ, සිංහාසනයේ, පාසල් බංකුවේ හා හාන්සි පුටුවේ සිට වධක පුටුව හා ඉලෙක්ටි්‍රක් පුටුව දක්වා විවිධ වේ. පුටුවේ නූතනවාදී කලාත්මක වටිනාකම කොයිතරම් ද යත් වින්සන්ට් වැන් ගෝ මෙන්ම පෝල් ගොගැන් ද පුටුව උඩ උරන පයිප්පය, දුම්කොළ පයිය ආදිය තබා චිත්‍රගත කළේ ය.

අල් ෆාරෝගේ සිගන්නා හා පුටුව තුළ රාශිගත කලාත්මක අධිෂ්ඨානය, තීව්‍රතර මනෝභාව හා දේශපාලනය අවබෝධ කර ගත හැකි වන්නේ 1970 ගණන්වලින් ඇරඹී අද දක්වා පැවත එන හතළිස් වසරකට වැඩි ඔහුගේ ලෝකඩ වාත්තු කලාව (bronze casting) සතු විෂය පථය විභාග කිරීමෙනි. අප්‍රිකානු අධ්‍යයන, යාචක අධ්‍යයන, ඉගිලෙන අයිකාරස් අධ්‍යයන, ආගමික වාස්තුකලා අධ්‍යයන යනාදි වශයෙන් ඔහුගේ මූර්ති විෂය පුළුල් එකකි. ජවසම්පන්න කලාව (strong art) අදහන අල් ෆාරෝගේ කලාත්මක චින්තනය තුළ කලා නිර්මාණයක ආත්මයාගේ ජීවගුණයට (spirit) ඉතාමත් වැදගත් තැනක් ලැබුණු අතර අප්‍රිකානු, පූර්ව-කොලොම්බියානු හා දේව භූත ආත්ම ලෝකවලට පිවිසීමට හැකියාව ඇතැයි කල්පනා කරන ශාමන (shamanic) හෙවත් යකැදුරු කලාවේ දක්නා ලැබෙන භාව මෝහන ශක්තියට ඔහු ඇලුම් කරයි. ඔහු වෙස් මුහුණක, බලි රූපයක, අභිචාර මමියක ඇති ප්‍රබල රූප විද්‍යාව පළ කරන ආකාරයේ මූර්ති නිර්මාණය කරයි.

ඔහුගේ කලා පට්ටලය අප්‍රිකානු, දකුණු ඇමරිකානු, චීන, ඉන්දුනීසියානු හා තවත් කලාපවල ප්‍රාථමික හා ආගමික කලා රූපවලින් මෙන්ම හිස්කබල්, සැරයටි, යුද අවි ආදියෙන් ද සංතෘප්ත කලාගාරයකි. ඔහු පවසන්නේ චිත්‍ර ශිල්පියකුගේ නිර්මාණ වාසයට කුඩා ඉඩක් ප්‍රමාණවත් වන්නේ වී නමුත් මූර්ති ශිල්පියාට විශාල ඉඩක් වුවමනා බව යි. ඔහුගේ යුද අවි උපකරණ එකතුව හිස් පතරොම්, උණ්ඩ, අත් තුවක්කු, ටී56, හෙල්ල, ත්‍රිශූල වැනි නෘත්ත හා නිංනාද අවි ආදියෙන් සමන්විත වී ඇති අතර ඒවා ඔහුගේ ප්‍රමුඛ කලාත්මක අමුද්‍රව්‍යය යන්නය. ඔහුගේ ලෝකඩ වාත්තූ කලාව විවිධ අච්චුවලට දියර ලෝහ වැක් කිරීමෙන් පමණක් නොව සිය ගණන් පතරොම් ආදිය යොදා ගෙන තනන ලද ආගමික වාස්තු නිර්මාණවලින් ද සමන්විත ය. නිශ්චිත ආගමක් වෙන්කොට නොදක්වා විවිධ ආගමික මන්දිර ඉහළ ශිල්පීය නිපුණත්වයකින් යුතුව පතරොම් ආදියෙන් ප්‍රතිනිර්මාණය කිරීම ඔහුගේ කලාත්මක භාවිතයකි. ඔහුගේ ඉතා ප්‍රකට නිර්මාණයක් වන්නේ බුලට් 50,000ක් යොදා ගනිමින් නිර්මාණය කරන ලද ධවල මන්දිරය යි. එමගින් එකී ලෝහ අමුද්‍රව්‍යයන්ට නව අර්ථකථනයක් ලබා දෙන්නට ඔහු සමත් වේ. තුවක්කු, උණ්ඩ හා ඒවා තනන ලද අමුද්‍රව්‍ය සමාජ කතිකාවට ඇතුළත් වීම, ක්‍රෝධය සහ ආගමික භක්තිය භාව ලෝකය තුළ එකට එක වාත්තුවීම, අන්‍යමත නොඉවසීම ධාර්මික සාධකයක් වීම යනාදී නව්‍ය සමාජ අනිවාර්යතා ඔහුගේ මූර්තිවලින් ගම්‍ය කෙරේ.

ආධානග්‍රාහී ලබ්ධිය හා මරණය අතර ඒකීයතාව මෙන්ම මහජන පිළිගැනීම හා මරණය අතර ඒකීයතාව ද සමාජ ජීවිතයට වැදගත් වූ පෞරාණික ලෝකයේ පුනරාගමනය පිළිබඳව ඒවායින් කියැවේ. ඔහුගේ අප්‍රිකානු ප්‍රවර්ගයේ මූර්තියක නිරූපණය වන්නේ ගෑස් මුහුණක් පැළඳ ගත් කළු ගැබිනියකි. ඇය යුද්ධය විසින් ගර්භනීය කරනු ලැබූ මාතාවකි. යුද්ධය ප්‍රසවවේදයේ කාරණයක් වීම හැඟවුම් කිරීමට අතිරේකව මිනිස් වර්ගයාගේ අනාගතය පිළිබද ලොමු දැහැ ගන්වන කියැවීමකි එහි ඇත්තේ. සිය බිරිඳ ගර්භනීයව සිටිද්දී තවත් එක් ගර්භනීය මූර්තියක් නිර්මාණය කිරීම ආරම්භ කළ ඔහු බාල වියේදී සිදුවුණු සිය පුත්‍රයාගේ අභාවයෙන් පසු එම මූර්ති ගර්භයට වීදුරු කවුළුවක් එකතු කළ අතර සිය මළ පුත්‍රයාගේ මතක වස්තු ගර්භයෙහි තැන්පත් කළේ ය. එනයින් මූර්ති කලාව සහ කලාකරුවකු ලෙස මූර්ති ශිල්පියාගේ මිනිස් පැවැත්ම පිළිබද ආත්ම විද්‍යාවක් මොහුගේ කලාව ප්‍රකට කරයි.

ඔහුගේ සිඟන්නිය ද එවැනි භාව ආලෝලන හා භාව රූප විපර්යාසයන් සහිත මූර්තිධර නිර්මාණයකි. ඇයගේ සිරුර මෙන්ම පුටුව ද වෙලීම් සහිත ය. ලෝහභාවය පරයා ලෝමභාවය නැගෙන අතර ශීතල, රෝගීභාවය හා නැතිබැරිකමේ දේශපාලනය මෙම රූපයෙන් පිළිබිඹු වෙයි. ආසනයෙහි ද මුහුණෙහි ද තවමත් ජීවන අධිෂ්ඨානය ඇත. තමා මේ තත්ත්වයට ඇද දමන ලද ශීතල, රෝගීභාවය හා නැතිබැරිකම නොවී නම් රූප සුන්දරී තරගයකට වුව යාහැකි බලාපොරොත්තුවකි. බිත්තර රූපී මුහුණේ ඇත්තේ. මූර්ති ශිල්පියා විසින්ම ලියා කියා ඇති දේවලින් පෙනෙන්නේ මිනිසා මුදල් පමණක් යදින්නෙකු නොවන බව යි. ඔහු යුක්තිය, සාධාරණය හා සමානාත්මතාව යදින්නෙකි. සෑමවිටම ජීවිතය යදින්නෙකි. තමා සිඟන රූපය වෙත ආකර්ෂණය වූයේ මූර්ති ශිල්පය පටන් ගත් කාලයේ ඒ වෙනුවෙන් සහාය ඉල්ලු නමුත් කිසිවකුගෙන් ඊට සහායක් ලැබුණේ නැති බැවින් ඇතිවුණු හැඟීම නිසා බව යි. එනයින් මැය අරමුදල්වලින් නඩත්තු නොකෙරෙන බොහිමියානු කලාකරුවා පිළිබඳ නොමියෙන මූර්තියකි.