ප්‍රේක්ෂක භාවාතිශය තීව්‍ර කරන Le Jour Se Lève (Daybreak)

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

මිනිස් හැඟීම් වඩාත් භාවාතිශ්‍ය ස්වරූපයෙන් සිනමා රූපයේ තවරන්නේ කෙසේද යන්න සිනමාවේ ආරම්භක යුගයේ සිට සිනමාකරුවන්ගේ මූලික වෑයමක් වුණා. එහෙත් මේ කාරණය සුවිශේෂී සිනමා සම්ප්‍රදායක් හැටියට ඉදිරියට ආවේ කතානාද සිනමාවේ ආරම්භක අවධියේදී හෙවත් එක්දහස් නවසිය තිස් ගණන්වල. විශේෂයෙන් ප්‍රංශ සිනමාකරුවන් කිහිප දෙනෙක් සවිඥානිකව ගොඩනගනු ලැබූ සුවිශේෂී සිනමා කෘතීන් කිහිපයක් මේ සඳහා බලපෑවා. එසේ ගොඩනැගුණු සිනමා ව්‍යාපාරය කාව්‍යමය යථාර්ථවාදය හෙවත් Poetic Realism.

‘කාව්‍යමය’ යන්න ‘යථාර්ථවාදය’ සමග එකට අරන් තේරුම් ගනිද්දී කිසියම් පැටලිලි සහගත හැඟීමක් එන්න පුළුවන්. ‘කාව්‍යමය’ යන්න තුළින් බොහෝ විට හඟින්නේ සංකේතාත්මක භාෂාවක් භාවිත කරමින් හැඟීම් ආමන්ත්‍රණය කිරීම වගේ දළ අදහසක්. ‘යථාර්ථවාදය’ ඊට හාත්පසින්ම වෙනස් අදහසක්. නමුත් සිනමාත්මක කාව්‍යමය යථාර්ථවාදය තුළ එය ඒ විදිහටම දකින්නට බෑ. කාව්‍යමය යථාර්ථවාදී සිනමාවේ, තේමාත්මක අනන්‍යතාව, කාව්‍යමය යථාර්ථවාදී සිනමා රීති හෝ සිනමාත්මක ක්‍රමවේදයන් සෙසු සිනමා ව්‍යාපාරයන් මෙන් මේයැ’යි කියා තනි ඉරකින් පෙළගස්වන්න අසීරුයි. ඒ තුළ තිබුණේ න්‍යායාත්මකව මේ යැ’යි සංකල්ප ගත කරන්න අසීරු, භාවාතිශය සිනමා නිර්මිතයන් සඳහා භාවිත කෙරුණු, වස්තු විෂය ඇතුළු සිනමාත්මක පොදු ධර්මතාවන් කිහිපයක්.

කාව්‍යමය යථාර්ථවාදී සිනමාව තුළ සාමාන්‍ය වැඩකරන පංතියේ චරිත බොහෝ විට පදනම් වුණා. ඒ වගේම ප්‍රංශ සමාජයේ ඒකාකාරීත්වය. බලාපොරොත්තු සුන්වීම වැනි කාරණා භාවාතිශය ස්වරූපයෙන් නිරූපණය වුණා. එසේ බිඳවැටෙමින් තිබුණු බලාපොරොත්තු තීරණාත්මක ලෙස නැවත ඉෂ්ට වීමට ගොස් ඔන්න මෙන්න තිබියදී සුන්වීයෑම මේ තුළ දකින්න තිබුණු පොදු කරුණක්. විශේෂයෙන් ඒ බිඳවැටීම මරණය වැනි ඛේදවාචකයක් මගිනුයි අවසන් වුණේ.

කතානාද සිනමාවේත් සමස්ත සිනමා කලාවේත් මුල්කාලීන යුගයට අයිති යැයි ගණනය කළ හැකි (මුල්ම කතානාද සිනමා කෘතිය ලෙස සැලකෙන The Jazz Singer තිරගත වූයේ 1927 ඔක්තෝබර්) කාව්‍යමය යථාර්ථවාදී සිනමාවේ කතා වස්තුව නිරූපණය කිරීමේදී වෙනත් අර්ථයකින් කාව්‍යාත්මක ගුණයක් දකින්නත් පුළුවන්. ඒ කවියකු තමන්ගේ කවියක් තුළ පද අනුක්‍රමය කළවම් කරනවා මෙන් කාව්‍යමය යථාර්ථවාදී සිනමාකරුවාද බොහෝවිට තම කථාවස්තුවෙහි අනුක්‍රමික රූපාවලිය නිර්මාණාත්මකව සුසංයෝග කිරීම. භාවාතිශය ලෙස රූගත කළ, එම රූපරාමු යට කීවා සේ අපූර්ව කාව්‍යමය රිද්මයකට අනුව සංස්කරණය වෙද්දී, ප්‍රේක්ෂක හැඟීම් තවදුරටත් කුළුගන්වන අයුරින් නිර්මිත අපූර්ව සංගීතයක් භාවිත වීම කාව්‍යාත්මක යථාර්ථවාදී සිනමාවේ අත්‍යාවශ්‍ය ලක්ෂණයක් වුණා.

දශකයක් පමණ පුරා ප්‍රංශය කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගුණු කාව්‍යමය යථාර්ථවාදී සිනමාව සඳහා,Pierre Chenal, Jean Vigo, Julien Duvivier, Marcel Carné සහ Jean Renoir වැනි සිනමාකරුවන් දායකවනවා. ඒ අනුව ප්‍රංශයේ බිහිවුණ මූලික සිනමා කෘති අතර, La Petite Lise (1930) ” Pension Mimosas (1934) ” Le Grand Jeu (1934) ” LzAtalante (1934) ” La Bandera (1935)” La Belle Équipe (1936)”  Les Bas-fonds (1936)” Pépé le Moko (1937)” La Grande Illusion (1937)”  La Bête humaine (1938)” Le Quai des brumes (1938)” Hôtel du Nord (1938)” La Règle du jeu (1939)” Le Jour se lève (1939) වැනි නිර්මාණ මූලික වනවා.

කාව්‍යමය යථාර්ථවාදය පසුකාලීන සිනමාවේ හැඩයත්, ලෝක සිනමාවේ දැවැන්තයින් වූ බොහෝ සිනමාකරුවන්ගේ සිනමා රූපයටත් තදින් බලපෑම් කළා. විශේෂයෙන් ඉතාලි නව යථාර්ථවාදය (Italian neorealism) හා ප්‍රංශ නවරැල්ල (French New Wave) වැනි සිනමා ව්‍යාපාර සඳහා මෙය තදින් බලපානු ලැබුවා.
කාව්‍යම යථාර්ථවාදය ප්‍රංශය තුළ තීරණාත්මකව අවසන් වීමට දෙවන ලෝක යුද්ධය (1939-1945) බලපෑවා. විශේෂයෙන් ප්‍රංශය හා ජර්මනිය අතර පැවති පසමිතුරු සම්බන්ධය මේ කාරණයේදී විශාල වශයෙන් බලපෑවා. ජර්මනිය තුළ මෙන්ම ප්‍රංශය තුළද ඇතැම් සිනමාපට තහනම් වුණා. Jean Renoir වැනි කාව්‍යම යථාර්ථවාදයේ පුරෝගාමී සිනමාකරුවන්ට එක්කෝ රට හැර යාමටත් නොඑසේනම් හමුදා සේවයට සම්බන්ධවීමට සිදුවීමටත් සිදු වුණා. පසුකාලීන යුගයේදී කාව්‍යමය යථාර්ථවාදී රීතිය බි්‍රතාන්‍ය සිනමාව තුළ වඩාලාත් දියුණු වූ අතර, විශේෂයෙන් බැසිල් රයිට් (Basil Wright), හම්ෆ්‍රි ජෙනින් (Humphrey Jenning) වැනි සිනමාකරුවන් එය ඉතා අපූර්ව ලෙස වාර්තා චිත්‍රපටයට පවා ගෙනාවා. පසුව මේ සිනමා හැඩය ඇමරිකානු සිනමාව, ඉතාලි සිනමාව, ස්වීඩන සිනමාව සහ ජපන් සිනමාව වැනි ලෝකයේ නොයෙක් රටවල සිනමාවන්ට බලපෑම් කරමින් වර්ධනය වුණා.

ප්‍රංශ කාව්‍යාත්මක යථාර්ථවාදයේ ප්‍රමුඛ සිනමාකරුවකු ලෙස සැලකෙන Marcel Carné ගේ අපූර්ව සිනමා කෘතියක් වන Le Jour Se Lève (Daybreak) නිර්මාණය වුණේ 1939 දී. සිනමා කෘතිය පටන් ගන්නේ දෙපැත්තෙහි ගොඩනැගිලි ඇති වීදියක දර්ශනයකින්. මේ ගොඩනැගිලි අතර මහල් ගණනාවක් තියෙන උසම නිවාස සංකීර්ණය තුළට කැමරාව යනවා. අන්ධ මිනිසෙක් තට්ටු නිවාස සංකීර්ණයේ තරප්පු පේළිය සීරුමාරුවට නගිනවා. මහල් නිවාස සංකීර්ණයේ තරප්පු පෙළට මුහුණලා ඇති එක් කාමරයකින් දෙදෙනෙක් රණ්ඩු වෙන සද්දයක් ඇහෙනවා. ඒ එක්කම වෙඩි හඬක්. කාමරයේ දොර ඇරවිත් වෙඩි වැදුණු තුවාලය අල්ලාගෙන එළියට එන මිනිසෙක් එළියට එනවා. ඔහු පඩිපෙළ ලිස්සා වැටී තරප්පු පෙළ දිගේ පහළ මහල දක්වා පෙරළී යනවා.
අන්ධ මිනිසා මේ වැටී ඉන්න මිනිසා පිළිබඳව දැන කලබල වී උදව් ඉල්ලා අසල්වැසියන්ට කෑගසනවා. ප්‍රදේශවාසීන් රැස්ව පොරකනවා. අන්ධ මිනිසා ඔහුට වෙඩි තිබ්බාද කෙනෙක් අසනවා. නෑ ඔහු (ඒ ආගන්තුක මිනිසා) සියදිවි නසාගන්න ඇති තව කෙනෙක් කියනවා.

මේ අතර පොලීසිය විත්, පඩිපෙළ දිගේ උඩට යනවා. වෙඩි වැදුණු මිනිසා එළියට ආපු කාමරේ වසා ඇති දොරට තට්ටු කරනවා. තමන්ට කිසිවකු මුණගැසීමට අවශ්‍ය නැති බවත්, තමන්ට තනියම ඉන්නට දී පිටවන ලෙසත් යමෙක් කාමරය තුළ සිට කියනවා. පොලීසිය එසේ නොකර දොර හරින්නට බලකර සිටිනවා. ඇතුළින් වෙඩි පහර තුනක් දොර දෙසට එල්ල වනවා. පොලිස් නිලධාරීන් ඇතුලු සියලු දෙනා බිය වී එළියට දිවයනවා. සියලු දෙනා දිව ගිය බව හැඟුණු නිසා අදාළ දොර ඇර පිස්තෝලයක් අතින් ගත් කතා නායකයා හෙවත් François එළියට එනවා. නැවතත් කාමරයට ගොස් දොර වහ ගන්නවා.

මේ අතර පොලිස් බලකායක් මහල් නිවාස සංකීර්ණය වටලනවා. අපරාධකරු, කලහකාරයෙක් හෝ බේබද්දෙක්ද කියා පොලීසිය අසල්වැසියන්ගෙන් අහනවා. නමුත් අසල්වැසියන් කියන්නේ François තම හොඳම අසල්වැසියා බව. මේ අතර කාමරයට ජනේලයෙන් පොලිස් වෙඩි වරුසාවක් එල්ල වෙනවා. François මුල්ලකට වී අකම්පිතව බලාගෙන සිටිනවා. සියුම් සංගීත රාවයක් වාදනය වනවා. පොලිස් වෙඩි ප්‍රහාරය අසාර්ථක වනවා.

තත්ත්වය තරමක් සාමකාමී බව තේරුම්ගත් පසු François හෙමෙන් හෙමෙන් ඇවිත් වෙඩි වැදීමෙන් බිඳී ගිය වීදුරු ජනේලේ සිදුරු අතරින් එළිය බලනවා. පහළ රැස්ව සිටින අතිවිශාල ජනකායත් පොලීසියත් පළමුවරට ඔහු දකිනවා. ඒ ජනකාය හිටිවනම මැකී, ඔහුට තම අතීත කතාව පේන්න ගන්නවා. (ඒ අතීතය දකින්නේ වෙඩි වැදීමෙන් සිදුරු වූ ජනේල් වීදුරු තුළින් වීම සංවේදී අර්ථ නංවනවා)

François කම්කරුවෙක්. දිනක් උදෑසන වැඩ බිමට මග වැරදී සුරූපී තරුණියක් එනවා. ඒ යම් කාන්තාවකට මල් කළඹක් බාරදීමට. ඇය මල්කරුවකුගේ සහායිකාව ලෙස රැකියාව කරන්නියක්. ඇගේ නමත් François වන අතර, දෙදෙනාම අනාථ නිවාසවල සිටි අය බව ඔවුන් සංවාදයේදී අවබෝධ කරගන්නවා. දෙදෙනා අතර මුල් හමුවේදීම කිසියම් බැඳීමක් ඇතිවන අතර, ඔහු ඇයට මල් ලබාදිය යුතු කාන්තාව සිටින තැනට යන ආකාරය පෙන්වා දෙනවා.

සති තුනකට පසු දිනක මධ්‍යම රාත්‍රිය. ඔහු ඇගේ නවාතැන වෙත යනවා. ඔවුන් ආදරයෙන් වෙලී ඉන්නවා. තමාට ඇයව විවාහ කරගන්න අවශ්‍යයි, ඔහු කියනවා. නමුත් ඇය එයට සියුම්ව අකමැත්ත පෙන්වනවා. ඇය කුඩා කල සිට ඈ ළඟ තිබුණු, එක් කණක් කැඩුණු ටෙඩිබෙයාර් ඔහු දකිනවා.

“One ear’s missing. But he’s cute” ඔහු කියනවා. “He is like you’’ ඇය උත්තර දෙනවා.

හු තමන්ගේ කන අතගාලා බලනවා. ඇය තමාට ගමනක් යා යුතු බව කියනවා. ඔහු ටෙඩිබෙයාර් රැගෙන ඇගේ නිවසින් පිට වී එළියට වී සැඟව සිටිනවා.

ඇය මධ්‍යම රාත්‍රියේ තනියෙන්ම පිටත් වෙන්නේ නාට්‍ය ශාලාවකට. ඔහුත් පසුපසින් විත් සැඟව බලා සිටිනවා. ඇය මැදිවියෙහි වූ Valentin නම්, සුනඛ සංදර්ශන ශිල්පියකු සමග සම්බන්ධයක් පවත්වන බව ඔහු දකිනවා. ඔහු ඔවුන්ට නොදැනී, Valentinගේ සහායිකාව වන Clara හා සම්බන්ධයක් ගොඩනගා ගන්නවා.

නැවතත් මතකයෙන් අවධි වී කාමරයට එනවා. අසල්වාසීන් එකතුව ඔහු ගැන දුක් වෙනවා. ජනේලෙන් හැරී ඇතුළට යද්දී ඔහුට එක් කනක් අහිමි ටෙඩිබෙයාර් පෑගෙනවා. ඔහු එය කණ්ණාඩියට අල්ලා තමන්ගේ එක් කනක් අතින් වසා සමානදැ’යි බලා පරෙස්සමට මේසය උඩ තියනවා. මේ අතර පොලීසියෙන් කාමරය අසලටම පැමිණ දොරට වෙඩි තියනවා. අසල්වාසීන් ඔහු වැරදිකරුවකු නොවන බව පවසා ඊට විරුද්ධ වෙනවා. වෙඩි පහරින් දොර සිදුරුවෙනවා. ඒ අතර ඔහු දොර ළඟට තමන්ගේ විශාල අල්මාරිය හේත්තු කරනවා. අල්මාරියේ එක් දොරක් ඇරෙනවා. ඒ විගස ඔහු දකින්නේ අල්මාරියේ එල්ලලා තියෙන ඇගේ ඡායාරූප සමූහයක්. අල්මාරිය හේත්තු කිරීම නිසා පොලීසියේ වෙඩි ප්‍රහාරය නැවතත් අසාර්ථක වෙනවා. රූප මාලාව නැවතත් අතීතයට මාරු වෙනවා.

ඔහු Valentin ගේ සහායිකාව වූ Clara හා සම්බන්ධය දිගටම පවත්වාගෙන යනවා. දිනක් Clara ක්ලේරාගේ නිවසට එද්දී ඔහු ඉන්නවා. දෙදෙනා රණ්ඩුවකට පැටලෙන අතර පසුව පිරිමි දෙදෙනා වෙනත් අවන්හලකට ගොස් සාකච්ඡා කරනවා. තම සහායිකාව වන Clara සමග සම්බන්ධය නවත්තන ලෙස Valentin කියනවා. François කියන්නේ එසේ නම් තම පෙම්වතිය වන François සමග සම්බන්ධය නවත්වන ලෙස. නමුත් එය නොකළ හැකි බවත්, François තමන්ගේ දියණිය බවත් Valentin කියනවා.

Valentin කියා ඇත්තේ මුසාවක් බව පසුව François හෙළිදරව් කරනවා. ඇයට ඔහු හම්බවෙන තෙක් තමන්ට අනුකම්පා කළ එකම පුද්ගලයා Valentin බවත් ඔහු තමන් කැමති විවිධාකාර ත්‍යාග තමන්ට දුන් බවත් ඇය කියනවා. ඔහුට අවශ්‍ය නම් තමන් නැවත Valentin මුණ නොගැසී ඉන්න බවත් ඈ කියනවා. ඔවුන් දෙදෙනා අතර ආදරය නැවත දළුලන බව පේනවා. ඇය තම ගවුමෙහි ගසා තිබූ කුඩා පළඳනාවක් ඔහුට දෙනවා. ඒ එය මෙතෙක් කල් තමා රැකගෙන හිටි එකක් ලෙස පවසමින්.

මේ අතර ඔහු Clara මුණගැසී ඇගෙන් සමුගන්න වන බව කියනවා. තමා සැබවින්ම ආදරේ François බව කියනවා. ඇය ඉන් ශෝකයට පත් වුවත් හිත හදාගෙන ඔහුට කලින් François විසින් දුන් ආකාරයේම පළඳනාවක් දෙනවා. එය තමාට Valentin දුන් බවත් ඔහු ළඟ එවන් පළඳනා රාශියක් තියෙන බවත්, ඔහු ඒවා තරුණියන්ට දී රවටා ගන්න බවත් හෙළිවෙනවා.

නැවතත් වර්තමානය. ඔහු ඇඳ උඩ ඉඳන් ස්ත්‍රීන් දෙදෙනාම දුන් පළඳනා දෙක දකිනවා. තරහ ගොස් ඇඳෙන් බැස ඒවා එළියට වීසි කරනවා. පසුව ඔහු සඳලුතලයට විත් පහළ සිටින අසල්වාසීන්ට කතා කරනවා. ඔහු උඩ සිට බිමට පනීවි යන බියෙන්, කරදරයක් නැති බවත් පහළට බහින ලෙසත් ඔවුන් ඔහුගෙන් ඉල්ලනවා. මේ අතර François ද මේ කාරණය ආරංචි වී එතනට එනවා. ඇය ඔහු දැක ක්ලාන්ත වෙනවා. නැවතත් රූපරාමු අතීතෙට මාරුවෙනවා. ඔහුගේ කාමරයට නොහිතූ ලෙස Valentin එනවා. François තමාව බලන්නට නොඑන්නේ ඔහු නිසා යැයි Valentin චෝදනා කරනවා. කරුණාකර කාමරයෙන් පිටවන ලෙස François Valentinට කියනවා. ඇය තම දියණිය කීවේ බොරුවට බවත් කෙසේ හෝ ඇයව ලබාගන්නා බවත් Valentin කියනවා. ඔහු Valentin අල්ලා පහර දෙන්න යනවා. පිටව යන ලෙස කීවත් Valentin පිටව යන්නෙ නෑ. සංවාදයේ තීරණාත්මක තැනකදී François ගේ පිස්තෝලය පත්තු වෙනවා. Valentin පපුව අල්ලාගෙන දොර ඇරන් එළියට යනවා.

මේ අතර සිහිය නැතිවුණ François ව Clara තමන්ගේ කාමරයට ගෙනියනවා. ඒ අතර ඔහුට කඳුළු ගෑස් ගසන්නට පොලීසිය සූදානම් බව මිත්‍රයින් දෙන්නෙක් Clara කියනවා. Françoisඅඩ සිහියෙන් ඇඳෙහි උන් නිසා එය ඇයට ඇහෙන්නේ නෑ.

පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඔහුගේ කාමරයට කඳුළු ගෑස් එල්ල කළ හැකි පරිදි වෙනත් ගොඩනැගිල්ලක වහලය දිගේ හෙමින් හෙමින් ළංවෙනවා. François තමන්ගේ පිස්තෝලය තමාගේ හදවතට එල්ල කරනවා. වෙඩි හඬ එනවා. ඒ සමගම කඳුළු ගෑස් ප්‍රහාරයක් ද කාමරයට එල්ලවෙනවා. කඳුළු ගෑස් කාමරයේ පැතිරෙද්දි වෙඩිවැදී මියගිය Françoisගේ සිරුර බිම වැටී තියෙනවා.

සිනමා පටයේ කථා නායකයා වන François ගේ චරිතයට පණ පොවන Jean Gabin ගේ සහ කතා නායිකාව වන Françoise ගේ චරිතය රඟපාන Jacqueline Laurent ගේ මෙන්ම Valentin ගේ චරිතයට පණ පොවන Jules Berry හා Clara චරිතය රඟපාන Léonie Marie Julie Bathiat ගේ රංගනයත් අතිවිශිෂ්ටයි. Maurice Jaubertගේ අතිවිශිෂ්ට සංගීත සංකලනය Le Jour Se Lève සිනමා කෘතිය කාව්‍යමය යථාර්ථවාදී භූමියෙහි පිහිටුවනවා පමණක් නෙමෙයි ප්‍රේක්ෂක භාවාතිශ්‍යභාවය තීව්‍ර කරනවා.