පාරාදීසයක කඳුළු අනාගතවාදී මැදිහත්වීමක්

විමලනාත් වීරරත්න

ලංකාව ගැටුම් රහිත රාජ්‍යයක් නොවීමට ප්‍රධාන හේතුව වසර 71ක් තිස්සේ රට පාලනය කළ නායකයන්ගේ අදූරදර්ශී ක්‍රියාමාර්ග බව පැහැදිලිය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී.ගේ සිට ඔහු අනුයන්නකු යැයි කියන වර්තමාන ජනාධිපති දක්වා සියල්ලෝ දුබල රාජ්‍ය පාලන සැලසුම් නමැති මඩගොහොරුවේ කරටවක් එරී සිටියහ. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. රාජ්‍ය පාලන මතවාදය ලෙස ජාතිකවාදය ඉස්මත්තට ගත්තත් ඔහු වාසය කළේ ජාතිවාදය හා ජාතීන් අතර සමගිය අතරමැද වැනෙසුළු ඒ දණ්ඩක් මතය. ඔහු සිය රාජ්‍ය පාලන කාලයෙන් වසර තුන ඉක්මවන විට ඝාතනයවීමට එක් ස්ථාවරයක් නොදැරීමත් හේතුවිය. ඔහුට මියයාමට සිදුවන හේතුව වැදගත් වෙයි. බණ්ඩාරනායක ඝාතනය වන්නේ හෙතෙම සිංහල රාජ්‍ය භාෂාව බවට පත්කර දෙමළ ජනයාට අසාධාරණයක් කළ නිසා නොවේ. යළි තරමක් පසුපසට හැරී දෙමළ භාෂා විධිවිධාන පනත ගෙන ඒම නිසාද නොවේ. ඔහු අනුදත් ජාතිකවාදී දේශපාලනයේ තිර පැවැත්මක් ඔහුට නොතිබුණු නිසාය. මහින්ද රාජපක්ෂ සිය පාලන කාලය තුළ ජාතිකවාදයෙන් ජාතිවාදයටත් එතැන් සිට අන්තවාදයටත් ගියේය. එමගින් ඔහු දේශපාලන රැස් වළල්ලක් තනාගත් අතර එම රැස් වළල්ල කිසිවකුටත් වෙඩි තබා සිදුරු කළ නොහැකි මර්දනකාරී ඝනකම් වැස්මකින් ආවරණය වී තිබුණි. මතවාදයක් පෝෂණය කර ඒ මගින් පැවැත්ම සෙවීමේ වැඩපිළිවෙළේදී රාජපක්ෂට සාපේක්ෂව බණ්ඩාරනායකගේ ක්‍රමය ප්‍රාථමිකය. රෙජීම් න්‍යාය බණ්ඩාරනායකට අභ්‍යාස කර බැලීමට අවස්ථාවක් හා පූර්වාදර්ශයක් නොවීමද මෙහිදී සැලකිල්ලට ගත යුතු කාරණයකි.

ලංකාව තුළ දේශපාලන ප්‍රචණ්ඩත්වය හා දේශපාලන ඝාතනය යන්න සනිටුහන් කැරෙන බණ්ඩාරනායක ඝාතනය වැළැක්වීම පහසු එකක් නොවේ. මන්ද ඔහු මරා දැම්මේ ඔහු ඇති කළ ක්‍රමය තුළම අඩමානව ජීවත් වූ පිරිසක් විසිනි. බණ්ඩාරනායක කිසියම්ම හෝ විචල්‍යයක් නොවීම මේ ඝාතනයට උත්ප්‍රේරක වූයේය.

ධර්මසිරි බණ්ඩාරනායකගේ පාරාදීසයක කඳුළු වාර්තා චිත්‍රපට මාලාවේ දෙවැන්න ඇරඹෙන්නේ 56 බණ්ඩාරනායක ඝාතනයෙනි. ඒ පාරාදීසය සොයා නම් වූ පළමු වාර්තා චිත්‍රපටය නැවතුණු තැනෙනි. පාරාදීසයක කඳුළු 56-83 දක්වා දිවෙයි. එම වසර 27 යනු ලංකා දේශපාලනය මහත් වියවුල් රැසකට පාත්‍ර පරම්පරාවක ආයු කාලයකි.

බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව 60 මාර්තු මැතිවරණයක් පවත්වා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැති ධුරයට පත් කිරීම මෙරට දේශපාලනයේ එක් වැරදි අසංස්කෘතික පූර්වාදර්ශයක් බව පෙනී යයි. නායකයා මියගිය පසු පක්ෂයේ නායකත්වයට පත්විය යුත්තේ මියගිය නායකයාගේ වැන්දඹු බිරිඳද? නැතහොත් පක්ෂයේ වෘත්තීයමය වශයෙන් ක්‍රියාකරමින් සිටින දෙවැනි නායකයාද යන ප්‍රශ්නයේදී ශ්‍රීලනිප ප්‍රධානීහු දුර්වල හා වැඩවසම් තීන්දුවක් ගත්හ. ඒ අනුව එතැන් සිට වසර 34කට පසුවත් එනම් සමාජය අතීතයට සාපේක්ෂව දියුණුවක් ලබා සිටියදීත් එජාපය වැනි පක්ෂයකුත් ගාමිණී දිසානායක ඝාතනය වූ අවස්ථාවේ ශ්‍රීමා දිසානායක ජනාධිපතිවරණයට නම් කරනු දක්නා ලැබිණි. පාරාදීසයක කඳුළු වාර්තා චිත්‍රපටය තුළ අදහස් දක්වන ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් කියා තිබුණේ බණ්ඩාරනායක මියගිය පසු පක්ෂයේ දෙවැනි නායකයා ලෙස සිටි සී.පී. ද සිල්වාට නායකත්වය හිමිවිය යුතුව තිබුණු බවය. එහෙත් ආචීර්ණ කල්පිත අරුතකින් ක්‍රියා කළ ශ්‍රීලනිප නායකයෝ සිරිමාවෝ පක්ෂයේ නායකත්වයට පත් කළහ. සී.පී. ද සිල්වාට නායකත්වය නොදුන්නේ ඔහුගේ කුලය නිසාය.

පාක්ෂිකයන්ටත් නායකයන් පෙන්වා දෙන මගහැර වෙනත් මගක් නොවුණු බව පැහැදිලිය.

බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත් වී ශ්‍රීලනිපය හැදුවේ එජාපයේ පවුල්වාදය තුළ ඔහුට දෙවැනි පෙළෙන් පළමු පෙළට යා නොහැකි තත්ත්වයක් උදාවුණු නිසාය. ඩී.එස්.ගෙන් පසු දෙවැනි නායකයා වූ කොතලාවලට අවස්ථාව නොදී එම පක්ෂයත් ඩඞ්ලි නායකත්වයට ගෙන ආවේය. බණ්ඩාරනායක එම පක්ෂයෙන් ඉවත් වූ කාරණයම ඔහුගේ මරණයෙන් පසු නව පක්ෂය තුළත් බලපැවැත්වීය.

62 ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණය පාරාදීසයක කඳුළු තුළ වර නැගෙන ආකාරයද අධ්‍යයනය කළයුත්තකි. ආණ්ඩුව පෙරළීමේ ප්‍රයත්නය මතුවී තිබෙන්නේ ශ්‍රීලනිප ප්‍රගතිශීලී ප්‍රතිපත්ති නිසා ප්‍රභූ පන්තියේ වරප්‍රසාදවලට ඉන් බාධා කැරෙන පසුබිම මත යැයි ප්‍රකාශ වෙයි. බස් ජනසතුව වැනි ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති ජනතාවාදයකට යන ලකුණු පෙන්නුම් කළ නිසා මෙවැනි ප්‍රතිවිරෝධයක් ප්‍රභූ පන්තිය තුළ ඇතිවන්නට ඇත. එහෙත් එය මුළුමනින් ඇත්තක් නොවේ. ශ්‍රීලනිපය ධනපති පක්ෂයක් වෙනුවට තෝරාගත හැකි මැද පන්තියේ ගැමි කුලාක්වරුන්ගේ පක්ෂයකි. මැද යනු කොතැනද යන්න සොයාගත නොහැකි නිසා අදත් ශ්‍රීලනිපය නායකයා අනුව දේශපාලන මතය තීරණය වන පක්ෂයක් බවට පත්ව තිබේ. නිදසුනක් ලෙස චන්ද්‍රිකා ජනපතිනයගේ කාලයේදී ජාතික සමගිය ගැන කතා කරන ශ්‍රීලනිපය රාජපක්ෂගේ කාලයේ උග්‍ර ජාතිවාදී ස්ථාවරයක් දැරුවේය. ජාතික සමඟිය ගැන මතයද පැහැදිලි නැත. සිරිමාවෝගේ පටන් මහින්ද රාජපක්ෂ දක්වාම නායකයෝ මානව හිමිකම් උල්ලංඝනය කළහ. මෙම පක්ෂයට නිවැරදිම හැඳින්වීම දී තිබුණේ ගුණදාස අමරසේකරය. ඒ ශ්‍රීලනිපය යනු කවන්ධයක්ය යන්නය. කවන්ධය ජනතාවාදී පක්ෂයකැයි එජාපයේ ප්‍රභූවරු අර්ථකථනය කර ගත්හ. එය නිවැරදි හැඳින්වීමක් නොවේ. මෙම වරදවා ගැනීම එජාපයටත් වඩා සිදුකර ගත්තේ වමේ පක්ෂ විසිනි. කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය ශ්‍රීලනිපය සමග දේශපාලන දීගයක් ඇරඹූයේ ශ්‍රීලනිපයේ ව්‍යාජ ප්‍රගතිශීලීත්වයට හසුවීමෙනි. 64 වනවිට සමසමාජය, කොමියුනිස්ට් පක්ෂයෙන් ගලවා ගලග්‍රහයෙන් ගැනීමට තරම් ශ්‍රීලනිපය කුප්‍රකට වූ බව පාරාදීසයක කඳුළු වාර්තා චිත්‍රපටයෙහි දැක්වෙයි. ලංකාවේ වමේ ව්‍යාපාරයට විශේෂයෙන් කොප හා ලසසපයට මැද පන්තියේ යැයි කියන කවන්ධ පක්ෂය තුළ ගාල් නොවී ජාතීන් අතර ඒකත්වය ඇති කරන හා ජාතිය ගොඩනැගීමට ඉවහල් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්නට මෙන්ම දේශපාලනමය වශයෙන් වූ සංවිධිත ආදර්ශයක් දෙන්නට හැකිවුණි නම් පාරාදීසයට කඳුළු නැති දෑසක් උරුම වන්නට තිබුණි.

අධ්‍යාපනයේ ප්‍රමිතිකරණය ගෙනාවේ සිංහල මහ ජාතිය තෘප්තිමත් කරනු පිණිසය. දෙමළ සිසුහු වැඩි පිරිසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සමර්ථතාව ලබන පසුබිම තුළ ජනගහනයේ අනුපාතයට එම සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ තීන්දුව තරම් තිරස්චීන මානව විරෝධී තීරණයක් තවත් තිබිය හැකිද? කඩඉම් විභාගය, සිංහල පරිපාලන භාෂාව කිරීම වැනි අන්තවාදී තීරණවලට එරෙහිව වීදි බට දෙමළ ජනයාට මර්දන යන්ත්‍රණය ක්‍රියාත්මක කැරෙන විට ඇන්.ඇම්.ලා, කොල්වින්ලා ප්‍රමුඛ වමත් මැද මාවතේ ආණ්ඩුව තුළ සිටි නිසා ඊට එරෙහි නොවූයේය. රිචඞ් උඩුගමලා උතුරේ දෙමළ නිවාස ගිනි තැබූහ. පොලිසිය උද්ඝෝෂකයන්ගේ ඔළු පැලුවේය. බණ්ඩාරනායකත් සිරිමාවෝත් පසුවූයේ තමන් මහ ජාතියේ නිසා සුළු ජාතිය යටපත් කරගත හැකිය යන ආකල්පයෙහිය. බණ්ඩාරනායකටත් වඩා සිරිමාවෝ එම මතය දැරූ නායිකාවක් බව පෙනේ. දේශපාලන නායකයන් බලය පිළිබඳ මඬනා ලද හැඟීම හැමවිටම ඉස්මත්තට ගත් පසුබිමක් තුළ පාරාදීසයක කඳුළු නොනැවතී ගලා ගිය බව කිව හැකිය. දේශපාලන අරමුණුවලට ප්‍රතිපක්ෂව ජාතීන් කිහිපයක් වාසය කරන රටක ලාංකික ජාතියක් ගොඩනැගීමට ක්‍රියා නොකිරීම නිසා එළැඹෙන සෑම නව දසකයක්ම පැරණි ආරාවුල් මෙන්ම ඒවා නිසා පැන නඟින නව ආරාවුල්වලින් පිරී ගියේය. මේ ප්‍රශ්නය මෙරට නිහස් ව්‍යාපාරයේ සිටම ගොඩනැගුණු ආරාවුලකි. නිදහස් ව්‍යාපාරයට පටු දෘෂ්ටියක් මිස පළල් දෘෂ්ටියක් නොමැතිවීම අර්බුදයේ පදනම හා ආරම්භය විය. ජාතීන් කිහිපයක් සමග එක්ව ලෞකික රාජ්‍යයක් හදන්නේ කෙසේද යන්න පිළිබඳ අදහසක් ලංකාවට නොතිබීම මේ අතර ශරීරයේ රෝග නිධානය වෙයි. මෙම විෂයේදී ලංකාවට ඉන්දියාව ආදර්ශයට ගත හැකිව තිබුණු මුත් මෙරට නායකයෝ ඒ ගැන සවිඥානික නොවූහ.

කළු ජූලිය හා උතුර

71 සහ 89 පරිදිම උතුරේ අරගලය හේතුවෙන් රටේ අනාගතයට වැඩ කරන්නට සිටි අතිවිශාල පිරිසක් මිය ගියහ. බණ්ඩාරනායකට සිරිමාවෝට ජේ.ආර්. ජයවර්ධනට ජාතිය ගොඩනැගීමට හැකි වූවා නම් ප්‍රභාකරන් ස්ථාපිත වනුයේ ත්‍රස්තවාදී නායකයකු ලෙස නොව ලාංකීය ජාතියේ සාමාන්‍ය පුරවැසියකු ලෙසය.

83 කළු ජූලිය ඇරඹුණේ හමුදා භටයන් 13 දෙනකු ඝාතනය කිරීමට එරෙහිවීමක් ලෙසය. ඊට වන්දි වශයෙන් සිංහල ප්‍රචණ්ඩකාරීහු දෙමළ ජාතිකයන් හාර දහසකට ආසන්න සංඛ්‍යාවක් මරා දැම්මෝය. පාරාදීසයක කඳුළු චිත්‍රපටය තුළ වැලිකඩ බන්ධනාගාරයෙහි සිට දිවි බේරාගත් දෙමළ ජාතිකයකු කරන හෙළිදරව්ව මනස තැති ගන්වනසුලුය. කුට්ටමනී ජෙගන් ඇතුළු දෙමළ සිරකරුවන් සිය ගණනක් කපා කොටා මරා දමා තිබුණි. කුට්ටුමනීගේ දෑස් උගුල්ලා දැමූ බවද ප්‍රසිද්ධ කතාවකි. දෙමළ ජනයාගේ දේපළ මංකොල්ලකෑම, කපා කොට මරා දැමීම, ගිනි තැබීම, ස්ත්‍රීන් දූෂණය හා පසුව මරා දැමීම ආදී තිරස්චීන අපරාධ වැලක් වෙනුවෙන් හෘදය සාක්ෂ්‍යයක් ඇති අනාගත සිංහල ජනතාව වගකිව යුතුය. ධර්මසිරි පාරාදීසයේ කඳුළු තුළින් අවධාරණය කරන්නේ මහ ජාතියේ වගකීම් විරහිත ක්‍රියාමාර්ග රට නිරයට ඇද දැමූ අන්දමය.

පාරාදීසයක කඳුළු චිත්‍රපටය තුළ යාපනය පුස්තකාලය ගිනි තැබීමේ පුවත දර්ශනය කැරෙන ආකාරය හද කම්පා කරවනසුලුය. දෙමළ සමාජයේ බිහිවූ විශිෂ්ට බුද්ධිමතකු වූ මහාචාර්ය සිවතම්බි කියා තිබුණේ යාපනයේ උගතුන් විශාල පිරිසක් පරිහරණය කළ පොත්පත් පුස්තකාලයේ තිබුණු බවය. කුල භේදයෙන් දුප්පත්කමින් ආතුර දෙමළ සමාජයේ ජන කොටස්වලටත් උඩට නැගීමට තිබුණු හිනිපෙළ අධ්‍යාපනය බවත් එම අවස්ථාව පැහැර ගැනීම තම ජාතිය අත්විඳි මහත්ම ඛේදවාචකය බවත් සිවතම්බි මහතා එක් රූප රාමුවක හැඟීම්බරව කීවේය. මෙරට වාසය කරන දෙමළ හා මුස්ලිම්, ආක්‍රමණික ජාතීහු නොවෙති. සාමකාමී රටක ජීවන අපේක්ෂාව සිංහල දෙමළ මුස්ලිම් හැම ජන කොටසක් වෙනුවෙන්ම තෘප්ත කර දිය යුතුය. ජාතිය ගොඩනැගීමේ වැදගත්කම හා තීරණාත්මක තත්ත්වය මතුව එන්නේ එහිදීය.

වාර්තා චිත්‍රපට කලාව කෙතරම් වැදගත් කලාවක්දැයි ධර්මසිරි බණ්ඩාරනායක පාරාදීසයේ කඳුළු ඔස්සේ පසක් කරවයි. ඔහුගේ මෙම අපක්ෂපාතී ඉතිහාස පෙළ ගැස්ම අනාගතවාදී මැදිහත්වීමකි.

ඉල්ලීමක්

එම අනාගතවාදී මැදිහත්වීම මෙරට පුරවැසියන්ට නරඹන්නට ඉඩ ප්‍රස්තාව හිමිකර දිය යුතුය. සැබැවින්ම එය හැම කෙනකුම නැරඹිය යුතුය. ඒ සඳහා සම්මත ක්‍රමයට චිත්‍රපට ශාලා තුළ ඉඩ නොලැබේ. එසේ නම් පාරාදීසයක කඳුළු ප්‍රදර්ශනයට විකල්ප ක්‍රමයක් සොයා ගත යුතුය. එවැනි සැලැසුමක් සඳහා දායක වීමට රිසි අයකුට 0777739798ට ධර්මසිරිට දුරකතන ඇමතුමක් දී ඒ පිළිබඳව සාකච්ඡා කළ හැකිය.