සෙල්ලංද කොල්ලෝ

ඒ. වික්‍රමසූරිය

හැත්තෑවේ දශකයේ මුල වී.ඒ. සුගතදාස ප්‍රථම ක්‍රීඩා ඇමතිවීමත් සමග ඇරඹි ක්‍රීඩා අමාත්‍යාංශය ගමන් මගට අඩසිය වසක් කිට්ටුය. මේ දශක කිහිපයට ක්‍රීඩා අමාත්‍යවරු දාහතර දෙනෙක් තනතුරු දරා ඇත. යහපාලන ආණ්ඩුවේ අවුරුදු හතරට ක්‍රීඩා අමාත්‍යවරු හතර දෙනෙකි. මේ ක්‍රීඩා අමාත්‍යවරු රොත්ත බුරුත්තෙන් ක්‍රීඩාවට වැඩක් කළේ කීයෙන් කීදෙනාද? මුල් කාලයේ ක්‍රීඩා අමාත්‍යවරු ක්‍රීඩාව වෙනුවෙන් අප්‍රමාණව වෙහෙසුණු අතර එහි ප්‍රතිඵල අදටත් තිබේ. වී.ඒ. සුගතදාස මහතාගේ මැදිහත්වීමෙන් ගැනුණු සුගතදාස ක්‍රීඩාංගණය ඇරුණු කොට අදටත් අපට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් නැත. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ මහ ඉහළින් කළ දියගම ක්‍රීඩාංගණය අද නන්නත්තාරය. මුල් කාලයේ ක්‍රීඩා අමාත්‍යවරු ක්‍රීඩාවට ආදරය කළ සැබෑ ක්‍රීඩකයන් වූහ. එහෙත් එස්.බී. දිසානායකගෙන් පසු ක්‍රීඩාව වෙනම ආරකට ගමන් කරන්නට පටන් ගත්තේය. අද විකාරයක් වී ඇති මෙම ක්‍රීඩා පරිපාලනය මෙලෙස වූයේ එස්.බී. කාලයේ පටන්ය. බොහෝ අයට මෙරට ස්වර්ණමය යුගය එස්.බී. යුගයය. ඒ අපි ඔලිම්පික් දෙවන වරට දිනන තැන දක්වා ආ නිසාය. එහෙත් ඇත්ත නම් මේ මජර ක්‍රමය නිර්මාණය වූයේද ඔහුගේ කාලයේ වීමය. ක්‍රීඩා සංගම් ඇමතිවරු සල්ලිවලට ගත් ඒ කාලය ඇමතිවරු සංගම් හි රූකඩ බවට පත්වූයේය. එය දිගටම ඇදි ඇදී ආ අතර මහින්දානන්ද අලුත්ගමගේ එයින් මිදී සංගම් මත යැපෙන ඇමැත්තෙක් වෙනුවට පිටටනි මත යැපෙන ඇමැත්තෙක් නිර්මාණය කළේය. මුලදී පිට්ටනි හදන ටෙන්ඩර් ඇමතිට කිට්ටු වී ගාණක් මිට මෙලවීම සාමාන්‍ය ක්‍රමය වුවත් පසුව ඇමැත්තෝ ඒ අයගේ අය දමා ටෙන්ඩර් එකම තමන් සතු කර ගත්හ. ක්‍රීඩාවට, ක්‍රීඩකයන්ට අලුත් උපක්‍රම, නව දැනුම එන්නත් නොකළද ක්‍රීඩා අමාත්‍යවරු නම් තමාට අවැසි ගැහිලි අලුත්ම ක්‍රමවේදයන්ට අනුව කළෝය. එහි ප්‍රතිඵලය වූයේ ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා ඇමතිවරුන්ට ඉල්ලමක් වෙද්දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවම ලෙල්ලමක් වීමය. මේ තත්ත්වය කවදා කවුරු වෙනස් කරනු ඇත්ද යන්න උභතෝකෝටිකයකි. එන එන ඇමතිවරු ලවා ඒ වෙනස කරගන්නට බොහෝ කන්නලව් අපි කළමුත් ඒ කිසිවෙක්, කිසිවක් මායිම් කරතැයි නොපෙනෙති. ක්‍රීඩා අමාත්‍යවරු නොසිතන්නේම ක්‍රීඩාව ගැනය. ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ගැනය. ක්‍රීඩාවෙන් අප සතු ස්වර්ණමය යුග තිබුණි. එහෙත් ඒවා අද හුදු මතකවලටම සින්න වී ඇත. මලල ක්‍රීඩාවෙන් අපි උපරිම දස්කම්, විස්කම් පෑවෙමු. එහෙත් අද ඒවා අනාථය. බොක්සිංවලින් අපි ලෝකයා වෙත ගියේ ඩයන් ගෝමස්ගේ පාලනයට පෙරය. බොක්සිං හොඳම යුග තිබුණේ ඩයන්ලා මේවාට පය ගහන්නටත් ප්‍රථමය. එහෙත් කයිවාරු අතින් ඩයන් වැඞ්ඩෙක් නිසා ඔහු බැබලී බොක්සිං වැළලී ගියේය.

පාපන්දුව මෙරට ජනප්‍රියතම ක්‍රීඩාවක් වූ යුග විය. ඒ මනිල්ලාට පින්සිදුවන්නට නොව ඔහුට පෙර සිටි පරිපාලන නිලධාරීන්ගේ වැඩ නිසාය. මනිලාල් හරහා පරිපාලනය මොඞ් වී පාපන්දු යනු මනිලාල් බවට පත්විය. මනිලාල් නම් පාපන්දු පාපන්දු නම් මනිලාල් වීමත් සමග පාපන්දු ක්‍රීඩාව අතුරුදහන් විය. පාපන්දු මූලස්ථාන ලොකුවට ගැනුණි. පාපන්දු පුහුණු සංකීර්ණ ගැනුණි. එහෙත් පාපන්දු ක්‍රීඩකයෝ වඳ වූහ. මනිලාල්ට පසුව ආ අයද මනිලාල් කෑ ඉඳුල් කා පෝෂණය වූවා මිස පාපන්දුවට සෙතක් නොකළේය. අද ඒ ක්‍රීඩාව ඉවරය.

වොලිබෝල් ක්‍රීඩාව ඩිලාන් පෙරේරා සුඛිත මුදිත කළේ යැයි කාලයක් කයිවාරු එමට විය. ඔහු ඇමැත්තා ලෙස වොලිබෝලය බදාගෙන ඔහුට හිතැති කට්ටිය සමග බෙදාගෙන කෑවා මිසක ඉන් එහාට දියුණුව කරා ගෙන නොගියේය. අද වොලිබෝලයට සිදුව ඇත්තේ කුමක්ද? එයට වගකිවයුතු ප්‍රධානතම චූදිතයා ඩිලාන්ය.

ක්‍රිකට් විනාශ කළේ තිලංග බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් තිලංගට තනිව එහි සියලු වගකීම් දියයුතු නොවේ. තිලංග මෙන්ම ජයන්ත ධර්මදාසත් ක්‍රිකට් විනාශ කළේය. අදටත් ඒවායේ අරක් ගෙන සිටින්නේ ඔවුන්මය. තිලංග ගිය කල එතනට එන්නේ ජයන්තය. තත්ත්වය එබඳුය. ක්‍රිකට් මාෆියාව මේ පවුල් දෙකින් ගලවා ගැනීම ලේසි නැත. තිලංග දේශපාලනයේ උපරිම ප්‍රයෝජන ලබන අතර ජයන්ත මුදල් බලය උපරිමය කර ගැනීමට යොදා ගනී. එන එන ඇමැත්තෝ එක්කෝ තිලංග පැත්ත ගනිති. නැතහොත් ජයන්ත පැත්ත ගනිති. ක්‍රීඩාව පැත්ත ගන්නට මේ අයට ඇත්ත වුවමනාවක් නැත.

ඩඞ්ලි සේනානායකලා පවා කරක් ගැසූ පිහිනුම් පරිපාලනය අන්තිමට අත්පත් වූයේ රැකියාවක් නැති රස්තියාදුකාරයන්ටය. ඉතා ආඩම්බරයෙන් කතා කළ පිහිනුම් යුගය නේතෘලා අත්පත් කරගත් පසු විනාශ විය. ජනපති සිරිසේනද පිහිනුම් පාලනයේ කෙටි කලක් සැරිසැරුවේය. එහිදී මෙලෝ මළදානයක් නොකළ ඔහු පසුව පිහිනුම්වලට මහා දෙයක් කළ බවට කතාබතා විය. ඇත්ත නම් ඔහුද එකල නේතෘගේ රූකඩයක් වීමය. අදත් පිහිනුම් පරිපාලනය ඇත්තේ නේතෘ අතේය. දැන්වත් ඔහු පැරණි මෝඩකම් අතහැර පිහිනුම් ගැන සිතිය යුතුය. එසේ නොහැකි නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොගිල්වා ඔහු ගිලී අතුරුදහන් විය යුතුය.

රාජපක්ෂලා රග්බි ක්‍රීඩා කරන කල මෙරට ඇති එකම ක්‍රීඩාව රග්බි විය. දැන් රග්බි අයාලේ යන තැනට තල්ලු වී ඇත. ඒ රාජ්‍ය අනුග්‍රහය ගිලිහී ඇති නිසාය. අද රග්බි ක්‍රීඩාවට අත්වී ඇත්තේ නරක කලදසාවක්ය. එය සෑම ක්‍රීඩාවටම පොදු යථාර්ථයකි. මේ තත්ත්වයන් වටහා ගන්නේ කවුද? කවදාද?

හරින් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමතිව ආ කල පැටිකිරිය දිග ඇරියේ තමා රගර් ක්‍රීඩකයකු මෙන්ම පිහිනුම් ක්‍රීඩකයෙක්ද වන බව කියමිනි. ක්‍රීඩාව දන්නා ලෙස පරිපාලනය ලේසි වෙතැයි ඔහු සිතුවා විය යුතුය. ඊට පෙර බොහෝ අයත් එවැනි කතා කීවේය. එහෙත් අන්තිමට ඉතිරි වූ දෙයක් නැත. යහපාලන ආණ්ඩුවේ අබලන් කාලයේ හරින් ක්‍රීඩා ඇමති විය. මේ නිසා ඔහු වැඩිපුරම කරන්නේ අමාත්‍යාංශයේ වැඩ වෙනුවට දේශපාලනය කිරීමය. සජිත් වෙනුවෙන් උපවාස කළ හැකි ඔහුට ක්‍රීඩාව වෙනුවෙන් කළ හැකි ඉටිගෙඩියක් නැත. ක්‍රීඩා සංගම් නිලධාරීන්ට ඔහු හමුවිය නොහැකිය. ඔහු වෙනුවට හමුවිය යුත්තේ ලේකම්වය. අධ්‍යක්ෂ ජනරාල්වය. මේ අයත් තනතුරු ආරක්ෂා කරගනිමින් අනතුරු අවම වන ලෙස ජාමේ බේරා ගනිති. ක්‍රීඩා සංවර්ධනය යන්න පුළුල් විෂයයකි. එය ක්‍රීඩා ඇමති ප්‍රමුඛ නිලධාරි නඩය සිල්ලර කර ඇත. ක්‍රීඩා සංගම් ප්‍රශ්න ගණනාවක් ඇතත්, එකක් විසඳන්නට මේ අයට ඉඩක් නැත. ඒ තරමට බොරු වැඩය. ක්‍රීඩාව ඉහළ තලයකට ගේනවායි කියාගෙන වැඩ භාරගත් ඇමති එය පහළම අඩියට දමා ඒ උඩ නැග කයිවාරු ඇදබාමින් සිටී. ක්‍රීඩා අමාත්‍යාංශයක් ක්‍රීඩා ඇමැත්තෙක් ක්‍රීඩා නිලධාරීන් සිටිනුයේ ක්‍රීඩාවේ අභිවෘද්ධියටය. එහෙත් සිදුවූ යහපත කුමක්ද? ක්‍රීඩා ඇමැත්තෝ තම තනතුර අතහරින්නට මැලිවෙති. ඒ තරමට මෙයට ඇලෙති. ඒ මෙහි ඇති ඉල්ලම නිසාය. හැමෝම තම ප්‍රදේශයට පිට්ටනි හදා ගන්නවා හැර එයින් ඇති පදම් ගහගන්නවා හැර කරන දෙයක් නැත. රට වටා පිට්ටනි හැදුවට ක්‍රීඩාව සංවර්ධනය වීද? එසේ නම් ඒ හරහා සංවර්ධනය වූයේ ක්‍රීඩා ඇමැත්තෝ බව කවුරු නොදනිත්ද?

ක්‍රීඩාව දිනෙන් දින පරිහානියට යන බව කොතෙක් කීවද මේ පාලකයෝ ඇහුම්කන් නොදෙති. ක්‍රීඩාව යන්න ජනතාවට සහභාගි විය හැකි භුක්ති විඳිය හැකි ප්‍රධාන මාධ්‍යයකි. එබැවින් එය විනාශ කිරීම පාපයකි. ක්‍රීඩා ඇමැතිතෝ කී දෙනෙක් අදටත් පාර්ලිමේන්තුවේ සිටිත්ද? එහෙත් අද ඔවුහු ක්‍රීඩාව ගැන වචනයක් නොදොඩති. ක්‍රීඩාව අරබයා නිශ්චිත ප්‍රතිපත්තියක් වැඩපිළිවෙළක් අවශ්‍යය. එය ඇමතිවරු මාරු වුවද වෙනස් නොවන ස්ථාවර එකක් විය යුතුය. එසේ නොවී එන එන ඇමතිට ඕනෑ ලෙස වැඩ කරන්නට දීම විකාරයකි. අප මේ භුක්ති විඳින්නේ ඒවායේ ප්‍රතිඵලය. දියුණු රටවල ස්ථාවර ප්‍රතිපත්තියක්, සැලැස්මක්, දැක්මක් ස්ථාපිතය. එන කවුරු වුව ඒ රාමුවේ වැඩ කරති. එයින් පිට යන්නේ නම් කාලෝචිත ගැඹුරු හැදෑරීමකින් පසුවය. මේ නිසා ලෝකයේ දියුණු රටවල් ක්‍රීඩාව අතුරින් ඉදිරියට යති. රටේ සියලු අංශ හදාගත නොහැකි වුවත් මුල් අදියර ලෙස මෙවැනි අංග සංවර්ධනය කරගත හැකිය. එයට අවශ්‍ය සැබෑ වුවමනාවක් ඇති වැඩ කරන්නෝය. ක්‍රීඩා ඇමති යනු මෙරට ක්‍රීඩාවේ සර්ව බලධාරියාය. එහෙත් එන අය ඒ තනතුරෙහි සිටියේ බඩජාරියන් ලෙසය. ක්‍රීඩාව කාබාසිනියා කළා මිස වෙන කිසිවක් ඔවුහු නොකළෝය. දැනටත් ප්‍රමාද නැත. එහෙත් ප්‍රමාද වැඩක් කළ හැකි අයෙක් සොයා ගැනීමය. ක්‍රීඩාව සෙල්ලමක් නොවන බව හරින්ට නොවැටහේ. මන්ද හරින් ක්‍රීඩාවේ නැති නිසාය ඔහුට තව ඇත්තේ කෙටි කාලයකි. ඒ කාලය තුළ ඔහු මහ ලොකු දෙයක් කරතැයි සිතන්නට ඉක්මන් වන්නේ ඇයි? මාස හත අටක් නිකරුණේ කාලය ගත කළ කෙනා ඉතිරි මාස තුන හතරෙහි වැඩක් කරතැයි සිතන්නේ ඇයි? ක්‍රීඩාව විනාශ කිරීම ක්‍රීඩා ඇමතිවරුන්ගේ විනෝදාස්වාදයක් විය. කලක් මෙයට විනෝද කටයුතු අමාත්‍යාංශය කීවේ එබැවිනි. රගර් බෝලය රවුම් නොකරන්නේ මන්ද කියා ඇසූ ඇමතිලා හිටි කල බීච් වොලිබෝල් ගෘහස්ත ක්‍රීඩාංගණයක නොගසන්නේ ඇයි කියා ඇසූ ඇමතිලා හිටි කලෙක ක්‍රීඩාව සංවර්ධනය කර කුමටද? ක්‍රීඩාව කන්නද? කියා ඇසුවහොත් එයට අප පුදුම විය යුත්තේ ඇයි?